හොරන වතු සමාගම ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් නෙරපයි

[පහත පලවන්නේ Sri Lankan plantation company terminates 38 Alton estate workers  යන මාතෘකාවෙන් අප්‍රේල් 10, 2021 ඉංග්‍රීසි භාෂාවෙන් පල කෙරුනු  ලිපියේ පරිවර්තනයයි.] 

ඕල්ටන් වත්ත පාලනය කරන හොරන වතු සමාගම (එච්පීසී), වත්තේ කලමනාකරුවාට හා සහකාර කලමනාකරුවාට කායික ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරමින්, කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් නෙරපා ඇත. ඕල්ටන් වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එල්ල කෙරුනු  මෙම දරුනු  ප්‍රහාරය සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමකි.

පනවනු ලබන දඬුවම පිලිබඳ ව දැනුම් දෙමින්, එච්පීසී කලමනාකාරීත්වය මාර්තු 22දා කම්කරුවන් 38 දෙනාට ලිපි නිකුත් කලේ ය. ලිපියේ දෙමල පරිවර්තනයේ සඳහන් කෙරුනේ ඔවුන්ගේ සේවය “අත්හිටුවා” ඇති බව යි. වෘත්තීය සමිති නිලධාරීන් ද දඩයමට ලක්වූ කම්කරුවන්ට කියා සිටියේ ඔවුන්ගේ සේවය “අත්හිටුවා” ඇති බවයි.

ලෝසවෙඅ වාර්තාකරුවෝ ලිපිවල දෙමල හා ඉංග්‍රීසි පිටපත් ලබාගත් හ. “සේවයෙන් පහකිරීමේ ලිපිය” නමැති  මාතෘකාවෙන් එවා තිබූ ඉංග්‍රීසි ලිපියට, සමාගමේ කෝපරේට් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිසා) පුෂ්පික සමරකෝන් අත්සන් තබා තිබුනි.

ඕල්ටන් වතුයාය ( මූලාශ්‍රය /ෆේස්බුක්)

විවිධාකාර චෝදනා ලැයිස්තුගත කිරීමෙන් පසු, ලිපියේ මෙසේ සඳහන් වේ: “ඉහත තත්ත්වයන් යටතේ, සේව්‍යයා/සමාගම විසින් මොවුන්ගේ සේවය වහා ම අහෝසිකිරීමේ තීරනයක් ගෙන ඇත.” එහි මෙසේ ද ලියා ඇත: “මෙතැන් සිට ඉදිරියට කර්මාන්තශාලාව, කාර්යාලය හා වතු ක්ෂේත්‍ර යන ස්ථානවලට ඇතුලු වීම ඔබට තහනම් බව ද මෙමගින් දැනුම් දෙනු ලැබේ.”

දඩයමට ලක්වන කම්කරුවන් ආරක්ෂා කරන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නීතිඥයෙක්, සමාගමෙහි අත්තනෝමතික දඬුවමේ දෙමල හා ඉංග්‍රීසි වචන යෙදුම් අතර විෂමතාවක් තිබෙන්නේ මන්දැයි විමසීමට සමරකෝන්ට දුරකථනයෙන් කතා කලේ ය.

සමරකෝන් මෙසේ කීවේ ය: “ඒක වහා සේවයෙන් නෙරපීමක්. (දෙමල) පරිවර්තනයට මම අත්සන් තබා නැහැ. අප අත්සන් තබා තිබෙන්නේ (ඉංග්‍රීසි) මුල් පිටපතට යි. ඒක හරි ම පැහැදිලියි.”

“මෙසේ නෙරපීමට පෙර කිසිදු ආකාරයක විමර්ශනයක්”  පවත්වා ඇද්දැයි විමසූ විට “නැහැ” යි උත්තර දුන් ඔහු, කම්කරුවන් හා ඔවුන්ගේ ප්‍රධානීන් සම්බන්ධ ඍජු සිද්ධිවල දී “අපි සාමාන්‍යයෙන් අභ්‍යන්තර පරීක්ෂනයක් තියන්නේ නැහැ ... (ඒ)ක බරපතල වරදක්, ඒ නිසා මේක වහා සේවය අහෝසිකිරීමක්.   අපි [එවැනි සිද්ධීන් වලදී] පරීක්ෂනයක් පවත්වන්නේ නැහැ” යි ප්‍රකාශ කලේ ය.

තුවාල ලබා රෝහල්ගත වීමට සිදු වුනු, වත්තේ කලමනාකාර සත්‍යමූර්ති සුභාෂ් නාරායනන්ට සහ සහකාර කලමනාකාර අනූෂන් තිරුචෙල්වම්ට, පෙබරවාරි 17දා කම්කරුවන් කායික ව පහර දුන්නේ යයි, එච්පීසී කලමනාකාරීත්වයේ ලිපි චෝදනා කරයි.

නෙරපන ලද කම්කරුවන් 38 දෙනා කලහකාරීන් කොටසක් බවත්, “ඉහත සඳහන් විෂමාචාරයේ යෙදීම ගැන වගකිවයුතු අතර සාමය උල්ලංඝනය කරමින් වත්තේ නීතිය හා සාමය බිඳ දැමීමට ක්‍රියා කර ඇත. එනිසා  ඔවුහු සාමූහික විෂමාචාරයට වරදකරුවෝ වෙති,” යයි  එම ලිපි කියා සිටියි. කලමනාකරුවාට හා සහකාර කලමනාකරුවාට කිසිදු කායික පහර දීමකට තමුන් සම්බන්ධ නො වුනු බව, නෙරපන ලද කම්කරුවෝ අවධාරනාත්මක ව කියා සිටිති. 

සමරකෝන් කිසිදු විමර්ශනයක් පැවැත්වීම උද්ධච්ඡ ලෙස ප්‍රතික්ෂේප කිරීම හා වහා නෙරපා දැමීම් සාධාරනීකරනය කිරීම, මූලික නෛතික අවශ්‍යතාවන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් මෙන්ම හාම්පුතුන් විසින් කරන ව්‍යාජ චෝදනාවලින් ආරක්ෂා වීමට කම්කරුවන්ට තිබෙන මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රතික්ෂේප කිරීමකි.

ශ්‍රී ලංකාවේ විශාලතම එ්කාධිකාරයන්ගෙන් එකක් වන හේලීස් ව්‍යාපාර සමූහය විසින් පාලනය කරනු ලබන එච්පීසීය, කොටින්ම කම්කරුවන්ට විරුද්ධ ව චෝදනා කර, විධිමත් චෝදනා පත්‍රයක් පවා නිකුත් නොකර හෝ කම්කරුවන්ට ආරක්ෂා වීමට අවස්ථාවක් නොදී, මූලික විමර්ශනයක් පවා නොපවත්වා, ඔවුන් වරදකාරීන් යයි ප්‍රකාශ කොට දඬුවම් ද පනවා ඇත.

මුලුමනින් ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී මෙම ක්‍රියා පටිපාටිය, යටත් විජිත පාලන සමයේ දී බ්‍රිතාන්‍ය සමාගම් කම්කරුවන්ට සැලකූ මුර්ග ආකාරය සිහිගන්වයි. 1948 ශ්‍රී ලංකාවේ නාමික නිදහසෙන් පසුව ද මෙම සමාගම් ඒවායේ ආඥාදායක විධික්‍රම අඛන්ඩ ව පවත්වාගෙන ගිය හ. එම වසරේ දී, වාර්ගික වෙනස්කම් කිරීම දියත් කරමින් හා වතු කම්කරුවන් පිඩනයට බඳුන් කිරීම තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ ආන්ඩුව ඉන්දියානු-සම්භවයක් සහිත කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කලේ ය.

කොලඹ ආන්ඩුව වතු ජනසතු කල 1972න් සහ ඒවා පුද්ගලීකරනය කල 1990න් පසුව පවා, වතු කම්කරුවන් අඛන්ඩ ව එම අනුකම්පා විරහිත සැලකුමට ලක්කරනු ලැබිනි. මෙම මර්දනයට විරෝධය පෑමේ හා එයට එරෙහි ව බරපතල අරගලවල නිරත වීමේ දීර්ඝ ඉතිහාසයක් වතු කම්කරුවන් සතුව තිබේ.

කම්කරුවන් හා කම්කරුවන් නොවන පුද්ගලයන් 80ක් පමන චෝදිත ප්‍රහාරයේ නිරත වූයේ යයි කියා සිටින එච්පීසී කලමනාකාරීත්වය, එයට සහභාගි වූ අනෙකුත් පුද්ගලයන්ගේ තොරතුරු ලබා දෙන ලෙස වතු කම්කරුවන්ට නියෝග කරමින් සිටියි.

රුපියල් 1,000ක දෛනික මූලික වැටුපක් ඉල්ලමින් පෙබරවාරි 2දා වැඩ වර්ජනයට පිවිසි 500ක් පමන වන ඕල්ටන් කම්කරුවෝ, සැකසුම් කරන ලද තේ දලු ප්‍රවාහනය කිරීමට කලමනාකාරීත්වය දැරූ උත්සාහය වැලකූ හ. කලමනාකරුවා එම කම්කරුවන්ට පහරදීම නිසා එක් කම්කරු කාන්තාවකගේ අතක් තුවාල වීමෙන් රෝහල්ගත කිරීමට ද සිදුවිය. 

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) පෙබරවාරි 5දා එම ඉල්ලීම මත ම කැඳවුම් කල එක් දින ජාතික වර්ජනයට එකතු වූ ඕල්ටන් කම්කරුවෝ, කලමනාකාරීත්වයේ තර්ජනයට විරෝධය පලකිරීම් වසයෙන්, අඛන්ඩ ව වර්ජනයේ යෙදී ගත් හ. වෙනත් කම්හලකට තේ දලු ප්‍රවාහනය කිරීමට උත්සාහ දරමින්, පෙබරවාරි 15දා කලමනාකාරීත්වය වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට යත්න දැරුවේ ය. මෙම උත්සාහය ව්‍යර්ථ කල කම්කරුවෝ, කලමනාකරුවාගේ නිල නිවසින් පිටත විරෝධතාවක් පැවැත්වූ හ.

පොලීසිය ද සහභාගි කරගත් දඩයමක් සමාගම විසින් ආරම්භ කලේ, කම්කරුවන් කලමනාකරුවන්ට එරෙහි ව ප්‍රචන්ඩත්වය යොදාගත් බව කියා සිටිමිනි. ඊට මුලුමනින්ම පිටුබලයදුන් සීඩබ්ලිව්සී ය කම්කරුවන්ගේ ලැයිස්තුවක් සකස් කොට, පොලීසියට යටත් වන ලෙස එම කම්කරුවන්ට කියා සිටියේය.  

පොලීසිය පෙබරවාරි 18දා කම්කරුවන් අට දෙනෙකු ද, මාර්තු 1දා තරුනයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර මහේස්ත්‍රාත්වරයෙක් ඔවුන් මහනුවර බන්ධනාගාරයේ රැඳවීමට නියෝග කලේ ය. සීඩබ්ලිව්සීය පසුව තවත් කම්කරුවන් 12 දෙනෙකු පොලීසියට යටත් කලේ ය. මෙලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා බරපතල ඇප කොන්දේසි   මත මාර්තු 10දා මුදා හරින ලදී. 

එච්පීසීය තවත් කම්කරුවන් 18 දෙනෙකු නම් කල අතර, ඉන් හතර දෙනෙකු මස්කෙලිය පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා ලදී. අත්අඩංගුවට ගත් අනෙක් සියලු කම්කරුවන් සමග අප්‍රේල් 28 දින උසාවියේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර තිබේ.

ඕල්ටන් වත්තේ කම්කරුවන් දඩයමට ලක්කිරීම හා නෙරපීමට සීඩබ්ලිව්සීය ඍජු ව වගකිවයුතු අතර, ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) නිහඬ ව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන මෙම ප්‍රහාරයට සහයෝගය දුන්හ.

වෘත්තීය සමිතියේ උපදෙස් අනුව සියලු සේවකයෝ මාර්තු 23දා පෙරලා සේවයට වාර්තා කල අතර, එහි දී ඔවුන්ට 38 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව දැනගන්නට ලැබුනි. දඩයමට ලක්කල සියලු කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින්, ඔවුහු වහා ම වැඩ නැවැත්වූ හ. රාජපක්ෂ ආන්ඩුවේ වතු යටිතල පහසුකම් ඇමතිවරයා වන සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන්, මාර්තු 26 සිට යලි වැඩ අරඹන ලෙස වර්ජකයන් පෙලඹවූයේ, දඩයමට ලක්කිරීම් ගැන තමන් විමර්ශනය කරන බවට පොරොන්දු වෙමිනි.

වැවිලිකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදුව හා සියලු ප්‍රාදේශීය වතු සමාගම් විසින් පිටුබලය දෙන ලදුව මාර්තු 3දා හැටන් නගරයේ පවත්වන ලද, ප්‍රකෝපකාරී විරෝධතාවකින් පසුව ඕල්ටන් වත්තේ කම්කරුවන් නෙරපා හැරීම සිදු කෙරිනි. වතු තුල පවතිනවා යයි කියන ලද ප්‍රචන්ඩත්වයට මුහුන දීම සඳහා ආයුධ හා ආයුධ පුහුනුව ලබා දෙන ලෙස වැවිලිකරුවෝ ඉල්ලා සිටියහ. පසුගිය මස මුල දී, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය ද, වතු තුල පවතින ඊනියා ආරක්ෂක ප්‍රශ්න ගැන සාකච්ඡා කලේ ය.

ඕල්ටන් වත්තේ සිදුකොට ඇති රුදුරු කඩාපැනීම වනාහි, ඵලදායිතාව ඉහල දැමීම, පිරිවැය කප්පාදුව හා කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කරන ලද ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල පිටුබලය ලබන මහ ව්‍යාපාරිකය අධිෂ්ඨානවත් බවට වන අනතුරු ඇඟවීමකි. 

සසප සහයෝගය සහිත ව පිහිටුවන ලද ඕල්ටන් වත්තේ ක්‍රියාකාරී කමිටුව, මේ සතියේ රැස්වී, නෙරපා හරින ලද සියලු කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස හා ගොතන ලද සියලු චෝදනා හකුලා ගන්නා ලෙස බල කරන උද්ඝෝෂනයක් දියත් කිරීමට තීරනය කලේ ය. අත්අඩංගුවට ගන්නා ලද කම්කරුවන් වරදකාරී යයි නිගමනය කරන ලද හොත්, “බරපතල හිංසනය” සඳහා වසර හතක් දක්වා ද “නීති-විරෝධී ජනරාශිය” සඳහා මාස හයකට ද ඔවුන් සිරගත කරනු ලැබිය හැක.

ඕල්ටන් වත්තේ කම්කරුවන් දඩයමට ලක්කිරීමට හා අත්අඩංගුවට ගැනීමට එරෙහි ව සසප ගෙනයන සටන, ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ ප්‍රහාරයට බඳුන් ව සිටින ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට ගෙන යන අරගලයේ අත්‍යන්ත කොටසකි.

මෙම උද්ඝෝශනයට සහයෝගය පලකරන ප්‍රකාශ කරුනාකර wswscmb@sltnet.lk ලිපිනයට එවන්න.

Loading