ඉදිරිදර්ශන

කොවිඩ්-19 වසංගතයෙන් ඉන්දියාව වැනසෙයි -ගෝලීය විපතක්

[මෙහි පලවන්නේ India ravaged by COVID-19 pandemic—a global catastrophe  මාතෘකාවෙන් 2021 අප්‍රේල් 23 දින පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි. ]

කොවිඩ්-19 රෝගීන් සහ මරනවල  සුනාමියකින් දැන් ඉන්දියාව වැනසී යමින් පවතී. ඉන්දියාවේ සිදුවන මෙම නැග්ම, මේ වන විටත් නිල වශයෙන් මිලියන 145 ක ජනතාවක් ආසාදනයට ගොදුරු ව මිලියන 3.1 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති ගෝලීය වසංගතයක් තුල දක්නට ලැබුනු තත්වය පරයා යාමට තර්ජනය කරයි. 

අප්‍රේල් 22 දා ඉන්දියාව තුල නව කොවිඩ්-19 රෝගීන් 314,644 ක් වාර්තා වී ඇති අතර, එය එක් දිනක් තුල ලොව වැඩිම ආසාදිත සංඛ්‍යාව වේ. සඳුදා සිට රටේ සමස්ත නව ආසාදන මිලියන 1.1 ඉක්මවා ඇති අතර, මරන 2,104 ක් වේ. මෙය නව ඉන්දියානු වාර්තාවකි.

2021 අප්‍රේල් 22 වන බ්‍රහස්පතින්දා ඉන්දියාවේ ගෞහාටි හි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී මිනිසුන් කොවිඩ්-19 සඳහා COVAXIN එන්නත ලබා ගනිමින්. (AP ඡායාරූපය / අනුපම් නාත්)

 ආසාදනය හා මරන සංඛ්‍යා නිසැකවම අවගනනය කිරීමකි. ජනමාධ්‍යවේදීන් සහ සෞඛ්‍ය විශේෂඥයින් විසින් ලැයිස්තුගත කර ඇති මරන හා ආදාහන පිලිබඳ සංඛ්‍යාලේඛන වල සැබෑ මරන සංඛ්‍යාව සහ රජයේ නිලධාරීන් විසින් සපයනු ලබන නිල සංඛ්‍යා අතර විශාල විෂමතාවයක් තිබේ. ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718 න් හතක් පිලිබඳ ෆිනෑන්ෂල් ටයිම්ස් සිදුකල අධ්‍යයනයකින් නිගමනය වූයේ සැබෑ මරන සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වනවාට වඩා 10 ගුනයකින් වැඩි විය හැකි බවයි.

රටපුරා මෘත දේහවලින් පිරී ඇති ආදාහනාගාර සහ සුසාන භූමි වලින් ඇඟ කිලිපොලායන වාර්තා මතුවෙමින් තිබේ. ඉන්දියාවේ 16 වන විශාලතම නගරය වන භෝපාල් හි ආදාහනාගාර, පලමු පැය කිහිපය තුල 2,200 ක් මියගිය 1984 යුනියන් කාබයිඩ් ගෑස් කාන්දුවීමේ ව්‍යසනයෙන් පසු ඉහලම මට්ටම්වලින් ක්‍රියාත්මක වන බව කියනු ලැබේ. බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ආදාහනාගාර පැය 24 පුරාම නොනවත්වා ක්‍රියාත්මක කරන බැවින් ඒවායේ ලෝහ ආධාරක දිය වීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

කාර්ය මන්ඩල හිඟ වූ රෝහල්වල ඇඳන්, ඔක්සිජන් සහ රෙම්ඩිසිවර් (Remdesivir) වැනි කොවිඩ්-19 නාශක ඖෂධ අහවරවී යමින් ඉන්දියාවේ ගරා වැටෙමින් තිබෙන සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමට පටන්ගෙන තිබේ. පිලිවෙලින් දිල්ලි අගනුවර සහ මූල්‍ය මධ්‍යස්ථානය වූ මුම්බායි හි ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ කොවිඩ්-19 ගොදුරු වූවන් සහ ඔවුන්ගේ ඥාතීන් රෝහල්වලින් පිටතදී උපකාර ඉල්ලා කෑගසන නමුත් කිසිවක් ලබා ගත නොහැකි බව ය.

එහෙත් ඉන්දියාවේ ආන්ඩුව සහ පාලක ප්‍රභූව මෙම මහජන දුක් වේදනා හා මරන සම්බන්ධයෙන් අතිශයින්ම නොසැලකිලිමත්ව හා උදාසීනව සිටිත්. 

වැඩකරන ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත වලට වඩා සංගත ලාභයට ප්‍රමුඛතාවය දෙන ඉන්දියාවේ ජාතික සහ ප්‍රාන්ත ආන්ඩු, පසුගිය මාස දෙක තුල කොවිඩ්-19 ආසාදිතයින් දිනෙන් දින ඉහල යද්දී පවා අගුලු දැමීමක් සඳහා නියෝග කිරීම දඩබ්බර ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

අඟහරුවාදා සවස ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කලේ ඉන්දියාව “ගැලවිය යුත්තේ” වසංගතයෙන් නොව, වෛරසයේ වර්ධනය නැවැත්වීම සහ ජීවිත බේරා ගැනීම අරමුනු කරගත් අගුලු දැමීමකින් බවයි! “අද පවතින තත්වය තුල, අප රට අගුලු දැමීමෙන් බේරා ගත යුතුය” යි ඔහු ප්‍රකාශ කලේය. ඉන්පසු ඔහු  ප්‍රාන්ත රජයන්ගෙන්, අගුලු ලෑම් සිදු නොකරන බවට ශපත කර ගත්තේය.

වර්තමාන තත්වය තුල දරුනු හා බියකරු සියලු සාක්ෂිවලින් පෙනී යන්නේ ආසාදන හා මරන ඉදිරි සති ගනන්වල පමනක් නොව මාස ගනන් ඔස්සේ අඛන්ඩව නැගී යනු ඇති බවයි.

අප්‍රේල් 8 සිට ගතවූ සති දෙක තුල, ඉන්දියාවේ සක්‍රිය රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 250 කින්, එනම් 910,000 සිට මිලියන 2.3 දක්වා වැඩි විය. මෙම නැග්මට, නව, වඩාත් බෝවන හා මාරාන්තික ප්‍රභේදයන් වන, ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත්, එකිනෙකට වෙනස් “සැලකිල්ලට බඳුන්වියයුතු ප්‍රභේද” දෙකක විකෘතීන් ඒකාබද්ධ කෙරුනු “ද්විත්ව විකෘති” මාදිලිය ද හේතු විය.

ජනගහනයෙන් ඉතා සුලු කොටසක් හැර අන් සියලු  දෙනාම ආසාදන අවදානමට ලක්ව සිටිති. පලමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ ඉන්දියානුවන්ගෙන් සියයට 8.4 ක් පමනක් වන අතර සම්පූර්න එන්නත ලබාගෙන ඇත්තේ සියයට 1.4 ක් පමනි.

එපමනක් නොව, මිලියන සිය ගනනක් ජනයා ඉතා දුප්පත් හා මන්දපෝෂනයෙන් පෙලෙන අතර පිරිසිදු ජලය ලබා ගැනීමට අපහසු තනි කාමර වල වාසය කරති. එයින් අදහස් කරන්නේ ඔවුන්ට සමාජ දුරස්ථ පියවරයන් ක්‍රියාත්මක කල නොහැකි බවත් බොහෝ විට දැනටමත් පිරිහුනු සෞඛ්‍යයෙන් යුතු බවත්ය. මෑත දිනවල ඛේදජනක ලෙස පෙන්නුම් කර ඇති පරිදි, රටේ විශාලතම නගරවල රෝහල් පිරී ගොස් තිබේ නම්, මහජන සෞඛ්‍ය පහසුකම් නැතිතරම් වන ග්‍රාමීය ඉන්දියාවේ විශාල ප්‍රදේශවල තත්වය ඊටත් වඩා අඳුරු සහගත බව ය.

ඉන්දියාවේ මහා ව්‍යසනය, දේශසීමා නොතකන හා විදේශ ගමන් බලපත්‍ර අනවශ්‍ය වෛරසයක් හමුවේ සිදු වූ ගෝලීය ව්‍යසනයක් බව අවධාරනය කල යුතුය. වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා ක්‍රමානුකූල උත්සාහයක් ගැනීම අත්හැර දැමීමට එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකත්වයෙන් යුත් ලෝක ආන්ඩු ගත් තීරනය, එන්නත් වලට ප්‍රතිරෝධීවන, නව කොවිඩ්-19 විකෘති බිහිවීමටත් වර්ධනය වීමටත් හැකි තත්වයන් නිර්මානය කර තිබේ. ධනවාදී ලාභය නොව මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම පෙරදැරි කරගත් සහ කොවිඩ්-19 තුරන් කිරීම සඳහා වූ විද්‍යාව පදනම් කරගත් ගෝලීය සම්බන්ධීකාරක උත්සාහයක් නොමැති නම් මෙම ක්‍රියාවලිය දිගටම පවතිනු ඇත. ඉන්දියාවේ වර්තමාන වසංගත ලැව් ගින්න ලොව පුරා ගිනි ඇවිලවීමට තුඩු දෙනු ඇත. ඇත්ත වශයෙන්ම, ඉන්දියානු ද්විත්ව විකෘති ප්‍රභේදය දැන් උතුරු ඇමරිකාව, යුරෝපය සහ මැදපෙරදිග රටවලින් වාර්තා වෙමින් පවතී.

තවද, තමන්ගේම ක්‍රියාවන් මගින් ඇති කරන ලද ව්‍යසනයට දක්වන, ප්‍රතිගාමී, සන්ත්‍රාස ජනක ප්‍රතිචාරයක් ලෙස, මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලට ඖෂධ සහ එන්නත් සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු වන ඉන්දියාව, කොවිඩ්-19 එන්නත් අපනයනය කිරීම නවතා දමා ඇත.

වසංගතයට එරෙහිව සටන් වැදීම සඳහා ලෝකයේ සම්පත් බලමුලු ගැන්වීමට එරෙහිව පවතින්නේ ප්‍රතිවාදී ජාතිකව පදනම් වූ ධනවාදී කල්ලිවල ලාභය සහ කොල්ලකාරී භූදේශපාලනික අවශ්‍යතා ය.

ඉන්දියාවේ තත්වය සලකා බලන්න. ලෝකයේ දෙවන විශාලතම ජනගහනය සහිත රට වන එහි, දැන් සිදුවෙමින් පවතින සමූහ මරන වලට වගකිව යුත්තේ මෝදි සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය පමනක් නොවේ. සමස්ත පාලක පන්තිය සහ දේශපාලන සංස්ථාපිතය එයට වගකිව යුතුය.

දශක ගනනාවක් තිස්සේ ඉන්දීය රජය, භාරතීය ජනතා පක්ෂයේ හෝ කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආන්ඩු යටතේ සෞඛ්‍ය ආරක්ෂනය වෙනුවෙන් වියදම් කර ඇත්තේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක සොච්චමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තවත් බොහෝ අය, එහි මහා ජන දරිද්‍රතාවය සහ අබලන් වූ සෞඛ්‍ය ආරක්ෂන පද්ධතිය හේතුවෙන් කොවිඩ්-19 හමුවේ ඉන්දියාවේ විශාල අවදානමක් ඇති කරන බව පෙන්වා දුන්නද, මෝදි ආන්ඩුව 2020 පලමු මාස දෙක හමාර තුල වසංගතයට එරෙහිව සටන් කිරීමට සැලකිය යුතු පියවර ගත්තේ නැත. ඉන්පසු මාර්තු 25 වන දින, කිසිදු පූර්ව සැලසුමක් නැතිව සහ පැය හතරකට අඩු කාලයක දැනුම්දීමකින්, විපත්ති දනවන අගුලු දැමීමක් පැනවූ අතර එය සෑම අතකින්ම අසාර්ථක විය. එය අසාර්ථක වූයේ මහා පරිමානයෙන් පරීක්ෂා කිරීම හා ආශ්‍රිතයන් සොයා ගැනීම, සෞඛ්‍ය සේවා පද්ධතියට අතිවිශාල සම්පත් ප්‍රමානයක් සම්පාදනය කිරීම සහ එක රැයකින් තමන්ගේ ජීවනෝපායන් අහිමි වූ මිලියන සිය ගනනකට සමාජ සහයෝගය ලබා දීම යන මේ කිසිවක් සිදු නොකල බැවිනි.

ඒ සමගම, මෝදි  ආන්ඩුව විසින් නායකත්වය සපයන ලදුව, භාරතීය ජනතා පක්ෂයේ හෝ ඊනියා විරුද්ධ පක්ෂවල නායකත්වයෙන් යුත් ප්‍රාන්ත ආන්ඩුවල සහාය ඇතිව ඉන්දියාව තුල “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. අප්‍රේල් අග සිට රජය සිය ආර්ථිකය “නැවත විවෘත කිරීම” ආරම්භ කල අතර ආසාදන හා මරන ඉහල යාමත් සමඟ එය ඉදිරි මාස හය තුල පියවරෙන් පියවරට ඉදිරියට ගෙන ගියේය.

පාලක ප්‍රභූ පැලැන්තියේ මානසිකත්වයට හඬක් සපයමින් මෝදි ආන්ඩුවේ සෞඛ්‍ය උපදේශක සහ වසංගත රෝග විද්‍යාඥ ජයප්‍රකාශ් මුලියි උද්දාමයෙන්  ප්‍රකාශ කලේ රටේ ජනගහනයේ අතිමහත් ප්‍රමානය සැලකිල්ලට ගත්කල පසුගිය සියවසේ ලෝක යුද්ධවලින් පිටත දක්නට නොලැබුනු පරිමානයෙන්, සිදු වන  මහා ජන මරන සිදුවීම අනුමත කල හැකිබවයි. “සැලකිය යුතු ලෙස අගුලු දැමීමත් සමඟ ඉන්දියාවේ අවම වශයෙන් මිලියන දෙකක්වත් මිය යනු දැකිය හැකිය” යනුවෙන් මුලියි පැවසීය. “මරන අනුපාතය අඩුයි, තරුනයින්ට එලියට බැස වැඩ කිරීමට ඉඩ දෙන්න.”

ඉන්දියාවේ කොවිඩ්-19 “දෙවන රැල්ල” පෙබරවාරි සහ මාර්තු මාසවල දී ශක්තිමත් වෙද්දී, දේශපාලන සංස්ථාපිතය ඒකස්වරයෙන් ප්‍රකාශ  නිකුත් කලේ අගුලු දැමීමේ පියවරයන්ට එරෙහිව ය. මෝදි ගෙන් ඉඟිය ලබා ගත් ඔවුහු, ඉන්දියාවේ “ලෝකයේ අංක එකේ” එන්නත් කිරීමේ ව්‍යාපාරය වසංගතයට පිලිතුරක් ලෙස ප්‍රකාශ කලහ. මෙහි දී ඔවුන් ක්‍රියා කලේ මහා ව්‍යාපාරිකයන්ගේ අභිමතය පරිදි ය. ටයිම්ස් ඔෆ් ඉන්දියා වැනි මාධ්‍ය වල කතුවැකි එකකට පසු තවෙකක් අඹරමින්  සිටින්නේ “අගුලු දැමීම්” “දැරිය නොහැකි” බව ඒත්තු ගැන්වීමටයි.

ඔවුහු මෙම කුලී හේවා ව‍්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා, වසංගතයෙන් ජීවනෝපායන් විනාශ වී ඇති මිලියන සිය ගනනක් නරුම ලෙස පෙන්වා දෙති. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පිව් පර්යේෂන අධ්‍යයනයකින් (Pew Research study) හෙලි වූයේ වසංගතයේ පලමු රැල්ල තුල දිනකට ඉන්දියානු රුපියල් 150 ට වඩා (ඇමරිකානු ඩොලර් 2) අඩුවෙන් උපයන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව දෙගුනයක්, එනම් මිලියන 135 දක්වා වැඩි වී ඇති බවත් තවත් මිලියන 32 කගේ ආදායම දිනකට ඩොලර් 10 ට වඩා පහත වැටී ඇති බවත්ය.

ෆෝබ්ස් (Forbes) සඟරාවට අනුව, 2020 ඩොලර් බිලියන 596 ක් බවට, එනම් දෙගුනයක් බවට වර්ධනය වූ ඉන්දියාවේ බිලියනපතියන්ගේ ධනයෙන් සොච්චමක්, වසංගතය පැතිරීම නවත්වන තුරු ජනතාවට සමාජ ආධාරයක් ලබා දීම සඳහා අත්පත් කර ගැනීම ගැන පාලක පන්තියේ දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක නියෝජිතයින්ට ඇත්ත වශයෙන්ම, සිතාගැනීමට වත් නොහැකි ය. 

මෝදි ආන්ඩුවේ ආර්ථිකය “විවෘත කිරීම,” සහ  “රංචු ප්‍රතිශක්තිකරනයේ ” ප්‍රතිපත්තිය යනු කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එරෙහි තීව්‍ර ප්‍රහාරයේ කැපුම් මුවාත යි. ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ නාමයෙන් මෝදි විසින් “ආයෝජක ගැති” පියවර රාශියක් හඳුන්වා දී ඇත. රාජ්‍ය අංශයේ ව්‍යවසායන් ඉහල මිලට විකුනාදැමීම, කෘෂි ව්‍යපාරික ගැති ගොවි නීති හඳුන්වාදීම, විශාල සේවා යෝජකයින්ගේ කැමැත්ත ට අනුව සේවකයින් දොට්ටදැමීම ට හැකි වන පරිදි අස්ථිර කොන්ත්‍රාත් රැකියා තවදුරටත් පුලුල් කිරීම සඳහා කම්කරු නීති සංග්‍රහයේ වෙනස්කම් සිදුකිරීම සහ බොහෝ වැඩ වර්ජන නීති විරෝධී කිරීම් මෙයට ඇතුලත් ය.

ඒ අතරම, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, එක්සත් ජනපදය ප්‍රමුඛ චතුර්පාර්ශවය (US-led Quad) සහ චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද ගමනට ඉන්දියාව තවදුරටත් ඒකාබද්ධ කර ඇති අතර වොෂිංටනයේ ප්‍රධාන ආසියා-පැසිෆික් සහචරයින් වන ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික හා ත්‍රෛපාර්ශ්වික උපායමාර්ගික සබඳතා වර්ධනය කරගනිමින් පවතී. මේ, කම්කරු පන්තියට එරෙහිව ඉන්දියානු ධනවාදී ප්‍රභූවේ හස්තය ශක්තිමත් කිරීම සහ තමන්ගේම මහා බල අභිලාෂයන් ලුහුබැඳීම යන ද්විත්ව අරමුනු සඳහා ය.

මෙම පන්ති යුද ප්‍රහාරය සහ කම්කරු පන්තිය බෙදීම සඳහා ජාතිවාදය අවුලුවාලීමට මෝදි ආන්ඩුව දරන ප්‍රයත්න මහජන විරෝධයට මුහුන දී තිබේ. වැඩ වේගවත් කිරීමට සහ දරිද්‍රතා වැටුප්, පීපීඊ (පුද්ගලික ආරක්ෂක උපකරන) නොමැතිකමට එරෙහිව රට පුරා වැඩ වර්ජන හා විරෝධතා පුපුරා ගොස් ඇත. ආන්ඩුවේ ආයෝජක ගැති ප්‍රතිසංස්කරනවලට විරුද්ධ වීමට සහ වසංගතයෙන් ආදායම් කප්පාදු කර ඇති මිලියන සිය ගනනකට හදිසි ආධාර ඉල්ලා සිටීමට, පසුගිය නොවැම්බර් 26 වන දින රටපුරා සිදුකල වැඩ වර්ජනයට මිලියන ගනනක් එක් විය. මෝදිගේ ගොවි නීති අහෝසි කරන ලෙස ඉල්ලා, පසුගිය මාස පහක කාලය තුල, ලක්ෂ සංඛ්‍යාත ගොවීන් දිල්ලියෙන් පිටත කඳවුරු බැඳගෙන සිටිති.

එහෙත් සෑම තැනකම මෙන් කම්කරු පන්තිය සිය පන්ති අවශ්‍යතා තහවුරු කර ගැනීමට දරන උත්සාහය එහි නමින් කථා කරන බව කියා සිටින සංවිධාන විසින් වහාම අවහිර කරනු ලැබේ:  ඒවා නම්, ප්‍රාග්ධන ගැති වෘත්තීය සමිති සහ සංස්ථාපිත වාම පක්ෂ යි. 1930 ගනන්වල මහා අවපාතයෙන් පසු ලෝක ධනවාදයේ විශාලතම අර්බුදය පුපුරා යාමේ කොන්දේසි යටතේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය යන  ස්ටැලින්වාදී පක්ෂ දෙක කොන්ග්‍රස් පක්ෂය සමඟ ඔවුන්ගේ දේශපාලන සන්ධානය තහවුරු කරගෙන තිබේ. ඉන්දියානු ධනේශ්වරයේ සාම්ප්‍රදායික පාලක පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය පසුගිය වසර පුරා මෝදිට එල්ල කල ප්‍රහාරයේදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඔහු “චීනය කෙරෙහි මෘදු” ආකල්පයක් දරන බවට යි.

සමාජයේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සමග ධනේශ්වර ලාභ ක්‍රමයේ සහ ධනේශ්වරයේ ආත්මාර්ථකාමී පන්ති අවශ්‍යතාවන් මුලුමනින්ම නොපෑහෙන බව වසංගතය විසින් පැහැදිලිවම හෙලිදරවු කර තිබේ. ඒ අතරම, එය දශක ගනනාවක් තිස්සේ ධනවාදය වඩ වඩාත් සංලක්ෂිත කර ඇති සියලු දුෂ්ඨකම් - දිනෙන් දින වර්ධනය වන සමාජ අසමානතාවය, අධිරාජ්‍යවාදී ගැටුම් හා මහා බල එදිරිවාදිකම්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම සහ පාලක පන්තිය විසින් අන්ත දක්ෂිනාංශික, ෆැසිස්ට් බලවේගයන් වගාදිගා කිරීම - උග්‍ර කර ඇත.

වසංගතය යනු ගෝලීය අර්බුදයකි; එය පාලනය කල හැක්කේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පැනවීම සහ ලොව පුරා කම්කරුවන්ගේ ජීවිත හා ජීවනෝපායන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සමාජ සහයෝගය ලබා ගැනීම සඳහා වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන සම්බන්ධීකරන ක්‍රියාමාර්ගයක් ඔස්සේ පමනි.

එලෙසම, කම්කරු පන්තිය, ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට හා ප්‍රතිගාමීත්වයට එරෙහි වීමට කම්කරුවන්ගේ නව මහජන සංවිධාන ගොඩනැගීමට අවශ්‍ය වන ගෝලීය අරගලයක් සඳහා සූදානම් විය යුතු ය. අන්තර්ජාතික සංගතවලට, ප්‍රතිවාදී ධනවාදී ආන්ඩුවලට සහ ඔවුන්ගේ කොල්ලකාරී ගෝලීය අභිලාෂයන් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන වෙලඳ හා මිලිටරි සන්ධානවලට එරෙහිව කම්කරු පන්තිය සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත පොදු හා සම්බන්ධීකරනය කල අරගලයක් දියත් කල යුතුය.

මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ විමුක්තිකාමී අදහස් මගින් ප්‍රානවත් කරන ලද එවැනි ගෝලීය ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි 1 සෙනසුරාදා  "කොරෝනා වෛරසයේ වසරක්: ගෝලීය වසංගතයේ සිට ගෝලීය පන්ති අරගලය දක්වා” නමැති තේමාව යටතේ ඔන්ලයින් මැයි දින රැලියක් පවත්වයි. ඉන්දියාවේ සහ ලොව පුරා සිටින කම්කරුවන්, තරුනයින් සහ සමාජවාදයට ලැදි  වෘත්තිකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවට සහභාගී වීමට සැලසුම් සකස් කරගන්නා ලෙසයි.

Loading