වසංගතයට කම්කරුවන් බිලි දී හෝ අපනයන ඉලක්කයන් ජයගැනීමට කර්මාන්තකරුවෝ සහ අපනයන සංවර්ධන මන්ඩලය වලිකති

කොරෝනා වසංගතය ව්‍යසනකාරීව පැතිරෙද්දී, කම්කරුවන්ගේ ජීවිත සහ සමාජ අයිතීන් පරදුවට තබමින්, මෙම වසර තුල ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම් ඉලක්කය වන ඩොලර් බිලියන 12 කෙසේ හෝ ජයගැනීමට රාජපක්ෂ ආන්ඩුව සහ අපනයන කර්මාන්තකරුවෝ යලියලිත් සපථ වෙති.  

“අපනයන කර්මාන්තවලට කිසිදු බාධාවකින් තොරව නිෂ්පාදන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය  පහසුකම් සම්පාදනය සහතික කිරීම සඳහා ආන්ඩුව, කොවිඩ්-19 කාර්ය සාධක බලකාය සහ අදාල සියලුම ආයතන” සමග අපනයන සංවර්ධන මන්ඩලය “සමීපව කටයුතු කරමින් සිටින” බව එහි සභාපති සුරේෂ් ද මෙල් ඩේලි එෆ්ටී  අන්තර්ජාල පුවත්පතට අප්‍රේල් 29 වෙනිදා ප්‍රකාශකර ඇත.   

මේ අතර, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන සංගමයේ හිටපු සභාපති යොහාන් ලෝරන්ස්, ද මොර්නින්ග් බිස්නස් වෙබ් අඩවියට මැයි 4 වෙනිදා පවසා තිබුනේ, “මේ මොහොතේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරනු ලැබ තිබීම නිසා නිෂ්පාදන කටයුතු යම් ප්‍රමානයකට අඩාල වුව ද  ඇඟලුම් කර්මාන්තය, එහි ආරම්භක අපනයන ඉලක්කය වන ඩොලර් 5.1 පවත්වාගෙන යන” බවයි.

සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් “හැකි සියලුම පුර්වාරක්ෂක” පියවර ගැනීම පිලිබඳ වංචනික සඳහනක් ද ලෝරන්ස් එයට එල්ලා තිබුනි. 

කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගැනීම ඇඟලුම් කර්මාන්තය තුල පමනක් නොව, සමස්තයක් ලෙස පුද්ගලික සහ රාජ්‍ය ආයතන තුල සිදු වුයේ නැත. ආන්ඩුව විසින් පනවා තිබු සීමිත සෞඛ්‍ය  මාර්ගෝපදේශ පවා  ඇඟලුම් කම්හල් තුල අනුගමනය  නොකෙරෙන බවට කම්කරුවෝ යලි යලිත් චෝදනා කරති.

දීපව්‍යාප්ත අගුලු දැමීම් හෝ ඇඳිරිනීතිය පැනවීම් අපේක්ෂා නොකරන නිසා තවත් කොවිඩ්-19 රැල්ලකට එරෙහිව ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා “පුර්වාරක්ෂක පියවර අනවශ්‍ය  යයි”  තමන් විශ්වාස කරන බව, පුර්ව සම්මුඛ සාකච්චාවක දී, බතික්, අත් යන්ත්‍ර  හා දේශීය ඇඟලුම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර  සඳහන් කල බව ද ඉහත ඩේලි එෆ්ටී වාර්තාව තුල සඳහන් වේ. කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා “කර්මාන්ත ආරක්ෂා කිරීම” හෙවත් ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කිරීම රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතයි.

මැයි 5 වෙනිදා, සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි කල ප්‍රකාශයකින් ආන්ඩුවේ මෙම දුෂ්ට පිලිවෙත යලි තහවුරු කෙරී ඇත. “ආර්ථිකය අඩාල වුනොත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර, පීසීආර් පරීක්ෂන සහ රෝගීන් රෝහල්ගත කිරීම සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වන” බව ඇය එහිදී සඳහන් කලාය. “ආර්ථිකය අඩාලවීම” ගැන කනස්සලු වන්නේ මහජනතාව ගැන උත්සුකයෙන් බවට ඇය ඇතුලු ආන්ඩුව කරන සැඳහුම් මුලුමනින්ම ව්‍යාජය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය සමග මාර්තු 15 වෙනිදා පැවත්වූ සාකච්ඡාවක දී, සීමිත සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද පවා ඉවත් කර රිසිසේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට අවසර දීම ඇතුලු සියලු වරදාන  කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට ප්‍රදානය කලේ ය.  

නිල සංඛ්‍යා ලේඛන වලට අනුව මේ වනවිට ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යා ව 117,000  ඉක්මවා ඇති අතර  16,000 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. දෛනිකව වාර්තාවන ආසාදිතයන් ගනන 2000 ට ආසන්න වේ. මැයි 5 වෙනිදා වන විට මියගිය සංඛ්‍යාව 734 කි. යතා සංඛ්‍යා වන් මීට බොහෝ සෙයින් වැඩිවිය හැකිය. ආසාදිතයන් සිය ගනනින් කම්හල් තුලින් වාර්තා වෙද්දී, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා විවෘතව තබා ගනිමින් කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීම කෙරෙන්නේ මෙම අනතුරුදායක තත්වය ගැන කිසිදු තැකීමකින් තොරවය.

රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලෝකයේ සියලුම ධනපති පාලක පන්තීන්ගේ පිලිවෙත වන්නේ, වසංගතය මධ්‍යයේ වැඩෙහි නිරතවීම හෙවත් "නව සාමාන්‍යය" යටතේ, කොරෝනා වසංගතය විසින් වඩාත් තීව්ර කරනු ලැබ ඇති ලෝක ධනවාදී අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම ය. අගුලු දැමීම මුලුමනින් ම ප්‍රතික්ෂේප කරන ඔවුහු උත්සුක වන්නේ ධනපති සංගත වල ලාභෝත්පාදක අවශ්‍යතාවයන් ගැන පමනි. 

මෙම දුෂ්ට පිලිවෙතේ ප්‍රතිපලයක් ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේ සිට කටුනායක, කොග්ගල, බියගම, මාවතගම, දිගන ඇතුලු  නිදහස් වෙලඳ කලාප සහ ඉන් පිටත පිහිටි ඇඟලුම් කම්හල් තුල දහස් ගනනක් ඇඟලුම් කම්කරුවෝ වසංගතයට ගොදුරු වූහ. 

පසුගිය දෙසතිය තුල බිංගිරිය, විලත්තව බෙන්ජි ඇඟලුම් කම්හලේ කම්කරුවන් 150 ක් පමන ආසාදනයට ලක් වී ඇති අතර සිය ගනනක් නිරෝධායනට යොමුකර ඇත.  දංකොටුව පම්බල සිම්ලයින් ඇඟලුම් කම්හලේ සේවකයන් තිදෙනෙක් ද, මාස් හෝල්ඩින්ග් සමාගමට අයත් බියගම ලීනියා ඉන්ටිමෝ කම්හලේ 100 ට අධික පිරිසක් ද අසාදනයට ලක් වී ඇති බව ඒවායෙහි සේවකයෝ කීහ. කලුතර දොඩම්ගොඩ ඇඟලුම් කම්හලක සේවකයන් 134 ක් ද පානදුර සහ පන්නිපිටිය පැලන් වත්ත යන ප්‍රදේශවල  ඇඟලුම් කම්හල් දෙකක සේවක පිරිසක් ද අසාදනය වී  ඇති බව වාර්තා වේ. 

කම්හල් හිමියන්, ආන්ඩුව සහ මාධ්‍ය තොරතුරු වසන් කරන තතු තුල කම්හල් තුල කම්කරුවන් අසාදනයට ලක්වීම පිලිබඳ තොරතුරු එලිදරව් කෙරෙන්නේ අතිශයින් ම සීමිත ලෙසය.

මාස් හෝල්ඩින්ග් සමාගමට අයත් කම්හලක්

වසංගතයේ ආරම්භයත් සමග ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව හාම්පුතුන් විසින් කම්කරුවන්ගේ වැටුප් හරි අඩකින් ද, අතිකාල සහ බෝනස් ඇතුලු සෙසු දීමනා ද කප්පාදු කෙරුනු අතර වැඩ වේගවත් කෙරුනි. 

කම්කරු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ලැබුන වාර්තාවලට අනුව කොරෝනා වසංගතය නිසා පුද්ගලික අංශයේ කම්කරුවන් 15,000 ට රැකියා අහිමි වී ඇතැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කල බව මැයි 4 ඩේලි මිරර් පත්‍රය ය වාර්තා කලේ ය. නිල සංඛ්‍යා ලේඛන එසේ වුව ද වසංගතය නිසා ලක්ෂ ගනනකට රැකියා අහිමි වී ඇත. සිල්වා ඒ හුස්මටම කියා ඇත්තේ, කම්කරු දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිව, වැටුප් කප්පාදු කිරීමට සහ “වන්දි ගෙවා” රැකියා අහෝසි කිරීමට හැකි බව යි.  

කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව පසුගිය වසරේ මැයි-ජුනි දෙමස තුල ඇඟලුම් කර්මාන්තයේ හාම්පුතුන්ගෙන් සියට  32 ක් තම සේවකයන් ට වැටුප් ගෙවා නැත. ක්ලීන් ක්ලෝත් වෙබ්අඩවියේ වාර්තාවකට අනුව එම වසරේ අප්‍රේල් සහ සහ මැයි මාසවල දී ශ්‍රී  ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ට තම වැටුපෙන් සියයට 40 ක් හෙවත් ඩොලර් මිලියන 24 ක් අහිමි වී ඇත. 

ආන්ඩුවේ ත්‍රෛ පාර්ශවීය කාර්ය සාධක බලකාය තුලට රිංගා ගෙන සිටින  නිදහස් වෙලඳ කලාප හා පොදුසේවක සංගමය, ලංකා වෙලඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය, ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු පුද්ගලික අංශයේ සියලු වෘත්තීය සමිති හාම්පුතුන්ගේ මෙම කප්පාදු පිලිවෙත්වලට සහයෝගය දෙති.  ඒවාට එරෙහිව කම්කරුවන්ගෙන් මතු වන විරෝධය සහ අරගල යටපත් කිරීම මෙම සමිතිවල භූමිකාවයි. 

කියවන්න: 

පිවිසෙන්න: ඇඟලුම් කම්කරුවන් සඳහා සසප පනිවිඩ මුහුනු පොතට

Loading