වසංගතය ව්‍යසනකාරීව දුෂ්පාලනය කිරීම වෙනුවෙන් වගකිවයුතු මෝදි ආන්ඩුවට ඉන්දීය වෛද්‍ය කාර්ය මන්ඩලය චෝදනා කරයි

[මෙහි පලවන්නේ Indian medical staff indict Modi government, authorities for catastrophic mishandling of pandemic  මාතෘකාවෙන් 2021 මැයි 08 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානය වන ඉන්දියාව, මරන හා ආසාදිතයින්ගේ සුනාමියකින් විනාශ වෙමින් පවතී. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෛනික වාර්තා අනුව, සිකුරාදා, රෝගීන්ගේ වාර්තාගත වැඩිවීම 414,188 ක් සහ මරන 3,915 කි. වසංගතය ආරම්භයේ සිට මේ දක්වා නිල වශයෙන් ලේඛනගත වී ඇති රෝගීන් මිලියන 21.49 ක් වන අතර මරන 234,083 කි. මෙම සංඛ්‍යා දෙකම විශාල අවගනනයන් බව පුලුල් ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය සතියේ ලොව පුරා වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් සියයට 45 කට වැඩි ප්‍රමානයක් සඳහා වගකියන ඉන්දියාව ලෝකයේ කොවිඩ්-19 කේන්ද්‍රස්ථානය ලෙස ඉස්මතු වීම, අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විසින් ක්‍රියාත්මක කරන ලද “ජීවිත වලට පෙර ලාභය” ප්‍රතිපත්තියේ සෘජු නිෂ්පාදනයක් වේ. මෙම ප්‍රතිපත්තියට කොංග්‍රස් පක්ෂය සහ අනෙකුත් විරුද්ධ පක්ෂ ඇතුලු රට පුරා ප්‍රාන්ත ආන්ඩු සහාය ලබා දී ඇත. වසංගත රෝග විද්‍යාඥයින්ගේ සහ වෙනත් වෛද්‍ය විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා, මෝදි ආන්ඩුව පසුගිය වසරේ නිසි ලෙස සූදානම් නොකල අගුලු දැමීමෙන් පසුව වෛරසය මැඩපැවැත්වීමේ කිසිදු උත්සාහයක් නොගන්නා ලදී.

කාලයක් තිස්සේ අඩු වූ කාර්යමන්ඩලයක් සහිත රෝහල්වල ඇඳන්, ඔක්සිජන් සහ රෙමෙඩිසිවර් වැනි කොවිඩ්-19 නාශක ඖෂධ නොමැති බැවින් ඉන්දියාවේ ජරා ජීර්න සෞඛ්‍ය සේවා පද්ධතිය දැන් බිඳ වැටෙමින් තිබේ. දිල්ලිය, මුම්බායි වැනි විශාල නගර තුල ඇතුලුව රට පුරා රෝහල් සහ මෘත ශරීරාගාර පිරී ඉතිරී ගොස් ඇත.

ඉන්දියාවේ සහ ලොව පුරා වසංගතයේ බර දරන්නේ සෞඛ්‍ය සේවකයින් ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ පසුගිය වසරේ සිට කොවිඩ්-19 වෛද්‍ය සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු  ඉන්දියාවේ වෛද්‍ය කාර්ය මන්ඩලය සමඟ කතා කලහ.

***

වෛද්‍ය ප්‍රභූ මනෝහරන්

33 හැවිරිදි වෛද්‍ය ප්‍රභූ මනෝහරන් විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් සහ ආන්ඩුවේ වෛද්‍යවරයෙකි.

ලෝසවෙඅ: නිල වාර්තාවලට අනුව, 2021 පෙබරවාරි වන විට කොවිඩ්-19 රෝගයෙන් ඉන්දියාවේ වෛද්‍යවරුන් 174 ක්, හෙදියන් 116 ක් සහ සෞඛ්‍ය සේවකයින් 199 ක් මියගොස් තිබේ. ඉදිරිපෙල කම්කරුවන් කෙරෙහි වසංගතයේ මෙම මාරාන්තික බලපෑම ඇති වී තිබෙන්නේ පාලක පන්තියේ සාපරාධී රංචු ප්‍රතිශක්ති ප්‍රතිපත්තිය නිසා ද?

වෛද්‍ය ප්‍රභූ මනෝහරන්: පලමුවෙන්ම, කෝවිඩ් වලට ගොදුරු වූවන්ගේ ආසාදන හා මරන යන දෙකම ඉන්දීය ආන්ඩුව සහ ධනවාදී මාධ්‍ය විසින් බෙහෙවින් අඩුවෙන් වාර්තා කර ඇති අතර එය ඔවුන් විසින් ගනු ලැබූ දැනුවත් තීරනයක්. ඉන්දියාව පුරා වෛද්‍යවරුන් 106 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ කල විට මෝදි ආන්ඩුව එය ප්‍රතික්ෂේප කලේ කිසිවෙකු මිය නොගිය බව පවසමින්. නමුත් ප්‍රමානවත් සාක්ෂි සහිතව මෙම ගැටලුව හෙලි වූ විට, වෛද්‍යවරුන් මියගොස් ඇති බව අවසානයේ පිලිගැනීමට සිදුවූවා.

ලෝසවෙඅ: එක්සත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ස්වාධීන ආයතනයක් වන මධ්‍යම වෛද්‍ය සේවා සංගමය ඔක්සිජන් හිඟය ගැන අනතුරු ඇඟවූ අතර ටෙන්ඩර් සඳහා මාර්ගගතව ලංසු තබමින් පීඩන දෝලන අධිශෝෂක (PSA) ඔක්සිජන් කම්හල් 162ක් පිහිටුවීමට ඉල්ලා සිටියේය. එහි පිරිවැය රුපියල් බිලියන 2.01 කි. නව ඔක්සිජන් බලාගාර බොහොමයක් අක්‍රිය බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තාවකින් තහවුරු කර තිබේ. “පීඑස්ඒ ඔක්සිජන් කම්හල් 162 න් 33 ක් ස්ථාපනය කර ඇතැ"යි එය පවසයි. 2021 අප්‍රේල් මස අවසානය වන විට 59 ක් ස්ථාපනය කිරීමට නියමිතව තිබුනි.

ඉන්දියාවේ දැඩි ඔක්සිජන් හිඟයක් සහ බොහෝ රෝගීන් මියයාමට හේතු වූ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ මෙම ප්‍රමාදයන් පිලිබඳව ඔබේ අදහස කුමක්ද?

වෛද්‍ය ප්‍රභූ මනෝහරන්: ඔක්සිජන් සිලින්ඩර වැඩියෙන් ම නිපදවන ස්ථානය ඉන්දියාවයි. ඔක්සිජන් හිඟය ඇති වී ඇත්තේ ආසාදන රේට්ටු විශාල ලෙස ඉහල යාම සහ මරන සංඛ්‍යාව කිහිප ගුනයකින් වේගයෙන් වැඩි වීම නිසයි. එහෙත් මෝදි ආන්ඩුව සිය සාපරාධී “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිය සහ “යලි සාමාන්‍ය තත්ත්වයට පත්වීම” පදනම් කරගෙන ආර්ථිකය යලි විවෘත කිරීම, ප්‍රාන්ත මැතිවරන පැවැත්වීම සහ කුම්භ මේලා (මිලියන සංඛ්‍යාත ජනකායක් එක්රැස් වූ හින්දු ආගමික උත්සවයක්) සඳහා ඉඩ දීම සිදුකරා.  ඒ් අතර දැනුවත්වම මරන හා ආසාදන අඩුවෙන් වාර්තා කලා. එබැවින් වෛද්‍ය විශේෂඥයින්ට පවා එවැනි හිඟයක් හා අර්බුදයක් ගැන අනාවැකි කීමට නොහැකි වුනා. මම පැහැදිලිවම කියන්නේ ඔක්සිජන් හිඟය නිසා සිදුවන මරනය කොරෝනා වෛරස මරනයක් නොව, මෝදි ආන්ඩුව සහ පාලක පන්තිය විසින් සිදුකරන සාපරාධී සමාජ ඝාතනයක් බවයි.

ලෝසවෙඅ: බටහිර ඉන්දියාවේ පූනේ හි කොවිඩ් රෝහලක් පවත්වාගෙන යන වෛද්‍ය සිද්ධේෂ්වර් ෂින්ඩේ පැවසුවේ “තත්වය කොතරම් නරකද කියනවා නම්, සමහර රෝගීන්ට දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලැබෙනතුරු හෘද ගිලන් රථයක් තුල පැය 12 ක් ප්‍රතිකාර කිරීමට සිදු වුනා." මෙම සෞඛ්‍ය ආරක්ෂන ව්‍යසනය පිලිබඳ ඔබේ අදහස කුමක්ද?

වෛද්‍ය ප්‍රභූ මනෝහරන්: පලමුව, මෙම වෛද්‍ය අර්බුදය ස්වාභාවික නොව, මිනිසා විසින් සාදන ලද්දක්. ආයතනික මාධ්‍ය මුලදී ව්‍යාජ ප්‍රචාරයක් කරමින් කියා සිටියේ ආසාදනය වන්නේ 50 ට වැඩි අය පමනක් බවයි. නමුත් මගේ සේවය තුල ප්‍රායෝගිකව, සතියක් තුල වයස අවුරුදු 40 ට අඩු මරන 18 ක් මා දුටුවා.

දැන්, මාධ්‍ය පවසන්නේ ද්විත්ව විකෘතිය (කොවිඩ්-19 ප්‍රභේදය) හේතුවෙන් මෙම ව්‍යසනය සිදුව ඇති බවයි. නමුත් ප්‍රතිදේහ මගින් පහර දෙන විට ප්‍රතිදේහජනක (වෛරසය) මිනිස් සිරුරට විනිවිද යාමට එහි ජානමය ස්වභාවය වෙනස් කරගන්නා බව විද්‍යාත්මකව අප තේරුම් ගත යුතුයි. ඒ නිසයි අපි එය “විකෘති ජානයක්” (strain mutant gene) ලෙස හඳුන්වන්නේ. සාර්ස්-කොරෝනා වෛරසය (SARS-coronavirus) ඉතා අස්ථායී වන අතර එහි ජානමය ස්වභාවය වෙනස් කරගන්නා බව කවුරුත් දන්නා කරුනකි. එබැවින් දෙවන රැල්ල සහ එහි මාරාන්තික බලපෑම ගැන අනාවැකි පල නොකලා නොවේ. ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛතාවය දුන් මෝදි ආන්ඩුව විසින් දැනුවත්වම එය ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන ලදී.

***

වෛද්‍ය අනු රත්නා

වෛද්‍ය අනු රත්නා තමිල්නාඩුවේ තිරුවල්ලූර් දිස්ත්‍රික්කයේ පොන්නරි තලූක් ආන්ඩුවේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය වේ.

ලෝසවෙඅ: මුම්බායි හි ලිලාවතී රෝහලේ ශ්වසන පද්ධතිය පිලිබඳ ප්‍රධාන වෛද්‍ය ජලීල් පාකර් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසීය: “අපි කඩා වැටී ඇත, මහාරාෂ්ට්‍ර ය  බිඳවැටෙමින් පවතින අතර අනෙකුත් රාජ්‍යයන් ද එය අනුගමනය කරනු ඇත. මෙය දෙවන ලෝක යුද්ධයට වඩා නරක ය.” ඔක්සිජන් සහිත සහ දැඩි සත්කාර ඒකක ඇඳන් ඇතුලු රෝහල් ඇඳන් හිඟය රට පුරා වාර්තා වී තිබියදී මෝදි ප්‍රකාශ කර ඇත්තේ වෛරසයෙන් නොව, “රට අගුලු දැමීමෙන් බේරා ගත යුතු” බවයි. මෙම තත්වය තුල, වසංගතය ඉදිරි පෙල සේවකයින්ට බලපාන්නේ කෙසේද යන්න ඔබට පැහැදිලි කල හැකිද?

වෛද්‍ය අනු රත්නා: ඔව්, ඉදිරිපෙල සේවකයින් යුදමය පදනමක් මත වැඩ කිරීමට තල්ලු කරනු ලැබ තියනවා. අධික වැඩ බර නිසා අපි මානසික ආතතියට හා මානසිකව වෙහෙසට පත්ව සිටිනවා. වෛද්‍ය සේවකයින් දිනකට පැය අටක වැඩ දිනයක් ඉල්ලා සිටින අතර එය තවමත් බොහෝ ස්ථානවල ලබා දී නැහැ. නමුත් වසංගත තත්වයකදී, ආතතිය අඩුකර ගැනීමට පමනක් නොව, ආසාදන වලක්වා ගැනීමටද වැඩ කාලය අඩු කල යුතුයි. මෙම සටනේදී බොහෝ ඉදිරි පෙල කම්කරුවන්ට ජීවිත අහිමි වී තියෙනවා. වසංගතය ජාත්‍යන්තර බවත් දෙවන රැල්ල සිදුවිය හැකි බවත් පාලක පන්තිය හොඳින් දැන සිටියත් මහා ව්‍යාපාරිකයන්ට පක්ෂව වැලැක්වීමේ පියවර දැනුවත්ව නොසලකා හැරියා.

ලෝසවෙඅ: ඉන්දියාව පිලිබඳ සමීපව හදාරමින් සිටින මිචිගන් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ බ්‍රාමර් මුකර්ජි “එය සම්පූර්නයෙන් ම දත්ත සංහාරයකි,”  යැයි පැවසුවේය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අප විසින් සිදු කරන ලද සියලුම ආකෘතිමය අධ්‍යයනයන්ගෙන් සැබෑ මරන සංඛ්‍යාව, වාර්තා වන ප්‍රමානය මෙන් දෙගුනයත් පස් ගුනයත් අතර වියහැකි බව අප විශ්වාස කරනවා.”

මරන වාර්තා අවගනනය වී ඇති බවට වන මෙම විවේචනය ගැන ඔබට අදහස් දැක්විය හැකිද?

වෛද්‍ය අනු රත්නා: මම ඒකට සම්පූර්නයෙන් ම එකඟයි. සමූහ ආදාහනය සහ කෝවිඩ් වලට ගොදුරු වූවන්ගේ සිරුරු එකට පුලුස්සා ඇති ආකාරය සමාජ මාධ්‍යවල වීඩියෝ පටවල අපට දැක ගත හැකියි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ ස්වාභාවික විපතක් සිදු වූ විටයි. එහෙත් මේ අවස්ථාවේ දී සමූහ ආදාහන සහ මල සිරුරු ගොඩ ගැසීමෙන් පැහැදිලි වන්නේ දෙවන රැල්ල විනාශකාරී හා අතිශය භයානක තැනකට පැමින ඇති බවයි.

ලෝසවෙඅ: වයස අවුරුදු 18 ට වැඩි සෑම ඉන්දියානු පුරවැසියෙකුම, එනම් මිලියන 900 ක ජනතාවකට හෙවත් රටේ ජනගහනයෙන් සියයට 65 ක් දක්වා එන්නත් කිරීම සඳහා වැය වන්නේ ඩොලර් බිලියන 6.4 ක් හෙවත් ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.32 ක් පමනි. නමුත් කොරෝනා වෛරස් එන්නත් සඳහා වන පිරිවැය තීරනය කිරීම සඳහා ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය දේශීය හා ජාත්‍යන්තර එන්නත් හා ඖෂධ සමාගම්වලට කොල එලියක් පෙන්වා තිබේ. මෙම එන්නත් පෞද්ගලීකරනය කිරීම පිලිබඳ ඔබේ අදහස කුමක්ද?

වෛද්‍ය අනු රත්නා: මෙය පැහැදිලිවම මෝදි ආන්ඩුවේ සංගත ගැති ප්‍රතිපත්ති හෙලි කරනවා. අප සිටින්නේ ඉතා විනාශකාරී තත්වයක යි. මෙම තත්වය තුල පුද්ගලික තරඟකරුවන්ට එන්නත් නිපදවීමට හා බෙදා හැරීමට ඉඩ දීම සැබවින්ම භයානක පියවරක්. දැනටමත් අපට ජීවිත මිලියන ගනනක් (ලොව පුරා) අහිමි වී තිබෙනවා. එබැවින් එන්නත් පමනක් නොව, කෝවිඩ් සමඟ සටන් කිරීමට අවශ්‍ය සියලුම ඖෂධ වහාම රාජ්‍ය අංශයේ පාලනය යටතට පත් කල යුතු අතර නොමිලේ එන්නත ලබා දිය යුතුයි. කෝවිඩ් ප්‍රතිකාර සඳහා සම්බන්ධ සියලුම පෞද්ගලික රෝහල් සහ ඖෂධ සමාගම් මහජන පාලනයට යටත් කල යුතුය. මිනිසුන්ට නිසි සමාජ සත්කාර සමග අගුලු දැමීම වහාම ක්‍රියාත්මක කල යුතුයි.

***

රක්ෂිතා

රක්ෂිතා යනු තමිල්නාඩුවේ චෙංගල්පට්ටු වෛද්‍ය විද්‍යාල රෝහලේ කොවිඩ්-19 හෙදියකි.

ලෝසවෙඅ: ඔක්ස්ෆෑම් අධ්‍යයනයකට අනුව, ඉන්දියාවේ බිලියනපතියන්ගෙන් 100 කට වැඩි පිරිස 2020 මාර්තු සිට 2021 ජනවාරි දක්වා ඔවුන්ගේ ධනය රුපියල් ට්‍රිලියන 13 කින් (ඇමරිකානු ඩොලර් බිලියන 174 කින්) වැඩි කරගෙන ඇත. මේ අතර, ඉන්දියාවේ වර්තමාන සෞඛ්‍ය සේවා වියදම්, ලෝකයේ පහත්ම අගයන් අතරය, එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමන වේ. වසංගතය උත්සන්න වී ඇති හෙයින්, සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් වැඩි දියුනු කිරීමට හෝ එන්නත් නිෂ්පාදනය කඩිනම් කිරීමට ආන්ඩුවේ අතිරේක අයවැය ප්‍රකාශයට පත් කර නැත. මීට හාත්පසින්ම වෙනස්ව, පෙබරවාරි 1 වන දින ප්‍රකාශයට පත් කරන ලද 2021-22 අයවැයෙන් ආයුධ සම්පාදනය සඳහා අතිරේක ඩොලර් බිලියන 18.5 ක් වෙන් කිරීම ඇතුලුව ආරක්ෂක කටයුතු සඳහා අත දිගහැර වියදම් කරනු ලැබේ. වසංගතයේ මාරාන්තික බලපෑම ද සෞඛ්‍ය සේවා පුද්ගලීකරනය සහ ඉන්දීය ආන්ඩුවේ නව ලිබරල් ප්‍රතිපත්තිය ද අතර සම්බන්ධතාවය ඔබ දකින්නේ කෙසේද?

රක්ෂිතා: නොයෙක් නොයෙක් මිල ගනන් ලබා දීමෙන් සහ පෞද්ගලික ඖෂධ සමාගම්වලට ඉඩදීමෙන් මෝදි ආන්ඩුව අලෙවි කලමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් මෙම වසංගතය ව්‍යාපාරයක් ලෙස තම ලාභය පොහොසත් කර ගැනීමට ව්‍යාපාරවලට උපකාරී වනවා. ඊට පටහැනිව, ඉදිරි පෙල සේවකයින් සඳහා නිසි ආරක්ෂක පියවර ගෙන නැහැ. බොහෝ ඉදිරි පෙල හෙදියන් ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ජීවිත අහිමි වෙලා, නමුත් සැබෑ ගනනයන් මහජනයාගෙන් සඟවලා.

ජීවිත අහිමි වූ ඉදිරි පෙල කම්කරුවන්ගේ පවුල්වලට රුපියල් 200,000 ක් ලබා දෙන බවට මෝදි ආන්ඩුව බොරු ප්‍රචාරයක් කලා. එහෙත් එවැනි මුදලක් කිසි විටෙකත් ලබා දී නැහැ. “යලි සමාන්‍ය තත්ත්වයට පත්වීම” යන නාමයෙන් එය ආර්ථිකය නැවත විවෘත කල අතර ඉදිරි පෙල කෝවිඩ් රාජකාරියේ යෙදී සිටි කොන්ත්‍රාත් සේවකයින් ඉවත් කලා. දැන් දෙවන රැල්ල තුල ඉන්දියානු සෞඛ්‍ය සේවයේ සැබෑ තත්වය හෙලිදරව් වෙමින් තිබෙනවා.

ලෝසවෙඅ: ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවීම සඳහා ලෝසවෙඅ සහ හජාජාක කැඳවුම්කර ඇති අතර ඉල්ලීම් ගනනාවක් ඉදිරිපත් කර තිබේ. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සියල්ලම වසා දමන අතර ආදායම අහිමි වූ සේවකයින්ට වන්දි ලබාදීම, සෞඛ්‍ය ආරක්ෂනය ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා යුතු අතර කම්කරුවන් වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා පුලුල් ආරක්ෂක පියවරයන් සහ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුනු කිරීම සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් වෙන් කිරීම ඊට අයත්ය. මෙම ඉල්ලීම් ධනේශ්වර පාලනයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීමේ අරගලයේ කොටසකි.

රක්ෂිතා: ඔබේ ඉල්ලීම්වලට මම සම්පූර්නයෙන්ම එකඟයි. මිනිසුන් ඝාතනය කරන ඉන්දීය හමුදා සෙබලුන් ආන්ඩු විසින් වීරයින් ලෙස ගෞරවයට පාත්‍ර කරන අතර විශාල වන්දි මුදලක් ලබා දේ. එහෙත් ඉදිරි පෙල කම්කරුවන් ජනතාව බේරා ගැනීම සඳහා සිය ජීවිත පරිත්‍යාග කරන විට ඔවුන්ට නිසි ආරක්ෂක පියවර සහ උපකරන ලබා දිය යුතුයි.

කෝවිඩ් සමඟ සටන් කිරීමට සම්බන්ධ සියලු ඉදිරි පෙල සේවකයින් ස්ථීර කාර්ය මන්ඩලයක් බවට පත් කල යුතු බවත් සෞඛ්‍ය අංශය වහාම මහජන අයිතියට යටත් කල යුතු බවත් යන ඉල්ලීම් සමග ඔබගේ ජාත්‍යන්තර මැයි දින රැලියට මම සහභාගී වෙනවා.

Loading