ඉතිහාසයේ මෙම සතිය: මැයි 3-9

වසර 100කට පෙර: යුද වන්දි ඉල්ලා මිත්‍ර පාක්ෂිකයින් විසින් ජර්මනියට අවසාන නිවේදනය නිකුත් කරයි

1921 මැයි 5 වන දින, මිත්‍ර පාක්ෂිකයින්ගේ උත්තරීතර මන්ඩලය විසින්, යුද වන්දි මුදල් ආපසු ගෙවීම සඳහා වූ අවසන් නිවේදනය ජර්මානු රජය වෙත ඉදිරිපත් කලේය. මෙම ලියවිල්ලට බ්‍රිතාන්‍ය, බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය සහ ජපානය යන රටවල ඉහල නිලධාරීන් අත්සන් කල අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් (David Lloyd George) විසින් එරට ජර්මානු තානාපති ෆ්‍රෙඩ්‍රික් ස්ටාමර් (Friedrich Sthamer) වෙත පෞද්ගලිකව භාර දෙන ලදී.

ලොයිඩ් ජෝර්ජ්

1919 දී අත්සන් කල වර්සායි ගිවිසුම (Treaty of Versailles) මගින් පනවා තිබූ යුද වන්දි ගෙවීමේ නියෝගය ජර්මනිය විසින් පැහැර හැර තිබූ අතර එහෙයින් “ලන්ඩන් අවසන් නිවේදනය” (The London Ultimatum) ලෙස ප්‍රකට වූ මෙම අවසන් නිවේදනය නිකුත් කිරීමට කටයුතු යෙදිනි. ඒ ඔස්සේ මාක් බිලියන 135 ක් මිත්‍ර පාක්ෂිකයින් විසින් ජර්මනියෙන් ඉල්ලා සිටියහ.

ගිවිසුමේ කොන්දේසි වලට ජර්මානු අධිරාජ්‍යවාදීන් දැක්වූ ප්‍රතිරෝධය 1921 වන විට අර්බුදකාරී තත්වයකට පත්ව තිබිනි. ඒ වන විට රට තුල කම්කරු පන්තිය සහ අන්ත දක්ෂිනාංශික මිලීෂියාවන් අතර සිවිල් යුද්ධයක් වර්ධනය වෙමින් පැවති අතර ගිවිසුමේ කොන්දේසි වලට යටත් වීම අභ්‍යන්තර දේශපාලන ගිනි ජාලාවක් ඇති කරවන්නක් විය හැකිව තිබිනි.

මිත්‍ර පාක්ෂිකයින්ගේ අවසන් නිවේදනයෙන් ඉල්ලා සිටියේ මැයි 12 වන විට ජර්මනිය එම නියමයන්ට එකඟ විය යුතු බවත් එසේ නොවුනොත් කාර්මික ප්‍රදේශයක් වූ රුහර් නිම්නය (Ruhr Valley) ආක්‍රමනය කරන බවත් ය. එම කොන්දේසිවලට එකඟ විය නොහැකි බව පවසා කතෝලික මධ්‍ය පක්ෂය (Catholic Centre Party) නායකත්වය දුන් කොන්ස්ටන්ටින් ෆෙහෙන්බැක්ගේ (Constantin Fehrenbach) රජය ඉල්ලා අස් විය.

එම අවසාන ආක්‍රමනයට පෙර සිට ම ප්‍රංශය එවැනි ආක්‍රමනයකට සූදානම් වීමක් ලෙස ජර්මානු නගරයක් වන ඩසල්ඩෝෆ් (Duesseldorf) වෙත හමුදාව ඒකරාශී කිරීම අරඹා තිබිනි. ප්‍රංශ හමුදාව මැයි 15 වන විට ඊසෙන් (Essen) දෙසට ඇතුල් වී මුලු රූහර් (Ruhr) කලාපය වට කිරීමේ සැලසුමක් නිවේදනය කලේය.

ජර්මනිය වෙත රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි බලපෑම් දැමීම සඳහා සහභාගී වන ලෙස මැයි 4 වන දින යුරෝපීය පාක්ෂිකයන් විසින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට ආරාධනා කර තිබුනි. එක්සත් ජනපදය ජාතීන්ගේ සංගමයට බැඳී නොතිබූ අතර වර්සායි ගිවිසුමට ද අත්සන් තබා නො තිබිනි. ඒ වෙනුවට ඔවුන් ජර්මනිය සමඟ තමන්ගේම ගිවිසුමක් ඇති කර ගෙන තිබුනි. එවකට පැවති මාධ්‍ය වාර්තාවලට අනුව මිත්‍ර පාක්ෂිකයින් වොෂින්ටනය අමනාප නොකොට තබා ගැනීමට උනන්දු වූහ.

එක්සත් ජනපදය මිත්‍ර පාක්ෂිකයින්ගේ ආරාධනය පිලිගත් අතර මැයි 6 වන විට ජර්මානු යුද වන්දි ගෙවීම සහතික කර ගැනීම වෙනුවෙන් මිත්‍ර සංවිධාන කිහිපයකට සහභාගී වන බවට විධිමත් නිවේදනයක් නිකුත් කොට තිබුනි.

මැයි 10 වන විට ජර්මානු පාර්ලිමේන්තුව (German Reichstag) තුල ඡන්ද 221කට ඡන්ද 175ක් ලෙස, මිත්‍ර පාක්ෂිකයින්ගේ අවසාන නිවේදනය පිලිගැනීමටත්, කතෝලික මධ්‍ය පක්ෂයේ දේශපාලනඥයකු වන ජෝසෆ් වර්ත් (Joseph Wirth) යටතේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරී සහයෝගය ඇතිව, නව රජයක් පිහිටුවීමටත් කටයුතු කලහ.

Loading