කම්කරු ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමේ කැඳවුමට එක්වෙමු!

කම්කරුවන්ගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සංවිධානය කල ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේදී ඉදිරිපත් කල "කම්කරු ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර සන්ධානයක්" සඳහා කැඳවුමට එක් වන ලෙස සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුලු සියලු ක්ෂේත්‍රවල කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. 

කෝවිඩ්-19 වසංගතය ඇරඹී වසර එකහමාරකට ආසන්න කලක් ගත ව ඇත. රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොවපුරා ආන්ඩු ආරම්භයේ සිටම අනුගමනය කලේ, වසංගතයෙන් ඇතිවන ව්‍යසනය අවම කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් නිර්දේශ කල සියලු පියවර ප්‍රතික්ෂේප කිරීමේ සාපරාධී පිලිවෙතකි.

ආසාදිතයන් හඳුනා ගැනෙන දෛනික පීසීආර් පරීක්ෂන දැවැන්ත පරිමානව වැඩි කරමින් රෝගයේ ව්‍යාප්තිය පිලිබඳ යතා චිත්‍රයක් නිර්මානය කර ගැනීමත්, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන වසා දැමීමත් මෙහිදී අනිවාර්ය බව විශේෂඥයෝ පෙන්වා දුන්හ. ඒ සමගම මානව සහ භෞතික සම්පත් යහමින් සම්පාදනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව වහා ඉහල දැමීමේ අවශ්‍යතාව අවධාරනය කෙරුනි.

ඉහත නිර්දේශ සියල්ල ඉවත දැමූ ලොවපුරා ආන්ඩු, ධනපති ක්‍රමයෙන් නිර්නිත, "මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ" සාපරාධී පිලිවෙත නග්නවම ක්‍රියාවට දැමූහ. ධනපති ලාභෝත්පාදනය අබාධිතව ඉදිරියට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවා ඇතුලු සමස්ත ආර්ථිකය විවෘතව තැබූ පාලකයෝ, මිලියන සංඛ්‍යාත කම්කරුවන් වසංගතයට ගොදුරුවන බව දැනදැනම ඔවුන් වැඩට දැක්කූහ. දරුවන් නිවෙස්වල රැඳී සිටීමෙන් දෙමාපියන් වැඩට යාම සීමා කෙරෙන බැවින් පාසල් විවෘත කොට එහි දරුවන් ගාල් කෙරුනි.

එහි ප්‍රතිඵලය වුයේ දැවැන්ත මානව ව්‍යසනයකි. අදවන විට ලෝක ජනගහනයෙන් මිලියන 168.5 ක් වසංගතයට ගොදුරුවී ඇති අතර, ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 3.5 කි. ලංකාවේ එම සංඛ්‍යාවන් පිලිවෙලින් 168,980 සහ 1,269 ක් වෙයි.

පසුගිය දශක කීපය පුරා ධනපති ආන්ඩු ක්‍රියාත්මක කල දැවැන්ත කප්පාදු හේතුවෙන් ගරා වැටී ඇති සෞඛ්‍ය පද්ධතීන් වල‌ට මෙම සංඛ්‍යාවන් කිසිසේත්ම දරාගත නොහැකි වී ඇති අතර, එහි ප්‍රතිඵලය ලොවපුරා සෞඛ්‍ය සේවකයන් ඉමහත් ව්‍යසනයකට ඇද වැටීමයි.

පසුගිය වසරේ ජූලි මස ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් නිකුත් කල වාර්තාවකට අනුව, රටවල් 63ක නියමිත සෞඛ්‍ය ආරක්ෂක උපකරන (පීපීඊ) නො පැවතිනි. මෙම වසරේ මාර්තුවේදී නිකුත් කල වාර්තාවකට අනුව ධනවත් රටවල් එන්නත් ගොඩ ගසාගෙන “එන්නත් ජාතිකවාදයට” යොමුවී ඇති පසුබිමක ලොව රටවල් 100ක සෞඛ්‍ය සේවකයන්ට තවම කිසිම එන්නතක් ලැබී නොමැත. ලංකාවට ලැබී ඇති සීමිත එන්නත් ප්‍රමානය පවා ලබා දීමෙිදී, ආන්ඩුව අනුගමනය කරන්නේ කම්කරුවන් එකිනෙකා භේද කරන උපාය මාර්ගයකි.

දැනට ලොව පුරා වසංගතයෙන් මිය ගොස් ඇති සෞඛ්‍ය සේවකයන් පිලිබඳ පිලිගත හැකි සංඛ්‍යාලේඛන නොමැති අතර එය දස දහස් ගනනක් වන බව පැහැදිලිය. සංඛ්‍යාලේඛන යට ගැසීම ඒ් ඒ් රටවල ආන්ඩු විසින් කම්කරු පන්තිය අඳුරේ තැබීම සඳහා හිතා මතා සිදු කරන ක්‍රියාවකි. සෞඛ්‍ය කම්කරුවන්ට මාධ්‍යයන්ට කතා කිරීම තහනම් කිරීමේ නියෝග පනවා ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව යට ගසන සත්‍ය තත්වය ලංකාවේ හා ලෝකයේ වැඩ කරන ජනයාගේ අවධානයට යොමුවීම වැලැක්වීමටයි.

ඉන්දියාවේ පමනක් වසංගතයෙන් 1150 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මියගොස් ඇති බව ඉන්දියානු වෛද්‍ය සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවකයින් 300 කට අධික සංඛ්‍යාවකට මේ වන විටත් රෝගය වැලඳී ඇතැයි ගනන් බැලෙන අතර ගැබිනි හෙදියක් ඇතුලුව සෞඛ්‍ය සේවකයින් අතර මරන පහක් වාර්තා වී තිබේ.

වසංගතයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇති ඉන්දියාවේ ලක්ෂ තුනකට වඩා මිය ගොස් ඇති අතර ගරා වැටී ඇති සෞඛ්‍ය සේවා පද්ධති රෝගීන්ගෙන් හා මල සිරුරු වලින් පිරීතිරී යමින් තිබේ. එරට කනිෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක් පමන ආසාදිත වන අතර ඔවුහු අනාරක්ෂිත තත්වයන්ට එරෙහිව සටන් වැද සිටිති. වසංගතයේ අනාරක්ෂිත බවට එරෙහිව, බිහාර ප්‍රාන්තයේ 27,000ක කම්කරුවන් ගෙනගිය වැඩ වර්ජනය කැඩීමට අධිකරන තීන්දුවක් දී ඇත. පන්ජාබයේ දී, තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් සිදුකල සතියක වැඩ වර්ජනයකට ආන්ඩුව ප්‍රතිචාර දක්වා ඇත්තේ කම්කරුවන් 1400 ක් දොට්ට දමමිනි. ගුජරාටයේද වෛද්‍ය විද්‍යාලවල ආචාර්යවරු සහ කනිෂ්ඨ වෛද්‍යවරු සටන් වැද සිටිති.

රෝගීන් අනතුරට පත්වන අයුරින් කාර්ය මන්ඩල සාමාජික සංඛ්‍යා පහත හෙලීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපකරන (පීපීඊ) හිඟයට එරෙහිව ඒක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි සාන්ත වින්සන්ට් රෝහලේ හෙදියන් 700 ක් ගෙනයන වැඩ වර්ජනය මාස තුනකට ලඟා වී තිබේ. රෝහලේ පුද්ගලික හිමිකරුවන් හෙදියන් රැකියාවෙන් පහ කරන බවට තර්ජනය කරයි.

ඊශ්‍රායලයේ, සෞඛ්‍ය වියදම් කැපීමට හා දොට්ට දැමීම්වලට එරෙහිව වෛද්‍යවරු සටනට පිවිසි අතර නවසීලන්ත හෙදියන් සහ සෞඛ්‍ය සහායකයින් 30,000ක් තමන් මුහුන දී සිටින අනාරක්ෂිත තත්වයන්ට ඒරෙහිව වැඩ වර්ජනය කිරීමට ඡන්දය දුන්හ.

ලංකාවේ ආන්ඩුව නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයක් මගින්, වසංගතය ආසාදනය වන්නේ ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා යැයි සෞඛ්‍ය කම්කරුවන්ට චෝදනා කරයි. ආන්ඩුවේ මෙම නරුම චෝදනාවට විපරීතව, කම්කරුවන් ආසාදනය වීමට සැබෑ හේතුව වන්නේ, ප්‍රමානවත් හා නිසි පීපීඊ ආන්ඩුව විසින් සම්පාදනය නොකිරීම සහ රෝහල් පද්ධතියට දරා ගත නොහැකි ලෙස කෝවිඩ් රෝගීන් ඉහල යාමයි. සේවකයන් මුහුනදෙන පීඩනය මෙසේ ඉහල යන තතු තුල ආන්ඩුවෙන් නිර්දේශිත නිවාඩු පවා කපා හැර තිබේ.

කොලඹ ජාතික රෝහල ඇතුලු ලංකාවේ ප්‍රධාන රෝහල් ගනනාවක, මෙම අනාරක්ෂිතභාවයට හා දීමනා ඉහල නොදැමීමට එරෙහිව උද්ඝෝෂන හා වැඩ නැවැත්වීම් ගනනාවක් පැන නැගුනු අතර වෘත්තීය සමිති එම අරගල දියකර හැරීම සඳහා හැකි සෑම දෙයක්ම කලහ. ලොව පුරා වෘත්තීය සමිති යෙදී සිටින්නේ මෙම ප්‍රතිගාමී භූමිකාවෙහි ය.

"කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක්" සඳහා වන කැඳවුමෙහි අරමුන වන්නේ සියලු රටවල කම්කරුවන්, ජාතිකවාදී, ධනේශ්වර ගැති, ප්‍රජාතන්ත්‍ර විරෝධී වෘත්තීය සමිති වලින් නිදහස් කර ගනිමින් අව්‍යාජ කම්කරු පන්ති ව්‍යාපාරයක් ගෝලීය පරිමානව වර්ධනය කිරීමයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍ර වලද කම්කරු සටන් සංවිධානය කිරීමට ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කිරීම තීරනාත්මකය. එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ කම්කරුවන් අතර දැනටමත් පිහිටුවා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටු සෞකක්‍රික විසින් උනුසුම් සහෝදරත්වයෙන් යුතුව පිලිගනී.

ලන්ඩනයේ පමනක් බස් සේවකයින් 60 කට වැඩි පිරිසක් වසංගතයෙන් ජීවිතක්ෂයට පත් කර ඇති පසුබිමක සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ ප්‍රවාහන කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මූලිකත්වය ගත් ලන්ඩන් බස් රථ රියදුරු ඩේවිඩ් ඕ සලිවන් සේවයෙන් නෙරපා හැරීමට එරෙහිව ලන්ඩන් බස් සේවයේ ක්‍රියාකාරී කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය (බ්‍රිතාන්‍ය) විසින් දියත් කර ඇති අරගලයට සෞකක්‍රික පූර්න සහාය ප්‍රකාශ කරයි.

භෞමික දේශසීමා හරහා කම්කරු පන්තියේ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් ලෙස සෞකක්‍රික සලකන අතර ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශක්තිය මුදා හැරීම සඳහා මෙම උද්ඝෝෂන වටා රැලි වන ලෙස ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මැයි දින ප්‍රකාශයේ සඳහන් පරිදි,

“ගෝලීය වසංගතයට, එමෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට, සූරා කෑමට සහ ආඥාදායකත්වයට එරෙහි සටන යනු සමස්ත ධනපති සමාජ සහ ආර්ථික පර්යායයට එරෙහි සටනකි. සියලු රටවල කම්කරුවන් බලය තමන් අතට ගැනීමටත්, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අරමුනින්, තාර්කික, විද්‍යාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කෙරුනු නිෂ්පාදන ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් පොදු දේශපාලන ප්‍රහාරයකට ඒකාබද්ධ විය යුතු ව ඇත.”

කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවීම ආරම්භ කිරීමට ඉදිරිපත් වන ලෙස සෑම වැඩපලකම සිටින කම්කරුවන්ගෙන් සෞකක්‍රික ඉල්ලා සිටී.

Loading