ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතය: සමාජ අපරාධයක් තුලට විනිවිදීමක්

[මෙහි පලවන්නේ 2021 මැයි 26, දින India’s COVID-19 pandemic: anatomy of a social crime  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ  ලිපියේ පරිවර්තනයයි.]

සති දෙකක් තුල ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදන හා ක්‍රියාකාරී ආසාදනවල නිල සමස්ත සංඛ්‍යා තරමක් හොඳ අතට හැරෙද්දී, නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන රටේ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුව, වසංගතය “පහතට නඹුරුවී” ඇතැයි උදම් ඇනීමට පටන්ගෙන තිබේ. දිල්ලියේ ප්‍රාන්ත ආන්ඩුව ඇතුලු විපක්ෂය නායකත්වය දෙන සමහර ප්‍රාන්ත ආන්ඩු, ඒවායේ සීමිත අගුලු දැමීමේ පියවරයන් ලිහිල් කිරීමේ සැලසුම් නිවේදනය කර ඇත.

 කොයි හැටියකින් ගත්ත ද ඉන්දියාව සිටින්නේ, සමාජ ව්‍යසනයක් මධ්‍යයේ ය. අප්‍රේල් 1දා පටන් ගෙවුනු සති අට තුල, සමස්ත ආසාදන සංඛ්‍යාව මිලියන 12.1 සිට 26.9 දක්වා දෙගුනයටත් වැඩියෙන් ඉහල ගොස් ඇති අතර, ඊයේ උදෑසන වන විට මරන සංඛ්‍යාව සියයට 89න් 307,231ක් දක්වා නැඟුනි. ගෙවී ගිය සතිය තුල පමනක්, අතිරේක කොවිඩ්-19 ආසාදන මිලියන 1.73ක් සහ මරන 28,512ක් හෙවත් දිනකට 4,000ට වැඩි සංඛ්‍යාවක්, ඉන්දියාව විසින් වාර්තා කර ඇත.

ශ්‍රී නගර්හි ආදාහනාගාරයක් අසල කොවිඩ්-19 රෝගයෙන් මිය ගිය පුද්ගලයෙකුගේ දැවෙන චිතකය අසල යාඥා කරන පවුලේ සාමාජිකයන්, මැයි 25, 2021. (ඒපී / දාර් යාසින්)

 

මෝදි, භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුවේ ඔහුගේ ගැත්තන් හා ඔවුන්ගේ ක්ෂමාලාපකයන් හැරුනු විට අන් සියලු දෙනා, අතිශය ඛේදජනක වන මෙම සංඛ්‍යා ලේඛන දල අව ගනනයක් ලෙස පිලිගනිති. පරීක්ෂන සීමිත වන සහ සෞඛ්‍යාරක්ෂන පහසුකම් ගරා වැටී ඇති හෝ කොහෙත්ම නො පවතින ග්‍රාමීය ඉන්දියාව පුරා, වසංගතය නැඟෙමින් ඇත.

සති ගනනාවක් තිස්සේ, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ආදාහනාගාර හා භූමිදාන පිටි, මිය ගියවුන්ගෙන් පිරී ගොස් තිබෙන අතර, රාත්‍රිය පුරා ද ඒ් වැඩවල යෙදීමට කම්කරුවන්ට බල කෙරේ. මෝදිගේ මව් ප්‍රාන්තය වන ගුජරාටයේ, සමහර ආදාහනාගාර ඌෂ්මකයන් තුල තාපය කොතරම් තීව්‍ර වී ද යත්, ඒවා උනු වීමට පටන් ගෙන ඇත. මේ මාසය මුල දී, මල සිරුරු දුසිම් ගනනක් ගංගානම් ඟගේ පාවී යනු දක්නට ලැබුනු අතර, ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා උපුටා දක්වන නිව්ස්ක්ලික් වෙබ් අඩවියට අනුව, ඉන්දියාවේ ජනගහනය වැඩි ම ප්‍රාන්තය වන, උත්තර් ප්‍රදේශ්හි දිස්ත්‍රික්ක කිහිපයක ඉවුරුවල, “අත්හැර දමන ලද හෝ කඩිමුඩියේ වල දමන ලද” තවත් සිරුරු 2,000ක් පමන සොයා ගන්නා ලදී.

මාර්තු අග හා අප්‍රේල් මාසයේ වසංගතයෙහි “දෙවන රැල්ල” නැඟෙද්දී බලධාරීන්ගේ සංඛ්‍යා ලේඛනවල පෙන්නුම් කලාට වඩා පස් ගුනයක සිට දහ ගුනයක් දක්වා  මල සිරුරු, කොවිඩ්-19 පිලිවෙත් යටතේ ආදාහනාගාර සහ භූමිදාන පිටිවලට ගෙනගොස් ඇති බව, බොහෝ නගර හා ප්‍රාන්ත පිලිබඳ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත.මෙය සමස්ත ඉන්දියාවටම යොදා ගතහොත් එහි අර්ථය, කොවිඩ්-19 හේතුවෙන් දිනපතා දසදහස් ගනනක් මිය යන බව යි.

දිගහැරෙමින් පවතින ඛේදවාචකයේ මුලු පරිමානය නො දන්නා නමුත්, විශේෂඥයන්ගේ තක්සේරු කිරීම් තුල එහි පරාසය පෙන්නුම් කරනු ලැබේ. ඉන්දියාවේ නිල මරන සංඛ්‍යාව 250,000ට අඩුවෙන් වාර්තා වුන මේ මස මුල වන විටත් කොවිඩ්-19 රෝගය එම සංඛ්‍යාව මෙන් තුන් ගුනයක් හෙවත් පුද්ගලයන් 736,000ක් මරා දමා තිබුනු බව, සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය කියා සිටියේ ය. ලොව පුරා විශේෂඥයන් දුසිමකට අධික පිරිසකගේ “අදහස් විමසමින්,” ඉන්දියාවේ කොවිඩ් මරන පිලිබඳ තක්සේරු  තුනක්, නිව් යෝක් ටයිම්ස් පත්රය ඊයේ පල කලේ ය. මෙම ගනන් බැලීම් මරන සංඛ්‍යාව නිල ගනන මෙන් දෙගුනයක්  වන 600,000 ක  "තත්වාරක්ෂක" තක්සේරුවක සිට, නරකම තත්වයේදී සත්‍ය සංඛ්‍යාව මිලියන 4ක් වේ යයි තක්සේරු කිරීම දක්වා වන පරතරයක පවතී. ටයිම්ස් ලිපියට අනුව "වඩාත් සක්‍ය තත්වය" නම් වසංගතය ඇඟ කිලිපොලා යන මිලියන 1.6ක් තරම් වන "තක්සේරු කලහැකි මරන සංඛ්‍යාවකට"   හේතුවී තිබෙන බවයි. 

සමාජීය මිනීමැරුම් සඳහා ඉන්දීය ආන්ඩුවේ සාපරාධිත්වය

මෙය මිනිසා විසින් නිර්මිත ව්‍යසනයක් බව අවධාරනය කල යුතු ය. මූලික මහජන සෞඛ්‍ය නියාමයන්ට ද එක් රැයකින් ජීවිකාවන් අහිමි වුනු කෝටි සංඛ්‍යා ත පිරිසකට සමාජීය ආධාර සම්පාදනය කරමින් ක්‍රියාත්මක නොකිරීම නිසා ද වෛරසය පැතිර යාම නැවැත්වීමට අසමත් වූ හා නිසි සූදානමක් නොමැති වූ ව්‍යසනකාරී සති හයක අගුලු දැමීමක්, බීජේපී ආන්ඩුව විසින් 2020 මාර්තු අග දී පැනවී ය. එතැන් පටන්, ඉන්දියාවේ බිලියනපතියන්ගේ හා ව්‍යාපාරවල තල්ලුව සහ විරුද්ධ පක්ෂවල දුස්සහාය සමගින්, වසංගතය සමග සටන් වැදීම හා ජීවිත ආරක්ෂා කිරීමට ඉහලින්, “ආර්ථිකය” විවෘත කර තැබීමට හා ධනපති ප්‍රභූවේ ලාභ හා ධනය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙන “රංචු ප්‍රතිශක්ති” පිලිවෙතක්, මෝදි විසින් නිර්දය ලෙස ක්‍රියාවට දමා ඇත. 

පසුගිය ගිම්හානයේ ආසාදන හා මරනවල දීර්ඝ රැල්ලක් ජනනය කල මෙය, පෙබරවාරි මැද ආරම්භ වී, ගිම්හාන අවධියේ ද ඉන් ඔබ්බට ද පැතිර යාමට තර්ජනය කරන, නව ප්‍රභේදයන් විසින් අවුලුවන ලද විනාශකාරී දෙවන රැල්ලකට හේතු විය.

මේ දක්වා ග්‍රහලෝකයේ කිසි තැනක නොදැකි කොවිඩ්-19 ආසාදනවල වේගවත් ම නැග්ම මධ්‍යයේ, අප්‍රේල් 20දා ජාතිය අමතා කතා කල මෝදි, ඔහුගේ ආන්ඩුව, වෛරසයෙන් මහජනයා ආරක්ෂා කරගැනීමට වඩා, “ අගුලු දැමීමෙන් ඉන්දියාව ආරක්ෂා කරගැනීමට” අධිෂ්ටානවත් බව ප්‍රකාශ කලේ ය. ඉන්දියාවේ දෙවන රැල්ල, “ආයෝජක-ගැති” පිලිවෙත් මාලාවක් ක්‍රියාවට දැමීම ප්‍රමාද නො කරනු ඇති බව මෝදි හා මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහ ව්‍යාපාරිකයට යලි තහවුරු කිරීම සමග, ධනපති ලාභය ආරක්ෂා කරමින් මහා පරිමාන මරනවලට ඉඩදීම දෙගුන කරන මෙම පිලිවෙත, අත්වැල් බැඳ ගත්තේ ය. රාජ්‍ය අංශ ව්‍යවසායයන් යෝධ පරිමානයෙන් විකුනා දැමීම, අනිශ්චිත කොන්ත්‍රාත්-ශ්‍රම රැකියා වැඩිදුර දිරිමත් කිරීම හා බොහෝ කම්කරු ක්‍රියා නීති-විරෝධී කරමින් කම්කරු නීති සංග්‍රහයට කරන සංශෝධනයන් මේවාට ඇතුලත් වේ. 

කොවිඩ්-19 රෝගීන්ගේ තෙරපීම හේතුවෙන් සෞඛ්‍යා රක්ෂන පද්ධති බිඳවැටීමට මුහුන දෙන සමහර ප්‍රාන්ත ආන්ඩු, මෝදි විසින් ප්‍රකාශිත “සීමා පැනවීමේ ඉතා කුඩා ” පිලිවෙතින් ඔබ්බට ගොස්, ප්‍රාන්ත පුරා අර්ධ-අගුලු දැමීම් පනවා ඇත. එහෙත් කර්මාන්ත, ඉදිකිරීම්, භාන්ඩ ප්‍රවාහන හා අනෙකුත් කම්කරුවන්ට අනාරක්ෂිත කොන්දේසි යටතේ දිගට ම වැඩ කිරීමට බල කරමින්, ඔවුන් මහ ව්‍යාපාරිකයට සුවිශාල නිත්‍ය ව්‍යතිරේකයන් තහවුරු කර දී ඇත.  අගුලු දැමීම්වල ප්‍රතිඵලයක් ලෙස යලි වතාවක් ජීවිකාවන් අහිමි වී ඇති, දෛනික කම්කරුවන්, සංචාරක වෙලෙන්දන් හා සේවා අංශ කම්කරුවන් කෝටි ගනනකට, ප්‍රාන්ත ආන්ඩු විසින් ලබා දී ඇත්තේ, සාගත-පන්නයේ සහනාධාර පමනි.

මේ අනුව, කොවිඩ්-19 වසංගතය පසෙකින්, තම සොච්චම් ආදායම් දැනට ම උදුරා ගනු ලැබ ඇති කෝටි ගනනක් වන කම්කරුවන් හා ගම්බද පීඩිතයන් මත බලපාන, ව්‍යසනකාරීත්වයෙන් නො අඩු රැකියා විරහිත භාවයේ හා කුසගින්නේ දෙවන වසංගතයක් පවතී. පසුගිය වසරේ දී තවත් ඉන්දියානුවන් මිලියන 230ක් රුපියල් 375 (ඩොලර් 5ක් පමන වන) දෛනික “දරිද්‍රතා රේඛාවෙන්” පහලට ඇද දමන ලද බව මෑත අධ්‍යයනයක් සොයාගත්තේ ය.

කම්කරු පන්තිය තුල පවතින වැඩෙන කෝපය හා විරෝධය පෙන්නුම් කරමින් දකුනු ඉන්දීය තමිල් නාඩු ප්‍රාන්තයේ මෝටර් රථ කම්කරුවෝ, අන්තර්ජාතික සංගත හා විපක්ෂය නායකත්වය දෙන ඩීඑම්කේ ප්‍රාන්ත ආන්ඩුව විසින් අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීම සඳහා බල කිරීමට විරෝධය පල කරමින් සිටිති. කම්කරුවන් සඳුදා කම්හල් බිම වාඩිලා-ගැනීමෙන් අනතුරුව, දින පහක් කම්හල වසා දමන බව නිවේදනය කිරීමට හවුන්ඩායි සමාගමට සිදු විය. ඒ අසල පිහිටි රෙනෝල්ට්-නිසාන් කම්හලේ කම්කරුවෝ, අද දින වර්ජනය කිරීමට තර්ජනය කරමින් සිටිති.

කොවිඩ්-19 විසින් ගම්බද ඉන්දියාව විනාශ කරනු ලබයි

ඉන්දියාවේ ගම්බද ප්‍රදේශවල පැතිර යන වසංගතය, මුලුමනින්ම පාහේ අනාරක්ෂිත ජනතාවකට ආසාදනය වෙමින් පවතී. සඳුදා වන විට ජනගහනයෙන් සියයට 11.1කට පමනක් පලමු මාත්‍රාව ලැබී තිබීම සලකන කල,  සමස්තයක් ලෙස ඉන්දියාව පුරා එන්නත් රේට්ටුව ව්‍යසනීය ලෙස පහත් අගයක පවති යි. එහෙත් ගම්බද දිස්ත්‍රික්කවල එන්නත් ලැබූවන් ගනන ඊටත් වඩා සුලු පිරිසක් පමනි. මැයි 14දා වන විට, නාගරික දිස්ත්‍රික්කවලට සාපේක්ෂ ව අර්ධ-ගම්බද ප්‍රදේශවලට එන්නත් මාත්‍රා ලබා දී තිබුනේ ඒ්වායින් අර්ධයක් පමනක් වන අතර, ගම්බද ප්‍රදේශවල එම අගය තුනෙන් පංගුවක් පමනක් විය. 

බිලියන 1.37ක් වන ඉන්දීය ජනගහනයෙන් තුනෙන් දෙපංගුවක් ම වාසය කරන ගම්බද ප්‍රදේශවල, වෛරසය විසින් රෝගී කරන ලද අයවලුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අතිමූලික සෞඛ්‍ය යටිතල පහසුකම්වත් නැති අතර, එය,  ඉන්දියාවේ සෑම මට්ටමකදීම දශක ගනනාවක් පුරා සෞඛ්‍යාරක්ෂනය සඳහා වියදම් සීමා කිරීමේ විපාකය යි. එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5කට සමාන සොච්චමක් හෝ ඊටත් වඩා අඩු ප්‍රමානයකි.

මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික සෞඛ්‍ය අංශය විසින් 2019-20 සඳහා පල කරන ලද, ග්‍රාමීය සෞඛ්‍ය  සංඛ්‍යා ලේඛන වාර්ෂික  වාර්තාවක්, ගම්බද ප්‍රදේශවල පවතින ස්ථර තුනේ සෞඛ්‍යා රක්ෂන පද්ධතියෙහි විනාශකාරී තත්ත්වයට අවධානය යොමු කලේ ය. කාර්ය මන්ඩල හා අරමුදල්වල අසාද්‍ය හිඟය සහ මූලික සම්පත් නොමැති කම හේතුවෙන්, උප-මධ්‍යස්ථාන, ප්‍රාථමික සෞඛ්‍ය  මධ්‍යස්ථාන (පීඑච්සී) හා ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන (සීඑච්සී) වැනි ඒ්වා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අරගලයේ යෙදෙයි. 

2020 ජනගහන මට්ටම්වලට අනුව, ඉන්දියාවට උප මධ්‍යස්ථාන 191,461ක් අවශ්‍ය වී  තිබුනත්, තිබුනේ 155,400ක් පමනි. ඒ හා සමාන ව, ක්‍රියාකාරී පීඑච්සී මධ්‍යස්ථාන  31,337ක් අවශ්‍ය වුවත්, 24,918ක් පමනක් තිබුනු අතර, අවශ්‍ය  ව තිබූ සීඑච්සී මධ්‍යස්ථාන 7,820 සමඟ සසඳන කල තිබුනේ 5,183ක් පමනි. 

උප-මධ්‍යස්ථාන 44,000ට අධික සංඛ්‍යාවකට හා පීඑච්සී 1,000ට අධික ප්‍රමානයකට විදුලි සැපයුම් තිබුනේ නැති බව වාර්තාව සටහන් කරයි. ආසන්න වසයෙන් උප-මධ්‍යස්ථාන 23,000කට හා පීඑච්සී 1,800කට පමන ජල සැපයුම් නැත. පීඑච්සී මධ්‍යස්ථානවලින් සියයට 28කට පමන ආරක්ෂිත දරු උපත් තහවුරු කිරීම සඳහා ප්‍රශුත කාමරයක් නොමැත. පීඑච්සී මධ්‍යස්ථානවලින් සියයට 65කට සම්මතයන් විසින් නිර්දේශ කරනු ලබන ආකාරයේ සම්පූර්න උපකරන සහිත ශල්‍යකර්ම කාමරයක් (ඕටී) නැත. ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය අවම ඇඳන් හතරේ සංඛ්‍යාව පීඑච්සී මධ්‍යස්ථාන වලින් සියයට 30කට පමන නැත.

පීඑච්සී හා සීඑච්සී මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂන කාර්ය මන්ඩලවල තියුනු හිඟය ද වාර්තාව තුල ඉස්මතු කොට දැක්වුනි. බිහාර් ප්‍රාන්තයේ, පීඑච්සී මධ්‍ය ස්ථානවලට ආන්ඩුවෙන් වෛද්‍ය තනතුරු 4,129ක් නිර්දේශ කර තිබුනත්, පුරවා තිබෙන්නේ තනතුරු 1,745ක් පමනි.

සීඑච්සී මධ්‍යස්ථාන සතුව, ශල්‍ය වෛද්‍යවරු, ලමා රෝග වෛද්‍යවරු, ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරු ඇතුලු මූලික විශේෂඥයන් නොමැත. රටෙහි 5,183ක් වන සීඑච්සී මධ්‍යස්ථානවලට විශේෂඥයන් 20,732ක් සිටිය යුතු යයි තක්සේරු කෙරී ඇතත්, අවසර ලබා දී ඇත්තේ 13,266කට පමනක් වන අතර, එයිනුත් සිටින්නේ යන්තම් 4,957ක් පමනි. ඉන්දියාවේ සමහර දුගී ම ප්‍රාන්තවල මෙම හිඟයන් විශේෂයෙන් ම උග්‍ර ය. උත්තර් ප්‍රදේශ් පාන්තයට විශේෂඥයන් 2,844ක් අවශ්‍ය වුවත් සිටින්නේ 816කි; රාජස්ථානයට 2,192ක් අවශ්‍ය වුවත් සිටින්නේ 438කි; මධ්‍ය ප්‍රදේශයට 1,236ක් අවශ්‍ය වුවත් සිටින්නේ යන්තම් 46කි; ගුජරාටයට 1,392ක් සිටිය යුතු වුවත් සිටින්නේ 13ක් පමනි.

ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස මෝදි වසර 12ක් ගත කල හා ඉන්දියාවේ ධනවාදී නැගීමේ ආදර්ශනයක් ලෙස නිරන්තරයෙන් හුවා දක්වන ගුජරාටයේ, රුදුරු කොන්දේසි හෙලිදරව්කාරී ය. 600,000ක පමන ජනතාවක් වෙසෙන ගම්බද නර්මදා දිස්ත්‍රික්කයේ, අප්‍රේල් ආරම්භය දක්වා ම ඇඳන් 100ක් සහිත ව, කොවිඩ්-19 සඳහා වෙන්කල රෝහල් තිබුනේ එකක් පමනි. රෝග ගතිකය හා ආර්ථිකය සඳහා වන මධ්‍යස්ථානයට අනුව,  ගුජරාටයේ පුද්ගලයන් 100,000කට රෝහල් ඇඳන් තිබෙන්නේ, 100ට අඩු ප්‍රමානයක් වන අතර, සමස්තයක් ලෙස ප්‍රාන්තයට ම තිබෙන්නේ ඇඳන් 138ක් පමනකි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අවම ගනන වන 300ට වඩා බොහෝ පහල මට්ටමකි.

දීර්ඝ කාලයක් අඩුවෙන් අරමුදල් සපයන ලද, සෞඛ්‍යාරක්ෂන පද්ධතියට අවශ්‍ය සම්පත් සම්පාදනය කිරීම, මධ්‍යම හා ප්‍රාන්ත ආන්ඩු විසින් සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා, ගම්බද ඉන්දියාවේ කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කාර්යය පැවරී ඇත්තේ, අල්ප මහජන සෞඛ්‍ය සේවා පුහුනුවක් පමනක් ලැබී ඇති කාන්තාවන්ගෙන් සැදුම් ලත් ස්වේච්ඡා ප්‍රජා සෞඛ්‍ය සම්පාදක බලාකයක් වන, බලය ලත් සමාජ සෞඛ්‍ය ක්‍රියාකාරීන් (ආශා) මතටය. ඔවුන්ගේ අනතුරු දායක හා ඉල්ලුම වැඩි රැකියා නො තකා, මාසයකට ආශා ක්‍රියාකාරිකයන්ට ගෙවනු ලබන්නේ රුපියල් 2,000 (ඩොලර් 26.4ක්) කි. කොවිඩ්-19 හේතුවෙන් ඔවුන් සිදු කරන පිලිගත් අතිරේක කාර්යයන් සඳහා ගෙවනු ලබන්නේ කුම්මැහි රුපියල් 1,000කි (ඩොලර් 13.20). බොහෝ කම්කරුවන්ට මෙම සොච්චම් වැටුප පවා ගෙවනු නො ලැබේ. දකුනේ කර්නාටක ප්‍රාන්තය පුරා සේවයේ යොදවා සිටින 42,000ට අධික ආශා කම්කරුවෝ, පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) හිඟයට හා ප්‍රාන්ත ආන්ඩුව විසින් පසුගිය මාස දෙකේ වැටුප් ගෙවීමට අසමත් වීමට විරෝධය පෑම සඳහා සඳුදා වැඩ වැරූ හ. “හොඳ වර්ගයේ පීපීඊ ඇඳුම් අමතක කලත්, අපට හොඳ මුහුනු ආවරනවත් දීලා නැහැ” යි, ප්‍රාන්ත අගනුවර වන බැංගලෝරයේ ආශා කම්කරු කාන්තාවක් වන ෆර්හානා, ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට කීවා ය. “හරියට ගිය අවුරුද්දෙ වගේ ම අපව නිර්නතරයෙන් නො තකා හැරෙනවා.” 

දැන් ඉන්දියාවේ ගම්බද ප්‍රදේශ ගිල ගනිමින් තිබෙන කොවිඩ්-19 ව්‍යසනය, ලොව පුරා වැඩකරන ජනයාට මාරාන්තික තර්ජනයක් ගෙන එයි. වෛරසයට වේගයෙන් පැතිරීමට ඉඩ දීමේ මෝදි ආන්ඩුවේ පිලිවෙත, එන්නත්වලට වඩ වඩා ප්‍රතිරෝධී වනු ඇති නව ප්‍රභේදයන්ගේ ඉස්මතු වීමට, හොඳ ම කොන්දේසි නිර්මානය කරමින් තිබේ. අප්‍රිකාවේ හා ආසියාවේ බොහෝ අඩු හා මධ්‍යම ආදායම් ලාභී රටවලට, අඩු පිරිවැය සහිත එන්නත් සපයනු ඇතැයි අපේක්ෂා කරන ලද ඉන්දියාව, අවම වසයෙන් වසරාවසානය දක්වා එන්නත් අපනයනය කිරීම තහනම් කර ඇත.

වසංගතය පාලනය කිරීමට සහ මහා පරිමාන ආසාදන හා මරන වැලැක්වීමට, සියලු ආන්ඩු විසින් වැලඳගෙන ඇති “ජීවිතවලට පෙර ලාභ” පිලිවෙත අවසන් කරමින්, වැඩ කරන ජනයාගේ ජීවිත හා ජීවිකාවන් ආරක්ෂා කිරීමට, ඉන්දියාවේ කම්කරුවෝ හා ගම්බද පීඩිතයෝ, ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එක්සත් විය යුත්තා හ. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ අපි, මැයි 30 ඉරිදා ඉන්දියානු සම්මත වේලාවෙන් සවස 6ට පවත්වන “ඉන්දියාවේ කොවිඩ්-19 අර්බුදය හා සමාජවාදී මූලෝපායක අවශ්‍යතාව”  යන අන්තර්ජාල රැස්වීමට සහභාගි වන ලෙස, මෙම අරගලය හා සම්බන්ධ වීමට කැමති සෑම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

Loading