කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහල යාමක් ගැන විශේෂඥයන් අනතුරු අඟවද්දී ශ්‍රී ලංකා ආන්ඩුව අදහස් ප්‍රකාශ කිරීමේ වාරනයක් පනවයි

[මෙහි පලවෙන්නේ මැයි 25 වනදා Sri Lankan government imposes censorship as experts warn of coronavirus surge යන මැයෙන් ලෝක සමාජවාදි වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි]

ආන්ඩුව පසුගිය සඳුදා කොරෝනා වෛරස් ආසාදන වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් ජුනි 7 වනදා දක්වා ඉදිරි සති දෙක සඳහා “සංචරන සීමා” ප්‍රකාශයට පත් කලේය. එය සිදු කලේ දිවයින “දැඩි ලෙස වසා දැමීම” සඳහා වෛද්‍ය විශේෂඥයින්ගේ ඉල්ලීම් වලට පසුවය. කෙසේවෙතත්, එය කොවිඩ් -19 පිලිබඳ මහජන අවධානය තීව්‍ර කල හැකි යැයි පවසමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ කිසිදු අනවසර මාධ්‍ය ප්‍රකාශයක් නොකරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාවේ නිල වශයෙන් කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාව 167,170 ක් දක්වා ඉහල ගොස් ඇති අතර මරන 1,240 කට වඩා තිබේ. පසුගිය දින පහ තුල, නව ආසාදනවල දෛනික සාමාන්‍යය 3,300 ඉක්මවා ඉහල ගොස් ඇති අතර, පසුගිය මාසයේදී රෝගීන් 65,000 කින් හෝ සියයට 70 කින් ඉහල ගොස් තිබේ.

2021 මැයි 22 වන දින ශ්‍රී ලංකාවේ කොලඹ කොරෝනා වෛරස් පැතිරීම මැඩපැවැත්වීම සඳහා පනවා ඇති සීමාවන් තුල ශ්‍රී ලංකා හමුදා සෙබලුන් මුරපොලක් මුර කරති. (ඒපී ඡායාරූපය / එරංග ජයවර්ධන)

“වාර්තා වූ රෝගීන් මෙන් තුන් ගුනයක් පමන රෝගීන් සමාජයේ සිටි බව” සෞඛ්‍ය අමාත්‍ය සුදර්ශිනි ප්‍රනාන්දු පුල්ලේ පිලිගෙන තිබේ. ඇයගේ ප්‍රකාශය වූයේ නිල වශයෙන් වාර්තා වූවාට වඩා සැබෑ කොරෝනා වෛරස් ආසාදන හා මරන සංඛ්‍යාව වැඩි බව වෛද්‍ය විශේෂඥයින් විසින් කරන ලද ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වීමකි. කොවිඩ් -19 ආසාදන සංඛ්‍යාව ද සාවද්‍ය බැවින් සීමාසහිත පීසීආර් පරීක්ෂනය භාවිතා කරන ලෙස ආන්ඩුව සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) කොලඹ කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 තත්ත්වය පිලිබඳව “සාමූහික අදහස් සලකා බැලෙන” රැස්වීමක් ලෙස නම් කරන හමුවක් පවත්වන ලදී. ලෝසෞසං කොලඹ කාර්යාලයේ වෛද්‍ය ඔලිවියා නිවේරාස් සහ වෛද්‍ය පාලිත අබේකෝන් සහ මහාචාර්යවරුන් වන මලික් පීරිස්, නිලිකා මලවිගේ සහ වෛද්‍ය පද්මා ගුනරත්න ඇතුලු වසංගත රෝග විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥයින් දුසිමකට අධික පිරිසක් ඊට සහභාගී වූහ.

සම්ප්‍රේෂනය ඉහල ප්‍රදේශවල සති දෙකක හෝ තුනක අගුලු දැමීමක් සහ දැඩි සත්කාර ඒකක සමඟ වෛද්‍ය පහසුකම් පුලුල් කිරීමක් සමඟ “අත්‍යවශ්‍ය නොවන මිනිස් සංචරනයන් සඳහා දැඩි සීමාවන්” ක්‍රියාත්මක කරන ලෙස මෙම ඉහල සුදුසුකම් ලත් විශේෂඥයින් ආන්ඩුවෙන් ඉල්ලා සිටියහ. “අප දැන් ගන්නා තීරන මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට බලපානු ඇතැයි ඔවුහු අනතුරු ඇඟවූහ,

“රාජ්‍ය අංශයේ සෞඛ්‍ය පද්ධතිය සීමාසහිත බැවින් කොවිඩ් -19 රෝගීන් මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් කලමනාකරනය කිරීම අපහසු වේ. තවත් සෞඛ්‍ය වෘත්තිකයන් සහ රෝග වැලැක්වීමේ කාර්ය මන්ඩලය (උ.දා., මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්) ආසාදනය වෙමින් පවතින අතර හදිසි අවශ්‍යතාව සපුරාලීම සඳහා මානව සම්පත් ප්‍රතිපත්ති සකස් කල යුතුය.

ඇත්ත වශයෙන්ම මෙම අවධි ලක්ෂ්‍යය වේගයෙන් ලඟා වෙමින් තිබේ. වාර්තා වලට අනුව, රෝහල් ඇඳන් නොමැතිකම හේතුවෙන් ආසාදිත රෝගීන් දහස් ගනනකට නිවසේ රැඳී සිටින ලෙස ප්‍රකාශ වෙමින් පවති. නරක අතට හැරෙන තත්වය සමඟ සෞඛ්‍ය සේවකයින්ට කටයුතු කිරීමට නොහැකි බව වැඩිය.

සෞඛ්‍ය වියදම් කප්පාදු කර ඇති අනුප්‍රාප්තික ආන්ඩු විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් පහත හෙලා ඇත. මෙම වසරේ අයවැයෙන් රාජපක්ෂ ආන්ඩුව සෞඛ්‍යය රුපියල් බිලියන 28 කින් (ඇමරිකානු ඩොලර් මිලියන 140 කින්) කපා හැර ඇති අතර වසංගතය පාලනය කිරීම සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 10 ක් හෝ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1 ක් පමනි. ඒ අතරම, ආරක්ෂක හා පොලිස් වියදම් 2021 දී රුපියල් බිලියන 440 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර එය 2019 දී රුපියල් බිලියන 393 ක් විය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) විසින් දින 14 ක අගුලු දැමීමක් ඉල්ලා ඒකාබද්ධ කැඳවීමක් නිකුත් කරන ලදී.

ප්‍රධාන වෛද්‍යවරුන්ගේ සංගමය වන රවෛනිස තමන්ගේ නම ඊට එකතු කලේ ආන්ඩුවේ භයානක ප්‍රතිපත්තිවලට සංගමයේ සහයෝගය සහ රෝහල්වල වසංගත ආශ්‍රිත ගැටලු නොසලකා හැරීම පිලිබඳව එහි සාමාජිකයින්ගේ මහජන විවේචනයට ප්‍රතිචාර වශයෙනි.

ආන්ඩුවේ සති දෙකක අගුලු  දැමීමේ නිවේදනය සමඟ අදහස් ප්‍රකාශ කිරීම වාරනය කිරීම සඳහා වන හඩගෑම්ද වැඩි වී තිබේ.

පසුගිය සිකුරාදා කොවිඩ්-19 කාර්ය සාධක බලකා රැස්වීමක් අමතමින් ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කලේ , “වගකිවයුතු නිලධාරීන් අනවශ්‍ය ලෙස මාධ්‍ය සාකච්ඡා පැවැත්විය යුතු නැති අතර වසංගතය ගැන මහජනයා භීතියට පත් නොකල යුතු” බවයි. ගැටලුවක් ඇත්නම් නිලධාරීන් කෙලින්ම ඔහු හා සම්බන්ධ විය යුතු බව ඔහු පැවසීය.

කොවිඩ්-19 වැලැක් වීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වන යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයාට දැනුම් නොදී මාධ්‍ය හමුව පැවැත්වීම පිලිබඳව වෛද්‍ය නිලධාරීන් විවේචනය කලේය. රාජපක්ෂ විසින් 2020 මාර්තු මාසයේදී සිල්වා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කරන ලද අතර, සෞඛ්‍ය නිලධාරීන් කොන් කිරීම සහ වසංගතයට ආන්ඩුවේ ප්‍රතිචාරය මිලිටරි පාලනය යටතේ තැබීම සිදු කරන ලදි.

පසුගිය සතියේ සක්‍රීය සේවයේ සිටින මේජර් ජෙනරාල් වරයෙකු වන, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුනසිංහ අමාත්‍යාංශයේ “නීති රීති” උල්ලංඝනය කරමින් මාධ්‍ය ප්‍රකාශ කල සෞඛ්‍ය නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කරමින් චක්‍රලේඛයක් නිකුත් කලේය.

ආන්ඩුවේ වාරනයක් නොමැති බව රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ප්‍රනාන්දු පුල්ලේ අවධාරනය කල නමුත් සත්‍ය හා නිවැරදි තොරතුරු ප්‍රකාශයට පත්කිරීමට මාධ්‍යයට “වගකීමක්” ඇති බව පැවසීය.

මාරාන්තික වසංගතයට එරෙහි වඩ වඩාත් නොසැලකිලිමත් හා සාපරාධී ප්‍රතිචාරයට එරෙහි මහජන විරෝධය ගැන රාජපක්ෂ ආන්ඩුව පැහැදිලිවම නොසන්සුන් වන අතර එහි ප්‍රතිපත්ති පිලිබඳ ඕනෑම විවේචනයක් මැඩපැවැත්වීමට උත්සාහ කරයි.

නව කොවිඩ්-19 සංචරන සීමා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රාජපක්ෂ ප්‍රකාශ කලේ “කර්මාන්තශාලා විවෘතව තබා ගැනීමට” පියවර ගත යුතු බවයි. එදිනම ඔහුගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂ මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නිලධාරීන්ට පැවසුවේ “කොවිඩ්-19 වසංගතය නොතකා රට කඩා වැටීමට ඉඩ නොදෙන්න” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ දැවැන්ත අපනයන ඇඟලුම් නිෂ්පාදකයා වන මාස් හෝල්ඩිංග්ස් තුලින් මේ බව අනාවරනය විය. සමාගම පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා ආදායමක් උපයා ඇති අතර, සිය අපනයන කර්මාන්තශාලා - විශේෂයෙන් ඇඟලුම් කර්මාන්ත සිය ගනනක් කොලඹ පවත්වාගෙන යාමේ අධිෂ්ඨානය කම්කරුවන්ට දරුනු ලෙස බලපා ඇත. සමාගමට අයත් ලංකාවේ කම්හල් බොහොමයක කම්කරුවන් කොවිඩ්-19 ආසාදිතයන් බව සොයාගෙන ඇත.

මීට තුල්හිරිය තුරුලි හි කම්කරුවන් 380 ක්, බියගම ඇක්ටිව් ලීනියා ඉන්ටිමෝ හි 300 ක්, පානදුර යුනිචෙලා හි 450 ක්, පන්නල ස්ලිම්ලයින්හි 100 ක්, කිලිනොච්චි වනාවිල් හි සේවකයින් 22 ක් ඇතුලත් වේ. මෙම කර්මාන්තශාලා වල පුද්ගලයන් 2,000 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් සේවය කරන අතර තවත් බොහෝ කම්කරුවන් ආසාදනය වීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාපවල කම්කරුවන් සිය ගනනක් ආසාදනය වී ඇත. මෙම කර්මාන්තශාලා සමහරක් වසා දමා ඇත්තේ සේවකයින් අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පමනි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කුහක ලෙස මාධ්‍යයට කියා සිටියේ තුරුලි කර්මාන්තශාලා කලමනාකරනය මාර්ගෝපදේශ අනුගමනය කර ඇත්දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය නිලධාරීන්ට නියෝග කර ඇති බවයි. කර්මාන්ත ශාලාව ඇත්ත වශයෙන්ම සිදු කර ඇත්තේ එහි ශ්‍රම බලකායේ පීසීආර් පරීක්ෂන පමනි. සේවකයින් තිදෙනෙකු පෞද්ගලිකව පරීක්‍ෂා කල විට, ඔවුන් ආසාදනය වී ඇති බව සොයා ගත්හ.

මාර්තු මාසයේදී ජනාධිපති රාජපක්ෂ ඇඟලුම් කර්මාන්තශාලා හිමියන් හමුවී “රටේ මහජන සෞඛ්‍ය තත්වයන්ට හානියක් නොවන පරිදි ඇඟලුම් අංශයට පනවා ඇති ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමේ හැකියාව පිලිබඳව සොයා බැලීය.”

රාජපක්ෂ පරිපාලනය, උප මහාද්වීපයේ සහ ජාත්‍යන්තරව සිටින සිය සගයන් මෙන්, සමාගම් වල ලාභ පවත්වා ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරනු ඇත. රට පුරා කොරෝනා වෛරස් ආසාදන හා මරන සුනාමියක් සේ පැතිර යද්දී, පසුගිය මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කල පරිදි, “අප රට අගුලු දැමීමෙන් බේරා ගත යුතුය” - වෙනත් වචන වලින් කිවහොත්, ධනවාදී ලාභ මිනිස් ජීවිතවලට වඩා ප්‍රමුඛස්ථානය ගනී.

Loading