[මෙය 2021 මැයි 29 වැනි දින Australia’s second-largest state on a knife-edge amid outbreak of Indian COVID variant යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ඕස්ට්‍රේලියාවේ දෙවන වැඩි ම ජනගහනයක් සහිත ප්‍රාන්ත රාජ්‍යය වන වික්ටෝරියාව, ඉන්දියාවෙන් ආරම්භ වූ අධික ලෙස බෝවෙන කොරෝනා වයිරස ප්‍රභේදයක වේගවත් ව්‍යාප්තිය නිසා සතියක හදිසි අගුලුලෑමේ දෙවන දිනට පිවිස ඇත.
අද උදෑසන තවත් ආසාදන පහක් රාජ්‍ය බලධාරීන් විසින් නිවේදනය කලේ ඊයේ වාර්තා කල ආසාදන හතරට පසුව ය. පැතිරීයාමේ පරිමාව දැන ගැනීම සඳහා දින ගනනනක් හෝ සතියක් වුව ගත විය හැකි බවට වසංගත රෝග විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, බීජෞෂන සමයන් නිසා හා හඳුනා නො ගත් රෝගීන් සිටීමේ හැකියාව ඇති බැවිනි.
සමස්ත ආසාදන සංඛ්‍යාව සාපේක්ෂව අඩු මට්ටමක් වන 35ක පවතින්නේ වුව ද,පසුගිය මාස හය තුල ඕස්ට්‍රේලියාවේ ඇති වූ රෝගයේ කිසියම් ම පුපුරා යෑමකට ද වඩා, ආසාදන සංඛ්‍යාවේ වර්ධනය වේගවත් ය. පලමු ආසාදිතයන් දෙදෙනා සොයාගනු ලැබුවේ පසුගිය සඳුදා පමනක් වුව ද, එය වික්ටෝරියානු කම්කරු පක්ෂ රජය විසින් අගුලු දැමීම ප්‍රකාශයට පත් කල බ්‍රහස්පතින්දා උදෑසන දක්වා වූ දින තුනක කාලය තුල, එය 27 ක් දක්වා ඉහල ගොස් තිබුනි.
පුපුරා යාමේ සන්දර්භය විසින් අන්තරායේ පරිමානය විශාලනය කරනු ලබයි. ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට එන්නත ලබා දීමට පෙර, සියලු ආරක්ෂක සීමා කිරීම් ඉවත් කිරීමෙන් පසුව, ඉන්දියානු ප්‍රභේද ඇතුලු වෛරසයේ වඩාත් දරුනු ප්‍රභේද හේතුවෙන් ආසියා-පැසිෆික් කලාපය පුරා වසංගතය නැවත හිස ඔසවද්දී එය සිදුව ඇත.
15,000 කට වැඩි පිරිසක්, ආසාදනය වී ඇති අතර අනෙක් පුද්ගලයන්ට බෝ කල හැකි විභවය සහිත අය ලෙස හඳුනාගනු ලැබ ඇත. ප්‍රාන්ත සීමා තරනය සඳහා වූ සීමා කිරීම් අවලංගු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මිලියන පහකට අධික ජනතාවක් සිටින නගරයක් වන මෙල්බර්න්හි ද,ප්‍රාදේශීය හා ග්‍රාමීය වික්ටෝරියාවේ සහ වෙනත් ප්‍රාන්ත පුරා ද ඔවුහු විසිරී සිටිති.
ඔවුන්ගෙන් රෝගය බෝවීම සිදු විය හැකි කාලය අතරතුර, ආසාදිතයන් ගොඩ වැදීම නිසා රෝගයට නිල වසයෙන් නිරාවරනය වූ අඩවි ලැයිස්තුව ගනනින් 150 ඉක්මවා ඇත. ඊයේ බොහෝ රෑ බෝවී නව “අධි අවදානම්” ස්ථාන 20 ක් ඊට එකතුකෙරුනි. වෛරසය පුළුල් ලෙස සංසරනය වී ඇති බව අඟවමින්, බ්‍රහස්පතින්දා පරීක්ෂන ප්‍රතිඵලය ධන වූ එක් පුද්ගලයෙක්, පසුගිය දින දහය තුල මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශ හතක් පුරා ආහාර වෙලඳසැල් වෙත ගොස් ඇත්තේ, ඔහු මගින් රෝගය බෝවීමේ හැකියාව තිබිය දී ය.
ලැයිස්තුවේ ඇති බොහෝ ස්ථාන, වසංගතය පුරාම දැන සිටි ආසාදන ඇති විය හැකි අංශවල පිහිටි ඒවා වේ. ඒවාට සුරා සැල්, අවන්හල් සහ රාත්‍රී සමාජශාලා ඇතුලත් වේ. පසුගිය මාස හය තුල, ලේබර් සහ ලිබරල් ප්‍රාන්ත සහ ෆෙඩරල් ආන්ඩු, නර්තනය වැනි අධි-අවදානම් ක්‍රියාකාරකම් සඳහා ද ,උපරිම අනුග්‍රාහක සංඛ්‍යාවන් සඳහා ඇති සෑම සීමාවන් ම පාහේ වඩ වඩාත් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
වසංගතය අතරතුර ලෝකයේ ඕනෑම තැනක පැවැත්වූ විශාලතම ක්‍රීඩා උත්සව සමහරක් තමන් අධීක්ෂනයකල (පැවැත් වූ) බවට වික්ටෝරියානු කම්කරු පක්ෂ රජය යලි යලිත් පුරසාරම් දෙඩීය. මෙල්බර්න් හි ප්‍රධාන පාපන්දු ක්‍රීඩාංගන වන එම්සීජී සහ මාර්වල් යන දෙකම ජනතාව වයිරසයට නිරාවෘත වූ සථාන අතර වන්නේ, වයිරස ආසාදිතයන් ද දස දහස් ගනන් අනෙකුත් අය සමගින් තරඟ නැරඹීම සඳහා පැමිනීම නිසාවෙනි.
කම්කරු පක්ෂ ආන්ඩුව සිය රෝගීන් සොයා ගැනීමේ උත්සාහයන් “ලෝක මට්ටමේ” යැයි පුන පුනා තොරොම්බල් කල අතර, ඕනෑම විවේචනයකට ප්‍රතිචාර දැක්වූයේ කෝපයෙනි. පසුගිය වසරේ ජූලි-අගෝස්තු මාසවල රටේ දරුනු ම පුපුරා යෑම මධ්‍යයේ, සම්බන්ධතා-සොයා ගැනීම බිඳ වැටුනි. ආසාදන දහස් ගනනක සම්භවයන් කාලෝචිත ආකාරයකින් හඳුනාගත නො හැකි විය. ඉන් අනතුරුව හෙලිදරව් වූයේ, ඊට පෙර වසර ගනනාවක් පුරා, බෝවන රෝග සොයා ගැනීම සඳහා වගකිවයුතු ප්‍රාන්ත රජයේ කන්ඩායමේ කාර්ය මන්ඩලය 14 ක් දක්වා අඩු කර ඇති බවත්, වෛද්‍යවරුන් වූයේ ඉන් හය දෙනෙකු පමනක් බවත් ය.
එම සංඛ්‍යා කොතරම් දුරට වැඩි කර ඇත්ද යන්න පැහැදිලි නැත. වසංගතයේ ආරම්භක අවධිවල දී, සුදුසුකම් නොලත් විකුනුම් කම්කරුවන්ගේ ආගමනය මගින් එම කන්ඩායම වැඩි කෙරුනි.
බ්‍රහස්පතින්දා, වික්ටෝරියානු බලධාරීන් සෞඛ්‍යය සම්බන්ධ උපාධි හදාරන විශ්ව විද්‍යාල සිසුන්ට රෝග සම්බන්ධතා-සොයා ගැනීමේ ප්රයත්නයන් සමග එක්වන ලෙස “හදිසි කැඳවුමක්” නිකුත් කලේ ය: “අපි ඔබට මුදල් ගෙවන්නෙමු. ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අර්බුදකාරී මාදිලියෙන් ඉවත් වූ පසු නිත්‍ය වැඩ මුරයක් ලබා දිය හැකි ය” යි එම කැඳවුම සඳහන් කලේ ය.
ව්‍යාපාර සහ පොදු ස්ථාන වෙත මිනිසුන්ගේ සංචාර ලියාපදිංචි කිරීම සඳහා වික්ටෝරියා සතුව සමරූපී ක්ෂනික-ප්‍රතිචාර පිරික්සුම් පද්ධතියක් නොමැත. ඒ වෙනුවට, එම කාර්යය තෙවන පාර්ශවීය යෙදුම් 16ක් හරහා බාහිරින් ලබාගෙන ඇත. මීට පෙර සිදු වූවාක් මෙන්, නිවාස හුදකලා කිරීමේ නියෝගවලට සහාය වීම සහ බලාත්මක කිරීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ඉල්ලීම පරිදි සොල්දාදුවන් 160ක් යොදවා ඇත.
වසංගතය පුරා ම ලේබර් සහ ලිබරල් ආන්ඩු දක්වන අතිගාමී ප්‍රතිචාරයට එය එක් උදාහරනයක් පමනි. අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය පියවර සඳහා හැකිතාක් අඩුවෙන් වැය කිරීමට ද, අත්‍යවශ්‍ය සේවා පෞද්ගලික සමාගම්වලට පැවරීමට ද, භව්‍ය වෛද්‍ය ප්‍රතිවිපාක නො සලකා සංගත ලාභ ඉපැයීමේ ක්‍රියාකාරකම් සඳහා හොඳ ම කොන්දේසි නිර්මානය කිරීමට ද ඔවුන් උත්සාහ කර ඇත.
වර්තමාන පුපුරා යාමේ ප්රභවය වන නිරෝධායන පද්ධතිය තුල මෙය වඩාත් දිදුලමින් ප්‍රකාශිත වේ. උතුරු ප්‍රදේශයේ 2,000 ක ධාරිතාවක් පමනක් සතු එක් ආයතනයක් හැරුනුවිට, ජාත්‍යන්තර ආගමනිකයන් තවමත් පෞද්ගලික හෝටල් වෙත යවනු ලබන අතර, ඔවුන් සති දෙකක කාලයක් ඔවුන්ගේ වියදමින් හුදෙකලා විය යුතුය.
පසුගිය මාස හය තුල සෑම පිපිරීමකට ම හේතුව හෝටල්වලින් නිරාවරනය වීම් ය. සමහර ඇස්තමේන්තුවලට අනුව, වසංගතය ආරම්භ වූ දා සිට රටේ ආසාදනවලින් 21,000 ක පමන ප්‍රමානයකට නිරෝධායන අසාර්ථකත්වයන් හේතු වී ඇත.
වර්තමාන පිපිරීම ආරම්භ වූයේ මැයි මස 11 දින වික්ටෝරියා හි මිනිසෙකු ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව බව ජානමය අනුක්‍රමය මගින් සනාථ කර ඇත. ඔහු නැවත ප්‍රාන්තයට පැමින ඇත්තේ දකුනු ඕස්ට්‍රේලියාවේ නිරෝධායන හෝටලයක හුදෙකලා වීමෙන් පසුවය.
දකුනු ඕස්ට්‍රේලියානු බලධාරීන් සනාථ කර ඇත්තේ, හෝටලය තුල ඔහු සහ යාබද කාමරයේ සිටි තැනැත්තා ඔවුන්ගේ ආහාර ලබා ගනීම සඳහා එක වර දොර විවෘත කිරීමේ දී ඔහු ආසාදනය වූ බවට සිතිය හැකි බව යි. තත්පර 18ක් පමනක් වූ නිරාවරන කාල සීමාව වෛරසයේ දරුනුකම පෙන්නුම් කරයි. අනෙක් මිනිසා, ධනාත්මක බවට පරීක්ෂීත වූ මිතුරෙකු නැවතී සිටී කාමරයේ ම මීට පෙර නැවතී සිටි බව අනාවරනය වී තිබේ. සමීප සම්බන්ධතාව තිබියදීත්, ඔහුව ඉහල-ප්‍රමුඛතා ස්ථානයකට යොමු නො කෙරුනි.
ඒවා පිළිබඳ සියලු විවේචන ප්‍රතික්ෂේප කරමින්, හෝටල් නිරෝධායනය අධීක්ෂනය කර ඇති ෆෙඩරල් ලිබරල්-නැෂනල් ජාතික රජය, ඒ සඳහා ම අරමුනු කර ගොඩනඟන දෙවැනි ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳ නො පැහැදිලි අනුකූලතාවක් මෑත දිනක දී පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් මෙය නත්තලට පෙර සිදු නො වන බව ද රජය ප්‍රකාශ කර ඇත.
දියුනු ධනවාදී රටවල් අතරින් අතිශය මන්දගාමී ඒවා අතරට එක් වන එන්නත්කරනය සම්බන්ධයෙන් රජය පුළුල් ලෙස දෝෂ දර්ශනයට ලක්ව සිටී. වැඩිහිටි ජනගහනයෙන් සම්පූර්නයෙන් එන්නත් කර ඇත්තේ සියයට 2.5ක් පමනි. ජනගහනය එන්නත් කිරීම සඳහා අවශ්‍ය වන මාත්‍රා මිලියන 40න් ලබා දී ඇත්තේ මිලියන 4 කට යන්තම් වැඩි වන ප්‍රමානයක් පමනි. වර්තමාන වේගය අනුව මෙය 2022 අගෝස්තු අවසානය දක්වා සම්පූර්න නො වේ.
ආබාධිත සාත්තු නිවහන් පදිංචිකරුවන්ගෙන් බහුතරයක් ඉහල ම ප්‍රමුඛතා සමූහයේ සිටිය ද ඔවුන්ට එක මාත්‍රාවක් වත් ලැබී නැත. එම නිවහන් ජූලි-අගෝස්තු පුපුරා යාමේ දී මරනවල අපිකේන්ද්‍රය වුව ද, වර්තමාන පුපුරා යාම ආරම්භ වෙද්දී මෙල්බර්න්හි වියපත්-සත්කාරක ආයතන 30 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා එක මාත්‍රාවක්වත් ලබා දී නො තිබුනි.
පසුගිය වසරේ අග දිසාවට වෙනත් රටවල් තම එන්නත්කරන වැඩසටහන් ආරම්භ කරතිබියදීත්, ෆෙඩරල් රජය තවමත් එහි ප්‍රසම්පාදන කටයුතු අවසන් කරමින් සිටියේ ය. අවසන, එය ලබා ගත හැකි ලාභම නිෂ්පාදනය වන ඇස්ට්‍රාසෙනෙකා කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මත පාදක වූ අතර, සෞඛ්‍ය බලධාරීන් ඉන් පසුව උපදෙස් දුන්නේ, දුර්ලභ ලේ කැටි ගැසීමේ ආබාධයක් හේතුවෙන් ඇති විය හැකි අවදානම නිසා 50 ට අඩු අයට එම එන්නත ලබා නො දිය යුතු ය කියා ය.
මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් කපා දැමීම මගින් එන්නත් සැපයුම් හිඟය උග්‍ර වී ඇත. එන්නත්කරන වැඩසටහනේ වැඩි හරියක් සාමාන්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලැබේ. මහා පරිමා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රාන්ත කිහිපයක විවෘත වී තිබෙන්නේ මෑතක දී පමනි.
මෙම ව්‍යාකූලත්වය වඩා පුලුල් සෞඛ්‍ය අර්බුදයක එක් ප්රකාශනයකි. ඔස්ට්‍රලේසියානු හදිසි අවස්ථා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ වික්ටෝරියා පීඨයේ සභාපති වෛද්‍ය මයා කබිට් ඊයේ ගාඩියන් පුවත්පතට අදහස් දක්වමින් අනතුරු අගවා සිටියේ: “අවුරුදු ගනනාවකින් සෞඛ්‍යාරක්ෂන පද්ධතිය මුහුන දුන් නරක ම අර්බුදයට අප මුහුන දෙමින් සිටිමු.”
නවතම කොවිඩ් ආසාදනවලට පෙර සිට ම වික්ටෝරියානු රෝහල් පිරී ඉතිරී යමින් තිබූ බව කබිට් පැවසී ය. කාර්ය මන්ඩල හිඟය සහ ඇඳන් හිඟකම හේතුවෙන් “තදබදය පිරි පොරොත්තු කාමර හේතුවෙන්, රෝහලේ ඉදිරිපස දොරවල් පසු කර යාමට 100 දෙනෙකුට නො හැකි වූ අතර, හදිසි අංශවලට දුසිම් ගනනක් ඇතුලත් කර ගැනීමට නො හැකි විය.”
අධික ව වැඩියෙන් වැඩ කරන වෛද්‍යවරුන් සහ හෙදියන් අතර අසනීප අනුපාතය වාර්තාගත ඉහල මට්ටමක පවතින බව කබිට් පැවසී ය. සමස්ත ආසාදනවලින් සියයට 10ක් පමන වූ, සෞඛ්‍ය සේවකයින් දහස් ගනනකට බලපෑ ජුලි-අගෝස්තු මාසවල ආසාදනයන්ගේ ප්‍රතිඵල සමඟ, බොහෝ සේවකයන් තවමත් පොරබදමින් සිටිති.
වර්තමාන පැතිරීම ආරම්භ වූයේ, ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ ෆෙඩරල් කවුන්සිලය, ඕස්ට්‍රේලියාව කොරෝනා වෛරසයේ පුනර්ජීවනයක් සඳහා සූදානම් නැති බවට අනතුරු අඟවන නිවේදනයක් නිකුත් කිරීමෙන් සතියකට පසුව ය. එහි මෙසේ සඳහන් විය: “හෝටල කිසි විටෙකත් මෙම කරුනු අරමුනු කර සැලසුම් කල හෝ නිර්මානය කලඒවා නො වේ;කොවිඩ් -19 ප්‍රජාවට තුලට පැන ගැනීම නිත්‍ය අවදානමක් ලෙස පවතියි. රට පුරා දක්නට ලැබෙන සැලකිය යුතු ප්‍රමානයේ සීමා කිරීම් ලිහිල් කිරීම මගින් මෙම අවදානම පුලුල් කරන අතර, කාන්දුවීම් සිදුවන විට වේගයෙන් වෛරසය පැතිරීම සඳහා පරිපූර්නව සුදුසු පරිසරයක් නිර්මානය කරයි.
“සෞඛ්‍ය පද්ධතිය, විශේෂයෙන් අපේ රජයේ රෝහල්, ධාරිතාවයෙන් ඔබ්බෙහි ක්‍රියාත්මක වන අතර,කොවිඩ් -19හි කිසියම් ම ප්‍රජා ව්‍යාප්තියක් හේතුවෙන් ඇති වන ඉල්ලුම ඉහල යෑමෙ රැල්ලක් සමඟ කටයුතු කිරීමට එය ප්‍රමානවත් නො වන බව පෙනේ.”
අරමුනුකර සාදන නිරෝධායන ආයතනවල හදිසි සංවර්ධනයක් සඳහා ද, සෞඛ්‍ය සම්පත්වල විශාල අභිවෘද්ධියක් සඳහා ද වන ඉල්ලීම් බිහිරි කන් මත පතිත වී ඇත. ඒ වෙනුවට, ප්‍රාන්ත සහ ෆෙඩරල් ආන්ඩු විසින් බදු සහන සහ දීමනා ලෙස ඩොලර් බිලියන 400 කට වැඩි ප්රමානයක්සංගත හා මූල්‍ය ප්රභූව වෙත ලබා දී ඇත.
දැන් අගුලු දැමීමේ ක්‍රියා මාර්ගවලින් අදහස් වන්නේ සත්කාරක සේවා වැනි අංශවල නියැලි වික්ටෝරියාව පුරා සිටින අනියම් කම්කරුවන් දස දහස් ගනනකට එක රැයෙන් රැකියා අහිමි වන බව යි. ෆෙඩරල් රජය විසින් මාර්තු මස අවසානයේ දී ජොබ්කීපර් වැටුප් සහනාධාරය අහෝසි කරන ලද අතර, වික්ටෝරියානු රජය තවමත් කිසිදු නිශ්චිත ආධාරයක් ප්‍රකාශයට පත් කර නොමැත.
