ගංවතුර හේතුවෙන් දෙලක්ෂයකට අධික පිරිසක් අවතැන් වෙයි

ගත වූ සති කිහිපය තුල ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් ලංකාව පුරා ඉමහත් ව්‍යසනයක් ජනිත කෙරී ඇත. වර්ෂාවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම්, පවුල් 67,617 කට අයත් පුද්ගලයින් 271,110 කට බලපා ඇති අතර 19 දෙනෙකු මරනයට පත්ව ඇත. ව්‍යසනය වඩාත්ම බලපා ඇත්තේ, කොලඹ, රත්නපුර සහ ගම්පහ ඇතුලු දිස්ත්‍රික්ක දහයකට ය.

කැලනි ගඟ දෙපස, ගම්පහ, කඩුවෙල, ජා ඇල, මීරීගම ආදී ප්‍රදේශ තවමත් ජලයෙන් යට වී පවතී. ඇතැම් ප්‍රදේශවල ජනයා ජලයෙන් වටවූ නිවෙස් වල සිරවී සිටිති. දින එකොලහක් ඇතුලත ගම්පහ ප්‍රදේශය ජලයෙන් යට වූයේ දෙවන වතාවටය. මාවනැල්ල හා රත්නපුර ප්‍රදේශ වලින් පස් කඳු කඩා වැටීම හේතුවෙන් ජීවිත හානි වාර්තා විය. වර්ෂාවේ යම් අඩුවීමක් දක්නට ලැබුනද රත්නපුර, නුවරඑලිය ප්‍රදේශ වල නාය යෑමේ අනතුරු ඇඟවීම් ඉදිරියටත් වලංගුවේ.

ජලයෙන් යටවූ ප්‍රදේශ අඩි 2-5 අතර ජල ගැලීමකට මුහුන දුන් අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල හානිය ඉහල මට්ටමක පවතී. මෙම ව්‍යසනයෙන් සිදුවූ ජීවිත හානි සහ ගොඩනැගිලි හානි පිලිබඳව නිවැරදි තක්සේරුවක් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇත.නාය යෑම් හා ජල ගැලීම් වලින් අවතැන් වූ අය අතරින් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇත්තේ පවුල් 6,177 ක පිරිසකි.

වාර්තා වලට අනුව නිවාස 978 ක් සම්පූර්නයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 17කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත. තමාට සහන සලසන බවට ආන්ඩුව පොරොන්දු ලබා දුන්නද ඒ කිසිවක් ඉටු වී නොමැති බව අවතැන්වූවෝ පවසති.

කැලනි, කලු, නිල්වලා ගංගා වල ජල මට්ටම් පහල යමින් තිබෙන බවත් ගිං ගඟේ ජල මට්ටම තවමත් ඉහල යමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. නමුත් අනතුර තවමත් පහව ගොස් නොමැති අතර ගංඟා රැසක් තවමත් පවතින්නේ පිටාර මට්ටමේය. කාලගුන විද්‍යා දෙපාර්තමේතුව සඳහන් කර තිබුනේ අද සහ හෙට දිනවල නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.

නාය යෑම්, ගංවතුර තත්වයන්ට අමතරව සැඩ සුලං හේතුවෙන් මහජනතාවට හානි පමුනුවා ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුව පවිත්‍රාගාර පද්ධතියක් ජලයෙන් යට වීම හේතුවෙන් එහි තෙල් අවට පරිසරයට නිදහස් වී ඇත. මෙය ප්‍රදේශයේ ජනතාව මත සෞඛ්‍ය ගැටලු මෙන්ම පරිසර විනාශයක් ද ජනිත කර ඇත. වැසි සහ තද සුලං තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල විදුලි ඇන හිටීම් සහ දුරකථන ඇන හිටීම් වාර්තා විය.

මෙම ගංවතුර විසින් ඇති කර ඇති ව්‍යසනය වඩාත් අන්තරායකාරී වන්නේ, දිනකට තුන්දහසකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරමින් සිටින කොවිඩ් වසංගතයේ වඩා ඉහල පැතිරීමකට හේතු කාරක වන කොන්දේසි එමගින් සකසා තිබීමයි. ආන්ඩු විසින් මෙවැනි ජල ගැලීම් සහ නාය යාම් වලින් ජනතාව බේරා ගැනීමට පූර්ව සැලසුම් සම්පාදනය කර නොතිබීම සහ අවතැන් වූ ජනතාව මුදා ගැනීමට ප්‍රමානවත් පියවර නොගැනීම හේතුවෙන් කායික දුරස්ථභාවය නොතකා මෙම ව්‍යසනයෙන් බේරීමට උත්සාහ දැරීමට සිදුව ඇත.

අනෙක් අතට අවතැන් වූ ජනතාව රඳවා තැබීමට මූලික පහසුකම් සහිත ස්ථාන නොමැති බැවින් ඔවුන් රඳවා තබන්නේ අඩු පහසුකම් සහිත තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වලය. ඒවායේ කිසි ලෙසකටවත් වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂන පියවර නොපවතී.

හානියට ලක්වූ “ජාඇල, වත්තල, කැලනිය, කොලොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවල පීසීආර් පරීක්ෂන වැඩි කිරීම සඳහා ඉල්ලීමක් කර” ඇති බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සඳහන් කලේය. නමුත් ලංකාව තුල සිදු කෙරෙන සීමිත පරීක්ෂන සංඛ්‍යාව එවන් ඉල්ලීමක් සැපිරීමට කිසිසේත් නොසෑහේ.

සෑම වසරකම පාහේ වර්ෂා කාලයේදී ජනතාවට නාය යෑම් සහ ගංවතුර තත්වයන්ට මුහුන දීමට සිදුවීම ලංකාවේ ධනපති පාලකයන්ට එරෙහි චෝදනා පත්‍රයකි. ස්වභාවික ව්‍යසන වුවද කල් තියා දැකගත හැකි මෙම සිදුවීම් වලින් වන හානිය වැලැක්වීම සඳහා දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම පිලිබඳව ආන්ඩු මුලුමනින්ම අසමත් වී ඇත. ඊට පටහැනිව ඔවුහු එදා වේල පිරිමහගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාවට දමමින් සිටිති.

සෑම වසරකම පාහේ මැයි - ජූනි වර්ෂා කාලයන් හි ජල ආපදා හේතුවෙන් මියයන ජීවිත සංඛ්‍යාව ආන්ඩුවල මෙම පිලිවෙත්වල සාපරාධී ස්වභාවය පිලිබඳ සාක්ෂියකි. 2017 ගංවතුර හේතුවෙන් ජීවිත තුන්සියයක් අහිමි වූ අතර 2016 වසරේ අහිමි වූ ජීවිත ගනන 150 කි. 2013 වසරේ වර්ෂාව විසින් ඇතිකල ව්‍යසනයෙන් 260ක් මරනයට පත්වූ බව සඳහන් වේ.

200 කට ආසන්න පිරිසක් මරනයට පත් කරමින් 2016 දී අරනායක සාමසර කන්ද නායයෑම එවන් තවත් දරුනු ව්‍යසනයකි. එයින් අවතැන් වූ ජනතාව වෙනත් ප්‍රදේශ වලට ගෙන ගියද ඔවුන්ගේ ගැටලු වලට තවමත් විසඳුම් ලැබී නොමැත.

2017 වසරේ දී කලුතර ඇති වූ ගංවතුර තත්වයක්

නිරිත දිග මෝසම සක්‍රීය වීම සහ අවපීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ඇති වූ මෙම ව්‍යසනය හමුවේද ආන්ඩුවේ ප්‍රතිචාරය වෙනස් නොවේ. අවතැන් වූ ජනතාවට රුපියල් පන්දහසක සහන මලු බෙදා දීම හා එදා වේල පිරිමසා ගැනීමට මිලිටරිය යෙදවීම හැරෙන්නට කිසිවක් ආන්ඩුව සිදු කර නොමැත.

මෙම නාය යෑම් සහ පහත් බිම් ජලයෙන් යට වීම සම්බන්ධයෙන් ආන්ඩුව මුලුමනින්ම වගකිව යුතුය. මිලිමීටර් 400 වැනි ඉහල වර්ෂාපතනයක් ලැබෙන විට ඒවා ගංඟා, ඇල, දොල ආදිය හරහා ගලා යෑමට අවකාශ තිබිය යුතුය. ධනපති ආන්ඩු ක්‍රියාවට දමා ඇති අවිධිමත් ඊනියා නාගරික සංවර්ධන ව්‍යපෘති හේතුවෙන් ජලය බැස යන මාර්ග අවහිර වී ඇත.

ගම්පහ ප්‍රදේශය යටවීමට එම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය බලපා ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. ඔවුන් සඳහන් කරන්නේ අත්තනගලු ඔයට එක්වන ජලය මෙම අධිවේගී මාර්ගය ඉදි කිරීමෙන් අවහිර වී ඇති බවයි.

ගං වතුර හේතුවෙන් තමන්ගේ හානි වූ වගා බිම් වලට වන්දි ඉල්ලා දිවයිනේ ස්ථාන කීපයක ගොවීහු විරුද්ධත්වය ප්‍රකාශ කලහ. ආන්ඩුව මෙම ව්‍යසනයෙන් තමා ගලවා ගැනීමට කිසිවක් නොකිරීම පිලිබඳව ආන්ඩුවට එරෙහිව මහජනතාව තුල වැඩී ඇත්තේ කැකෑරෙන කෝපයකි. මෙම කටයුතු සඳහා මිලිටරිය යෙදවීම එම කෝපය පාලනය කිරීම සම්බන්ධයෙන් ගනන් බලා ගත් එකකි.

සිරිත් පරිදි ධනපති මාධ්‍යයන් ආන්ඩුව වගකීමෙන් ගලවා ගැනීමට පෙරට පැමින ඇත. දිනමින පුවත්පත “ගංවතුර සහන” නමින් ජුනි 07දා කතු වැකියක් පල කරමින් ගංවතුරේ වගකීම මහජනයා මතට පැටවූයේය. “ස්වාභාවික විපත්වලට මුහුනදීම පිලිබඳ සූදානමක් පොදු ජනතාව තුල නැත” යනුවෙන් කතුවැකිය මහජනයාට දොස් පැවරීය.

මෙය මුළුමනින්ම ව්‍යාජයකි. ස්වභාවික විපත්වලට මුහුන දීමේදී ප්‍රමුඛතම වන්නේ එම විපත් පිලිබඳව මහජනතාව කල්තබා දැනුවත්කොට සූදානම් කිරීමයි. ඔවුන් පදිංචිව සිටින්නේ නායයාම් වලට හෝ ගංවතුරට නිරන්තරව ගොදුරුවන ප්‍රදේශවලද යන්න කල්තබා පරික්ෂා කොට, ආරක්ෂිත ස්ථානයන්හි වාසස්ථාන සපයාදීම ආන්ඩු සතු මූලික වගකීමකි.

මේ සඳහා, වාරිමාර්ග, කාලගුන විද්‍යා, භූගර්භ පර්යේෂන, ඉඩම්, නිවාස ඉදිකිරීම් ආදී ක්ෂේත්‍රයන්හි ඒකාග්‍රතාවයෙන් තාර්කිකව සැලසුම් කල සුවිසල් ව්‍යාපෘති ක්‍රියාත්මක කල යුතුය. ඉහත ආයතන නවීන තාක්ෂනයෙන් සන්නද්ධ කිරීම ඒ සඳහා පූර්ව අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මේවා සාක්ෂාත් කිරීමට දැවැන්ත පරිමානව මුදල් ආයෝජනය කලයුතු වුවත් අනුප්‍රාප්තික ආන්ඩු සිදුකොට ඇත්තේ ඉහත ක්ෂේත්‍රයන්ට වෙන් කෙරෙන මුදල් වඩවඩාත් කප්පාදු කිරීමයි. මෙම වසරේ අයවැයෙන් නිවාස කටයුතුද ඇතුලත්ව ආපදා කලමනාකරනය භාරව ඇති අමාත්‍යංශයට වෙන්වූයේ රුපියල් බිලියන 152ක් පමනි.

‌ලංකාව වැනි පසුගාමී ධනපති රටවල පමනක් නොව, එක්සත් ජනපදය වැනි ලොව ධනවත්ම රටවල පවා පාලකයන් දශක ගනනාවක සිට පෙන්නුම් කරන්නේ, මෙවන් විපත් වලින් මහජන ජීවිත ආරක්ෂා කිරීමේ ආන්තික නොහැකියාවයි. අර්බුද ග්‍රස්ථ ධනපති ක්‍රමය එවැනි විද්‍යාත්මක සහ තාර්කික සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික වශයෙන් අසමත් ය. 2004 සුනාමියෙන් 40,000 කට අධික මහජනතාවගේ ජීවිත බිලිගෙන තිබියදීත් ලංකාවේ පාලක පංතියට මෙවන් විපත් වලින් මහජනතාව ආරක්ෂා කිරීමේ කවර හෝ විධිමත් පියවරක් ගත නොහැක්කේ එබැවිනි.

ධනපති පාලක පන්තියේ පිලිවෙත් නිර්නය වන්නේ අතිමූලික වශයෙන් මහධනපතියන්ගේ ලාභ අරමුනු මතය. කොවිඩ්-19 වසංගතයෙන් මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍යම පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විද්‍යාඥයන් නිර්දේශ කරන අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන වසා දැමීම රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා ආන්ඩු දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ මහ ධනපතියන්ගේ ලාභ ඉපැයීමේ ක්‍රියාවලියට ඉන් බාධා වන බැවිනි.

වසංගත ව්‍යසනය මෙන්ම, ගංවතුරෙන් සහ නායයාමෙන් සිදුව ඇති විපත්, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය පිහිටුවීමේ මෙම සාපරාධී පිලිවෙතේ, එනම් ධනපති ක්‍රමයේ නිර්මිතයකි.

Loading