රාජපක්ෂ ආන්ඩුවේ රාජ්‍ය ත්‍රස්තය එක් මසක් තුල ජීවිත පහක් බිලි ගනී

මැයි 11 සිට ජුනි 6 දක්වා ගෙවී ගිය දින 26 තුල පුද්ගල ඝාතන පහක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය චෝදනා ලැබ ඇත. 

මැයි 11 සහ 13 යන දිනයන්හි, පිලිවෙලින් මාඹුලගේ දිලිත් මෙලන් සහ තාරක ධර්මකීර්ති යන දෙදෙනා පාතාල ක්‍රියා සම්බන්ධව පොලිස් අත් අඩංගුවේ සිටියදී පොලීසිය විසින් පිටත‌ට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කෙරුනාහ.

ඉහත ඝාතන දෙක සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කලේ කුප්‍රකට ප්‍රබන්ධය යි: “සඟවා තිබූ ඔවුනගේ අවි ආයුධ අනාවරනය කර ගැනීමට රැගෙන ගිය අවස්ථාවේදී පැන යාමට හෝ වෙඩි තැබීමට තැත්කල බැවින් වෙඩිතබන්නට සිදුවිය.”

මැයි 17 දා, වැලිගම, මිදිගම පදිංචිව සිටි 49 හැවිරිදි තිදරු පියෙකු වන ඩී. සුනිල් ඉන්ද්‍රජිත්, වැලිගම පොලිසියේ සහායකයකුගේ ප්‍රහාරයෙන් මරනයට පත් විය. අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනකු බලා සිටිය දී ප්‍රහාරකයා සුනිල්ට මහා මාර්ගය මැද දී, උඩුකුරුව බිම වැටෙන පරිදි පහර දුන්නේ ය. ප්‍රහාරකයාට ඉවත්ව යාමට ඉඩ දුන් පොලිසිය පහර කෑ සුනිල්ගේ නිසල සිරුර බස් රථයකට යට වන තෙක් කල් බලමින් සිට, අනතුරුව එය සරල අනතුරක් ලෙස පවුලේ අයට දැනුම් දුන්නේ ය. කැමරාවේ සටහන්, බස් රිය දේහය මතින් ධාවනය වන කොටස පමනක් පවුලේ අයට පෙන්වා සිද්ධිය යට ගැසීමට පොලීසිය මෙහිදී උත්සාහ කලේය.

ජේඩී මීඩියා ආයතනය විසින් ප්‍රසිද්ධියට පත් කෙරුනු වීඩියෝ සටහන් වලින් හෙලි වන පරිදි, අධිකරන වෛද්‍ය නිලධාරී වාර්තාව උපුටා දක්වමින් නැගෙනහිර කොලඹ හදිසි මරන පරීක්ෂක කියා සිටින්නේ පහර කා පිටිපසට වැටීමෙන් ඇති වූ තුවාල නිසා මරනය සිදු වී ඇති බව ය. බෙල්ලට, පපුවට සහ හිසට පහර දී ඇත.  

සුනිල් ගේ බිරීද පවසන පරිදි, ඔහු ඝාතනය කෙරුනු දිනය වනවිට, නිදහස් වෙලඳ කලාපයේ සේවය කරන දියනියට කොවිඩ් 19 වැලඳීම නිසා පවුල ම නිරෝධායනය වී දින හතරක් ගත වී තිබිනි. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකට හා පොලිසියට කතාකොට අවසර ගෙන, රාත්‍රී 9.45 පමන ඔහු නිවසින් පිටත් වූයේ ආහාර සඳහා යමක් මිල දී ගැනීම පිනිස ය. 11.43ට ඔහුගේ මරනය සිදු වී ඇත. පසු දිනෙකත් පොලිසිය සිය නිවස ඉදිරියට දෙතුන් වතාවක් ම පැමින ප්‍රකෝපකාරී ලෙස හැසිරුන බව ඇය කීවා ය. 

ඉන්ද්‍ර‍ජිත්ගේ මරනය සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජනතාව අතර වැඩෙන කෝපය මධ්‍යයේ  ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවූ  වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම,  “අධිකරනය මගින් යුක්තිය ඉටු කරවා ගැනීමට සෑම දෙයක්ම කරන” බවට සපථ විය. මෙම ව්‍යාජ සපථය හරහා, මහජන කෝපය අපගමනය කිරීම ඔහුගේ අරමුන යි.

චන්ද්‍රන් විදූශන්

ජුනි 3, නැගෙනහිර පලාතේ මඩකලපුව, ඉරුදයපුරම්හි වාසය කල චන්ද්‍රන් විදූශන් නමැති 22 හැවිරිදි තරුනයා, පොලිස් අත් අඩංගුවේ සිටිය දී මියගොස් ඇත. සිද්ධියට සම්බන්ධිතව ජේඩීඑස් නිවුස් සහ සමාජ මාධ්‍ය විදූශන්ගේ පවුලේ ප්‍රකාශ ඇතුලත් වීඩියෝ කිහිපයක් ම ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව පෙර දින රාත්‍රී 10.30ට පමන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව නමින් පෙනී සිටි කන්ඩායමක් නිවසට කඩා වැදී, මත් කුඩු පිලිබඳ චෝදනා කරමින් විදූශන් අත් අඩංගුවට ගත්තේ ය. සැක කටයුතු කිසිවක් පොලිසිය සොයා ගත්තේ නැත.

පසු දා උදෑසන වාර්තා වූයේ ඔහු මිය ගිය බව ය. උදරගත අයිස් නමින් හඳුන්වන මත් ද්‍රව්‍ය පැකට් පුපුරා ගොස් එම ද්‍රව්‍ය ශරීරගත වීමෙන් මරනය සිදු වූ බව අධිකරන වෛද්‍ය වාර්තාව කිය යි. විදූශන්ගේ පියා, කේ. චන්ද්‍රන් පවසන්නේ පොලිසිය බලහත්කාරයන් මෙම මත්ද්‍රව්‍ය ගිල්වන්නට ඇති බව ය. අදාල දිනයේ සිය දරුවා පහර දී බිම ඇදගෙන ගි‌යේ, තමා සහ පවුලේ අන් අයගේ ඇස් ඉදිරියේ බව, විදූශන් ගේ මව චන්ද්‍රන් ලිලී පවසයි. මරන පරීක්ෂන වාර්තාව ප්‍රතික්ෂේප කරමින්, නැවත පරීක්ෂනයක් කරන මෙන් 10 දා මඩකලපුව මහේස්ත්‍රාත් කරුපයියා ජිවරානි හමුවේ ඇය ඉල්ලා සිටියා ය.   

විදූශන්ගේ බාල සොහොයුරිය, කැරොලයින් චන්ද්‍රා සිය නිවසට කඩා වැදුනු පොලිසියේ ත්‍රස්ත හැසීරීම විස්තර කරමින් “මගේ සහෝදරයාට මැරෙන තුරු පහර දුන්නා. පොලිසිය ඔහු ඔසවා පොලොවේ ගැහුවා. බිත්තියේ හැප්පූ වේගයට බිත්තිය ඉරි තැලුනා. ඔහුට යුක්තිය ඉටු වන තෙක් මම නවතින්නේ නැහැ” යි මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

ජුනි 7, පානදුර සරික්කාමුල්ල පදංචිව සිටි මොහොමඩ් අලී නමැති 42 වියැති කම්කරුවාට ද, පොලිස් අත් අඩංගුවේ දී ජීවිතය අහිමි විය. අලී ලදරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු පෙර දින උදේ 8ට පමන සුපුරුදු පරිදි කඩයට යද්දී පොලිස් ජිප් රථය දැක පලා ගොස් පල්ලිමුල්ල පන්සලේ සැඟවුනේ මුව ආවරනයක් පැලඳ නො සිටි බැවිනි. පොලිසිය ඔහු පන්සලෙන් එලියට එන තෙක් රැක සිට අල්ලා පහර දී ජිප් රථයේ දමා ගෙන යන ලදී.

පසුව තමන්ට ලැබුනු නිර්නාමික දුර කථන පනිවිඩයක් අනුව, තම පුතා සමග පානදුර රෝහලට ගිය අලීගේ බිරිඳ රෂීමාට, දෑස් නො පෙනෙන තරමට මුහුන ඉදීමී තුවාල ලබා සිටි සැමියා දැක ගන්නට ලැබිනි. තම පුතාට ඉමහත් ආදරයක් දැක්වූ අලී, පුතා එතැන නොසිටිය ද, "මගෙ පුතේ මට ගැහුවා" යැයි පවසමින් දුක්වූ බව ඇය ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කීවා ය. පසු දින ඔහු තම ආදරනීයයන්ගෙන් සමු ගෙන තිබිනි.

“මේවා කතා කර වටපිටාවේ මිනිසුන් ඇවිස්සීමෙන්” වලකින ලෙස පොලිසිය නැවත නැවතත් ඇයට අවවාද කර ඇත.

“අපරාධය කල අයට දඬුවම් දෙන්න ඕනෙ. එවුන් මේවාට වන්දි ගෙවන්න ඕනෙ. පොලිසිය අපරාධ කරන හැටි රටම දන්නවා. මිනිස්සු එකතු වෙන්න ඕනෙ. අද මට වුන දේ හෙට වෙන කෙනෙකුට වෙන එක නවත්තන්න ඕනෙ.” හෂීනා ලෝසවෙඅ සමග කල සාකච්ඡාව අවසානයේ දී කියා සිටියා ය. 

කෙසේ නමුත් මෙම සාපරාධී සිද්ධීන්ට සම්බන්ධිත පොලිස් නිලධාරීන්ට විරුද්ධව පොලිසියෙන් ඉදිරිපත් කර ඇත්තේ, “අපරාධයක් හා අනතුරක් වලක්වා නො ගැනීම” යන නොගිනිය හැකි තරමේ චෝදනාවකි. 

බන්ධනාගාර තුල සහ පොලිස් අත් අඩංගුවේ දී, අවම වසයෙන් 20 දෙනෙකු, පසු ගිය වසර තුල වෙඩි පහරට ලක්ව හෝ වෙනත් අයුරකින් මරනයට පත් වී ඇත. මින් 14 දෙනෙකු කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාව පැතූ රැඳවියන් ය. එක් අයෙක් කොවිඩ් මර්දන රාජකාරිවල නියැලී සිටි මහජන සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කලේ ය යන චෝදනාව මත පොල්පිතිගම පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුනෙකි. පසු දා සැකකරු ජනේලයක එල්ලී සිය දිවි නසා ගත් බව පොලිසිය කී ය. ජූලි මාසයේදී මාලු බෑමට ගිය එක් ධීවරයෙක් මොරටුවේ දී පොලිස් වෙඩි පහරින් මිය ගියේ ය. පාතාල චෝදනා ලැබූ පස් දෙනෙක් වෙඩි තබා මරා දමන ලදහ. 

ලංකාවේ පමනක් නොව, උපතේ සිටම බෙලහීන සමස්ත දකුනු ආසියාවේම පාලක පන්තීන්, ධනේශ්වර ආර්ථික අර්බුදය තීව්‍ර වූ හැත්තෑ ගනන් අග භාගයේ සිට මෘග මිලිටරි පොලිස් මර්දනය මත වඩ වඩාත් වාරුවනු දකින්නට හැකිවිය. එය කෙතරම් පුලුල් ලෙස පැතුරුනු ප්‍රපංචයක් වී ද යත් බංග්ලාදේශය තුල අධිකරන ක්‍රියාවලියට පිටින් හා අත් අඩංගුවේ දී වසරකට සිදුවන මරන සංඛ්‍යාව 200ක් බව යූසීඒ ප්‍රවෘත්ති වාර්තා කර ඇත. 

ඩකා මානව හිමිකම් කන්ඩායමකට අනුව එරට පසු ගිය දශක දෙක තුල අධිකරන ක්‍රියාවලියෙන් බැහැර ඝාතන 4,000ක් වාර්තා වෙයි. නමුත් බංග්ලාදේශය 2013 දී ස්ථාපිත කර ඇති  “වද දීම සහ අත් අඩංගුවේදී සිදුවන මරන වැලැක්වීමේ පනත” අනුව මෙතෙක් දඬුවම් ලබා දී ඇත්තේ ඉස්තියාක් හුසේන් ජොනී නම් තරුනයා ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියේ වරදකරුවන්ට පමනක් බව වාර්තාව කිය යි.

අසල්වැසි ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ්හි පොලිසියට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරනයේ පැවරුනු නඩු 74කින් 61ක ම චූදිතයන්, පොලිස් සමීක්ෂන වාර්තා සලකා බැලීමෙන් පසු නිදොස් කෙට නිදහස් කල බව 2020 ජුලි 30 ජුරිස් ඕර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 

පොලිස් වද දීම්, අධිකරන ක්‍රියාවලියට පිටින් කෙරෙන ඝාතන හා අත් අඩංගුවේ සිටිය දී මරනට පත් කිරීම නතර කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් පසු ගිය මාර්තු 24 දා පකිස්ථානයේ ලාහෝර් නගරයට රැස් වී උද්ඝෝෂනය කලහ.

ශ්‍රී ලංකා සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව මෙම තත්වය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ අවධානයට යොමු කල, මැයි 12 දිනැති, ලිපියක තමන් පොලිස්පතිගෙන් කල ඉල්ලීමක් ගැන මෙසේ සඳහන් වෙයි. “...තම අත් අඩංගුවේ සිටිනා පුද්ගලයන් ආරක්ෂා කිරිමේ නිත්‍යානුකූල බැඳීමක් පොලිසියට ඇති අතර මෙබඳු ක්‍රියාවන් වැලැක්වීමේ වගකීමක් පොලිස්පතිට තිබේ. එමෙන් ම පොලිසිය කෙරේ මහජන විශ්වාසය බිඳ වැටුනහොත් ඔවුන් තමන් විසින් ම ප්‍රශ්න විසඳා ගැනීමේ අනතුර පවතින බව ද අපි ප්‍රකාශ කර සිටියෙමු. මෙම සිද්ධීන්ට සම්බන්ධ පොලිස් නිලධරයන්ගේ වැඩ තහනම් කීරීම පමනක් ප්‍රමානවත් නො වන අතර ඔවුන්ට එරෙහිව අපරාධයක් සිදු  කිරීමේ පදනම මත ක්‍රියාත්මක විය යුතු බව අපි අවධාරනය කලෙමු.”

කෙසේ නමුත්, ශ්‍රී ලංකා සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව වැනි ධනේශ්වර පද්ධතියට තදින් බැඳුනු සංවිධානයන් ද, ධනපති පාලකයන් මෙන්ම සලිත වී සිටින්නේ, මෙම රුදුරු පොලිස් අපරාධ ඇතුලු අනෙකුත් ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන මහජන විරෝධය සමස්ත ධනපති රාජ්‍යයටම අභියෝග කරතැයි යන භීතියෙනි. “මහජන විශ්වාසය බිඳ වැටුනහොත් ඔවුන් (මහජනතාව) තමන් විසින් ම ප්‍රශ්න විසඳා ගනු” ඇති බවට එය ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතියට අනතුරු අඟවන්නේ එබැවිනි.  

රාජ්‍ය ත්‍රස්තය ලොවපුරා වඩවඩාත් ගැඹුරුවීමේ මූලය පවතින්නේ ගෝලීය ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ප්‍රගාඪ අර්බුදය තුලය. සෑම රටකම පාලක පන්තීහු තම අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර, එයට එරෙහිව වර්ධනය වන පන්ති අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලනයන් වෙත වේගයෙන් හැරෙමින් සිටිති. මෙම ජාත්‍යන්තර ප්‍රපංචයේ කොටසක් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩ නගමින් සිටී. පොලිස් අපරාධ ඇතුලු රාජ්‍ය ත්‍රස්තය එහි අත්‍යන්ත අංගයකි.

කුනු වූ ධනවාදයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වන රාජ්‍ය ත්‍රස්තය නතර කරන ලෙස, සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව ආදී සංවිධාන ධනපති පාලකයන්ට කරන ආයාචනායන්හි නිස්සාරබව යලියලිත් තහවුරු වී ඇත. අධිකරනය මගින් යුක්තිය ඉටු කරවා ගැනීමට සෑම දෙයක්ම කරන බව පවසමින් වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මරනයට පත් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට සපථ වන්නේ එම තතු යටතේ ය. 

කොරෝනා වසංගතය මගින් ගිනියම් කෙරුනු සමාජ අර්බූදය මගින් රාජ්‍ය ත්‍රස්තය වඩාත් ඉහල තලයකින් සංවිධානය කර ගැනීම සඳහා පාලක පන්තිය යොමු කෙරී ඇත. ජනාධිපති රාජපක්ෂ විසින්, ආරක්ෂක ඇමති ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර පත් කෙරුනේ පොලිසිය මේ සඳහා ප්‍රතිසංවිධානය කිරීමේ අරමුනෙනි. අමාත්‍යධුරයේ වැඩ භාර ගනිමින් ඔහු මෙසේ කියා සිටියේය: “සංවිධානාත්මක හා බරපතල අපරාධ නො කඩවා කරන අය සමූලඝාතනය කිරීම පවක් ය යි මා සිතන්නේ නැත.” 

“සංවිධානාත්මක හා බරපතල අපරාධ” මැඩීමේ කඩතුරාව යටතේ වර්ධනය කෙරෙන මෙම ත්‍රස්තයේ මූලික ඉලක්කය අරගලයට පිවිසෙමින් සිටින කම්කරු පන්තිය බවට අපි යලිත් අනතුරු අඟවන්නෙමු.

Loading