ආන්ඩුව දෙමල මාධ්‍යවේදී කෝකිලන් දාසන් සිරගතකොට සය මසක් ඉකුත් වෙයි

දෙමල මහජනතාවට එරෙහිව දකුනේ සිංහල වර්ගෝත්තමවාදී ධනපති ආන්ඩු ගෙනගිය විසි හය අවුරුදු වර්ගවාදී යුද්ධයේ දී, විශේෂයෙන් එහි අවසාන අදියරේදී, දස දහස් ගනනින් මරා දැමුනු තම ඥාතීන් හා සටන්කාමීන් අනුස්මරනය කිරීමේ අවස්ථාවන් සම්බන්ධව තම ෆේස්බුක් ගිනුමේ යොදා තිබු සටහන් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනු දෙමල මාධ්‍යවේදී මුරුගපිල්ලෛයි කෝකිලන් දාසන් (ගෝකුලන්) බන්ධනාගාරගත කොට සය මසක් ඉක්ම ගොස් තිබේ.

කෝකිලන් දාසන් (ගෝකුලන්)- ෆේස්බුක් පිටුව

පසුගිය වසරේ නොවැම්බර් 28 වන දින කොකිලන්ගේ නිවසට පැමිනි වාලච්චේන පොලිස් නිලධාරීහු ඔහු නිවසේ නොසිටි බැවින්, එදිනම සන්ද්‍යාවේ ඔහුව පොලීසියට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත්හ. එතැන් සිට රඳවා ප්‍රශ්න කිරීමෙන් පසුව දෙසැම්බර් 01 දින සවස ඔහු වාලච්චේන මහේත්ත්‍රාත් වෙත ඉදිරිපත් කල බී-වාර්තාවේ දක්වන තෙක් තමා අත්අඩංගුවට ගත් වරද කුමක්දැයි කෝකිලන් නිශ්චිතව දැන සිටියේ නැත. කෙසේ නමුත් පොලීසිය බී-වාර්තාවේ සාවද්‍ය ලෙස දක්වා ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගත්තේ නිවසේදී බවය යි.

එම වාර්තාවෙන්, 'එල්ටීටීඊය ප්‍රවර්ධනය කිරීමේ' වැරදි කර ඇති බවට පොලීසිය ඔහුට චෝදනා එල්ල කර තිබේ.  කුප්‍රකට මර්දක පනතක් වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පනවනු ලැබ ඇති, 2011 අංක 01 දරන පීටීඒ (ද්‍රවිඩ ඊලම්  විමුක්ති කොටි සංවිධානය -එල්ටීටීඊ- තහනම් කිරීමේ) නියෝග වල 3(අ), (ඇ), (ඒ) හා (ක) සහ 4 හා 5 යන රෙගුලාසි යටතේ මෙම චෝදනා එල්ල කෙරී පවතී. මහාධිකරනයකදී මෙම වැරදි ඔප්පු කරනු ලැබුවහොත් කෝකිලන් වසර 20 හෝ 30 ක් දක්වා සිරගත කිරීමේ හැකියාව තිබේ. 

යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීමේ උත්සවය ෆේස්බුක් පිටුවේ සටහන්

නොවැම්බර් 19 දා නිකුත් කෙරුනු අධිකරන නියෝගයක් මගින්, යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීමේ උත්සව දෙමල ජනයාට තහනම් කෙරුනි. එම නියෝගය අභියෝග⁣යට ලක්කල ඉල්ලීම අධිකරනය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, කෝකිලන් විසින් යුද වින්දිතයන්ගේ කකියන හැඟීම් තම ෆේස්බුක් පිටුවේ සටහන් කලේය. කාව්‍යමය භාෂාවකින් පලකල එවන් සටහනක් මෙසේය: 'වසර එකොලහකට පෙර මියගියවුන් නිසා රජය තවමත් බියවන්නේ ඇයි? මක්නිසාදයත්, ඔවුන් වලලනු ලැබ නැත, පැලකරනු ලැබ ඇති බව ඔවුන් දන්නා බැවිනි'.

රටේ කිසිදු නීතියක් යටතේ වරදක් සිදුකර නොමැති කෝකිලන්, තමන්ට එරෙහි පොලීසියේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. 

ගෝකුලන් නමින් ප්‍රාදේශීයව ප්‍රසිද්ධව සිටි 38 හැවිරදි ඔහු ඡායාරූප ශිල්පියෙකු හා මාධ්‍යවේදියෙකු වශයෙන් බැටීනිව්ස්, ඩීඒඑන් නිව්ස්, අයිබීසී තමිල් ආදී මාධ්‍ය ආයතන කිහිපයකටම සම්බන්ධව කටයුතු කර තිබේ. තම රෝගී දෙමව්පියන් හා බාල සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක්ම රැක බලා ගත් ඔහු අවිවාහක ය. මඩකලපුවේ, වාලච්චේන, කින්නියාඩි යන ප්‍රදේශයේ පාරම්පරික පදිංචිකරුවන් වන ඔහුගේ පවුල හා ඥාතීන් උතුරු නැගෙනහිර යුද සමයේ දී රාජ්‍ය මිලිටරියේ නිරන්තර පීඩාවන්ට ලක්වූ වූ මහජනතාවට අයත් වූවෝ වෙති. 

රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජනතාව, යුද්ධයෙන් පසු, අඛන්ඩ මිලිටරි වාඩිලෑම්, පොලිස් මෙහෙයුම්, සෝදිසි කිරීම් හා අඩන්තේට්ටම් වලින් තම නිදහස තවදුරටත් අහිමි කිරීමෙන් දැඩි ලෙස හෙම්බත්ව සිටිති. දමිල ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම්, හා එම ජනතාව වෙසෙන ප්‍රදේශවල සිංහල ජනපද ඉදි කිරීම් ආදී ආක්‍රමනික ප්‍රහාරයන් ආන්ඩුව ක්‍රමානුකූලව සිදුකරමින් සිටී. 

මෙහි කොටසක් ලෙස පසුගිය වසර මැද භාගයේ දී, බෞද්ධ භික්ෂූන්, ආරක්ෂක ලේකම් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුලු තවත් පුද්ගලයන්ගෙන් සමන්විත, 'නැගෙනහිර පලාත තුල පුරාවිද්‍යාත්මක උරුම කලමනාකරනය සදහා වන ජනාධිපති කාර්යසාධක බලකාය' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ස්ථාපිත කෙරුනි. මේ යටතේ, දෙමල සහ මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික භූමි හා උරුමයන් ඩැහැගැනීමේ ප්‍රකෝපකාරී වැඩසටහනක යෙදී සිටින ආන්ඩුව, සිංහල-⁣බෞද්ධ වර්ගවාදී උදඝෝෂකයන් ඉහලින් නඩත්තු කරමින් සිටී.

තම ජීවිත කාලයම යුද්ධයෙන් පීඩා විඳි පීඩිත දෙමල මහජනතාව මේ සියලු ප්‍රහාරයන් සම්බන්ධව දැඩි වික්ෂෝපයෙන් පසුවන අතර යුද්ධය තුලදී තමන් වෙනුවෙන් ජීවිත පිදූ බවට ඔවුන් සලකන සටන්කාමීන් හා ඥාතීන් සිහිපත් කිරීම, ආන්ඩුවේ මෙම සමස්ත ප්‍රහාරයට එරෙහි ඔවුන්ගේ කැකෑරෙන විරෝධයේ ප්‍රකාශනය කි.

කෝකිලන්ගේ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, නොවැම්බර් 27 'මහ විරු දිනය' සම්බන්ධ අවස්ථාවන්ට සහභාගී වූ හෝ ඒවා සංවිධානය කල පුද්ගලයන් ගනනාවක්ම ඒ හා සමාන චෝදනා යටතේ අත්අඩංගුවට ගනිමින් තීව්‍ර කෙරුනු මර්දනකාරී වාතාවරනයක් තුල ය. යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ සංවිධානය විසින් තම මියගිය සටන්කාමීන් වාර්ෂිකව සිහිකිරීම සඳහා යොදාගැනුනු 'මහ විරු දිනය', යුද්ධය නිමා වීමෙන් පසුව, යුද්ධයට බිලිවූ තම ආදරනීයයන් සහ සටන්කාමීන් සිහිකිරීමේ පොදු අනුස්මරන දිනයක් ලෙස දෙමල ජනයා විසින් සලකනු ලැබේ.

නොවැම්බර් 27 ආසන්න දිනවලදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ දෙමල පුද්ගලයන් ගනන 19 කි. තවත් 55 දෙනෙකුට එරෙහිව පොලිස් පරීක්ෂන දියත් කෙරුනි.

2020 නොවැම්බර් හා දෙසම්බර් මාස වලදී පමනක්, ඉහත කී අත්අඩංගුවට ගැනීම් වලට සමගාමීව, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම්, ඔවුනට එරෙහිව ශාරීරික ප්‍රහාර හා මරන තර්ජන එල්ල කිරීම්, දෙමල මාධ්‍ය ආයතන වලට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම් ආදී සිද්ධි ගනනාවක් ම, ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව වාර්තා සකස් කරන, ඉන්ෆෝම් ආයතනය පසුගිය මාර්තු මස වාර්තා කලේ ය. 

යුද්ධයෙන් ඝාතනය කරනු ලැබූවන් අනුස්මරනය සඳහා දෙමල කම්කරු-පීඩිතයින් මැයි මස 18 වන දින වාර්ෂිකව පවත්වනු ලබන උත්සව කඩාකප්පල් කිරීම සඳහා ආන්ඩුව, අධිකරනය හා කොවිඩ් වසංගතය යොදා ගත්තේය. 40,000ක් පමන දෙමල සිවිල් වැසියන් ඝාතනය කරමින් යුද්ධයේ අවසන් සටන් සිදුවු මුල්ලිවෛක්කාල් ප්‍රදේශයෙහි ඉදිකර තිබූ මියගියවුන් සිහිකිරීමේ ස්මාරක හමුදා අනුදැනුම ඇතිව විනාශකර තිබිනි. ස්මරන අවස්ථා සංවිධානය කල තවත් දෙමල තරුනයන් 10ක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිනි.

මැයි 19 'විජයග්‍රනයේ දිනය' වශයෙන් මිලිටරිය ඔසවා තබමින් 2010 සිට සෑම වසරකම කොලඹ ආන්ඩු ජන ඝාතක යුද සැමරුම් පවත්වන්නේ දෙමල ජනතාවට එරෙහි වාර්ගික අකටයුතුකම්වල පරමෝත්කෘෂ්ට සංකේතය වශයෙනි.  

උතුරේ 'ත්‍රස්තවාදය' නැවත පැන නැගීම වැලැක්වීම යන කඩතුරාව යටතේ රාජපක්ෂ ආන්ඩුව දෙමල ජනතාවට එරෙහිව ඉස්මත්තට ගෙන ඇති මෙම කෲර වාර්ගික අඩංතේට්ටම්, 2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගසාකමින් 'මුස්ලිම් අන්තවාදයෙන්' රට බේරා ගැනීමේ වහන්තරාව යටතේ රටේ සෑම ප්‍රදේශයකම මුස්ලිම් ජනතාවට එරෙහිවද එලෙසම එල්ල කෙරී ඇති වර්ගවාදී මර්දනයට  දේශපාලනිකව සමරූපී වේ. 

අනුප්‍රාප්තික ආන්ඩු විසින් මෙම මර්දනය දකුනේ ද අඛන්ඩව ක්‍රියාවට නංවමින් සිටිති. මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන්, කලාකරුවන්, ලේඛකයන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් හා දේශපාලන ප්‍රතිවාදීන් මෙහි ගොදුරු බවට පත්ව ඇත. යුද්ධය කාලය තුලත් ඉන් පසුවත් මහ දවල් මාධ්‍යවේදීන් අමු අමුවේ මරා දැමීමේ සිට, අතුරුදහන් කිරීම්, හිංසනයට ලක්කිරීම් ආදී ලේවැකි ඓතිහාසික වාර්තාවක් ලංකාවේ ධනපති පාලක පන්තිය සතුය. පන්ති අරගල පාගා දැමීම සඳහා මිලිටරි පොලිස් ප්‍රහාර එල්ල කිරීම, උද්ඝෝෂකයන් හඹා යමින් අත්අඩංගුවට ගැනීම, පැහැරගෙන යාම හා රඳවා ගැනීම, ශිෂ්‍ය සටන් මර්දනය කිරීම ඇතුලු කුප්‍රකට වාර්තාව  එයට අනුපූරක ය. 

මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි මෙම ප්‍රහාරයන්හි මූලය ගෝලීය ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ගැඹුරු අර්බුදය යි. ලොවපුරා ධනපති පාලකයෝ තමා මුහුන දී සිටින අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාවගේ උරමත පටවමින් සිටිති. එයට එරෙහිව වැඩෙන පන්ති අරගල, මිලිටරිය, පොලිසිය, මැර කන්ඩායම් හා උසාවිය ඇතුලු මර්දන යාන්ත්‍රනය මගින් යටපත් කිරීම සෑම රටකම ආන්ඩුවල පිලිවෙත බවට පත්ව ඇත. 'ජාතික ආරක්ෂාව' නමැති කඩතුරාව යටතේ සුලු ජනවර්ගයන්ට එල්ල කෙරෙන ප්‍රහාරයේ එල්ලය වනුයේ, වැඩෙන පංති අරගල වාර්ගික රේඛා ඔස්සේ බෙදා අවමංගත කොට, කම්කරු පංතියෙන් ධනපති රාජ්‍යයට එල්ල කෙරෙන අභියෝගය වලකා ලීමයි.

මෙම ප්‍රහාරයන් මධ්‍යයෙහි, තම වරප්‍රසාද වෙනුවෙන් කොලඹ ආන්ඩුව සමඟ ගනුදෙනුවකට එලැඹීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ට ආයාචනා කරන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු දෙමල ධනපති පක්ෂ, වාර්ගික භේදකරනයන්ට තෙල් වත් කරමින් ගෙනයන දෙමල ජාතිකවාදී උද්ඝෝෂනය අතිශය විසකුරුය. දෙමල ජනයාට එල්ල කෙරෙන ප්‍රහාරයන්හි පන්ති මූලය වසන් කරමින්,  දෙමල ජාතික මහජන පෙරමුනේ (ටීඑන්පීඑෆ්) නායක ගෝපාලක්‍රිෂ්නන් රාජ්කුමාර් පසුගියදා සමස්ත සිංහල ජනතාවම දෙමල ජනතාවගේ හතුරෙකු  ලෙස පින්තාරු කලේය.

කෝකිලන්, 2018 දී, ටීඑන්ඒ හි පාර්ශ්වකරුවෙකු වන ටෙලෝ සංවිධානයේ අපේක්ෂකයෙකු ලෙස වාලච්චේන ප්‍රාදේශීය සභා මැතිවරනයට ඉදිරිපත්ව එය සමග නිරන්තර සබඳතා පවත්වා තිබීම පොලීසියේ හා මිලිටරියේ ඉලක්කයක් විමට බොහෝ ඉඩ සලසා තිබිනි. 

කෝකිලන් සම්බන්ධතා පැවැත්වූ ධනපති පක්ෂවල දෙමල ජාතිකවාදී දේශපාලනය ම, යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන්, දෙමල ශාස්ත්‍රාලිකයන් අතරින් සහ දෙමල ධනපති මාධ්‍යවේදීන්ගෙන් නිරතුරුව ප්‍රකාශයට පත්වෙමින් තිබේ. මෙය සිංහල-දෙමල කම්කරු පන්තියේ එකමුතුවට වලකපමින් ධනපති ආන්ඩුවේ ප්‍රහාරාත්මක හස්තය ශක්තිමත් කරයි.

දෙමල ධනපති පක්ෂවල ජාතිකවාදී දේශපාලනයට මෙන්ම, එල්ටීටීයේ බෙදුම්වාදයට කවර හෝ ඉඩක් නොදෙමින් ද, කොලඹ පාලකයන් ‌දෙමල ජනයාට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයට ආරම්භයේ සිටම විරුද්ධ වෙමින් ද, උතුරෙන් හා නැගෙනහිරින් සිංහල ආක්‍රමනික හමුදා කොන්දේසි විරහිතව වහා ඉවත් කලයුතු යයි කැඳවුම් කලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස)පමනි.

සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සිරගත කර ඇති මාධ්‍යවේදී කෝකිලන් ඇතුලු, මෙසේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇති සියලු දෙමල සහ මුස්ලිම් සිරකරුවන් කොන්දේසි විරහිතව වහා නිදහස් කලයුතු යැයි කියා සිටී. තම මියගියවුන් සිහිකිරීමේ මූලික අයිතිය උල්ලංඝනය කරමින් දෙමල ජනතාවට එරෙහිව ආන්ඩුව සිදුකරන  වාර්ගික නොපනත්කම් හෙලා දකිමින්, කෝකිලන් ඇතුලු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රිය අයිතීන්ගේ ආරක්ෂාව සඳහා සසප ඉදිරිදර්ශනය යටතේ සටන් වැදීමට එක්වන්න.

Loading