"නිරෝධායන නීති කැඩීම" යටතේ ආන්ඩුව මහජනතාවට එරෙහි ව සිදු කරන පොලිස් අඩන්තේට්ටම් ඉහල නංවයි

ඊයේ මාධ්‍ය වාර්තාවන්ට අනුව, ගතව තිබූ පැය 24 තුල මුහුනු ආවරන නොපැලඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම වැනි නිරෝධායන නීති කඩ කිරීමේ වරදට පුද්ගලයින් 1390ක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. තවද, 2020 ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුල නිරෝධායන නීති කඩ කිරීමේ වරදට පුද්ගලයින් 38,311 ක් අත් අඩංගුවට ගෙන අති බවද එම වාර්තාවල සඳහන් වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ප්‍රකාශ කලේ එලැඹෙන සති අන්තයේදි රටපුරා විශේෂ ජංගම හා නිරීක්ෂන මෙහෙයුම් සිදු කරන අතර නිරෝධායන නීති රීති උල්ලංඝනය කරන්නන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් සිවිල් ඇදුමින් සැරිසරනු ඇති බවයි. එයට සමගාමීව ඩ්‍රෝන තාක්ෂනය භාවිතා කර මහජනතාවගේ හැසිරීම් නිරීක්ෂනය කිරීමේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේය.

එරාවුර් හිදී නිරෝධායන නීති කඩ කරන්නන් පොලිස් හිංසනයන්ට යටත් කෙරුනු අයුරු

 

මෙලෙස අත් අඩංගුවට ගන්නා පුද්ගලයින් රුදුරු කායික පහරදීම් වලට සහ සමහරවිට මරනයට පවා පත්වෙන බව නිරන්තරව වාර්තා වෙයි. මැයි 17 දා වැලිගම, මිදිගම පදිංචිව සිටි 49 හැවිරිදි තිදරු පියෙකු වන ඩී. සුනිල් ඉන්ද්‍රජිත් සහ ජූනි 7 පානදුර සරික්කාමුල්ල පදිංචිව සිටි මොහොමඩ් අලී නැමැති 42 හැවිරිදි කම්කරුවා මියගියේ, "නිරෝධායන නීති කඩ කිරීම" යටතේ ඔවුන්ට එරෙහිව පොලිසිය කරන ලද මැදිහත්වීම් වලදීය.

සතර ගාතයෙන් ඔසවා ගෙන යාම ඇතුලු පොලිස් හිංසනයන්ට "නිරෝධායන නීති කඩ කරන්නන්" යටත් කෙරෙන අයුරු "සංචරන සීමා" පැනවූ ආරම්භක අවධියේදී මාධ්‍ය වලින් නිරතුරුව දැක ගත හැකි විය. මෙම අඩන්තේට්ටම් වලට එරෙහිව වැඩුන මහජන විරෝධය හමුවේ එලෙස "හිරිහැර නොකෙරෙන" බවට ප්‍රකාශයක් කිරීමට පවා පොලිස්පති ට සිදුවිය.

වසංගතය පාලනය කිරීමට මුව ආවරන පැලඳීම, කායික දුරස්ථභාවය රැකීම සහ සංචරනය දැඩිලෙස සීමා කිරීම ඇතුලු සෞඛ්‍යාරක්ෂන පියවර අත්‍යවශ්‍ය වෙයි. එනමුදු "නිරෝධායන නීති කඩ කිරීම" යන කඩතුරාව යටතේ ආන්ඩුව මහජනතාවට කරන හිරිහැර සහ වසංගතයෙන් මහජන ජීවිත ආරක්ෂා කිරීම අතර කවර හෝ සම්බන්ධතාවයක් නොමැත. ආන්ඩුවට ඇත්තේ ඊට මුලුමනින්ම විපරීත උත්සුකයකි.

වසංගතය පාලනය කිරීමේ මූලික පියවර වන අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සියල්ල වසා දැමීම සහ ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂන දැවැන්තව ඉහල දැමීම රාජපක්ෂ ආන්ඩුව ආරම්භයේ සිට සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කලේ, එවන් පියවර මහධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලියට එරෙහිවන බැවිනි.

මිනිස් ජීවිත වලට ඉහලින් සංගත ලාභය තබන මෙම මිනීමරු පිලිවෙතේ ප්‍රතිඵල ලෙස, අද වන විට ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදිතයින් 235,413 ක් සහ මරන 2,480ක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුනරත්න ඇතුලු වසංගත රෝග විශේෂඥයින් විසින් සංචරන සීමා වඩාත් දැඩි කරන ලෙස ඉල්ලා සිටියදී රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ, ඊනියා සංචරන සීමා පවා ඉවත් කිරීමයි.

ඔහු ඊයේ, වසංගතය මැඩලීමේ කාර්ය සාධක බලකා රැස්වීමේදී මහධනපතියන්ට ක්ෂමාලාපී ලෙස කියා සිටියේ, එක් දිනක් තුල 101 ක් මියගිය බවට ලැබුනු "සාවද්‍ය" තොරතුරු මත නොමග ගොස්, ආන්ඩුව පසුගිය 14 වැනිදා ඉවත් කිරීමට නියමිතව තිබූ "සංචරන සීමා" තවත් සතියකට දික් කල බවයි.

"එදින මියගොස් තිබුනේ 14 ක්" පමනක් බව නිරවද්‍යව වාර්තාවූයේ නම් එය එසේ නොවන බව ඔහු කෝපයෙන් පැවසීය. මිනිස් ජීවිත සම්බන්ධයෙන් ඔහුගේ මෙම නරුම නොතැකීම පිටුපස ඇත්තේ මහධනපතියන් ගේ ලාභ අවශ්‍යතාවය යි.

වසංගත ව්‍යාප්තියේ කෙන්ද්‍රස්ථානයන් බවට පත්ව ඇති ඇඟලුම් කම්හල් ඇතුලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සියල්ල විවෘතව තබා ගැනෙන මෙම පිලිවෙත හේතුවෙන්, දිනපතා දහස් සංඛ්‍යාත කම්කරුවන් සහ පීඩිතයන් ආසාදනයට ලක්වෙති.

වසංගත ව්‍යාප්තියේ ව්‍යසනකාරී තත්වය වසන් කරනු වස් පීසීආර් පරීක්ෂන දැවැන්ත පරිමානව පහත හෙලා තිබියදී පවා දිනකට 2500 කට ආසන්න හෝ ඊට අධික සංඛ්‍යාවක් දිනපතා වාර්තා වෙයි. දෛනිකව ආසාදනය වන සංඛ්‍යාව එමෙන් කීප ගුනයක් විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

වඩාත් බලගතු කොව්ඩ්-19 වයිරස ප්‍රභේදයක් වන ඩෙල්ටා වෛරසය ලංකාවෙන් හමුවී ඇති තත්වයේ දී ව්‍යසනය වඩාත් ඉහල මට්ටම් වලට වර්ධනයවීමේ හැකියාව ඇතිබව ඉන් බැටකන ඉන්දියාව සාක්ෂි දරයි.

ආන්ඩුව, නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව යටතේ කෙරෙන පොලිස් දඩයම තීව්‍රකර ඇත්තේ මෙම තතු තුලයි. එහි අරමුනු දෙකක් පවතී: වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තියේ වගකීම මහජනතාව මත පැටවීම ඉන් පලමුවැන්නයි. මෙම අත්අඩංගුවට ගැනීම් වලට මාධ්‍ය හරහා විශාල ප්‍රතිචාරයක් ලබා දෙනුයේ, මහජනතාව සෞඛ්‍යාරක්ෂන නිර්දේශ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් වසංගතය ව්‍යාප්ත වන බව ඉස්මතුකර පෙන්වීමටයි.

නමුත් සත්‍යය එය නොවේ. ආන්ඩුවේ නිල "අත්‍යවශ්‍ය සේවා" යටතේ පවත්නා නිෂ්පාදන සහ සේවාවන්හි ද, නිල නොවන "අත්‍යවශ්‍ය සේවාවන්" යටතේ වන ඇඟලුම් වැනි කර්මාන්තයන්හි ද ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් දිනපතා වැඩට යමින් එමින් සංචරනයේ යෙදෙති.

වසංගතයේ අති මූලික ව්‍යාප්තිය සිදු වන්නේ මෙම සංචරනයන් හේතුවෙනි. මේ අනුව, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවාවන් විවෘතව තබා ගනිමින් වසංගතය ව්‍යාප්ත කරන ආන්ඩුව මෙම ව්‍යසනයට මුලුමනින්ම වගකිව යුතුය.

"නිරෝධායන නීති කඩකරන්නන්" ට එරෙහි හිංසනයන්ගේ අනෙක් අරමුන, මහජනතාව ත්‍රස්ත කර තබා ගැනීමයි. වසංගතයෙන් තීව්‍රකර ඇති ආර්ථික අර්බුදය හමුවේ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව සහ වසංගතයට දක්වා ඇති සාපරාධී ප්‍රතිචාරයට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩෙන අරගල, බිය ගන්වා වැලැක්වීමට මෙම ත්‍රස්තය යොදා ගැනේ.

"නිරෝධායන නීති කඩ කරන්නන්" කොටුකර ගැනීමට යොදා ගැනෙන ඩ්‍රෝන යානා තාක්ෂනය සැබැවින්ම ස්ථාපිත කෙරී ඇත්තේ, මහජන අරගල සහ විරෝධතා පිලිබඳව ඔත්තු බැලීමේ නිශ්චිත කර්තව්‍යයට ය.

"ව්‍යාජ පුවත් වාරනය" යටතේ සමාජ මාධ්‍ය ජාලා වලට සීමා පැනවීම, ඒ යටතේ අත් අඩංගුවට ගැනීම ආදී මේ සියල්ල බැඳී පවතින්නේ, කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල තලා දැමීමට සූදානම් කෙරෙන, මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥදායකත්වයක් ස්ථාපිත කිරීමේ රාජපක්ෂගේ වැඩකටයුතු සමගයි.

Loading