ආන්ඩුව සමග තුච්ඡ ගනුදෙනුවකට එලඹෙමින් ලංකාවේ සෞඛ්‍ය වෘත්තීය සමිති විරෝධතා නවතා දමති

[මෙහි පලවන්නේ, Sri Lankan health unions shut down protests following rotten deal with government යන මාතෘකාවෙන් 2021 ජුනි 19දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

සෞඛ්‍ය  ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරු ව, දහස් සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයන්ට බලපාන එකඟතාවක් ආන්ඩුව සමග ඇතිකර ගත් බව, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව (එච්ඊටීයූසී) අඟහරුවාදා නිවේදනය කලේ ය. වෛද්‍ය රසායනාගාර තාක්ෂනඥයන්ගේ සංගමය හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති 35ක්, මෙම සමිති එකමුතුවට ඇතුලත් වේ.

මෙම ගනුදෙනුවෙන්, සිදුකර ඇත්තේ සොච්චම් විශේෂ දීමනාවකට හිලව්ව ලෙස, සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් පාවා දීමයි.  සෞඛ්‍ය කම්කරුවන් විසින් ජාතික පරිමාන ව තවදුරටත් විරෝධතා ගෙනයාම වැලැක්වීමට එම ගිවිසුම යොදා ගැනෙනු ඇති අතරම  සමිති හා බලධාරින් අතර වඩා සමීප සහයෝගයකට අවස්ථාව සලසාගෙන තිබේ.

ජුනි 11දා අම්පාරේ දී විරෝධතාවේ යෙදෙන සෞඛ්‍ය කම්කරුවෝ ( ෆේස්බුක් වෙතිනි)

 සති දෙකකට පෙර විශේෂ දීමනාවක් ලැබුනු වෛද්‍යවරුන් හැරුනු විට, මෑත සති කිහිපය පුරා සෞඛ්‍ය කම්කරුවන් දසදහස් ගනනක් දිවයින පුරා විරෝධතාවල යෙදී සිටිය හ. එච්ඊටීයූසී විසින් ජුනි 4දා කැඳවන ලද පැය හතරක විරෝධතාවකට,  20,000ට අධික පිරිසක් සහභාගි වූ හ. 50,000ට වැඩි එච්ඊටීයූසී සාමාජිකයන් සහභාගි වුනු පැය පහක ජාතික පරිමාන වැඩ වර්ජනයක් ඉන් පසුව ජුනි 11දා පැවැත්වුනි.

මූලික වැටුපෙන් සියයට 78ක් වන විශේෂ දීමනාවක්, පුද්ගලික ආරක්ෂන උපකරන හා අනෙකුත් කොවිඩ්-19 ආරක්ෂක පියවර සම්පාදනය කිරීම, වැඩ දිනවලට ආහාර, සංචරන සීමා පවතින කාලවලට ප්‍රවාහනය හා කොන්ත්රාත් පදනම මත වැඩ කරන ගර්භනී සේවිකාවන්ට විශේෂ නිවාඩු ලබා දීම සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට ඇතුලත් විය.

මාස 18කට පෙර වසංගතය කඩාවැදුනු තැන් පටන්, අනුප්‍රාප්තික ආන්ඩු විසින් තරයේම අප්‍රමානවත් අරමුදල් සැපයීමේ ප්‍රතිඵලය ලෙස ගරා වැටී ඇති සෞඛ්‍ය පද්ධතියක් තුල, සුදුසු ආරක්ෂක උපකරන නොමැතිව, ඉහල නගින කොවිඩ්-19 ආසාදනයෙන් පෙලෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අධික වැඩ බරට මුහුන දෙමින් මෙම සේවකයන් කටයුතු කර ඇත.

ආන්ඩුව සමග එච්ඊටීයූසීය එලැඹුනු පාවාදීමේ ගනුදෙනුව යටතේ, කොන්ත්‍රාත් පදනමින් වැඩ කරන කම්කරුවන් ද ඇතුලු සියලු සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 7,500ක විශේෂ දීමනාවක් ගෙවනු ඇත. ජුනි සිට අගෝස්තු දක්වා තුන් මාසයකට සීමා වන මෙම දීමනාව, වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා තිබුනු දීමනාවෙන් පහෙන් පංගුවක් පමනි.

සෞඛ්‍ය කම්කරුවන්ට දිනකට එක් මුහුනු ආවරනයක් පමනක් සපයනු ලැබේ. අතිශයින්ම අප්‍රමානවත් එම මුහුනු ආවරන සැපයුම ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතීන් ද උල්ලංඝනය කිරීමකි. සෞඛ්‍ය කම්කරුවන්ගේ අනෙකුත් ඉල්ලීම්වලට යන්තම් පොරොන්දු පමනක් ලැබී ඇති අතර, ඒවා ඉටුකෙරෙනු ඇත්තේ අමාත්‍යාංශයට මුදල් ලැබුනොත් පමනි. 

ගම්පොල රෝහලේ සෞඛ්‍ය කම්කරු විරෝධතාව (ලෝසවෙඅ මාධ්‍ය)

 සෞඛ්‍ය ඇමතිනී වන්නිආරච්චිට ජුනි 15දා යැවූ ලිපියක දී, රුපියල් 7,500ක් යනු  අපේක්ෂා කල දීමනාවට වඩා "පහෙන් එකකටත් වඩා අඩු මුදලක්” බව එච්ඊටීයූසීය පිලිගත්තේ ය. එහෙත්, “රටේ පවතින අර්බුදකාරී වාතාවරනය හා සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍යතාවය සැලකිල්ලට ගෙන එයින් සෑහීමකට පත්වීමට” වෘත්තීය සමිති එකඟවූ බව සමිති සන්ධානය ප්‍රකාශ කලේ ය.

එච්ඊටීයූසීය සඳහන් කරන “අර්බුදකාරී වාතාවරනය” වන්නේ, සෞඛ්‍ය කම්කරුවන් හා අනෙකුත් මහජනයා මුහුන දෙන ව්‍යසනය නො ව, ඉහල යන මහජන විරුද්ධත්වය, වැඩ වර්ජන හා විරෝධතා මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව මුහුන දෙන දේශපාලන හා ආර්ථික අර්බුදය යි. එච්ඊටීයූසීයේ එකඟතාව, ආන්ඩුවේ අර්බුදයට තමන්ගේ සාමාජිකයන් ලවා වන්දි ගෙවීමට දරන ප්‍රයත්නයකි.

දිවයින අලලාගත් සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය දිගටම පැවතීම, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද ආකර්ශනය කරගන්නා ධ්‍රැවයක් වෙතැයි, රාජපක්ෂ ආන්ඩුව හා වෘත්තීය සමිති එක හා සමාන ව බිය වෙති.

ඉහල වැටුප් හා කොවිඩ්-19 සම්බන්ධයෙන් මනා ආරක්ෂන පියවරයන් ඉල්ලා, මෑත මාස කිහිපයේ දී, තැපැල්, විදුලිබල හා ජල සම්පාදන මන්ඩල කම්කරුවන් සමගින්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගුරුවරු විරෝධතා පවත්වා ඇත.

විශේෂයෙන් ම ඇඟලුම් කර්මාන්තය ඇතුලු පුද්ගලික අංශයේ කම්කරුවෝ, කොරෝනා වෛරස් ආසාදන හා වසංගතය පවතිද්දී තමන්ට අඛන්ඩ ව වැඩ කරන ලෙස කලමනාකාරීත්වයන් කරන බලකිරීම්වලට එරෙහිව විරෝධතා පවත්වා, කාර්මික ක්‍රියාවන්ට එලෙඹන බවට අනතුරු අඟවා තිබේ. වැටුප් කැපීම්වලට, වැඩ ප්‍රමානය ඉහල දැමීම්වලට හා කලමනාකාරීත්වයේ-පොලීසියේ දඩයම් කිරීම්වලට එරෙහි ව තේ වතු තුල ද විරෝධතා පුපුරා ගොස් ඇත.

මහා පරිමාන වැඩ වර්ජන පුපුරා යනු ඇතැයි බියව සිටින ජනාධිපති රාජපක්ෂ, රාජ්‍ය අංශ සේවකයන් විසින් ඕනෑ ම කාර්මික ක්‍රියාවක යෙදීම සාපරාධීකරනය කිරීම පිනිස, මැයි 27දා හා ජුනි 2දා අත්‍යවශ්‍ය  මහජන සේවා පනත ප්‍රකාශයට පත් කලේ ය.

විරෝධතාවේ යෙදෙන වතුපිටිවල රෝහලේ සෞඛ්‍ය සේවකයෝ (ලෝසවෙඅ මාධ්‍ය)

වර්ජන තහනම දස ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට බලපායි. වරාය, ඛනිජ තෙල්, ගෑස්, දුම්රිය හා බස් රථ ප්‍රවාහන මෙන් ම දිස්ත්‍රික් මට්ටමේ ආන්ඩුවේ පරිපාලන කාර්යාල, රාජ්‍ය බැංකු, රක්ෂන හා රේගුවට සම්බන්ධ සේවා, සෞඛ්‍ය සේවා, රාජ්‍ය පාරිභෝගික භාන්ඩ බෙදාහැරීමේ ආයතන හා පලාත් සභා නවයේ සියලු ආන්ඩුවේ කාර්යාල සේවකයෝ මෙම වැඩ වර්ජන තහනමට ලක්වෙති.

මෙම විෂඝෝර පියවරයන් යටතේ, කාර්මික ක්‍රියාවන්ට එලඹීමට තිබෙන තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කරන කම්කරුවන්ට, බරපතල වැඩ සහිතව සිරගත කිරීම හා දඩ නියම  කල හැකි ය. කාර්මික ක්‍රියා අනුමත කරමින් හෝ ඒවා කැඳවුම් කරමින්, නිදහස් ප්‍රකාශනයේ හා කතා කිරීමේ අයිතිය යොදා ගැනීම ද ඒ හා සමාන ව දඬුවමට භාජනය කරනු ලැබිය හැකි ය. රාජපක්ෂගේ නීති පැහැදිලි ව පෙන්වා දෙන්නේ කොලඹ පාලනය පන්ති යුද්ධයට හා ආඥාදායක පාලන ක්‍රම සඳහා සූදානම් වෙමින් සිටින බව යි.

සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ද ඇතුලු ලංකාවේ එකදු වෘත්තීය සමිතියක් වත්, මෙම මර්දනකාරී නීතිවලට විරෝධය පා නැත්තේ, ඒවාට ඔවුන්ගේ අනුමැතිය පලකරමිනි.

එච්ඊටීයූසී සමග ගනුදෙනුවට ජනාධිපති රාජපක්ෂ ඍජු ව පිටුබලය දුන්නේ ය. රුපියල් 7,500 දීමනාවට රාජපක්ෂ එකඟ වූ බවත්, අගමැති මහින්ද රාජපක්ෂ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සූදානම් කල බවත්, සෞඛ්‍ය ඇමතිවරිය සමග වූ සාකච්ඡා සටහන් හෙලිදරව් කරයි.

වෙනත් වචනවලින් කියන්නේ නම්, කාර්මික ක්‍රියාවන්ට එලඹෙන කම්කරුවන්ට එරෙහි ම්ලේච්ඡ මර්දනයට තීව්‍ර කිරීමට  සූදානම් වන රාජපක්ෂ පාලන තන්ත්‍රය, වෘත්තීය සමිතිවල හා ඔවුන්ගේ නිලධාරී තාන්ත්‍රික යාන්ත්‍රනයේ සේවාව ද  අඛන්ඩ ව ලබාගැනීමට ක්‍රියා කරයි.

සැබවින්ම, එච්ඊටීයූසීය සෞඛ්‍ය අංශ කලමනාකරනය හා ආන්ඩුව සමග එහි ඒකාබද්ධතාව ගැඹුරු කර ඇත. ඇමතිවරිය සමග පැවති සාකච්ඡාවේ දී එකඟ වූ එක් කරුනක් වන්නේ, වෘත්තීය සමිති “සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ ප්‍රධානත්වයෙන්..." සතිපතා කලමනාකරන රැස්වීම් පවත්වන බව යි.

මෙම රැස්වීම් සේවය කරනු ඇත්තේ සෞඛ්‍ය කම්කරුවන්ට නොවේ. ඒ වෙනුවට ඒවා යොදාගනු ඇත්තේ, “රටෙහි අර්බුදකාරී තත්ත්වය” හා ආන්ඩුව ගලවා ගැනීම පිනිස කම්කරුවන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම්වලට වලකැපීම සඳහා කලමනාකරනයට උදව් කිරීමට යි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ගේ හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල විරෝධතා හා ක්‍රියාවන්, කොරෝනා වෛරස් වසංගතයේ ආර්ථික බර තමන් මත පැටවීමට ආන්ඩුව හා හාම්පුතුන් දරන ප්‍රයත්නයන්වලට එරෙහි ව, ජාත්‍යන්තර ව නැගෙන අරගල රැල්ලක කොටසකි.

මහජනයාගේ ජීවන කොන්දේසි මත තීව්‍ර කරන ප්‍රහාරයන්ගේ කොටසක් ලෙස, රාජපක්ෂ ආන්ඩුව පසුගිය සති අන්තයේ ඉන්ධන මිල තියුනු ලෙස ඉහල දැමුවේ ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩවල මිල විශාල ලෙස ඉහල යාමේ කොන්දේසි සකසමිනි.

එච්ඊටීයූසීය සෞඛ්‍ය සේවකයන් පාවාදීම ලංකාව පුරා කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. යලි වතාවක් එය පැහැදිලි කරන්නේ, වෘත්තීය සමිති යනු රාජ්‍යයේ හා මහ ව්‍යාපාරිකයේ උපකරන බව යි.

තමන්ගේ සමාජ කොන්දේසි හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට, කම්කරුවන් තම අරගල ගෙනයාම තමන්ගේ අතට ගත යුතු ය. වෘත්තීය සමිති හා ඒවායේ නිලධාරී තන්ත්‍රීය යාන්ත්‍රනයෙන් ස්වාධීන ව, සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන වැඩපොල ක්‍රියාකාරී කමිටු පිහිටුවීම මේ සඳහා අවශ්‍ය කරයි.

ධනපති ලාභ පද්ධතිය තුල පොදු ගැටලුවලට හා පොදු හතුරෙකුට මුහුන දෙන ලංකාවේ ද ජාත්‍යන්තර ව ද කම්කරුවන් එක්සත් කල හැකි එක ම මාවත මෙය යි. මෙම ආරම්භකත්වය සමග එක් වී, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් සඳහා සටන සියතට ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලයි. 

Loading