ඉදිරිදර්ශන

ඉහල යන වසංගතය මධ්‍යයේ ලංකාවේ ආන්ඩුව රාජ්‍ය සේවක වැඩ වර්ජන සාපරාධීකරනය කරයි

[පහත පලවන්නේ Amid surging pandemic, Sri Lankan government criminalizes strikes by public sector workers යන මාතෘකාවෙන් 2021 ජූනි  07 දින පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ලොව පුරා කම්කරුවන් දැනගත යුතු හා ක්‍රියාශීලී ව විරුද්ධ විය යුතු තීරනාත්මක වර්ධනයන්, ලංකාව තුල සිදු වෙමින් පවතී.

මිලියනයකට ආසන්න රාජ්‍ය අංශ කම්කරුවන්ට වැඩ වර්ජනය කිරීමට තිබෙන නීත්‍යානුකූල අයිතිය පැහැර ගැනීම පිනිස, රටෙහි නීති අත්තනෝමතික ලෙස අලුතින් ලියන ආඥාවන් දෙකක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය සති දෙකේ දී නිකුත් කර ඇත.

ආන්ඩුව වසංගතයට දක්වා ඇති මිනීමරු ප්‍රතිචාරයට, කම්කරු පන්තිය සූරාකනු ලැබීම තීව්‍ර කිරීමට හා රාජ්‍ය  සේවාවන් කප්පාදු කිරීමට එය ගෙන යන ධාවනයට එරෙහිව, වැඩ වර්ජනය කල හොත්, මහා පරිමාන දොට්ට දැමීම් හා දීර්ඝ සිර දඬුවම් ඇතුලු විෂඝෝර දඬුවම්වලට මෙම කම්කරුවෝ මුහුන දෙති. වැඩ වර්ජන ක්‍රියා සඳහා පෙනී සිටින ඕනෑම පුද්ගලයෙක් හෝ සංවිධානයක් ද මෙම ආඥාවන් මගින් අපරාධකරුවන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

 මැයි 27දා නිකුත් කරන ලද පලමු ආඥාවේ ආසන්නතම ඉලක්කය, කොවිඩ්-19 එන්නත් ඉල්ලා ග්‍රාම නිලධාරීන් 12,000ක් දියත් කිරීමට තර්ජනය කල වැඩ වර්ජනයක් වුවත්, එම නීතිය, ලක්ෂ ගනනක් වන අනෙකුත් රාජ්‍ය අංශ කම්කරුවන්ගේ මූලික අයිතීන් අහිමි කලේ ය. මෙම නීති පැනවීම හමුවේ, ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිතිය එලඹීමට නියමිත ව තිබුනු වර්ජන ක්‍රියා මාර්ගය වහා ම හකුලා ගත්තේ ය.

ඉන් දවස් පහකට පසුව, ජුනි 2දා බොහෝ ප්‍රධාන රෝහල්වල කම්කරුවන් සිදු කිරීමට නියමිතවූ වැඩ නැවැත්වීම අද්දර, රාජපක්ෂ දෙවන ආඥාවක් නිකුත් කලේ ය. එය වර්ජන තහනම සෞඛ්‍යාරක්ෂන හා අනෙකුත් ආන්ඩුවේ කම්කරුවන් දක්වා විස්තීර්න කලේ ය.

වරාය, දුම්රිය, බස් රථ ගමනාගමන, ඛනිජ තෙල්, ගෑස්, රාජ්‍ය බැංකු හා රක්ෂන කම්කරුවන්; හෙදියන්, වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍යාරක්ෂන කම්කරුවන්; ආන්ඩුවේ පරිපාලන කම්කරුවන්, රජයට අයත් ආහාර බෙදාහරින සමාගම්වල කම්කරුවන්; සහ ශ්‍රී ලංකාවේ පලාත් සභා නවයේ සේවකයන් මෙම ආඥා දෙකට හසු කර තිබේ. 

වැඩ වර්ජන තහනම ප්‍රතික්ෂේප කරන කම්කරුවන් ව දොට්ට දැමිය හැකි ය. රුපියල් 2,000 හා 5,000 අතර දඩ, වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවම්,” ඔවුන්ගේ “චංචල හා නිශ්චල දේපොල” අල්ලා ගැනීම හා ඔවුන්ගේ වෘත්තීයමය බලපත්‍ර ඉවත් කිරීමට ද ඔවුහු මුහුන දෙති.

වැඩ වර්ජන තහනමට යටත් වන යමෙකුට, “කායික ක්‍රියාවක් හෝ ඕනෑම කතාවක් හෝ ලේඛනයක්” හරහා, රාජකාරියට සහභාගි නො වන ලෙස “පොලඹවන, ප්‍රේරනය කරන හෝ දිරිමත් කරන” ඕනෑම පුද්ගලයෙකු ද දඩ, දේපොල අත්පත් කරගැනීම් හා වසර පහ දක්වා වන සිර දඬුවම්වලට යටත් කරනු ලැබේ.

කිසිදු ප්‍රසිද්ධ විවාදයක් පසෙකින් තැබුව ද, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුල සහතික කෙරී ඇති නිදහසේ කතා කිරීමේ හා වැඩ වර්ජනය කිරීමේ අයිතිය ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, එක පෑන් පහරකින් අහෝසි කරනු ලැබ ඇත. 

“කොවිඩ්-19 වසංගතයට මුහුන දීමේ දී” වැඩ වර්ජන තහනම යටතේ පවතින ආන්ඩුවේ සේවා හා දෙපාර්තමේන්තු “අත්‍යවශ්‍ය” යයි කියාපාමින්, පලමු ආඥාව වසංගතය ගැන කෙටියෙන් සටහන් කරයි. එහෙත්, යතාර්ථයේ දී, ජීවිත ආරක්ෂා කිරීමට වඩා ලාභ අවශ්‍යතාවන්ට ක්‍රමානුකූල ව ප්‍රමුඛත්වය දෙමින්, වසංගතයට දක්වන විද්‍යාව මත පාදක වන සියලු  ප්‍රතිචාරයන් කඩාකප්පල් කර ඇත්තේ ආන්ඩුව හා ලංකාවේ පාලක පන්තිය යි. 

අප්‍රේල් මාසයේ පටන්, දිවයින පුරා වංසගතය ඉහල ගොස් තිබේ. යන්තම් පසුගිය සති පහ තුල පමනක්, නිල මරන සංඛ්‍යාාව දෙගුනයටත් වැඩියෙන් 1,656 දක්වා වැඩි වී ඇත. ආන්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව, නව ආසාදනවල වර්තමාන සාමාන්‍ය දෛනික සංඛ්‍යාව 3,000ට වැඩි අතර, එය රලු අවතක්සේරුවකි. එහෙත්, විරුද්ධ පක්ෂවල සම්පූර්න සහයෝගය ලබන රාජපක්ෂ ආන්ඩුව, විශේෂයෙන් ම ඇඟලුම් අංශය, තේ හා රබර් වතු යනාදී ප්‍රධාන අපනයන කර්මාන්ත ඇතුලු “ආර්ථිකය” අඛන්ඩව ක්‍රියාත්මක විය යුතු බව අවධාරනය කර ඇත. 

පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) හා ඉදිරිපෙල කම්කරුවන් එන්නත්කරනය කිරීම සඳහා වන ඉල්ලීම් තුල ප්‍රකාශයට පත් වී ඇති, රාජ්‍ය අංශ කම්කරුවන්ගේ වැඩෙන අරගල රැල්ලක්, වතු කම්කරුවන් හා අනෙකුත් පුද්ගලික අංශ කම්කරුවන් අතර ඉහල යන කැලඹිල්ල සමග අන්තර් ඡේදනය වේ යයි ආන්ඩුව බිය වෙයි.

වසංගතයේ ව්‍යසනකාරී ඉහල යාමක් මධ්‍යයේ, කොවිඩ්-19 ආරක්ෂාවන් නොමැති වීම ගැන දකුනු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ හුන්ඩායි, රෙනෝල්ට්-නිසාන් හා අනෙකුත් මෝටර් රථ කම්කරුවන් අතරින් ඉස්මතු වී  ඇති වැඩ වර්ජන හා විරෝධතා රැල්ල, පෝක් සමුද්‍ර සන්ධිය හරහා පැමිනෙතැයි ද රාජපක්ෂ ආන්ඩුව බියෙන් තැතිගනී සිටියි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියම කරන තවත් ම්ලේච්ඡ කප්පාදු වටයක් ද යොදාගෙන, කම්කරු පන්තියෙන් ලාභ සූරාකෑම ඉහල දමා ගැනීමේ ධාවනය, රාජපක්ෂ ආන්ඩුවෙහි රංචු ප්‍රතිශක්ති පිලිවෙතේ වැදගත් ම සාධකය යි.

“විරුද්ධ” පක්ෂ, සංගත මාධ්‍ය, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම කන්ඩායම් යන සියලු දෙනා, මෙම ආඥාවන්ට සහයෝගය දෙමින් නිහඬතාවක් පවත්වාගෙන ගොස් ඇති තතු යටතේ, මෙම වර්ධනයන් පිලිබඳව ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීම සියල්ලට ඉහලින් අත්‍යවශ්‍ය වේ. තැපැල්, ගුරු හා සෞඛ්‍යාරක්ෂන වෘත්තීය සමිති සන්ධානයක්, ආඥාවන් පිලිබඳව “කනගාටුව” පල කරමින් පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කල ප්‍රකාශයක් හැරුනු විට, ජනාධිපතිගේ නියෝගයකින් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අත්තනෝමතික ලෙස අහෝසි කිරීමේ ප්‍රහාරය, මුලුමනින් ම නො තකා හැරී ඇත.

නව විෂඝෝර බලතල රාජ්‍ය අංශ කම්කරුවන්ට එරෙහිව ක්‍රියාවට දැමීමට ආන්ඩුව මේ දක්වා උත්සාහ දරා නැත. පසුගිය බ්‍රහස්පතින්දා, කලින් සැලසුම් කල පරිදි, පැය පහක වැඩ නැවැත්වීමක් ක්‍රියාවට දැමූ හෙදියන්, වෛද්‍යවරුන්, රසායනාගාර තාක්ෂනඥයින් හා අනෙකුත් සෞඛ්‍යාරක්ෂන කම්කරුවන් 20,000ට අධික සංඛ්‍යාවකට එරෙහිව, ආන්ඩුව තහනම් නියෝග පැනවීමට ආරම්භකත්වයක් නො ගත්තේ, මහා පරිමාන කම්කරු පන්තික කැලඹීමක් අවුලුවතැයි බිය වීම හේතුවෙනි.

එහෙත්, එක් අතකින් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය හා එහි රාජ්‍ය යාන්ත්‍රනය ද, අනෙක් අතින් කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයන් ද සිටින මුහුනට මුහුන ගැටුමක් සිදුවීම දවසේ න්‍යාය පත්‍රයට ඇතුලු වී තිබේ.

කම්කරු පන්තිය සමග ගැටුමට සූදානම් වෙමින්, දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි 30-අවුරුදු යුද්ධයේ දී කුරිරු අත්දැකීම ලැබූ මිලිටරි නිලධාරීන්ගෙන් රාජ්‍ය යාන්ත්‍රනය පුරවා ඇති රාජපක්ෂ, අන්ත-දක්ෂිනාංශික සිංහල-බෞද්ධ සංවිධාන වගා දිගා කර ඇත; ඒ අතර ම ඔහු, ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල වැඩි කරගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට කුමන්ත්‍රනය කර තිබේ. රාජපක්ෂගේ එක් ඇමතිවරයෙක් මෑතක දී, ජනාධිපතිවරයා “හිට්ලර් මෙන් ක්‍රියා කල යුතු” යි ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් ලොව පුරා කම්කරුවන්ට තීරනාත්මක වැදගත් කමක් දරයි. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට එරෙහිව යොදවන ආඥාදායක විධික්‍රම, අනෙකුත් තැන්වල කම්කරුවන්ට එරෙහිව ද යොදාගනු ඇත.

වසංගතය විසින් යෝධ ලෙස අවුලුවා ඇති ගෝලීය ධනවාදයේ අර්බුදයට, කම්කරුවන්ගෙන් වන්දිය ගැනීමට සෑම තැනක ම පාලක ප්‍රභූන් අධිෂ්ටානවත් ය. ලොව පුරා සිදු වී ඇති මිලියන 3.5කට අධික මරන ද සමගින් එන වසංගතයේ විනාශකාරී බලපෑම, ජීවිතවලට ඉහලින් සංගත ලාභවලට ප්‍රමුඛත්වය දීමට ආන්ඩු ගත් තීරනයේ ඍජු විපාකය යි. තව ද ධනවතුන්ට ඇප දීමට පිටුපසින්, රාජ්‍ය සේවාවන් විනාශ කිරීම හා සූරාකෑමට ඉහල දැමීම පැමිනීමට නියමිත ය..

එහෙත්, එක්සත් ජනපදයේ වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන්, කැනඩාවේ වේල් ඉන්කෝ පතල් කම්කරුවන්, බ්‍රසීලයේ ගුරුවරු හා බස් රථ රියදුරන්, ඉන්දියාවේ මෝටර් රථ කම්කරුවන් හා චිලී රටේ බීඑච්පී තඹ පතල් කම්කරුවන් ඇතුලු කම්කරුවන්ගේ වැඩෙන ප්‍රතිරෝධයට,  පන්ති යුද්ධයේ මෙම ක්‍රියා මාර්ගය මුහුන දෙයි. දශක ගනනක් තිස්සේ, කෝපරේට්වාදී වෘත්තීය සමිති හා සංස්ථාපිතයේ “වාමාංශික” පක්ෂ විසින් කම්කරු පන්තික අරගල මර්දනය කර තිබීම මෙම ප්‍රතිරෝධය හේතුවෙන් වඩ වඩා බිඳ වැටෙමින් තිබේ.

එයට ප්‍රතිචාර ලෙස, සමාජ විරෝධය සාපරාධීකරනය කරමින් හා අන්ත-දක්ෂිනාංශික බලවේග වගා දිගා කරමින්, පාලක පන්තිය ඒකාධිපති පාලන ක්‍රම කරා හැරෙමින් සිටී. කොලොම්බියාවේ එක්සත් ජනපද-පිටුබලය ලබන ඩක් පාලන තන්ත්‍රය, බදු ඉහල දැමීම්, මහා දරිද්‍රතාව හා සදා ඉහල යන සමාජ අසමානතාවට එරෙහිව පැන නගින මහජන විරෝධතාවන්ට කඩා පැනීම සඳහා මිනීමරු පොලිස් ප්‍රචන්ඩත්වය මුදාහැර තිබේ. ස්පාඤ්ඤය හා ප්‍රන්සය තුල, මිලිටරි නිලධාරීන් ප්‍රසිද්ධ කුමන්ත්‍රන සඳහා තර්ජනය කරයි.

ගෝලීය ධනවාදයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදයේ දී, රිපබ්ලිකන් පක්ෂ නායකත්වයේ හා මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රනයේ වැදගත් කොටස්වල සහයෝගය ලත් ට්‍රම්ප්, පැහැදිලි කුමන්ත්‍රනයක් සඳහා උත්සාහ දැරූ අතර, එය කූටප්‍රාප්තියට ලඟා වූයේ ජනවාරි 6 දා කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙනි.

නය බරේ ගිලී සිටිමින්, වඩ වඩා කැරලිකාරී වන කම්කරු පන්තියකට මුහුන දෙන ශ්‍රී  ලංකාවේ ධනේශ්වරය, දකුනු ආසියාව තුල චීනයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයේ කේන්ද්‍රීය භූමියක් ලෙස ඉස්මතු වී ඇති තතු තුල, එහි භූ-දේශපාලනික දිශානතිය අරබයා ගැඹුරින් ම බෙදී සිටී. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ  30-අවුරුදු සිවිල් යුද්ධයට තුඩු දුන් එකදු ප්‍රශ්නයක්වත් විසඳා නැත.

සෑම ධනපති ප්‍රභූවක් ම, වෙනස් කල යුතු දෙය වෙනස් කරමින්, තීව්‍ර කෙරුනු කම්කරු සූරාකෑම, ප්‍රතිගාමීත්වය, මිලිටරිවාදය හා යුද්ධය තම ප්‍රතිචාරය කොටගත් ගොඩ ඒ ගත නො හැකි ගැටලුවලට මුහුන දෙයි.

ශ්‍රී ලංකාවේ සිය පන්ති සහෝදර සහෝදරියන්ගේ ආරක්ෂාව සඳහා පෙරට පැමිනෙන ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලයි. ප්‍රථමයෙන් ම මෙහි අර්ථය වන්නේ, රාජපක්ෂගේ පන්ති යුද ආඥාවන්වල වැදගත්කම හා අර්ථභාරය විශාල වසයෙන් හා පලල් ව ප්‍රචලිත කරමින් හා දඩයමට ලක්වන ඕනෑම කම්කරුවෙකුගේ සහයෝගය පිනිස සහෝදරත්වය සූදානම් කරමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අන්තර්-සම්බන්ධිත සමාජ බලය බලමුලුගැන්වීම සඳහා වන අරගලය තීව්‍ර කිරීම යි.

කෝපරේට්වාදී වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව හා ඒවාට විරුද්ධ ව අරගලයේ නව සංවිධාන වන ක්‍රියාකාරී වැඩපොල කමිටු ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය කරයි. පන්ති අරගලයේ වර්ධනය ප්‍රදර්ශනය කරමින් සිටින්නේ, ජාතිකත්වයේ, ජනවාර්ගිකත්වයේ, වර්ගයේ හෝ ලිංගිකත්වයේ වෙනස්කම් නො තකා, කම්කරුවන්ගේ වෛෂයික එකමුතුව යි. එහෙත් මෙම එකමුතුව, කම්කරු පන්තිය බෙදීමට දරන සියලු උත්සාහයන් සවිඥානිකව ප්‍රතික්ෂේප කිරීමක් සමග මුහුන් කරනු ලැබිය යුතු ය.

ශ්‍රී ලංකාව තුල සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එකමුතු කිරීමේ සටනෙහි අර්ථය වන්නේ, රාජ්‍ය අනුග්‍රහය ලබන “සිංහල පලමුව” පිලිවෙතට මෙන් ම, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ධාවනයෙහි වඩාත් ම වාචාල යෝජකයන් ලෙස ඉස්මතු වී සිටින දෙමල ධනේශ්වරය, දෙමල ජාතිකවාදය කාවැද්දීමට දරන උත්සාහයන්ට ද විරුද්ධ වීම යි.

මේ සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි මැයි රැලියේ දී, කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානයක්  (කජාක්රිකස) ගොඩනැගීමට ආරම්භකත්වය ගත්තේ ය.

වසංගතයේ පටන් ඉහ වහා ගිය සමාජ අසමානතාවේ සිට යුද්ධයේ හා ආඥාදායක්තවයේ අන්තරාය දක්වා වන කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය ගැටලු, ගෝලීය ස්වභාවයක් ගන්නා අතර, ඒවා පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ සම්බන්ධීකෘත ගෝලීය ක්‍රියාවන් හරහා පමනි. රාජපක්ෂ පාලනයට ද එය පිටුපසින් සිටින ලංකාවේ ධනේශ්වරයට ද දේශපාලනිකව මුහුන දීමට සූදානම් වීමේ තීරනාත්මක අංශයක් වන්නේ, ලංකාවේ කම්කරුවන් ඔවුන්ගේ අරගල ඉන්දියාවේ, මැද පෙරදිග, යුරෝපීය, උතුරු ඇමරිකානු හා ලොව පුරා කම්කරුවන් සමග ඒකාබද්ධ කොට සම්බන්ධීකරනය කිරීම සඳහා සටන් කිරීම යි.

සියලු පීඩිත ජනකොටස් තමන් පිටුපස රැලි කරගනිමින් කම්කරු පන්තියේ බලගතු ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීම, විප්ලවීය සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා ගෙන යන සටනෙන් වෙන් කල නො හැක. පාලක පන්තිය අස්වාමික කරමින්, පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාව මත පදනම් වන සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීමට, සියලු අංශවල හා සියලු රටවල කම්කරුවෝ, බලය ගැනීම සඳහා වන පොදු දේශපාලන ප්‍රහාරයක් තුල එක්සත් විය යුතු ය.

Loading