කම්කරුවන් හා දුගීන් මත සමාජ ප්‍රහාරය ගැඹුරු කරමින් ආන්ඩුව ඉන්ධන මිල ඉහල දමයි

(මෙහි පලවන්නේ Sri Lankan government lifts fuel price, deepening social assault on workers and the poor යන මාතෘකාව යටතේ 2021 ජුනි 18දා පලවූ ලිපියේ පරිවර්තනය යි.)

කොවිඩ්-19 වසංගතය විසින් දැනටමත් ගැඹුරු කරන ලද, ඛාදනය වන ජීවන කොන්දේසිවලට මුහුන දෙන කම්කරුවන් හා දුගීන් මත තව දුරටත් බර පටවමින්, ලංකාවේ ආන්ඩුව ගිය සතියේ සෙනසුරාදා (ජුනි 12) ඉන්ධන මිල තියුනු ලෙස ඉහල දැම්මේය. 

සියයට 14.5ක ඉහල යාමක් සමගින් පෙට්රල් ලීටරයක මිල දැන් රුපියල් 157කි. ඩීසල් හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111ක් හා 77ක් දක්වා සියයට 6කින් හා 10කින් ඉහල දමා ඇත. ගෑස් මිල සියයට 25කින් ඉහල දැමීම පිලිබඳව ආන්ඩුව දැනට සාකච්ඡා පවත්වමින් සිටියි.

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහි ව ජුනි 15දා අම්බලන්ගොඩ දී විරෝධතාවේ යෙදෙන ධීවරයෝ (මූලාශ්රය: ෆේස්බුක්)

බේකරි හිමියන්, බස් හිමියන්, ත්‍රී-රෝද රථ රියදුරන් හා ආහාර බෙදාහරින්නන් ඔවුන්ගේ ගාස්තු ඉහල දැමීමට තර්ජනය කර ඇත. බේකරි භාන්ඩ රුපියල් 5කින් හා ප්‍රවාහන ගාස්තු සියයට 15කින් ඉහල දමන බව නිවේදනය විය. අඟහරුවාදා ප්‍රීමා පුද්ගලික සමාගම පිටි කිලෝවක මිල රුපියල් 3.50කින් ඉහල දැම්මේ ය.

සෙනසුරාදා මිල ඉහල දැමීම පැටවූයේ දැනට මත් අහස උසට නගිමින් ඇති ආහාර මිල උඩටය. මහ බැංකුවේ දත්තවලට අනුව, මැයි මාසයේ දී නිල ආහාර උද්ධමන රේට්ටුව සියයට 10ට ආසන්න ගනනකට නැගුනේ ය.

මැයි මාසය දක්වා ගෙවුනු මාස දොලහ තුල ලංකාවේ ප්‍රධාන ආහාරය වන හාල්වල මිල සියයට27-46 අතර ප්‍රමානයකින් ඉහල ගොස් ඇත්තේ, එම කාල සීමාව තුල ම, පරිප්පු හා පොල්තෙල් වැනි අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල සියයට 36කින් හා 30කින් ඉහල යද්දී ය.

දැනට මත් සොච්චම් ආදායම් මත ජීවිතය ගැටගසා ගැනීමට අරගලයේ යෙදෙන ලංකාවේ කම්කරුවෝ හා ගම්බද ජනයා, ආහාර වේල් අඩුකිරීම, ආහාර වේලක් නො ගෙන සිටීම, අකැමති ආහාර පරිභෝජනය කිරීම, නයට ගැනීම, උකස් තැබීම හා වත්කම් විකිනීම ඇතුලු වියදම සමග පොර බැදීමේ විවිධ උපක්‍රම යොදා ගනිමින් සිටිති.

2013 දී කොලඹ පාරිභෝගික මිල දර්ශක අංකය 100හි පැවතුනි. 2017 දී 119ට ලඟා වූ එය, 2019 දී 129.5ක් වී පසුගිය වසරේ 135.4ට නැගුනි.

2020 ජනවාරියේ දී, රාජ්‍ය අංශයේ සැබෑ වැටුප් අනුපාත දර්ශක අංකය 95ක් ව පැවතුන ද දෙසැම්බරය වන විට 92 දක්වා ඇද වැටී තිබුනි. 2016 දී එය 100ක් විය. ඒ හා සමාන ව, පුද්ගලික අංශයේ මූර්ත වැටුප් දර්ශක අංකය, පසුගිය වසරේ ජනවාරි හා දෙසැම්බර් අතර 97 සිට 89 දක්වා වැටුනි.

අලුතින් මිල ඉහල දැමීම්වලින් බොහෝ සෙයින් බලපෑමට ලක් ව ඇති ධීවරයෝ, අඟහරුවාදා අම්බලන්ගොඩ නගරයේ දී ගිනි පන්දම් දල්වමින් විරෝධතාවක් පැවැත්වූ හ.‍ මේ සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කල කම්කරුවෝ, එක දිගට ඛාදනය වන සමාජ කොන්දේසි ගැන නැගෙන කෝපය පල කල හ.

අප්කොට්හි ග්ලෙනූජී වත්තේ වතු කම්කරුවෙක් වන මානික්කම් මෙසේ කීවේ ය: “භාන්ඩවල අධික මිල හේතුවෙන් අපි දැනට මත් බලපෑමට ලක්වෙලා ඉන්නේ, ඒ නිසා ඉන්ධන මිල ඉහල දැමීම ජීවිතය දරාගත නො හැකි බවට පත් කරාවි. දැනට අපිට හම්බ වෙන පඩිය කෑමට වත් ප්‍රමානවත් නැති නිසා, අපේ ලමයින්ට දිනකට ආහාර වේල් තුනක් දෙන්න අපට බැහැ. ආන්ඩුව හා වෘත්තීය සමිති කියාපාන ප්‍රමානයට වඩා අපි හම්බ කරන්නේ අඩුවෙන්, දවසකට අපි රුපියල් 1,000ක් ගන්නවා කියලා ඔවුන් කියන්නේ බොරු.”

තම දෛනික ආදායමෙන් තමා ඇතුලු පවුලේ පන ගැටගසා ගැනීමට අරගලයේ යෙදෙන බව, ත්‍රී -රෝද රථ රියැදුරෙක් විස්තර කලේ ය. “මගේ පවුලටයි අපේ පොඩි ලමයි දෙන්නටයි ආහාර ගන්න රත්තරං බඩු උකස් තියන්න සිද්ද වුනා. මම කුලී වැඩක් හොයාගෙන ගියත්,  වැඩක් හොයාගන්න මට බැරි වුනා” යි ඔහු කීවේ ය.

දකුනේ වෙරලබදව පිහිටි හික්කඩුවේ මාලු විකුනන  ඉරෝෂන් මෙසේ සඳහන් කලේ ය: “මේ ඉන්ධන මිල වැඩි කිරීමත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා මම දන්නෙ නැහැ. ඉන්ධන මිල නැගීමත් එක්ක වියදම දරාගන්න බැරි නිසා ධීවර බෝට්ටු මුහුදු යාම නවත්තලා තියෙනවා. මීගමුවේ හා හලාවත ධීවරයින් විරෝධතා පැවැත්වීමට සූදානම් වෙමින් සිටිනවා, අපිත් සැලසුම් කරන්නේ ඒගොල්ලො එක්ක එකතු වෙන්න.”

හලාවත මාරවිල ධීවරයෙක් වන චමින්ද මෙසේ විස්තර කලේ ය: “මගේ පොඩි බෝට්ටුවට මම පෙට්රල් භාවිතා කලත්, මේ අලුත් මිලත් එක්ක මගේ දවසක ඉන්ධන ගාස්තුව රුපියල් 1,000කින් 6,500 දක්වා වැඩි වෙනවා. මාලුවලට සහතික මිල ක්‍රමයක් නැති හින්ද අපේ මාලු ඇල්ලීම ඉහල ගියත් වෙලඳපොල මිල පහල යනවා. මේ මිල ඉහල යාම අපිට දරාගන්න බැහැ.”

ලංකාවේ බහු-දින ධීවර යාත්‍රා 5,000ක් පමන තිබේ. සෑම යාත්‍රාවක් ම ඩීසල් ලීටර 10,000 සිට 15,000 දක්වා ප්‍රමානයක්  යොදාගනිමින් සාමාන්‍යයෙන් දින කිහිපයක් මුහුදේ ගත කරයි. මෙම කර්මාන්තය මත ධීවරයන් 30,000ක් හා ඔවුන්ගේ පවුල් ජීවත් වෙති. බොහෝ සෙයින් භූමිතෙල් භාවිතා කරන කුඩා බෝට්ටු ධීවරයින් දසදහස් ගනනක් ද මිල ඉහල දැමීම හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව  සිටිති.

නව ඉන්ධන මිල නිසා ඉහල යන කෝපය අපසරනය කිරීමට කැසකවන පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මහ ලේකම් වන සාගර කාරියවසම්, මිල ඉහල දැමීම්වල වගකීම භාරගෙන බලශක්ති ඇමති උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු යයි සඳහන් කලේ  ය. ගම්මන්පිල ආන්ඩුවේ පාලක සන්ධානයේ කොටස්කරුවෙක් වන පිවිතුරු හෙල උරුමයේ නායකයා ය.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කලේ, ඔහු සභාපති ධුරය දරන ජීවන වියදම් කමිටුවක් විසින් මිල ඉහල දැමීම් තීන්දු කල බව ය. මෙම මිල වැඩි කිරීම්, ගෝලීය බොර තෙල් මිල ඉහල යාම, විදේශ සංචිත හිඟය හා රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු නිසා සිදුකල බව ඔහු කියා සිටියේ ය. ඉන්පසු ඔහු නරුම ලෙස කියාපෑවේ, ඉන්ධන පරිභෝජනය පහත දමන ඔහුගේ “දේශගුනයට ගැලපෙන හරිත ආර්ථිකයක්” පිලිබඳ පිලිවෙතට, එය සම්බන්ධ බව යි.

“ආනයනික ඉන්ධන මත පදනම් වන පරිභෝජන රටාව වෙනස් කිරීම සඳහා, යෝජනා ගනනාවක් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව පියවර ගෙන තිබෙනවා” යි රාජපක්ෂ කීවේ ය. එය “දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ පොදු මූලෝපායක එක් මූලික සාධකයක් වන අතර, මහජනයාගේ සෞඛ්‍යය හා සුභසාධනය ආරක්ෂා කරනවා” යි ඔහු තව දුරටත් කීවේ ය.

“ආර්ථිකය” ශක්තිමත් කිරීම පිලිබඳ ව කතා කිරීමේ දී, රාජපක්ෂ සඳහන් කරන්නේ ලංකාවේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසි ගැන නොව, මහ ව්‍යාපාරිකයේ ලාභ ගැනයි. “ආනයනික ඉන්ධන මත පදනම් වන පරිභෝජන රටාව වෙනස් විය යුතු” යි ඔහු කරන අවධාරනය, හුදෙක් එම භාන්ඩයට පමනක් සීමා නො වන අතර, දැනට නවතා දමා ඇති හෝ බදු පනවා ඇති බොහෝ අත්‍යවශ්‍ය භාන්ඩ ආනයනය කිරීමට ද අදාල වේ.

ඉන්ධන මිල ඉහල දැමීම් ජීවන වියදම ඉහල දමනු ඇතැයි පිලිගත් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්, එහෙත් “[ඉන්ධන] මිල සංශෝධනයන්ගෙන් තොර ව ආන්ඩුවට තව දුරටත් පැවතිය නො හැකි” යි කීවේ ය.

කොරෝනා වෛරස් වසංගතයේ ජාත්‍යන්තර විපාක, මුදල් හිඟයෙන් පෙලෙන ආන්ඩුවට හා ජාතික ආර්ථිකයට විනාශකාරී වී තිබේ. පසුගිය වසරේ දී, අපනයන, සංචාරක කර්මාන්තය හා ප්‍රේෂන ලැබීම් පහත වැටීම හේතුවෙන් ලංකාවේ ආර්ථික සියයට 3.6කින් හැකුලුනි.

වර්තමානය හා 2026 අතර දී, එක්සත් ජනපද ඩොලර් බිලියන 29ක ඇඟ කිලිපොලා යන නය ගෙවීමකට ආන්ඩුව මුහුන දෙන බව, ෆිච් ශ්‍රේනිගත කිරීමේ ආයතනය මේ සතියේ හෙලිදරව් කලේ ය. විදේශ නය ගෙවීම පැහැර හැරීමෙන් බේරීමට, මේ මස මුල දී බංග්ලාදේශය සමග ඩොලර් මිලියන 200ක මූල්ය හුවමාරු ගිවිසුමකට එලඹුනු මහ බැංකුව,  ඉන්දියාව සමග ඩොලර් මිලියන 400ක අතමාරුවක් සංවිධානය කිරීමට උත්සාහ දරමින් සිටී.

ඉන්ධන පිරිවැය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දැමීම මගින් මෙම මූල්‍ය බර මහජනයා මත පැටවීමට අධිෂ්ටානවත් ව සිටින රාජපක්ෂ ආන්ඩුව, විශේෂයෙන් ම ඇඟලුම් කර්මාන්තය ඇතුලු අපනයන අංශයේ සේවකයන්, කොවිඩ්-19 ආසාදනවල ඉහල යාම නො තකා දිගට ම වැඩ කල යුතු යයි අනවා සිටී.

ඒ අතර ම, තවත් හය මසකට කම්කරුවන්ගේ විශ්‍රාම අරමුදල් ගෙවීම හාම්පුතුන්ට කල්දැමිය හැකි යයි ගිය මාසයේ නිවේදනය කල කම්කරු අමාත්‍යාංශය, කොවිඩ්-19 සංචරන සීමා නො තකා ඔවුන් තම සේවකයින් වැඩෙහි නිරත කල යුතු යයි කීවේ ය. මෙම විධානයන්ට අනුමැතිය දී ඇති වෘත්තීය සමිති, කර්මාන්තය දිගට ම මෙහෙයැවීම පිලිබඳ ව ආන්ඩුව සමග අඛන්ඩ ව සාකච්ඡා පවත්වති.

ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල ආශීර්වාදය ලබන ලංකාවේ මහ ව්‍යාපාරිකය, වසංගතය සමයේ වාර්තාගත ලාභ උපයාගෙන තිබේ. හේලීස් සංගතය පසුගිය වසරේ දී රුපියල් බිලියන 242ක ආදායමක් හා රුපියල් බිලියන 14ක ශුද්ධ ලාභයක් සමගින් එය 143 අවුරුද්දක ඉතිහාසය තුල ඉහල ම වත්කම් උපදවා ගත්තේ ය. ප්‍රධාන මූල්‍ය සමාගමක් වන එල්ඕඑල්සී, බදුවලින් පසුව රුපියල් බිලියන 53ක ලාභයක් ලබමින්,  ලංකාවේ සමාගමක් එදා මෙදාතුර වාර්තා කල ඉහල ම ලාභය වාර්තා කරද්දී, හේමාස් සමාගම රුපියල් බිලියන 3.3ක ශුද්ධ ලාභයක් නිවේදනය  කලේ ය.

සංගත ප්‍රභූව වාර්තාගත ධනයන් සමුච්ඡය කරගන්නා අතර, රාජ්‍ය අංශය, වතු ක්ෂේත්‍රය, ඇඟලුම්, දුම්රිය, වරාය හා වරාය කාර්ය මන්ඩලය ඇතුලු කම්කරු පන්තියේ මූලික කොටස්වල වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් මෑත මාසවල දකින්නට ලැබුනි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයක කොටසක් වන මෙම අරගල නිසා තැතිගෙන සිටින ජනාධිපති රාජපක්ෂ, රාජ්‍ය අංශයේ වැඩ වර්ජන හා කාර්මික ක්‍රියා තහනම් කිරීමට මැයි 27දා ජුනි 2දා විෂඝෝර අත්‍යවශ්‍ය  සේවා පනත යොදා ගත්තේ ය. පසුගිය සිකුරාදා 50,000ට අධික සෞඛ්‍ය කම්කරුවෝ මෙම ආඥාදායක පියවර  නොතකා යහපත් රැකියා කොන්දේසි හා කොවිඩ්-19 ආරක්ෂක පියවරයන් ඉල්ලා පැය හතරක වැඩ නැවැත්වීමක් සිදු කල හ.

ආන්ඩුවේ ඉන්ධන මිල ඉහල දැමීම හා මහජනයා මත එය එල්ල කරන අනෙකුත් ප්‍රහාර, පන්ති ආතතීන් තව දුරටත් ගැඹුරු කරමින්, ලංකාව තුල සමාජ පිපිරීමක් සඳහා කොන්දේසි නිර්මානය කරමින් තිබේ.

Loading