ඉදිරිදර්ශන

ගෝලීය නය උමතුව උග්‍රවෙද්දී ඇමරිකානු මහ බංකුව සල්ලි අච්චු ගසයි.

[මෙය Global debt binge continues as Fed keeps printing money මැයෙන් 2021 ජූනි 17වනදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියයි.]

ඇමරිකානු ‘පෙඩරල් රිසර්ව් මහ බැංකුවේ’ ප්‍රතිපත්ති සාධන කමිටුවේ දින දෙකේ රැස්වීම ඊයේ (16) අවසන් වුනු අතර ඉන් බැස ගත හැකි පැහැදිලි නිගමනයක් තිබේ.

ලෝකයේ ප්‍රධාන මහ බැංකු පිලිවෙත්, ඇමරිකාව හා ලොව පුරා නිර්මානය කර ඇති නය සහ ව්‍යාජ ප්‍රාග්ධන කන්දරාවට සහාය දීම නතර කිරීමට සැලකිය යුතු කිසි පියවරක් නො ගන්නා බව එය විසින් පෙන්වා දී ඇති අතර ම, ඉතිහාසයේ මින් පෙර කිසි දිනෙක නො දුටු මට්ටම්වල ධනය රැස්කරගත් මූල්‍ය කතිපයාධිකාරයක් බිහි කිරීමකට ඉඩ ලබා දුන්, සුපිරි ලාභ මුදල් ගලා ඒම තව දුරටත් ඉදිරියේ දී සිදු වන බව අඟවා ඇත.

පොලී රේට්ටුව ගැන මහ බැංකුවේ අලුත් ම තීන්දුව ලැබෙන තෙක් වෙලඳුන් බලා සිටින අතර, 2021 ජූනි 16 දා “අභීත ගැහැනු ලමයා” පිලිමය නිව් යෝක් ව්‍යාපාර වස්තු විනිමය කාර්යාලය ඉදිරිපස වෙයි. (අනුග්‍රහය:ඒපී ඡායාරූප- රිචඩ් ඩෲ)

මහ බැංකුවේ පාදක පොලී රේට්ටුව, වර්තමානයෙහි පවතින ශූන්‍යයට කිට්ටු මට්ටමේ සිට ඉහල නැංවීම, කලින් ප්‍රකාශ කර තිබු පරිදි 2024 දී නොව 2023 අවසානයේ දී පටන් ගනු ඇතැ යි මහ බැංකුව විසින් ඇඟවුම් කිරීම, මුල්‍ය පුවත් ප්‍රකාශනවලින් හඳුන්වනු ලැබුයේ “ආක්‍රමනකාරී” ක්‍රියාවක් ලෙස යි. එහෙත් ඇත්තෙන්ම මහ බැංකුව තම මුල්‍ය පිලිවෙත වෙනස් කිරීම සඳහා ඇඟිල්ලක් වත් එසවූයේ නැත. වසංගතය ඇරඹීමත් සමගම 2020 මාර්තුවේදී, මුල්‍ය වෙලඳවලවල් ඇනහිටුවීමට ප්‍රතික්‍රියාවක් ලෙස මහ බැංකුව ක්‍රියාත්මක කල වත්කම් මිල දී ගැනීමේ ක්‍රියාමාර්ගය වූ, මසකට ඩොලර් බිලියන 120 රේට්ටුව ඉදිරියේ දී ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

රැස්වීමට සූදානම් වෙද්දී මූල්‍ය කවයන් තුල මතු කෙරුනු ප්‍රශ්නයක් වූයේ, තම මූල්‍ය වත්කම් මිල දී ගැනීම් ‘ක්‍රමයෙන් අඩු කිරීමට’ මහ බැංකුව පියවර ගනීවිද යන්නය. මූල්‍ය වෙලඳවලවල් අවුල් කෙරෙන කිසිම පියවරක් නො ගන්නා බවට සපථ කිරීමට මධ්‍යම බැංකුවේ සභාපති ජෙරෝම් පවල් විශාල උත්සාහයක් දැරී ය.

වත්කම් මිල දී ගැනීම අඩු කරන අවස්ථාව පැමිනෙන්නේ බොහෝ කාලයකට පසුව බව ඔහු පැවසීය. මිල දී ගැනීම් ක්‍රමයෙන් අඩු කිරීම ගැන මධ්‍යම බැංකුව සාකච්ඡා කරන නමුත් ඒ සඳහා ඕනෑම පියවරක් ගැනෙන්නේ “අනුක්‍රමික ලෙසත්, විධිමත් ලෙසත්, පාරදෘෂ්‍ය ලෙසත්, කාලවේලා ඇතිව දැන්වීමෙන් පසුව බවත් ඔහු පැවසීය. මෙහි අර්ථාන්විත ප්‍රතිඵලය වන්නේ, සහාය දීම නැවැත්වීම ගැන කෙරෙන සියලු ඇඟවීම් වෙලඳපල කැලඹීමට පටන් ගැනීමේ ලකුනු පහල වූ වහාම නවත්වා දමන බවට මූල්‍ය වෙලඳවලවලට සහතිකයක් දීමයි.

මහ බැංකුවේ ලේඛනවලට අනුව, 2008 ගෝලීය මූල්‍ය අර්බුදයට පෙර ඩොලර් බිලියන් 900ක වත්කම් එයට අයත් ව තිබින. ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස එය 2020 දී ඩොලර් ට්‍රිලියන 8 දක්වා වැඩි විය. මෙම වසර අවසාන වන විට එය, අඩු වශයෙන් ඩොලර් ට්‍රි‍ලියන 10ක් දක්වා ඉහල නැගීමට නියමිත ය.

අනෙකුත් ප්‍රධාන මහ බැංකු විසින් අනුගමනය කර ඇති ඇමරිකන් මහ බැංකුවේ පිලිවෙත්වල ප්‍රතිඵල දෙකක් පවතී. පලමුවෙන් ම එම පිලිවෙත් මගින් ධනය, ගෝලීය සමාගම් සහ මූල්‍ය කතිපයාධිකාරීන් අතට මාරු කිරීම සෘජුවම පහසු කරනු ලැබීය. අප්‍රේල් මාසයේ ෆෝබ්ස් සඟරාව ප්‍රසිද්ධ කල දත්ත පෙන්නුම් කලේ, 2020 වසරේ දී පමනක් ලෝකයේ බිලියනපතියන්ගේ සාමුහික වත්කම සියයට 60න් වැඩිවී, ඩොලර් ට්‍රිලියන් 8 සිට ඩොලර් ට්‍රිලියන් 13.1ක් දක්වා ඉහල නැඟුන බවයි. එම සඟරාව විසින් හඳුන්වා දෙනු ලැබුයේ එය, “මානව ඉතිහාසයේ සිදු වූ විශාලතම ධන රාශිකරනය” බවයි.

දෙවැන්න නම් ඔවුන් නය කන්දක් නිර්මානය කර ඇති බවයි. මේ ක්‍රියාදාමයේ පරිමාව ගැන එක්තරා ඇඟවීමක් මේ සතියේ වෝල් ස්ට්‍රීට් ජර්නල්හි ලිපියක විස්තර කෙරී ඇත. මින් පෙර තිබූ ඉහල ම මට්ටම ඩොලර් මිලියන් 600කට කිට්ටු ගනනක් වූ අතර, ඩොලර් ට්‍රිලියන 1.7ක බැඳුම්කර නිකුත් කිරීමෙන් පසු මාර්තු අවසාන වන විට ඇමරිකානු සංගතවල සම්පූර්න නය, ඩොලර් ට්‍රිලියන 11.2ක් විය: එය ඇමරිකානු දල දේශීය නිශ්පාදනයෙන් භාගයකට සමානය.

යුරෝපීය මහ බැංකුවේ ශූන්‍ය පොලී රේට්ටු පිලිවෙත ද වත්කම් මිල දී ගැනීම් ද ආන්ඩුවේ සෘජු සහාය දීම් ද මගින් පමනක් වෙලඳ සමාගම් දහස් ගනනක් කඩා වැටෙන්නට නොදී පවත්වා ගෙන යන යුරෝපයේ ද පවතින්නේ එම තත්ත්වය මයි.

ප්‍රංශ මුදල් ඇමති බෘනෝ ලෙමයර් මෑත දී කල ප්‍රකාශයකින් මෙම ක්‍රියාන්විතයේ පරිමාව හුවා දැක්විනි. “අප දෙන සහාය එක් වරටම නවත්වා දැමීම මගින් දහස් සංඛ්‍යාත බංකොලොත් වීම් ඇරඹීමට අපට අවශ්‍ය නැත” යනුවෙන් ඔහු පැවසීය.

නය කන්දක් ගොඩ නැගීම මහ බැංකු පිලිවෙත්වල එක් ප්‍රතිඵලයක් පමනකි. ගෝලීය මූල්‍ය පද්ධතිය තුලට සුපිරි ලාභදායී මුදල් ගලා ඒම මගින්, කිහිපයක් පමනක් නම් කල හොත්, වෙලඳ භාන්ඩ, නිවාස, ව්‍යාපාර වස්තු කොටස් සහ ක්‍රිප්ටෝ මුදල්, වැනි වාපාරවල සමපේක්ෂන රැල්ලක් උසි ගැන් වී ඇත.

වෝල් වීදියේ වෙලඳාම් වාර්තාගත ඉහල මට්ටම්වලට සේන්දු වීමත් සමගම වෙලඳපල වටිනාකම් ගනනය කිරීමේ සාම්ප්‍රදායික ප්‍රමිතිය වන, ව්‍යාපාර වස්තු පිලිබඳ මිල සහ ඉපැයීම් අතර අනුපාතය ඉහල නගිමින් පවතියි.

සංගත සතුව ඇති ආයෝජන මට්ටමට පහල, අඩමාන බැඳුම්කරවලින් ලැබෙන ආදායම, කවදාවත් නො තිබූ පහල මට්ටමකට වැටී ඇත. බිට්කොයින් මුදල් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක අඩමාන බැඳුම්කර වෙලඳපලට ඉදිරිපත් කිරීමෙන් පසු ව, ටෙස්ලා සමාගමේ “ නය ගැනුම් මිල ඉතාමත් පහත් නිසා” මූඩි ආයතනයෙන් ඉතා සතුටුදායක තක්සේරුවක් ඊට ලැබුනු බව මේ සතියේ බ්ලූම්බර්ග් විසින් වාර්තා කරන ලදී.

මිල ගනන් අපාලිතව පැද්දීමට භාජනය වෙද්දී, වෙලඳ භාන්ඩ, සමපේක්ෂන ක්‍රියාදාමයේ හරිමැද පැවතියේ ය. මැයි මස ඇමරිකානු දැව මිල වාර්තාගත ඉහල වට්ටම්වලට ඉහල නැඟුන අතර, ඉන් පසුව මේ මාසයේදී එය සියයට 41කින් කඩා වැටුනේ ය. යකඩ ලෝපස් සහ තඹ වැනි කාර්මික වෙලඳ භාන්ඩ ද සමපේක්ෂනයට භාජනය වී, මිල ගනන් වාර්තා ගත මට්ටම්වලට ඉහල නැඟුනි.

අලුත් ම ගෝලීය දත්තවලට අනුව, 2008 ගෝලීය අර්බුදයට පෙර ඇති වූ වේගවත් ම මට්ටම්වලින් නිවාස මිල ඉහල යන අතර, පසු ගිය වසරේ එම මිල, නවසීලන්තයේ සියයට 22න් ද ඇමරිකාවේ සියයට 13.5න් ද ඉහල ගියේ ය.

ඇමරිකානු සහ අනෙකුත් මහ බැංකු විසින් අනුබල දෙනු ලැබූ මෙම සමපේක්ෂනයේ අතිමහත් වර්ධනයෙහි පවතින වෛෂයික අර්ථභාරය කම්කරු පංතිය විසින් ග්‍රහනය කර ගැනීම, තම දිග හැරෙන අරගල සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙයි. නය මත පදනම් වූ සංගත බැඳුම්කර සහ අනෙකුත් මූල්‍ය සම්පත් අයත් වන්නේ මාක්ස් ව්‍යාජ ප්‍රාග්ධනය ලෙස හැඳින් වූ ගනයටයි. එනම්, ඒවාට නෛසර්ගික වටිනාකමක් නැත. එසේ නොව අවසාන විග්‍රහයේ දී ඒවා, නිෂ්පාදන ක්‍රියාවලිය තුල දී කම්කරු පංතියෙන් උකහා ගන්නා වූ අතිරික්ත වටිනාකමට අයිතිය කියාපෑමකි.

මෙම ව්‍යාජ ප්‍රාග්ධන කන්ද වර්ධනය කිරීම පංති අරගලයේ වර්ධනය සම්බන්ධයෙන් තීරනාත්මක ඇඟවුම් සහිත වූවකි. එය මෙම සම්පත්වලට වටිනාකම් කැවීම සඳහා කම්කරු පංතිය මතට පහර එල්ල කිරීමේ - එනම් අතිරික්ත වටිනාතම් වඩ වඩා විශාල වූ ප්‍රමානයන් උකහා ගැනීම පිලිබඳ -පෙර නිමිත්තකි.

මහ බැංකු රැස්වීමෙන් අනතුරුව පවල් ඉදිරිපත් කල කරුනු දැක්වීමේ දී සහ ප්‍රශ්නෝත්තර සැසියේ දී ඔහු, උද්ධමනය ගැන සහ එය වර්ධනය වීමේ හැකියාවන් ගැන සැලකිය යුතු අවධානයක් යොමු කලේය.

මධ්‍යම බැංකුවේ ප්‍රධාන උත්සුකය, හුදෙක් මිල වැඩිවීම් ම නොවේ: එ මගින් වැටුප් සහ අනෙකුත් ඉල්ලීම්වලට සහාය පිනිස කම්කරු පංතියේ නැගිටීමක් ඇති කරනු ලබන්නේ ද යන්නත්, අතිරික්ත වටිනාකම් ගලා ඒම වැඩි කිරීමේ අරමුනින් මූල්‍ය ප්‍රාග්ධනයේ නො නවතින ඉල්ලීම් සපුරාලීම සඳහා, ශ්‍රම සහ වැඩ කිරීමේ කොන්දේසි “ප්‍රතිව්‍යුහගත කිරීමට” ප්‍රතිරෝධයක් ඇතිවේ ද යන්නත් ය.

උද්ධමනයේ ස්ථාවර නැගීමක් නිසා ම වැටුප් වැඩි කිරීමේ අරගල ඇති වුව හොත්, මහ බැංකුවේ මූල්‍යමය ප්‍රතිපත්ති මෙවලම් පාවිච්චි කිරීමට එය සූදානම් ව සිටින බව පවල් ඇඟවීය.

එහෙත් ආර්ථිකයේ ඊනියා [දරාගත නොහැකි ප්‍රසාරනය හේතුවෙන් ඇතිවන]“අධික-රත්වීම” වැලැක්වීම සඳහා වඩා ඉහල පොලී රේට්ටුවලින් නියෝජනය වන මූල්‍ය ප්‍රතිපත්ති පමනක් ප්‍රමානවත් නොවේ. එපමනක් නොවේ, ඒවා මගින් මූල්‍ය අර්බුදයක් මුදා හැරීමේ තර්ජනය ද මතුවෙයි.

එම නිසා වෙනත් මාර්ග වර්ධනය කරගත යුතු ය: එයින් ප්‍රධාන එක, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර වශයෙන් යෙදවෙන්නා වූ විධික්‍රමයක් වන, මූල්‍ය ප්‍රාග්ධනයේ කාර්මික පොලිස් බලකාය ලෙස වෘත්තීය සමිති නිලධරය යොදවා ගැනීමයි.

අනුගාමිකත්වයේ තමිටු පිහිටුවීමට සහ වෘත්තීය සමිති යාන්ත්‍රනයන් විසින් සංවිධානය කරනු ලබන වැටුප් යටපත් කිරීමට විරුද්ධව කම්කරු පංතියේ ස්වාධීන අරගලය ඉදිරියට ගෙන යෑම සඳහා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා විසින් ගෙන යන අරගලයේ අර්ථභාරය පවතින්නේ මේ තුල ය.

මෙම කමිටු, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයකින් මග පෙන්වීමේ මට්ටම් කරා, ඉදිරියට වර්ධනය කෙරෙනු ඇත. ගැඹුරු වන ආර්ථික අර්බුදය, මෙම ක්‍රියාමාර්ගයේ වෛෂයික අවශ්‍යතාවය හෙලිදරව් කරනවා පමනක් නොව, එය ධනපති පාලක පංතිය සහ එහි සියලු ඒජන්තයින් ඉදිරිපත් කරන්නා වූ මතවාදී ව්‍යාජ විසඳුම් ද කඩා බිඳ දමා ඇත.

පාලක ප්‍රභූන් විසින් ශතවර්ෂ ගනනාවක් තිස්සේ වර්ධනය කරනු ලැබ ඇති ප්‍රධාන න්‍යාය වන්නේ, ඊනියා ධනේශ්වර නිදහස් වෙලඳපල, ස්වභාව ධර්මයේ නියාමයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය එක ම ජීවය සහ ශඛ්‍ය සමාජ ආර්ථික සැකැස්ම බවත්, ඒ නිසා මානව අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා අර්ථිකය දැනුවත් ව පාලනය කිරීම සහ හැසිරවීම මත පදනම් වන සමාජවාදී ක්‍රියාමාර්ගයක් අතාර්කික වන බවත් ය.

මනුෂ්‍ය වර්ගයාට විශ්වයේ පිටතින් වූ ප්‍රදේශ ද පරමානුවක අභ්‍යන්තර ව්‍යුහය ද ජීවයේ යාන්ත්‍රනය ද විමර්ශනය කිරීමට හැකි වන නමුත්, එයට සමාජය දැනුවත් ව සංවිධානය කිරීමට නො හැකි ය යන මෙම දෘෂ්ටියේ විකාර ස්වභාවය, සමාජවාදී ව්‍යාපාරය නිරන්තරයෙන් හෙලිදරව් කර ඇත.

කාලාන්තරයකට පෙර න්‍යායික ව නිෂ්ප්‍රභ කරනු ලද්දා වූ නිදහස් වෙලඳපල පිලිබඳ න්‍යායයන්, අද භාවිතයේ දී ඉරා දමනු ලැබ ඇත. ඊනියා නිදහස් වෙලඳපල ක්‍රියාත්මක වීම නතර වී ඇත. මහ බැංකුවල මැදිහත්වීමේ ස්වරූපයෙන්, ධනේශ්වර රාජ්‍යය දිනපතා සිදු කෙරෙන මැදිහත්වීම් නොවන්නට එය ක්ෂනයෙන් කඩා වැටෙනු ඇත.

රාජ්‍යය දැන් ප්‍රධාන ආර්ථික සංවිධායකයාගේ භූමිකාව තමා වෙත පවරා ගෙන ඇත. අද ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එය ක්‍රියාත්මක කෙරෙන්නේ කාගේ අවශ්‍යතාවන් සඳහා ද යන්නයි. කතිපයාධිකාරීන්ගේ ධන රාශිකරනය සහ කම්කරු පංතියේ දරිද්‍රතාව වර්ධනය කිරීම සඳහා ආයුධය වන්නා වූ වර්තමාන ධනේශ්වර රාජ්‍යය පෙරලා දමා, සමාජවාදී සමූහාන්ඩු පිහිටු විය යුතු ය. දැන් දිගහැරෙන්නා වූ අගලවල ආවේනික තර්කනය එයයි.

Loading