විරෝධතාවේ යෙදුන විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසිය ම්ලේච්ඡ ලෙස පහර දෙයි

අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීම නැවැත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන, කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සඳුදා පැවැත්වූ විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවකට, පොලීසිය ම්ලේච්ඡ ලෙස කඩා පැන්නේ ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය විසින් කැඳවුනු මෙම උද්ඝෝෂනයට සිසුන් 100ක් පමන  සහභාගිවී සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුරුවෙන් යුත් පඹයෙක් ප්‍රදර්ශනය කිරීම, විරෝධතාව මත කඩා පැනීමට නිමිත්ත ලෙස පොලීසිය විසින් යොදා ගත්තේ ය. 

කොලඹ කොටුව පැවති අවිශිබ විරෝධතාට පොලීසිය බලෙන් කඩා පනී

එහෙත්, නිල් කමිසවලින් සැරසී සිටි විශේෂ පොලිස් කන්ඩායමක් ඇතුලු පොලිස් භටයන් දුසිම් ගනනක්, විරෝධතාකරුවන් මතට කඩා පැන පඹයා ඉවත් කල හ. සිසුන් එය වැලැක්වීමට උත්සාහ කල විට, පොලීසිය සිසුන් සමග පොරබැදුවේ ය. විශේෂ පොලිස් කන්ඩායමේ නිලධාරීන් තමන්ගේ වෘෂන කෝෂ මිරිකූ බවට සමහර ශිෂ්‍යයෝ චෝදනා කල හ. ආරක්ෂක අමාත්‍යංශය විසින් ඍජු ව පාලනය කරන මෙම නව විශේෂ පොලිස් කන්ඩායම, රාජපක්ෂ ආන්ඩුවට එරෙහි පන්ති අරගල හා විරෝධතා මැඩීමට පුහුනු කරනු ලැබ තිබෙන විශේෂ මර්දක කන්ඩායම්වලින් එකකි.   

මුදල් අය කරමින් උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ හැකියාව ලැබෙන ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල (කේඑන්ඩීයූ) පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට ආන්ඩුව දරන සැලසුම්වලට එරෙහි ව මෙම විරෝධතාව පැවැත්වුනි. මෙය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ පියවරකි. කොවිඩ්-19 වසංගතය යටතේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව මෙම ප්‍රහාරය පෙරට දමා ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමග පැහැදිලි දේශපාලන වෙනස්කම් තිබුනද එය නොතකා සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාාපාරය සිසුන්ට එරෙහි මෙම පොලිස් ප්‍රචන්ඩත්වය හෙලා දකිති.  අවිශිබම මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේද රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දමා පනත පරාජය කල හැකිය යන මිත්‍යාව වගාකරමිනි. 

සසප හා සසජාතශි, 2018 දී මුල් වරට ඉදිරිපත් කරන ලද මෙම පනත හෙලිදරව් කල හ. ශ්‍රී  ලංකාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධ වනු! අධ්‍යාපන පුද්ගලීකරනය එපා! නමැති සසජාතශි ප්‍රකාශය තුල, අපි පනතෙහි ඉලක්ක විස්තර කර ඇත්තෙමු. 

රාජපක්ෂ ආන්ඩුවේ ආශීර්වාදය යටතේ, ආරක්ෂක අමාත්‍යාංශය දැන් පනත යලි හඳුන්වා දී ඇත. එවකට මෙන් දැනුදු, පනතට එරෙහි පලල් ව පැතිරුනු විරෝධයක් පවතී. මහජන විරුද්ධත්වය වැඩුනු තතු යටතේ, පැවති සිරිසේන-වික්‍රමසිංහ පාලනයට පනත තාවකාලික ව හකුලා ගැනීමට බලකෙරුනි.

ආන්ඩුවේ නව සූදානමට එරෙහි ව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, ගුරුවරුන් හා මහජනයා අතර විරෝධය දැනට මත් වැඩෙමින් තිබේ.

පනත සම්මත කර ගැනීමට අධිෂ්ටානවත් ව සිටින රාජපක්ෂ ආන්ඩුව, එයට එරෙහි කිසිදු විරෝධයක් ඉවසා සිටීමට සූදානම් නැත. මැයි 27 හා ජුනි 2දා  දඩ ගැසීම් හා සිරගත කිරීම් ඇතුලු දැඩි දඬුවම් ලබා දෙන විෂඝෝර අත්‍යවශ්‍ය සේවා පනත යටතේ, සියලු ම රාජ්‍ය අංශ ආයතනවල වැඩ වර්ජන තහනම් කිරීමට රාජපක්ෂ පියවර ගත්තේ ය.

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහි ව මෝදර දී පැවති ධීවරයන්ගේ විරෝධතාවකට, පොලීසිය ජුනි 20දා පහර දුන්නේ ය. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුලු එතැනට පැමිනි පෙසප සාමාජිකයන්ට කායික ව පහර දී, නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඔවුන් ව නිදහස් කරනු ලැබිනි.

සඳුදා විශ්ව විද්‍යාල සිසුන් ගේ විරෝධතාවට පහර දුන්නේ හුදෙක් රාජපක්ෂගේ පඹයා ඉවත් කිරීමට පමනක් නො වේ. එය, මහජන අරගලවල භව්‍යතාව පිලිබඳ ව තැතිගෙන සිටින පාලන තන්ත්‍රය, එම අරගල තලා දැමීම පිනිස ම්ලේච්ඡ හමුදා දිගේලි කිරීමට සූදානම් බවට වන පනිවුඩයකි. මෙම ප්‍රහාරවලට විරුද්ධ ව බලමුලුගැන්වී ගැනීම සඳහා, කම්කරුවන්ට හා ශිෂ්‍යයන් ඇතුලු තරුනයන්ට තමන්ගේ ම ස්වාධීන සමාජවාදී ක්‍රියා මාර්ගයක් තිබිය යුතු ය. 

ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධ වනු! අධ්‍යාපන පුද්ගලීකරනය එපා!

Loading