ආන්ඩුව අධ්‍යාපනය මිලිටරීකරනය කෙරෙන විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීම කඩිනම් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීව්‍ර‍ කර ඇති මිලිටරීකරන වැඩකටයුතුවල සුවිශේෂී පියවරක් ලෙස, කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (කේඑන්ඩීයූ) පනත පාර්ලිමේන්තුව තුල සම්මත කර ගැනීමේ වැඩකටයුතු කඩිනම් කර ඇත. මෙම පනත මගින් කේඑන්ඩීයූ ව, ආරක්ෂක අමාත්‍යංශය සහ මිලිටරිය මගින් මුලුමනින්ම පාලනය කෙරෙන්නා වූ ද, 1978 විශ්ව විද්‍යාල පනතෙන් පරිබාහිරව සහ ස්වාධීනව ක්‍රියාත්මක වන්නා වූ ද විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට යෝජිත ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ 2018 දී මෙම පනත මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු නමුදු, එයට එරෙහිව නැගුනු බලගතු මහජන විරෝධය හමුවේ තාවකාලිකව හකුලා ගැනීමට සිදුවිය. රාජපක්ෂ ආන්ඩුව 2021 මාර්තු මාසයේදී යලිත් එම පනත පාර්ලිමේන්තුවට ගෙන ආවේය. එය ජූනි 22 දා ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක කමිටුව තුල සාකච්ඡා කිරීමට නියමිතව තිබුනි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය - උපාධි අධ්‍යයන පීඨය- [photo-kdu.ac.lk]

ත්‍රිවිධ හමුදාවල ඉහල නිලයන්ට බඳවා ගන්නන් පුහුනු කිරීම සඳහා කොතලාවල ආරක්ෂක ඇකඩමිය නමින් 1981 දී  ආරම්භ කරන ලද මෙම ආයතනය, 1986 දී විශ්වවිද්‍යාලයක තත්ත්වයට උසස් කරන ලදී. 2012 වසරේ පටන් ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂනය හා නීතිය ඇතුලු පාඨමාලා මුදල් ගෙවා හැදෑරීමට සීමිත සිවිල් සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීම ආරම්භ කෙරුනි.

නව පනත මගින්, එය සුවිසල් පරාසයක පාඨමාලා ආවරනය කෙරෙන සහ මිලිටරි සිසුන්ට අමතරව සිවිල් සිසුන් විශාල සංඛ්‍යාවක් මුදල් ගෙවා හැදෑරීමට බඳවා ගැනෙන පූර්න විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරේ. පනතට අනුව එම විශ්ව විද්‍යාලයට පහත සඳහන් බලතල පැවරේ:

  • විශ්ව විද්‍යාලයට අවශ්‍ය වන පරිදි වූ මන්ඩප, විද්‍යාල, පීඨ, අධ්‍යනාංශ, මධ්‍යස්ථාන, ශාස්ත්‍රීය ආයතන සහ වෙනත් යම් විශේෂිත ආයතන පිහිටුවීම සහ ඒවයේ ආරම්භ කෙරෙන පාඨමාලා සඳහා උපාධි ප්‍රදානය කිරීම
  • විශ්ව විද්‍යාලයේ අරමුනුවලට අනුව දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන සමග අනුබද්ධ ව කටයුතු කිරීම
  • සපයන පාඨමාලා සඳහා විශ්ව විද්‍යාලය විසින් නීර්නය කරනු ලබන ගාස්තු අය කිරීම

පනතට අනුව, “1978 විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුව ද, එය නොතකා” මෙම විශ්ව විද්‍යාලයට ක්‍රියාත්මක විය හැක. 1978 විශ්වවිද්‍යාල පනතට අනුව, රජයේ විශ්ව විද්‍යාල සියල්ල උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවතිය යුතු අතර, එකී පනතේ එන විධිවිධාන වලට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය. 

කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව මහනුවර පැවති ශිෂ්‍ය විරෝධතාව - 2021 ජූනි

කේඑන්ඩීයූව පාලනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පාලක මඩුල්ලක් විසින් බවත්, ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන් අතරින් තෝරාගෙන ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන උප කුලපතිවරයෙකු විසින් එම මන්ඩලයේ ප්‍රධානත්වය දරනු ඇති බවත් නව පනතෙන් කියැවේ.

පනත යලි ගෙනඒම, ජනාධිපති රාජපක්ෂ විසින් වේගවත් කොට ඇති පුද්ගලීකරනය සහ මිලිටරීකරනය සමග බැඳී පවතී.

වසංගතයෙන් උග්‍ර කෙරී ඇති රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික අර්බුදය හමුවේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පුද්ගලීකරනය වේගවත් කරන ලෙස ආන්ඩුවට බලකර සිටී. කේඑන්ඩීයූ ව යටතේ රටපුරා ආරම්භ කෙරෙන විශ්වවිද්‍යාල මන්ඩප සහ අනෙකුත් ආයතන මගින්, ගාස්තු අයකෙරෙන, විවිධ උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට පනතෙන් ලැබෙන අවසරය, අධ්‍යාපනයේ පුද්ගලීකරනය වේගවත් කෙරෙන බවට ජාමූඅ ටත්, ජාතික සහ ජාත්‍යන්තර ආයෝජකයන්ටත් දෙන සහතිකයකි.

ආන්ඩුව තම අර්බුදයේ බර විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර, එයට එරෙහිව වේගයෙන් වැඩෙන පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කිරීමට රාජපක්ෂ විසින්  කරගෙන යන වැඩකටයුතු තීව්‍ර කෙරී ඇත. මෙහි ප්‍රධානතම කොටසක් ලෙස සමස්ත සමාජයම මිලිටරීකරනය කෙරෙමින් පවතින අතර, අධ්‍යාපනයේ මිලිටරීකරනය ඒ හා බැඳී පවතී.

යෝජිත පනත අනුව, මෙම විශ්ව විද්‍යාලයට අයත් සියලු මන්ඩප, පීඨ සහ අනෙකුත් අධ්‍යාපන ආයතන තුල මිලිටරි විනය බරපතල ලෙස ස්ථාපිත කෙරෙනු ඇත. දැනටමත් එය ක්‍රියාත්මක වෙමින් පවතී. යුද හමුදා වෙබ් අඩවියට අනුව, කේඑන්ඩීයූවේ සූරියවැව මන්ඩපය “එහි මිලිටරි කාර්ය මන්ඩලය විසින් කරන සමීප අධීක්ෂනය නිසා දැඩි විනයක් යටතේ පවතී.” 

මිලිටරි විනයට සිසුන් මුලුමනින්ම යටත් කෙරෙන විශේෂ වගන්තියක් පනතේ අඩංගු වෙයි: “විශ්ව විද්‍යාලය තුල පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව” හෝ නැතහොත් එම තත්ත්වය මගින් විශ්ව විද්‍යාලයේ නිසි ක්‍රියාකාරීත්වය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, “එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකියයි ඔහු විසින් සලකනු ලබන පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මන්ඩලයට විධානය කරනු ලැබිය හැකි ය.” 

ඒ අනුව, සිසුන් හෝ අනෙකුත් කාර්ය මන්ඩල සාමාජිකයන් තම අයිතීන් වෙනුවෙන් සටන් කලහොත්, “විශ්ව විද්‍යාලයේ නිසි ක්‍රියාකාරීත්වය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට” චෝදනා කරමින් ඔවුන් දඩයම් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාට බලය පැවරේ. 

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සම්බන්ධිත විවිධ පාර්ශ්වයන් අතරින්, මෙම ප්‍රතිගාමී පනතට එරෙහි විරෝධය ප්‍රකාශයට පත් වෙයි. පනත මඟින් තමා ඇතුලු “ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් සැලකිය යුතු කොටස් තීරන ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැර කෙරෙන” බව විශ්ව විද්‍යාල ආචාර්ය  සංගමය (විආස) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. “සමාජය හා ජීවිතය පිලිබඳ අතිශයින්ම උපයෝගිතාවාදී මිලිටරි දෘෂ්ටියක් එම තීරන මගින් පිලිබිඹු කරනු” ඇති බවත්, “කවර හෝ ප්‍රශ්න කිරීමකින් තොරව විධානයන් ක්‍රියාවට නැංවීම අපේක්ෂා කරන මිලිටරි සංස්කෘතියකින්” විශ්ව විද්‍යාලයක පැවතියයුතු විවේචනාත්මක සංස්කෘතිය විස්ථාපනය කෙරෙනු ඇති බවත් ප්‍රකාශය අවධාරනය කරයි.

ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති රාජපක්ෂට ලිපියක් ලියමින්, අදාල විශ්ව විද්‍යාලය, ලොව අන් රටවල මෙන් “මිලිටරියට” සහ “ආරක්ෂක විෂයයන්” ට පමනක් සීමා කරන ලෙසත්, අදාල පනත ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ඉල්ලා සිටී. 

පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වන දකුනු ආසියානු තාක්ෂන හා වෛද්‍ය ආයතනය (සයිටම්) අහෝසි කල අයුරින්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන වල “පුලුල් පෙරමුනක්” හරහා ගෙනයන සටනක් තුලින් නව පනත ද පරාජය කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබ) කියා සිටී.

කෙසේ නමුත්, මෙම සංවිධාන සියල්ල කියා සිටින්නේ, “පුලුල් පෙරමුනක්” හරහා ආන්ඩුවට යොදන පීඩනය තුලින් මෙම පනත පරාජය කලහැකි බවයි. 2018 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මෙය පලමු වරට ඉදිරිපත්කල අවස්ථාවේ, සිසුන්ගෙන්, ආචාර්යවරුන්ගෙන් සහ අවශේෂ මහජන‌තාවගෙන් එල්ල වූ බලගතු විරෝධය හමුවේ, එය තාවකාලිකව හකුලා ගැනුනේ උපාමාරුවක් ලෙසිනි. නමුත්, මෙම සංවිධාන සියල්ල එය “ජයග්‍රහනයක්” ලෙස උදම් ඇනූහ.

එය “ජයග්‍රහනයක්” නොවන බව පෙන්වා දෙමින්, අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන් පරාජය කිරීමේ කම්කරු පන්තික සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත්කොට සටන් වැදුනේ සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පමනි.

“ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධ වනු! අධ්‍යාපන පුද්ගලීකරනය එපා!' යන හිසින් 2018 මැයි 08 දා සසජාතශි නිකුත්කල ප්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “ධනවාදයේ අර්බුදය හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විසින් නීර්නය කරනු ලබන ආන්ඩුවේ පිලිවෙත් කවර හෝ පීඩනය යෙදීමකින් වෙනස් නොවනු ඇත.” ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් අවශ්‍ය බව එම ප්‍රකාශයෙන් අවධාරනය කෙරුනි.

එම වැඩපිලිවෙලට විපරීතව අවිශිබම දිගින්දිගටම තොරොම්බල් කලේ “සයිටම් අහෝසි කිරීමේ සටනට” සමාන සටනකින් කේඑන්ඩීයූ පනත පරාජය කල හැකි බවයි. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරන අවිශිබ, පුද්ගලීකරනයට එරෙහි සිසුන්ගේ විරෝධය හුදෙක් 'සයිටම් අහෝසි කිරීමේ සටනකට' කොටු කලේය. සයිටම් අහෝසි වූ නමුත් පුද්ගලීකරනය ඉදිරියටම යමින් පවතී. අවිශිබම පවසන අයුරින් 2018 දී “පරාජය කල” පනත දැන් නැවත පැමින ඇත.  

විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමය ද පාදක වී සිටින්නේ ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් එහි පිලිවෙත් වෙනස් කලහැකිය යන මිථ්‍යාව මතය. අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරන ලෙස, එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවට බල කරමින් ඔවුහු 2012 දී දීර්ඝ උද්‌ඝෝෂනයක් ගෙන ගියහ. නමුදු සිදුවූයේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් අධ්‍යාපන වියදම් තවතවත් කප්පාදු කරමින් පුද්ගලීකරනය තීව්‍ර කිරීමයි. අදවන විට රජයේ අධ්‍යාපන වියදම දජානි යෙන් සියයට 2 කටත් පහල සොච්චමකට පහත හෙලා ඇත.

වර්ගවාදී යුද්ධයේ කසකරුවෙකු වෙමින් මිලිටරීකරනයට පූර්න සහයෝගය දුන් ජවිපෙ සමග එකපතේ කන අමරසූරිය මිලිටරීකරනයට එරෙහිව කරන ඉල්ලීම් ද මුලුමනින්ම කුහකය. 

ඉහත සසජාතශි ප්‍රකාශයේ සඳහන් කෙරුනු පරිදි, “ධනේශ්වර පද්ධතියට බැඳී සිටින එම පද්ධතිය තුල විසඳුම් සොයන අවිශිබ, පෙසප හා අනෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම් ද වෘත්තීය සමිති ද එවැනි අරගලයක් වැලැක්වීමට උත්සාහ කරමින් සිටිති. ශිෂ්‍යයන් ධනවාදයේ මෙම හෙංචයියන් ප්‍රතික්ෂේප කල යුතු ය.”

මිලිටරීකරනය සහ පුද්ගලීකරනය පරාජය කොට, සියල්ලන්ට ගුනාත්මක ව වර්ධිත අධ්‍යාපනයක් සම්පාදනය කල හැක්කේ, දුගී පීඩිතයන් හා තරුනයන් තමන් වටා රැලි කරගන්නා කම්කරු පන්තිය විසින් ස්ථාපනය කරනු ලබන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීමෙන් පමනි. එම ආන්ඩුව යටතේ, බැංකු, මහා සමාගම් හා විශාල වතුවල ධනය අත්පත් කරගැනීමෙන් හා විදේශ නය ප්‍රතික්ෂේප කිරීමෙන් එවන් ගුනාත්මක ව වර්ධිත අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල් සපයාගත හැකි බව සසජාතශි එම ප්‍ර‍කාශයෙන් පෙන්වා දුනි.

2018 දී ඉදිරිපත්කල එම වැඩපිලිවෙලේ නිරවද්‍යතාව අදදින වඩාත් තහවුරු වී ඇත. ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් ඒ මත සටන් වැදීමට කම්කරු පන්තිය දෙසට වහා හැරී ගත යුතුය. සටන ඉදිරියට ගෙනයාමේ මූලික සංවිධාන රූපයන් ලෙස, විශ්වවිද්‍යාල, වැඩපොල සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව, ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් සහ ශිෂ්‍යයන් පෙරට පැමිනිය යුතු බව සසප සහ සසජාතශි අවධාරනය කරයි.

ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධ වනු! අධ්‍යාපන පුද්ගලීකරනය එපා!

Loading