ඉදිරිදර්ශන

ජූන්ටීන්ත් සහ දෙවන ඇමරිකානු විප්ලවය

[මෙය Juneteenth and the Second American Revolution මැයෙන් 2021 ජුනි 20 වනදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියයි.]

පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට වහල්භාවය අවසන් කිරීම සැමරීම සඳහා සාමූහික නිවාඩු දිනයක් ලෙස “ජූන්ටීන්ත්” හෙවත් ජුනි 19 වන දින ස්ථාපනය කිරීමේ නීති අත්සන් කලේය. ධනේශ්වර පක්ෂ දෙකේම අතිමහත් සහයෝගය ඇතිව සම්මත වූ නීතිය වහාම ක්‍රියාත්මක විය. ජූනි 19 පැමිනියේ සති අන්තයක බැවින් නිවාඩු දිනය මුලින්ම නිල වශයෙන් සලකුනු කලේ සිකුරාදා ය.

වහලුන්ගේ අවසාන විමුක්තිය, සිවිල් යුද්ධයේ කූටප්‍රාප්තිය—ඉතිහාසඥයින් දෙවන ඇමරිකානු විප්ලවය ලෙස හැඳින්වූ දේ—සඳහා [උතුරුදිග අමරිකානු ප්‍රාන්තනියෝජනය කල] යුනියන් සොල්දාදුවන් 350,000 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි විය. එක්සත් ජනපදයේ දකුනේ වහල් කතිපයාධිකාරය විනාශ කිරීම ඇමරිකානුවන්ට පමනක් නොව ලෝක ඉතිහාසයට ද අතිශයින් ප්‍රගතිශීලී වැදගත්කමක් ඇති සිදුවීමකි.

වර්ජිනියාවේ රිච්මන්ඩ් හි විමුක්ති දින සැමරුම, 1905 වසර. (රූප අනුග්‍රහය: විකිපීඩියා)

කෙසේවෙතත්, නිවාඩු දිනය නිල වශයෙන් සලකුනු කිරීම පිලිබඳ නිමක් නැති මාධ්‍ය විවරන මධ්‍යයේ, 1865 දී වහලුන්ගේ විමුක්තිය හෝ වර්තමානය සඳහා එහි විප්ලවීය ඇඟවුම් පිලිබඳ බරපතල ඓතිහාසික විමර්ෂනයක් නොමැත.

1865 දී ටෙක්සාස් හි වහල්භාවයේ සිටි කලු ජාතිකයන් තමන් නිදහස් වූ බව දැනගත් දිනය ජූන්ටීන්ත් ලෙස සමරනු ලබයි. වර්ජිනියාවේ ඇපෝමැටොක්ස් උසාවියේදී රොබට් ඊ. ලී ගේ [දකුනුදිග ඇමරිකානු ප්‍රාන්ත නියෝජනය කල]කන්ෆෙඩරේට් බලකාය, යුලිසස් එස්. ග්‍රාන්ට් ට යටත් වීමෙන් සහ දින කිහිපයකට පසු වොෂින්ටන් ඩී.සී හිදී ජාතිවාදී දක්ෂින ආධාරකරුවකු වන ජෝන් විල්ක්ස් බූත් විසින් ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කිරීමෙන් මාස දෙකකට පසුව මෙය සිදුවිය. නෛතික අර්ථයෙන් ගත් කල, කැරලිකරුවන් විසින් පාලනය කරන ලද භූමියෙහි වහලුන්ගේ නිදහස, 1863 ජනවාරි 1 වන දින සිට බලාත්මක වූ විමුක්ති ප්‍රකාශනය හරහා මීට පෙර පැමින තිබේ. 1865 ජනවාරි 31 වන දින කොන්ග්‍රසය විසින් සම්මත කරන ලද සහ දෙසැම්බර් මාසයේදී ප්‍රාන්ත විසින් අනුමත කරන ලද දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය, ඇමරිකානු සංගමයේ සෑම තැනකම වහල්භාවය අහෝසි කලේය.

ස්වාමිවරුන් මේ සියල්ල ගැන වහලුන්ව අඳුරේ තබා ගැනීමට උත්සාහ කලහ. එහෙත් 1865 ජුනි 19 වන දින උදෑසන යූනියන් මේජර් ජෙනරාල් ගෝර්ඩන් ග්‍රෙන්ජර්, ටෙක්සාස් හි ගැල්වෙස්ටන් වෙත යූනියන් භටයන් දෙදහසකට වැඩි පිරිසක් සමග පැමිනියේ ටෙක්සාස් හි වහල්භාවයේ සිටි ජනගහනය වෙත විමුක්තිය බලාත්මක කිරීම සහ වහල් සේවයේ සිට ෆෙඩරල් රජයක් දක්වා සාමකාමීව බලය මාරු කිරීම සහතික කිරීමේ අරමුන ඇතිව ය. ග්‍රැන්ජර් විසින් මහජන නියෝග අංක 3 ප්‍රකාශයට පත් කිරීමෙන්, අන්තිම කොන්ෆෙඩරේට් ප්‍රාන්තය තුල ද වහල්භාවය විසුරුවා හැරියේය.

නියෝගයෙහි මෙසේ සඳහන් ය:

එක්සත් ජනපදයේ විධායකයේ ප්‍රකාශයකට අනුව සියලුම වහලුන් නිදහස් බව ටෙක්සාස් වැසියන්ට දන්වනු ලැබේ. හිටපු ස්වාමිවරුන් සහ වහලුන් අතර පෞද්ගලික අයිතිවාසිකම් සහ දේපල අයිතිවාසිකම් පිලිබඳ නිරපේක්ෂ සමානාත්මතාවයක් මෙහි අන්තර්ගතවන අතර, ඔවුන් අතර පෙර පැවති සම්බන්ධතාවය, සේවායෝජකයා සහ කුලී ශ්‍රමිකයා අතර සම්බන්ධයක් බවට පත්වේ.

මෙම ප්‍රායෝගික හා සත්‍ය කරුනු වලින් යූනියන් ජෙනරාල් සිවිල් යුද්ධයේ විප්ලවීය අන්තර්ගතය කැටි කල අතර—සමස්ත සමාජ පර්යායක් විනාශ කිරීම සහ වහලුන් නිදහස් කිරීම—නව නියෝගයේ තියුනු යථාර්ථය ද එහිම ගැබ් විය. කම්කරුවන් මිලියන හතරක් තවදුරටත් අන් අයගේ දේපල නොවීය, ඔව්, නමුත් ඔවුන්ට ඔවුන්ගේම දේපලක් ද නොතිබුනි. ඔවුන්ගේ ශ්‍රම ශක්තිය, සමහර විට ඔවුන්ගේ හිටපු ස්වාමිවරුන්ටම විකිනීමට ඔවුන්ට දැන් නිදහස තිබේ.

එහි සීමාවන් නොතකා, ගැල්වෙස්ටන්හි හිටපු වහලුන් ග්‍රෙන්ජර්ගේ නිවේදනය සැමරූහ. යූනියන් බයිනෙත්තුවෙන් ලද වහල්භාවයේ අවසානය අතිවිශාල ප්‍රගතියක් වූ අතර වහලුන් එය දැන සිටියහ. ඔවුන් හැඳින්වූ පරිදි, මෙම “නිදහස් වූවන්”, වාර්ගික දේශපාලනයේ වත්මන් තොරොම්බල්කරුවන් මෙන් සිවිල් යුද්ධයට හෝ ලින්කන්ට සමච්චල් කලේ නැත. නිවේදනයෙන් වසරකට පසුව, 1866 ජුනි 19 වන දින, නිදහස් වූවන් විසින්, දැන් පොදුවේ ජූන්ටීන් ලෙස හැඳින්වෙන “ජුබිලි දිනය” සැමරීම පලමු වරට සංවිධානය කරන ලදී. පසුකාලීනව, මෙම නිවාඩුව වහලුන්ගේ පුතුන් හා දියනියන් සමඟ, ගමින් නගරයට ගිය අතර, අඳ ගොවිතැනේ සිට වැටුප් ශ්‍රමය දක්වා සමාජ ක්‍රමය වෙනස් විය.

මෙම කාරනා කිසිවක් ජූන්ටීන්ත් හි වැදගත්කම පිලිබඳ විවරන වල දක්වා නොමැත. වාර්ගික අනන්‍යතාවයෙන් දූෂිත දේශපාලන වාතාවරනයක් තුල, නිවාඩු දිනය පිලිබඳ වාර්ගික අර්ථකථන ඉදිරිපත් කිරීම සඳහා ජූන්ටීන්ත් උත්සවය උදුරාගෙන ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් හි තීරු රචක ජමෙල් බූයි, ජූන්ටීන්ත් වටා ප්‍රවර්ධනය කෙරෙන සංකල්පයන් වසරකට පෙර ප්‍රකාශයට පත් කරන ලද තීරු ලිපියක “ජූනිටීන් වැදගත් වන්නේ ඇයි” යනුවෙන් සාරාංශ කොට ඇත. බූයි පවසන පරිදි, “'නිදහසේ නව උපතක්' පිලිබඳ ලින්කන්ගේ පොරොන්දුව ඉටු කලේ කලු ඇමරිකානුවන් ය.” ඔහු මෙසේ ද ලියයි, “ඒබ්‍රහම් ලින්කන් හෝ රිපබ්ලිකන් පක්ෂය ද වහලුන් නිදහස් කලේ නැත… වහලුන් නිදහස් කලේ කවුද? වහලුන් නිදහස් කලේ වහලුන් ය.” කලු ඇමරිකානුවන් විමුක්තිය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ අරගලයේදී “තනිවම සටන් කලේය” යි කියන අපකීර්තිමත් 1619 ව්‍යාපෘතියේ ප්‍රධාන රචනාව වන නිකොල් හැනා-ජෝන්ස්ගේ ප්‍රකාශයට අනුබල දීම බූයිගේ ලිපියේ අරමුන විය.

ඔස්ටින් හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය ඩයිනා රමී බෙරී විසින් “කලු නිදහස පිලිබඳ සත්‍යය” යන මාතෘකාව යටතේ සිකුරාදා අත්ලාන්තික් හි මෙම තේමාව පිලිබඳ වඩාත් මෑත අදහස් දැක්වීමක් කලාය. “ජූන්ටීන්ත් යන්නෙහි තේරුම කුමක්ද?” යන ප්‍රශ්නයට පිලිතුරු දුන් බෙරී විමුක්ති ප්‍රකාශනයේ සහ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම අඩු කරයි. ඇගේ තර්කය අනුව “ස්වයං-නිදහස ලද" කලු ජාතිකයන් "නිරතුරුව තම නිදහස වෙනුවෙන් පෙනී සිටියේ සෑම ඓතිහාසික මොහොතකම, සෑම විටම ආන්ඩු, ආයතන සහ සංගතවල පියවරයන්ට හේතුවෙමින් හා ඒවා වේගවත් කරමිනි.”

වහලුන් “තමන්ව නිදහස් කරගත්තා” යන ප්‍රකාශය තුලින් සිවිල් යුද්ධයේ ඉතිහාසය තේරුම්ගත නොහැකිය. වහලුන්ට සරලවම නිදහස් වීමට හැකි වූයේ නම්, 1863–1865 වෙනුවට 1750 දී ඔවුන් එසේ නොකලේ මන්ද? සිවිල් යුද්ධය මොන යම් ආකාරයකින් හෝ අවශ්‍ය වූයේ ඇයි? සිවිල් යුද්ධය යනු “සහෝදරයන්” අතර සිදු වූ වැරදි අරගලයක්ය යන පැරනි “ලොස්ට් කෝස්” මිථ්‍යාව බෙරී සහ බූයි විශ්වාස කරනවා වත්ද? වහලුන් තමා විසින්ම නිදහස් වූයේ නම්, බූයි විකාර සහගත ලෙස පවසන පරිදි, අපෝමැටොක්ස් වලින් මාස දෙකකට පමන පසු, ජෙනරාල් ග්‍රෙන්ජර්ට හමුදාවක් සමඟ ගැල්වෙස්ටන්ට ඇතුලුවී “ප්‍රවෘත්තිය රැගෙන ඒමට” අවශ්‍ය වූයේ ඇයි?

වහලුන් තමන්ව නිදහස් කර ගත් බව පැවසීම ඉතා හිංසාකාරී ලෙස පවත්වාගෙන ගිය චැටල් වහල් සේවයේ බිහිසුනුකම අඩු කරයි (චැටල් වහල්භාවය යනු එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගේ පූර්න අයිතිය ඇති බවයි - පරිවර්තක). මෙම ක්‍රමය අහෝසි කිරීම සඳහා සිය දහස් ගනනකගේ ජීවිත බිලිගත් සිවිල් යුද්ධයක් අවශ්‍ය විය. ලින්කන් සිය දෙවන සමාරම්භක දේශනයේදී සඳහන් කල පරිදි, “කසයෙන් පහර කා හෙලූ සෑම ලේ බිඳුවකටම අසිපතින් ගෙවීමට සිදු විය.”

යථාර්ථය වූයේ, මානුෂික පරාධීනත්වය විනාශ කිරීමට ඉල්ලා සිටි දේශපාලන පක්ෂයක ප්‍රධානියා වූ ලින්කන් ජයග්‍රහනය නොකලේ නම් පෘථිවියේ ධනවත්ම හා බලවත්ම වහල් හිමි පන්තිය පරාජය කිරීම කල නොකැක්කක් වූ බව ය. ඔවුන්ගේ වෙන් වීමේ යෝජනාවල සහ සම්මේලන ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ලින්කන්ගේ ජයග්‍රහනය සහ එය වහල්භාවයට එල්ල කල තර්ජනය සැබවින්ම දකුනු රාජ්‍යයන්ගේ වෙන්වීමට හේතුව විය. ඊටත් වඩා වැදගත් දෙය නම්, ඉතිහාසඥ වික්ටෝරියා බයිනම් සහ තවත් අය පෙන්වා දී ඇති පරිදි, උතුරේ මහජන සහයෝගය, යුනියන් හමුදාවේ දරාගැනීමේ හැකියාව, දකුනේ වහලුන්ගේ ප්‍රතිරෝධය සහ වහලුන් රහිත සුදු ජාතිකයින් වෙන්වීමට විරුද්ධ වීම සිදු නොවූයේ නම් යූනියන් ජයග්‍රහනය සිදු නොවනු ඇති බවයි. එකල මාක්ස් පැහැදිලි කල පරිදි ලින්කන්ගේ ප්‍රකාශය ගැටුමට නිශ්චිත සමාජ විප්ලවවාදී ස්වභාවයක් ලබා දුන්නේය.

සිවිල් යුද්ධ සමයේ ජීවත්ව සිටි අය මෙන්, අප ජීවත් වන්නේ සමථයකට පත් කල නොහැකි ගැටුමක් මැද ය. වසර හතරක් තුල මියගිය යූනියන් සහ කොන්ෆෙඩරෙට් සොල්දාදුවන් හා සමාන ඇමරිකානු කම්කරුවන් සංඛ්‍යාවක් කොවිඩ්-19 වලින් මිය ගියහ. මේ අතර, කොටස් වෙලඳපොලවල් අඛන්ඩව වාර්තා බිඳ දමමින් ධනවතුන්ගේ ධනය අහස උසට නංවා තිබේ.

එය පුපුරා යාම ගැන භීතියට පත් ඇමරිකානු පාලක පන්තිය අතීතයට ද වර්තමානයට තරම්ම බිය වේ. ඇමරිකානු ඉතිහාසය නැවත ලිවීම සඳහා වන වර්තමාන උද්ඝෝෂනයේ අත්‍යවශ්‍ය පරමාර්ථය වන්නේ පන්ති හා පන්ති ගැටුමේ ගතිකයන්ට— එනම් වහල් ක්‍රමය අවසාන නිර්නයේ දී ශ්‍රමය සූරාකෑමේ ක්‍රමයක් විය යන කරුනට—වාර්ගික අර්ථකථනයක් ආදේශ කිරීමයි. එනම්, “සුදු ජාතිකයින්” “කලු ජාතිකයින්ගේ” පීඩකයන් හැර වෙනත් කිසිවෙක් වූයේය යන කරුනට එම අර්ථකථනය ඉඩදෙන්නේ නැත . මෙම “නව ආඛ්‍යානය” තුල සුදු යුනියන් සොල්දාදුවන් සමඟ ලින්කන්ගේ භූමිකාව අඩු කර ලිවිය යුතුය, නැතහොත් නැවත ලිවිය යුතුය.

1776 ඇමරිකානු විප්ලවය මෙන්ම සිවිල් යුද්ධයේ වහලුන්ගේ විමුක්තිය ද සැමරීමට සුදුසු ය. එහෙත් එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින සවිඤ්ඤානික කම්කරුවන්, ධනවාදය ආරක්ෂා කිරීම සඳහා වහලුන් මිලියන හතරකගේ විමුක්තියේ විප්ලවීය වැදගත්කම පැහැර ගැනීමට ඉඩ නොදිය යුතුය.

Loading