ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා වරාය සංවර්ධන ව්‍යාාපෘතිය අරබයා චීනයට හා ලංකාවට තර්ජනය කරයි

[මෙහි පලවන්නේ Indian navy chief threatens China and Sri Lanka over port development  මැයෙන් 2021 ජුනි 29දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

චීනයේ අරමුදල් යොදවා ඉදිකල කොලඹ වරාය නගර (සීපීසී) ව්‍යාපෘතිය, කලාපය තුල ඉන්දීය අවශ්‍යතාවන්ට “තර්ජනයක් එල්ල කල හැකි” බව, ඉන්දීය නාවික කාර්ය මන්ඩලයේ උප ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් ජුනි 17දා ඒෂියා නිව්ස් ඉන්ටර්නැෂනල් වෙත කීවේ ය.

වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් (ඡායාරූප අනුග්‍රහය: විකිපීඩියා)

“පිටස්තර අයෙක් කලාපය ගැන එතරම් උනන්දුවක් පෙන්වීමට පටන් ගන්නා විට, ඔවුන් සතුව එසේ කිරීමට තාර්කික හේතු තිබුනත්” ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන “සමීප ව සුපරික්ෂාකාරීවීම” අවශ්‍ය ය. “රටෙහි මුහුදු දේශසීමා සුරක්ෂිත කර ගැනීමට” ඉන්දීය නාවික “හොඳින් ම සූදානම්” යයි ඔහු තව දුරටත් කීවේ ය.

එදින ම, ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දාම් බාග්චි මාධ්‍යට ප්‍රකාශ කලේ, තම ආන්ඩුව, සීපීසීය ඇතුලු ලංකාවේ මෑත කාලීන වර්ධනයන් පිලිබඳව “ආරක්ෂක ඉදිරි දර්ශනයක්” තුලින් සමීප ව සොයා බලමින් සිටින බවයි. ඔහුගේ රටෙහි උත්සුකතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලංකා ආන්ඩුවට පැහැදිලි කර ඇති බව ඔහු කීවේ ය.

ඉන්දියාවේ ඉහල නිලධාරීන්ගේ මෙම සැඳහුම්, චීනය සමග කොලඹ ආන්ඩුව වර්ධනය කර ගනිමින් සිටින සබඳතා කෙරෙහි නව දිල්ලියේ හතුරු කමෙහි විවෘත ප්‍රකාශනයකි. වරාය සංවර්ධනය කිරීමේ කොටසක් ලෙස, විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවන සීපීසී ආර්ථික කොමිෂන් සභා පනත රාජපක්ෂ පරිපාලනය විසින් පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගත් තැන් පටන්, ඉන්දීය ආන්ඩුවේ කෝපය වඩාත් ඉහල ගොස් තිබේ.

සීපීසීය යනු, ඉන්දියන් සාගරය හා මධ්‍යම ආසියාව හරහා ආනයන හා අපනයන නිදහසේ ගෙන යාම තහවුරු කරන  හා චීනය වටලෑමට එක්සත් ජනපදය නායකත්වය දෙන උත්සාහයන්ට ප්‍රතිරෝධය දැක්වීමට සූදානම් කරන මූලෝපායික සැලසුමක් වන, එක් තීරුවක් එක් මාවතක් ආරම්භකත්වයේ (බීආර්අයි) මූලික අංගයකි.

ගෝලීය වසංගතය විසින් දරුනු ලෙස පහර කා තිබෙන ආර්ථිකයක් සහිත හා දීර්ඝ-කාලීන විදේශ නය භරිත තත්වයකට මුහුන දෙන රාජපක්ෂ ආන්ඩුව, ඉහල විදේශ ආයෝජන සහ විශේෂයෙන් ම චීනයේ මූල්‍ය සහයෝගය අපේක්ෂාවෙන් මංමුලා සහගත ව ක්‍රියා කරයි.

“එක් තීරුවක් එක් මාවතක් සහයෝගය පිලිබඳ ආසියා හා පැසිෆික් ඉහල පෙලේ අන්තර්ජාල සම්මන්ත්‍රනය” පසුගිය සතියේ දී ඇමතූ විදේශ ඇමති දිනේශ් ගුනවර්ධන, “ආයෝජනය සඳහා ලංකාව තුල තිබෙන අවස්ථාවල” වාසිය ලබා ගන්නා ලෙස, සහභාගි වූ සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටියේ ය. චීනයෙන් අරමුදල් සපයන කොලඹ වරාය නගර ව්‍යාපෘතිය හා හම්බන්තොට වරාය යටිතල පහසුකම් ව්‍යාපෘතිය ගැන ඔහු විශේෂයෙන් සඳහන් කලේ ය.

උද්ධච්ච ලෙස දකුනු ආසියාවේ කුඩා රටවල් තම වැයික්කි ලෙස සලකන නව දිල්ලිය, එම රටවල පාලනයන් ඒ අනුව ක්‍රියා කල යුතු යයි අවධාරනය කරයි. 

ලංකාව සමග චීනයේ සබඳතා පිලිබඳ ව ඉන්දියාව සිය උත්සුකයන් පල කරන විට, එය කතා කරන්නේ හුදෙක් තමන් වෙනුවෙන් පමනක් නො ව, එක්සත් ජනපදය ද වෙනුවෙනි. අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ, නව බයිඩන් පරිපාලනය තීව්‍ර කරනු ලබමින් තිබෙන චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම්වල “පෙරමුනු” රාජ්‍යයක් බවට ඉන්දියාව පත් ව ඇත.

ජ්‍යේෂ්ඨ ඉන්දීය මිලිටරි හා ආන්ඩුවේ නිලධාරීන් විසින් “නාවික ආරක්ෂාව” පිලිබඳ ව දක්වන අදහස්, කලාපය තුල චීනයේ නාවික ගමනාගමනයන් “නාවික නිදහසට” තර්ජනයක් බවට එක්සත් ජනපදය කුහක ලෙස කරන කියාපෑම් සමග එක පෙලට පිහිටයි.

නව දිල්ලියේ ප්‍රකාශයට පත්කෙරෙන, ද ප්‍රින්ට් හි මෑත දී පල කල ලිපියක සඳහන් වූයේ, “ඉන්දියන් සාගරයේ පිහිටි මෙම දිවයින තුල චීනය යෝධ වාසි ලබා ගන්නා තත්වයේදී, ශ්‍රී ලංකාව සමග සිය ද්වි-පාර්ශවික සබඳතා ‘නැවත පිලියෙලකරගැනීම’ කෙරෙහි” ඉන්දීය ආන්ඩුව යලි සලකා බලමින් සිටින බවයි. “ඉන්දියාව සමග තුලනය වන පිලිවෙත  අත්හැර දමා වුවත්, චීනය සමග ‘මුලුමනින්ම පෙලගැසීමට’ ලංකාව දැඩි තීන්දුවක් ගෙන ඇතැ” යි ඉන්දියාව දැන් විශ්වාස කරන බව ලිපිය තව දුරටත් කීවේ ය.

මෙම සටහන් පැහැදිලි කරන්නේ, නව දිල්ලිය මෙන් ම වොෂින්ටනය ද බෙයිජිනය සමග කොලඹ සබඳතාවන්ට වල කපා බිඳ දැමීමේ සිය සැලසුම් ඉහල නංවමින් සිටින බව යි.

චීනයට එරෙහි මිලිටරි, රාජ්‍ය-තාන්ත්‍රික හා ආර්ථික මැදිහත්වීමක් වූ, ඔබාමා පරිපාලනය 2011 “ආසියාවට හැරීමේ” නමින් ඉදිරිපත් කල පිලිවෙත අනුව, වොෂින්ටනය, බෙයිජිනය සමග කොලඹ පවත්වාගෙන ගිය සබඳතාවන්ට විරුද්ධ විය. 

2009 වසරේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් සති කිහිපයේ දී, එවකට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද මුර්ග යුද අපරාධ කුහක ලෙස ගසා කමින්, එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා මාලාවක් ම ගෙනාවේ ය.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සමග කිසිදු සබඳතාවක් නො තිබූ මෙම යෝජනාවන්ගේ ඉලක්කය වූයේ, බෙයිජිනයෙන් ඈත් වන ලෙස රාජපක්ෂට පීඩනය යෙදීම යි. මෙම ප්‍රයත්නයන් අසාර්ථක වූ තැන, නව දිල්ලියේ ද සහයෝගය ලත් වොෂින්ටනය, 2015 ජනාධිපතිවරනයේ දී මෛත්‍රීපාල සිරිසේන බලයේ පිහිටුවමින්, රාජපක්ෂ ඉවත් කිරීමට තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමී ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි ව දැන් එල්ල කරනු ලබන ජාත්‍යන්තර පීඩනය, චීනය ඉලක්ක කරගනිමින් ආක්‍රමනශීලී මිලිටරි මෙහෙයුම් තීව්‍ර කරන නව බයිඩන් පරිපාලනයේ පිලිවෙත් විසින් මෙහෙවෙයි.

මේ මස මුල දී පැවති ජී-7 සමුලුවේ දී, චීනයට එරෙහි වොෂින්ටනයේ නව පියවරයන්ට සහයෝගය දෙන ලෙස ජනාධිපති බයිඩන් අනෙක් රටවලට පීඩනය යෙදුවේ ය. බයිඩන් පරිපාලනය ඉන්දු-පැසිෆික් කලාපය තුල, එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ඇතුලත් වන චීනයට එරෙහිව එල්ලවූ චතුර්-පාර්ශවික ආරක්ෂක සන්ධානය හෙවත් ක්වොඩ් වර්ධනය කරයි. 

ලංකාවේ මිලිටරිය සමග තම සබඳතා ගැඹුරු කර ගැනීමට ද වොෂින්ටනය උත්සාහ දරයි. ත්‍රිකුනාමලයේ නාවික යාත්‍රාංගනය අසල, ජුනි 24දා පටන් සතියක් තිස්සේ එක්සත් ජනපදයේ නායකත්වයෙන් පැවැත්වෙන නාවික අභ්‍යාසයක් ඇරඹුනි. එක්සත් ජනපදයේ හත්වන නාවික බල ඇනිය, ලංකාවේ නාවික හමුදාව සමග පවත්වමින් තිබෙන මෙහෙයුම්වලට ජපාන නාවික ස්වයං-ආරක්ෂක බලකාය ද සම්බන්ධ කරන ලෙස එක්සත් ජනපද මිලිටරිය පලමු වරට ජපානයට ආරාධනා කලේ ය.

“මෙම අභ්‍යාස මාලාව, අපේ නිපුනතාවන් තියුනු කරගැනීමට, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව නිර්මානය කරමින්, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන අපේ ඒකාබද්ධ අරමුන කරා වැඩ කිරීමට අවස්ථාව ලබා දෙනවා” යි එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් විශේෂ ප්‍රහාරක කන්ඩායමේ ප්‍රධානියා වන රියර් අද්මිරාල් ක්‍රිස්ටෝෆර් එන්ග්ඩාල් කීවේ ය.

“අප කටයුතු කරන වාතාවරනය පිලිබඳ ව හොඳ අවබෝධයක් අපට තිබෙන විට, නාවික පරිසරය තුල ජාත්‍යන්තර නීති පාදකකොටගත් පර්යාය ආරක්ෂා කරගැනීම මත අපට යොමු විය හැකි යි.” එන්ග්ඩාල්ගේ ප්‍රකාශවලින් වැඩිදුර අවධාරනය වන්නේ මෙම මූලෝපායික අභ්‍යාස චීනයට එරෙහි ව එල්ල වී ඇති බව යි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ප්‍රධාන බලයන් විසින් ඉස්මතු කරනු ලබන තියුනු රාජ්‍ය-තාන්ත්‍රික පීඩනයකට ද රාජපක්ෂ පාලනය මුහුන දෙමින් සිටියි. මාර්තු මාසයේ දී සම්මත කරන ලද යෝජනාවක් තුල ඉදිරිපත් කෙරුනු ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විසඳීමේ ලා වර්ධනයක් නොමැතිකම එක්සත් රාජධානියේ නියෝජිතයෙක් විසින් හෙලාදුටුවේ ය. කොලඹ යුද අපරාධ පිලිබඳ විමර්ශනයක් ඉල්ලා සිටින මෙම යෝජනාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රන්සය හා කැනඩාවේ නායකත්වය සහිත ප්‍රමුඛ කන්ඩායමක් විසින් එක්සත් ජනපදයේ සම-අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලදී. 

ශ්‍රී ලංකාවේ පොලීසිය විසින් අධිකරන කටයුතු නොතකා සිදුකරන මරා දැමීම් ඇතුලු රාජපක්ෂ පාලනය යටතේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය උපුටා දක්වමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ සැසිය ඇමතුවේ ය. ගනන් නැති යුද අපරාධ හා අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට වගකිව යුතු එක්සත් ජනපදයට හා මෙම යුරෝපීය බලයන්ට, ආන්ඩුවේ මර්දනය, යුද අපරාධ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාර ගැන අබමල් රේනුවක තැකීමක් නැත.

එක්සත් ජනපදය හා ඉන්දියාව තවත් හතුරුවේ යයි තැතිගෙන සිටින රාජපක්ෂ ආන්ඩුව, චීනය ශ්‍රී ලංකාව තුල පෙනී සිටීම අරබයා ඉන්දීය මිලිටරියේ හා ආන්ඩුවේ නිලධාරීන් මෑත සිදුකල ප්‍රකාශ හෝ එක්සත් ජනපදයේ නායකත්වයෙන් ත්‍රිකුනාමලයේ පැවැත්වෙන මිලිටරි අභ්‍යාස ගැන අදහස් දක්වා නැත.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන සීපීසීයට විරුද්ධ ව උද්ඝෝෂනයේ යෙදුනු අතර එමගින් “චීන කොලනියක්” නිර්මානය කෙරේ යයි  සඳහන් කල හ. එහෙත් ලංකාවේ  මෙම නිල විරුද්ධ පක්ෂ, මෑත ඉන්දීය ප්‍රකාශ ගැන කිසිවක් කියා නැත.

දෙමල ප්‍රභූවේ ප්‍රධාන පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (දෙජාස) සමග ඉන්දියාවේ කොලඹ මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ජුනි 17දා සාකච්ඡා පැවැත්වී ය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම සාකච්ඡා කේන්ද්‍රගත වූයේ, රටෙහි උතුර හා නැගෙනහිර සංවර්ධනය කිරීමට සහයෝගය දෙන ලෙස සහ එම පලාත් තුල පලාත් සභා බලතල සම්පූර්නයෙන් ක්‍රියාවට දැමීම අරබයා දෙජාස ඉන්දියාවෙන් කරන ඉල්ලීම් වටා ය. බාග්ලේ මෙම ඉල්ලීම්වලට ඔහුගේ සහයෝගය පල කලේ ය.

කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීමට, ඉන්දියාව දෙජාස හා අනෙකුත් දෙමල පක්ෂ සමග සමීප සබඳතා පවත්වා ගෙන යයි.   ඒ අතර ම, මෙම පක්ෂ චීනයට එරෙහි වොෂින්ටනයේ භූ-මූලෝපායික මෙහෙයුම්වලට සම්පූර්න පිටුබලය දෙති.

එක්සත් ජනපදය හා ඉන්දියාව එක් පසෙක ද චීනය අනෙක් පස ද සිටිමින් වැඩි දියුනු වන ප්‍රතිමල්ලවතාව, සමස්ත ලෝකය අලලා ගනිමින් මෙම න්‍යෂ්ටික ව සන්නද්ධ ජාතීන් අතර යුද්ධයක් පුපුරා යාමේ බරපතල තර්ජනය මතුව තිබේ. 

අධිරාජ්‍යවාදය විසින් අවුලුවන මෙම ව්‍යසනය නවත්වනු ලැබිය හැක්කේ, ධනවාදයට හා එහි ජාතික රාජ්‍ය පද්ධතියට අවසානයක් තැබීම ඉලක්ක කරගන්නා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක පදනම මත කම්කරුවන් හා තරුනයන් ගෝලීය ව බලමුලුගැන්වීමෙන් පමනි. මෙම ක්‍රියා මාර්ගයේ පදනම මත දකුනු ආසියාව තුල හා කලාපය හරහා කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් වදින්නේ, මෙම ඉදිරි දර්ශනය ඉදිරිපත් කරන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය යි.

Loading