රැකියා අහිමිවීමට හා වැටුප් කප්පාදුවට එරෙහිව සංචාරක සේවකයන් අතර විරෝධය වැඩෙයි

කොවිඩ්-19 වසංගතයේ  ව්‍යසනය මධ්‍යයේ රැකියා අහිමි කිරීම, වැටුප් කප්පාදුව ඇතුලු දුෂ්කර සේවා කොන්දේසිවලට එරෙහිව සංචාරක  සේවකයන් අතර බරපතල විරෝධයක් වර්ධනය වෙමින් ඇත. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වන විට සංචාරක කර්මාන්තය තුල සේවයේ නියුතු ලක්ෂ තුනකට ආසන්න කම්කරුවෝ සහ  ඔවුන්ගේ පවුල් ජීවිතය සරිකර ගැනීමට නොහැකිව අතිශය දුෂ්කර කොන්දේසිවලට මුහුන දී සිටිති.

කම්කරුවන්ට අමතරව සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සුලු ව්‍යාාපාරවල යෙදුන තවත් ලක්ෂ ගනනකගේ ද ජීවනෝපයන්ට බරපතල පහරක් එල්ල වී ඇත.

වැඩෙහි යොදවනු ලබන ඉතා කුඩා සේවක පිරිසට ප්‍රමානවත් තරම් සෞඛ්‍යාාරක්ෂක පහසුකම් හෝ වසංගත ප්‍රතිරෝධක එන්නත් ලබා දී නැත. ඔවුනට වෛරසය ආසාදනය වූ බවට නිරන්තරව වාර්තා වේ. විශාල වැටුප් කප්පාදු ක්‍රියාවට දමා ඇති අතර වැඩ පැය ගනන් දීර්ඝකර ඇතත් අතිකාල සේවය සඳහා ගෙවීමක් නොකෙරේ. පෙර මෙන් සේවා  ගාස්තු ද නොලැබේ.

2020 වසරේ  වසංගතය ආරම්භ වී මාස දෙකකට පසුව හෝටල් සහ නියෝජිත සංචාරක සමාගම් ඒවායේ සේවය කල සියලුම අනියම් සහ පරිවාස සේවකයන් දොට්ට දමා ඇත. ඔවුන් සේවයේ යොදවනු ලැබ  ඇත්තේ රුපියල් 13,000 ක සොච්චම් මාසික වැටුපකටය. 

ශ්‍රී ලංකා සංචාරක මන්ඩලයට අනුව ලියාපදිංචි සංචාරක හෝටල් 2,500 ක් සහ ලියාපදිංචි නොකල හෝටල් 20,000 ක් ලංකාවේ තිබේ. මෙම ලියාපදිංචි නොකල හෝටල්වල සේවකයන්ගේ සංඛ්‍යාාව ගැන නිසි තොරතුරු නැත.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම වසංගතයේ ප්‍රතිවිපාකයක් ලෙස එම කර්මාන්තය ගෝලීයව බිඳ වැටීමේ කොටසකි. ධනපති පාලක පන්තීන් සහ සංචාරක කර්මාන්තකරුවන් එහි මුලු බර සංචාරක කම්කරුවන් මතට කඩා පත්කරමින් ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑම තවත් තීව්‍ර කර තිබේ.

“කොවිඩ් 19 සහ දකුනු ආසියාවේ සංචාරක කර්මාන්තය” මැයින් ලෝක බැංකුව මෑත දී නිකුත් කල වාර්තාවට අනුව මෙම කලාපය තුල ප්‍රවාහන සහ සංචාරක කම්කරුවන් මිලියන 47.7 ක රැකියා අහිමි වී ඇත. වසංගතය නිසා 2019 වසර අවසානයේ සිට සංචාරකයන්ගේ පැමිනීම ගෝලීයව සියයට 63-73 කින් පහත වැටී ඇති බවත් ඉන් ලෝක ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 4ක් අහිමි වී ඇති බවත් මෙම සතියේ නිකුත් කෙරුන ලෝක බැංකු වාර්තාවක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුල තමන් මුහුන දී සිටින  දුෂ්කර සමාජ සහ වැඩ කොන්දේසි පිලිබඳව සංචාරක සේවකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ.

දෙදරු පියෙකු වන නුවර එලියේ 40 හැවිරිදි සකුකුමාර් මෙසේ පැවසීය: “අපේ කාමර සේවක කාර්යමන්ඩලය හතර දෙනෙකුට අඩු කලා. සේවකයන් දෙන්නෙක් දින හතරක් එක දිගට වැඩකරන්න ඕන. කිසිම ගෙවීමක් නැතිව අතිකාල සේවයේ යොදවනවා. සේවා ගාස්තු ගෙවන්නෙත් නැහැ. මම දිනකට පැය 14 ක් වැඩකරනව. මගේ මූලික වැටුප රුපියල් 16,000 යි. තනි පුද්ගලයෙකුටවත් මාසයක් ජීවත් වෙන්න මදි ඒ මුදල. මට පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නව”.

“දැන් මම මේ රක්ෂාව කරන්නේ වෙනත් විකල්ප රක්ෂාවක් සොයා ගන්න නැති  නිසා. වසර ගනනාවක් කලේ මේ රක්ෂාව. වෙන එකක් ගැන පුහුනුවක් නැහැ. පවුල නඩත්තු කරන්න මගේ වැටුප කොහෙත් ම නොසෑහෙන නිසා බිරිඳට සිද්ධ වුනා නුවර ඇඟලුම්  කම්හලක වැඩට යන්න” යැයි ඔහු පැවසීය.

අනෙකුත් ක්ෂේත්‍ර තුල මෙන් ම, සංචාරක කර්මාන්තය තුල ද කම්කරුවන් අනාරක්ෂිතව සේවයේ යොදවමින් සූරාකෑම තීව්‍ර කිරීමට ඉඩ සලසා ඇත.

සංචාරක මඟ පෙන්වන්නෙකු වන නාලක සඳහන් කලේ “ධනපති පාලකයන් නිතරම ගන්නේ මහ ව්‍යාපාරිකයන්ගේ පැත්ත මිස කම්කරුවන්ගේ පැත්ත නොවන” බවයි. “මඟ පෙන්වන්නන්ගේ සමාජ කොන්දේසි අනෙකුත් සංචාරක කම්කරුවන්ට වඩා වෙනස් නැහැ." 

තවත් සංචාරක මඟ පෙන්වන්නෙක් වන රන්ජිත් පැවසුවේ බොහෝ සංචාරක කම්කරුවන්ට මෙන් ම මඟ පෙන්වන්නන්ටත් පසුගිය වසරේ මාර්තු මාසෙන් පසුව කිසි ආදායමක් නොමැති බවයි.“එකවතාක් පමනක් රුපියල් 20,000 ක් දුන්නා. ඊට පස්සේ කිසිම උදව්වක් නැහැ. අතේ ඉතිරි කරගෙන තිබුන හැම සතයක් ම මාස දෙකක් ඇතුලත වියදම් වුනා. දැන් බෙල්ල ලඟටම නය ගොහොරුවක එරිල ඉන්නේ” යැයි ඔහු සඳහන් කලේ ය.

පොලොන්නරුවේ පෞරානික ස්ථාන වෙත සංචාරක මඟ පෙන්වන්නෙක් පර්ලි චානක

හතලිස් නව හැවිරිදි පොලොන්නරුවේ පර්ලි චානක ද්විභාෂා සංචාරක මඟ පෙන්වන්නෙකි. පොලොන්නරුව නගරයේ ඓතිහාසික ස්ථාන වෙත සංචාරකයන් කැටුව යන ඔහුට ලැබෙන්නේ දෛනික වැටුපකි. සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමත් සමග ඔහු දරිද්‍රතා කොන්දේසිවලට ඔහු මුහුන දී සිටී. 

“අපි ඉතිරි කර ගත්තු මුදලක් නැහැ. වැඩක් ලැබුනොත් කීයක් හරි හොයා ගන්නවා. නැත්නම් හිස් අතින් ගෙදර යනවා. වසංගතය නිසා ආදායමක් නැහැ. බිරිඳගේ සියලුම රන් ආබරන විකුනන්න සිද්ධ වුනා ජීවිතේ ගැටගහ ගන්න. කිසි කෙනෙක් අපි ගැන තකන්නේ නැහැ. ආන්ඩුවවත් සංචාරක මන්ඩලයවත් අපි ඉන්නව ද මරුන ද කියලා බලන්නේ නැහැ”යි ඔහු පැවසීය.  

“මම අවුරුදු 19 ක් ම කලේ මේ රක්ෂාව. වෙන එකක් කරන්න දන්නේ නැහැ. ලමයි දෙන්නගේ අධ්‍යාාපනයට මාසෙකට රුපියල් 8,000 ක් වියදම් කරන්න ඕන. ලමයින්ට තේරෙන්නේ නැහැ දෙමව්පියන්ගේ දුෂ්කරතා. ඒ ගොල්ල තවමත් බලා පොරොත්තු වෙන්නේ  අපිට දිගටම ඒ විදිහට කරන්න පුලුවන්  කියල” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ය.  

අඩු වැටුපට ආදේශකයක් ලෙස මාසිකව රුපියල් 15,000 ක අතුරු දීමනාවක් සහ සේවා ගාස්තුවලින් කොටසක් වැටුපට එකතු කරන ලෙස ඉල්ලා හෝටල් සේවකයෝ අප්‍රේල් 01 වෙනිදා කොලඹ දී උද්ඝෝෂනයක් කලහ. ඊට පෙරාතුව පෙබරවාරි 21 දා සංචාරකයන්ගේ දිනයේ දී ද  තම ගැටලු වලට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් සංචාරක මඟ පෙන්වන්නෝ ද උද්ඝෝෂනයක නිරත වූහ. එහෙත් ඔවුන්ගේ ගැටලුවලට මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැත.

“මඟ පෙන්වන්නන් මුහුන දෙන ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා අපි ජනාධිපති හමුවීමට අවස්ථාවක් ලබා ගන්න උත්සාහ කලා. නමුත් තවමත් අපට කිසිම පිලිතුරක් ලැබුනේ නැහැ" ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ආයතනයේ සභාපති මහේෂ් ප්‍රියදර්ශන පැවසීය.

“ශ්‍රී ලංකා සංචාරක මන්ඩලය සහ සංචාරක ඇමති සමග පැවැත්වූ රැස්වීමත් අසාර්ථක වුනා. මාර්ගෝපදේශක අවම ගාස්තුව ඩොලර් 35 කරනවට අපේ හාම්පුතුන් සහ සංචාරක නියෝජිත සමාගම් විරුද්ධයි”. සංචාරකයන් සපයන ප්‍රධාන විදේශ සමාගම් වලින් මාර්ගෝපදේශකයෙකු සඳහා ඩොලර් 100 ක් ලංකාවේ නියෝජිත සමාගම්වලට ගෙවන නමුත් ඉන් ඩොලර් 13 ක් පමනක් ගෙවා මාර්ගෝපදේශකයන් අරටුවට ම සූරාකන” බව ද ඔහු පැවසීය.  

වසංගතය  සීග්‍රයෙන් පැතිරීම මධ්‍යයේ මෙම සංචාරක නියෝජිත ආයතන සහ විශාල හෝටල් ආන්ඩුවත් සමග එක්ව සෞඛ්‍ය විශේෂඥයන්ගේ අවවාද නොතකමින් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සංචාරක නියමු ව්‍යාපෘතියක් ආරම්භ කල අතර ඒ අනුව සංචාරකයන් සඳහා රට යලි විවෘත කෙරුනි. ආන්ඩුව සංචාරක කම්කරුවන්ගේ ජීවිත අවදානම නොතකා වඩ වඩා සංචාරකයන් ආකර්ශනය කර ගැනීම පිනිස නිරෝධායන නීති ක්‍රමයෙන් ලිහිල් කලේ ය. 

එම ව්‍යාපෘතිය යටතේ, මෙම වසරේ ජනවාරි මාසයේ රුසියාව, කසකස්ථානය සහ යුක්‍රේනයෙන් ගෙන්වනු ලැබූ සංචාරකයන් ගෙන්වනු ලැබූ අතර, ඉහත නිරෝධායන නීති ලිහිල් කිරීම කොවිඩ්-19 නව වෛරස ප්‍රභේද රට තුලට ඇතුලු වීමට තුඩු දුන්නේය.

අන් සෑම  කර්මාන්තයක් තුල මෙන් ම සංචාරක කර්මාන්තකරුවන්ට අවශ්‍ය  වන්නේ ද කම්කරුවන්ගේ ජීවිත  බිල්ලට දී ලාබ පොදී  ගසා ගැනීමය. රාජපක්ෂ ආන්ඩුව ඒ සඳහා අවශ්‍ය අඩු පොලී නය පහසුකම්, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා ව්‍යාපාර පවත්වාගෙන යාම ඇතුලු සියලු වරදාන ඔවුන්ට ප්‍රදානය කර තිබේ.  

Loading