වසංගතය මැද ධනවතුන්ගේ වත්කම් තරවෙද්දී සුඛෝපභෝගී මහල් නිවාස අලෙවිය ඉහල යයි

“සුඛෝපභෝගී මහල් නිවාස දේපල ධාරිතා දර්ශකය” උපුටා දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී වාර්තා කර තිබුනේ 2021 වසරේ පලමු කාර්තුවේ එම නිවාස අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බවයි. වාර්තාවට අනුව පලමු කාර්තුව අවසන්වීමට පෙර සම්පූර්න වී ඇති නිවාස සංකීර්නයන් හි සියයට 92ක ඒකක ප්‍රමානයක් විකිනී ඇති අතර තවමත් ඉදිකිරීම් සිදුකෙරෙන ව්‍යාපෘති වල පවා දැනටමත් සියයට 60කට ආසන්න නිවාස මිලදී ගැනී අවසන්ය.

ගාලු මුවදොර සැෆායර් සුඛෝපභෝගී මහල් නිවාස -2021 ජූලි (ලෝසවෙඅ)

සාමාන්‍ය මහජනතාවට කිසිසේත් දැරිය නොහැකි රුපියල් මිලියන 20ක පමන අගයක සිට ඉහලට මිල නියම කෙරී ඇති මෙම නිවාස මිලදී ගනු ලබන්නේ දේශීය සහ විදේශීය ධනපතියන්, මහා සමාගම් වල ප්‍රධාන විධායකයින් සහ ඉහල මධ්‍යම පන්තිකයන්ය. මෙම ගැනුම්කරුවන්ගෙන් විශාල පංගුවක් දේශීය පදිංචි කරුවන් බව වාර්තාව පවසයි.  එහි සඳහන් දත්ත වලට අනුව බහුතරයක් නිවාස පෞද්ගලික පරිහරනය සඳහා මිලදී ගනු ලැබ ඇතත්, ආයෝජනයන් සඳහා නිවාස මිලදී ගැනීමේ පැහැදිලි වැඩිවීමක් ඇත.

කොලඹ නගරයේ පැල්පත් නිවාස - 2021 ජූලි (ලෝසවෙඅ)

 

තුනී ස්ථරයක ධනවතුන් මෙම සුඛෝපභෝගී වාසස්ථාන අත්පත් කරගනිද්දී කම්කරු පන්තිය ඇතුලු බහුතර පීඩිත මහජනතාවන්ට අර්ධ වශයෙන් නිම කල නිවාසවල, තදබදය සහිත කුලී නිවාසවල, මනුෂ්‍ය වාසයට අතිශයින් නුසුදුසු පැල්පත් නිවාසවල හෝ මහමග ජීවත්වීමට සිදුවී තිබේ. මෙම මස 25 වනදා ජාතිය අමතමින් කල කථාවේදී, “නිදහසින් වසර 72 කට පසුවත් මේ රටේ පවුල් මිලියන 6 ක් පමන සිටින පුරවැසියන් බොහෝ දෙනෙකුට තම ජීවන මට්ටමට සරිලන නිවසක් තවමත් නැතැ”යි පැවසීමට ජනාධිපති රාජපක්ෂටම සිදුවිය. 

වසංගතය මධ්‍යයේ ආන්ඩුවල පූර්න සහයෝගය ලබමින් මහ ධනපතියන් සහ ඉහල මධ්‍යම පන්තිය අත්පත් කරගෙන තිබෙන මෙම සමෘද්ධිය ජාත්‍යන්තර පරිමාන සංසිද්ධියකි. ලෝකය පුරාම ආන්ඩු කලාක් මෙන්ම වසංගතය නිසා සිදුවිය හැකි ආර්ථික පරිහානියෙන් බේරීම සඳහා 2020 වසර මැද සිට රාජපක්ෂ ආන්ඩුව විසින් මහ ව්‍යාපාරිකය සඳහා සහන පැකේජ පිරිනමන ලදී. මහ බැංකුව විසින් ඔවුන් වෙත රුපියල් බිලියන 300ක් පමන මුදලක් පොම්ප කිරීම සහ බැංකුවල නය පොලී අනුපාතිකයන් පහත දැමීම එම සහන පැකේජවලට අඩංගු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම මස මුලදී කොලඹ කොටස් වෙලඳපල දර්ශකයේ සියයට 25ක වර්ධනයක් සිදුවිය.

වසංගතය ව්‍යසනකාරී ලෙස පැතිරෙද්දී, ප්‍රධාන අන්තර්ජාතික සංගතයන්ට කෙරෙන සැපයීම් දිගටම පවත්වා ගෙන යමින් ලාභ ගැරී‌ම අබාධිතව ගෙනයාම සඳහා, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනයන් හි පවා කම්කරුවන් දිගටම වැඩෙහි යෙදවීමට, රාජපක්ෂ ආන්ඩුව ධනපතියන්ට සෑම ඉඩකඩක්ම ලබාදී ඇත.

රාජපක්ෂගේ ප්‍රතිපත්ති ධනවතුන්ට සමෘද්ධිය උදාකරන අතරේ ගැඹුරුවන සමාජ අර්බුදයේ බර පැටවුනේ කම්කරුවන් සහ පීඩිත දුගීන්ගේ කර මතටයි. හාම්පුතුන්ගේ ඉල්ලීම පරිදි කම්කරුවන් දොට්ට දැමීම, වැටුප් කැපීම, රැකියා කොන්දේසි පහල දැමීම සඳහා ආන්ඩුවේ පූර්න අනුමැතිය ලැබුනි. ඒ යටතේ, ගෙවුනු අප්‍රේල් මාසය අවසන් වනවිට ලංකාවේ අපනයන සියයට 183කින් ඉහල ගියේ ධනපතියන් අත දැවැන්ත ධනයක් සමුච්චය කරමිනි.

මේ වනවිට අපනයනයන්ට සම්බන්ධ ප්‍රධාන සංගතයන් හා ඒවායේ ප්‍රකෝටිපති හිමිකරුවන් ගේ ලාබ හා වත්කම් පිම්මේ ඉහල ගිය ආකාරය පිලිබඳ වාර්තා වී ඇත. ඒ අනුව ලංකාවේ ප්‍රධාන අපනයන සංගතයක් වන හේලීස් සමාගම පසුගිය වසරේ දී රුපියල් බිලියන 242ක ආදායමක් හා රුපියල් බිලියන 14ක ශුද්ධ ලාභයක් සමගින් එහි 143 අවුරුද්දක ඉතිහාසය තුල ඉහල ම වත්කම් උපදවා ගත්තේ ය. ප්‍රධාන මූල්‍ය සමාගමක් වන එල්ඕඑල්සී, බදුවලින් පසුව රුපියල් බිලියන 53ක ලාභයක් ලබමින්,  ලංකාවේ සමාගමක් එදා මෙදාතුර වාර්තා කල ඉහල ම ලාභය වාර්තා කරද්දී, හේමාස් සමාගම රුපියල් බිලියන 3.3ක ශුද්ධ ලාභයක් නිවේදනය  කලේ ය.

කොලඹ 2, ඇල්ටෙයර් සුඛෝපභෝගී මහල් නිවාස - 2021 ජූලි (ලෝසවෙඅ)

මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙම සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීම සඳහා ධනවතුන් පුලුල් වශයෙන් යොදාගෙන ඇත්තේ මෙලෙස එක්රැස් කරගත් ධනයයි. මහ ව්‍යාපාර සඳහා පොලී රේට්ටු පහල දැමීමේ වාසිය ලබාගනිමින් තවත් සැලකිය යුතු කන්ඩායමක් නිවාස මිලදී ගැනීමට ලැබෙන බැංකු නය පහසුකම් වෙත යොමුවී ඇත.

සුලුතරයක් වූ ධනපතියන් අත ධනය ගොඩගැසෙද්දී බහුතරයක් වන කම්කරු පන්තිය සහ අවශේෂ පීඩිතයන් ආන්තික දරිද්‍රතාවය දෙසට තල්ලුවී ඇත්තේ ලංකාව තුල බරපතල සමාජ අසමානතාවයක් නිර්මානය කරමිනි. සුරක්ෂිත රැකියාවල නිරත වූ කම්කරුවන්ගේ වැටුප් කප්පාදුවට ලක්වීම, තාවකාලික සහ අනියම් සේවකයින්ට රැකියා අහිමිවීම සහ සංචරන සීමාවන් යටතේ අවිධිමත් ක්ෂේත්‍රවල කම්කරුවන් සහ සුලු ව්‍යාපාරවල නිරත වූවන්ගේ ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් ඔවුන් ඇද වැටී ඇත්තේ ආහාර පාන සපයා ගැනීම ඇතුලු මූලික අවශ්‍යතාවයන් හෝ ඉටුකර ගත නොහැකි තත්වයකටයි. ජනාධිපති රාජපක්ෂ විසින්, රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනිකයන් ආනයනය තහනම් කරනු ලැබීමත් සමග,  ලංකාව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ගොවීහු ද, ඉමහත් පීඩාවකට ලක්ව සිටිති.

පේරාදෙනියේ පිහිටි කෘෂි විද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධි ආයතනයේ කෘෂි ආර්ථික විද්‍යා මහාචාර්ය නිමල් සඳරත්න, “බහුල ආර්ථික ගැටලු මැද කුසගින්න සහ හාමතය” යන මැයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට  සම්පාදනය කල ලිපියක අවධාරනය කර ඇත්තේ, “රැකියා සහ ආදායම් අහිමිවීමේ හානිය පිලිබඳව කිසිඳු ආකාරයකින් අනාවරනය කෙරෙන නිල සංඛ්‍යාලේඛන ඒකරාශී කරගැනීම අපහසු වන නමුත් විරැකියාව සියයට දහයකටත් වඩා වැඩිවී ඇති අතර ඒ සියලු දෙනා දරුනු ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුන දෙමින් සිටින” බවයි. 

මෙම ආර්ථික දුෂ්කරතාවයන් වඩ වඩාත් ඔඩු දුවා ඇත්තේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල මිල නැගීමද ඇතුලුව අහස උසට නැග ඇති ජීවන වියදම හේතුවෙනි. ආන්ඩුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව පවා පසුගිය මාස 18ක කාලය තුල ජීවන වියදම් දර්ශකය සියයට දහයකින් ඉහල ගොස් ඇත. ආන්ඩුව මෑතදීම ඉහල දමන ලද ඉන්ධන මිල හේතුවෙන් මහජනතාව මත පැටවෙන ආර්ථික පීඩනයන් පුපුරන සුලු මට්ටම් කරා නැගෙමින් පවතියි.  ඉන්ධන මිල වැඩිකිරීමෙන් මහජනතාව පත්වන අපහසුතාවන් ගැන තඹයකට මායිම් නොකල ජනාධිපති රාජපක්ෂ පැවසුවේ මෙම මිල වැඩි කිරීම්, ගෝලීය බොර තෙල් මිල ඉහල යාම, විදේශ සංචිත හිඟය හා රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු නිසා සිදුකල බවයි.

ආන්ඩුවේ මෙම ප්‍රහාරයන් හේතුවෙන් ලංකාවේ කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට බලකෙරී ඇත්තේ සොච්චම් ආදායමකින් ජීවිතය ගැට ගසාගැනීමට සටන් කිරීමටයි. එම අරගලයේදී ආහාර වේල් අඩුකිරීම හෝ නිරාහාරව සිටීම, පෝෂ්‍යදායී නොවන ආහාර පරිභෝජනය කිරීම, සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් අතහැර දැමීම, නයට ගැනීම, උකස් තැබීම ආදී විවිධ උපක්‍රම යොදා ගැනීමට ඔවුන්ට සිදුවී තිබේ. සංචරන සීමා ඉවත් කිරීමෙන් පසුව උකස් මධ්‍යස්ථාන අසල දක්නට ලැබුනු දිගු පෝලිම් කියාපෑවේ පුලුල් මහජනතාව තම ජීවිත පවත්වාගෙන යාම සඳහා දැරිය හැකි අවසාන උත්සාහයන් කරාම ඇද දැමී ඇති ආකාරයයි. 

රාජපක්ෂ ජාතිය අමතා කල කතාවේදී මහජනතාව මුහුන දෙන මෙම සැබෑ ප්‍රශ්න සියල්ල නොතකා හැරියේය. ඒ වෙනුවට ඔහු වංචනිකව පැවසුවේ, තමන් “රට මුහුන දී තිබෙන ගැටලු වලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍යය උදා කිරීමේ  අරමුන වෙනුවෙන් කැපවන” බවයි.

සිය කතාව අවසානයේදී ඔහු පැවසුවේ, “රටට ආදරය කරන, අනාගතය දකින, බුද්ධිමත් ජනතාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අර්බූදයෙන් ගොඩ එන්නට අපට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන” බවයි. රාජපක්ෂගේ මෙම වචනවල සැබෑ අර්ථය වනුයේ ධනපතියන්ගේ ලාභ රැකදීම සඳහා කම්කරුවන් ආන්ඩුවේ ප්‍රහාර දරාගත යුතුය යන්නයි. 

එහෙත් රටපුරා කම්කරුවන්, ගොවීන් ඇතුලු පීඩිතයන් වැඩවර්ජන හා විරෝධතා රැල්ලකින් රාජපක්ෂගේ මෙම ප්‍රතිගාමී උත්සාහයන්ට එරෙහි වී ඇත. පොහොර හිඟය නිසා පීඩාවට පත් ගොවීන් දහස් ගනනින් අරගලයට අවතීර්න වී සිටින අතර ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව ධීවරයන් අතර විරෝධතා පුපුරා ගියේය. සෞඛ්‍ය සහ දුම්රිය සේවකයන් යෙදී සිටින වර්ජනද ඇතුලුව ක්ෂේත්‍ර ගනනාවක කම්කරුවන් අතර සටන්කාමීත්වය ඇවිලී යමින් පවතියි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයක කොටසක් වන මෙම අරගල නිසා තැතිගෙන සිටින ජනාධිපති රාජපක්ෂ, රාජ්‍ය අංශයේ වැඩ වර්ජන හා කාර්මික ක්‍රියා තහනම් කිරීමට මැයි 27දා ජුනි 2දා විෂඝෝර අත්‍යවශ්‍ය  සේවා පනත බලාත්මක කල නමුත් කම්කරුවෝ එම ආඥාදායක පියවර නොතකා අරගල කිරීමට සූදානම් වී සිටිති. 

Loading