ඉදිරිදර්ශන

සර්ෆ්සයිඩ් නිවාස සංකීර්න ව්‍යසනය: බරපතල ව්‍යුහාත්මක අන්තරායන් නොසලකා හැරීමක්

[මෙය The Surfside condo disaster: Critical structural dangers were ignored මැයෙන් 2021 ජුනි 28 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියයි.]

අත්ලාන්තික් වෙරල තීරයේ මියාමි වෙරලට උතුරින් පිහිටි ෆ්ලොරිඩා හි සර්ෆ්සයිඩ් හි චැම්ප්ලේන් ටවර්ස් සවුත් නිවාස සංකීර්න සුන්බුන් අතර සිරුරු සහ දිවි ගලවා ගත් අය සෙවීම දිගටම කරගෙන යද්දී, ඉරිදා වන විට නිල මරන සංඛ්‍යාව නවය දක්වා ඉහල ගියේය.

මල සිරුරු අටක් සොයාගෙන ඇති අතර එක් අයෙකු රෝහලේදී මියගොස් තිබේ. අවුරුදු 40 ක් පැරනි, මහල් 12 කින් යුත් සාගරය ඉදිරිපස නිවාස සංකීර්න කුලුනේ සැලකිය යුතු කොටසක් බ්‍රහස්පතින්දා අලුයම හදිසියේ කඩා වැටුනි. එහි නිවැසියන් 150 කට වැඩි පිරිසක් දින හතරකට වැඩි කාලයක් තිස්සේ තවමත් අතුරුදන් ව ඇත.

අනතුරට බිලිවූවන් අතර හඳුනාගත් අයෙකු වූ විශ්‍රාමිකයන් වන ඇන්ටෝනියෝ සහ ග්ලැඩිස් ලොසානෝ ද වූහ. විවාහ වී වසර 59 ක් වන ඔවුන් දෙදෙනා මියගොස් ඇත්තේ ඔවුන්ගේ නවවන මහලේ පිහිටි නිවාසයේ නිදාගෙන සිටියදී ය. 54 හැවිරිදි මැනුවෙල් ලාෆොන්ට්ගේ මල සිරුර සිකුරාදා සොයා ගන්නා ලදී. මුලින් ටෙක්සාස් හි හූස්ටන් සිට පැමිනි ලාෆොන්ට්, ලතින් ඇමරිකාවේ සමාගම් සමඟ වැඩ කල ව්‍යාපාරිකයෙකි. බ්‍රහස්පතින්දා හඳුනාගත් පලමු ගොදුර වූ 54 හැවිරිදි ස්ටේසි ඩෝන් ෆැන්ග් ඇගේ මහල් නිවාසය ඇය වටා කඩා වැටීම නිසා ඇති වූ බලවත් කම්පනයෙන් මිය ගියාය. දිවි ගලවා ගැනීමේ කන්ඩායම් විසින් සුන්බුන් අතරින් බේරාගත් නිවැසියන් අතලොස්සක් අතර ෆැන්ග්ගේ යෞවන පුත් ජෝනා හැන්ඩ්ලර් ද විය.

2021 ජුනි 26 වන සෙනසුරාදා, ෆ්ලොරිඩා හි සර්ෆ්සයිඩ් හි චැම්ප්ලේන් ටවර්ස් සවුත් නිවාස සංකීර්නයෙහි කම්කරුවන් සුන්බුන් අතර පිරික්සමින් (AP ඡායාරූපය / ජෙරල්ඩ් හර්බට්)

සුන්බුන් යටින් ගින්නක් හටගෙන තිබූ බැවින් සෙවීමේ උත්සාහය මන්දගාමී වූ අතර එය සෙනසුරාදා මර්දනය කෙරුනි. බේරාගැනීමේ කටයුතු සඳහා අඩි 40 ක් ගැඹුර, අඩි 20 ක් පලල, අඩි 125 ක් දිග අගලක්, කොන්ක්‍රීට්, වානේ, ගෘහ භාන්ඩ, ඇඳුම් පැලඳුම් සහ වෙනත් පෞද්ගලික බඩු භාන්ඩ යටින් හාරා ඇත.

වෙරලබඩ මහා ව්‍යසනය සම්බන්ධයෙන් සාපරාධී නොසලකා හැරීම් පෙන්වා දෙමින් මෙම ගොඩනැගිල්ල වසර ගනනාවක් තිස්සේ ව්‍යුහාත්මකව දුර්වල බවට ප්‍රසිද්ධියක් උසුලන වාර්තා දිගින් දිගටම මතුවෙමින් තිබේ. කෙසේ වෙතත්, ඕනෑම නිල පරීක්ෂනයක් සුදු හුනු ගෑමක් වනු ඇති බව නිසැක ය, 150 කට වැඩි පිරිසකගේ මරන සම්බන්ධයෙන් ඔවුන්ගේ භූමිකාව පිලිබඳව කිසිවෙකු බරපතල ප්‍රතිවිපාකවලට මුහුන නොදේ.

ව්‍යුහාත්මක ඉංජිනේරු ෆ්‍රෑන්ක් මොරබිටෝ විසින් ගොඩනැගිල්ලේ හිමිකරු සහ ක්‍රියාකරු වන චැම්ප්ලේන් ටවර්ස් දකුනු නිවාස සංකීර්න සංගමයේ භාන්ඩාගාරික වෙත 2018 ඔක්තෝබර් මාසයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලදී, එහිදී ජලය කාන්දු වීම වැලැක්වීමට අසමත් වීම නිසා තටාක තට්ටුවට යටින් ඇති කොන්ක්‍රීට් පුවරුවට සහ පිවිසුම් මාර්ගයට “විශාල ව්‍යුහාත්මක හානියක්” සිදුවන බවට අනතුරු ඇඟවීය. “නුදුරු අනාගතයේ දී ජල වාරකතාව ප්‍රතිස්ථාපනය කිරීමට අපොහොසත් වුවහොත් කොන්ක්‍රීට් දිරාපත් වීමේ ප්‍රමානය ඝාතීය ලෙස පුලුල් වීමට හේතු වනු ඇත,” ඔහු පැහැදිලි කලේය.

සිකුරාදා රාත්‍රියේ සර්ෆ්සයිඩ් නගරය විසින් නිකුත් කරන ලද වාර්තාවෙන්, ගොඩනැගිල්ල යට වාහන නැවැත්වීමේ ගරාජ පිහිටි මට්ටම්වල කොන්ක්‍රීට් කුලුනු සහ බිත්ති ඉරිතලා ඇති බවත්, ඇතැම් තැන් වල ලොකු කොටස් ගැලවී ඇති බවත්, සමහර ප්‍රදේශ ඛාදනය වී ඇති බවත්, ඒවායේ වානේ සවිගැන්වීමේ කූරු දිරාපත්වීම් පෙන්නුම් කරන බවත් පෙන්වා දී තිබේ.

ගොඩනැගිල්ලේ “ව්‍යුහාත්මක අඛන්ඩතාව පවත්වා ගැනීම” සඳහා අලුත්වැඩියා කිරීම් අවශ්‍ය බව මොරබිටෝ සඳහන් කල නමුත් කඩා වැටීමක් ගැන සංඥාවක් ඇති බවට කිසිදු සාක්ෂියක් ලබා දුන්නේ නැත. වාර්තාවේ ප්‍රධාන නිගමනය වූයේ වැසි සහ සුලං හානි වැලැක්වීම සඳහා සුලි කුනාටු සමයට පෙර වහලය ප්‍රතිස්ථාපනය කල යුතු බවයි.

කඩා වැටෙන අවස්ථාවේ, වසර 40 ක් පැරනි ගොඩනැගිලි සඳහා මියාමි-ඩේඩ් ප්‍රාන්තයට අවශ්‍ය කරන සහතික පත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ගොඩනැගිල්ලෙහි වහල අලුත්වැඩියා කටයුතු කරමින් සිටියද, දිරාපත් වෙමින් පවතින කොන්ක්‍රීට් ගැන කිසිවක් කර තිබුනේ නැත. සහතික පත්‍ර අලුත් කිරීම සඳහා ගොඩනැගිල්ලට අලුත්වැඩියා කිරීම් සහ වැඩිදියුනු කිරීම් සඳහා දල වශයෙන් ඩොලර් මිලියන 15 ක් අවශ්‍ය විය.

නිවාස සංකීර්න සංගමයේ නීතිඥ ඩොනා ඩිමැගියෝ බර්ගර් සිකුරාදා ඩේලි මේල් පුවත්පතට පැවසුවේ, මොරබිටෝ, ගොඩනැගිල්ලට යටින් ඇති අත්තිවාරම හෝ භූමිය දෙස නොබැලූ බවත් එය නැවත සහතික කිරීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය නොවන බවත්ය. ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවෙකු විසින් 1990 දශකයේ සිට 2020 දක්වා චන්ද්‍රිකා දත්ත අනුව කරන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ මෙම ගොඩනැගිල්ල වසරකට මිලිමීටර දෙකක වේගයෙන් ගිලෙමින් පවතින බවයි. පසුගිය දශක හතර තුල මෙම ගොඩනැගිල්ල අඟල් තුනකට වඩා කිඳා බැස ඇති අතර එහි ව්‍යුහාත්මක අඛන්ඩතාව අඩපන වී ඇත. මෙම සොයාගැනීම් සම්බන්ධයෙන් නිල අනතුරු ඇඟවීම් නිකුත් කර නැත.

චැම්ප්ලේන් ටවර්ස් දකුනු නිවාස සංකීර්නය ඉදිකර ඇත්තේ සුලි කුනාටු සහ අනෙකුත් නිවර්තන කුනාටු පද්ධති වලින් ඇති වන සුලං හා කුනාටු වලට මුහුන දෙන බොහෝ බාධක දූපත් වලින් එකක ගොඩ කරන ලද තෙත්බිම්වල ය. 1920 ගනන්වල අග භාගයේ සිට සමපේක්ෂකයින් අත්ලාන්තික් සාගරය සහ උතුරු බිස්කයින් බොක්ක අතර වැලි කන්ඩිය බෙදාගත් අතර එය සර්ෆ්සයිඩ් නගරය දක්වා වර්ධනය කලහ.

නගරයේ පිරිහුනු ජල සහ අපජල පද්ධතිය පිලිබඳ සැලකිලිමත් වීම හේතුවෙන් 1979 දී මියාමි-ඩේඩ් ප්‍රාන්තය විසින් ක්‍රියාවට නංවන ලද නව ඉදිකිරීම් පිලිබඳ තහනමකින් පසු සර්ෆ්සයිඩ් හි ඉදිකරන ලද පලමු නව ගොඩනැඟිලි වන්නේ දකුනු සහ උතුරු චැම්ප්ලේන් කුලුනු දෙක ය. පෝලන්ත ජාතික කැනේඩියානු නීතිඥ නේතන් රයිබර්ගේ නායකත්වයෙන් යුත් සංවර්ධකයින් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව අපද්‍රව්‍ය පද්ධතියක දේපල වල පිරිවැයෙන් අඩක්, එනම් ඩොලර් 200,000 ක් නගරයට ගෙවන ලදී.

වොෂිංටන් පෝස්ට් සෙනසුරාදා වාර්තා කලේ 1970 ගනන්වලදී රයිබර් ට කැනඩාව විසින් බදු පැහැර හැරීමේ චෝදනාව යටතේ ඩොලර් 60,000 ක දඩයක් නියම කල බවයි. රයිබර් සහ හවුල්කරුවෙකු කැනඩාවේ මහල් නිවාස මෙහෙයුමක් දියත් කල අතර එහිදී මුදල් විශුද්ධිකරනය මගින් ඩොලර් දස දහස් ගනනක් පැහැරගත් බවටත් ඩොලර් 120,000 ක් වංචනික ඉදිකිරීම් යෝජනා ක්‍රමයකින් සාක්කුවට දා ගත් බවටත් චෝදනා එල්ල විය.

ව්‍යාපෘතිය අනුමත කර වසරකට පසු, රයිබර් සහ ඔහුගේ සහචරයින්ට පලාත් පාලන ආයතන මිලදී ගැනීමට උත්සාහ කල බවට චෝදනා ලැබීමෙන් පසු, කලින් කල ප්‍රචාරක දායක මුදල් ආපසු ලබා දෙන ලෙස චැම්ප්ලේන් කුලුනු සංවර්ධකයින්ට නගර සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුගෙන් ඉල්ලා සිටීමට සිදුවිය.

චැම්ප්ලේන් කුලුනු ඉදිකිරීම ආරම්භ වූයේ ඉතුරුම් හා නය කර්මාන්තය ලිහිල් කිරීමේ ආරම්භයේදී ය. ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ 1981 බදු කප්පාදුව දේපල වෙලඳාම් බදු අඩු කිරීම තවදුරටත් දිරිගැන්වීය. ඒ අනුව, වානිජ දේපල වෙලඳාම් සංවර්ධනයට මුදල් ගලා ආ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ෆ්ලොරිඩාවේ සහ එක්සත් ජනපදය පුරා ඉදිකිරීම් පැතිරී ගියේය. මේ ගොඩනැගිලි බොහෝ විට ඉක්මනින් හා ලාභදායි ලෙස ඉදිකර තිබේ.

එක්සත් ජනපද දේශපාලන පක්ෂ දෙක අතර චැම්ප්ලේන් ටවර්ස් ව්‍යසනයේ වගකීම බෙදී යයි. 1971 සිට 1999 දක්වා කාලය තුල ඩිමොක්‍රටික් පක්ෂය වසර හතරක් හැර අන් සියල්ලටම ආන්ඩුකාර කාර්යාලය පාලනය කල අතර ෆ්ලොරිඩාවේ නේවාසික සහ වානිජ ඉදිකිරීම් පැතිරී යාම අධීක්‍ෂනය කලේ එතරම් ඵලදායී ආකාරයකින් තොරවය. ඉතා මෑතකදී, රිපබ්ලිකන් ආන්ඩුකාර රොන් ඩෙසැන්ටිස් විසින් රෙගුලාසි තවදුරටත් කප්පාදු කිරීමට උත්සාහ කරමින් කම්කරු පන්තියෙන් ලාභය ලබා ගැනීමට ඇති බාධක ඉවත් කිරීමට උත්සාහ කරන අතරම ඩොලර් මිලියන ගනන් රාජ්‍ය අරමුදල් පෞද්ගලික සංවර්ධකයින්ට ලබා දෙයි.

සර්ෆ්සයිඩ් නිවාස සංකීර්නය කඩාවැටීමෙන් පැය කිහිපයකට පසු, ජනාධිපති ජෝ බයිඩන් සිය මුල් යෝජනාවෙන් කොටසක් සපුරාලන ද්වි පාර්ශවීය යටිතල පහසුකම් ගනුදෙනුවක් ප්‍රකාශයට පත් කලේය. ඉන්, ලමා රැකවනය, සෞඛ්‍ය සේවා, පවුල් සඳහා බදු බැර කිරීම සඳහා වූ අරමුදල් සහ ඔහු පොරොන්දු වූ ආයතනික බදු වැඩි කිරීම අතහැර දැමීය. ඩොලර් බිලියන 579 ක භෞතික යටිතල පහසුකම් සඳහා වන නව ආයෝජන “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ” මුවාවෙන් පුද්ගලික සමාගම් වෙත භාර දෙනු ඇත.

ෆ්ලොරිඩා වෙරල තීරයේ සහ එක්සත් ජනපදය පුරා වෙනත් නේවාසික කුලුනු කීයක් කඩා වැටීමේ අවදානමට ලක්ව ඇත්දැයි හරියටම නොදන්නා නමුත් තවත් එවැනි දහස් ගනනක් සමාන තත්වයන් යටතේ හා අස්ථායී භූමි වල ඉදිකර ඇති බව දන්නා කරුනකි. වැඩිවන ගංවතුර හා අයහපත් කාලගුනය, මිනිසුන්ගේ ක්‍රියාවන් විසින් ඇති කරන ලද ගෝලීය උෂ්නත්වය ඉහල යාමේ ප්‍රතිඵලය යි. සෑම නිවැසියෙකුටම ඇති අවදානම් තීරනය කිරීම සඳහා සෑම නිවාස සංවර්ධනයක් පිලිබඳවම සවිස්තරාත්මක සමීක්ෂනයක් අවශ්‍ය වේ.

එක් ඉංජිනේරුවෙකු සඳහන් කල පරිදි, සර්ෆ්සයිඩ් හි ව්‍යසනය “අනතුරු ඇඟවීමේ සංඤ්ඤාවකි”. ජීවිතයේ සෑම අංශයක්ම වෙන කවරදාටත් වඩා වැඩියෙන් ලාභ ලබා ගැනීම සඳහා යටත් කර ඇති කොන්දේසි යටතේ එය රට පුරා ඇති මූලික සමාජ යටිතල ව්‍යුහයේ අබලන් තත්ත්වය පෙන්නුම් කරයි. පාලක පන්තිය විසින් අනුගමනය කරන ලද “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිය මගින් රෝගය පැතිරීමට ඉඩ දී ඇති කොවිඩ්-19 වසංගතයෙන් මෙය අති බිහිසුනු ලෙස ප්‍රදර්ශනය කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් ඇමරිකානුවන් 600,000 ක් සහ ගෝලීය වශයෙන් මිලියන 4 ක ජනතාවක් මිය ගියහ.

එක්සත් ජනපදයේ පාලම් කඩා වැටීම, කර්මාන්තශාලා පුපුරා යාම සහ වේලි බිඳ වැටීම, කම්කරුවන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ නිවාස හා ජීවනෝපායන් විනාශ කිරීමත් සමඟ මෙම ජීවිතය හා මරනය අතර ගැටලු විසඳීමට කිසිවක් සිදු නොවේ. පසුගිය සති අන්තයේ මිචිගන්හි ඩෙට්රොයිට් හි පැය කිහිපයක් තුල අඟල් 2-6 ක වර්ෂාපතනයක් ඇදවැටුනි, තීරනාත්මක පොම්ප අක්‍රිය වීම නිසා අධිවේගී මාර්ග පද්ධතියට ජලයෙන් යටවිය. මිනිසුන් දහස් ගනනක් ඔවුන්ගේ මෝටර් රථවල සිර විය. නිවාස සිය ගනනක් ජලයෙන් යටවී පවුල් ගනනාවක දේපල විනාශ විය.

සෑම අවස්ථාවකදීම ධනවාදය මෙම මූලික ගැටළු ආමන්ත්‍රනය කිරීමට හෝ විසඳීමට අසමත් ය. සමාජය සංවිධානය කිරීමේදී තාර්කික සැලසුම් කිරීමේ අවශ්‍යතාව පැහැදිලිය. කෙසේ වෙතත්, ධනේශ්වර ක්‍රමයේ අරාජිකත්වය යටතේ එය කල නොහැකි ය. මෙම මූලික ගැටලුවලට විසඳුමක් සොයාගත හැක්කේත් මානව අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝකයේ සම්පත් සන්නද්ධ කල හැක්කේත් සංගත-මූල්‍ය කතිපයාධිකාරය අත්පත් කර ගැනීම සහ කම්කරු පන්තියේ පාලනය යටතේ සමාජය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම තුලින් පමනි. ආරක්ෂිත නිවාස, ආරක්ෂිත සේවා ස්ථාන, උසස් තත්ත්වයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැකවරනය සහතික කිරීම සඳහා සමාජවාදය ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.

Loading