ඉතිහාසයේ මෙම සතිය: ජූනි 28- ජූලි 04

[‍මෙය 2021 ජූනි 27 වැනි දින This week in history: June 28-July 4 යන මැයෙන් පල වූ ලිපියේ පාර්ශ්වික පරිවර්තනයකි.]

වසර 25 කට පෙර: යෙල්ට්සින් රුසියාවේ ජනාධිපති ලෙස නැවතත් තේරී පත් වේ

යෙල්ට්සින්, 1996 දී බෙල්ගොග්‍රෑඩ් කලාපයේ සංචාරයක දී

1996 ජුලි 3 වන දින බොරිස් යෙල්ට්සින් (Boris Yeltsin) රුසියානු සමූහාන්ඩුවේ ජනාධිපතිවරනයෙන් ජයග්‍රහනය කලේ ජනතාව පුලුල් ලෙස වංචනික යැයි සලකනු ලැබූ දෙ වැනි වටයකට යොමු කෙරුනු ඡන්ද විමසීමකිනි. මෙම මැතිවරනය, සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ ඇති වූ, අනාගත සමාජ නැගිටීම් සහ දේශපාලන අර්බුද සඳහා වේදිකාව සැකසී ය.

රුසියානු සමූහාන්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෙනඩි සුගානොව්ගේ (Gennady Zyuganov) පරාජය, ධනේශ්වර ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිලිවෙල වේගවත් කිරීමේ වරමක් බව බටහිර අවශ්‍යතාවන් මෙන්ම ධනපතියන් බවට පත්වූ ස්ටැලින්වාදී නිලධරය ද පවසා සිටියහ. යෙල්ට්සින්ගේ ජයග්‍රහනය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක් ලෙස ලොව පුරා ආන්ඩු සහ මාධ්‍ය ප්‍රශංසා කලහ. යථාර්ථය නම්, බටහිර මහා ව්‍යාපාරිකයන්ගේ සහ නැගී එන රුසියානු ධනපතියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ගෙන යන සමාජ ප්‍රතිලාභ, රැකියා සහ ජීවන තත්වයන් විනාශ කිරීම සම්බන්ධයෙන් වැඩකරන ජනතාව අතර දැවැන්ත විරෝධයක් ඡන්දයෙන් ප්‍රකාශ වීම යි.

යෙල්ට්සින්ගේ ඡන්ද ව්‍යාපාරයට රුසියානු ආන්ඩුව සෘජුව ම බැංකු හරහා සහය දැක්වූ අතර එයට ප්‍රමානවත් සම්පත් ලබාදීම සඳහා පෙබරවාරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 10.2 ක නයක් ද ලබා දී තිබිනි. පුද්ගලීකරනය වූ කර්මාන්ත සාපරාධී ලෙස අත්පත් කර ගැනීමෙන් කෝටිපතියන් හා ප්‍රකෝටිපතියන් බවට පත් වූ හිටපු ස්ටැලින්වාදීන්, එනම් රුසියානු කතිපයාධිකාරිය, විශාල මුදල් ප්‍රමානයක් යෙල්ට්සින්ගේ මැතිවරන අරමුදල වෙත ලබා දුනි. යෙල්ට්සින්ගේ වැදගත්ම ඡන්දදායකයා වූයේ මෙම නව පාලක ප්‍රභූව ය. පාලන තන්ත්‍රයේ කිසියම් වෙනසක් සිදු වුව හොත්, පෙර සෝවියට් සංගමයේ සම්පත් සොරකම් කිරීම තවදුරටත් සිදු කරමින් ධනවත් වීමට ඇති හැකියාව ප්‍රශ්නයට බඳුන් වේ යැයි ඔවුහු බිය වී සිටියහ.

පැවති තත්වයේ තවත් එක් ලක්ෂනයක් වූයේ මැතිවරනයට පෙර යෙල්ට්සින් තන්ත්‍රය කිහිප වතාවක් දෙදරා යෑමට ලක් වීමේ බලපෑම යි. කෙටිකාලීන දේශපාලන වාසි සඳහා බොහෝ විට සිදුකරන අභ්‍යන්තර නෙරපා හැරීම් සහ යෙල්ට්සින්ගේ දුර්වල සෞඛ්‍යය තත්ත්වය අස්ථාවර වාතාවරනයක් නිර්මානය කොට තිබිනි. ඔහු ජනවාරියේ දී පුද්ගලීකරනය භාර ව සිටි සිය නියෝජ්‍ය අගමැති ඇනටෝලි චුබායි (Anatoly Chubais) දූෂනය සහ සමාජ විනාශය සම්බන්ධයෙන් බිල්ලට දෙමින් සේවයෙන් පහ කලේ ය. නමුත් මාස ගනනාවකට පසු මැතිවරන ව්‍යාපාරය තුල ප්‍රමුඛ චරිතයක් බවට චුබායි නැවතත් පත්විය.

ඇලෙක්සැන්ඩර් ලෙබෙඩ් (Alexander Lebed) ද යෙල්ට්සින්ගේ රජයට තෝරා ගෙන තිබුනි. හෙතෙම ෆැසිස්ට් ආඥාදායක ඔගස්ටෝ පිනොෂේ (Augusto Pinochet) ප්‍රසිද්ධියේ ප්‍රශංසාවට ලක් කල විශ්‍රාමික ජෙනරාල්වරයෙකු මෙන්ම රුසියානු ස්වෝත්තමවාදියෙකු සහ යුදෙව් විරෝධියෙකු ද වූ අතර, එක්සත් ජනපද රජයේ පූර්න සහාය ඇතිව, ආරක්ෂක ප්‍රධානියා ලෙස පත් කෙරිනි. යෙල්ට්සින් සහ හිටපු සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව් (Mikhail Gorbachev) යටතේ ප්‍රධාන මර්දනකාරී මිලිටරි මෙහෙයුම් ලෙබෙඩ් වෙත භාර දී තිබූ අතර ඔහු අපරාධ හා දූෂනය තුරන් කිරීමේ නාමයෙන් මිලිටරි මර්දනයන් ඉල්ලා සිටි අයෙකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ යෙල්ට්සින් රජය විසින් සිදු කරන ලද ආර්ථික වැඩපිලිවෙලෙහි අරමුන වූයේ විශාල කර්මාන්තශාලා වසා දැමීම, රැකියා තොග වශයෙන් විනාශ කිරීම, කම්කරුවන්ගේ ආදායමට තවදුරටත් අත තැබීම සහ සමාජ ප්‍රතිලාභ අහෝසි කිරීම ය.

Loading