ඉදිරිදර්ශන

පැරිස් කොමියුනයේ සිට වසර 150ක්

[මෙය 150 years since the Paris Commune යන මැයෙන් 2021 මාර්තු 21 වැනි දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියයි.]

මීට වසර එකසිය පනහකට පෙර, 1871 මාර්තු 18 වනදා ප්‍රංශ හමුදාව පැරිස් ජාතික ආරක්ෂක බලකායෙන් කාලතුවක්කු උන්ඩ සොරකම් කිරීම අවුරාලීම සඳහා පැරිසියේ කම්කරු පන්තික දිස්ත්‍රික්කයෝ නැගී සිටියහ. සතියකට පසු පැරිස් කොමියුනය පිහිටුවීමට තුඩු දෙන මෙම කැරැල්ල ලෝක ඓතිහාසික වැදගත්කමකින් යුක්ත විය. එය කම්කරු පන්තිය විසින් බලය අල්ලා කම්කරු රාජ්‍යයක් පිහිට වූ ඉතිහාසයේ පලමු අවස්ථාවයි.

ඔවුන්ගේ ඉහල නිලධාරීන් වෙතින් වෙඩි තැබීමට ලැබුනු නියෝග ප්‍රතික්ෂේප කරමින් සොල්දාදුවන් පැරිස් කම්කරුවන් වෙත සහෝදරත්වය පාද්දී, භීතියට පත් ප්‍රංශයේ ඇඩොල්ෆ් තියර්ස්ගේ ආන්ඩුව පැරිසියේ සිට වර්සයිල්ස් වෙත පලා ගියේ ය. පැරීසියේ ජනතාව සන්නද්ධ වීම සහ තියර්ස් ආන්ඩුව නගරය අතහැර පලා යාමත් සමඟ බලය කම්කරුවන් අතට පත්විය.

ශුස්සේ මෙනිල්මොන්ටාන් හි මාර්ගබාධකයක්, 1871මාර්තු 18

මාර්තු 26 වන දින කොමියුනය සඳහා මැතිවරනයක් පවත්වන ලදී. කොමියුනය ප්‍රංශ ධනේශ්වර තන්ත්‍රය විසින් නිර්මානය කරන ලද සමාජ අසමානතාවයේ බිහිසුනු මට්ටම් අවම කිරීමේ ප්‍රතිපත්ති සම්පාදනය කල අතර ප්‍රංශයේ සහ යුරෝපයේ වැඩ කරන ජනතාව තමන්ගේ පැත්තේ ගොනුකර ගත්තේය.

තියර්ස් ආන්ඩුව දැක්වූ ප්‍රතිචාරයේ ම්ලේච්ඡත්වය මූල්‍ය වංශාධිපතියන්ට තම පන්ති පාලනය කෙරෙහි දැනුනු මාරාන්තික තර්ජනයට සමානුපාතික විය. තියර්ස් මාස දෙකක් සූදානම් වීමෙන් පසුව, කොමියුනය කුඩුපට්ටම් කර පැරිසිය ලේ විලක ගිල්ලීමට හමුදාවක් යෙදවීය. 1871 මැයි 21 සිට 28 දක්වා වූ කුප්‍රකට ලේවැකි සතියේ දී, වර්සයිල්ස් හමුදාව දරුනු කාලතුවක්කු ප්‍රහාර උපයෝගී කර ගනිමින් පැරීසියට පහර දුන් අතර කොමියුනය වෙනුවෙන් සටන් කල හෝ ඊට පක්ෂපාත ව වැඩකලේයැයි සැක කෙරෙන පිරිමින්, කාන්තාවන් සහ ලමයින් සමූහ වශයෙන් ඝාතනය කලේය.

ගනන් බැලී ඇති පරිදි පැරිස් වැසියන් 20,000 ක් ක්ෂනික ව ඝාතනය කරන ලද අතර තවත් 40,000ක් වර්සයිල්ස් වෙත දක්කනු ලැබූවේ ප්‍රංශයේ සිරගත කිරීමට හෝ ප්‍රංශ ගයානා සහ නිව් කැලිඩෝනියාව යන ප්‍රංශයේ සිර කඳවුරු දූපත් වලට පිටුවහල් කර බලෙන් වැඩගනු ලැබීමට ය.

ලේ වැකි සතියෙන් පසු රුයු ඩි රිවොලී

කොමියුනය මහා ලේ හැලීමක් මතින් ජාත්‍යන්තර කම්කරු පන්තියට බලය සඳහා වූ අරගලය පිලිබඳ මිල කල නොහැකි අත්දැකීමක් ලබා දුන්නේ ය. 1917 ඔක්තෝබර් විප්ලවය සහ රුසියාවේ කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගැනීම සූදානම් කිරීමේදී ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වරු මෙම පාඩම්වල පදනම මත සඳහා වෙහෙස නොබලා වැඩ කලහ. අද වන විට, සමාජ අසමානතාවය, පොලිස් රාජ්‍ය මිලිටරිවාදය සහ සමකාලීන ධනවාදයේ මූල්‍ය සමපේක්ෂනය මධ්‍යයේ, මෙම පාඩම් අන් කවරදාටත් වඩා අදාල ය.

සියල්ලන්ට මත් වඩා කාල් මාක්ස් විසින් මෙම පාඩම් උකහා ගනු ලැබුවේ ය. කොමියුනය දිග හැරෙන විට ජාත්‍යන්තර කම්කරු සංගමය වෙනුවෙන් ලියන ලද ලෝක නිර්ධන පංතියට ඔහුගේ ආමන්ත්‍රනයන්, “ස්වර්ගයේ ඇති වූ කලබැගෑනියක්” වැනි වූයේ යැයි ඔහුගෙන් ප්‍රශංසා ලැබූ කොමියුනය ආරක්ෂා කලේ ය. යුරෝපය පුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ සහ ප්‍රංශයේ සිවිල් යුද්ධය කෘතියේ දී සංගෘහිත කරනු ලැබූ මෙම ලේඛන ප්‍රංශයේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ සදාකාලික සහයෝගය මාක්ස් වෙත දිනා දුන්නේ ය.

ප්‍රංශයේ පන්ති අරගලය සහ ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය

මාක්ස් සහ ඔහුගේ ශ්‍රේෂ්ඨ සම-චින්තකයා වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් කොමියුනය පිලිබඳ ව කල විශ්ලේෂනය දශක තුනක න්‍යායාත්මක අපේක්ෂාවේ ප්‍රතිඵලයකි. එය ඉතිහාසය පිලිඹඳ භෞතිකවාදී සංකල්පය විස්තාරනය කිරීම හා බැඳී පැවතුනි. මාක්ස් 1844 දී මානව වර්ගයාගේ විමුක්තිය තුල නිර්ධන පංති විප්ලවයේ ප්‍රමුඛ භූමිකාව පෙන්වා දෙමින් මෙසේ ලිවී ය: “මෙම විමුක්තියේ හිස දර්ශනයයි, එහි හදවත නිර්ධන පංතියයි.” මාක්ස් සහ එංගල්ස් විසින් 1847 දී රචිත කොමියුනිස්ට් ප්‍රකාශනය ආරම්භ වූයේ පහත සුප්‍රසිද්ධ ප්‍රකාශයෙනි:

මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසය වේ. නිදහස් මිනිසා සහ වහලාද,රෝම කුලීනයා සහ රෝම පොදු ජනයාද, රදලයා සහ ප්‍රවේනිදාසයාද, ශ්‍රේනි හිමියා සහ ජ්‍යේෂ්ඨ ආධුනිකයාද, වචනයකින් පැහැදිලි කලහොත්, පීඩකයා සහ පීඩිතයා එකිනෙකට විරුද්ධව නියත ලෙස නැගී සිටියේය. … ධනපති පන්තියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂනය නම්, එය පන්ති ප්‍රතීඝතයන් සරල කිරීම ය. සමස්තයක් වශයෙන් සමාජය වැඩි වැඩියෙන් එකිනෙකට සතුරු මහ කඳවුරු දෙකකට, එකිනෙකාට එරෙහි ව මුහුනට මුහුනලා සිටින මහ පන්ති දෙකකට, ධනපති සහ නිර්ධන යන පන්ති දෙකට බෙදෙමින් පවතියි.

කොමියුනිස්ට් ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 19 වන සියවසේ යුරෝපයේ පලමු මහා සමාජ ඛාදනයේ මුව විට ය: එනම් ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය සහ ඉන් ඔබ්බට පැතිර ගිය 1848 විප්ලවයයි. එම වසරේ පැරිසියේ කැරැල්ල, ප්‍රංශ විප්ලවයෙන් පසුව නැපෝලියන්ගේ යුද්ධවලදී ප්‍රංශයේ පරාජයෙන් ඉක්බිති යලි බලයට පත් රජ පෙලපතේ අන්තිමයා පෙරලා දැම්මේ ය. 18 වන සියවසෙන් සහ 1789 ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රථම වතාවට නැවතත් ප්‍රංශයේදී ජනරජය ප්‍රකාශයට පත් කරන ලදී.

කාල් මාක්ස් (1818 - 1883)

18 වන සියවසේ තම ශ්‍රේෂ්ඨ පූර්වගාමියාට (1789 විප්ලවය) වඩා බොහෝ සෙයින් වෙනස් ආකාරයකට 1848 විප්ලවය දිග හැරෙන්නේ මන්දැයි පැහැදිලි කලේ මාක්ස්වාදී විශ්ලේෂනයකින් පමනි. 1789 විප්ලවයෙන් පසු වැඩවසම් දේපල අත්පත් කර ගනිමින් උත්තරීතර රාජාන්ඩුව අහෝසි කොට පලමු ජනරජය පිහිටු වමින් බලයට පැමිනි ජැකොබින්වරු පදනම් වූයේ ස්වාධීන කර්මාන්ත ශිල්පීන් මතයි. 1848 දෙවන ජනරජයේ බලය අත්පත් කරගත් ලිබරල් ධනේශ්වරය නව කාර්මික නිර්ධන පන්තිය සමඟ මාරාන්තික ගැටුමකට එලඹියේ ය.

1848 ජුනි මාසයේදී දෙවන ජනරජය රැකියා විරහිතයින්ට රැකියා ලබා දීම සඳහා ඉදිකරන ලද ජාතික වැඩපොල වසා දැමූ විට, පැරිස් කම්කරුවෝ දරිද්‍රතාවය සහ සාගින්න ගෙන ආ ප්‍රතිපත්තියට එරෙහි ව කැරලි ගැසූහ. කම්කරුවන් 3,000 කට වැඩි පිරිසක් ඝාතනය කරමින්, 25,000 ක් අත්අඩංගුවට ගනිමින් සහ 11,000 ක් සිරගත කරමින් හෝ පිටුවහල් කරමින් ජෙනරාල් ඉයුජින් කැවිග්නැක් ජූනි දිනවල ලේවැකි මර්දනයට හමුදාව සහ ආරක්ෂක අංශ මෙහෙය වූවේ ය. දෙවන ජනරජය කෙතරම් අපකීර්තියට පත් වූවා ද යත්, 1851 දී නැපෝලියන්ගේ බෑනනුවන් වූ ලුවී බොනපාට්ට කුමන්ත්‍රනයකින් බලය ලබා ගැනීමට හැකි විය - ඒ දෙවන අධිරාජ්‍යය ආරම්භ කර තෙවන නැපෝලියන් යන නම ලබා ගනිමිනි.

1848-1851 විප්ලවයන් දිග හැරෙන විට ඒවා විශ්ලේෂණය කරමින් විචක්ෂන කෘති ලියූ මාක්ස් මෙම මහා අරගලයේ ප්‍රධාන නිගමනයට එලඹියේ ය. ලුවී කුගල්මන්ට ලියූ ලිපියක මාක්ස් මෙසේ ලිවී ය.

ඔබ [1851 කුමන්ත්‍රනය පිලිඹඳව ලියවුනු] මගේ කෘතිය වූ [ලුවී බොනපාට්ගේ] 18වන බෲමරයෙ හි අවසාන පරිච්ඡේදය දෙස බැලුවහොත්, ප්‍රංශ විප්ලවයේ මීලඟ උත්සාහය පෙර මෙන්, තවදුරටත් නිලධාරිවාදී-මිලිටරි යන්ත්‍රය එක් අතකින් තව අතකට මාරු කිරීමක් නොව එය කුඩුපට්ටම් කර දැමීමක් වනු ඇතැයි මම කියන බව දැකගනු ඇත. එය මහාද්වීපයේ සෑම සැබෑ ජනතා විප්ලවයක් සඳහාම අත්‍යවශ්‍ය වනු ඇත.

පැරිස් කොමියුනය සහ ලේවැකි සතිය

ප්‍රංශයේ මීලඟ මහා විප්ලවීය උත්සාහය වන කොමියුනය පැන නැගුනේ 1870 ජූලි මාසයේදී ප්‍රශියාවට එරෙහිව තුන්වන නැපෝලියන් දියත් කල යුද්ධයෙන් ය. මෙම යුද්ධය සාපරාධී වික්‍රමයක් වූ අතර එහි ඉලක්කය වූයේ ප්‍රංශ අධිරාජ්‍යවාදයේ ගෝලීය ස්ථානය පවත්වා ගැනීම අරමුනු කරගනිමින් ජර්මනිය එක්සත් කිරීම සඳහා ප්‍රශියාවේ ක්‍රියාමාර්ග අවහිර කරන අතරේ රට තුල වැඩෙන පන්ති අරගල මැඩ පැවත්වීමයි. ඇත්ත වශයෙන්ම, මාස හයකට පෙර, එනම් 1870 ජනවාරියේ දී, පියරේ බොනපාට් කුමරු වාමාංශික මාධ්‍යවේදියෙකු වූ වික්ටර් නොයර්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු, නොයාර්ගේ අවමංගල්‍ය උත්සවයේදී 100,000 කට අධික පිරිසක් විසින් කරන ලද විරෝධතාවක් පැරිසියේ කැරැල්ලක් ඇතිකිරීමේ උත්සාහයක් බවට පෙරලුනි.

ෆ්‍රැන්කෝ-ප්‍රෂියානු යුද්ධය දෙවන අධිරාජ්‍යය බිඳ දැමී ය. කාලතුවක්කු හා සැපයුම් කටයුතු අභිබවා යමින්, අකාර්යක්ෂම නායකයෙකුගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ හමුදාව නින්දිත පරාජයකට පත්විය. තුන්වන නැපෝලියන් සැප්තැම්බර් 2 වන දින සෙඩාන්හිදී අල්ලා ගැනුනු අතර, ප්‍රෂියානු හමුදාව උතුරු ප්‍රංශය අල්ලා ගත්තේ ය. සැප්තැම්බර් 4 වන දින පැරිසියේ මහජන විරෝධතා මධ්‍යයේ තුන්වන ජනරජය ප්‍රකාශයට පත් කරන ලදී. ලිබරල්වාදීන් සහ බොනපාට්වාදී ධනේශ්වර නායකයන් වන තියර්ස්, ජූල්ස් ෆාවර් සහ ජෙනරාල් ලුවී-ජූල්ස් ට්‍රොචු වැන්නන්ගේ නායකත්වයෙන් ජාතික ආරක්ෂක ආන්ඩුවක් පිහිටුවන ලදී. සැප්තැම්බර් 17 වන දින ප්‍රෂියානු හමුදාව පැරිසිය වටලනු ලැබී ය.

ඇඩොල්ෆ් තියර්ස් (නාඩාර්ගේ ඡායාරූපයකි)

ධනේශ්වරය ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ ආරක්ෂාව කෙරෙහිද සතුරු බවක් පෙන්නුම් කලේ ය. ඔක්තෝබර් 28 වන දින නැගෙනහිර ප්‍රංශ හමුදාවේ අනදෙන නිලධාරී ජෙනරාල් ෆ්‍රන්සුවා-ඇෂීල් බසයින් මෙට්ස් හි කෙටි වටලෑමකින් පසු සිය හමුදා කුඩා ප්‍රෂියානු හමුදාවකට යටත් කලේ ය. ජනරජවාදයට හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට වෛර කල බසයින්ට රාජද්‍රෝහී චෝදනාවක් එල්ල විය. නව ජනරජයේ වටලනු ලැබූ අගනුවර වන පැරීසියේ තත්වය වඩ වඩාත් බලාපොරොත්තු සුන් වූ එකක් විය.

1871 ජනවාරි 26 වන දින සටන් විරාමයක් අත්සන් කරන තෙක් පැරීසියේ ජනතාව සන්නද්ධව, ජාතික ආරක්ෂක ඒකක ලෙස සංවිධානය වී පුලුල්ව පැතිර ගිය සාගින්න දරාගෙන සිටියේය. වටලෑම මුලුල්ලේ ජීවත්ව සිටියා වූද, ජනරජය පිහිටවූවායින් පසු පැරිසියට පැමිනියා වූද, මනුතාපය කෘතිය ලියූ ප්‍රකට නවකතාකරු, වික්ටර් හියුගෝ පාලක ප්‍රභූව කෙරෙහි වූ පුලුල් කෝපයට ප්‍රකාශනයක් අත්පත් කර දෙමින් මෙසේ ලිවීය: “පැරිසිය එහි ප්‍රහාරකයන්ගේ මෙන්ම ආරක්ෂකයින්ගේද ගොදුර බවට පත්විය.”

ප්‍රංශ සහ ජර්මානු ධනේශ්වර අතර ජාතික ගැටුමට වඩා පන්ති ගැටුම වඩා බලවත් හා මූලික බව ඔප්පු විය. තියර්ස්, ප්‍රශියාව සමඟ සටන් විරාමයකට සාකච්ඡා කරමින් සිටියදී, බසයින් ප්‍රධාන වශයෙන් විප්ලවය වලක්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය. ප්‍රෂියානු හමුදාව සම්බන්ධයෙන් ගත් කල, දින තුනක චැම්ප්ස්-එලිසීස් මාවතේ වාඩිලා ගැනීම හැරුනු විට, එය පැරිසියේ නගර සීමාවෙන් පිටත රඳවා තිබූ අතර, විශේෂයෙන් නැගෙනහිර පැරිසියේ ජනාකීර්න, සන්නද්ධ කම්කරු පන්තික දිස්ත්‍රික්ක මගහැර සිටියේය. ප්‍රංශ සහ ප්‍රෂියානු පාලක පන්ති සියල්ලටම වඩා පැරිස් කම්කරුවන් නිරායුධ කිරීමට උත්සුක වූහ.

1871 මාර්තු 18 නැගිටීම යනු ජාතික ආරක්ෂක බලකායේ කාලතුවක්කු අල්ලා ගැනීමෙන් අවුරාලීමට තියර්ස් දැරූ පලමු උත්සාහයට එරෙහිව පැරිස් කම්කරු පන්තියේ ස්වයංසිද්ධ ප්‍රතිචාරයයි. කම්කරුවන් සොල්දාදුවෝ සමඟ එකමුතු වූහ. කම්කරුවන්ට වෙඩි තබන ලෙස සොල්දාදුවන්ට අසාර්ථක විධනයන් ලබාදෙමින් මර්දනයට නායකත්වය දුන් ජෙනරාල්වරුන් දෙදෙනෙකු වන ක්ලෙමන්ට් තෝමස් සහ ක්ලෝඩ් ලෙකොම්ට් 1848 ජුනි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබ වෙඩි තබා ඝාතනය කෙරුනි. එදිනම තියර්ස් පැරිසියෙන් වර්සයිල්ස් වෙත පලා ගියේ ය.

1871 මාර්තු 18 වන දින හමුදාව විසින් අල්ලා ගැනීමට උත්සාහ කිරීමෙන් පසු කොමියුනාර්ඩ්වරුන් විසින් පැරිසියේ මොන්ට්මාර්ටර් කන්දට ප්‍රවාහනය කරන ලද කාලතුවක්කු.

කොමියුනයේ සහ ජාතික ආරක්ෂක බලකායේ මධ්‍යම කාරක සභාවේ ඡන්දය දිස්ත්‍රික් අනුව පැවැත්වූ අතර කම්කරු පන්තියේ ප්‍රදේශවලට අතිමහත් බහුතරයක් දිනා දුන්නේය. මෙම සංස්ථාවන් කම්කරුවන්ගේ බලයේ උපකරන ලෙස ඉස්මතු විය. ධනවත් බටහිර දිස්ත්‍රික්කවලින් තේරී පත් වූ කොමියුන සහ ජාතික ආරක්ෂක මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් මෙයින් එකදු සංස්ථවක රැස්වීම්වලට සහභාගී වීම ගැන තැකූයේ නැත. ප්‍රංශයේ ප්‍රජා යුද්ධයේදී මාක්ස් නව කම්කරු රාජ්‍යයේ ස්වභාවය පැහැදිලි කළේය.

කොමියුනය පිහිටුවන ලද්දේ නාගරික මන්ත්‍රීවරුන් විසිනි. නගරයේ විවිධ පරිපාලන කොට්ඨාස සර්වජන ඡන්ද අයිතියෙන් තෝරාගත්, ඔවුන් වගවියයුත්තන් මෙන්ම ඕනෑම මොහොතක බලයෙන් පහකරනු ලැබිය හැකි වූ අයයි. එහි සාමාජිකයින්ගෙන් බහුතරය ස්වභාවයෙන්ම වැඩ කරන පිරිමින් හෝ කම්කරු පන්තියේ පිලිගත් නියෝජිතයන් ය. … එතෙක් ආන්ඩුවේ මෙවලම වූ පොලීසිය එකවරම එහි දේශපාලන ලක්ෂනයන් ඉවත් කොට වගවිය යුතු සහ කවර මොහොතක වුවත් අවලංගු කරදැමිය හැකි කොමියුනයේ නියෝජිතයා බවට පත් විය. පරිපාලනයේ අනෙකුත් සියලුම ශාඛා වල නිලධාරීන් ද එසේමය. කොමියුනයේ සාමාජිකයින්ගේ සිට පහලට, රාජ්‍ය සේවය කම්කරුවන්ගේ වැටුපෙන් ගෙන යා යුතුව තිබුනි. ඉහල සම්භාවනීය පුද්ගලයන්ගේ වරප්‍රසාද සහ නියෝජිත දීමනා ඉහල සම්භාවනීය පුද්ගලයන් සමඟම අතුරුදහන් විය.

ප්‍රංශ සහ ප්‍රෂියානු හමුදාවන්ගෙන් වටවී තිබිය දී, කොමියුනය සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති වර්ධනය කලේ ය. එය අවම වැටුපක් නියම කර, කම්කරුවන් සඳහා නාගරික ආපනශාලා පිහිටුවා සහ දුප්පත් පවුල් සඳහා පුරප්පාඩු වූ නිවාස ලබාදුන්නේ ය. වටලෑම හේතුවෙන්, බංකොලොත් වූ කුඩා ව්‍යාපාර සහ කුලී නිවැසියන්ට බැංකු හා ඉඩම් හිමියන්ගේ වියදමින් නයහරනයන් ලබා දුන් අතර, උකස් සාප්පු වලින් වටිනා භාන්ඩ ආපසු ලබා ගැනීමට කම්කරුවන්ට ඉඩ ලබා දුන්නේ ය. එය මාධ්‍ය නිදහස සහතික කර, සිවිල් හවුල්කාරිත්වය, අගාමික අධ්‍යාපනය සහ පුරුෂයින්ට හා කාන්තාවන්ට සමාන වැඩ සඳහා සමාන වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

කොමියුනය ජාතිකත්වයන් කෙරෙහි කිසිදු වෙනස්කමක් නොකල අතර කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය වෙනුවෙන් විවෘත ව පෙනී සිටියේ ය. මාක්ස් ලියා ඇති පරිදි:

යුක්තියුක්ත හේතුවකින් මියයෑමේ ගෞරවය සියලුම විදේශිකයන්ට උරුමකරදීම කොමියුනය විසින් පිලිගනු ලැබීය. ඔවුන්ගේ රාජද්‍රෝහීත්වය හේතුවෙන් පරාජය වූ විදේශීය යුද්ධය සහ විදේශීය ආක්‍රමනිකයා සමග කුමන්ත්‍රනය කිරීම නිසා ඇති වූ සිවිල් යුද්ධය අතරතුර ප්‍රංශය තුල සිටි ජර්මානුවන් එරෙහි පොලිස් දඩයම් සංවිධානය කිරීමෙන් තම ජාත්‍යාලය ප්‍රදර්ශනය කිරීම සඳහා ධනේශ්වරයට කාලය සොයාගෙන තිබුනි. කොමියුනය [ලියෝ ෆ්‍රැන්කෙල් නම්] ජර්මානු කම්කරුවෙකු එහි කම්කරු ඇමති බවට පත් කලේය.… [ජෙනරාල්වරුන් වන ජේ. ඩබ්‍රොව්ස්කි සහ ඩබ්ලිව් ව්‍රොබ්ලෙව්ස්කි නම්] පෝලන්තයේ වීරෝදාර පුත්‍රයින් පැරිසියේ ආරක්ෂක ප්‍රධානී තනතුරු වල හිඳුවා කොමියුනය ඔවුන්ට ගෞරවය පුද කලේය.

වන්දොම් කුලුනෙන් බිමට පෙරලන ලද නැපෝලියන්ගේ ප්‍රතිමාව සමඟ කොමියුනාර්ඩ්වරු පෙනී සිටිති

සමානාත්මතාවය සඳහා සටන් කල නිර්ධන පංතික කොමියුනය, සහ ධනේශ්වර වරප්‍රසාදය ආරක්ෂා කල තුන්වන ජනරජය අතර ව්‍යසනකාරී ගැටුමක් ඇති විය. ප්‍රශියාව සමඟ සාකච්ඡා කරමින් සිටි තියර්ස්, කොමියුනය කුඩුපට්ටම් කිරීම සඳහා හමුදාවක් පිහිටුවීමට තරම් ප්‍රමානවත් වන පරිදි [ප්‍රශියාව විසින්] අල්ලා ගැනුනු, ප්‍රධාන කොට ම ගම්බද ප්‍රදේශවලින් බඳවා ගැනුනු ප්‍රංශ සොල්දාදුවන් නිදහස් කරවා ගැනීමට යුහුසුලු ව වැඩ කලේ ය. මෙම බලකායට දෙගුනයක මත්පැන් සලාක ලබා දෙනු ලැබ, පැරිසියෙන් වර්සයිල්ස් වෙත පලා ගිය ධනවත් පවුල්වල තරුන තරුනියන්ගෙන්ද බලගන්වා අවසානයේ දී මැයි මාසයේදී සිය ප්‍රහාරය දියත් කිරීම සඳහා සූදානම් කෙරුනි.

මැයි 21 වන දින නගර පවුරේ දුර්වල ලෙස රැකවල් ලා තිබූ කොටසක් අල්ලා ගැනීමෙන් පසු වර්සයිල්ස් හමුදාව සතියක තුළ බිහිසුනු සංහාරයකින් කොමියුනය සමූල ඝාතනය කලේය. බර අවි යොදාගෙන පැරිසියට වනසමින්, නැගෙනහිර කම්කරු පන්තික දිස්ත්‍රික්ක කරා ඇදෙමින් එය කොමියුනාර්ඩ්වරු පැරිසියේ වීදිවල පිහිටුවා තිබූ මාර්ග බාධක බිඳ දැම්මේ ය. තෙවන ජනරජයේ ප්‍රතිපත්තිය ගැන තියර්ස් විසින්ම කිසිදු සැකයක් ඉතිරි නොකල අතර අතර, මැයි 24 දින ජාතික සභාව අමතමින් “මම ලේ ධාරා වැගිරුවෙමැයි” ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය.

කොමියුනාර්ඩ්වරු අල්ලාගනු ලබන තැනදීම වෙඩි තබා මරාදමුනු අතර පිරිස වැඩි නම් ඔවුන්ව ඝාතනය කිරීම සඳහා වෙනත් තැනකට යවනු ලැබුනි. මොන්සියෝ සහ ලක්සම්බර්ග් උද්‍යාන, ඉතාලියේ චතුරශ්‍රය, හමුදා පාසල සහ පෙරේ ලචයිස් සුසාන භූමිය වැනි ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන් ඇතුලුව සමූහ ඝාතන සඳහා භාවිතා කරන ලද එලිමහන් අවකාශයන් වටා වීදි රතු පැහැයට හැරුනි. වෙඩික්කරුවන් හෝ මැෂින් තුවක්කු පැය 24 පුරා ම ක්‍රියාත්මක විය. සමහර සිරකරුවන් ලවා ඔවුන්ගේ ම මිනී වලවල් හාරවා ඉනික්බිති ඔවුන්ට වෙඩි තබන ලදී. මහජනතාව බිය ගැන්වීම සඳහා තවත් පිරිමි සහ ගැහැනුන්ට වෙඩි තබා හෝ බයිනෙත්තු තුඩින් ඇන නිරුවත් කොට වීදිවල දමා ගොස් තිබුනි.

කොමියුනාර්ඩ්වරුන්ට වෙඩිතැබීම, 1871

මිනීමරු උමතුවක් ධනවතුන් වෙලාගති. ලෙ ෆිගරෝ පුවත්පත මෙසේ ලිවීය: “පසුගිය වසර 20 ක කාලය තුල පැරිසියේ සදාචාරාත්මක පරිහානිය සුව කිරීමට එවැනි අවස්ථාවක් කිසි විටෙකත් ලැබී නැත. … අපි යමු, යහපත් මිනිසුනි! ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී පරපුටුවන් වැනසීමට අපට උදව් කරන්න. ”

මූල්‍ය වංශාධිපතිත්වය සඳහා එය කම්කරු නාශක සමයක් විය. කොමියුනාර්ඩ්වරියන් පෙට්‍රල් දමා නිවාස ගිනිබත් කරන බවට පුවත්පත් වල පැතිර යන කටකතා නිසා තෙල් ලඟ තබාගත් ඕනෑ ම කම්කරු පන්තික කාන්තාවක් අවදානමට ලක්විය. මිය ගිය ස්වාමිපුරුෂයන් ආදාහනය කිරීමට උත්සාහ කරන කාන්තාවන් හෝ ආහාර පිසීම සඳහා ඔලිව් තෙල් මිලදී ගැනීමෙන් පසුව අල්ලා ගනු ලැබූවන් මරා දැමුනි. හමුදාවේ ග්‍රහනයට ලක්ව සිටි කොමියුනාර්ඩ්වරුන්ට වෙඩි තැබීමට පෙර ධනවත් කන්ඩායම් ඔවුන්ට පහර දුන්හ; නැති නම් කොමියුනාර්ඩ්වරියන් සහ ලමයින් මරා දැමීමට වහසි දෙඩූ සොල්දාදුවන්ට මුදල් ලබා දුන්හ. පැරිස් කොමියුනය පිලිබඳ 2014 තමන් ලියූ Massacre කෘතියේ දී ඉතිහාසඥ ජෝන් මෙරිමන් මෙසේ ලිවීය:

මිනිසුන් නිරුවත් කර ඔවුන්ගේ උරහිස් මත රයිෆල දරා සිටීමෙන් ඇතිවූ සලකුනු තිබේදැයි පරීක්ෂා කරන ලදී. කිසියම් දෙයක් හමු වුවහොත්, ඔවුන්ට වහාම වෙඩි තබා ඇත. “ජරාජීර්න” ලෙස පෙනෙන, වැරහලි ඇඳ සිටි, තම සිරදඬුවම් සෘජුව යුක්ති යුක්ත නොකෙරුනු හෝ “නිසි” ජීවනෝපායක නිරත නොවූ පිරිමින්ට අභියාචනා රහිත උසාවියක් ඉදිරියේ දිවි ගලවා ගැනීමට අවකාශයක් නොතිබුනි.

20000ක් ප්‍රංශ වැසියන් ප්‍රංශ හමුදාව විසින් වෙඩි තබා මරා දැමූ පසු ව තවත් 40,000 ක් ආහාර සහ ජලය නොමැතිව නඩු ඇසීමට වර්සයිල් වෙත පා ගමනින් රැගෙන යනු ලැබූහ. යන අතරමග දී හමුදා නිලධාරීහු සහ මුර කරුවෝ කන්ඩායමේ වේගයට යා ගත නොහැකි ව වේගය අඩාල වන්නන්ටත සෙසු සිරකරුවන්ටත් සිත් සේ වෙඩි තැබූහ. 11,000 ක් දෙනා බලහත්කාරයෙන් වැඩෙහි යොදව‍න කඳවුරු වෙත පිටුවහල් කරනු ලැබූහ.

ලේ වැකි සතියේදී මරා දැමුනු කොමියුනාර්ඩ්වරු:ඇන්ඩ්‍රෙ අඩොල්ප් ඉයුජින් ඩිස්ඩෙරි විසින් 1871දී ලබාගත් ඡායාරූපයකි

තම දිනපොත තුල ලේවැකි සතිය දෙස ආපසු හැරී බලන සුප්‍රසිද්ධ සාහිත්‍ය විචාරක එඩ්මන්ඩ් ඩි ගොන්කෝට්, 1871 මැයි 31 දින පාලක ප්‍රභූවේ මිනීමරු ගනන් බැලීම් ගැන මෙසේ ලිවී ය.

සම්මුතියක් හෝ කේවල් කිරීමක් නොතිබීම හොඳයි. විසඳුම කුරිරු විය. එය සාක්ෂාත් කරගනු ලැබුවේ තනිකරම බලය යෙදීමෙන්. … මේ විසඳුම හමුදාවට යලිත් විශ්වාසය ලබා දී ඇත. තමන් තවමත් සටන් කිරීමට සමත් බව හමුදාව කොමියුනාර්ඩ්වරුන්ගේ රුධිරයෙන් දැනගති; මෙම විරේක කිරීම ජනගහනයේ සටන්කාමී කොටස ඝාතනය කිරීමෙන්, සමස්ත මතු පරම්පරාවකටම ඊලඟ විප්ලවය කල්දැමී ය. ආන්ඩුව දැන් කිරීමට නිර්භය වන දෙය දිගට ම කර ගෙන යාමට නිර්භීත වනවා නම් පැරනි තන්ත්‍රයට දැන් වසර 20 ක සාමයක් හා නිහඬතාවක් තමන් ඉදිරියේ තිබේ.

ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් විසින් මෙම විනාශකාරී අත්දැකීම කම්කරු පන්තියේ අවශ්‍යතා පිළිබඳ දෘෂ්ටි කෝනයෙන් වඩාත් ගැඹුරින් විස්තාරනය කරන ලදී. එය විප්ලවයේ පරාජයේ බිහිසුනු ප්‍රතිවිපාක පිලිඹඳ අමතක නොවන පාඩමක් විය. නගර, සමස්ත රටවල් හෝ ලෝකය පවා විනාශ කිරීමට කැමැත්තෙන් සිටින ධනේශ්වරය සිය පාලනයට එල්ල වන ඕනෑම තර්ජනයකට දක්වන ප්‍රතිචාරයේ රුදුරු බව එයින් පෙන්නුම් කෙරිනි. වරප්‍රසාද ලත් සුලුතරයේ ප්‍රති-විප්ලවවාදී ප්‍රචන්ඩත්වය මැඩලීමට කම්කරු පන්තියට ඇති අවශ්‍යතාව සාක්ෂාත් කිරීමට, රාජ්‍ය බලය ගැනීමේ හා එය රැක ගැනීමේ නිර්දය ලෙස අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගයක් උවමනා විය.

ඉතිහාස තුල පැරිස් කොමියුනය

සෑම රටකම කම්කරු පන්තියට කොමියුනය ඉදිරිපත් කරන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එහි විප්ලවීය නායකත්වය ගොඩනැගීමයි. සියවසකට පෙර ලියමින්, රුසියානු සිවිල් යුද්ධයේ අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව තුරුනු සෝවියට් සමූහාන්ඩුවේ අරගලයට නායකත්වය දුන් ට්‍රොට්ස්කි සඳහන් කලේ, “කොමියුනයේ සමස්ත ඉතිහාසය ම පිටුවෙන් පිටුවකට පෙරල බලමු. අපට හමුවනු ඇත්තේ එකම පාඩමකි: එනම් ශක්තිමත් පක්ෂ නායකත්වයක් අවශ්‍ය වන බවයි. තුන්වන නැපෝලියන් වැටෙන විට තුන්වන ජනරජය නොව කම්කරු පන්තිය බලයට පත් වූයේ නම් කුමක් සිදුවේද යන විකල්පය ට්‍රොට්ස්කි අභිමුඛ කලේ ය.

විප්ලවවාදී ක්‍රියාමාර්ගයේ මධ්‍යගත පක්ෂය 1870 සැප්තැම්බරයේ ප්‍රංශයේ නිර්ධන පන්තියේ නායකත්වය විසින් සොයා ගනු ලැබුවේ නම්, ප්‍රංශයේ සමස්ත ඉතිහාසය හා ඒ සමඟ ම සමස්ත මානව ඉතිහාසයේ ඉතිහාසය ම වෙනත් දිශාවකට යොමු වන්නට තිබුනි. මාර්තු 18 වන දින පැරීසියේදී නිර්ධන පංතිය අතට බලය ලැබුනේ නම්, එසේ වූයේ හිතාමතා ම බලය අල්ලා ගත් නිසා නොව, එහි සතුරන් පැරිසියෙන් ඉවත් වූ නිසා ය. … නමුත් පැරිස් නිර්ධන පන්තිය මේ කාරනය තේරුම් ගත්තේ පසුවයි. විප්ලවය අනපේක්ෂිත ලෙස ඔවුන් මතට වැටුනි.

ලියොන් ට්‍රොට්ස්කි (1879-1940)

ස්ථිර විප්ලවවාදී නායකත්වයක දේශපාලන හා න්‍යායාත්මක පදනම විස්තාරනය කිරීමට මාක්ස්වාදී ව්‍යාපාරය පාදක කරගත් තීරනාත්මක අත්දැකීම කොමියුනය විසින් සපයන ලදී.

1917 ඔක්තෝම්බර් මාසයේදී බොල්ෂෙවික් පක්ෂය බලය අත්පත් කර ගැනීමට සූදානම් වෙමින් කොමියුනයේ අත්දැකීම් යලි ක්‍රියාවට දැමීමේදී මෙහි ඉහලම ප්‍රකාශනය අත්පත් කරගනු ලැබුනි. සිය රාජ්‍යය සහ විප්ලවය කෘතිය තුල රාජ්‍යය පිලිඹඳවත් පැරිස් කොමියුනය විසින් සපයනු ලැබූ කම්කරු බලයේ කෙටි අත්දැකීම් පිලිඹඳවත් මාක්ස් සහ එංගල්ස්ගේ ලේඛන ලෙනින් විචක්ෂන ලෙස විචාරයට බඳුන් කලේය.

මාක්ස් සහ එංගල්ස්ද, ලෙනින්ද පැහැදිලි කළේ, රාජ්‍යය පන්ති සංහිඳියාව සඳහා වූ මෙවලමක් නොව, පන්ති ප්‍රතිවිරෝධතා වල නොගැලපීමේ ප්‍රතිඵලයක් බවයි. කිසිදු රාජ්‍යයක් නොතිබූ ප්‍රාථමික සමාජයන් හි මානව විද්‍යාත්මක දත්ත සහ ධනේශ්වර රාජ්‍යය සහ 1871 දී පැරීසියේ සන්නද්ධ ජනයා අතර ගැටුම යන කාරනා දෙකම ඔවුන් විසින් පිරික්සන ලදී. රාජ්‍යය ගැන ලිවීමේදී එය, “තවදුරටත් අවිගත් මිනිසුන් සමඟත් ඔවුන්ගේ ස්වයං ක්‍රියාකාරී අවිගත් සංවිධානය සමගත් කෙලින්ම සම නොවන පොදු බලයක්' බව ස්ථාපිත කලේය. ඔහු තවදුරටත් මෙසේ ලිවීය:

මෙම විශේෂ, පොදු බලය අවශ්‍ය වී තිබෙන්නේ මෙක් නිසාදයත්, සමාජය පන්ති වලය භේද භින්න වී ගිය දා සිට ස්වයං-ක්‍රියාකාරී අවිගත් ජනතා සංවිධානයක් ක්‍රියාවේ යෙදවිය නොහැකි බැවිනි. හැම රජයකම පොදු බලය පවතියි. එය සමන්විත වන්නේ අවිගත් මිනිසුන්ගෙන් පමනක් නොවේ. නොයෙක්මාදිලියේ බලහත්කාරකම් කරන සංවිධාන සහ හිරගෙවල් වැනි ද්‍රව්‍යමය අමතර මෙවලම් වලින්ද එය යුක්ත වේ...කෙසේ වෙතත්, රාජ්‍යය තුල පන්ති සතුරුකම් වඩාත් උග්‍රවීමට සමානුපාතිකව එය ශක්තිමත් වේ.

පැරිස් කොමියුනයේ අත්දැකීම සහ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන්ගේ රජය පිලිබඳ මෙම විශ්ලේෂනය සතු ව දුර දිග යන ඇඟවුම් පැවතුනි. පන්ති ප්‍රතිඝතිතතාවන් අඩු කොට දිගුකාලීන සාමය සහ සෞභාග්‍යක් උදා කර ගැනීමට ධනපති රාජ්‍යය යොදා ගැනීමට බලාපොරොත්තු වූ සංශෝධනවාදී ඉදිරිදර්ශනයක්, ව්‍යාජ සහ බලාපොරොත්තු රහිත ආකාරයේ මනෝරාජ්‍යයක් විය. පාලක පන්තියේ ප්‍රතිවිප්ලවවාදී භීෂනයට එරෙහි ව කම්කරු රාජ්‍යයක් ගොඩනැගීම ද ඇතුලු ව සියලු ම ආකාරයේ රාජ්‍යය බලයන් වහා ම අහෝසි කර දැමීමට යෝජනා කල අරාජකවාදී ඉදිරිදර්ශනයක් ද එ බඳු ම ය.

ලෙනින් “කම්කරු පන්තියට දැනටමත් නිමවා ඇති රාජ්‍ය යන්ත්‍රය හුදෙක් අල්ලා ගෙන එය තමන්ගේ අරමුනු සඳහා පරිහරනය කල නොහැකි ය” යන මාක්ස්ගේ නිගමනය අවධාරනය කලේ ය. ඒ වෙනුවට, කම්කරු පන්තිය 1871 දී පැරිස් කම්කරුවන් කලාක් මෙන් තමන්ගේ ම රාජ්‍යයක් ගොඩ නැගිය යුතු ව තිබුනි. සියලු දෙයට ප්‍රථමයෙන්, මින් අදහස් කෙරුනේ කම්කරු පන්තිය දේශපාලන සහ ඓතිහාසික විඥානයෙන් සන්තෘප්ත කිරීමට පක්ෂයක් ගොඩනැගීම සහ විප්ලවවාදී ප්‍රතිපත්තියක අවශ්‍යතාවයි.

1917 ඔක්තෝබර් විප්ලවයට සහ බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වය යටතේ සාර් ඒකාධිපතිත්වයේ සිට කම්කරු පන්තික බල ව්‍යූහයන් වූ සෝවියට් සභා කරා රාජ්‍ය බලය හුවමාරුවට මෙම ඉදිරිදර්ශනය පදනම සැපයූවේ ය. පලමු ලෝක යුද්ධයේ සමූල ඝාතනයන් මැද, බලය සඳහා අරගලයට බොල්ෂෙවික් පක්ෂය කැඳවමින් ලෙනින් අවධාරනය කලේ කම්කරුවන්ගේ රාජ්‍ය බලය ස්ථාපිත කිරීම සඳහා අරගලය ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් විය යුතු බවයි. යුරෝපයේ අව්‍යාජ විප්ලවයක් සිදු කිරීමට නම් කම්කරු පන්තිය “නිලධාරීවාදී-මිලිටරි යන්ත්‍රය කුඩුපට්ටම් කල දැමිය යුතු ය” යන මාක්ස්ගේ නිගමනය ගැන සඳහන් කරමින් ලෙනින් මෙ ලෙස ලිවී ය:

අද, 1917දී, පලමුවනි සහ මහා අධිරාජ්‍ය යුද්ධ අවධියේදී මාක්ස්ගේ ඒ [යුරෝපා මහද්වීපය මත පාදක වන] සීමාකිරීම් අවලංගු වේ. යුදකාමී කවයන්ගෙන් හා නිලධාරීවාදයෙන් තොරව, ඇංග්ලෝ-සැක්සන් “නිදහස” වෙනුවෙන් මුලු ලෝකයේම පෙනී සිටින විශාලතම හා අන්තිම නියෝජිතයන් වූ එංගලන්තය සහ ඇමරිකාව සෑම දෙයක්ම තම පයින් පාගාගෙන යටකර ගන්නා නිලධාරී යුද ආයතනයන්ගෙන් සමන්විත සමස්ත යුරෝපීය කුනු ගොඩක හා ලේ වගුරක සම්පූර්න ලෙස ගිලීසිටින බව දැන් කිව යුතුය.

ලෙනින් (1870-1924)

පැරිස් කොමියුනයෙන් වසර 150ක් ගෙවී ගොස් ඇති තැන, 1917 ඔක්තෝබරයේ දී කලාක් මෙන් කම්කරු පන්තියට බලය ලබා ගැනීමට ඇති අවස්ථාවන්ගේ හිඟයක් ඇති වී නොමැත. 1968 මැයි මාසයේ දී, මිලියන 10කට අධික ප්‍රංශ කම්කරුවන් සහභාගී වූ මහ වැඩ වර්ජනයක් කැරලි මර්දන පොලිසිය පරදවා ඩි ගෝල්ගේ ආන්ඩුව දන ගස්වමින් කම්කරු පන්තියේ විප්ලවවාදී හැකියාවන් මඳකුදු හෝ වියැකී ගොස් නැති බව පෙන්වා දුන්නේ ය. ඉතා මෑත, 2011 දී, ඊජිප්තු කම්කරු පන්තියේ විප්ලවීය බලමුලු ගැන්වීමකින් සහ මහා වැඩ වර්ජනයකින් අධිරාජ්‍යවාදයේ හෙංචයියෙකු වූ මිලිටරි ආඥාදායක ජනාධිපති හොස්නි මුබාරක්ගේ තන්ත්‍රය බිඳ හෙලී ය.

කෙසේ නමුත්, පැරිස් කොමියුනය ඉස්මතු කලා වූ, දේශපාලන ඉදිරිදර්ශනය සහ නායකත්වය පිලිබඳ තීරනාත්මක ගැටලු ශේෂ ව පවතී. 1968 දී, ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය විප්ලවය වලකාලී ය. ස්ටැලින්වාදී පක්ෂයක් වශයෙන් එය සෝවියට් සංගමය තුල ස්ටැලින්ගේ “තනි රටේ සමාජවාදයේ” ජාතිකවාදී ඉදිරිදර්ශනය විසින් යුක්තියුක්ත කෙරුනා වූ සම්මුතියකට අධිරාජ්‍යවාදය හා එකඟ වෙමින් ඔක්තෝබර් විප්ලවයේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කලේ ය. 1968 මැයි, ග්‍රෙනෙල් සම්මුතිය හරහා එය කම්කරු පන්තිය ප්‍රංශ ධනේශ්වර රාජ්‍යයට ගැට ගැසුවේ මෙම පදනම මතයි.

1991 දී, සෝවියට් සංගමය බිඳලනු ලැබ ඉක්ම ගිය දශක කීපය තුල නිමක් නැති අධිරාජ්‍යාවදී යුද්ධ, සමාජ වියදම් කප්පාදුව සහ මූල්‍ය කතිපයාධිකාරයේ ධනය කඳු ගසා ගැනීම විප්ලවවාදී නායකත්වයේ සහ කම්කරුවන්ගේ බලය සම්බන්ධ ගැටලු තියුනු ආකාරයකින් සම්මුඛ කරවනු ලැබ ඇත.

කොවිඩ්-19 ගෝලීය වසංගතයට දක්වනු ලැබූ ප්‍රතිචාරය විසින් ධනේශ්වර ක්‍රමය හෙලිදරවු කරනු ලැබ ඇත. සමාජ දුරස්ථකරනයට සහ වෛරසය පැතිර යාම වැලැක්වීමට ගත යුතු සෙසු පියවරයන් ගැනීමට මුදල් නැතැයි කියමින් ලෝකයේ දියුනු ධනපති රටවල පවා සිය දහස් ගනනක් මරනයට අත හැර දමා ඇත්තේ බැංකු ඇප දීම් හරහා ඩොලර් සහ යුරෝ ට්‍රිලියන ගනනින් ධනපතියන් අත පත් කරන අතරේ ය. දෙ වැනි ප්‍රංශ අධිරාජ්‍යයේ පරපුටුවන්ගේ නිර්දය බවට නොදෙවැනි අද්‍යතන ධනේශ්වර පරපුට්ටන් සිටින්නේ වඩාත් ජරපත් ව ය.

අනික් අතට, මෑත වසරවල දී සෑම මහද්වීපයක ම පන්ති අරගලවල පුපුරා යාම් දැක ගත හැකි විය. දැන් පුපුරා යමින් තිබෙන සමාජ විරෝධතාවන් සමීක්ෂනය කරන මෑත වාර්තාවක දී ඇමරිකන් අධිරාජ්‍යවාදී චින්තන පර්ෂදයක් වන සෙන්ටර් ෆෝ ස්ට්‍රැටජික් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් ස්ටඩීස් මෙ ලෙස ලිවී ය:

සංඛ්‍යාතය, පරාසය සහ ප්‍රමානය අතින් ඓතිහාසික ව පෙර නුවූ විරූ ගෝලීය මහජන විරෝධතාවන්ගේ යුගයක අපි ජීවත් වෙමු. … තථ්‍ය වශයෙන් ම එය ලෝකයේ සෑම ප්‍රධාන ජනගහන කලාපයක ම, 2009 සහ 2019 අතර කාලයේ දී දශකයක් පුරාවට සියයට 11.5ක වාර්ෂික සාමාන්‍යයකින් ඉහල ගිය ප්‍රවනතාවකි. මෑත කාලීන ව විරෝධතාවන්ගේ ප්‍රමානය සහ සංඛ්‍යාතය 1960 දශකය අගභාගය, 1980 දශකය අගභාගය සහ 1990 දශකයේ මුල් භාගය බඳු මහජන විරෝධතාවන්ගේ අවධීන්ගේ ඓතිහාසික උදාහරන ඉක්මවා යයි.

2021 මාර්තු 6, සෙනසුරාදා, ඉන්දියානු ගොවියෝ නව දිල්ලිය ආසන්නයේ තවමත් පවත්වන තම විරෝධතාවන්ගේ සිය වැනි දිනය සනිටුහන් කරමින් ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර කරති. (ඒපී ෆොටෝ/අල්ටාෆ් කුද්‍රි)

පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනයේ ගාමකය වන සමාජ ප්‍රශ්න බලය සඳහා වන කම්කරු පන්තියේ අරගලයකින් තොර ව, පැරිස් කොමියුනයේ අත්දැකීම ඉස්මතු කලා වූ සියලු ම ගැටලු අලුතින් ඉස්මතු නොකර විසඳිය නොහැකි ය. කොවිඩ්-19 ගෝලීය වසංගතය ප්‍රතිසංස්කරන සඳහා කෙරෙන කැඳවුම්වලට මුලුමනින් ම විරෝධී මූල්‍ය ප්‍රභූවක් ධනවාදය තුල ආධිපත්‍ය දරන බව පෙන්වා දුන්, විශේෂයෙන් ම ව්‍යසනකාරී එක් සිහි කැඳවුමක් පමනි. 1871 ප්‍රංශ කම්කරුවන් අත්දැක්කාක් මෙන් අද දින අප ඉදිරියේ ඇති විකල්ප ප්‍රතිසංස්කරනය ද විප්ලවය ද යන්න නොව, සමාජවාදී විප්ලවය ද ධනේශ්වර ප්‍රතිවිප්ලවය ද යන්නයි.

සෑම රටක ම කම්කරු පන්තිය අතට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කෙරෙන අරගලය මත ජීවන මට්ටම්, සෞඛ්‍ය සහ මනුෂ්‍ය ජීවිත ම රඳා පවතී. මනුෂ්‍ය වර්ගයාගේ ධනය නිෂ්පාදනය කරන කම්කරුවෝ බැංකුවල ආඥාදායකත්වයට එරෙහි ව තම ඉරනම තමා අතට ගත යුතු ය. මේ සඳහා ඔවුන්ට ජාත්‍යන්තර විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය කෙරේ.

“නිර්ධනීන්ගේ ආඥාදායකත්වයක්” පිහිටු වීමට දැරෙන ප්‍රයත්නයක් වශයෙන් කම්කරුවන්ගේ බලය සඳහා අරගලයට විරුද්ධ වී, එය ප්‍රතික්ෂේප කරන්නට පෙරට එන්නන් ගැන සැකයක් නැත. මේ යෙදුම වසර 30කට පෙර, 1991 දී, සෝවියට් සංගමය බිඳ දමා, ධනවාදය පුනස්ථාපනය කල ස්ටැලින්වාදයේ අපරාධ සමග සාවද්‍ය ආකාරයෙන් අනන්‍යකරනය සාමාන්‍යකරනය කෙරී ඇත. කම්කරුවන්ගේ බලය සඳහා අරගලයේ මෙයාකාරී විරුද්ධවාදීන්ට එංගල්ස්ගේ මේ වචන පිලිතුරු දෙනු ඇත:

මෑතක සිට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවරසිකයා නිර්ධන පංතික ආඥාදායකත්වය නමැති වචන ඉදිරියේ අති මහත් බියක් ඇති කැරැ ගෙන සිටී. හොඳයි, යහපත් මහත්වරුනි, මේ ආඥාදායකත්වය කෙබඳුදැයි දැන ගැනීමට ඔබ කැමති ද? පැරිස් කොමියුනය දෙස බලන්න. එය නිර්ධන පංතික ආඥාදායකත්වය වූයේ ය.

Loading