ඩෙල්ටා ප්‍රභේදය අඛන්ඩව අසාදනය වෙද්දී ආන්ඩුව වසංගතය පැතිරීම නතර කිරීමට පැන වූ තහංචි ඉවත් කිරීමට සූදානම් වෙයි

[මෙය Sri Lankan government to remove pandemic restrictions despite continuing Delta variant infections යන මාතෘකාවෙන් 2021 ජූලි 13 දින පලවූ ලිපියේ පරිවර්තනයයි.]

වේගයෙන් බෝවන සුලු ඩෙල්ටා ප්‍රභේදය දිවයින පුරා අඛන්ඩ ව පැතිර යද්දී, ලංකාවේ ආන්ඩුව එහි සීමිත වසංගත සීමා කිරීම් අත්හැර දැමීමට සූදානම් වෙමින් සිටී.

සැප්තැම්බරය වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරනය කර තිබෙනු ඇතැයි කියමින්, ආර්ථිකය සම්පූර්නයෙන් යලි විවෘත කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 5 වැනි දා පැවසුවේ ය. “වසංගතයට මුහුන දීමට ඇති එක ම ක්‍රමය එන්නත්කරනය” යි ප්‍රකාශ කල ඔහු, තවදුරටත් මෙසේ කීවේ ය: “රට විවෘත නො කර අපට ආර්ථිකය පවත්වාගෙන යා නො හැකි යි.”

කොට්ටාව නගරයේ බස් රථයකට ගොඩවන කම්කරුවන් [ලෝසවෙඅ]

මහ ව්‍යාපාරිකයේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ ආන්ඩුව, පසුගිය වසරේ මැයි මාසයේ ආර්ථිකය සම්පූර්නයෙන් යලි විවෘත කලේ ය. මෙලෙස යලි විවෘත කිරීම ආසාදනයන් හා මරන තියුනු ලෙස ඉහල යාමට තුඩු දුන් නිසා, පසුව යම් සීමාවන් පැනවීමට එයට සිදු විය.

පවතින සිමාවන් ඉවත් කිරීමට රාජපක්ෂ පියවර ගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ලංකාවේ සෞඛ්‍ය විශේෂඥයන් කර ඇති නොයෙකුත් අනතුරු ඇඟවීම් නො තකා හරිමිනි.

“එක ම විසඳුම වන්නේ එන්නත්කරනය යි” යන පිලිවෙත ආන්ඩු විසින් අනුගමනය කිරීමට එරෙහි ව, ජූලි 2දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අද්හානොම් ගෙබ්‍රෙසෙයුස් අනතුරු ඇඟවී ය.

“ශක්තිමත් විමර්ශනය, මූලෝපායික පරීක්ෂන, ආසාදන කල්තබා හඳුනා ගැනීම, හුදකලාකරනය හා සායනික ප්‍රතිකාරය වැනි සෞඛ්‍යමය හා සමාජිය පියවරයන් තීරනාත්මක වනවාක් මෙන් ම, ප්‍රතිචාරය සඳහා පදනම වන්නේ මුහුනු ආවරන පැලඳීම, කායික දුරස්ථ භාවය පවත්වා ගැනීම, සෙනග පිරුනු තැන්වලට යාමෙන් වැලකීම හා හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ගෘහස්ත අභ්‍යන්තරය පවත්වා ගැනීම යි” යි ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත කීවේ ය.

සිය ජනගහනයන්ගෙන් බොහෝ පිරිසක් එන්නත්කරනය කර ඇති නමුත් කොවිඩ්-19 ආරක්ෂක පියවරවල් බරපතල ලෙස අඩු කර ඇති එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ඊශ්‍රායලය ඇතුලු ලොව පුරා රටවල් තුල ඩෙල්ටා ප්‍රභේදය ක්ෂනික ව ඉහල යමින් තිබේ.

වතුකරයේ එන්නත්කරන මධ්‍යස්ථානයක් පිටත සමාජ දුරස්ථකරනයක් නොමැති ව පෝලිම් ගැසී සිටින මිනිසුන් [මූලාශ්‍රය: ෆේස්බුක්]

ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දෙමින් සහ මුදල් හිඟයෙන් පෙලෙන රාජපක්ෂ ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප්‍රධාන උත්සුකය වන්නේ, රටේ ජනයාගේ ජීවිත ආරක්ෂා කිරීම නොව ලාභ පොදි තරකර ගැනීම යි. ජනාධිපති රාජපක්ෂ පසුගිය සතියේ දී සිය බාල සොහොයුරු බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමතිවරයා ලෙස පත් කල අතර, ඔහුගේ කාර්යය වන්නේ, මහ ව්‍යාපාරිකයේ තත්ත්වය තව තවත් ශක්තිමත් කිරීම හා ජීවන කොන්දේසි මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීම යි.

ඩේලි මිරර් පත්‍රය වාර්තා කරන ආකාරයට, ඊයේ ඇමතිවරුන් කන්ඩායමක් මුනගැසුනු බැසිල් රාජපක්ෂ “රටෙහි නිෂ්පාදන පදනම පුනර්ජීවනය කිරීමේ අවශ්‍යතාව අවධාරනය කල අතර, එසේ නො කල හොත් ආර්ථිකය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මුදල් ආන්ඩුවට හිඟ වනු ඇත” යි ප්‍රකාශ කලේ ය.

සිනමා ශාලා, රංග ශාලා, පිහිනුම් තටාක, දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා කෞතුකාගාරවල සියයට 25ක ධාරිතාවකට විවෘත කිරීමට ඉඩ දෙමින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන කොවිඩ්-19 රෙගුලාසි තව දුරටත් ලිහිල් කොට ඇත. 2020 මැයි මාසයේ පටන් සීමා කිරීමකින් තොර ව ක්‍රියාත්මක වන ඇඟලුම් කර්මාන්තය ඇතුලු ලංකාවේ සියලු කර්මාන්තශාලා දැන් මුලුමනින් ම විවෘත ය.

එන්නත්කරන වැඩසටහන වේගවත් කර ඇති බවත්, ලංකාවේ සියලු පාසල් අගෝස්තු මාසයේ සිට යලි විවෘත කලහැකි බවත්, අධ්‍යාපන ඇමති ජී. එල්. පීරිස් ඊයේ නිවේදනය කලේ ය.

කොවිඩ්-19 ආසාදන අඩුවී ඇතැයි රෝස පැහැ පින්තූරයක් ඇඳීමට කොලඹ ආන්ඩුව උත්සාහ දරමින් සිටියි. මෙය ව්‍යාජ මෙන් ම අන්තරායකාරී ය. ජූලි 11දා සමස්ත කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාව 274,538 දක්වා නැගුනේ එදින වාර්තා වූ නව ආසාදන 1,507ක් ද සමගින් වන අතර, සත් දින දෛනික සාමාන්‍යය 1,273කි. ජූලි 11දා වාර්තා වූ 33 දෙනෙකු ද සමගින් සමස්ත මරන සංඛ්‍යාව 3,467 දක්වා නැගුනි.

ආන්ඩුවේ දැනුවත් පිලිවෙතක් වන පීසීආර් පරීක්ෂනවල අඩු මට්ටම නිසා ලංකාවේ ආසාදන හා මරන සංඛ්‍යාවන් යතා පරිදි වාර්තා නොවේ. උදාහරනයක් ලෙස ජූලි 11දා සිදුකර ඇත්තේ පීසීආර් පරීක්ෂන 13,777ක් පමනි.

නව පරීක්ෂන සාම්පල තවමත් පරීක්ෂා කිරීමට ඉතිරි ව තිබෙද්දී, කොලඹින් ඩෙල්ටා ප්‍රභේද ආසාදන 20ක් සොයා ගනු ලැබූ බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අනුක ජීව විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය චන්දිම ජීවන්දර ඊයේ වාර්තා කලේ ය.

තත්ත්වය වඩා භයානක බවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය නිලධාරීන් ඩෙල්ටා ප්‍රභේද ආසාදන ලඝු කර දක්වන බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තීය සමිතියේ නායක උපුල් රෝහන ඊයේ ඩේලි මිරර් පත්‍රයට කීවේ ය.

රට පුරා පරික්ෂාවට බඳුන් කල සාම්පල 142කින් ඩෙල්ටා ප්‍රභේද ආසාදන 14ක් ජූලි 3 වැනි දා හසුකර ගන්නා ලදී. මාරාන්තික ප්‍රභේදය දිවයිනේ බොහෝ ප්‍රදේශ කරා ව්‍යාප්ත වී ඇති බව පෙන්නුම් කරමින්, කොලඹින් මෙන් ම ගාල්ල, මාතර හා ත්‍රිකුනාමලයෙන් ඩෙල්ටා ප්‍රභේද ආසාදන වාර්තා වුනි.

ස්වාධීන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රවී රන්නන්-එලිය ට්විටර් සටහනක් තබමින් මෙසේ ප්‍රතිචාර දැක්වී ය: “සමස්ත දිවයිනෙන් ලබාගත් සාම්පල 142කින් දහයෙන් පංගුවක් ම ඩෙල්ටා ප්‍රභේද විම කනගාටුදායක ය. තොරතුරු දැනගැනීමට නැතිවුවත්, රට තුල දැනට ඩෙල්ටා ප්‍රභේදීය ආසාදන කිහිප සියයක් හෝ දහසක් තිබෙන බව බලගතු ලෙස පෙන්නුම් කෙරේ.” ඔහු මෙසේ අනතුරු ඇඟවී ය: “මෙය පාලනය කිරීම සඳහා අපට හැකි සියල්ල කල යුතු ය.”

කම්කරුවන් 12,000ක් පමන සේවය කරන කොග්ගල විශේෂ ආර්ථික කලාපයේ ඇඟලුම් කම්කරුවෙකුට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි ජූලි 5දා සොයා ගනු ලැබී ය. එන්නත්කරන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින නිසා, අනෙකුත් කම්කරුවන් ආසාදනය වීමේ අන්තරායක් නැතැයි ආර්ථික කලාපයේ අධ්‍යක්ෂ සිසිල් ප්‍රනාන්දු අවධාරනය කලේ කම්හලේ නිෂ්පාදනය අඛන්ඩව ගෙනයන බවට ඉඟි කරමිනි.

පූඬලුඔය වත්තේ කම්කරුවෝ කොවිඩ්-19 වන්දි සහ සහනාධාර ඉල්ලා උද්ඝෝෂනය කරති. [මූලාශ්‍රය: ෆේස්බුක්]

ආන්ඩුවේ ආශීර්වාදය ලබන හාම්පූත්තු ආසාදන සොයාගැනීමෙන් පසු ඔවුන්ගේ කම්හල් වසා දමා නැත. අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීම සේවකයන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පමනක් කම්හල් වසා දැමිම් සිදු වී තිබේ. වෘත්තීය සමිතිවල පූර්න පිටුබලය ද සහිත ව එම කම්හල් ඉක්මනින් ම විවෘත විය.

ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ සාපරාධී යලි විවෘත කිරීමේ පිලිවෙත්වලට ලංකාවේ මාධ්‍ය පූර්න සහයෝගය දෙමින් සිටිති. “කොවිඩ්-19 සමග ජීවත් වීම” නමැති කතුවැකියක් ජූලි 5 වැනි දා පල කල ඩේලි මිරර් පත්‍රය, මූලික වසංගත ආරක්ෂන පියවරයන් අත්හැර දැමීමේ සිංගප්පූරු ආන්ඩුවේ පිලිවෙත වර්නනා කලේ ය.

“නිරෝධායන රහිත ගමන් කිරීම්වලට හා විශාල රැස්වීම් යලි ආරම්භ කිරීමට අවසර දීම පිනිස අගුලු දැමීම් හා මහා පරිමාන රෝග හඳුනා ගැනීම් ඉවත දැමීමට ඔවුහු යෝජනා කරති. ...ඒ සඳහා සිංගප්පූරුව දෛනික කොවිඩ්-19 ආසාදන ගනන් කිරීම නැවැත්වීම පවා අවශ්‍ය කරයි” යි කතුවැකිය ප්‍රීතියෙන් ඔකඳ වී ප්‍රකාශ කලේ ය.

“අඩු බලපෑමක් ඇති සෙම්ප්‍රතිශ්‍යාව, යටි පතුල් රෝග හා මුඛ රෝග හෝ පැපොල වැනි දෙයක් දක්වා වසංගතය ලඝු කිරීමට” සිංගප්පූරු ආන්ඩුවේ කාර්යසාධක බලකාය “යෝජනා කරයි” යනුවෙන් පුවත්පත කියාගෙන ගියේ ය. “සිංගප්පූරු මොඩලය වෙනස් අතර කරුනු කාරනා ගැලපෙයි ... සමහර විට විසඳුම් පතා නැගෙනහිර දෙස බැලීමට කාලය පැමින ඇත.”

පසුදින, මෙම මූලෝපය හා රාජපක්ෂ ආන්ඩුවේ පියවරයන් අනුමත කරමින් පී. කේ. බාලචන්ද්‍රන් ලියු ලිපියක් ඩේලි මිරර් පත්‍රය පල කලේ ය. “බටහිර දී මෙන් ම වෛරසය පිලිබඳ භීතිකාවක් පවත්වා ගැනීමට ඉඩ නො දිය යුතු ය. එවන් භීතියක් මහජන ධෛර්යයට හා අනාගතය පිලිබඳ ඔවුන්ගේ විශ්වාසයට හානි කරනු ඇත” යි ඔහු ලීවේය.

ආන්ඩුවට ප්‍රශංසා කල බාලචන්ද්‍රන් “ආර්ථිකය පසුබැස්සවීම පමනක් සිදු කරමින් ආදායම් ජනනය කිරීමට බලපානු ඇති අගුලු දැමීම් හා ගමන් බිමන් සීමා කිරීම් යලි පැනවීමට පවතින පෙලඹුමට ප්‍රතිරෝධය දැක්වීම වැදගත්” යැයි ප්‍රකාශ කලේ ය. ලොව පුරා පුද්ගලයන් මිලියන ගනනකගේ මරනයට තුඩු දී ඇති මිනීමරු “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත පිලිබඳ ව ඔහු සඳහන් කලේ එය “විසඳුම” වසයෙනි.

පාලක පන්තියේ සෑම කන්ඩායමක් විසින් ම පිටුබලය දෙනු ලබන රාජපක්ෂ ආන්ඩුවේ රංචු ප්‍රතිශක්ති න්‍යාය පත්‍රය කම්කරු පන්තිය විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. මානව ජීවිතවලට ඉහලින් ලාභ ගැරීමට ප්‍රමුඛත්වය දෙන ධනපති ක්‍රමය යටතේ, වසංගතයට ජාතික විසඳුමක් නොමැත.

සිය ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු විය යුතු ලංකාවේ කම්කරුවන්, තමන්ගේ ම ස්වාධීන අවශ්‍යතා සඳහා සටන් කල යුතු ය. කොවිඩ්-19 රෝගයට අව්‍යාජ ආරක්ෂක පියවරයන් ස්ථාපිත කොට, රැකියා අහිමි වන කම්කරුවන්ට ශිෂ්ට සම්පන්න වැටුපක් ගෙවමින් අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසා දැමීම සඳහා, සෑම වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය කරයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා මෙම අරගලය පෙරට ගනු ලැබිය යුතු ය.

මෙම අරගලයේ දී ගම්බද ජනයා හා දුගීන් රැලි කරගත යුතු ලංකාවේ කම්කරුවන්, බැංකු, විශාල වතු හා මහා සමාගම්වල පාලනය සියතට ගෙන විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරන සමාජවාදී ප්‍රතිපත්ති අනුව සමාජය බහුතරයේ ප්‍රතිලාභ සඳහා ප්‍රතිසංවිධානය කල යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ මෙම ඉදිරි දර්ශනය සඳහා ය.

Loading