ඉදිරිදර්ශන

වොල්වෝ හි පන්ති යුද්ධය සහ ක්‍රියාකාරී කමිටු සඳහා සටන

[මෙය 2021 ජූලි 11 වැනි දින Class war at Volvo and the fight for rank-and-file committees යන මැයෙන් පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතිය ඉරිදා (11) ප්‍රකාශ කලේ වර්ජිනියාවේ ඩබ්ලින් හි වැඩ වර්ජනය කරන වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගෙන් තාවකාලික ගිවිසුම සඳහා නැවත ඡන්දය විමසීමට නියෝග කර ඇති බව ය, එයට විරුද්ධව සියයට 60 කින් ඡන්දය පාවිච්චි කර තිබුනි.

යූඒඩබ්ලිව් හි මෙම අසාමාන්‍ය ක්‍රියාමාර්ගය පැමිනියේ, සිදුකල කොන්ත්‍රාත් සාකච්ඡා “විසම්මුතික හිරවීමක්” බවත් කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ගිවිසුම ඔවුන් මත ඒකපාර්ශ්විකව පැටවීමට පියවර ගනිමින් සිටින බවත් සමාගම විසින් කල ප්‍රකාශයකින් පසුව ය.

වොල්වෝ, කම්කරුවන්ට එරෙහිව යුධ ප්‍රකාශ කරන අතර යූඒඩබ්ලිව් ඔවුන්ගේ වැඩ වර්ජන කඩාකප්පල් කිරීමේ මෙහෙයුම සඳහා ආවරනය සපයයි. යූඒඩබ්ලිව් ලෝකල් 2069 හි සභාපති මැට් බ්ලොන්ඩිනෝ ප්‍රකාශයත් නිකුත් කරමින්, සමාගම වැඩ වර්ජනය බිඳ දැමීමට උත්සාහ කරන බව පිලිගත් නමුත් ඔහු පැහැදිලි කලේ, “විසඳීම සඳහා මාස හෝ අවුරුදු ගනනාවක් ගත විය හැකි “අසාධාරන කම්කරු චෝදනා” නඩුවක් ගොනු කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් යූඒඩබ්ලිව් විසින් නොගන්නා බවයි.

එනම්, යූඒඩබ්ලිව් කම්කරුවන්ට පවසන්නේ බදාදා පැවති “නැවත ඡන්දය විමසීමේ” ප්‍රතිඵලය කුමක් වුවත්, ඔවුන් ප්‍රතික්ෂේප කල ගිවිසුම මත පදනම්ව ඔවුන්ට නැවත සේවයට යාමට බල කෙරෙනු ඇති බවයි.

වර්ජිනියාවේ ඩබ්ලින් හි වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ වැඩ වර්ජනය (ඡායාරූපය: යූඒඩබ්ලිව් ලෝකල් 2069)

ඇත්ත වශයෙන්ම සමාගම සහ වෘත්තීය සමිතිය අතර කිසිදු 'විසම්මුතික හිරවීමක්' නැති අතර, එක් පැත්තකින් වොල්වෝ සහ යූඒඩබ්ලිව් අතරත් සහ අනෙක් පැත්තෙන් කම්කරුවන් අතරත් අවුල් ජාලයක් පවතී. වොල්වෝ හි අරගලය පුරාවටම යූඒඩබ්ලිව් විසින්, කලමනාකාරීත්වයේ ඉල්ලීම් පැටවීම සඳහා වැඩ වර්ජිත කම්කරුවන් ක්‍රමානුකූලව හුදකලා කෙරී ඇත. කම්කරුවන්ට, තමන් ඡන්දය දුන් සම්පූර්න ගිවිසුම් දැකීමේ අයිතිය පවා ඔවුහු ප්‍රතික්ෂේප කල අතර, වැඩ වර්ජනය සිදුවන බව එහි සාමාජිකයින්ගෙන් සඟවා තබා ගනිමින් අරගලය අවහිර කිරීමට ක්‍රියාකාරී වූහ. කම්කරුවන්, සතියකට ඩොලර් 275 ක සොච්චම් වැඩ වර්ජන වැටුපක් සමග හාමත් කරනු ලැබීය.

සිකුරාදා, වොල්වෝ කම්කරුවන් [ගිවිසුමට] “විරුද්ධයි” යනුවෙන් ඡන්දය දුන්නේ පෙර පැවති ගිවිසුම් දෙකක් සියයට 90 කින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය. එම ඡන්දය කම්කරුවන් නියෝජනය කරන බව කියා සිටින සංවිධාන සමඟ සෘජු ගැටුමකට තුඩු දෙන කම්කරු පන්තියේ කැරැල්ලක් හා සටන්කාමීත්වය වර්ධනය වීමේ කොටසකි.

බේකරි, රසකැවිලි, දුම්කොල කම්කරුවන් සහ ධාන්‍ය මෝල් කරුවන්ගේ (බීසීටීජීඑම්) වෘත්තීය සමිතියේ සහාය ඇතිව සිව්වන කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කැන්සාස් හි ක්ෂනික ආහාර ක්ෂේත්‍රයේ යෝධයෙකු වන ෆ්‍රිටෝ-ලේ හි ටොපෙකා කම්හලේ කම්කරුවන් 600 කට ආසන්න සංඛ්‍යාවක් වැඩ වර්ජනයක නිරතව සිටිති. බීසීටීජීඑම් අරගලය හුදකලා කරමින් සිටින අතර කම්කරුවන්ට සතියකට ඩොලර් 105 ක වැඩ වර්ජන වැටුපක් සමඟ පිකට් ලයින් වල හාමත් වීමට සිදුව තිබේ.

ඉන්දියානා හි ටෙරේ හෝට් හි, එස්ඊඅයියූ සමඟ අනුබද්ධිත එක්සත් කම්කරු වෘත්තීය සමිතිය ජූලි 3 වන දින නිවේදනය කලේ ඇම්කෝර් ඇසුරුම් කම්කරුවන් 460 ක් විසින් ප්‍රතික්ෂේප කර ඇති සහන ගිවිසුමක් ඒකපාර්ශ්විකව පනවන බවයි.

පෙන්සිල්වේනියාවේ ඇලෙගනි ටෙක්නොලොජීස් (ඒටීඅයි) හි කම්කරුවන් 1,300 ක් සහ තවත් ප්‍රාන්ත හතරක් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ සිදුකල වැඩ වර්ජනය එක්සත් වානේ කම්කරුවන්ගේ සංගමය (යූඑස්ඩබ්ලිව්) විසින් හුදකලා කරන ලදී. පසුගිය සතියේ යූඑස්ඩබ්ලිව් නිවේදනය කලේ රැකියා සිය ගනනක් කපා හැරීමේ සහ උද්ධමන අනුපාතයට වඩා අඩු වැටුප් වැඩිවීම් ඇතුලත් වන ගිවිසුමකට එලඹ ඇති බව ය. කම්කරුවෝ අඟහරුවාදා දින ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කරති.

ඇමරිකානු එක්සත් පතල් කම්කරුවන්ගේ සංගමයේ සහයෝගය ඇතිව පාවාදීමේ කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇලබාමා හි ගල් අඟුරු පතල් කම්කරුවන් 1,100 ක් දින 100 කට වැඩි කාලයක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වී සිටිති. වෘත්තීය සමිතිය විසින් පතල් කම්කරුවන් පිකට් ලයින් වල හුදෙකලා කර ඇති අතර විරුද්ධත්වය බිය ගැන්වීම සඳහා ශාරීරික හිංසනයන්ට පවා යොමු වී තිබේ.

මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර පරිමානයෙන් දිග හැරෙමින් තිබේ. බෙල්ජියමේ වොල්වෝ කාර්ස් හි කම්කරුවන් (වොල්වෝ ට්‍රක් වලින් වෙනම හිමිකාරීත්වයක් දරයි) වැඩ සතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සමාගම්-වෘත්තීය සමිති ගිවිසුමකට එරෙහිව බ්‍රහස්පතින්දා සිට නිෂ්පාදන කටයුතු නවතා දමමින් වෘත්තීය සමිති වලට පිටින් ක්‍රියාමාර්ගයක් දියත් කලහ. කැනඩාවේ, ඔන්ටාරියෝ හි සඩ්බරි හි වේල් පතල් කම්කරුවන් 2,450 ක් වෘත්තීය සමිති උදව් ඇතිව ලබා දෙන සහන කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සති හයක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටිති. ටෙස්-ඊස් (Tes-İş) වෘත්තීය සමිතිය එකඟ වූ පාවා දීමේ කොන්ත්‍රාත්තු වලට විරෝධය දැක්වීම සඳහා තුර්කියේ විදුලි කම්කරුවන් දහස් ගනනක් වෘත්තීය සමිති වලට පිටින් අරගල මාලාවක් ආරම්භ කර තිබේ.

කම්කරු පන්තියේ, සංවිධානයේ එකම නීත්‍යානුකූල ස්වරූපය ලෙස වෘත්තීය සමිති නිරූපනය කිරීමට ව්‍යාජ වාම කන්ඩායම් දරන උත්සාහය පන්ති අරගලයේ වර්ධනය විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.

නිලධාරිවාදී යාන්ත්‍රනයේ ආරක්ෂකයින් (ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් වැනි ව්‍යාජ වාම සංවිධාන සහ එයට අනුබද්ධ ජැකොබින් සඟරාව ද ඇතුළුව), ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා වන අපගේ කැඳවීම සමග සමාජවාදී සමානතා පක්ෂයම “නිකායවාදීන්” ලෙස හඳුන්වයි. “නිකායවාදය” යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ වෘත්තීය සමිතිවල කම්කරුවන් අතර වැඩ කටයුතු කරගෙන යාමට අසමත්ය යන්න නොවේ. සසපයෙන් පිටත කිසිදු සංවිධානයක් වෘත්තීය සමිතිවල කම්කරුවන්ට ඔවුන්ගේ ස්වාධීන මුලපිරීම සංවර්ධනය කිරීමට සහාය වී නැත.

නිලධරයට එරෙහි කැරලිකාර ව්‍යාපාරයක වර්ධනය ගැන ක්‍රියාකාරී කමිටුවල විරුද්ධවාදීන් භීතියට පත්ව සිටිති. පංති අරගලය මැඩපැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය මෙවලම් වෘත්තීය සමිති තුල නිවැරදිව දකින බයිඩන් පරිපාලනය ඇතුළු පාලක පන්තියේ බලවත් කොටස් සමඟ ඔවුන් පෙල ගැසී සිටිති. ඉහල මධ්‍යම පංතියේ වරප්‍රසාදිත කොටස් නියෝජනය කරන ඔවුන්ගේ අරමුන වන්නේ රාජ්‍ය හා සංගත කලමනාකරනය සමඟ ඒකාබද්ධ වී ඇති “කම්කරු ව්‍යාපාරයක්” පවත්වාගෙන යාමයි. නිසැකවම, දශක ගනනාවකින් පැවති කම්කරු පන්තියේ වඩාත්ම වැදගත් අරගලයක් වන වොල්වෝ හි වැඩ වර්ජනය ගැන ඔවුන් කිසිවක් ලියා නැති බව යමෙකුට අන් අයුරකින් පැහැදිලි කල හැක්කේ කෙසේද?

කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරයකට අවශ්‍ය වන්නේ ස්වාධීන අරගල සංවිධාන පිහිටුවීම ය. ඒවා කම්කරුවන් විසින් පාලනය කරනු ලබන සහ ඔවුන්ට පිලිතුරු දිය යුතු ක්‍රියාකාරී කමිටු ජාලයක් වනු ඇත.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රිකජාස) සඳහා මූලාරම්භය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් අප්‍රේල් මාසයේදී දියත් කරන ලදී. ක්‍රිකජාස මෙසේ ලියයි, “ජාත්‍යන්තර පරිමානයෙන් කර්මාන්තශාලා, පාසල් සහ සේවා ස්ථානවල කම්කරුවන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී සහ සටන්කාමී ක්‍රියාකාරී සංවිධාන සඳහා නව රාමුවක් සකස් කිරීමට කටයුතු කරනු ඇත. කම්කරු පන්තිය සටන් කිරීමට සූදානම් ය. එහෙත් ප්‍රතිරෝධයේ සෑම ප්‍රකාශනයක්ම යටපත් කරන ප්‍රතිගාමී නිලධාරිවාදී සංවිධාන විසින් එයට විලංගු දමා ඇත.”

පසුගිය මාස දෙකහමාරක කාලය තුල මෙම මූලාරම්භයේ නිරවද්‍යතාවය සනාථ වී තිබේ. වොල්වෝ කම්කරුවන් සම්බන්ධයෙන් ගත් කල, සමාගමේ ආඥාවන්ට එරෙහි වීමට සහ යූඒඩබ්ලිව් සංවිධානය පරාජයක් පැනවීමට දරන උත්සාහයට එරෙහිව විරෝධය පෑමට ඇති හැකියාව, එන්ආර්වී හි වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සංවර්ධනය සමඟ බැඳී ඇත. පසුගිය කොන්ත්‍රාත්තුවේ ඡන්ද විමසීමට ආසන්නව පුපුරා ගිය වොල්වෝ කාර්ස් හි වෘත්තීය සමිති වලට පිටින් ඇති වූ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තරව කම්කරුවන්ගේ සහයෝගය ප්‍රකාශ කිරීම මගින් කම්කරුවන් විශාල වශයෙන් ශක්තිමත් වී තිබේ.

වොල්වෝ හි අරගලයට දුරදිග යන ඇඟවුම් තිබේ. සංගතවාදී වෘත්තීය සමිති විසින් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය මර්දනය කිරීම අවසන් වෙමින් තිබේ. පෙර නොවූ විරූ තරම් ධනයක් ධනවතුන් වෙතට මාරු වීමත් සමඟ මහා පරිමාන මරන වලට තුඩුදුන් වසංගතය සහ ඊට පාලක පන්තියේ ප්‍රතිචාරය, සමස්ත ධනේශ්වර ක්‍රමයම ගැඹුරින් අපකීර්තියට පත් කර ඇති අතර ලොව පුරා කම්කරුවන්ගේ විප්ලවීය නැගිටීමක් සඳහා කොන්දේසි නිර්මානය කර තිබේ.

ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ බොහෝ දෙනෙක් තවමත් තමන් සමාජවාදීන් ලෙස සලකන්නේ නැත. ඔවුන්ගේ වැඩ වර්ජනය ජය ගැනීමට ඔවුන්ට අවශ්‍යය, එය කල හැකි මෙන්ම කිරීම අත්‍යවශ්‍ය දෙයකි. ඔවුන් වැඩි වැඩියෙන් සටන්කාමී වන කම්කරු පන්තියක කොටසක් වන අතර රැකියා සහ ජීවන තත්වයන්ට නිරන්තරයෙන් එල්ල වන ප්‍රහාර පිලිගැනීමට ඔවුන් තවදුරටත් කැමති නැත.

සමාජවාදීන්ගේ වගකීම වන්නේ පසෙකට වී සිටීම නොව, ඔවුන් නිරතව සිටින අරගලවල සමාජ හා දේශපාලන ඇඟවුම් පිලිබඳ ගැඹුරු අවබෝධයක් වර්ධනය කර ගැනීමට උත්සාහ කරන අතරම කම්කරුවන්ට ඔවුන්ගේ ස්වාධීන සංවිධාන මුලපිරීම සංවර්ධනය කිරීම සඳහා සහාය වීමයි.

සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉල්ලා සිටින්නේ වැඩ වර්ජනය කරන වොල්වෝ කම්කරුවන් පිටුපස කම්කරු පන්තිය පුළුල් ලෙස බලමුලු ගැන්විය යුතු බවයි. ඔවුන් වොල්වෝ කලමනාකාරීත්වය සහ යූඒඩබ්ලිව් සංවිධානයට එරෙහිව ධෛර්ය සම්පන්න ස්ථාවරයක් ගෙන තිබේ.

නමුත් ඔවුන්ට තනිවම මෙම සටන කල නොහැකිය. වර්ජිනියාවේ ඩබ්ලින් හි කම්හල නැවත විවෘත කිරීමට සහ එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව වොල්වෝ මෙහෙයුම් නතර කිරීමෙන් වැඩ වර්ජනය බිඳ දැමීමට කරන තර්ජනයන්ට කම්කරුවන් ප්‍රතිචාර දැක්විය යුතුය. මෝටර් රථ කර්මාන්තය පුරා සහ ඉන් ඔබ්බට සටන වර්ධනය කල යුතුය. කාර්මික වහල්භාවයේ කොන්දේසි ඩබ්ලින් හි පැනවිය හැකි නම්, ඒවා ඩෙට්‍රොයිට්, චිකාගෝ, ගෙන්ට් සහ සඩ්බරි හි ද පැනවිය හැකිය.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීම තුලින් සමස්ත කම්කරු පන්තියම වොල්වෝහි පන්ති යුද්ධයට ප්‍රතිචාර දැක්විය යුතුය.

Loading