ඉදිරිදර්ශන

වර්ජිනියාවේ වොල්වෝ ට්‍රක් කම්කරුවෝ පිකට් වැටවල් කරා පෙරලා පැමිනෙති: එක්සත් ජනපද හා ගෝලීය පන්ති අරගලයේ සන්ධිස්ථානයක්

[පහතින් පලවෙන්නේ  Volvo Truck workers in Virginia return to the picket lines: A turning point in the US and global class struggle මැයෙන් 2021 ජුනි 08, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

 සංගත-ගැති එක්සත් මෝටර් කම්කරු සමිතිය (යූඒඩබ්ලිව්) විසින් සාකච්ඡා කරන ලද දෙවන පාවාදීමේ කොන්ත්‍රාත්තුව ඉරිදා අතිමහත් බහුතරයකින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, වර්ජිනියාවේ ඩබ්ලින්හි වොල්වෝ ට්‍රක් උතුරු ඇමරිකා නිව් වැලි කර්මාන්තශාලාවේ කම්කරුවන් 3,000ක් ආපසු පිකට් වැටවල් කරා පැමින ඇත. වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ අරගලය ජාතික මාධ්‍ය තුල යන්තමින් පල වී ඇති හා මධ්‍යම-පන්තික ව්‍යාජ-වාම සංවිධානයන්ගේ ප්‍රකාශනයන් තුල මුලුමනින් ම නො තකා හැර ඇති තතු තුල, ඉරිදා ඡන්දයට තුඩු දුන් සිද්ධීන් පිලිබඳ සංක්ෂිප්ත විමර්ශනයක් සම්පාදනය කිරීම අවශ්‍ය ය.

යූඒඩබ්ලිව්හි පාවාදීම

අවසන් කොන්ත්‍රාත්තු හතරේ දී, ස්වීඩනයේ පදනම් වන අන්තර්ජාතික සංගතයට, යූඒඩබ්ලිව් විසින් ප්‍රදානය කර තිබුනු සහන, ආපසු හැරවීමට අධිෂ්ටානවත් වූ වොල්වෝ කම්කරුවන්, පලමුව වැඩ වර්ජනයට එලැඹියේ අප්‍රේල් 17දා ය. ඉන් දෙසතියකට පසුව අප්‍රේල් 30දා, සමථයකට එලැඹ ඇතැයි නිවේදනය කරමින් වෘත්තීය සමිති නිලධරය වැඩ වර්ජනය අවසන් කලේ, කම්කරුවන් කොන්ත්‍රාත් ගිවිසුම දැක නැති සහ ඒ සඳහා ඡන්දයක් දී නැති පසුබිමකයි. 

වොල්වෝ ට්‍රක් කම්කරුවන් පසුගිය මාසයේ (මූලාශ්‍රය: යූඒඩබ්ලිව් 2069)

වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ප්‍රයත්නයන් හරහා, සමාගම වෙත පිදූ නින්දා සහගත සහනවලින් පිරී තිබුනු ගිවිසුමේ විස්තර කාන්දු වෙද්දී, කම්හල පුරා විරුද්ධත්වයේ රැල්ලක් පැතිර ගියේ ය. මැයි 16දා, සියයට 9ට එරෙහි සියයට 91ක බහුතර ඡන්දයෙන්  ගිවිසුම පරාජය කරනු ලැබී ය.

වැඩ වර්ජනය යලි ඇරඹීම ප්‍රතික්ෂේප කල යූඒඩබ්ලිව්, දෙවන සාකච්ඡා වටයකට පිලිපන්නේ ය. සතියකට යන්තමින් වැඩි කාලයකට පසු, තමන් තාවකාලික ගිවිසුමකට එලැඹ ඇතැයි සමිතිය නිවේදනය කලේ ය. කම්කරුවන් බියගැන්වීමට උත්සාහ දැරූ වෘත්තීය සමිතිය, කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ ගිවිසුමේ කොන්දේසිවල කිසිදු යහපත් වෙනසකින් තොරව මාස හයක් වැඩ වර්ජනයේ යෙදීමට සිදුවීම බවට අනතුරු ඇඟවී ය. 

සමිතිය, හුදෙක් පිලුනු වූ මුල් ගිවිසුමේ භාෂාව එහා මෙහා කිරීම පමනක් සිදු කර ඇතැයි පැහැදිලි වූ විට, මෙම තර්ජනය නො තකා සාමාන්‍ය කම්කරුවන්ගේ විරෝධය පුපුරා ගිය අතර, ඉරිදා වෘත්තීය සමිතියේ පාවාදීම දෙවන වරට ප්‍රතික්ෂේප කිරීම තුල එය කුලුගැන්වුනි. යලි වතාවක්, කම්කරුවන්ගෙන් සියයට 90ක් ගිවිසුමට විරුද්ධ ව ඡන්දය දුන් හ.

විරෝධය සීමා කිරීමට අසමත් වූ යූඒඩබ්ලිව්, අවසානයේ සඳුදා හවස වැඩ වර්ජනය යලි ඇරඹීමට අනුමැතිය දුන්නේ ය.

සාමාන්‍ය කම්කරුවන්ගේ නැගී සිටීම

යූඒඩබ්ලිව් හි පාවාදීමේ තැත කාර්මික කම්කරුවන්ගේ බලගතු ඇනියක් විසින් අතිමහත් බහුතරයෙන් ප්‍රතික්ෂේප කිරීම, යූඒඩබ්ලිව් හා ඒඑෆ්එල්-සීඅයිඕට අනුබද්ධිත අනෙකුත් වෘත්තීය සමිතිවලට එරෙහි කැරලිකාරී නැගී සිටීමක ස්වරූපය අත් කරගනිමින් තිබෙන, කම්කරු-පන්තික සටන්කාමීත්වයේ පුනර්ජීවනයක නවතම ප්‍රකාශනය යි. මෑත මාස කිහිපය තුල, පලල් පරාසයක කම්කරුවෝ මෙම සංවිධාන විවෘතව ප්‍රතික්ෂේප කර තිබේ. ඇලබාමාහි දහසකට අධික පතල් කම්කරුවෝ, වොරියර් මෙට් කෝල් සමාගමට එරෙහිව අප්‍රේල් 1දා පටන් වැඩ වර්ජනයක යෙදී සිටිති. ඇමරිකාවේ එක්සත් පතල් කම්කරු සමිතිය (යූඑම්ඩබ්ලිව්ඒ) විසින් සාකච්ඡා කොට එලැඹෙන ලද පස්-අවුරුදු තාවකාලික ගිවිසුම, එම කම්කරුවන් විසින් පරාජය කරනු ලැබුවේ විස්මය ජනක වූ 1,600ට 45ක පරතරයකිනි.

මෙම සංවිධාන සැබෑවට ම කවරක් ද යන්න කම්කරුවෝ දැකගනිමින් සිටිති: එනම්, ඒවා වනාහි, නමට පමනක් “වෘත්තීය සමිති” වන අතර ම, තමන් නියෝජනය කරනවා යයි කියන කම්කරුවන් කෙරෙහි අවඥාවෙන් පමනක් බලන, ඉලක්කම් හයේ වැටුප් ලබන, චෝදනාවට ලක්කල නො හැකි ඉහල-මධ්‍යම පාන්තික නිලධරයන් විසින් ධාවනය කරනු ලබන, කම්කරු-විරෝධී ආයතනයන් බව යි. කම්කරු පන්තියේ ආරක්ෂක සංවිධාන ලෙස ක්‍රියාත්මක නො වන මෙම “වෘත්තීය සමිති,” කම්කරු පන්තිය සූරාකෑමේ දී සංගතවල ඍජු හා උද්‍යෝගීමත් සහායකයන් ලෙස ක්‍රියාත්මක වෙති.

සංගත හා රාජ්‍යය සමග වෘත්තීය සමිතිවල ඒකාබද්ධ වීම, එහි වඩාත් ම දුෂ්ට රූපාකාරය අත්කරගෙන ඇත්තේ, කම්හල්වල දී හා විශේෂයෙන් ම පසුගිය මාස 15 තුල එක්සත් ජනපදයේ ජීවිත 600,000ක් බිලිගෙන ඇති වසංගතයක් සමයේ, කම්හල්, අනෙකුත් අනාරක්ෂිත වැඩපොලවල් සහ විශේෂයෙන්ම පාසල් තුල දී කම්කරුවන් ආසාදනයෙන් ආරක්ෂා කිරීම එම සමිති විසින් ප්‍රතික්ෂේප කිරීම තුල යි. රැන්ඩි වයින්ගාටන් (ඇගේ වාර්ෂික වැටුප ඩොලර් 500,000කි) විසින් නායකත්වය දෙන ගුරු වෘත්තීය සමිතිය, අන්තරායදායක “ආපසු වැඩ කරා” (එනම්, රංචු ප්‍රතිශක්තිය) උද්ඝෝෂනයෙහි පෙරමුනේ ම සිට ඇත.

ඓතිහාසික පසුබිම

වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන්ගේ කැරැල්ලේ හා සාමාන්‍ය කම්කරුවන් අතර වැඩෙන සටන්කාමී රැල්ලෙහි අර්ථභාරය සම්පූර්නයෙන් වටහාගත හැක්කේ, එය පලල් ඓතිහාසික සන්දර්භය තුල පිහිටුවීමෙනි.

එලඹෙන අගෝස්තු 3දා, වෘත්තීය ගුවන් ගමන් පාලක සංවිධානයේ (පැට්කෝ) වැඩ වර්ජනය ඇරඹීමෙන්, හතලිස්වන සංවත්සරය සලකුනු කරයි. ඩිමොක්‍රටික් ජනාධිපති ජිමී කාටර්ගේ හිටපු පරිපාලනය විසින් සූදානම් කර තිබුනු ක්‍රියා මාර්ගයක් අනුව ක්‍රියා කල ජනාධිපති රොනල්ඩ් රීගන්, වැඩ වර්ජනය ඇරැඹී පැය කිහිපයක් ඇතුලත වහා ම ආපසු වැඩට වාර්තා කරන්නැයි වර්ජකයන්ට නියෝග කලේ ය. ඔහුගේ නියෝගයට අවනත නො වන ගුවන් ගමන් පාලකයන් නෙරපන බවට ඔහු තර්ජනය කලේ ය. අතිමහත් බහුතර වර්ජකයෝ රීගන්ව ප්‍රතික්ෂේප කල හ. අගෝස්තු 5දා, රීගන් පරිපාලනය පැට්කෝ සාමාජිකයන් 11,345කගේ සේවය අවසන් කිරීම කරා ඉදිරියට ගියේ ය. සමිතියේ ප්‍රමුඛ සටන්කාමීන් අත්අඩංගුවට ගන්නා ලද අතර, වර්ජනයට එලැඹීම හේතුවෙන් අවසානයේ සිරගත කරනු ලැබී ය.

වෘත්තීය සමිතියක් හා සාමාන්‍ය කම්කරුවන් මත මධ්‍යම ආන්ඩුවක් එල්ල කල ඓතිහාසිකව පෙර නුවූ විරූ මෙම ප්‍රහාරය සාර්ථක වූයේ, පැට්කෝහි ආරක්ෂාවට ඉදිරිපත් වීම ඒඑෆ්එල්-සීඅයිඕව විසින් එක‍හෙලා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. පැට්කෝ සමිතිය විනාශ කිරීම වැලැක්වීමට තමන් ක්‍රියා නො කරන බවට ඒඑෆ්එල්-සීඅයිඕ වෙතින් රීගන් පරිපාලනයට සහතිකයක් ලැබූනු බව, පැට්කෝ සටන්කාමීන් විසින් පලල් ව හා නිවැරදි ව උපකල්පනය කරගනු ලැබිනි.

ඒඑෆ්එල්-සීඅයිඕහි ද්‍රෝහීත්වයට හා බියගුලුභාවයට එරෙහි වූ (සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ) වර්කර්ස් ලීගය, පැට්කෝ වැඩ වර්ජනයේ දී පරදුවට තැබී තිබුනේ කවරක් ද යන්න පැහැදිලි කලේ ය. (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පෙරටුගාමියා වූ) බුලටින් පත්‍රයේ 1981 අගෝස්තු 13දා ප්‍රකාශයක් පලකල වර්කර්ස් ලීගය මෙසේ සඳහන් කලේ ය:

වෘත්තීය ගුවන් ගමන් පාලක සංවිධානයේ සාමාජිකයන් 13,000ක් විසින් දියත් කල වැඩ වර්ජනය, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අරගලයෙහි ඓතිහාසික සන්ධිස්ථානයකි. ...

පැට්කෝ වැඩ වර්ජනයෙන් සියල්ලට ඉහලින් එක් දේශපාලන නිගමනයක් උපුටා ගත යුතු ය: අපසරනයක් හෝ ව්‍යතිරේකයක් වනවා වෙනුවට, එක්සත් ජනපදය තුල පන්ති සබඳතාවන්ගේ සැබෑ සාරය එමගින් හෙලිදරව් කරයි.

සමාජ සේවා, රැකියා, ආරක්ෂක රෙගුලාසි, ජීවන තත්ත්වයන්, හා දැන් වෘත්තීය සමිතිගත වීමේ අයිතිය යනාදී කම්කරුවන්ගේ සියලු මූලික අයිතීන්ට පාලක පන්තිය පහර දෙමින් සිටින අතර, මෙම ප්‍රහාර බලාත්මක කිරීම සඳහා, ධනපති රාජ්‍යයේ සියලු මර්දනකාරී බලයන් හා ප්‍රචන්ඩත්වය සේවයට කැඳවා ගනිමින් සිටියි. (පැට්කෝ වැඩ වර්ජනය: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්)

වර්කර්ස් ලීගය තීරනාත්මක කරුනු හතරක් ගෙනහැර දැක්වී ය.

පලමුව, රීගන් පරිපාලනයේ ප්‍රචන්ඩ ක්‍රියාවෙහි ඉලක්කය වූයේ, එක්සත් ජනපදය තුල පන්ති සබඳතාවල මූලික ප්‍රතිව්‍යුහකරනයක් - එනම්, කම්කරු පන්තිය සූරාකෑමේ දැවැන්ත ඉහල දැමීමක් සඳහා හොඳ ම කොන්දේසි නිර්මානය කිරීම හා ධනය පාලක ප්‍රභූව වෙත මාරු කිරීම - ක්‍රියාත්මක කිරීම යි. පැට්කෝ සමිතිය විනාශ කිරීම, සංගත විසින් කම්කරු පන්තියේ සියලු කොටස්වලට එරෙහිව ප්‍රධාන ප්‍රහාරයක් දියත් කිරීම සඳහා වූ සංඥාවක් විය.

දෙවනුව, කම්කරුවන්ට රීගන් පරිපාලනය එල්ල කල ප්‍රහාරය, එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික ඛාදනය ආපසු හැරවීම සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික අවශ්‍යතාවන්ට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රතිරෝධය දුර්වල කිරීම ඉලක්ක කරගත් බව එය පැහැදිලි කලේ ය.

පැට්කෝ සාමාජිකත්වයට එල්ල කල ප්‍රහාරය, රීගන්ගේ ගෝලීය ප්‍රතිවිප්ලවයේ පිලිවෙතෙන් වෙන් කල නො හැක. ඇමරිකානු ධනවාදයට තව දුරටත් පොත් තැබීම් දෙකක් කල නො හැකි ය. දේශපාලනිකව කතා කරන්නේනම්, රට තුල පන්ති සම්මුතිය පවත්වාගෙන යන අතර, රටින් පිටත දී, ප්‍රචන්ඩ ප්‍රතිවිප්ලවය ලුහුබැඳීම සහ මිලිටරි හා ෆැසිස්ට් ආඥාදායකත්වයන් ස්ථාපිත කිරීමේ හා ඒවාට සහයෝගය දීමේ පිලිවෙතක් ‌අනුගමනය කිරීමේ හැකියාවක් නොමැත.

තෙවනුව, ඒඑෆ්එල්-සීඅයිඕ, යූඒඩබ්ලිව්, ටීම්ස්ටර්ස් හා අනෙකුත් කම්කරු සංවිධාන ධනවාදයට හා එහි දේශපාලන පක්ෂ දෙකට යටත් වීම, කම්කරු පන්තිය ප්‍රබල ලෙස දුර්වල කරමින් එක් පරාජයකට පසු තවත් පරාජයකට තුඩුදෙනු ඇතැයි, වර්කර්ස් ලීගය අනතුරු ඇඟවී ය.

සිව්වනුව, කම්කරු පන්තිය ආරක්ෂා කිරීමට, සමාජවාදී ඉදිරි දර්ශනයක පදනම මත, නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය විය. වර්කර්ස් ලීගය මෙසේ අනතුරු ඇඟවී ය:

කම්කරු නිලධරය පාවාදෙනු ඇති අතර, දැන් ද පාවාදෙමින් සිටියි. මෙම පාවාදීම්වලට එරෙහි අරගලය හුදෙක් ම සටන්කාමීත්වය මත පදනම් කල නො හැකි අතර, ආන්ඩුවට එරෙහි අරගලය සඳහා දේශපාලන මූලෝපායක් අවශ්‍ය කරයි.

පැට්කෝ වැඩ වර්ජනය පාවාදීමේ හා පරාජය කිරීමේ ජාතික හා ජාත්‍යන්තර විපාක පිලිබඳව වර්කර්ස් ලීගය සිදුකල විශ්ලේෂනය, ඉන්පසු සිදුවීම් මගින් සනාථ කෙරුනි. එක්සත් ජනපදය ඇතුලත, පැට්කෝ සමිතිය විනාශ කිරීමෙන් පසු වැඩ වර්ජන බිඳීම් රැල්ලක් ම - වඩාත් ම කුප්‍රකට ඒවා පමනක් නම් කරන්නේ නම්, කොන්ටිනන්ටල් එයාර්ලයින්ස්, ෆෙල්ප්ස් ඩොජ් තඹ පතල්, හෝමෙල් මස් සැකසුම් කම්හල් හා ඒටී මැසී ගල් අඟුරු පතල් - පැමිනි අතර, ඒවා ඇමරිකානු කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් විනාශකාරී ලෙස ඛාදනය වීමට හේතු විය.

රීගන් විසින් පැට්කෝව විනාශ කිරීම, එක්සත් ජනපදයේ දේශසීමාවන්ගෙන් ඔබ්බේ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීම සඳහා ලොව පුරා සියලු ධනපති ආන්ඩු දිරිමත් කලේ ය. 1984-85 වැඩ වර්ජනයේ දී පතල් කම්කරුවන් ම්ලේච්ඡ ලෙස පරාජය කිරීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි මාගරට් තැචර් අනුප්‍රානය ලබාගත්තේ රීගන්ගේ ක්‍රියාවන්ගෙනි.

එක්සත් ජනපදය තුල කම්කරු පන්තියේ තත්ත්වය ආන්තිකව දුර්වල වීම, ධනපති-ගැති ප්‍රචාරනයට නව විශ්වාසයක් සම්පාදනය කල අතර, සෝවියට් සංගමයේ, නැගෙනහිර යුරෝපයේ හා චීනයේ ප්‍රතිගාමී ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයන්ට, 1989 හා 1991 අතර ධනවාදය පුනස්ථාපනය කිරීම සඳහා හැකියාව ලබා දුන්, සමාජ හා දේශපාලන දිරියබල සිඳීමේ වාතාවරනයට ඉමහත් ලෙස දායක විය.

1980 ගනන්වල පරාජයෙන් පසුව එලැඹුනු දශක තුල, එක්සත් ජනපදය තුල වැඩ වර්ජන මුලුමනින් ම පාහේ නො පෙනී ගියේ ය. ශත වර්ෂයකටත් අධික කාලයක් පුරා, ලෝකයේ වඩාත් ම ප්‍රචන්ඩ කම්කරු සටන් සඳහා සාක්ෂි දරා තිබුනු රටක් තුල, පන්ති-සවිඥානික අරගලයේ සියලු ම ප්‍රකාශනයන් තථ්‍ය වශයෙන් අතුරුදහන් විය.

මෙම ක්‍රියාවලියේ දී, වෘත්තීය සමිති නිලධරය කටයුතු කලේ, ආන්ඩුවේ හා සංගතවල අපසහායකයන් ලෙස යි. පන්ති අරගලය සමග කිසිදු සම්බන්ධයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කල එය, ආන්ඩුව-සංගත-වෘත්තීය සමිති ඒකාබද්ධතාවේ ක්‍රියා මාර්ගය මුලුමනින් වැලඳ ගනිමින්, කම්කරුවන්ගේ අවශ්‍යතා අවම මට්ටමින් වත් ආරක්ෂා කිරීමට ඉහලින් ලාභවලට නිරපේක්ෂ ප්‍රමුඛත්වය දීම පිලිගත්තේ ය.

යතා භාවිතයේ දී, මෙම සංවිධාන වෘත්තීය සමිති වීම නතර වුනි. වෘත්තීය සමිතියක් බව කියාපෑ සංවිධානයක සැබෑ සමාජ ස්වභාවය නීර්නය කල නිර්නායක, 1937 දී ට්‍රොට්ස්කි විසින් සඳහන් කලේ ය.

වෘත්තීය සමිතියක් වැනි කම්කරුවන්ගේ සංවිධානයක ස්වභාවය නීර්නය කරනු ලබන්නේ, ජාතික ආදායමෙහි බෙදී යාමට එය දක්වන සබඳතාවෙනි. ග්‍රීන් (එවකට ඇමරිකානු කම්කරු ෆෙඩරේෂනයේ සභාපති) සහ සමාගම, නිෂ්පාදන මාධ්‍යවල දී පුද්ගලික දේපොල අයිතීන් ආරක්ෂා කිරීම, ඔවුන් ධනපති යයි විලක්ෂනය කරයි. මෙම මහත්වරු ඊට අමතර ව, කම්කරුවන්ගේ පාර්ශවයෙන් පැමිනෙන ප්‍රහාරවලින් ධනේශ්වරයේ ආදායම ආරක්ෂා කල යුතු ද; වැඩ වර්ජනවලට, වැටුප් ඉහල දැමීම්වලට, රැකියා විරහිතයන්ට උදව් කිරීමට එරෙහිව ඔවුන් අරගලයක් ගෙන යා යුතු ද; එවිට, අපට ඉතිරි වනු ඇත්තේ කබොලක් මිස වෘත්තීය සමිතියක් නොවේ.( කම්කරු රාජ්‍යයකුත් නො වේ, ධනපති රාජ්‍යයකුත් නො වේ?)

වැඩ වර්ජනවලට, වැටුප් ඉහල දැමීමට හා රැකියා විරහිතයන්ට උදව් කිරීම ආදියට විරුද්ධ වීම යනාදී ට්‍රොට්ස්කි විසින් සඳහන් කල නිර්නායකයන් මත පදනම් ව, ඒඑෆ්එල්-සීඅයිඕ හා යූඒඩබ්ලිව් වැනි එයට අනුබද්ධිත සංවිධාන වෘත්තීය සමිති ලෙස යුක්ති යුක්තව විස්තර කරනු ලැබිය නො හැක.

ධනවාදයේ ගෝලීයකරනය සහ කම්කරු පන්තියේ නව නැගීම

පව් පලදීම වැනි දෙයක් ඉතිහාසයේ දක්නට ඇත. පසුගිය අවුරුදු 40 තිස්සේ කම්කරු පන්තියට එරෙහිව ධනවාදය විසින් සිදු කරන ලද සියලු අපරාධ, එනම්, කම්කරු පන්තියට පහර දී විශාල වශයෙන් තෙමේ ධනවත් වීමේ ක්‍රියාවලිය තුලදී පාලක පන්තිය, ධනවාදී නිෂ්පාදන ක්‍රමයේ දැවැන්ත ව්‍යාප්තියක් හා ඒකාග්‍රවීමක් අධීක්ෂනය කර තිබේ. විද්‍යාවේ හා තාක්‍ෂනයේ දැවැන්ත දියුනුව මගින් ධාවිත මෙම ක්‍රියාවලියේ වඩාත්ම වැදගත් හා විප්ලවීය ප්‍රතිඵලය, ගෝලීය කම්කරු පන්තියේ දැවැන්ත වර්ධනයයි.

එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ධනපති පන්තියට මෙම ක්‍රියාවලියේ ආරම්භක අවධීන් තම වාසිය තකා ගසාකෑමට හැකි වී තිබේ. ගෝලීය පරිමානයෙන් නිෂ්පාදනය සංවිධානය කිරීමේදී ධනපතියන්ට එක් රටක කම්කරුවන් තවත් රටක කම්කරුවන්ට එදිරිව පෙල ගැස්වීමට හැකි විය. යල්පැනගිය නිරර්ථක ජාතිකවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ පවත්නා වෘත්තීය සමිති, හාම්පුතුන්ගේ ජාත්‍යන්තර මූලෝපායට හා උපායයන්ට අභිමුඛ වූ කල්හි, ඵලදායී ප්‍රති-මූලෝපායක් වර්ධනය කිරීමට අසමත් වූහ. සමිති නිලධරයන්ගේ පෞද්ගලික බියගුලුකමට හා දූෂිතකමට වඩා මෙම වෘත්තීය සමිතිවල බෙලහීනකමට, ඒවායේ ජාතික ප්‍රාදේශීයවාදය ප්‍රමුඛ හේතුකාරකයක් විය.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය කෙතරම් දුෂ්කර, දිග්ගැස්සුනු හා වේදනාකාරී වුවත්, තමා බිලියන ගනනක් ජනතාවගෙන් සමන්විත දැවැන්ත ගෝලීය සමාජ බලවේගයක කොටසක් බව, ඇමරිකානු කම්කරු පන්තිය වඩාත් පැහැදිලිව හඳුනා ගනිමින් සිටී. එපමනක් නොව මෑත දශක කිහිපය තුල නැඟී ආ සන්නිවේදන තාක්‍ෂනය, සිය ද්‍රෝහී නායකයින් සපයන වැරදි තොරතුරු සහ ඇදබාන අමූලික බොරු පිලිබඳව දැනගත හැකි වටිනා තොරතුරු වෙත කම්කරුවන්ට ප්‍රවේශය ලබා දී තිබේ. මෙම තාක්‍ෂනය, පන්ති අරගල සංවිධානයේදී මෙන්ම ඒවායේ යෙදීමේදී 

කම්කරුවන්ට බලගතු නව අවි සම්පාදනය කොට ඇත. ප්‍රාදේශීය, කලාපීය හා ජාතික වාතාවරනයේදී පමනක් නොව ඉන් ඔබ්බේදී පවා එකිනෙකා හා සම්බන්ධ වීමට ද ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීමට ද දැන් ඔවුන්ට හැකිය. කම්කරුවන්ට ගෝලීය පරිමානයෙන් සම්බන්ධතා ඇති කර ගැනීමට, තොරතුරු හුවමාරු කර ගැනීමට සහ ක්‍රියාවන් සඳහා ආරම්භකත්ව ගැනීමට දැන් හැකියාව ලැබී තිබේ.

ස්වීඩනයේ ගොතන්බර්ග් හි මූලස්ථානය පිහිටුවා ගෙන සිටින වොල්වෝ සමාගම, සෑම මහද්වීපයකම ව්‍යාප්තව ඇති බවත්, විවිධ රටවල් 18 ක නිෂ්පාදන මධ්‍යස්ථානයන්හි කම්කරුවන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් රැකියාවල යොදවා ඇති බවත්, වර්ජිනියාවේ ඩබ්ලින්හි වොල්වෝ කම්කරුවන් හොඳින් දනී. මෙම මධ්‍යස්ථාන බොහොමයක් එකිනෙක මත රඳා පවතින අතර, එක් ශාඛාවක සිට අනෙකට නිෂ්පාදන ගලා යාම අවශ්‍ය වේ. සමාගම් වලට ප්‍රතිරෝධය දැක්වීම නිරර්ථක යයි නිලධරය කරන ප්‍රකාශයන්ට පටහැනිව, ගෝලීයව සංවිධානය කර ක්‍රියාත්මක කලහොත්  ඔවුන්ගේ විභව බලය අතිමහත් බව කම්කරුවන් වටහා ගෙන ඇත.

එබැවින් වොල්වෝ කම්කරුවන්ට පමනක් නොව කම්කරු පන්තියට සමස්ත වශයෙන් මුනගස්වා ඇති තීරනාත්මක ප්‍රශ්නය, ඉදිරිදර්ශනය, ක්‍රියාමාර්ගය හා නායකත්වයයි.

සමාජවාදී සමානතා පක්ෂය සහ සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සඳහා සටන

පවත්නා වෘත්තීය සමිති සහ ඒවා පවත්වාගෙන යන නිලධරයන් කෙරෙහි, කම්කරු පන්තියේ පුලුල් කොටස් තුල වෙන කවරදාටත් වඩා   වෛරය මුසු, වැඩෙන පිලිකුලක් ඇත. වැඩ වර්ජනවල දිශාවනතිය සහ තීන්දු තීරන ගැනීමේ ක්‍රියාවලිය, තම වාසිය තකන නිලධර පරපෝෂිතයින්ගේ පාලනයෙන් ඉවත් නොකර, සංගතවලට එරෙහි කිසිදු අරගලයක් සාර්ථක නොවන බව කම්කරුවෝ දනිති. සංගත ගැති වෘත්තීය සමිති පර්යාය තුල, අල්ලසින් තර වන ඒජන්තයින්ට හා සංගත යන දෙපාර්ශවයටම එරෙහිව පෙරමුනු දෙකක අරගලයක් කිරීමට ඔවුන්ට බල කෙරී ඇති බව ඔවුහු වටහා ගනිති.

පන්ති අරගලයේ වෛෂයික වර්ධනයට හා කම්කරුවන්ගේ වැඩෙන සටන්කාමීත්වයට ප්‍රතිචාර වශයෙන් සමාජවාදී සමානතා පක්ෂය, ගල් අඟුරු හා මෝටර් රථ කම්කරුවන්ගේ සිට ගුරුවරුන්, බස් රියදුරන් සහ ලිපිකරුවන් ඇතුලු රට පුරා කම්හල් හා වැඩබ්ම්වල කම්කරු පන්තියේ විවිධ කොටස් අතර ඉවසිලිවන්තව හා නොනවත්වා ක්‍රියාත්මක වෙමින්, සංගත ගැති නිලධරයේ පාලනයෙන් පිටස්තර සහ ස්වාධීන සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම පිනිස කම්කරුවන්ට සහාය වීමේ නිරතව සිටියි. 

සමාජවාදී සමානතා පක්ෂය මෙම කටයුතෙහි යෙදෙන්නේ ජාත්‍යන්තර මූලෝපායක පදනම මත ය.

එක්සත් ජනපදය තුල පන්ති අරගලයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් දියත් කිරීමට මුලපුරන ලද, සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (සාකක්‍රිජාකස ) පිහිටුවීමට අප සටන් වදින්නේ මේ හේතුව නිසා ය. .

2021 අප්‍රියෙල් 23 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ජාත්‍යන්තර කමිටු ප්‍රකාශයෙන් සාකක්‍රිජාකස හි අරමුනු නිරවද්‍යව ගෙනහැර දැක්වින:

"ජාත්‍යන්තර පරිමානයකින් සේවා ස්ථානවල, පාසැල්වල හා කම්හල්වල කම්කරුවන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී හා සටන්කාමී නව ආරක සංවිධාන ගොඩනැඟීමට (ක්‍රිකජාස) වැඩ කරනු ඇත. කම්කරු පන්තිය සටනට සූදානම්ය. එහෙත් ප්‍රතිරෝධයේ සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ කරන ප්‍රතිගාමී නිලධාරිමය සංවිධාන විසින් ඒවාට විලංඟු දමා තිබේ.

කම්කරුවන්ට ආරක්ෂාව සපයන ලෙස , අනාරක්ෂිත ආයතන හා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමන ලෙස, වෛරසය පැතිරීම නතර කිරීමට අවශ්‍ය අනෙකුත් හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම සඳහා එක්සත් අරගලයක් සංවිධානය කරනුවස් තොරතුරු හුවමාරු කර ගැනීමට ලොව පුරා කම්කරුවන්ට ක්‍රිකජාස මගින් මාධ්‍ය සම්පාදනය කෙරෙනු ඇත.  

වසංගතය මැඬලිය හැකි එකම ක්‍රමය වන, මෙම සන්ධානය, ගෝලීය පරිමානයෙන් ගොඩනැඟීමට හජාජාක මූලිකත්වය ගනියි. හතරවන ජාත්‍යන්තරයේ හා සමාජවාදී සමානතා පක්ෂවල දේශපාලන ආධාරය ලබන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය, කම්කරු පන්තිය එකිනෙකා සමඟ කා කෙටවීමේ හා භේද කිරීමේ යෙදී සිටින, ධනපති ආන්ඩු වලත්, ජාතික, වාර්ගික ස්වෝත්තමවාදී හා අනන්‍යතා දේශපාලනයේ අනේකවිධ වෙස්ගත් ප්‍රතිගාමී දේශකයන්ගේත් සියලු උත්සාහයන්ට එරෙහිව, කම්කරුවන් ලෝක පරිමාන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් කරනු ඇත. 

ස්වාභාවිකවම කම්කරුවන් මුහුන දෙන කොන්දේසි කලාපයෙන් කලාපයට හා රටින් රටට වෙනස් වන අතර, මේවා උපායන් තෝරා ගැනීම කෙරේ බලපෑ හැකිය. එහෙත් සෑම රටකම පවත්නා නිලධර වෘත්තීය සමිති, සංස්ථාගත පොලිස් බලකායක් ලෙස ක්‍රියාත්මක වන අතර, ඒවා වර්ධනය වන මහජන ප්‍රතිරෝධයට එරෙහිව පාලක ප්‍රභූන්ගේ සහ ඔවුන්ගේ ආන්ඩුවල ව්‍යාපාරික හා මූල්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨානකරගෙන සිටින බව අවිවාදිත සත්‍යයකි.

මහජන අරගල සඳහා නව මාවත් නිර්මානය කල යුතුය. වෘත්තීය සමිති සංවිධානවල පරිහානිය අදට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවති, මීට වසර 80 කටත් පමන පෙර, ලෝක සමාජවාදී  විප්ලවයේ ප්‍රමුඛතම මූලෝපායඥයා වූ ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලියා ඇත: හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යය, "වෘත්තීය සමිතිවල ගතානුගතික පර්යාය සමඟ සෘජු බිඳීමක් හමුවේ පවා නොපැකිලෙන, ධනේශ්වර සමාජයට එරෙහි මහජන අරගලයේ කර්තව්‍යයන්ට වඩාත් සමීපව අනුරූපව කටයුතු කරන්නාවූ ස්වාධීන, සටන්කාමී සංවිධානයන් හැකි සෑම අවස්ථාවකදීම නිර්මානය කිරීමයි. ”

ගෝලීය වශයෙන් අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලය සංවර්ධනය කිරීමේ සටන වෘත්තීය සමිති පවතින කර්මාන්තශාලා, පාසල් සහ සේවා ස්ථානවලට පමනක් සීමා නොවේ. ඇත්ත වශයෙන්ම, වර්තමාන වැඩබිම් වලින් අති බහුතරයක් සමිතිගත වී නැත. මෙම සමාජ සත්‍යතාවයෙන් අදහස් වන්නේ, අසංඛ්‍ය සේවා ස්ථානවල ප්‍රායෝගික සංවිධානයේ ආරම්භක හා එකම සංවිධාන රූපය ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු මතුවනු ඇති බවයි.

මෙම කමිටුවල වර්ධනය අනිවාර්යයෙන්ම තරුන හා රැකියා විරහිතයන් ඇතුලු කම්කරු පන්තියේ පුලුල් කොටස්වල සහාය දිනා ගනු ඇත."

කම්කරු පන්තියේ සටන්කාමීත්වයට, පුනර්ජීවනයට හේතුව,  කම්කරුවන් ඔවුන්ගේ කර්මාන්තශාලා සහ සේවා ස්ථාන තුල මුහුන දෙන කොන්දේසිම පමනක් නොවේ. 2020 ආරම්භයේ පටන් මුලු මහත් කම්කරු පන්තියම ජීවත් වූයේ COVID-19 වසංගතයේ බියකරු සිහිනය තුලය. පවුලේ සාමාජිකයන්ගේ, මිතුරන්ගේ, වැඩ සහකරුවන්ගේ, සගයන්ගේ අසනීප හා මරන පවා ඔවුන් දැක තිබේ. එක්සත් ජනපද ආන්ඩුවේ නොහැකියාව සහ නොතැකීම, දේශපාලන පක්ෂ දෙකේම තේරී පත් වූ නිලධාරීන් රෝගය පැතිරීම වැලැක්වීම සහ ජීවිත බේරා ගැනීම සඳහා ඵලදායී පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ සාමාන්‍ය වැඩකරන ජනතාව නිරෝගීව සිටීමට හා දිවි ගලවා ගැනීමට අරගල කරන අතර කුඩා හා ආත්මාර්ථකාමී ප්‍රභූ පැලැන්තියක් අත අශ්ලීල මට්ටම් වලින් ධනය ගෙඩගැසීම කම්කරුවන් දැක තිබේ. 

තවද අර්බුදයේ ජාත්‍යන්තර මානයන් පිලිබඳව සහ වසංගතය සෑම රටකින්ම තුරන් කලහොත් මිස එක් රටක් නිශ්චිතව හා ආරක්ෂිතව නොපවතින බව පිලිබඳව, වසංගතය මගින් ඔවුන්ව දැනුවත් කර ඇත.

ඇමරිකානු කම්කරු පන්තිය විප්ලවයට බිය නොවේ. එසේම එය සමාජවාදයට විරුද්ධ නැත. විසඳුමක් ලෙස ඉදිරිපත් කරන්නේ කුමක්ද සහ එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න ඔවුන් හුදෙක් තේරුම් ගැනීම අවශ්‍යය. පලමුවන ලෝක සංග්‍රාමය පෙර පරම්පරාවේ කම්කරුවන් රැඩිකලීකරනය කර, ඔවුන් සමාජවාදයට යොමු කලා සේම සමකාලීන සමාජයේ අර්බුදය තීව්‍ර කර ඇති වසංගතය, ධනපති සමාජයේ පැහැදිලි අසාර්ථකත්වයට හා අයුක්තියට නව පිලිතුරු සෙවීමේ අවශ්‍යතාව කම්කරු පන්තියට ඒත්තු ගන්වා තිබේ. .

එක්සත් ජනපදය පුරා පැතිරෙමින් පවතින, කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගත් සමාජ සටන්කාමීත්වයේ නව රැල්ලේ අත්‍යවශ්‍ය අන්තර්ගතය මෙයයි.

Loading