“අහ්නාෆ් ජසීම් කවියා නිදහස්කර ගැනීමේ රැස්වීමට සහභාගි වෙමු!”: ජසිම්ගේ සොහොයුරාගෙන් “ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුදෙනාට” කැඳවුමක්

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අහ්නාෆ් ජසීම් තරුන කවියා නිදහස් කරනු!” යන මාතෘකාව යටතේ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) විසින් සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීමක් අද (ජූලි 18) පස්වරු 7ට පැවැත්වේ.

විසි හය හැවිරිදි ජසීම් කවියා, වසරකට වැඩි කාලයක් මුලුල්ලේ රුදුරු පීටීඒ විධිවිධාන යටතේ අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින්නේ ඔහුට එරෙහි ව විධිමත් චෝදනා ගොනු කිරීමකින් පවා තොරවය. ‘සිසුන්ට වර්ගවාදය හා අන්තවාදය ඉගැන්වීම සහ ඒ පිලිබඳ පොත් පල කිරීම’ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) ඔහුට එරෙහි ව ව්‍යාජ චෝදනා නඟා තිබේ. ටීඅයිඩී පරීක්ෂනයට පදනම් ව ඇත්තේ ඔහු විසින් නවරසම් (රස නවය) යන මාතෘකාව යටතේ 2017 දී ප්‍රකාශයට පත් කෙරුනු කාව්‍ය සංග්‍රහයකි. එය කිසිදු අධිකරනයක් මඟින් තහනම් කරනු ලැබ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් කරා වේගයෙන් යන ගමනේ දී මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එරෙහි ව එල්ල කරන ප්‍රහාරයේ කොටසක් ලෙස කලාවේ හා ප්‍රකාශනයේ නිදහස තලා දමමින් සිටී. එයට සමගාමී ව, තම ප්‍රහාර වලට එරෙහි ව වැඩෙන පංති අරගල දුබල කරනු වස්, කම්කරු පංතිය වාර්ගික රේඛා ඔස්සේ භේද කිරීමේ, මුස්ලිම් සහ දෙමල විරෝධී දක්ෂිනාංශික ප්‍රකෝපකරනයක්ද ආන්ඩුව ඉස්මත්තට ගෙන තිබේ. ජසීම්ට එරෙහි දඩයම මෙම ද්විත්ව ප්‍රහාරයේ කොටසකි.

මෙහි පහත පලවන්නේ, ජසීම් නිදහස්කර ගැනීම සඳහා කප්‍රනිආක ගෙනයන අරගලයට සහයෝගය දක්වන ජසීම් ගේ සොහොයුරු අෆ්හැම් ජසීම් සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා විසින් උක්ත රැස්වීමට සහභාගිවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාට කල ආරාධනාවන් ය.

***

අෆ්හැම් ජසීම් (අහ්නාෆ්ගේ සහෝදරයා)

මගේ සහෝදරයා වන අහනාෆ් ජසීම් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබ, දැන් වසරකුත් මාසයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින අතර, මින් මම, මගේ සහෝදරයා, මව පියා ඇතුලු පවුල් සියලු දෙනා ම ඛේදජනක අඩියකට පත් ව සිටිමු.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුලී කම්කරුවන් බහුතරයක්, දිනෙන් දින ආහාර සහ වෙනත් කාරනා නිසා දුෂ්කරත්වයට පත් ව ජීවත් වෙති. එබඳු පවුලක් වන අපි ද එම දුෂ්කරතාවන්ට අමතර ව, මෙම අත් අඩංගුවට ගැනීම නිසා පවුල විසිරී නිදහසක් නොමැති ව ජීවත් වෙමු.

මගේ සහෝදරයා, නිශ්චිත කාරනාවක් සඳහන් නොකර ම අසාධාරන ලෙස අත් අඩංගුවට ගෙන වද බන්ධනයට ලක් කරනු ලැබුනි. මූලික අදහස් ප්‍රකාශ කිරීමේ හා ලිවීමේ නිදහසක් නොමැති ව ජීවත් වන මගේ සහෝදරයාට එරෙහි ව ක්‍රියාත්මක වන මෙම අපකීර්තිමත් නීතිය මට හෝ අන් ඕනෑ ම අයෙකුට එරෙහි ව අත්තනෝමතික ව ඕනෑ ම අවස්ථාවක ක්‍රියාත්මක කල හැකි ය.

එම නිසා කුමක් කල යුතු දැයි වටහා ගත නොහැකි ව සිටින අපේ පවුලේ අය වෙනුවෙන් මමත්, ඔබ සියලු දෙනාත් එකතු ව මින් මතු සමාජයට එරෙහි ව මෙ බඳු අත් අඩංගුවට ගැනීම් හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් නතර කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමට අපි කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන රැස්වීමට සහභාගී වෙමු. මෙම උද්ඝෝෂනය පෙරට ගෙන යාමට එක්වන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාට මම ආරාධනා කරමි.

ප්‍රියන්ත ෆොන්සේකා (නාට්‍ය අධ්‍යක්ෂ, පරිවර්තක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය):

සැකකරුවෙකු සම්බන්ධයෙන් කටයුතු කල යුතු නෛතික පටිපාටියක් තියෙන බව අපි දන්නවා. අහ්නාෆ් ජසීම් කවියා සම්බන්ධයෙන් ඒක නෙමෙයි මේ සිද්ද වෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂන අතර දී ඔහුව අත්අඩංගුවට අරගෙන, ජීවිත කාලයට ම ඔහු මානසික හා ශාරීරික වශයෙන් බිඳවැටෙන්න පුලුවන් විදිහට අතිදීර්ඝ කාලයක් ඔහුව රඳවාගෙන ඉන්නවා - ඔප්පු කරලා නැති දේවල් මත. ඒ වුනාට දැනටමත් ඔහුව වැරදිකාරයෙක් කරලා ඉවරයි. මේක අහද්දිත් ලොකු කම්පනයක් ඇති වෙන තත්වයක් තියෙන්නේ.

ප්‍රියන්ත ෆොන්සේකා (නාට්‍ය අධ්‍යක්ෂ, පරිවර්තක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය)

අහ්නාෆ් ජසීම් කවි ලියන්නේ දෙමල භාෂාවෙන්. ඒ නිසා මට ඔහු කියන දේවල් කෙලින් ම තේරෙන්නෙ නෑ. ඒත් මට මට හම්බ වුනා අහ්නාෆ් කවියාගේ කවිවල ඉංග්‍රීසි පරිවර්තන. මම උනන්දු වෙලා ඒවා සිංහල භාෂාවට පරිවර්තනය කරලා බැලුවා. මම ඒ ගැන පුවත්පතකට කොලමකුත් ලිව්වා. ඒ කවිවල තියෙන්නේ මනුෂ්‍යත්වය පිලිබඳ සංඥාවන් මිසක් මනුෂ්‍යත්වයට එරෙහිව සංඥාවක් නොවන බව පැහැදිලි යි.

ඒ වගේ ම මට වඩා හොඳින් කෙලින් ම දෙමල භාෂාවෙන් ඔහුගේ කවි කියවූ අය, මහාචාර්ය එම්. ඒ. නුහුමාන් වගේ අය ඒ ගැන සඳහන් කර තියෙන දේවලුත් මම කියෙව්වා. ඔවුන් කිසි කෙනෙක් පිළිගන්නෙ නැහැ මේ කවි කිසිම ආකාරයක “අන්තවාදයක්” ප්‍රචාරය කරන, සමාජයක් විනාශ කරන්න මුල් වෙන කවි කියලා.

මට අහ්නාෆ් සමඟ ලේ නෑකමක් තියෙනවා: ඒ පළමුවෙන් ම ඔහු මනුෂ්‍යයෙක් වීම නිසා. දෙවනුව, ඔහු සමාජයේ අපි හැමෝ ම සංවේදී වෙන කාරනා සම්බන්ධයෙන් කවි ලිවීම නිසා. ලලිත කලා අධ්‍යයන අංශයේ මම උගන්වන්නෙත් ඒ විදිහට ම මනුෂ්‍යත්වය පිලිබඳ කතා කරන ලලිත කලාවන් ගැන. ඒ නිසා මට පුලුවන්කමක් නැහැ මේ ගැන නිශ්ශබ්ද ව ඉන්න.

මේ සිදු වෙන දේ පිලිබඳ විශාල ගැටලුවක් තියෙනවා. මෙතන තියෙන්නේ විශාල වශයෙන් සඟවන ලද කලාපයක්. කවියා ගැන බොරු තොරතුරු විශාල වශයෙන් සම්පාදනය වෙන බව පේනවා. මේ කවියා එක පුද්ගලයෙක් වුනත්, මේ සිදුවීම එක තනි පුද්ගලයකුට සිදු වුනු දෙයක් නෙමෙයි, මේක විශාල සමාජ චිත්‍රයක කොටසක් බව මට පේනවා. මේක හෙට තව කෙනෙකුට වෙන්න පුලුවන්. අනිද්දා මට වෙන්න පුලුවන්. ඒ නිසා පුරවැසියෙක් විදිහටත් විශ්ව විද්‍යාල ගුරුවරයෙක් විදිහටත් මම ඔහුව නිදහස් කරන්න කියලා බල කරනවා. ඔහුට වහා ම සාධාරනය ඉෂ්ට විය යුතු යි.

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව, ප්‍රකාශන නිදහස ආරක්ෂා කිරීමේ අරගලය සඳහා ධනපති ක්‍රමයට එරෙහි එක ම ස්ථාවර සමාජ බලවේගය වන කම්කරු පන්තිය බලමුලුගැන්වීම ගැන කතා කරනවා. මම හිතන්නේ මේක හරියට ම හරි. මේ ගැන කිසි ම කොන්දේසියකින් තොර ව මම එකඟයි. මේ වෙනකොට මේ විදිහේ දේවල් ගොඩාක් සිද්ද වෙමින් තියෙනවා. කිසි කෙනෙකුට රජයේ පිලිවෙත් ගැන තමුන්ගේ මතය ප්‍රකාශ කරන්න බැරි විදිහට පහර දෙමින් ඉන්නවා.

ශ්‍රම ශක්තිය විකුනන, සියලු ම ආකාරයේ වැඩ කරන ජනතාවන්ට එරෙහි පහර දීමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් පතුරලා තියෙන අදහසක් තමයි කම්කරුවෝ කියන්නේ කියන්නේ ඉතා අසීරු වැඩ කීපයක් කරන සුළු පිරිසක් කියන එක. ඊට පස්සේ වඩ වඩාත් මධ්‍යම පන්තිය පැත්තට සමීප කම්කරු කොටස්වලට පුරුදු කරනවා අපි කම්කරුවෝ නෙවෙයි කියලා හිතාගන්න. මේ පටලැවිල්ල කරන්නේ අපි පාලක පන්තියට සම්බන්ධයි කියලා හිතවන්න. එතකොට සිදු වෙන්නේ මේ අයට -පාලක පන්තියට- මේ වැඩේ කරගෙන යන්න ලේසි වීම. කම්කරු පන්තිය ප්‍රකාශන නිදහස සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සම්බන්ධයෙන් ඉතා දරුනුත ම තත්වයකට මුහුන දෙමිනුයි ඉන්නේ. මේ අයිතීන් යලි තහවුරු කරගත යුතුයි.

මේ සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි. ක්‍රියාකාරී කමිටුව 18 වැනිදා අහ්නාෆ් කවියා නිදහස් කරගැනීමේ අරගලයේ කොටසක් හැටියට පවත්වන රැස්වීමට සහභාගිවන ලෙස මම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, සිසුසිසුවියන්ට, කලාකරුවන්ට හා කම්කරුවන්ට යෝජනා කරනවා.

***

රැස්වීමට ලියපදිංචි වීමට මෙම සබැඳිය මත ක්ලික් කරන්න.

Loading