ආන්ඩුව වසංගතය පිලිබඳ සෞඛ්‍ය සීමාවන් ලිහිල් කරද්දී, ලංකාව තුල ඩෙල්ටා ප්‍රභේදය පැතිර යයි

[මෙය Delta variant spreads in Sri Lanka, as government lifts health restrictions යන මැයෙන් 2021 ජූලි 22 වැනි දා පල වූ ලිපියේ පරිවර්තනයයි]

ඉහල ආසාදන හැකියාවක් සහිත කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයකින් ම සොයා ගත්ත ද සියලු සෞඛ්‍ය සීමා ලිහිල් කරන බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ජූලි 15දා නිවේදනය කලේ ය.

“අවිනිශ්චිත කාලයකට රට (අගුලු දමා) වසා තැබීම කිසිදු ආකාරයකින් යහපත් නොවේ” යයි හේරත් ඩේලි මිරර් පත්‍රයට කීවේ ය. “රෝගය පැතිර යාමට කිසිදු ඉඩක් නොතබා, සමාජ හා ආර්ථික කටයුතු” වල යෙදීමේ වගකීම “ජනතාව බාරගත යුතු” යයි ඔහු අවධාරනය කලේ ය. සීමාවන් නොමැති තතු තුල, කොවිඩ්-19 පැතිර යාම වැලැක්වීමට කම්කරුවන්ට හා දුගීන්ට කල හැක්කේ කුමක්දැයි පැහැදිලි කිරීමට ඔහු අසමත් විය.

වෛද්‍ය හේමන්ත හේරත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ [මූලාශ්‍රය: යූටියුබ්]

“ආර්ථික අරමුනු ලඟාකර ගැනීමේ” අවශ්‍යතාව ඔහු අවධාරනය කලේ, සීමා ලිහිල් කිරීම, “අවශ්‍ය මුදල් සොයා ගැනීමට” කරන්නක් බව- වෙනත් වචනවලින් කියතොත් මහජන සෞඛ්‍යයට ඉහලින් ලාභ හා ආර්ථිකය ප්‍රමුඛතාව ගන්නා බව- කියමිනි.

කොවිඩ්-19 ආසාදනවලින් සියයට 20ත් 30ත් අතර ප්‍රමානයක් ඩෙල්ටා බී. 1.617.2 ප්‍රභේදයට සම්බන්ධ බව හේරත් අඟහරුවාදා පිලිගත්තේ ය. කොලඹට අමතර ව, උතුරේ යාපනය හා කිලිනොච්චි ද දකුනේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලින් ද මෙම මාරාන්තික ප්‍රභේදය සොයාගෙන ඇත. ඉතා අඩු පීසීආර් පරීක්ෂන ප්‍රමානයක් පමනක් කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලැබෙන නිසා, වර්තමාන සංඛ්‍යාලේඛන නොමඟ යවන සුලු ය.

සියලු සෞඛ්‍ය සීමා ඉවත් කොට මහ ව්‍යාපාරිකයේ ආර්ථික කටයුතු බාධවකින් තොර ව පවත්වාගෙන යාමට හේරත් කරන කැඳවුම, ආන්ඩුවේ පිලිවෙත නිහීන ලෙස ප්‍රතිරාවය කරයි. ලොව පුරා සිය ධනපති හවුල්කාරයන් මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ද ලාභ පසුපස දිවීම, මානව ජීවිතවලට ඉහලින් තබා ගනියි.

සමුපකාර සමිති නියෝජිතයන්ගේ රැස්වීමක දී ජූලි 5දා කතා කල ජනාධිපති රාජපක්ෂ, “වසංගතයට මුහුන දීම අවශ්‍ය යි, එකම විසඳුම එන්නත්කරනය” යයි ද “රට විවෘත නො කර ආර්ථිකය පවත්වාගෙන යාමට නො හැකි” යයි ද සඳහන් කලේ ය.

එන්නත්කරන මධ්‍යස්ථානවල දැක ගත හැකි දිගු පෝලිම් [මූලාශ්‍රය: ෆේස්බුක්]

ගැඹුරු වන ආර්ථික ගැටලුවලට මුහුන දී සිටින රාජපක්ෂ පාලන තන්ත්‍රය, විදේශ නය ආපසු ගෙවීම සඳහා නිෂ්පාදනය හා අපනයන ඉහල දමා ගැනීමට මංමුලා සහගත උත්සාහයක යෙදී සිටියි.

ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටවල් 110කින් හමු වී ඇති අතර, නව හා වඩා ඉක්මනින් පැතිරෙන සුලු ප්‍රභේදය එලෙඹන කාල සීමාවේ දී ප්‍රමුඛ තර්ජනය බවට පත්වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එන්නත්කරනය ඉහල මට්ටමක පවතින රටවල් ද දැන් ඩෙල්ටා ප්‍රභේද ආසාදන ඉහල යාමක් අත්දකිමින් සිටිති.

සෞඛ්‍ය සීමාවන් ඉවත් කිරීම, අඩු පරීක්ෂන අනුපාත හා අනෙකුත් වැදගත් සෞඛ්‍යමය හා ආරක්ෂක පියවරයන් නොතකා හැරීම හේතුවෙන් ආසාදන පුපුරනසුලු ආකාරයකින් දිවයින පුරා පැතිරෙනු ඇති බවට මෙරට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

කීර්තිමත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (එස්එල්එම්ඒ) සභාපතිනිය වන පද්මා ගුනරත්න, කොරෝනා වෛරසයේ හා එහි ඩෙල්ටා ප්‍රභේදයේ “හතරවන රැල්ලකට” දිවයින මුහුන දෙන බව ඊයේ අනතුරු ඇඟවූවා ය.

වර්තමානයේ පවතින සෞඛ්‍ය සීමාවන්හි අඩුපාඩු හේතුවෙන්, “ ආසාදිතයන් ලෙස හඳුනාගැනෙන කොවිඩ් පරීක්ෂන ගනනේ සැලකිය යුතු අඩුවක් සිදු ව නැතැ” යි ඇය කීවා ය. රට ඵලදායී අගුලු දැමීමකට බඳුන් කරන ලෙසට එස්එල්එම්ඒ කැඳවුම් කර ඇතත්, එම ඉල්ලීම ආන්ඩුව විසින් නො තකා හරිමින් තිබේ.

එන්නතින් පමනක් ජනතාව ආරක්ෂා නොවනු ඇති බවට ගුනරත්න අනතුරු ඇඟවූවා ය. “වසංගතය ආරම්භ වීමට පෙර පැවතියාක් මෙන් රට ඉදිරියට ගෙන යමින් අපේ සමාජ කටයුතු (හිතුමතේ ඇරඹීම) ගැන අපට හිතන්න බැහැ. එවන් අදහස් ඇතිකර ගැනීම මිථ්‍යාවක්” යි ඇය අනතුරු ඇඟවූවා ය.

ඉන්ස්ටිට්යුට් ෆෝ හෙල්ත් පොලිසි ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන්-එලිය සඳුදා දි අයිලන්ඩ් පත්‍රය සමග සම්මුඛ සාකච්ඡාවක දී ද ඒ හා සමාන අයුරින් අනතුරු ඇඟවී ය. “එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය වැනි එන්නත්කරනය ඉහල අනුපාතයක පවතින රටවල් පවා ඩෙල්ටා ප්‍රභේදයේ පිපිරෙනසුලු පැතිර යාමක් අත්දකින තතු තුල, ශ්‍රී ලංකාව විශේෂයෙන් පරීක්ෂාකාරී විය යුතු” යි ඔහු කීවේ ය.

රන්නන්-එලිය මෙසේ විස්තර කලේ ය: “සරල පිලිතුර ආක්‍රමනශීලී මට්ටමක පරීක්ෂන, ආසාදිත අය හඳුනා ගැනීම හා හුදකලා කිරීම” ය. එන්නත්කරනය පමනක් විසඳුම නොවන බව ඔහු වැඩි දුරටත් පැවසී ය. සෞඛ්‍ය බලධාරීන් “පරීක්ෂන පැවැත්වීම වඩ වඩාත් අඩු කරන්නේ බොහෝ විට එහි ප්‍රතිඵලයක් ලෙස ආසාදන ගනන් අඩු වනු ඇතැයි යන වැරදි අපේක්ෂාව හේතුවෙනි.”

තහවුරු කල කොවිඩ්-19 ආසාදන 289,577ක් හා මරන 3,917ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ වාර්තා කලේ ය. මෑත දිනවල දෛනික ව වාර්තා වන ආසාදන සංඛ්‍යාව 1,400ක් පමන වුවත් එයට හේතුව ඉතා අඩු පරීක්ෂන සංඛ්‍යාව යි. 2020 මාර්තුවේ පටන්, රටෙහි ප්‍රමුඛ ලමා රෝහල වන රිජ්වේ රෝහලේ දී ලදරුවන් 10ක් ද ගර්භනී කාන්තාවන් 13 දෙනෙක් ද මිය ගොස් තිබේ.

ඊට පෙර දින තුනේ දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 12,000 සිට අඟහරුවාදා 9,000ක් දක්වා පහත වැටී ඇත. සෑම දිනක ම පරීක්ෂන 60,000ක් පමන සිදු කල යුතු බවට ඉල්ලා සිටින විශේෂඥයන් ප්‍රතික්ෂේප කරමින් මෙලෙස පීසීආර් පරීක්ෂන අඩු කර ඇත. ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති උපරිම දෛනික පරීක්ෂන සංඛ්‍යාව 25,000ක් වන අතර, ඒ ද දින දෙකක් තුල පමනි.

2021 අයවැයෙන් වෙන් කල ආන්ඩුවේ සෞඛ්‍ය පිරිවැය යන්තම් රුපියල් බිලියන 28ක සොච්චමක් වන අතර, කොවිඩ්-19ට ප්‍රතිචාර වසයෙන් එක් කරන ලද්දේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1ක් වන රුපියල් බිලියන 10ක් පමනි.

අර්බුදයට ආන්ඩුව දක්වා ඇති ප්‍රතිචාරය, වෛරසයේ ක්ෂනික පැතිර යාමට කොන්දේසි නිර්මානය කර ඇත. බොහෝ ඇඟලුම් කම්හල් විවෘත ව තබමින් ක්‍රියාවට දැමූ කෙටි හා සීමිත ජාතික අගුලු දැමීමකින් පසුව, පසුගිය වසරේ අප්‍රේල් මැද දී ආර්ථිකය ක්ෂනික ව යලි විවෘත කිරීමෙන් පසුව දහස් ගනනකට ආසාදනය විය.

රට පුරා ආසාදන ක්ෂනික ව පැතිරෙමින් තිබියදී, පවත්නා කම්හල් නිෂ්පාදන හා සියලු සංවර්ධන ව්‍යාපෘතිවලට පූර්න සහයෝගය ලබා ගැනීමට ජනාධිපති රාජපක්ෂ, 2020 ජුනි මාසයේ පලාත් ආන්ඩුකාරවැන් හා දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන් කැඳවී ය. “ආසාදිත පුද්ගලයෙක් සොයා ගත් පලියට” මෙම ආයතන ක්ෂනික ව වසා නො දැමිය යුතු බව ඔහු ප්‍රකාශ කලේ ය.

උතුරුමැද පලාතේ දුර බැහැර ප්‍රදේශයක් වන මැදිරිගිරියේ සිසලු ෆැෂන් ඇඟලුම් කම්හලේ කම්කරුවන් 23 දෙනෙකු ආසාදනය වූ බව මේ මස මුල දී මාධ්‍ය වාර්තා කලේ ය. සෞඛ්‍ය නිලධාරීන් මෙම කම්කරුවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවූව ද කම්හල වසා දැමීමට පියවර ගත්තේ නැත. ඉන් දවස් දහයකට පසුව තමන් රෝගී තත්වයට පත්ව ඇති බව එම කම්හලේ ම කම්කරුවන් වාර්තා කල අතර, සීමිත පරීක්ෂන සංඛ්‍යාවකින් අනතුරු ව කම්කරුවන් 124 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනුනි.

ආන්ඩුවේ පිලිවෙත්වලින් මහ ව්‍යාපාරිකය ඉහල ලාභ පොදි ගසා ගනිමින් සිටී. අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති සුරේෂ් ද මැල් කයිවාරු ගැසුවේ, 2021 පලමු මාස හයේ අපනයන ආදායම ඩොලර් බිලියන 5.6ක් බවට ය. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව සියයට 27.5ක ඉහල යාමක් බව ද වාර්තා විය. “කොවිඩ්-19 දරුනු තුන්වන රැල්ල නො තකා” ආර්ථිකයට කල මෙම ප්‍රතිපදානය ඔහුගේ ප්‍රශංසාවට ලක් විය.

මහ ව්‍යාපාරිකයේ හා ආන්ඩුවේ විධානයට පිටුබලය දෙමින් ද කම්කරුවන්ගේ අරගල හා විරෝධතා මඬිමින් ද වෘත්තීය සමිති ගිය වසරේ දී ආර්ථිකය යලි විවෘත කිරීමට සම්පූර්න සහයෝගය දුන් හ. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂ ද ව්‍යාජ-වාම කන්ඩායම් ද මානව ජීවිතවලට ඉහලින් ලාභය පිහිටුවන මෙම ප්‍රතිගාමී පිලිවෙත්වලට ඒ හා සමාන ව පිටුබලය දී තිබේ.

වෘත්තීය සමිතිවල ආධාරය හා පිටුබලය ලබන රාජපක්ෂ ආන්ඩුව හා ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය, කම්කරුවන්ට හා දුගීන්ට වඩාත් විශාල ව්‍යසනයක් ඇතිකරන කොන්දේසි නිර්මානය කරමින් සිටිති.

මෙම අන්තරායන්ට මුහුන දීම සඳහා ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ආරම්භකත්වය ගත යුතු ය. වැඩපොලවල හා ආයතනවල සියලු සේවකයන්ට සම්පූර්න වන්දි ගෙවමින් සියලු අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසා දැමිය යුතු ය. අත්‍යවශ්‍ය සේවාවන්හි රැකියා කරන්නන්ට අවශ්‍ය ආරක්ෂක උපකරන හා ආරක්ෂක පියවරයන් සම්පාදනය කරමින්, ඔවුන්ගේ හා ප්‍රජාවේ අනෙකුත් අයගේ සෞඛ්‍යය සම්පූර්නයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගත යුතු ය.

කුඩා ව්‍යාපාරවලට හා ස්වයං-රැකියාවල යෙදෙන්නන්ට ප්‍රමානවත් වන්දි ගෙවිය යුතු ය. පාසල් වසා තබමින් සියලු සිසුන්ට මාර්ගගත අධ්‍යාපන පහසුකම් සම්පාදනය කල යුතු ය. සෞඛ්‍ය සේවාවන් වැඩි දියුනු කිරීම සඳහා රුපියල් බිලියන ගනනින් මුදල් අවශ්‍ය ය.

මෙම පිලිවෙත් සඳහා සටන ඉදිරියට ගෙන යාම සඳහා, වැඩපොලවල හා විශාල වතුවල වෘත්තීය සමිතිවලින් ස්වාධීන, ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතු ය. මෙම අරගලය සමාජවාදී පිලිවෙත් සඳහා සටන සමග සම්බන්ධ කල යුතු ය. ලංකාවේ කම්කරුවන්ට මෙම ඉදිරි දර්ශනය සාර්ථක ව ඉදිරියට ගෙන යා හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වීමෙන් පමනි. සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙමින්, මෙම ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

Loading