මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්: කොවිඩ්-19 ඉන්දියාවේ මිලියන 4ක් මරා දමා ඇති බවට ඇස්තමේන්තු කෙරේ

ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතයෙන් මිය ගියවුන්ගේ සැබෑ සංඛ්‍යාව, නිල සංඛ්‍යාව මෙන් දස ගුනයක් වන, මිලියන 3 ත් 5 ත් අතර වන බව එක්සත් ජනපදයේ ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව පැවසේ. “සත්‍ය මරන සංඛ්‍යාව ලක්ෂ ගනනක් නොව මිලියන කිහිපයක් විය හැකි ” බව පවසන වාර්තාව, “මෙය, ඉන්දියාව බෙදා වෙන් කිරීමෙන් හා නිදහසින් පසු ඒහි සිදුවූ දරුනුත ම මිනිස් ඛේදවාචකය බවට විවාදාත්මකව සඳහන් කල හැකි බව” කියා සිටියි.

මෙම දැවැන්ත මරන සංඛ්‍යාව, ඉන්දියාවේ පාලක පන්තියට නොඅඩු ව සමස්ත අධිරාජ්‍යවාදී ලෝක පර්යාය කෙරේ ම එල්ල වන මානව වර්ගයාට එරෙහි අපරාධයක් වේ. එපමනක් නොව, ඉන්දියාවේ සිදු වූ ආසාදිතයන් හා මරන සංඛ්‍යාව පිලිබඳ දැවැන්ත අවගනනය වෙනත් රටවල ද සිදුවී ඇති බවට සැකයක් නැත. මෙයින් අදහස් කෙ‌රෙන්නේ නිල සංඛ්‍යාලේඛන අනුව මිලියන 4.13 ක් වන වසංගතයේ සැබෑ ගෝලීය මරන සංඛ්‍යාව පහසුවෙන් ම මිලියන 10 ඉක්මවනුද බොහෝ දුරට ඊටත් බෙහෙවින් වැඩි විය හැකි ද බවයි.

ඉන්දියාවේ නවදිල්ලියේ දී කොවිඩ්-19රෝගයෙන් මියගිය අයගේ මෘත දේහ දර සෑයවල සමූහ වශයෙන් ආදාහනය කරන ආකාරය. (2021 අප්‍රියෙල් 24 වන දින) (AP ඡායාරූපය / අල්ටාෆ් කද්රි)

අඟහරුවාදා නිකුත් කෙරුනු අධ්‍යයනය, 2020 අප්‍රේල් සිට 2021 මාර්තු දක්වා කාලය තුල වසංගතයේ “පලමු රැල්ල” අතරතුර ඉන්දියාවේ “අතිරික්ත මරන මිලියන 1.5 ත් 3.4 ත් අතර සංඛ්‍යාවක්” සිදු වූ බවට ගනන් බලා තිබේ. මේ වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුල “දෙවන රැල්ලේ” දී, සුනාමියක් බඳු ආසාදන හේතුවෙන් ඉන්දියාවේ රෝහල් කඩා වැටෙද්දී ‍, දිනකට සිදු වන මරන සංඛ්‍යාව, ඊටත් වඩා වැඩි විය. ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම මාස තුන තුල මිලියන 1.4 ත් 2.4 ත් අතර ජනතාවක් මිය ගිය අතර එය පෙර කාලයට වඩා තුන් ගුනයකින් වැඩි ය.

කොරෝනා වයිරසයේ රෝග ලක්ෂන සමඟ සටන් කිරීමට අවශ්‍ය මූලික හා අවශ්‍ය උපකරන වන ඔක්සිජන් සහ රෙම්ඩෙස්විර් ඇත්තේම නැති තරම්ය. එවැනි සැපයුම් කළු කඩයෙන් මිල දී ගැනීමට පවුල්වලට බල කෙරුනු අතර බොහෝ විට රෝගීන් බලා කියා ගැනීමට ද ඔවුන්ට ම බල කෙරුනි. ඔවුන්ගේ ආදරනීයයන් මිය යද්දී, රෝහල්වලින් පිටත ජනයා රැස් කමින් ආධාර ඉල්ලා කෑ මොර නඟන පින්තූර සහ වීඩියෝ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවගේ සිත් සතන් තුල කෙටී සටහන් වී ඇත.

මන්දපෝෂනයෙන් පෙලෙන, පිරිසිදු ජලය ලබා ගැනීමට නොහැකි, තදබද නිවහන් වල වසන සහ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට නොහැකි ඉන්දියාවේ මිලියන සිය ගනනක් වැඩ කරන දුප්පතුන් මුහුන දෙන අතිශය දුෂ්කර සමාජ තත්වයන් නිසා මෙවන් මහා ජීවිත හානියක් සිදු විය. වසංගතය මුලින්ම මතු වූ විට, මෙම කොන්දේසි සැලකිල්ලට ගෙන, එය පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් බලමුලු ගැන්වීම ආන්ඩුව විසින් ඉටු කල යුතු ව තිබූ තීරනාත්මක ම කටයුත්ත විය.

මෙම ව්‍යසනයේ වගකීම මෝඩි ආන්ඩුව විසින් දරනු ලබයි. සෑම පියවරක දී ම එහි ප්‍රතිචාරය, මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ ධනය හා වරප්‍රසාද සුරැකීමේ ඒකායන පරමාර්ථයෙන් මෙහෙයවනු ලැබින. 2020 මාර්තු 24 වන දින හදිසියේ ම පැය හතරක දැනුම් දීමකින් රටපුරා අගුලු දැමීමට කැඳවුම් කරන තෙක් එය වසංගතය පාලනය කිරීමට කිසිවක් නොකල අතර, පසු ව එය ද වෛරසය පාලනය වීමට පෙර ඉවත් කරන ලදී.

තමුන්ට සහ තම පවුල් සඳහා ආහාර සපයා ගැනීමට නොහැකි වූ මිලියන සිය ගනනක් අවිධිමත් ක්ෂේත්‍ර කම්කරුවන්ට කිසිදු ආර්ථික ආධාරයක් ලබා නොදුන් අතර ඒ හේතුවෙන් කම්කරුවන් විශාල වශයෙන් නැවත ග්‍රාමීය ප්‍රදේශවලට සංක්‍රමනය වීම නිසා රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ම වෛරසය පැතිර ගියේ ය.

කොරෝනා වෛරස් ආසාදන සහ මරන වැඩි වෙද්දී, මාරක හා දරුනු වසංගතයක් පැතිරීම වැලැක්වීමේ පියවරයන්ගෙන් රට “බේරා ගත යුතු” බව ප්‍රකාශ කරමින් මෝඩි, රට නැවත විවෘත කිරීම ඉදිරියටම ගෙන ගියේ ය. ඉන්දියානු පාලක ප්‍රභූව වෙනුවෙන් කතා කරමින් ඔහු 2021 අප්‍රියෙල් 20 වන දින ජාතික විකාශනයකදී කුප්‍රකට ලෙස ප්‍රකාශ කලේ, “අද පවතින තත්වය තුල, අප රට අගුලු දැමීමෙන් බේරා ගත යුතු ය!” යනුවෙනි.

මෙම බිහිසුනු මරන සංඛ්‍යාව මෙම ප්‍රකාශයේ සැබෑ අරුත හෙලි කරයි. ලොව අන් සියලු තැන් අභිබවමින් සිදුවු කොවිඩ්-19 විශාලතම නැගීම මධ්‍යයේ, මිලියන ගනනක ජීවිත වල වියදමින්, රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් ගෙන් රට “ගලවා” ගෙන තිබිනි. ෆෝබ්ස් සඟරාවට අනුව, 2020 දී ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ධනය ඩොලර් බිලියන 596 දක්වා දෙගුනයකින් ඉහල ගියේය. එම කාලය තුල දීම ඇස්තමේන්තු වලට අනුව ඉන්දියානුවන් මිලියන 230 ක් ඔවුන්ගේ ජීවනෝපාය කොල්ලකෑමට ලක් කර දිනකට රුපියල් 375 (ඇමරිකානු ඩොලර් 5) ක් වූ ජාතික දරිද්‍රතා රේඛාවෙන් පහලට තල්ලු කරන ලැබින.

කෙසේ වෙතත්, මනුෂ්‍යත්වයට එරෙහි මෙම අපරාධය සඳහා සෘජු වගකීම සෑම ධනේශ්වර ආන්ඩුවකටම සහ විශේෂයෙන් එක්සත් ජනපදය සහ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් වෙත පැවරේ. ඉන්දියාවේ දැවැන්ත ලෙස ආසාදනය පැතිරීම, වසංගතය මුලින් මතු වූ විට, එය නැවැත්වීම සඳහා වූ හදිසි පියවරයන්, ආයතනික හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ ලාභ අවශ්‍යතා කෙරෙහි බලපාන බැවින් ප්‍රතික්ෂේප කිරීමේ තීරනයෙහි ප්‍රතිඵලයයි.

2020 පෙබරවාරි 28 වන දින ඉන්දියාවේ කොවිඩ්-19 රෝගීන් 3 ක් පමනක් වාර්තා වී තිබියදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත ප්‍රතිචාරයක් ඉල්ලා හදිසි කැඳවීමක් නිකුත් කලේ ය. “කිසිදු ජාතියකට කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමින් සම්බන්ධීකරනය කල නො හැක.” යනුවෙන් හජාජාක ලිවීය. “වෛරසය දේශසීමා හෝ වීසා සංක්‍රමන සීමා කිරීම් වලට ගරු නොකරයි. ගෝලීය ප්‍රවාහන ජාලය සහ ආර්ථික ඒකාබද්ධතාවය වෛරසය ගෝලීය ගැටලුවක් බවට පත් කර තිබේ. ”

කෙසේ වෙතත්, හදිසි පියවර ගැනීම වෙනුවට එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රධාන ධනවාදී බලවතුන් මෙම අර්බුදය මූල්‍ය වෙලඳපොල වලට සහ ධනවතුන්ට දැවැන්ත ලෙස මූල්‍ය සම්පාදනය කිරීමක් සංවිධානය කිරීමට යොදා ගත්හ. වෛරසය තවදුරටත් පැතිරීම නැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සීමාවන් ඉවත් කිරීම සඳහා සහ කම්කරුවන් නැවත සේවයට කැඳවා ගැනීම සඳහා වූ උද්ඝෝෂනය මෙයින් පසුව සිදු විය.

එහි ප්‍රතිවිපාක දියුනු ධනවාදී රටවල ජනගහනයට විනාශකාරී වී තිබේ. නිල සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් ජනපදයේ පුද්ගලයින් 625,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර සැබෑ සංඛ්‍යාව මිලියනය ඉක්ම විමේ හැකියාව ඇත. රෝගය එහි මුල් අවධියේ දී ම තුරන් කිරීමට අපොහොසත් වීමෙන් එය ඉන්දියාව ඇතුළු ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන බව සහතික විය.

ප්‍රධාන ධනේශ්වර ආන්ඩු එන්නත් රැස්කර ගබඩා කර තබා ගැනීමත් සමඟ “එන්නත් ජාතිකවාදයේ” ප්‍රතිපත්තියෙන් දැවැන්ත ජීවිත හානි සඳහා ඉඩ සැලසිනි. ලොව ප්‍රමුඛ පෙලේ ඖෂධ නිෂ්පාදක රටක් වන ඉන්දියාවේ එන්නත් කිරීමේ අනුපාතය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මෙන් දහයෙන් එකකි. රොයිටර්ස් කොවිඩ්-19 එන්නත් ට්රැකර්ට (ගනන් හිලව් තබනයට) අනුව, සම්පූර්නයෙන් එන්නත ලබාගෙන ඇත්තේ රටෙන් සියයට 6.3 ක් පමනක් වන අතර, එයින් අදහස් වන්නේ බිලියන 1.3 ක් පමන ජනතාවක් තවමත් නව හා මීටත් වඩා මාරාන්තික ප්‍රභේදයන්ට ගොදුරු විය හැකි බවයි.

ඕනෑම තර්කානුකූල සමාජයක, ඉන්දියාවේ “දෙවන රැල්ල” විසින් ඇති කරන ලද සමාජ කාලකන්නි බවේ පරිමානයට දැවැන්ත ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත ප්‍රතිචාරයක් දැල්වෙනු ඇත. ඉන්දියාවේ දැවැන්ත නිෂ්පාදන ධාරිතාව රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා උපකරන හා ඖෂධ සෑදීමට යොමු වනු ඇති අතර රෝගීන් රැකබලා ගැනීම සඳහා හදිසි රෝහල් ඉදිකරනු ඇත. දරුනු හා මාරාන්තික රෝගයෙන් තමන්ව සහ අනෙක් අයව ආරක්ෂා කර ගැනීම සඳහා හුදෙකලා වීමට බලකෙරුනු අයට මූල්‍ය සම්පත් ලබා දීමට හා පරීක්ෂකයින් සහ ආශ්‍රිතයන් හඳුනාගන්නවුන් හමුදාවක් බලමුලු ගැන්වීම කල යුතුව තිබිනි. කම්කරුවන්ට සහ කුඩා ව්‍යාපාරවලට පූර්න මූල්‍යමය වන්දි ගෙවීමත් සමඟ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනය නවතා දැමීම කල යුතුව තිබිනි.

සංහාරය නැවැත්වීම සඳහා ගෝලීය සමාජයේ සාමූහික සම්පත් බලමුලු ගැන්වීම කල යුතුව තිබිනි. ඒ වෙනුවට අධිරාජ්‍යවාදී ආන්ඩු ආධාර වශයෙන් සොච්චමක් ලබා දුන්නේය. මිලිටරි ආයුධ සහ න්‍යෂ්ටික අවි සඳහා සෑම වසරකම ට්‍රිලියන ගනනක් වියදම් කරන නමුත් මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීම සඳහා කිසිවක්ම පාහේ ලබා දී නොමැත. එපමනක් නොව, බහුජාතික සමාගම් අවධාරනය කලේ ලාභ ඉපයීම සඳහා නිෂ්පාදනය නොකඩවා කරන ලෙසයි.

ධනේශ්වර කතිපයාධිකාරීන්, මිලියන ගනනකගේ මරනය සලකනු ලැබූයේ ද -ලබන්නේ ද, අනුමත කල හැකි කැප කිරීමක් ලෙස ය.

සමාජ ඝාතනය පිලිබඳ මෙම ප්‍රතිපත්තියට වගවීමක් ඇත. දරිද්‍රතාවය, සාගින්න සහ රෝග පිළිබඳ සමාජ කාලකන්නිභාවයන් සමග පාරිසරික ව්‍යසනය, ගෝලීය වසංගත හා න්‍යෂ්ටික යුද්ධය අලලා ගත් පැවැත්මේ තර්ජන ඇතුලත් කර ගනිමින්, සමාජ ආර්ථික ජීවිතයේ සෑම අංශයක්ම අවසානයේ ලාභයට යටත් වන බව, ගනන් නැති මිලියන ගනනකගේ ජීවිත හානි හරහා වසංගතය විසින් අනාවරනය කර තිබේ.

සෑම තැනක ම කම්කරුවන්ගේ අවශ්‍යතා එක හා සමාන බවත්, ඔවුන්ගේ අවශ්‍යතා සහ ජීවිතය ම සඳහා ධනවාදී ක්‍රමයට එරෙහි ව එක්සත් අරගලයක් අවශ්‍ය බවත් එය හෙලි කර තිබේ.

ධනවාදය යටතේ ඉදිරියට යා නොහැකි තතු තුල, ජීවිත හා ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා විද්‍යාව පදනම් කරගත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සමාජ බලවේගයක් ලෙස බලමුලු ගැන්වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීම අවශ්‍ය වේ. එ මෙන්ම වසංගතයට එරෙහි අරගලය සමාජවාදී දෘෂ්ටිකෝනයෙන් පන ගන්වමින් ඉන්දියාවේ සහ ලොව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම තුලින් වසංගතය සහ වසංගතයට විනාශකාරී ප්‍රතිචාර දැක්වීම සඳහා වගකිව යුතු සමාජ පටිපාටිය යන දෙක ම අවසන් කිරීමේ අරගලයක් තුල ඉදිරියට යා යුතු ය.

Loading