මෙහෙකාර සේවයේ යෙදවූ තරුනියගේ ඛේදජනක මරනය හා ධනපති පන්තියේ කුහකත්වය

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි හිෂාලිනී ජූඩ් නම්වූ තරුනියගේ ශෝක ජනක ඉරනම මහජනයා අතර විශාල විරුද්ධත්වයක් අවුලුවා තිබේ. මෙම විරුද්ධත්වය ගසාකෑමට හා අපසරනය කිරීමට ධනපති ආන්ඩුව, විරුද්ධ පක්ෂ,ඇතැම් මධ්‍යම පන්තික සංවිධාන සහ වෘත්තීය සමිති ඉදිරියට පැනගෙන සිටිති. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පිටාර ගලා ඇත්තේ, සත්‍ය හෙලි කිරීම පසෙක තබා ලියන්නන් විසින් ගොතන ප්‍රකෝපකාරී හැඟීම් අවුස්ස්සන කතාවලිනි.

හිෂාලිනි ජූඩ් දැරිය [මූලාශ්‍රය: ෆේස්බුක්]

හැටන් ඩයගම ප්‍රදේශයේ දුප්පත්කමින් මිරිකී සිටින පවුලක හිෂාලිනීට පසලොස් වන වියේදීම පසුගිය වසරේ තැරැව්කරුවෙකු මගින් මන්ත්‍රී රිශාද් බදියුද්දීන්ගේ නිවසේ සේවයට පැමිනීමට සිදුව ඇත. දුකින් තැවෙන හිෂාලිනී ගේ මව පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ රුපියල් 30,000 ක නයක් පියවීම ඇතුලු ආර්ථික ප්‍රශ්න නිසා ලාබාල වියේදීම දියනිය මෙහකාර සේවයට යැවීමට සිදුවූ බවයි.

ජූලි 3 වනදා ඇය පිලිස්සුම් තුවාල සහිතව කොලඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුනු අතර පසුගිය 15 වනදා ඒ හේතුවෙන් ජීවිතක්ශයට පත් වූවාය. පසුව සිදු කෙරුනු පශ්චාත් මරන පරීක්ෂනයේ අධිකරන වෛද්‍ය වාර්තාවෙන් අනාවරනය වී ඇත්තේ හිෂාලිනී ලිංගික අපයෝජනයටද ලක්ව ඇති බවයි.

ධනපති මාධ්‍ය වල ඇතැම් ලියන්නන් නඩු අසා තීන්දුව ප්‍රකාශ කිරීමට ද පසුබට වී නැතත් තවමත් තරුනියගේ මරනය සම්බන්ධයෙන් පූර්න පරීක්ෂනයකින් පැහැදිලි අනාවරනයක් සිදු කර නොමැත. බදියුද්දීන්ගේ සොහොයුරා සහ බිරිඳ ඇතුළු 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අත් අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.

බදියුද්දින් පවුල මුස්ලිම් වාර්ගික නිසා වර්ගවාදය ඇවිස්සීම සඳහා ස්වෝත්තමවාදීන්ගේ පමනක් නොව ආන්ඩුවට, විපක්ෂයට හා බොහෝ මාධ්‍ය වලට අපරාධය ගැන ඇත්තේ නිහීන උනන්දුවකි. මන්ත්‍රී බදියුද්දින්, 2019 පාස්කු දින මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ යයි ප්‍රකාශ කරමින් මාර්තු මාසයේ පොලිස් අත්අඩංගුවට ගෙන තවමත් චෝදනා නැතුව, ත්‍රස්‌තවාදය වැලැක්වීමේ විෂඝෝර නීති යටතේ රඳවාගෙන සිටී.

කාන්තා හා ලමා සංවර්ධන අමාත්‍ය පියල් නිශාන්ත නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිෂාලිනීගේ මව්පියන් හමුවෙමින් සඳහන් කලේ අපරාධයක් කල කිසි කෙනෙකුට ගැලවී යාමට ඉඩ නොදෙන බවයි. අමාත්‍යංශයක් ලෙස ඔවුන් ආර්ථිකය දියුනු කිරීමටද ඉගෙන ගන්නා සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීමටද කටයුතු කරන බවට ඔහු පොරොන්දු විය. මෙවන් පච පොරොන්දු වලින් ආන්ඩුවේ හා විපක්ෂවල මැතිවරන පත්‍රිකා පිරී තිබුනි. ප්‍රභූන් අපරාධවලින් නිදොස්කොට නිදහස් කර යැවු අවස්ථා එමටය.

වාර්ගික ප්‍රකොපකාරිත්වයේ මුදුනේ සිටින්නෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ මහජන ආරක්ශක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර විශේෂ මෙහෙයුමක් යොදා ලමා මෙහෙකාර සේවයේ යොදවන ප්‍රභූ නිවෙස් වටලන බවට පසුගිය සතියේ වහසිබස් කිවේය.

පාර්ලිමේන්තු විපක්ෂයේ හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඝෝෂාවට පැනගනිමින් සඳහන් කලේ “ලමා අයිතීන් නැති කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් දිය යුතු බව” යි.

සිංහල ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මන්ත්‍රී නලින්ද ජයතිස්ස 'මේ අසරන ලමයාගේ මරනය ගැන සිදුකරන පරීක්ෂන පිලිබඳව අපි සතුටු වෙන්නේ නෑ' යයි කියා සිටියේය. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක එරංග ගුනසේකර ජුලි 27 වනදා විරෝධතාවයකදී සඳහන් කලේ “වහාම හිෂාලිනී දැරිය හරහා මතුවුනු සමාජ කතිකාවත යට නොකර නීතිය ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව කටයුතු කල යුතු” බවයි.

තරුනියගේ මරනය ගැන වතුකරය තුල පලල් විරුද්ධත්වයක් පැනනැගී ඇති තතුතුල එය ගසාකෑමට ලංකා කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුන, ජාතික කම්කරු සංගමය හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය ඇතුලු සංවිධාන පසුගිය දින කිහිපයේ සිද්ධිය හෙලා දකිමින් හා අපරාධය කලවුන්ට දඬුවම් කරන ලෙස ඉල්ලමින් ප්‍රකාශ නිකුත් කලේය. ඇතැම් සංවිධාන විරෝධතා ද සංවිධානය කලේය. වතුකරයේ කම්කරු ජනයා දරිද්‍රතාවයේ ගිල්වා තැබීමට ආන්ඩුව හා සමාගම් සමග එකට ක්‍රියාකරන මේ සංවිධානවල තුච්ච මවාපෑම් කම්කරුවන් හා තරුනයන් පිලිකුලෙන් ප්‍රතික්ෂේප කල යුතුය.

කුප්‍රකට වර්ගවාදි ජාතික සංවිධාන එකමුතුව ප්‍රකාශයක් නිකුත් කල අතර තවත් වර්ගවාදී හැඩියන් ගොනුවී සිටින සිංහලේ සංවිධානය හා සිංහල රාවය ජුලි 22 වනදා පරීක්ෂන 'කඩිනම් කරන ලෙස' ඉල්ලා ලමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

සිංහලේ, සිංහල රාවය, ජාතික සංවිධාන එකමුතුව දිගු කලක පටන් මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනයන් අවුලුවමින් එම ජන කන්ඩායමට එරෙහිව ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ඒවාය. 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල කල ප්‍රහාර වලින් දරුවන් ඇතුලු මුස්ලිම් වැසියන් විශාල පිරිසක් අවතැන් විය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය දැරියගේ මරනය සම්බන්ධයෙන් කෙරෙන මෙම විෂකුරු ප්‍රචාරවලට මුලුමනින්ම එරෙහිවෙයි. අපරාධයට වගකිවයුත්තන්ට දඬුවම් ලබියයුතුය. එමෙන්ම, පාසල් යායුතු සුපිෂ්පිත වියේ සිටින ලමුන් මෙහෙකාර සේවයේ හිංසනයට ගොදුරුවීම කෙරෙහි ධනපති ක්‍රමය ආරක්ෂාකරමින් විෂඝෝර ප්‍රචාරය කරන්නන් වගකිවයුතු බව ද සසප සහ සසජාතශි කියා සිටී. ලමා මෙහෙකාර සේවය ඇතුලු ලමා ශ්‍රමය සූරාකෑම ධනපති ක්‍රමය සමග බද්ධව පවතී.එය හුදු නීති සම්පාදනයකින් නවතාලිය නොහැක.

කොලඹ දුගී ලමෝ [ලෝසවෙඅ]

2019 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන සිම්රින් සින්ග් සඳහන් කලේ හතලිස් දහසකට ආසන්න ලමුන් සංඛ්‍යාවක් කම්කරුවන් ලෙස සේවය කරන බවයි. එම සංඛ්‍යාව පාසල් යන ලමුන්ගෙන් සියයට එකකි.

2020 වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ලමා අරමුදලේ වාර්තා වලට අනුව වයස අවුරුදු 18 වන විට පිරිමි ලමුන්ගෙන් සියයට 50ක් ද ගැහැනු ලමුන්ගෙන් සියයට 40ක් ද පාසල්වලින් එලියට වැටේ. එය වැඩි දුරටත් පෙන්වා දුන්නේ වයස අවුරුදු 15දී න් ඉහල බොහෝ දෙනා පවුල්වල අප්‍රමානවත් ආදායම් පිරිමැසීමට මෙසේ පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වන බවයි.

මෙම ලියුම්කරු 'ලංකාව තුල ලමා දුප්පත්කම ඉහල මට්ටමක' යන මාතෘකාවෙන්, 2018 පෙබරවාරි 27 ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියූ ලිපියක ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ 2017 වාර්තාවෙන් උපුටා දක්වමින් මෙසේ සඳහන් කලේය:

'වාර්තාවට අනුව වතුකරයේ, නාගරිකව හා ගම්බද ජීවත් වන ලමුන්ගෙන් පිලිවෙලින් සියයට 27, 05 සහ 11 යන ප‍්‍රතිශතයක් දරිද්‍රතාවයෙන් පෙලෙයි. එමෙන්ම වාර්තාව පෙන්වා දෙන පරිදි ලංකාවේ වයස අවුරුදු 5-14 වයස් කාන්ඩයේ වන ලමුන් 3,647,261න් සියයට 11.3 ක් දුප්පත්කමෙන් පෙලෙන අතර ඔවුන්ගෙන් සියයට 6.2 ක් පාසල් නොයයි. මේ පසුගිය දශක හත තුල ධනපති ආන්ඩු විසින් සිදු කරගෙන ගිය ජීවන හා සමාජ කොන්දේසි කප්පාදුවේ සෘජූ ප‍්‍රතිඵලයකි.

'වතුකරයේ ජීවත් වන ලමුන් 341,061 අතරින් 92,438 ක් එනම් සියයට 27.1 ක් දුප්පත් ලමුන් වේ. ලංකාවේ දරිද්‍රතාවයට මුහුන දෙන ලමුන්ගෙන් සියයට 13 ක් ජීවත් වන්නේ මෙම ප‍්‍රදේශයේය.

'...ලංකාවේ කම්කරු පන්තියෙන් දුප්පත්ම කොටසක් වන්නේ වතු කම්කරුවන්ය. වාර්තාවලට අනුව ලංකාවේ දුගී ජනතාවගෙන් සියයට 8.8 ක් ජීවත්වන්නේ වතුකරයේ ය. දරුනු සූරා කෑමකට ලක් වන මෙම කම්කරුවන්, රුපියල් 600 ටත් අඩු දෛනික වැටුපකට වතු වල දහදිය හෙලති. මෙම වැටුප් කිසිසේත්ම දරුවන් රැක බලා ගැනීමට හා ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා ප‍්‍රමානවත් වන්නේ නැත.

'අධ්‍යාපන වියදම් පිරිමසා ගැනීමට ඇති නොහැකියාව නිසා බොහෝ ලමුන් පාසල් නොයන අතර මව්පියන්ගේ අඩු වැටුප් මට්ටම් නිසා ඔවුුන්ට රැකියාවක නිරත වීමට ද බල කෙරී ඇත.'

තලවකැලේ වත්තේ ලමුන් පිරිසක් [ලෝසවෙඅ]

දැන් වසර හතරකට පසු, කෝවිඩ්-19 වසංගතය ද නිසා වතුකරයේ, නගරබද හා ගම්බද දරිද්‍රතාවය දරුනු ලෙස වැඩි වී ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව ගෝලීය ලමා කම්කරුවන් සංඛ්‍යාව මුළු ලමුන් සංඛ්‍යාවෙන් දහයෙන් එකකි. ඔවුන් ගනන් බලා ඇත්තේ මෙම තත්වය වසංගතයත් සමග ඉදිරි වසර කිහිපය තුල උග්‍ර වනු ඇති බවය. ලංකාව, ඉන්දියාව, පකිස්ථානය වැනි අඩු දියුනු රටවල් වල පමනක් නොව දියුනු රටවල් තුලද මෙය වර්ධනය වෙමින් පවතී

අර්බුදගස්ත්‍ර ධනපති ක්‍රමය සෑම තැනකම වැඩි වශයෙන් ශ්‍රමය සූරා කෑමට ලාභ ශ්‍රමය සොයා යමින් ඇදී යයි. එය අඩු වැටුපකට සේවයට ගත හැකි සමාජයේ සිටින වඩා පීඩිතම කන්ඩායම් සූරාකෑම ඉල්ලා සිටී. ලමුන් එම කන්ඩායම් අතරින් ඉහලින්ම සිටින කොටසකි. මෙය ගෝලීය ප්‍රපංචයකි.

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව වතු කම්කරුවන්ගේ, සෞඛ්‍ය සේවකයන්ගේ, ගුරුවරුන්ගේ හා අනෙකුත් කම්කරු කොටස්වල අරගලද, ගම්බද පෙරලිකාරිත්වය ද ඇවිලී ඇත්තේ මෙම තතු තුලය. දැරියගේ මරනය සම්බන්ධයෙන් සාධාරනය ඉටු කරන ලෙස යාපනය, හැටන්, තලවකැලේ ආදි විවිධ ප්‍රදේශ වල කම්කරුවන්, තරුනයින් ඇතුළු මහජනතාව අතර විරෝධතා පැන නැංවීමට හේතු වී ඇත්තේ මෙම තත්වයයි.

මෙම අරගල මැඩීම සඳහා කම්කරු පන්තිය බෙදීමට මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනයක් දියත් කිරීමට මෙම සිදුවීම යොදා ගැනීමට ආන්ඩුව මාන බලමින් සිටී. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී නඩ වර්ගවාදී ගින්නකට තෙල් දැමීමට ආන්ඩුව පිටුපස පෙල ගැසී සිටී.

අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සිටින ලමුන් සූරා කෑමට පාත්‍ර කිරීමේ කොන්දේසි ඇතුලු මහජනයා මුහුන දෙන සමාජ ව්‍යසනකාරී තත්වය සම්බන්ධයෙන් ආන්ඩුුවේ සහ විපක්ෂයේ සියලු පක්ෂ මුලුමනින්ම වගකිව යුතුය. ලමුන් මුහුන දෙන රුදුරු කොන්දේසි සම්බන්ධයෙන් මොනම තැකීමක් හෝ මේ සංවිධානවලට නැත.ඔවුන් අධ්‍යාපනයට වෙන්කරන මුදල් කප්පාදු කරමින් සිසුන්ට පාසල් වලින් දොට්ට වැටීමේ කොන්දේසි ද සකස් කර ඇත. හිෂාලිනී ගේ මරනය මෙම කටුක යතාර්ථය හෙලිදරව් කල එක් සිද්ධියකි.

මෙම තතු පෙන්නුම් කරන්නේ මෙහෙකාර සේවය ඇතුලු ලමා ශ්‍රමය සම්බන්ධ ප්‍රපංචය සමාජ පර්යාය, එනම් ධනපති ක්‍රමය සම්බන්ධ ගැටලුවක් බවයි. එනම් ලමුන් මෙහෙකාර සේවයේ යෙදවීම ඇතුලු ලමා ශ්‍රමය සූරාකෑමේ සාපරාධී යතාර්ථයට නැවතීමේ තිත තැබිය හැක්කේ ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී ක්‍රමයක් පිහිටුවීමේ අරගලය තුලින් පමනකි.

කියවිය යුතු අනෙක් ලිපි:

වැඩිදුර කියවන්න

Loading