ඉදිරිදර්ශන

එන්නත්කරනයට එරෙහි දක්ෂිනාංශික ව්‍යාපාරයට විරුද්ධ වනු!

[මෙය Oppose the right-wing campaign against vaccination! යන මැයෙන් 2021 ජූලි 29 වනදා පලකෙරුනු ලෝසවෙඅ කර්තෘ මන්ඬල ප්‍රකාශයේ පරිවර්තනයයි]

මහජන එන්නත්කරනයට එරෙහිව ගෙන යන ව්‍යාපාරය, මුළුමනින්ම දක්ෂිනාංශික වන අතර, ලොව පුරා කම්කරුවන් එයට විරුද්ධ විය යුතුය. නිල සංඛ්‍යා වලට අනුව පුද්ගලයින් මිලියන 4 ට වැඩි සංඛ්‍යාවක් (යතාර්ථයේදී මිලියන 10 ට වැඩි සංඛ්‍යාවක්) ජීවිතක්ෂයට පත් කර ඇති මාරක වෛරසයේ ගෝලීය වසංගතයක කොන්දේසි යටතේ, මහා පරිමාන එන්නත්කරනය මහජන සෞඛ්‍යයේ හා කම්කරු පන්තියේ ආත්මාරක්ෂාව සඳහා මූලික අවශ්‍යතාවයකි.

එන්නත්කරනය යම් ආකාරයක “පුද්ගලික නිදහස” උල්ලංඝනය කිරීමක් ලෙස තර්ක කරන විට, එය, “එන්නත් අභිනියෝගයක්' ලෙස ඉදිරිපත් කිරීම පවා අමූලික බොරුවකි. සත්‍යය නම්, අන්‍ය පුද්ගලයින් ආසාදනය කර ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමේ “අයිතියක්” කිසිදු පුද්ගලයෙකුට නොමැති බවයි.

සෞඛ්‍ය සේවකයෙක් ජැන්සන් ජොන්සන් සහ ජොන්සන් COVID-19 එන්නතේ මාත්‍රාවක් හසුරවයි. ( ඡායාරූපය, ඒපී, ලියෝ කොරියා)

සමූහ සමාජයක මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම රඳා පවතින්නේ, රෙගුලාසි රාශියක් මත ය: ආසන පටි පැලඳීම සහ වේගය සීමා කිරීම, බීමතින් රිය පැදවීම සහ පොදු ස්ථානවල දුම්පානය තහනම් කිරීම, ගොඩනැගිල්ලක පදිංචිවිය හැකි සංඛ්‍යාවේ උපරිමයක් නියම කිරීම, ආබාධිතයන් සඳහා වාහන නැවැත්වීමේ නීති සහ වෙනත් බොහෝ පියවර ඊට ඇතුලත්ය. පැය අටක වැඩ දිනය සහ ලමා ශ්‍රමය තහනම් කිරීම වැනි කම්කරු පන්තිය කටුක අරගල තුලින් ලබාගත් (සෑම තැනකම ප්‍රහාරයට ලක්ව ඇති) ජයග්‍රහන ද තිබේ.

සැම විටම 'පුද්ගලික අයිතීන්' පිලිබඳ ධජය ඔසවමින්, සමාජ අයිතීන් ආරක්‍ෂා කිරීමට එරෙහි වන්නේ, වඩාත්ම දක්ෂිනාංශික බලවේගයන් ය. 'ලාභයේ අයිතිය', මෙම 'පුද්ගලික අයිතීන්' අතරින් වඩාත් ම කුප්‍රකට වෙයි.

විදේශ සංචාර සඳහා අද දිනයේ සාමාන්‍ය අවශ්‍යතාවයක් වන එන්නත්කරනය නිරන්තරව සිදු කෙරෙනුයේ, සංචාරය කෙරෙන රටවල පවත්නා රෝග සඳහා සහජ ප්‍රතිශක්තිය සංචාරකයන්ට නොමැති වියහැකි බැවින්, එම රෝග වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ය. එසේම ක්ෂය රෝගය සහ මැලේරියාව වැනි බෙහෙවින් පැතිර පවතින රෝග වලට එරෙහිව ද එය අවශ්‍ය වේ. මේවා මරනයට සහ දරුනු අසනීපයන්ට එරෙහි ආරක්ෂනයන් මිස “පුද්ගලික නිදහස” උල්ලංඝනය කිරීම් නොවේ.

“එන්නත්-විරෝධී” කන්ඩායම්වල සාපරාධී වගකීම් විරහිත උත්සාහයන් තිබියදී, COVID-19 එන්නත්කරනය යනු, එම්එම්ආර් (සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප), පෝලියෝ සහ වෙනත් රෝගාබාධ සඳහා, සාමාන්‍යයෙන් පාසැල් යාමට පෙර ලමුන්ට “එන්නත් ලබාදීම' වැන්නකි. ලමුන්ට, ඵලදායී මෙන්ම ආරක්‍ෂිත වන COVID-19 එන්නතෙහි නව සැකසුමක් මාස කිහිපයක් තුල නිප වනු ඇතැයි බලාපොරොත්තු වන අතර, එය පාසල් පැමිනීමේදී අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත්විය යුතුය.

'එන්නත් අභිනියෝගයන්ට' එරෙහි ව්‍යාපාරයෙහි අවම වශයෙන් හෝ ප්‍රගතිශීලී කිසිවක් නොමැත. එය පදනම් වී ඇත්තේ නොදැනුවත්කම, භීතිය සහ විද්‍යා විරෝධී අගතීන්ට කරන ආයාචනා මත ය. පුද්ගලික නිදහස උල්ලංඝනය කිරීමක් යැයි කියමින් එන්නත්කරනයට එරෙහිව උද්ඝෝෂනය කරන්නෝ, කම්කරු පන්තියේ අවශ්‍යතා සමඟ පොදු කිසිවක් නැති, අරාජිකවාදය සහ ස්වාධීනතාවාදය පතුරුවති.

වසංගතයෙන් කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිවක් නොකල වෘත්තීය සමිති, මෙම උද්ඝෝෂනයට එක්වීම පුදුමයක් නොවේ. පසුගිය වසරේ සාත්තු නිවාසවල සිදු වූ ආසාදන හා මරන රැල්ලට එරෙහිව සටන් කිරීම ප්‍රතික්ෂේප කල සේවා කම්කරුවන්ගේ ජාත්‍යන්තර සේවක සංගමය, සෞඛ්‍ය සේවකයින්ට එන්නත් ලබා දීම අනිවාර්ය කිරීමට එරෙහිව පසුගිය සතියේ නිව්යෝක් නගරයේ උද්ඝෝෂනයක් කැඳවීය. වසංගතය නොසලකා සියළුම පාසල් නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටි ඇමරිකානු ගුරු සම්මේලනයේ රන්දි වීන්ගාර්ටන්, එන්නත් අවශ්‍යතාවයන්ට එරෙහිව හඬ තැලුවේ, “තම රැකියා ස්ථානයන් ආරක්ෂාව හිත ප්‍රියමනාප ස්ථාන ලෙස සියලු දෙනාට දැනවීම' අවශ්‍යයැයි කියමිනි.

ජනාකීර්න වැඩපොලක, පාසලක හෝ රෝහලක ආසාදිත පුද්ගලයෙකු සේවය කිරීමෙන් ඇතිවියහැකි ඵලවිපාක විනාශකාරී විය හැකි බැවින්, ඔහු හෝ ඇය එන්නත් කිරීමේ අවශ්‍යතාවය මුළුමනින්ම නීත්‍යානුකූල හා අවශ්‍ය වේ.

එන්නතක් ලබා ගත හැකිව තිබියදී එය ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකුට අනෙක් අය අසල වැඩ කිරීමට ඉඩ නොදීම වැලැක්විය නොහැක. එවැනි අවස්ථාවන්හිදී පුද්ගලයා අනිවාර්ය නිවාඩු යැවිය යුතු අතර, ඔහුට එන්නත ලබා දුන් වහාම එය අවසන් කල හැකිය. COVID-19 න් ආරක්ෂා වීමේ වාසි සහ ඉන් මතු කෙරෙන නොගිනියහැකි අවදානම් තත්වයන් පැහැදිලි කිරීම සඳහා, වෛද්‍ය විශේෂඥයින් සහ සෞඛ්‍ය සේවකයින්ගේ නායකත්වයෙන් යුත් ක්‍රමානුකූල මහජන අධ්‍යාපන ව්‍යාපාරයක් සමඟ මෙය ඒකාබද්ධ කල යුතුය.

කෙසේ වෙතත් ගැටලුව පුද්ගල නොසැලකිලිමත්කමක් ලෙස ඉදිරිපත් කිරීම මූලික වශයෙන් වැරදි ය. COVID-19 හි ව්‍යසනකාරී පැතිරීමට වගකිව යුත්තේ කම්කරුවන් නොව පාලක පන්තියයි. මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධිත පොදු ආකල්පවල සැබෑ වෙනසක් සිදුවිය හැක්කේ, වසංගතයට ප්‍රතිචාර වශයෙන් මූල්‍ය කතිපයාධිකාරය අනුගමනය කරන සමස්ත ප්‍රතිපත්තියට එරෙහිව, කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ව්‍යාපාරයක් පවත්නා කොන්දේසි යටතේ පමනි.

“එන්නත් අභිනියෝග වලට” එරෙහි ව්‍යාපාරය වනාහි, වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා ගතයුතු සියළු අනිවාර්යය පියවර වලට පාලක පන්තිය දක්වන විරුද්ධත්වයේ නවතම අවධිය යි. මෙම උද්ඝෝෂනයට හසු වී සිටින බොහෝ දෙනා, එන්නතක් ලබා ගැනීමට අසමත්වීම මඟින් තමන්ගේ ජීවිත සහ පවුලේ සාමාජිකයින්ගේ මෙන්ම තම සේවා සගයින්ගේ ජීවිත බරපතල අවදානමට ලක් කිරීම සැබවින්ම ඛේදජනක ය.

එන්නත්කරනය ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන අධ්‍යාපන ව්‍යාපාරයක් නො පැවතියා පමනක් නොව, ප්‍රතිගාමී විද්‍යා-විරෝධී සංකල්පයන්ගේ දිගු කාලීන ප්‍රවර්ධනය සමඟ ඒකාබද්ධ කල අවඅධ්‍යාපනිත ව්‍යාපාරයක්, වසංගතය පවතින කාලය පුරාම පාලක පන්තිය විසින් ක්‍රමානුකූලව ගෙන ගොස් ඇත.

වසංගතය කෙරෙහි පාලක පන්තියේ සමස්ත ප්‍රතිචාරයම ගෙන ගොස් ඇත්තේ වංචනිකව හා සාපරාධී ලෙසය: මුලින්ම අන්තරාය යට ගැසීමේ සිට, වසංගතය පැතිරෙමින් තිබියදීත් කම්කරුවන් බලහත්කාරයෙන් යලි වැඩට දැක්කීමේ ප්‍රයත්නය හමුවේ එය නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවූ සමූහ මරන වලට වග කිව යුත්තේ ධනපති කතිපයාධිකාරය නොව, චීනය බව පැවසෙන බේගලය දක්වා.

ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති මත ගොඩනැඟෙන බයිඩන් පරිපාලනයේ ප්‍රතිපත්ති, මහජන සැක සංකා ඇවිලවීම සඳහා හිතාමතාම ගනන් බලා පෙරට ගෙන ඇති බවක් පෙනේ. ට්‍රම්ප් සහ ඔහුගේ ෆැසිස්ට් පන්නයේ අනුගාමිකයෝ මුල සිටම සියළුම මහජන සෞඛ්‍ය පියවර හෙලා දුටු අතර, අගුලු දැමීම් වලට පහර දෙමින් සුලු සීමා පැනවීම්වලින් පවා අනෙකුත් ප්‍රාන්ත හා “මිචිගන් (ප්‍රාන්තය) නිදහස් කර ගැනීමට” පොරොන්දු වූහ. රිපබ්ලිකන් පක්ෂ පාලනය යටතේ පවතින ප්‍රාන්තවල ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යන තතු හමුවේ දැන්, අඩු එන්නත් ප්‍රතිශතය හා ඉහල නගින ආසාදන රේට්ටු අතර ව්‍යසනකාරී සම්බන්ධය දැකගත හැකිය. ඇලබාමා ආන්ඩුකාර කේ අයිවී, දැන් ඉහල නඟින කොරෝනා වයිරස් ආසාදන පිලිබඳ චෝදනාව එල්ල කරන්නේ එන්නත ලබා නොගත් අය වෙතය. නමුත් වසංගතයේ තර්ජනය බැරෑරුම් ලෙස සැලකීමට එරෙහි උද්ඝෝෂනයට නායකත්වය දුන්නේ ඇගේම (රිපබ්ලිකානු) පක්ෂයයි.

ගුරුවරුන්ට සහ සිසුන්ට ඇති වන බලපෑම නොසලකා, එකිනෙකා කායිකව හමුවී කෙරෙන අධ්‍යාපනය නැවත විවෘත කිරීම බයිඩන් පරිපාලනයේ ප්‍රමුඛතාවය ලෙස සැලකෙන අතර, එමඟින් කර්මාන්ත ශාලා හා කාර්යාල වල වැඩට දෙමාපියන් දැක්කීමට හැකි වේ. වසංගතය ඵලදායී ලෙස අවසන් ව ඇති බවට බයිඩන් පරිපාලනය කල ප්‍රකාශයත් සමඟ, රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) මුහුනු ආවරන භාවිතය පිලිබඳ රෙගුලාසි අවසන් කලේය. දැන් අඩිය මදක් පසුපසට ගෙන, එන්නත ලබාගත් අය සඳහා සීමිත තත්වයන් යටතේ මුහුනු ආවරන පැලඳීමට උපදෙස් දෙනුයේ, ඩෙල්ටා ප්‍රභේදයේ පුපුරන සුලු වර්ධනයක් සිදුවෙමින් පවතින තත්වය හමුවේ, යම් වෙනසක් ඇති කිරීම නොවැලැක්විය හැකි වූ බැවින් පමනි.

මහා පරිමාන එන්නත්කරනය යනු, මුහුනු ආවරනය, සමාජ දුරස්ථකරනය, සුවිසල් ලෙස පරීක්ෂන පැවැත්වීම සහ ලෝකයේ සමස්ත ජනගහනයම සුරක්‍ෂිත වනතෙක් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම හරහා වෛරසය තුරන් කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයක එක් අංගයක් පමනකි. සුපිරි ධනවතුන් මඬිගසාගෙන සිටින ට්‍රිලියන ගනන් මුදල් වැය කිරීමට සිදුවන එවන් ව්‍යායාමයකට, මිනිස් ජීවිත වලට වඩා ලාභයට ද, මානව වර්ගයාගේ සාමූහික අවශ්‍යතාවන්ට වඩා එදිරිවාදී ජාතික රාජ්‍යයන්ගේ අවශ්‍යතාවන්ට ද සෑම විටම ප්‍රමුඛතාවය දෙන ධනේශ්වර පාලක පැලැන්තියේ ප්‍රතිපත්ති වලට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන මැදිහත් වීම අවශ්‍ය වේ.

කාර්මික ලෝකයේ එන්නත් නිපදවන රටවල්, මුලු සැපයුමම පාහේ ගබඩා කරගෙන ඇති හෙයින්, ගෝලීය පරිමානයෙන් මානව වර්ගයාගේ අතිමහත් බහුතරයකට තවමත් එන්නත් ලබා ගැනීමට ප්‍රවේශයක් ලැබී නැත. පූර්න එන්නත ලබාදී ඇත්තේ අප්‍රිකාවේ ජනගහනයෙන් යන්තම් සියයට 1 කට පමනි. දකුනු හා අග්නිදිග ආසියාවේ ප්‍රතිශතයන් මීට වඩා හොඳ නැත. සෑම ධනේශ්වර රටකම දැවැන්ත සමාජ ධ්‍රැවීකරනයෙන් අදහස් කරන්නේ, ධනවත් හා ඉහල මධ්‍යම පන්තියට එන්නත ලබා ගැනීම පහසු විය හැකි නමුත් දුප්පතුන්ට ඒ කිසිවක් නැති බවයි.

ධනවත් රටවල් සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. එක්සත් ජනපදයේ එන්නත්කරනයට ඇති ප්‍රධාන බාධකය වනුයේ, නාගරික මුඩුක්කු වල සහ හුදකලා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන දෙකොට්ඨාසයේ දුප්පත් කමයි. සංගනන කාර්යාංශයේ නවතම අධ්‍යනයක දත්ත වලට අනුව, එන්නත් ලබා නොගත් ඇමරිකානුවන්ගෙන් අඩකට වඩා, වාර්ෂිකව ඩොලර් 50,000 ට වඩා අඩු ආදායමක් ඇති කුටුම්භවල ජීවත් වන බව හෙලි විය. අධ්‍යනයේ කතුවරුන් සඳහන් කලේ, එන්නත් ප්‍රමානවත් ලෙස තිබියදීත්, එන්නතක් ලබා ගැනීමට නොහැකි වීම පැහැදිලි කරන්නේ, “රැවටිලිකාර වැඩ කාලසටහන් හා ලමයින් රැක බලා ගැනීම දේශපාලනයට වඩා මූලික කාරනා විය හැකි” බවයි.

දේශපාලන අනම්‍යභාවය සහ ඉවසිලිවන්ත පැහැදිලි කිරීම එකට ඒකාබද්ධ කරන පිලිවෙතක් කම්කරු පන්තියට තිබිය යුතුය. සෑම වැඩපොලකම සාමාජිකයින්ගේ ආරක්‍ෂක කමිටු සංවිධානය කිරීම තුලින් පන්ති සවිඥානක කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා කම්කරුවන්ට, විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ නියුතු වූවන්ට, වසංගතයේ මාරක අන්තරාය හමුවේ, එන්නත් ලබා ගැනීම සහ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන උද්ඝෝෂනයේදී, උපදේශකයන් වීමට හැකි වේ.

වසංගතයට එරෙහි සටන, හුදු වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් නොවේ. ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන අරගලයක් එයට අවශ්‍ය ය. මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී, ගෝලීය සැලැස්මක් සහ ගෝලීය සම්බන්ධීකරනයක් අවශ්‍ය වන අතර, එය කල හැක්කේ, ජාත්‍යන්තර විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගීමෙන් සහ කම්කරු පන්තිය විසින් බලය ලබා ගැනීමෙන් පමනි.

Loading