ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව සාර්ථක අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව (ටීඑස්පීඑස්සී) ජූලි 30දා “ගුරු වැටුප් අරගලය ජයගන්නේ කෙසේ ද” යන මැයෙන් සාර්ථක ඔන්ලයින් රැස්වීමක් පැවැත්වී ය. රැස්වීමේ දී ප්‍රශ්න හා පිලිතුරු වාරයක් සමගින් සජීවී සාකච්ඡාවක් ද පැවැත්වුනි.

සූම් තාක්ෂනය ඔස්සේ පැවති මෙම රැස්වීමට සියයක් පමන සහභාගි වූ අතර, තවත් දුසිම් ගනනක් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ෆේස්බුක් පිටුව හරහා එයට සහභාගි වූ හ. මේ දක්වා 500ට අධික පිරිසක් රැස්වීමට සවන් දී තිබේ.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව පැවැත් වූ අන්තර්ජාල රැස්වීම

කොලඹ, කලුතර, මහනුවර, හලාවත, දංකොටුව, නාවලපිටිය, පොලොන්නරුව, බන්ඩාරවෙල, කුරුනෑගල හා කුලියාපිටිය ඇතුලු රටෙහි විවිධ ප්‍රදේශවල ගුරුවරු රැස්වීමට සහභාගි වූ හ. ප්‍රදේශ කිහිපයක ශිෂ්‍යයෝ ද ශ්‍රාවකය අතර වූහ.

වැටුප් වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන 250,000ට ආසන්න ගුරුවරු හා විදුහල්පතිවරු ඔන්ලයින් ඉගැන්වීමේ වැඩ වර්ජනයක නියැලී සිටිති. දැන් මෙම වැඩ වර්ජනය එහි හතරවන සතියට ඇතුලු වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජූලි 26දා රැස් වූ කැබිනට් මන්ඩල රැස්වීමේදී ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරින. ඊට පසුදින, රටෙහි පවතින “දුෂ්කර ආර්ථික තත්ත්වය” නිසා වැටුප් ඉල්ලීම ලබා දිය නො හැකි බව, අගමැති මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති නායකයන්ට දැනුම් දුන්නේ ය.

ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලය අවශ්‍යතාව අවධාරනය කරමින්, රැස්වීමට පෙරාතුව ටීඑස්පීඑස්සී ය ප්‍රකාශයක් නිකුත් කලේ ය.

රැස්වීමේ මුලසුන දැරුවේ ටීඑස්පීඑස්සී සාමාජික හා සසප දේශපාලන මන්ඩල සභික කපිල ප්‍රනාන්දු විසිනි. ඉහල යන ජීවන වියදම්, කොවිඩ්-19 වසංගතය විසින් නිර්මිත අනාරක්ෂිත වැඩ කොන්දේසි හා ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් සැපයීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම, ගුරුවරුන් අතර බලවත් විරෝධයක් වර්ධනය කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

“ගුරුවරයෙකුගේ ආරම්භක මාසික වැටුප රුපියල් 32,500 යි. අවුරුදු 20ට අධික සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකුගේ පවා වැටුප රුපියල් 65,000ක් පමන යි. වසර ගනනාවක් තිස්සේ කැපෙන නය වාරිකවලින් පසු ගුරුවරයෙකුට ලැබෙන ශුද්ධ වැටුප පවුලක දෛනික කෑම-බීම සහ ඇඳීම සඳහා වත් ප්‍රමානවත් නැහැ. මෙම තත්ත්වය යටතේ පවා, ඔන්ලයින් පාඩම් සඳහා ගුරුවරුන් තමන්ගේ අතින් ම වියදම් කරනවා” යි ප්‍රනාන්දු විස්තර කලේ ය.

අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ හා පාලනය මිලිටරීකරනය කිරීමේ කොටසක් ලෙස, මිලිටරිය යටතේ ගාස්තු අයකරන ආයතන පිහිටුවීමට ආන්ඩුව කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත (කේඑන්ඩීයූඒ) හඳුන්වා දී ඇතැයි ප්‍රනාන්දු කීවේ ය. මෙම පනතට එරෙහි ගුරුවරුන්ගේ හා ශිෂ්‍යයන්ගේ විරෝධය ද රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් නොතකා හැර තිබේ.

ගුරුවරුන්, වෘත්තීය සමිතිවල ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් පිලිවෙතින් බිඳී, සටන තමන්ගේ ම අතට ගැනීම සඳහා පාසල් හා නිවහන් ප්‍රදේශවල ඔවුන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාව ප්‍රනාන්දු අවධාරනය කලේ ය.

කථිකයා ඉන්පසු හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානයක් (කජාක්‍රිස) ගොඩනැගීමට ගෙන ඇති ආරම්භකත්වයට අවධානය යොමු කලේ ය. කොවිඩ්-19 වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙමින් පවතිද්දී, පාසල් යලි විවෘත කිරීමට විරුද්ධ ව ජූලි 28දා පල කල ප්‍රකාශයක දී, එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ ගුරුවරුන්ගේ ක්‍රියාකාරී කමිටුව, ශ්‍රී ලංකාවේ ගුරු වැඩ වර්ජනයට හා ටීඑස්පීඑස්සී වෙත සහයෝගය පල කර ඇති ආකාරය, ලෝසවෙඅ උපුටා දක්වමින් ප්‍රනාන්දු විස්තර කලේ ය.

රැස්වීමට ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කල, ටීඑස්පීඑස්සී සාමාජික හා සසප දේශපාලන මන්ඩල සභික ප්‍රගීත් අරවින්ද, පසුගිය වසර 24 තුල ගුරුවරුන්ගේ වැටුප් අරගල වෘත්තීය සමිති විසින් පාවා දී ඇති ආකාරය විස්තර කරමින් කතාව ආරම්භ කලේ ය. ඔවුන් දැන් වර්ජන ක්‍රියා මාර්ගය කැඳවා ඇත්තේ, ගුරුවරුන්ගේ විරෝධය තම පාලනයෙන් පිට පනිතැයි පවතින භීතිය හේතුවෙනි.

“වෘත්තීය සමිති නායකයන්ට අනුව, මේ වන විට ගුරුවරුන්ගේ අරගලය දුර දිග ගිහින් තිබෙනවා. වැටුප් වැඩි කිරීම අවම වසයෙන් ‘ප්‍රතිපත්තිමය තීන්දුවක්’ ලෙස පිලිගන්නා ලෙස ආයාචනා කරමින්, මේ අවස්ථාවේ වැටුප් වැඩි කිරීමක දී ආන්ඩුවට පවතින ආර්ථික දුෂ්කරතාවන් ඔවුන් විසින් පිලිගෙන ඇත්තේ අරගලය පාවාදීමේ මාවතක් සොයමින්” යයි අරවින්ද කීවේ ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධය සමයේ, වර්තමාන වෘත්තීය සමිති නායකයන් හැසිරුනු ආකාරය ඔහු මතක් කලේ ය. 2007 දී, එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ, ලංකා ගුරු සංගමයේ නායක ජෝසෆ් ස්ටැලින් ඇතුලු ගුරු වෘත්තීය සමිති නිලධාරීන්ගේ මුහුනට ම ප්‍රශ්නය දමා ගැසුවේය.

“මේ (වැටුප් වැඩිකිරීම) සඳහා වෙන් කරන්න අපට මුදල් නැහැ. ඔබලා මට කියන්නේ උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ආපසු කැඳවන්න කියලා ද?” යි මහින්ද රාජපක්ෂ විමසුවේ ය. ස්ටැලින් හා අනෙක් වෘත්තීය සමිති නායකයෝ පසු බසිමින් යුද්ධයට සහයෝගය පිනිස වැඩ වර්ජනය හකුලා ගත්හ.

“ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන ලංකා ගුරුසේවා සංගමයේ (ලංගුසේස) නායක මහින්ද ජයසිංහ ‘ආන්ඩුව අප ව අවුරුදු 24ක් තිස්සේ රැවැට්ටුවා’ යි කියනවා. ‘එහෙත්, අනුප්‍රාප්තික ආන්ඩුවල පොරොන්දු ජයග්‍රහන ලෙස ඔජවඩවා ඇත්තේ එම සමිති නායකයන් ම යි’” යි අරවින්ද සඳහන් කලේ ය.

ගෝලීය වසංගතය විසින් ගැඹුරු කරනු ලබන අර්බුදය මධ්‍යයේ, රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටින ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු සමාජ සුභසාධන කපා හරිමින්, මහජනයා මත බදු බර පටවමින් හා රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කරමින් සිටී. මේ වසරේ අයවැය තුල, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වෙන්කිරීම් පිලිවෙලින් රුපියල් බිලියන 40කින් හා 28කින් අඩු කර ඇතිබව අරවින්ද විසින් ගෙනහැර දැක්වී ය.

මිලිටරිය මත පදනම් වන ජනාධිපති ආඥාදායකත්වයක් කරා වේගයෙන් ගමන් කරන රාජපක්ෂ ආන්ඩුව, මැයි 27දා පටන් විරෝධතා හා අරගල තහනම් කලේ, අත්‍යවශ්‍ය මහජන සේවා නියෝග බලාත්මක කරමිනි.“ආන්ඩුවේ අත්‍යවශ්‍ය සේවා නියෝගය ඇතුලු මේ සියලු පියවරයන්ට වෘත්තීය සමිති නිහඬ ව සහයෝගය දී තිබෙනවා” යි අරවින්ද තව දුරටත් කීවේ ය.

ධනපති ක්‍රමය තුල වෘත්තීය සමිති පැන නැගුනේ, ශ්‍රම ශක්තිය නමැති වෙලඳ භාන්ඩය විකුනන්නාගේ සුවිශේෂී සමාජ ආර්ථික භූමිකාව සඳහා යි. පවතින වෙලඳපල තත්වයන් යටතේ ලබා ගත හැකි හොඳම මිල මෙම වෙලඳ භාන්ඩය සඳහා සුරැකීමට වෘත්තීය සමිති එකල උත්සාහ කලා. කෙසේ නමුත්, නිෂ්පාදනය ගෝලීයකරනය වී ඇති වත්මන් යුගයේ වෘත්තීය සමිති පෙනී සිටින්නේ ප්‍රධාන සංගතවල හා ආන්ඩුවල ආරක්ෂකයා ලෙස බව අරවින්ද පෙන්වා දුන්නේ ය. ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය සභාපති ඩේවිඩ් නෝර්ත්ගේ “වෘත්තීය සමිති සමාජවාදයට හතුරු ඇයි?” යන කෘතියෙන් ඔහු උපුටා දැක්වී ය.

සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගල පාවාදීමට වෘත්තීය සමිති ක්‍රියා කල ආකාරය හා වසංගතය මධ්‍යයේ කම්කරුවන්ට ආපසු වැඩට යාමට බල කල ආකාරය අරවින්ද සවිස්තර ව ඉදිරිපත් කලේ ය.

ගුරුවරුන්ගේ අවම මූලික වැටුප රුපියල් 60,000ක් කොට ඉහල නගින ජීවන වියදම අනුව එය ඉහල දැමිය යුතු ය, සියලු ගුරුවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදිය යුතු අතර සියලු ගුරුවරුන්ට හා ශිෂ්‍යයන්ට පරිගනක හා ඩේටා නොමිලේ සම්පාදනය කිරීම අවශ්‍යය, යන ටීඑස්පීඑස්සී යෝජනාවලට අවධානය යොමු කල අරවින්ද මෙසේ සඳහන් කලේ ය: “මේ කිසිදු ඉල්ලීමක් ධනපති ක්‍රමය යටතේ ජයගන්න බැහැ. ඒවා ප්‍රදානය කල හැක්කේ, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පමන යි. ගුරුවරුන්ට හා අනෙකුත් කම්කරුවන්ට සසපට හා අපේ ක්‍රියාකාරී කමිටුවලට බැඳෙන ලෙසත්, ලෝසවෙඅ කියවන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.”

ප්‍රශ්න ඇසීමේ වාරයේ දී, වැටුප් දිනාගැනීමේත් ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමේත් සසප ක්‍රියා මාර්ගය පැහැදිලි කරන ලෙස හලාවත ප්‍රදේශයේ ගුරුවරයෙක් ඉල්ලා සිටියේ, කේඑන්ඩීයූඒ පනතට දක්වන විරෝධය මත ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ‘මාකට්’ කිරීමට වෘත්තීය සමිති, අපේක්ෂා කරන්නේ යයි ප්‍රකාශ කරමිනි.

සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, අසන්නන් අතරින් සාකච්ඡාවට මැදිහත් වෙමින් මෙසේ කීවේ ය:

“ගුරුවරුන්ගේ අරගලය පිලිබඳ අදහස් දැක්වූ හලාවතින් සවන් දුන් ගුරුවරයාගේ ප්‍රවිෂ්ටයේ මූලික වැරැද්දක් තිබෙනවා. කේඑන්ඩීයූඒ පනතට එරෙහි ගුරුවරුන්ගේ හා සරසවි ශිෂ්‍යයන්ගේ විරෝධතා උද්ඝෝෂනය, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අහෝසි කරගැනීමේ ඉල්ලීම ‘මාකට් කල හැකි අවස්ථාවක්’ ලෙස දැකගත්, වෘත්තීය සමිති නායකයන් විසින් අරගලය ආරම්භ කල බව ඔහු කියනවා.

“එක් අතකින්, වසංගතයේ කොන්දේසි යටතේ, දරාගත නො හැකි ලෙස ජීවන වියදම් ඉහල යාම හේතුවෙන් කෝපයට පත් ගුරුවරුන් විසින් දියත් කරන පලල් හා සටන්කාමී අරගලය හා අවුරුදු 24කට වැඩි කාලයක් තිස්සේ සිය වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලමින් ගුරුවරු විරෝධතාවල යෙදෙද්දී පවා එය අනවරත ව ප්‍රමාද වීම තක්සේරු කිරීමේ දී කුනු වූ වෘත්තීය සමිති නිලධරයන්ගේ ආත්මීය අභිලාෂයන්වලින් පටන් ගැනීමක් මෙම ප්‍රවිෂ්ටය තුල තිබෙනවා.

“ඔහුට මත් වැටුප් විෂමතා හේතුවෙන් මාසයකට රුපියල් 35,000ක් පමන අහිමි වන්නේ කෙසේදැයි ඔහු කියනවා. වෘත්තීය සමිති නිලධරයේ වැනීම් හා විරෝධය නො තකා වර්ජන ක්‍රියා මාර්ගයට ගුරුවරුන් ව තල්ලු කල වෛෂයික සාධක මේවා යි. මෙම අරගලය, දකුනු ආසියානු කලාපයේ හා ජාත්‍යන්තර ව වර්තමානයේ පවතින කම්කරුවන්ගේ පලල් අරගලවල කොටසක්” යි ඩයස් පෙන්වා දුන්නේ ය.

ඩයස් මෙසේ ද පැවසී ය: “කථිකයන් දීර්ඝ ව කතා කල පරිදි, ලොව පුරා ම ධනපති ක්‍රමය පෙර නුවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයක කිඳී සිටිනවා. ධනපති පාලක ප්‍රභූන් මහජනයාට සූදානම් කරමින් සිටින දේත්, කම්කරු පන්තියේ හා පීඩිත මහජනතාවන්ගේ අභිලාෂයනුත් අතර පෑහිය නො හැකි අගාධයක් නිර්මානය කරන තත්ත්වයක් මෙමගින් ගෙනැවිත් තිබෙනවා. වැඩකරන ජනයාගේ හා තරුනයන්ගේ ඉල්ලීම්වලට, සෑම තැනක ම පාලක පන්තීන්ගේ පිලිතුර වන්නේ, සමාජ ප්‍රතිවිප්ලවයට හා යුද්ධයට සූදානම් වීම යි.

“මෙම කොන්දේසි යටතේ, ධනපති ක්‍රමය සඳහා සිටින පන්තියක් ලෙස තම පැවැත්ම අවසන් කල යුතු කම්කරු පන්තිය, තමන් සඳහා වන පන්තියක් බවට පත්විය යුතු යි. මෙහි අර්ථය වන්නේ, සූරාකන ධනපති පාලනය පෙරලා දමා, සමාජවාදී ක්‍රියා මාර්ගයක් ක්‍රියාවට දමන කම්කරු පන්තික පාලනය, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ සහයෝගය සමගින් ස්ථාපිත කිරීම යි.

“පවත්නා වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති නායකත්වයන් එවන් අරගලයකට හුදෙක් මුලුමනින් ම සෑහෙන්නේ නැතුවා පමනක් නෙවෙයි, ඔවුන් එයට සම්පූර්නයෙන් ම හතුරු යි. මෙයට හේතුව, ඔවුන් හිසේ සිට පාදාන්තය දක්වා ම ධනපති පන්තියේ වලිගයේ එල්ලී සිටීම යි. වැඩ කරන ජනයාගේ අවශ්‍යතා සම්පූර්න කිරීම පිනිස, සමාජයේ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අංශයන්ගෙන් සමාජවාදී පරිවර්තනයක් නිර්මානය කිරීමට, කම්කරු පන්තියට නායකත්වය දීම සඳහා ජාත්‍යන්තර සමාජවාදයේ මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරන්නේ ඒ නිස යි” යි පිලිතුර සමාප්ත කරමින් ඩයස් පැවසුවේ ය.

Loading