ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේද?

වැටුප් විෂමතා ඉවත් කිරීම, ගුරු සේවය “සංවෘත” සේවාවක් බවට පත් කිරීම සහ “කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත” අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පාසල් ගුරුවරුන් විසින් දියත් කර ඇති, ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත්ව සිටීමේ වැඩවර්ජනයට සඳුදා වනවිට සති දෙකක් සපිරේ.

ජූලි 12 දා ආරම්භ වූ වැඩවර්ජනයට උතුරු සහ නැගෙනහිර ඇතුලු දිවයිනේ සෑම පලාතක්ම නියෝජනය කරමින් ගුරුවරු දෙලක්ෂයකට අධික පිරිසක් සහභාගිවී සිටිති. වර්ජනය කැඳවා ඇත්තේ ලංකා ගුරු සංගමය (ලංගුස), ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) සහ එක්සත් ගුරු සංගමය (එගුස) ඇතුලු සමිති ගනනාවක් විසිනි.

ගුරු සමිති වර්ජනය කැඳවූයේ, ජූලි 08 දා “කොතලාවල විශ්ව විද්‍යාල පනතට” එරෙහිව පැවැත්වූ විරෝධතාවයකට එල්ල කල රුදුරු පොලිස් ප්‍රහාරයක දී අත්අඩංගුවට ගත් ලංගුස ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටැලින් ඇතුලු කන්ඩායමක් බලහත්කාරයෙන් ගුවන් හමුදාවේ නිරෝධායන කඳවුරක රඳවා තැබීම කෙරෙහි ගුරුවරුන් අතර නැගුනු බරපතල විරෝධය මධ්‍යයේය. කොතලාවල විශ්ව විද්‍යාල පනත මිලිටරිය යටතේ අධ්‍යාපනය පුද්ගලීකරනයට ඉදිරිපත් කර ඇති පනතකි.

2021 අප්‍රේල් 05 බදුල්ල නගරයේ දී ගුරුවරු පැවැත් වූ විරෝධතාවක්

වැඩුනු මහජන විරෝධය හමුවේ ජූලි 16 දා විරෝධතාකරුවන් නිදහස් කිරීමට ආන්ඩුවට සිදුවිය. එහෙත්, දිගු කලක් තිස්සේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ප්‍රතික්ෂේප කෙරුනු අනෙක් ඉල්ලීම් දිනා ගැනීම සඳහා ගුරුවරුන් අතර කැකෑරෙන උවමනාව හමුවේ වර්ජනය දිගටම ගෙන යාමට සමිතිවලට බලකෙරී ඇත.

ගුරු අරගලය දැන් තීරනාත්මක අවස්ථාවක පවතින බව ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවත් සමාජවාදී සමානතා පක්ෂයත් (සසප) අවධාරනය කරයි. ආන්ඩුව අරගලය බිඳීමට අවිඅමෝරා සිටින අතරම ගුරු සමිති යලිත් මෙම අරගලය විරෝධතා සහ සාකච්ඡාවල සිරකොට ආන්ඩුවේ ප්‍රහාරයට උදවුකාරක වෙමින් සිටිති.

තම සටන්කාමිත්වය ප්‍රදර්ශනය කරමින් දෙදහසකට අධික ගුරුවරු ජූලි 22 දා කොලඹදී පැවැත්වූ විරෝධතාවකට සහභාගි වූහ. ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවුමක් ලද සමිති නායකයෝ, එහි නිලධාරීන්ගේ සහභාගිත්වය සහිතව අධ්‍යාපන ඇමති ජි.එල්.පීරිස් සමග සාකච්ඡාවක නිරතවූහ. ඉන් පසු, ලංගුස ප්‍රධාන ලේකම් ස්ටාලින් ගුරුවරුන්ට පවසා සිටියේ “ප්‍රශ්නයට ප්‍රවේශයක්” ලැබුනු බවත් ඉදිරියේ තවත් සාකච්චා පැවැත්වෙන බවත්‍ ය. ආන්ඩුව සුදානම් කරන කැබිනට් පත්‍රිකාවක් පිලිබඳව, අධ්‍යාපන අමාත්‍යංශය සමග අඟහරුවාදා ද, ජනාධිපති සමග ලබන සිකුරාදා ද ආදී වශයෙන් වන සාකච්ඡා පැවැත්වීමට ඇමති හා නිලධාරීන් එකඟ වූ බව සමිති නායකයෝ පැවසූහ.

වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම මුල්කර ගනිමින් 2020 ජනවාරියේදී මෙම සමිති කැඳවූ අසනීප නිවාඩු උද්ඝෝෂනය මධ්‍යයේ ආන්ඩුව මෙවැනිම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කල විට එය ජයග්‍රහනයක් බවට මෙම සමිති ඔජ වැඩූහ. නමුත් අවසානයේ දී එය පත්‍රිකාවකට පමනක් සීමා විය.

ශිෂ්ඨසම්පන්න ජීවිතයකට සරිලන වැටුපක් දිනා ගැනීම සඳහා සියලුම කම්කරුවන් ඒකාබද්ධ කරගත් සටනක් මෙහෙයවනු වෙනුවට “ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත් කරනු!” යන සටන් පාඨය ඔවුන් පෙරට දමා ඇත්තේ, ගුරුවරුන් සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් අතර පංති එකමුතුව බිඳීමේ දැනුවත් අරමුනෙනි. එපමනක් නොව, “වැටුප් විෂමතා” ඉවත් කිරීමේදී එක් එක් ශ්‍රේනි වලට වැඩිවියයුතු වැටුප් පරිමානයන්, ඉහල ශ්‍රේනි වලට යද්දී ක්‍රමයෙන් වැඩිවන ආකාරයෙන් සකසා ඇති වැටුප් සූත්‍රයන්හි ගුරුවරුන් කොටු කිරීමට කටයුතු කරන මෙම සමිති එමගින් ශ්‍රේනි අතර ද භේදය අවුලුවති.

වැටුප් විෂමතා ඉවත් කිරීමේ සඳහා ගුරු සේවය “සංවෘත සේවයක්” කලයුතු බවට ගුරු සමිති ඉල්ලා සිටිති. ඇතැම් අංශවල “සංවෘත සේවයක්” ඇතිකිරීමට පසුගිය ආන්ඩු ක්‍රියාකර ඇත. ඒවායේ වෘත්තීය සමිති මෙම උගුල යොදා ගෙන ඇත්තේ එම සේවාවල සේවකයන් අනෙකුත් කම්කරුවන්ගෙන් භේද කිරීම සඳහාය. ගුරු වැටුප් වැඩිකිරීමට ආන්ඩුව විරුද්ධ නමුත්, මෙම ඉල්ලීමට එකඟ බව කියැවේ. ආන්ඩුවේ උදවු ඇතිව, ගුරු සමිති ද එවන් සංවෘත සේවයක් යොදා ගනු ඇත්තේ ගුරුවරුන් අවශේෂ කම්කරුවන්ගෙන් බෙදීමටය.

වෙලඳ ඇමති බන්දුල ගුනවර්ධන ජූලි 24 දින මාධ්‍යයට ප්‍රකාශ කලේ දැනටමත් ආන්ඩුවේ ආදායමෙන් සියයට 86ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට වැයවන තත්වයක, කොවිඩ්-19 “වසංගතය නිසා ඇතිකර තිබෙන ගැඹුරු අර්බුදය” තුල වැටුප් වැඩි කිරීමක් කිසිසේත්ම කල නොහැකි බවයි. “වැටුප් වැඩිවීමක් දෙන්නේ නම් මහජනතාවගෙන්ම සූරලා තමයි දෙන්න වෙන්නේ” යැයි ගත් කටටම ඔහු ප්‍රකාශ කලේ තම අයිතීන් වෙනුවෙන් සටනට අවතීර්නව සිටින ගුරුවරුන්ට එරෙහිව අවශේෂ කම්කරු-පීඩිත මහජනතාව පිහිටුවීමටයි. ඔහු මේ ප්‍රකාශයන් කලේ, මහජනතාව මත විවිධ බදුබර පටවන අතර, මහා ව්‍යාපාරිකයන්ට දැවැන්ත බදු සහන සහ බිලියන සංඛ්‍යාත මුල්‍ය පැකේජයන් ප්‍රදානය කරන ආන්ඩුව වෙනුවෙනි.

මෙවර වර්ජනයට සමිති තිහකට අධික සංඛ්‍යාවක් එකතුවී ඇති බැවින් ආන්ඩුවට යෙදෙන පීඩනය වැඩිවී ඇති බවටත්, එම නිසාම එය ජයග්‍රහනයෙන් කෙලවරවනු ඇති බවටත් සමිති නායකයෝ පාරම්බාති. “වැටුප් විෂමතාව” ඇති කෙරුනු 1997 සිට ගෙවීගිය වසර 24 පුරා මෙම සමිති විසින් කැඳවූ නිමක් නැති විරෝධතාවන්හි දී සමිති නායකයන්ගේ මෙවන් පූච්චානම් කතා ගුරුවරුන් කොතෙකුත් අසා ඇති නමුත්, ඒ කිසිවක් සාක්ෂාත් වී නොමැත.

පීඩනය වැඩි කිරීමෙන් ආන්ඩුව නම්මාගත හැකිවෙතැයි ගුරු සමිති අඹරන තර්කයට ගුරුවරුන් මුලා නොවිය යුතුය. ඊට විපරීතව, කොවිඩ්-19 වසංගතය මගින් උග්‍ර කෙරුනු ආර්ථික අර්බූදයක කිඳී සිටින රාජපක්ෂ ආන්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයෙන් බලකෙරී පවතින්නේ, අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන තවදුරටත් කප්පාදු කිරීම, මහජනයා මත බදු බර ඉහල නැංවීම, පොහොර සහ අත්‍යවශ්‍ය භාන්ඩ ඇතුලු ආනයනයන් සීමා කිරීම හා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය ඇතුලු ප්‍රහාරයන් වේගවත් කිරීමටයි.

මෙම ප්‍රහාර වලට එරෙහිව ගුරුවරුන් මෙන්ම, සෞඛ්‍ය, තැපැල්, වතුකරය ආදී ක්ෂේත්‍ර ගනනාවක කම්කරුවන් ද, ගොවියන් සහ ධීවරයන් ද යලියලිත් අරගලයට පිවිසෙම්න් සිටිති. මෙය ජාත්‍යන්තර කම්කරු පංතිය තුල වැඩෙන අරගල මාලාවේ කොටසකි. අනෙකුත් රටවල පාලකයන් මෙන්ම, ලංකාවේ ආන්ඩුව, මෙම වැඩෙන අරගල රැල්ලට ප්‍රතිචාර දක්වන්නේ ඒවා රුදුරුම ආකාරයෙන් තලා දැමීම එල්ල කරගත්, මිලිටරිය මත පාදක ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ වැඩකටයුතු වේගවත් කිරීමෙනි.

මිනිස් ජීවිතවලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ සාපරාධී පිලිවෙත මත, රාජපක්ෂ ආන්ඩුව ආර්ථිකයේ සියලු අංග විවෘත කරමින් කම්කරුවන් වැඩට දක්කන විට සහ වසංගතයට මුවා වී හාම්පුතුන් සහ ආන්ඩුව එක්ව කම්කරුවන්ගේ රැකියා වැටුප් කපා දමන විට වෘත්තීය සමිති ඒවාට මුලුමනින්ම දායක විය. කම්කරු අරගල මැඩීමට සුදානම් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැයි 27 සහ ජුනි 2 දින රාජ්‍ය අංශයේ ආයතන 12ක දශ ලක්ෂයක් අලලා අත්‍යවශ්‍ය මහජන සේවා නියෝගය පනවා ඇතත් ගුරු සමිති ඇතුලු වෘත්තීය සමිති ඊට නිහඬව සහාය දෙති.

මෙම සමිති විසින් සහයෝගය පතන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ-වාම සංවිධාන ද ජවිපෙ, සමගි ජන බලවේගය මෙන්ම දෙමල ජාතික සන්ධානය ද මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී නියෝගයට සහාය දෙති. කම්කරු පංතික මූලධර්මාත්මක ආස්ථානයක් ගනිමින් එයට එරෙහිවූයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සෞඛ්‍ය රෙගුලාසි මත ජූලි 06 සිට රැස්විම් සහ විරෝධතා තහනම් කිරීමට ද ආන්ඩුව පියවර ගත්තේය.

“කොතලාවල විශ්ව විද්‍යාල පනත” ආශ්‍රිතව, ගුරු සමිති විසින් ගෙනයන මිලිටරීකරන විරෝධය ද මුලුමනින්ම ව්‍යාජය. “වැටුප් විෂමතා” ඉල්ලීම් මත, 2007 දී දියත් කෙරුනු ගුරු වර්ජනය මධ්‍යයේ එයට නායකත්වය දුන් සමිති නිලධරය සාකච්ඡාවකට කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ “මේ සඳහා වෙන් කිරීමට අපට මුදල් නැහැ” යැයි පවසමින් “ඔබ කියන්නේ අපි උතුරු හා නැගෙනහිරින් හමුදාව ඉවත් කල යුතු බවද?” යනුවෙන් ප්‍රශ්න කලවිට එයට කවර හෝ අභියෝගයකින් තොරව යටත් වූ ස්ටාලින් ඇතුලු නඩය වර්ජනය නවතා දමා, දෙමල ජනයාට එරෙහි රුදුරු වාර්ගික යුද්ධයට සහ ඒ යටතේ වේගවත් කෙරුනු මිලිටරීකරනයට තම සහාය විවෘතවම ලබා දුන්හ.

ගෝලීය ධනේශ්වර අර්බුදයෙන් ගලාඑන මෙම ප්‍රහාරයන්ට එරෙහි අරගලය, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකි. කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනක් වන එයට මෙම සමිති සපුරා එරෙහිය. ගුරුවරුන් තම අරගලය තවදුරටත් ඔවුන් අත පැවතීමට ඉඩ නොදිය යුතුය. වහාම එය තමාගේම අතට ගත යුතුය. ඒ සඳහා, වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ නව සංවිධාන රූපයන් ලෙස, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කම්ටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙයි.

සෑම පාසලක් ආශ්‍රිතවම එවන් කම්ටු ගොඩනැගීමට පෙරට එන ලෙසත්, එම කමිටු වටා නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන දෙමාපියන්, සිසුන් සහ අවශේෂ කම්කරු-පීඩිත මහජනතාව රැලිකර ගැනීමට සටන් වදින ලෙසත් අපි සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

අප කමිටුව පහත ඉල්ලීම් යෝජනා කරයි:

  • ජීවන වියදමට අනුව සැකසෙන පරිදි ගුරුවරයෙකුගේ අවම මාසික වැටුප රුපියල් 60,000 ක් කරනු!
  • සෑම ගුරුවරයෙකුටම පූර්න විශ්‍රාම වැටුපක් සහතික කරනු!
  • මහජන අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10 ක් වෙන් කරනු!
  • සියලුම ගුරුවරුන්ට සහ සිසුන්ට පරිගනක සහ ඔන්ලයින් පහසුකම් නොමිලේ ලබා දෙනු!
  • අඩු පොලී අනුපාත යටතේ ප්‍රමානවත් නිවාස නය පහසුකම් සම්පාදනය කරනු!

අප අවධාරනය කරන්නේ, පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය තුල මෙම යුක්තියුක්ත ඉල්ලීම් සාක්ෂාත් කල නොහැකිබවයි. එය කල හැක්කේ, සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවකින්, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්ති පාලනය විස්ථාපනය කිරීමෙනි. එය ලෝක ධනවාදය සහ ධනේශ්වර ලාබ පද්ධතිය අහෝසි කරන්නා වූ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ අත්‍යන්ත කොටසකි.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කම්ටු, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරු ක්‍රියාකාරී කමිටු සමග ඒකාබද්ධ වෙමින් එම ක්‍රියා මාර්ගය මත කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් කල යුතු ය. කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කොට, මහා පරිමාන ඉඩම්, කම්හල් හා ධනපති බැංකු කම්කරු පංති පාලනය යටතේ ජනසතු කිරීම තුලින් ඉහත ඉල්ලීම් සාක්ෂාත් කිරීමට අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල් සපයාගත හැක.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කර්තව්‍යයෙහි යෙදී සිටින, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසප විසින් නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව සමග ඒකාබද්ධ වෙමින් මෙම අරගලයට උරදෙන ලෙස සියලු ගුරු සහෝදර-සහෝදරියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

“ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේ ද ?” යන මාතෘකාව යටතේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා ක්‍රියාකාරී කමිටුව විසින් මේ මස 30 වන සිකුරාදා සවස 7 ට සූම් තාක්ෂනය ඔස්සේ පවත්වන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමට මෙ තැනින් ලියාපදිංචි වන්න.

Loading