ජැකොබින් සඟරාව ස්පාඤ්ඤ විප්ලවයේ ස්ටැලින්වාදී අලුගෝසුවා වූ දොලොරෙස් ඉබාහුරි වර්නනා කරයි

[මෙය 2020 දෙසැම්බර් 24 වැනි දින Jacobin glorifies Dolores Ibárruri, Stalinist executioner of the Spanish Revolution යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

‍| 1 කොටස | 2 කොටස |

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, “ඉතිහාසයේ දීර්ඝ සෙවනැල්ල: මොස්කව් අවනඩු, ඇමරිකානු ලිබරල්වාදය සහ එක්සත් ජනපදයේ දේශපාලන චින්තනයේ අර්බුදය” නමැති දේශනයක්, 1996 දී මිචිගන් විශ්ව විද්‍යාලයේ දී පැවැත්වී ය. (මේරිං පොත් ප්‍රකාශකයන් විසින් පලකරන ලද රුසියානු විප්ලවය සහ නො නිමි විසිවන සියවස නමැති කෘතිය තුල මෙම දේශනය ඇතුලත් කෙරී පවතී).

ඇමරිකානු ලිබරල් බුද්ධි ස්ථරයේ අතිමහත් බහුතරයක් මොස්කව් අවනඩුවලට සහයෝගය දුන්නේ මන්දැයි යන්නට හේතු, නෝර්ත් විශ්ලේෂනය කොට පෙන්වී ය. සෝවියට් සංගමයේ එක්සත් ජනපද තානාපතිවරයා වූ ජෝසෆ් ඩේවීස් මෙන් ම නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ මොස්කව් වාර්තාකරුවා වූ වෝල්ටර් ඩියුරැන්ටි ද, අවනඩුවල යුක්තියුක්ත භාවය කෙරෙහි විශ්වාසය පල කලේ ය. ඇමරිකානු ලිබරල්වාදයේ වඩාත් ම බලපෑම් සහගත උපකරන දෙක වන ද නේෂන් සහ ද නිව් රිපබ්ලික් යන සඟරා ද එලෙස ම කලෝ ය.

මහා අවපාතයේ සහ ඉතාලිය හා ජර්මනිය තුල ෆැසිස්ට්වාදයෙහි ජයග්‍රහනය මධ්‍යයේ, එක්සත් ජනපදයේ බොහෝ ලිබරල් බුද්ධිමත්තු හා ශාස්ත්‍රාලිකයෝ ෆැසිස්ට් උමතුවට ප්‍රතිබලයක් ලෙස සෝවියට් සංගමය දෙසට හැරුනු බව නෝර්ත් විස්තර කලේ ය. සමාජවාදී විප්ලවයේ අන්තරාය ලඝු කරමින් හා ඔවුන්ගේ ෆැසිස්ට්-විරෝධයට සමාජවාදී වර්නයක් ලබා දෙමින්, ස්ටැලින් ඔහුගේ පැත්තෙන් මෙම ස්ථරයන් අතර සහයෝගයක් වගා කරගත්තේ ය. හිට්ලර්ගේ ජර්මානු උසාවි තුල සිදු කරන ලද භයානක දර්ශනයන්ට සමාන වූ හෝ ඒවා ඉක්මවා ගිය, ජීවිත-කාලීන විප්ලවවාදීන්ට එරෙහි බොරු නඩුවල අධිකරනමය යුක්තියුක්ත භාවය සහතික කිරීමට සහ ඓතිහාසික සත්‍යය පිලිබඳ කිසිදු උත්සුක භාවයන් හා ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ඔවුන්ගේ දෙගිඩියාවන් පසෙකට දැමීමට ලිබරල්වාදීන් තුල තිබූ මනාපය මගින්, ධනවාදයේ මරලතෝනියේ යුගයේ ලිබරල්වාදයේ දේශපාලනික, න්‍යායික හා යමෙකුට ඒවාට එකතු කල හැකි පරිදි සදාචාරාත්මක දුගී බව ප්‍රකාශයට පත් විය.

නෝර්ත් මෙසේ පැහැදිලි කලේ ය:

සෝවියට් ජයග්‍රහන, ලිබරල්වාදීන් විසින් අවිවේචනාත්මක ව අගය කරනු ලැබීම හා සෝවියට් සංගමයට ඔවුන්ගේ දේශපාලන සහාය, එක්සත් ජනපදය ඇතුලත විප්ලවවාදී වෙනස්කම් අනුමත කිරීමක්, කිසි සේත් ම අර්ථභාර කලේ නැත. මීට වඩා බෙහෙවින් වෙනස් ව, බොහෝ ලිබරල් බුද්ධිමතුන් යොමු වී ගත්තේ, සෝවියට් සංගමය සමග සන්ධානය, එක්සත් ජනපදය තුල තමන්ගේ ම සීමිත න්‍යායය පත්‍රය ශක්තිමත් කිරීමේ ද යුරෝපය තුල ෆැසිස්ට්වාදය සිර කර තැබීමේ ද මාර්ගයක් ලෙස ය. බොහෝ ලිබරල් බුද්ධිමතුන් අතර, ස්ටැලින්වාදී තන්ත්‍රය ම අගය කරනු ලැබුවේ, එය ලෝක විප්ලවවාදී වෙනසක හී මුන ලෙස තකන ලද නිසා නො වේ. ට්‍රොට්ස්කිගේ පරාජය, සෝවියට් සංගමය විසින් ජාත්‍යන්තර විප්ලවවාදී ප්‍රාර්ථනයන් අත්හැර දැමීම අර්ථභාර කල බව, ලිබරල්ලු වටහාගෙන තිබුනි. 1930 ගනන් මැද වන විට, ස්ටැලින්වාදී තන්ත්‍රය දේශපාලන නම්බුකාරීත්වයක් අත්පත් කරගෙන තිබුනි.

මොස්කව් නඩු විභාගවලට ලිබරල් ප්‍රතිචාරය පරීක්ෂා කිරීමේ දී තවත් එක් වැදගත් දේශපාලන කරුනක් සිත්හි තබා ගත යුතු ය. ප්‍රථම නඩු විභාගයෙන් යන්තම් මසකට පෙර, 1936 ජූලියේ, ස්පාඤ්ඥ සිවිල් යුද්ධය පුපුරා ගියේ ය. ස්පාඤ්ඤයට ෆැසිස්ට් තර්ජනය එල්ල විය, එය ජය ගතහොත්, දෙවන ලෝක යුද්ධයට දොර හැරෙනු ඇත. සෝවියට් සංගමය ෆැසිස්ට් විරෝධී, සමූහාන්ඩුවාදී බලවේගයන්ගේ ඉතා ම වැදගත් මිතුරා ලෙස දැක ගනු ලැබිනි. ස්පාඤ්ඥයේ ස්ටැලින්වාදී දේශපාලනයේ අර්ථභාරය ගැන වඩා පරීක්ෂාකාරී ව සොයා බැලීමට උනන්දු වූයේ, ලිබරල් බුද්ධිමතුන් කිහිප දෙනෙකු පමනි. ස්ටැලින්වාදීන් විසින්, දේශපාලන ත්‍රස්තය යොදා කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය කුඩු කරමින්, අන්තිමේ දී ෆ්‍රැන්කෝගේ ජයග්‍රහනයට මග පෑදූ සැටි, ඔවුන් විසින් බොහෝ සෙයින් නො තකා හරින ලදී. මතුපිටින් ගත්කල- ඉන් ඔබ්බට බැලීමට සූදානම් වූයේ ලිබරල්වරුන් ටික දෙනෙකි- සෝවියට් සංගමය පෙනී ගියේ, ස්පාඤ්ඤය තුල ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා “ප්‍රගතිශීලී බලවේගයන්ගේ” සියලු බලාපොරොත්තු රැඳවූ පර්වතය ලෙසට ය. (ඩේවිඩ් නෝර්ත්, රුසියානු විප්ලවය සහ නො නිමි විසිවන සියවස, කොලඹ, කම්කරු මාවත ප්‍රකාශන, 2016, 60-61 පිටු)

මහජන පෙරමුනු ක්‍රියා මාර්ගය ක්‍රියාවට දැමීම එක්සත් ජනපදය තුල සිය රූපය අත්පත් කරගත්තේ, කොමියුනිස්ට් පක්ෂය ෆ්‍රැන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට්ගේ ආන්ඩුවට අනුමැතිය දීමත්, අලුතින් බිහිකරන ලද සීඅයිඕ කාර්මික වෘත්තීය සමිති ඩිමොක්‍රටික් පක්ෂයට දේශපාලනික ව යටත් කිරීමේ දී එය ඉටුකල ක්‍රියා කලාපයත් තුල ය.

ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් ජර්මනියට එරෙහි යුද්ධයට අත්සන් තබමින් (විකිමීඩියා කොමන්ස්)

කම්කරු ව්‍යාපාරය ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කිරීමේ මෙම ප්‍රශ්නය, එක්සත් ජනපදය තුල කම්කරු ව්‍යාපාරය වර්ධනය කිරීමේ දී මුහුන පෑමට සිදුවන කේන්ද්‍රීය දේශපාලන ගැටලුව ලෙස පැවති අතර, තවමත් එලෙස ම පවතී. 1929 වෝල් වීදියේ අර්බුදය විසින් ප්‍රේරනය කරන ලද ධනවාදයේ ගෝලීය බිඳ වැටීම, ඒ වන විටත් ලෝකයේ ආධිපත්‍යධාරී කාර්මික බලය වූ එක්සත් ජනපදය තුල, ව්‍යසනකාරී සමාජ අර්බුදයක රූපය ක්ෂනික ව අත්පත් කරගත්තේ ය. එක් රැයකින් ම වාගේ, මිලියන ගනන් කම්කරුවන් සහ කුඩා ගොවීන් දුගී බවටත්, කුසගින්නට ඇද වැටුනි.

ධනවාදය අපකීර්තියට පත් වී තිබුනි. බුද්ධිමතුන්ගේ කොටස් ඇතුලු මහජනයාගේ තොල් මත එය (ධනවාදය) අපිරිසිදු වචනයක් බවට පත් විය. ඔක්තෝබර් විප්ලවයෙන් දශකයක් ගත වීමටත් පෙරාතු ව, සෝවියට් සංගමය මිලියන් ගනන් දෙනා ආකර්ශනය වන හා ඔවුන්ට අනුප්‍රානය සපයන ධ්‍රැවයක් බවට පත් විය. ඇමරිකානු පාලක ප්‍රභූව සම්බන්ධයෙන් ගත් කල, සෝවියට් සංගමයේ පැවැත්ම, එක්සත් ජනපදය තුල සමාජවාදී විප්ලවයේ අන්තරාය අනවරත ව සිහිපත් කරන්නක් විය.

පාලක පන්තියේ වඩාත් දුර දක්නා කොටස් විසින්, ඔවුන්ගේ පද්ධතිය පෙරලා දමනු ලැබීමෙන් ආරක්ෂා කරගැනීම සඳහා, සීමිත සමාජ ප්‍රතිසංස්කරන වැඩසටහනක් වෙනුවෙන් ඇමරිකානු ධනවාදයේ යෝධ මූල්‍ය සංචිතයන්ගෙන් කොටසක් වියදම් කල යුතු බවට පැමිනි නිගමනය, රූස්වෙල්ට්ගේ නිව් ඩීල් වැඩසටහන මගින් පිලිබිඹු කලේ ය. සමාජීය බිඳ වැටීම හේතුවෙන් කම්කරු පන්තිය තුල හටගත් ආරම්භක කම්පනයන් ක්ෂය වී යාම ඇරඹුනු විට, පන්ති ගැටීමේ පුපුරා යාමක් වැලැක්වීමට කොයි හැටි වෙතත් මෙය ප්‍රමානවත් නො වී ය. 1934 වසර නගර තුනක් තුල මහා වැඩ වර්ජන දැකගත්තේ ය: ටොලේඩෝ (ඔහියෝ), සැන් ෆ්‍රැන්සිස්කෝ හා මිනියාපොලිස් එම නගර තුන වූ අතර, මිනියාපොලිස් නගරයේ වර්ජනයට නායකත්වය දුන්නේ එවකට ඇමරිකානු කොමියුනිස්ට් ලීගය තුල සංවිධානය වී සිටි ට්‍රොට්ස්කිවාදීන් විසිනි.

1934 මිනියාපොලිස් ටීම්ස්ටර්ස් වැඩ වර්ජනය

පතල් කම්කරු නායක ජෝන් එල්. ලුවිස් සහ ශිල්ප මත පදනම් වූ ගතානුගතික ඇමරිකානු කම්කරු සම්මේලනයෙන් (ඒඑෆ්එල්) බිඳී වෙන් වූ අනෙකුත් වෘත්තීය සමිති නායකයන් ප්‍රධානත්වය දැරූ කර්මාන්ත සංවිධානය සඳහා කමිටුව [සීඅයිඕ වෘත්තීය සමිතියේ පූර්වාගාමී සංවිධානය - සංස්.] 1935 දී බිහිකිරීමෙන් පසුව, අර්ධ-සන්නද්ධ නැගී සිටීමේ ස්වරූපයේ සටන් පැන නැගුනි. මෝටර් රථ, වානේ, විදුලි, රබර්, සන්නිවේදනය සහ අනෙකුත් අංශවල නිපුන නො වුනු කම්කරුවන් සංවිධානය කිරීමටත්, මහා කාර්මික වෘත්තීය සමිති ස්ථාපිත කිරීමටත් ඒඑෆ්එල් විරුද්ධ විය.

කාර්මික වෘත්තීය සමිති සඳහා වූ ව්‍යාපාරය, මහ ව්‍යාපාරික පක්ෂවලින් වෙන් වීම පිලිබඳ ප්‍රශ්නය ඉස්මතු කලේ ය. 1935 දී පැවති එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) ආරම්භක සම්මේලනය කම්කරු පක්ෂයක් බිහිකිරීම සඳහා ඡන්දය දුන්නේ ය.

ජෙනරල් මෝටර්ස් සංගතයට යූඒඩබ්ලිව් පිලිගැනීම සඳහා බල කල ෆ්ලින්ට් වාඩිලා ගැනීමේ වර්ජනය විසින් ආවේශ ගන්වන ලදුව, වාඩිලා ගැනීමේ වැඩ වර්ජන රැල්ලක් 1937 ආරම්භය වන විට මූලික කර්මාන්ත සිසාරා හමා ගියේ ය. ඇමරිකානු කම්කරු පන්තියේ මෙම පුපුරනසුලු නැගී සිටීමෙන් කාර්මික සංවිධාන සම්මේලනය (සීඅයිඕ) ඵල දැරී ය.

නායකත්වය ඇතුලු නව කාර්මික වෘත්තීය සමිති ව්‍යාපාරය මත කොමියුනිස්ට් පක්ෂයට තිබූ සැලකිය යුතු ආනුභාවය එය විසින් යොදා ගත්තේ, රූස්වෙල්ට් හා ඩිමොක්‍රටිකයන් වෙතින් බිඳී දේශපාලනික ව ස්වාධීන රූපයක් අත් කරගැනීමෙන් වැලැක්වීමට ය. මේ කාර්යයේ දී, එය ලුවිස් හා අනෙකුත් ධනපති-ගැති නිලධරයන් සමග එකමුතු විය.

අවපාතයේ සහ අධිරාජ්‍යවාදී බලයන් තවත් ලෝක යුද්ධයකට සූදානම් වීමේ කොන්දේසි යටතේ, ඇමරිකානු කම්කරුවන් ධනපති පක්ෂ වෙතින් දේශපාලනික ව බිඳීම සතුව, හුදෙක් එක්සත් ජනපදය තුල පමනක් නො ව, ජාත්‍යන්තර ව ද යෝධ විප්ලවවාදී ගම්‍යයන් තිබින. එම කාරනය නිසා ම, ක්‍රෙම්ලිනයේ මහජන පෙරමුනු පිලිවෙත සමග පෙලගැසුනු එක්සත් ජනපදයේ ස්ටැලිනීකෘත කොමියුනිස්ට් පක්ෂය, එලෙස බිඳීමක් වැලැක්වීමට ක්‍රියා කලේ ය.

එක්සත් ජනපදයේ පැරනිතම ධනේශ්වර පක්ෂය වූ, දකුනේ වහල්හිමි තන්ත්‍රයේ පැරනි බලකඳවුර වූ සහ ඒ අතර ම ජිම් ක්‍රෝ විසංගමනයන් බලාත්මක කිරීමේ ප්‍රධානියා වූ ඩිමොක්‍රටික් පක්ෂය, සමාජ විරෝධතා ව්‍යාපාර මැඩපැවැත්වීමේත්, ඒවා බෙලහීන කිරීමේත්, පාලක පන්තියේ ප්‍රධාන දේශපාලන යාන්ත්‍රනය ලෙස ඒ වන විටත් දශක ගනනක් තිස්සේ සේවය කොට තිබුනි. වෝල් වීදි-විරෝධී, කුඩා ගොවීන් මත පදනම් වෙමින් ශතවර්ෂය ආරම්භයේ පැන නැගුනු ජනතාවාදී ව්‍යාපාරය, ඩිමොක්‍රටික් පක්ෂය පිටුපසට පෙල ගැස්සවීම මගින් හානිරහිත බවට පත්කොට තිබුනි. 20 ශතවර්ෂය මුල පැනනැගුනු අධිරාජ්‍ය-විරෝධී හා ඒකාධිකාර-විරෝධී විරෝධතා පිලිබඳ තත්ත්වය ද එය විය.

ෆැසිස්ට්වාදයේ වර්ධනය කෙරෙහි බිය වූ ද කම්කරු පන්තික විප්ලවයක භව්‍යතාව විසින් බියපත් කරනු ලැබුවා වූ ද ලිබරල් බුද්ධිමය බහුතරය අවපාත අවුරුදුවල දී රූස්වෙල්ට් හා ඩිමොක්‍රටිකයන් පිටුපස පෙලගැසුනි. කොමියුනිස්ට් පක්ෂය පන්ති සහයෝගිතාවාදය හා ඇමරිකානු ජාතිකවාදය විවෘත ව වැලඳ ගැනීම ද සමාජ විප්ලවය එය විසින් තථ්‍ය ලෙස ප්‍රතික්ෂේප කිරීම ද හේතුවෙන් ඔවුන් කොමියුනිස්ට් පක්ෂය වෙතට ආකර්ශනය කරගනු ලැබිනි.

රූස්වෙල්ට් යනු “ෆැසිස්ට් අධිරාජ්‍යවාදියෙකි” යනුවෙන් ඔහු මත එල්ල කරන ලද තුන්වන කාලපරිච්ඡේදීය ප්‍රහාර 1935 දී හදිසියේ අතහැර දැමූ කොමියුනිස්ට් පක්ෂය, තමන් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්නෙකුට වැඩි යමක් නො වන බව ප්‍රකාශ කලේ ය. “අපි ඇමරිකානුවන්ගෙන් සැදුම්ලත් ඇමරිකානු පක්ෂයක්. අපි අපගේ සියලු ගැටලු දැකගන්නේ එක්සත් ජනපදයේ ජාතික අවශ්‍යතාවල අලෝකයෙන්” යයි පක්ෂ නායක අර්ල් බ්‍රවුඩර් මහජන රැලියක දී කීවේ, කොමියුනිස්ට් පක්ෂය “විසිවන ශතවර්ෂයේ ඇමරිකානුවාදය” නියෝජනය කරන බව කියා පාමිනි.

අර්ල් බ්‍රවුඩර් 1939 දී

1938 මැයි මාසයේ පැවති එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂයේ දසවැනි ජාතික සම්මේලනයේ දී, සම්මේලන ශාලාව ඇමරිකානු කොඩිවලින් සරසා තිබුනු අතර, නියෝජිතයෝ “ඇමරිකානු ජාතික ගීතය” ගායනා කල හ.

සෝවියට් පාලන තන්ත්‍රයේ ප්‍රති-විප්ලවවාදී, ජාතිකවාදී පිලිවෙතට ඉඩ සැලසෙන පරිදි සහ ඇමරිකානු කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ඉස්මතු වීම වැලැක්වීමට, එක්සත් ජනපද ස්ටැලින්වාදියෝ සිදුකල මාක්ස්වාදය දුරාචාරයේ යෙදවීමේ දී, තත්කාර්යවාදය, පුද්ගලවාදය, ජාතිකවාදය, බුද්ධිරෝධවාදය ආදී ධනේශ්වර හා සුලුධනේශ්වර දෘෂ්ටිවාදයේ විවිධාකාර වික්‍රියාවන් භාවිතයට ගත් අතර, ඇමරිකානු චින්තනය හා දේශපාලනය තුල ඒවා ප්‍රමුඛ භූමිකාවක් ඉටුකර තිබුනි.

ඇමරිකානු කම්කරු පන්තියේ කැරලිකාරී ව්‍යාපාරය, ස්වාධීන දේශපාලනික රූපයක් අත් කරගැනීමේ තීරනාත්මක වැදගත් කම, ට්‍රොට්ස්කි ඔහුගේ අවසන් ලේඛන තුල අවධාරනය කලේ ය. එවකට සමාජවාදී කම්කරු පක්ෂය (සකප) තුල සංවිධානගත ව සිටි ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන් ව මෙම පදනම මත ඔහු උනන්දු කලේ, සීඅයිඕව ඩිමොක්‍රටිකයන්ගෙන් බිඳී කම්කරු පක්ෂයක් ස්ථාපිත කිරීමේ ඉල්ලීම අනුමත කොට, එම ඉල්ලීම 1938 දී හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනය විසින් අනුමත කර තිබුනු විප්ලවීය සමාජවාදී සංක්‍රමන ක්‍රියා මාර්ගය සමග බද්ධ කිරීමේ අවශ්‍යතාව යි.

1940 අගෝස්තු 20දා ස්ටැලින්වාදී ජීපීයූ ඒජන්ත රේමන් මර්කාඩර් විසින් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමෙන් අනතුරු ව, ඔහුගේ වැඩකරන මේසයේ තිබී සොයාගන්නා ලද “අධිරාජ්‍යවාදී පිරිහීමේ යුගයේ වෘත්තීය සමිති” නමැති නිම නො කල ලියවිල්ලක, ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

එක්සත් ජනපදයේ වෘත්තීය සමිති ව්‍යාපාරය, මෑත අවුරුදුවල දී වඩාත් ම කැලඹිලිකාරී ඉතිහාසය හරහා ගමන් කර ඇත. සීඅයිඕවේ නැගීම වැඩකරන ජනයා තුල තිබෙන විප්ලවවාදී ප්‍රවනතාවන් පිලිබඳ අවිවාදනීය සාක්ෂිය යි. එහෙත්, ඉහල ම අංශකයකින් ප්‍රතිසම හා සැලකිල්ලට ලක්විය යුතු වන්නේ, නව “වාමාංශික” වෘත්තීය සමිති සංවිධානය ආරම්භ කල තරම් ඉක්මනින් ම, අධිරාජ්‍යවාදී රාජ්‍යයේ යකඩ රාමුව වැලඳ ගැනීමට බඳුන් වූ බව යි. පැරනි හා නව වෘත්තීය සමිති සම්මේලනයන්ගේ නායකයන් අතර අරගලය, බොහෝ සෙයින් ම, රූස්වෙල්ට් හා ඔහුගේ කැබිනට්ටුවේ අනුග්‍රහය හා සහයෝගය සඳහා වන අරගලයට සිඳුවිය හැකි ය. (ලියොන් ට්‍රොට්ස්කි, වෘත්තීය සමිති පිලිබඳ ව ලියොන් ට්‍රොට්ස්කි, (ඉංග්‍රීසි), නිව් යෝක්, 1975, 73 පිටුව)

කම්කරු පක්ෂය පිලිබඳ සටන් පාඨය ගැන 1938 මැයි මාසයේ සකප නායකයන් සමග පැවති සාකච්ඡාවක දී, නව කාර්මික වෘත්තීය සමිති ව්‍යාපාරය ගැන ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය:

පන්ති අරගලය තලා නො දැමිය යුතු නම්, එය දිරිසුන් වීම විසින් විස්ථාපනය නො විය යුතු නම්, ව්‍යාපාරය නව මාවතක් සොයාගත යුතු අතර, එම මාවත දේශපාලනික එකකි. මෙම සටන් පාඨයට පක්ෂපාත මූලික තර්කය වන්නේ එය යි. (ලියොන් ට්‍රොට්ස්කි, සමාජවාදී විප්ලවය සඳහා සංක්‍රමන ක්‍රියා මාර්ගය (ඉංග්‍රීසි), නිව් යෝක්, 1977, 163-164 පිටු)

ලියොන් ට්‍රොට්ස්කි 1930 ගනන් අග දී

ඩේවිඩ් නෝර්ත් 1996 දී පැවැත්වූ දේශනයේ දී, යුද්ධයට පෙර වර්ෂවල එක්සත් ජනපද ලිබරල් බුද්ධි ස්ථරයේ සෝවියට්-ගැති භාවයත්, යුද්ධයෙන් පසු වඩාත් ම බිහිසුනු සීතල යුද ප්‍රති-කොමියුනිස්ට්වාදය හා සෝවියට්-විරෝධය කරා එහි හැරීමත් අතර සම්බන්ධය විස්තර කලේ ය. එක් කාලපරිච්ඡේදයක දී, ස්ටැලින්ගේ අපරාධ කෙරෙහි ක්ෂමාලාපකයන් බවට ඔවුන් ව පත් කල, ඔවුන්ගේ දේශපාලනික හා න්‍යායික නො ගැඹුරු භාවය හා අවස්ථාවාදය සහ ඓතිහාසික සත්‍යය කෙරෙහි ඔවුන්ගේ ලුහු ආකල්පය ම, ඊලඟ කාලපරිච්ඡේදයේ දී, එම අපරාධ පිලිබඳ වරද සමාජවාදය හා මාක්ස්වාදය ස්ටැලින් විසින් පාවා දෙනු ලැබීම මත වෙනුවට, සමාජවාදී හා විප්ලවවාදී ව්‍යාපෘතිය මත ම පැටවීමට ඔවුන් ව ධාවනය කලේ ය. ස්ටැලින්ගේ ඒකාධිපතිවාදී ආඥාදායකත්වය, ඔක්තෝබර් විප්ලවයේ ද මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ ද අනිවාර්ය ප්‍රතිඵලය යයි කියාපාන ලදී.

විප්ලවීය සමාජවාදය හා ජාත්‍යන්තරවාදය ට්‍රොට්ස්කි විසින් ආරක්ෂා කිරීම ද ස්ටැලින්වාදයට එරෙහි ඔහුගේ අශමනීය අරගලය ද ආවේනික ව ම පරමාධිකාරී පාලන තන්ත්‍රයක පාලනය සඳහා තරඟවැදී සිටින්නන් අතර වූ අභ්‍යන්තර දබරයකට නො වැඩි දෙයක් ලෙස විස්තර කොට අතහැරීම හෝ නො තකා හැරීම සිදුකරන ලදී.

නෝර්ත් මෙසේ කීවේ ය:

ලිබරල් බුද්ධිජීවීන් අතර සෝවියට් සංගමය කෙරේ පැවති ආකල්පයේ යසරඟ වෙනසක් 1936-46 සමයේ දී සිදු විය. එහෙත් බැලූ බැල්මට, වෙනස් යයි පෙනී ගිය මෙම විවිධ ආස්ථානයන් අතර නිශ්චිත දේශපාලනික හා න්‍යායික අඛන්ඩතාවක් පැවතුනේ ය. ට්‍රොට්ස්කිට විරුද්ධ ව ස්ටැලින්ට සහාය දෙද්දීත් ස්ටැලින්ට විරුද්ධ ව ටෲමන්ට සහාය දෙද්දීත් යන අවස්ථා දෙකේ දී ම, ලිබරල් බුද්ධිජීවීහු, ස්ටැලින්වාදය හා මාක්ස්වාදය යන දෙක අනන්‍ය ය යන ආස්ථානයෙන්, සිය කටයුතු ආරම්භ කල හ.

මෙය, ලිබරල් බුද්ධිජීවීන්, ඔවුන්ට දේශපාලනික ව හා බුද්ධිමය වසයෙන් ආරක්ෂා වී ගත නො හැකි වූ ආස්ථානයකට පත් කලේ ය. මෙම පහසු සූත්‍රය, එනම් ස්ටැලින්වාදය මාක්ස්වාදයට හා සමාජවාදයට අනන්‍ය ය යන්න මත පදනම් වූ, ඔවුන්ට ඉතිරි වූයේ විකල්ප දෙකකි. එක්කෝ ස්ටැලින්වාදයට, ඇමරිකානු ධනවාදයේ පාක්ෂිකයන් ලෙස, දකුනෙන් විරුද්ධ වීම ය. නැතහොත්, ස්ටැලින්වාදයේ ක්ෂමාලාපකයන් බවට පත් වීම ය. ද නිව් රිපබ්ලික් සඟරාව ප්‍රථම කඳවුරට සේන්දු විය. ද නේෂන් සඟරාව දෙවන විකල්පය ගත්තේ ය. (ඩේවිඩ් නෝර්ත්, රුසියානු විප්ලවය සහ නො නිමි විසිවන සියවස, කම්කරු මාවත ප්‍රකාශන, කොලඹ, 2016, 74-75 පිටු)

කම්කරු පන්තිය ඩිමොක්‍රටික් පක්ෂයට හා ධනේශ්වර ලිබරල්ලුන්ට යටත් කිරීම මගින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හා සෝවියට් සංගමයට එරෙහි එහි සීතල යුද ප්‍රහාරයට පශ්චාත්-යුද කම්කරු ව්‍යාපාරය යටත් කිරීමේ දී ඇමරිකානු ස්ටැලින්වාදීහු තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කල හ. ප්‍රති-කොමියුනිස්ට්වාදී දඩයමක් උපයෝගී කරගෙන වෘත්තීය සමිති විරේක කරමින්, සීඅයිඕ නායකත්වය සහ ඩිමොක්‍රටික් පක්ෂය, සකලාකාර වාමාංශික හා සමාජවාදී කොටස්වලට එරෙහි ව වනචර ලෙස හැරුනෝ ය. වෘත්තීය සමිතිවල ඛාදනයට ද අවසානයේ ඒවායේ ඇද වැටීමට ද ආනුෂංගික ව ඒවා සංගතවල හා ධනපති රාජ්‍යයේ ඍජු ඒජන්තයන් බවට පරිවර්තනය වීමට ද මෙමගින් වේදිකාව සකස් කලේ ය.

ඩීඑස්ඒ හා සීතල යුද ප්‍රති-කොමියුනිස්ට්වාදය

ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) ඓතිහාසික ව මුල් බැස තිබෙන්නේ, එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු ද එහි ප්‍රධාන ප්‍රචාරකයන්ගෙන් හා ලේඛකයන්ගෙන් එක් අයෙකු ද වන, හතරවන ජාත්‍යන්තරයෙන් හා සමාජවාදී කම්කරු පක්ෂයෙන් (එස්ඩබ්ලිව්පී) බිඳී ගිය මැක්ස් ෂැට්මන් විසින් නායකත්වය දුන් දක්ෂිනාංශික ප්‍රවනතාවක් තුල යි. නිව් යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් බර්න්හැම් සහ එස්ඩබ්ලිව්පී ජාතික කමිටුවේ සාමාජිකයෙකු වූ මාටින් ඇබර්න් සමගින් එක් වූ ෂැට්මන්, 1939 දී අත්සන් තබන ලද ස්ටැලින්-හිට්ලර් අනාක්‍රමනික ගිවිසුමට ප්‍රතිචාර දක්වන ලද්දේ, අධිරාජ්‍යවාදයට එරෙහි ව හතරවන ජාත්‍යන්තරය විසින් සෝවියට් සංගමය ආරක්ෂා නො කල යුතු බවත්, සෝවියට් සංගමය මත් අධිරාජ්‍යවාදී රාජ්‍යයක් බවට පත් වී ඇති බවත් කියා පාමිනි.

ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික ජයග්‍රහනයන්ගෙන් කිසිවක් ඉතිරි වී නැතැයි යන බර්න්හැම්ගේ ආස්ථානය ක්ෂනික ව ෂැට්මන් විසින් අනුමත කලේ ය. බර්න්හැම් “නිලධාරිවාදී සාමූහිකවාදී” යනුවෙන් හැඳින්වූ පන්ති සමාජයේ නව රූපාකාරයක් බවට සෝවියට් සංගමය පත් ව තිබූ අතර, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය නව පාලක පන්තියක් බවට පරිනාමය වී තිබුනි. මෙය “රාජ්‍ය ධනවාදය” යනුවෙන් හැඳින්වීමට නියමිත ව තිබූ පලල් ප්‍රවනතාවක කොටසක් විය. ස්ටැලින්වාදී ආඥාදායකත්වය යටතේ පැවති සෝවියට් සංගමය “පිරිහුනු කම්කරු රාජ්‍යයක්” යන හතරවන ජාත්‍යන්තරයේ විශ්ලේෂනය එය එක පැහැර අහකට විසිකර දැමී ය. ස්ටැලින්ගේ අපරාධ හා පැහැරගැනීම් නො තකා, ඔක්තෝබර් විප්ලවය විසින් ස්ථාපිත කරන ලද ජනසතු දේපොල සබඳතා මත තව දුරටත් පාදක වූ සෝවියට් සංගමය, නිලධරය පෙරලා දමනු ලැබීම සඳහා සෝවියට් කම්කරු පන්තිය සිදු කරන දේශපාලන විප්ලවයක් සහ නිර්ධන පන්ති ප්‍රජාතන්ත්‍රවාදය හා ලෝක සමාජවාදී විප්ලවයේ විප්ලවීය ක්‍රියා මාර්ගය පුනස්ථාපනය කිරීම මගින්, එය තුල ධනවාදය පුනස්ථාපනය කරනු ලැබීමෙන් ආරක්ෂා කරනු ලැබිය හැකි විය.

1939-1940 සමයේ එස්ඩබ්ලිව්පීය තුල හටගත් කන්ඩායමික අරගලයේ ගමන් මාවතේ දී ලියන ලද මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා නමැති දිදුලන විවාද රචනා මාලාවක දී ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, ෂැට්මන් විසින් නායකත්වය දුන් සුලුතර කන්ඩායමෙහි දේශපාලනයේ හදවතේ පැවතුනේ, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කිරීම සහ සමාජවාදී විප්ලවයේ කිසිදු හැකියාවක් ප්‍රතික්ෂේප කිරීම යි.

ෂැට්මන් හා බර්න්හැම්ගේ දිරිසුන් ඉදිරි දර්ශනය පිලිබිඹු කලේ, ට්‍රොට්ස්කිට මුල දී අනුග්‍රහශීලී වූ නමුත්, රූස්වෙල්ට් පරිපාලනය දෙවන ලෝක යුද්ධයට ඇතුල් වීමට සූදානම් වන තතු තුල, ඔක්තෝබර් විප්ලවය සහ විප්ලවීය සමාජවාදය ක්ෂනික ව ප්‍රතික්ෂේප කරමින්, ඇමරිකානු අධිරාජ්‍යවාදය පිටුපස පෙලගැසුනු එස්ඩබ්ලිව්පීයේ සුලු-ධනේශ්වර බුද්ධිමතුන්ගේ සමස්ත ස්ථරයක දකුනට තල්ලු වී යාමයි. 1940 වසන්තයේ දී එස්ඩබ්ලිව්පීයෙන් බිඳී වෙන්වුනු සුලු-ධනේශ්වර කන්ඩායමක නායකයා වූයේ ෂැට්මන් ය. භේදයෙන් සති කිහිපයක් ඇතුලත, සමාජවාදය හෙලා දුටු බර්න්හැම් ප්‍රති-කොමියුනිස්ට්වාදී ඇමරිකානු සංරක්ෂනවාදයේ දෘෂ්ටිවාදාත්මක නායකයා බවට ක්ෂනික ව පත් විය. ෂැට්මන්ගේ පරිනාමය වඩා දිග්ගැසුනු නමුත්, ඔහුගේ සුලු-ධනේශ්වර දේශපාලනයේ තර්කනය, 1940 ගනන් අග දී සීතල යුද ප්‍රති-කොමියුනිස්ට්වාදය වැලඳ ගැනීම කරා ඔහු ව තල්ලු කලේ ය. ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරයේ දේශපාලන උපදේශකයෙකු වූ ඔහු, 1972 තම මරනයට පෙරාතුව නික්සන් පරිපාලනය උතුරු වියට්නාමයට බෝම්බ දැමීමේ ආධාරකරුවෙකු බවට පත් විය.

ස්ටැලින්වාදයට හා ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයට සුදු හුනු තැවරීමේ දී, ඩීඑස්ඒ එහි සෝවියට්-විරෝධී හා ප්‍රති-කොමියුනිස්ට්වාදී මූලයන් නිෂ්ක්‍රමනය නො කරයි. ෂැට්මන්ගේ දේශපාලන ආරක්ෂකයෙකු වූ එහි ආරම්භක මයිකල් හැරින්ටන්, සීතල යුද්ධයේ, ඩිමොක්‍රටික් පක්ෂයේ හා වෘත්තීය සමිති නිලධරයේ ආධාරකරුවෙකු විය. දිගට ම සෝවියට් සංගමය දකුනෙන් හෙලාදැකීමේ නිරත වන ඩීඑස්ඒය, ඔක්තෝබර් විප්ලවය එය පාවාදීමේ පදනම මත ස්ථාපනය කරන ලද අත්තනෝමතික ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය සමග අනන්‍ය කිරීමේ නිමග්න වෙයි.

ඩීඑස්ඒට හා ලොව පුරා රාජ්‍ය ධනවාදී කන්ඩායම්වලට යටින් දිවෙන ප්‍රති-කොමියුනිස්ට්වාදය, ට්‍රොට්ස්කිවාදයටත් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයටත් එරෙහි ව එම කන්ඩායම් ස්ටැලින්වාදී ප්‍රවනතා සමග සන්ධානගත වීමෙන් වලක්වා නැත. ජැකොබින් සඟරාව හා ඩීඑස්ඒය අද දින එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය තුල ප්‍රශංසාත්මක ලෙස හරියට ම සොයාගන්නේ, ස්පාඤ්ඥ විප්ලවය ලේවැකි ලෙස විනාශ කිරීම, මොස්කව් අවනඩු හා ඝාතනයන් සහ සීඅයිඕව රූස්වෙල්ට්ට හා ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කිරීම ආදියට එය සහයෝගය දුන්, 1930 ගනන්වල මහජන පෙරමුනු කාල පරිච්ඡේදයේ දී එය ඉටු කල ප්‍රතිවිප්ලවවාදී භූමිකාව ම ය.

1936 ජූලි 22දා බාසිලෝනාවේ වීදි සටනක දී ගඩොල් බාධක ඉදිකරමින්, විවිධාකාර රයිෆල්වලින් හා පිස්තෝලවලින් සන්නද්ධ ව සිටින සමූහාන්ඩුවාදී ස්වේච්ඡා සටන්කරුවන් (ඒපී ඡායාරූප)

ජැකොබින් සඟරාව හා ඩීඑස්ඒ ඉබාහුරි උත්කර්ෂයට නැංවීම කිසිසේත් ම අස්වාභාවික නො වේ. එය අද දින රැඩිකලීකරනය වන කම්කරුවන් හා තරුනයන් අනුගමනය කල යුතු මොඩලයන් ලෙස ස්ටැලින්වාදය හා ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය හොඳින් ගනන් බලා දිරිමත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි. ඇන්ජලා ඩේවිස් වැනි 1960 හා 1970 ගනන්වල ස්ටැලින්වාදී චරිත මෑත මාසවල දී ඉදිරියට ගෙනැවිත් ඇති ජැකොබින් සඟරාව, එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂයේ ඊනියා විප්ලවවාදී උරුමය යයි කියා පාන දෙයට ව්‍යාජ ප්‍රශංසා පලකරන ලිපි පලකර ඇත.

මේ මාසය ම ගත්ත ද ඇමේසන්හි පලකල නව කෘතියක් පිලිබඳ විමර්ශනයක් ජැකොබින් සඟරාව දෙසැම්බර් 5දා පලකලේ ය. “ඇමේසන්ට ප්‍රතිරෝධය පෑම නිරර්ථක නො වේ” යන හිසින් යුතු විමර්ශනය, “හුදෙක් 1930 ගනන්වල සීඅයිඕවේ කාර්මික සංවිධානාත්මක සාර්ථකත්වයන් කරා මාවතක් බවට පත්කල” පමනක් නො ව, “අද්‍යතන සංවිධානාත්මක අරගලයන්ට නායකත්වය සම්පාදනය කිරීම” නිසා ද 1919 වානේ වැඩ වර්ජනය පිලිබඳ ශාස්ත්‍රීය නිබන්ධනයක් පලකිරීම අරබයා, “කොමියුනිස්ට් පක්ෂ නායක” විලියම් ඉසෙඩ්. ෆොස්ටර්ට කෘතවේදීත්වය පලකරයි. අවසානයේ දී පරාජයට පත්කරන ලද වැඩ වර්ජනය තුල නායක භූමිකාවක් ඉටුකල ෆොස්ටර්, කීකරු ස්ටැලින්වාදී කාර්යධරයෙකු ද මොස්කව් අවනඩුවල ආරක්ෂකයෙකු ද ට්‍රොට්ස්කිවාදයේ රෞද්‍ර විරුද්ධවාදියෙකු ද බවට පත්වූ අතර, 1945 සිට 1957 දක්වා එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දුන්නේ ය. ඉරනම්කාරී 1936 වසරේ දී ඔහු වානේ වර්ජනය පිලිබඳ ශාස්ත්‍රීය නිබන්ධනය පලකලේ ය.

ජැකොබින් සඟරාවේ ආරම්භක කර්තෘ හා ප්‍රකාශක භස්කාර් සුන්කාරා සහ ඩීඑස්ඒ ජාතික උප සභාපති ජෝසෆ් එම්. ෂ්වාට්ස් විසින් ලියන ලද “සමාජවාදීන් කල යුත්තේ කුමක් ද?” යන හිසින් යුත් ලිපියක් 2017 අගෝස්තුවේ දී එම සඟරාව පල කලේ ය. මහජන පෙරමුනු කාල පරිච්ඡේදයේ එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂය ඉටුකල භූමිකාව අද දිනට ආදර්ශයක් ලෙස ලිපිය තුල ඉදිරිපත් කෙරුනි. කතුවරු මෙසේ ලිවූ හ:

අවසාන විග්‍රහයේ දී, සමාජවාදීන් සමාජවාදයේ මහජන නායකයන් මෙන් ම හොඳ ම සංවිධායකයන් බවටත් පත්විය යුතු ය. 1935 සිට 1939 දක්වා කොමියුනිස්ට් පක්ෂය ක්ෂනික ව වර්ධනය වූයේ ඒ අනුව ය. සීඅයිඕවේ මෙන් ම නිව් ඩීල් සභාගයේ වාමාංශය ලෙස වැඩ පටන් ගත් ඔවුහු, එම කාලපරිච්ඡේදයේ දී සිය සාමාජිකත්වය විසිදහසේ සිට ලක්ෂය දක්වා වැඩි කරගත් හ ... එක්සත් ජනපදය තුල සමාජවාදය මහජන අභිමුඛයක් අත්කරගත් අවසාන අදියර මහජන පෙරමුන විය -මෙය පාර්ශවීය වූ අතර, එයට හේතු වූයේ, කොමියුනිස්ට්වරු සැබෑ බහුවාර්ගික කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ දරන අතර ම, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලයන් එක්සත් ජනපද දේශපාලන සංස්කෘතිය ඇතුලත මුල් බැස්සවූ නිසා ය.

පසුගිය වසරේ, සුන්කාරා සමාජවාදී ප්‍රකාශනය පලකල අතර, එහි අරමුන වන්නේ එක්සත් ජනපදය තුල මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මූලෝපායක් ඉදිරිපත් කිරීම යි. එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂය රූස්වෙල්ට්ට හා ඩිමොක්‍රටික් පක්ෂයට දුන් සහයෝගය උත්කර්ෂයට නංවන එය, රූස්වෙල්ට්ට විරුද්ධ වීම හා 1936 ජනාධිපතිවරනයේ දී ස්වාධීන ජනාධිපතිවරන උද්ඝෝෂනයක් දියත් කිරීමට ගත් තීරනය හෙතුවෙන්, සමාජවාදී පක්ෂයේ නායක නෝමන් තෝමස් ව අවඥාවට බඳුන් කරයි. සුන්කාරා මෙසේ ලියයි:

1936 ජනාධිපතිවරනයේ දී, රූස්වෙල්ට්ගේ ප්‍රතිසංස්කරන දිගට ම පවත්වාගෙන යාමට සාපිපාසාවෙන් පසු වූ ද ස්වාධීන දේශපාලනයට පැවති ආයතනීය බාධාවන් හඳුනාගත්තා වූ ද රට පුරා සිටි කම්කරුවෝ, ඩිමොක්‍රටික් පක්ෂයට සහයෝගය දීමට ජාතික තීන්දුවක් ගත් හ. මෙම බාධාවන්ගෙන් එකක් වත් ජයගැනීමට හෝ හොඳ ම නිව් ඩීල් ප්‍රතිසංස්කරනවලට ප්‍රතිතෝලන මාවතක් ඉදිරිපත් කිරීමට මූලෝපායක් ඉදිරිපත් කිරීමට තෝමස්ගේ ගෝත්‍රය අසමත් විය. උපහාසාත්මක ලෙස, වඩා අද්දරින් සිටි කොමියුනිස්ට් පක්ෂය රූස්වෙල්ට්ගේ ආධාරකරුවන් සමග සම්බන්ධ වීමට වඩා හොඳින් සමත් විය...

අද දින ප්‍රශ්නය වන්නේ, ලිබරල්වාදයේ කීකරු විපාර්ශවයට වැඩි යමක් වනු ඇත්තා වූ ස්වාධීන කම්කරු පන්තික දේශපාලන ව්‍යාපෘතියක් ගොඩනගන අතර ම, වාමාංශය ප්‍රධාන ධාරාවට -අපේ වාගාලංකාරයන් උස්පහත් කරමින් සහ දෛනික ජීවිතය තුල අප ව ම පදනම් කරමින්- ගෙන ඒමට අප සමත් වන්නේ ද යන්න යි. වෙනත් වචනවලින් කියතොත්, ක්‍රියා දාමය තුල දී අපේ ආත්මය අහිමි කර නො ගනිමින් (නැතහොත් පෝල් රිවියර් මෙන් ඇඳ පැලඳ ගනිමින්) විසි එක්වන සියවසේ ඇමරිකානුවාදය බවට සමාජවාදය අපට පත්කල හැකි ද? (භාස්කර් සුන්කාරා, සමාජවාදී ප්‍රකාශනය: ආන්තික අසමානතාවේ යුගයක දී රැඩිකල් දේශපාලනය සඳහා අවස්ථා (ඉංග්‍රීසි), නිව් යෝක්, 2019, 179, 181 පිටු)

1948 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ දී හැරී ටෲමන්ට සහයෝගය දීම වෙනුවට ප්‍රගතිශීලී පක්ෂයේ හෙන්රි වොලස්ට අනුමැතිය දීම පිලිබඳ ව විලියම් සෙඩ්. ෆොස්ටර් හා කොමියුනිස්ට් පක්ෂය විවේචනය කිරීම දක්වා සුන්කාරා ඉදිරියට යයි. ඒ සමයේ කම්කරු පන්තිය තුල ඩිමොක්‍රටික් පක්ෂයෙන් බිඳී ලේබර් පක්ෂයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිලිබඳ ව වැඩුනු මනෝගතියට වලකපමින් අපසරනයක් ලෙස වොලස් දිරිමත් කිරීම ගැන කොමියුනිස්ට් පක්ෂය වමෙන් විවේචනය නො කරන සුන්කාරා, කොමියුනිස්ට් පක්ෂය ඩිමොක්‍රටිකයන්ට කලින් දුන් සහයෝගයෙන් නුවනට නුහුරු ලෙස ඉවත් වීම ගැන -එනම් දකුනෙන්- එය විවේචනය කරයි.

ඩීඑස්ඒ අද දින ස්ටැලින්වාදයට හැරෙන්නේ ඇයි? ඇමරිකානු හා ලෝක ධනවාදයේ වේගවත් බිඳ වැටීමේත්, සමාජවාදී විප්ලවයේ නව කාලපරිච්ඡේදයක විවෘත වීමේත් සන්දර්භය තුල හා ඒවාට දක්වන ප්‍රතිචාරය ලෙස, එය දැකගනු ලැබිය යුතු ය.

ඩීඑස්ඒ යනු ඩිමොක්‍රටික් පක්ෂයේ අන්ඩකි. අව්‍යාජ සමාජවාදය සමග පොදු කිසිවක් එයට නැත. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පෙනීමට තිබෙන විසිරී යාම, පාලක පන්තියේ සැලකිය යුතු කොටස් ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වය දෙසට හැරීම, මිලිටරිවාදයේ වර්ධනය, එදා මෙදාතුර ඉහල ම මට්ටම්වල සමාජ අසමානතාව, ධනවාදයේ සියලු ආයතන අපකීර්තියට පත්වීම, මහජන ධනපති-විරෝධී මනෝගතියේ වර්ධනය සහ සියල්ලටත් වඩා වඩාත් ම ප්‍රතිගාමී දේශපාලන බලවේගයන්ට හා සම්ප්‍රදායන්ට හැරීම මගින් එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තර ව ද පන්ති අරගලයේ පුනර්ජීවයට එය ප්‍රතිචාර දක්වයි.

මේ සියලු ක්‍රියා දාමයන් හා පරස්පර-විරෝධයන් ගෝලීය කොවිඩ්-19 වසංගතය විසින් යෝධ ලෙස උත්සන්න කරනු ලැබ ඇති අතර, එම වසංගතය, ලොව පුරා බිලියන ගනන් වන සහ එක්සත් ජනපදය තුල ලක්ෂ ගනනක් වන කම්කරුවන්ගේ දෑස් ඉදිරිපිට ධනවාදයේ යුක්තියුක්ත භාවයට ඉරනම්කාරී හා ආපසු හැරවිය නො හැකි ලෙස වලකපා තිබේ.

නිව් යෝක් නගරයේ හාට් අයිලන්ඩ්හි සිරුරු වල දමන පුද්ගල ආරක්ෂක උපකරනවලින් සැරසී සිටින කම්කරුවන්, 2020 අප්‍රේල් 9 (ස්තුතිය: ඒපී ඡායාරූප/ ජෝන් මින්චිලෝ)

බොහෝ අංශවලින් ගත් කල, ඔක්තෝබර් විප්ලවයට හා ඉතිහාසයේ පලමු කම්කරු රාජ්‍යය ස්ථාපිත කිරීමට සහ මහා අවපාතයේ හා දෙවන ලෝක යුද්ධයේ අවුරුදු ඇතුලු පලමු ලෝක යුද්ධයේ පුපුරා යාම විසින් තුඩු දුන් අර්බුදයට වඩා ධනවාදයේ වර්තමාන අර්බුදය තියුනු ය.

එම කාලපරිච්ඡේදයේ පටන්, ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ එක්සත් ජනපදයේ මෙන් විවෘත ව ධනපති-ගැති ආදී, ධනේශ්වරය රැඳී සිටි මහා කම්කරු නිලධරයන් හා පක්ෂ විසිර ගොස් ඇත. මහා පරිමාන කම්කරු පන්තික අරගලවල නව රැල්ලක් ජාත්‍යන්තර රූපයක් අත්කරගනු ඇතැයි තහවුරු කරමින්, කම්කරු පන්තිය සංඛ්‍යාත්මක ව යෝධ ලෙස වැඩී ගෝලීය ව වඩ වඩා අන්තර්-සම්බන්ධිත වී ඇත.

1930 ගනන්, 1940 ගනන් හා පශ්චාත්-යුද උත්පාත කාලපරිච්ඡේදයේ පටන් නාටකාකාර ඛාදනයක් අත්දැක ඇති ඇමරිකානු ධනවාදය මෙම ලෝක අර්බුදයේ කේන්ද්‍රය යි. ලෝකයේ කර්මාන්තමය බලාගාරය ලෙස එයට තිබුනු තත්ත්වය එය බොහෝ කලකට පෙර අහිමි කරගත්තේ ය. කාර්මිකහරනයේ හා මූල්‍යකරනයේ දශක ගනනාවක්, ඇමරිකානු ධනවාදයේ පරපෝෂිත භාවය සංකීර්න කරමින්, ලොමු දැහැගන්වන සමාජ අසමානතාවක් වර්ධනය වීම සමගින් ඛාදනය වීමේ කුදුමහත් ප්‍රකාශනයක් නිෂ්පන්න කර ඇත.

ධනේශ්වරය ද ඩීඑස්ඒ වැනි එහි අතිරේක ඒජන්සීන්ගේ ද දෘෂ්ටියෙන් සලකන කල, ඉතාමත් ම තීරනාත්මක හා බියජනක වන්නේ, ඇමරිකානු හා ලෝක කම්කරු පන්තිය තුලත්, බුද්ධිජීවීන්ගේ තරුන හා ප්‍රගතිශීලී කොටස් අතරත්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ආනුභාවය හා අධිකාරය යෝධ ලෙස වර්ධනය වීම යි.

ඩීඑස්ඒ පාලනය කරන සමාජවාදී විප්ලවයේ මධ්‍යම-පන්තික විරුද්ධවාදීහු, විශේෂයෙන් ම කම්කරුවන් අතර ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකත්වය වර්ධනය වීම පිලිබඳ ව ඉතා හොඳින් දනිති. සංගත-ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු වර්ධනය වීම තුල පිලිබිඹු වන, එක්සත් ජනපදයේ හා ලෝකය පුරා සමාජවාදී සමානතා පක්ෂ කම්කරු පන්තිය තුල අධිකාරය හා ආනුභාවය වර්ධනය කරගැනීම ඔවුන් ව බියපත් කරයි. ඇමරිකානු ඉතිහාසය මුසාකරනය කිරීම මගින් සහ ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය යන ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව දෙකෙහි ප්‍රගතිශීලී උරුමය ප්‍රතික්ෂේප කිරීමට, “1619 ව්‍යාපෘතිය” හරහා නිව් යෝක් ටයිම්ස් පත්‍රය දැරූ උත්සාහය ලෝසවෙඅ විසින් ඛන්ඩනය කිරීම දෙස ඔවුහු බියපත් ව බලති.

ස්ටැලින්වාදයේ දුෂ්ට උරුමය දෙසට ඩීඑස්ඒ හා ජැකොබින් සඟරාව හැරීම මගින්, අනෙකුත් කන්ඩායම් ඒ වටා රැලි කරගැනීමේ දැඩි උත්සහයක් පවතී. මාක්ස්වාදයේ හා ඔක්තෝබර් විප්ලවයේ විප්ලවවාදී සම්ප්‍රදායන් හා ක්‍රියා මාර්ගය මූර්තිමත් කරන අපේ ව්‍යාපාරයට එරෙහි ව සියල්ලට ඉහලින් මෙම වැඩකටයුතු එල්ල කරනු ලැබේ. සමාජවාදී විප්ලවයේ නව කාලපරිච්ඡේදයක දී, ධනවාදී ම්ලේච්ඡත්වයෙන් එලියට මාවතක් සොයන මිලියන ගනන් වැඩ කරන ජනයා ආකර්ෂනය වන ධ්‍රැවයක් බවට ට්‍රොට්ස්කිවාදය හා හජාජාක පත්වනු ඇත.

Loading