ට්‍රොට්ස්කිගේ අවසන් වසර

පලමු වැනි කොටස

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස | 5 කොටස | 6 කොටස

වසර අසූවකට ඉහත දී, 1940 අගෝස්තු 20 වන දින, එවකට පිටුවාහලේ සිටි 1917 ඔක්තෝබර් විප්ලවයේ සම-නායක හා හතරවැනි ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කිට සෝවියට් සංගමයේ ජීපීයූ රහස් පොලිසියේ ඒජන්තයෙකු විසින් මරනීය තුවාල සිදු කරන ලදී. ඉන් පැය 26 ක ඇවෑමෙන් අගෝස්තු 21 වන දින සන්ධ්‍යාව උදා වෙමින් පවතිද්දී විප්ලවවාදී නායකයා අභාවප්‍රාප්ත විය.   

ට්‍රොට්ස්කිගේ ඝාතනය, ප්‍රතිවිප්ලවවාදී ද්‍රෝහීත්වයට, පාවා දීමට හා අසීමිත අපරාධකාරීත්වයට සමානාර්ථ දෙන පදයක් ලෙස ඉතිහාසයේ සදා ලියැවෙනු ඇති නාමය දැරූ ස්ටැලින් විසින් නායකත්වය දෙන ලද ඒකාධිපති නිලධර තන්ත්‍රයෙන් සංවිධානය කෙරුනු දැවැන්ත දේශපාලන කුමන්ත්‍රනයක ප්‍රතිඵලය විය. එම ඝාතනය වූ කලී, බෝල්ෂෙවික් විප්ලවයට හා ලෝක ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය ගොඩ නැඟීමට සූදානම් වීමෙහි හා ඊට නායකත්වය දීමෙහි ලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කොට තුබූ මාක්ස්වාදී විප්ලවවාදීන් හා වැඩිදියුනු සමාජවාදී කම්කරුවන්ගේ සමස්ත පරපුරක් කායිකව මූලෝත්පාඨනය කර දැමීම අරමුනු කොට ගනිමින් ක්‍රෙම්ලිනය විසින් සිදු කෙරුනු දේශපාලන සමූහ ඝාතන ව්‍යාපාරයක කුලු ගැන්වීම විය. 1936 හා 1938 වර්ෂ අතරතුර දී රඟ දැක්වුනු හොර නඩු රංගනයන් - එනම්, සැබැවින්ම ඔක්තෝබර් විප්ලවයේ සෑම ප්‍රමුඛ නායකයෙකුම ඝාතනය කර දැමීම සඳහා ව්‍යාජ යුක්ති විනිශ්චයේ ආවරනය සම්පාදනය කිරීමට යොදාගත් අධිකරනමය උගුල් - යනු ලක්ෂ සංඛ්‍යාත ජීවිත බිලිගත් හා සෝවියට් සංගමයේ ද, සමාජවාදය සඳහා ලෝක පරිමාන අරගලයේ ද බුද්ධිමය හා සංස්කෘතික වර්ධනයට මරු පහරක් එල්ල කල භීෂන ව්‍යාපාරයක ප්‍රසිද්ධ විද්‍යමානවීම් පමනක් වූයේය. 

ලියොන් ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ කොයෝවාකාන්හි තම නිවසේ උද්‍යානයේ (අනුග්‍රහය: AP Images)

        

 පිටුවාහලට පලවා හරිනු ලැබ, සෝවියට් සංගමයේ පුරවැසිභාවයට අහිමි කරනු ලැබ, "තමන්ට වීසා බලපත්‍රයක් නොමැති ග්‍රහ ලෝකයක" වාසය කරමින්, බලයේ ලෝක සම්මත විශේෂකයන්ට කිසිදු සම්ප්‍රවේශයකින් තොරව, පෑනෙන් පමනක් සන්නද්ධව, ලෝකයේ දසතෙහි වධ බන්ධනයන්ට පාත්‍රව හුන් සහෝදරවරුන් කුඩා සංඛ්‍යාවකගේ සහාය මත රැඳෙමින් සිටි ට්‍රොට්ස්කි තරම් පෘථිවි පාලකයන් භීතියට පත් කල අන් මිනිසෙකු නොවීය. "ධනේශ්වර රටවල පමනක් නොව සෝවියට් සංගමය තුල ද සම්මුති විරහිත විරුද්ධත්වයේ පක්ෂය" වූ හතරවැනි ජාත්‍යන්තරයේ නිර්මාතෘ හා නායකයා වූ ට්‍රොට්ස්කි, ඔහුගේ සමකාලිකයන් කිසිවෙකුන් විසින් හෝ තුල්‍ය කෙරෙනු නොහෙන දේශපාලනමය හා බුද්ධිමය ආනුභාවයක් ප්‍රකට කලේය. ඔහු ඒ සැමට ඉහලින් ස්ථම්භයක් සේ නැඟී සිටියේය. කැරිබියානු සමාජවාදී සුධීමතෙකු හා ඉතිහාසඥයෙකු වන සී.එල්.ආර්. ජේම්ස් "ඉතිහාසයේ ට්‍රොට්ස්කිට හිමි ස්ථානය" යන මැයෙන් යුත් සිය නිබන්ධයේ මෙසේ ලියා ඇත:                   

ඔහු ජීවත් වූ අවසාන දශකයේ දී පිටුවාහලෙකු වූ ඔහු [ට්‍රොට්ස්කි], පෙනෙන්නට තිබෙන පරිදි කිසිදු බලයකින් තොර අයෙකුව සිටියේය. එකී දස වසර තුලම, ඔහුගේ විරුද්ධවාදියා වූ ස්ටැලින්, නැපෝලියන්ගෙන් පසු යුරෝපයේ කිසිදු මිනිසෙකු විසින් අත නොදරන ලද තරමේ බලයක් දැරීය. තමන් සිටි කාලය අතරතුර ලෝකය සොලවා ලූ හිට්ලර්, කල්පිත සුපිරි වීරයෙකු වන කොලෝසස් මෙන් ලෝකය මත නැඟී එය පදවා ගෙන යාමෙහි සමත්තෙකු සේ පෙනෙන්නට තිබින. ඇමරිකාව ලෝකයේ බලගතුම රට වූ අතර, රූස්වෙල්ට් ඇමරිකාව කවදා හෝ පාලනය කල ජනාධිපතිවරුන් අතරින් බලගතුම පුද්ගලයා විය. එතෙකුදු, ට්‍රොට්ස්කිගේ මාක්ස්වාදී විචාර බුද්ධිය මාක්ස් පිලිබඳව එංගල්ස්ගේ විචාර බුද්ධිය තරමටම ආත්ම විශ්වාසයෙන් යුතු විය. ඔහු බලයට පත් වීමට පෙරාතුව, බලයේ සිටියදී, හා බලයෙන් වැටීමෙන් පසු යන තුන් කල්හි ම, ට්‍රොට්ස්කි සිය සමකාලිකයන්ගෙන් ලෙනින්ට පමනක් දෙවැනි වූ අතර, ලෙනින් අභාවප්‍රාප්ත වීමෙන් පසු ඔහු අපේ කාලයේ ශ්‍රේෂ්ඨතම මොලය විය. එය විනිශ්චය කිරීම අපි ඉතිහාසයට භාර දෙමු. [1]   

ට්‍රොට්ස්කිගේ පෞරුෂය නිර්නය වූයේ හුදෙක් ඔහු සංසන්දනය නොකල හැකි තරමේ දීප්තිමත්භාවයකින් යුතුව ලෝකය ඇති සැටියෙන් විශ්ලේෂනය කලේය යන කරුනෙන් පමනක් නොව, ඒ සමගම ඔහු එම ලෝකයේ අනාගතය නිර්නය කරනු ඇති විප්ලවවාදී ක්‍රියාදාමය පුද්ගලායිත කලේය යන කරුනෙන් ද වේ. ට්‍රොට්ස්කිට එරෙහිව ක්‍රෙම්ලින් තන්ත්‍රය නැඟු චෝදනා පිලිබඳ විමර්ශනය කිරීමට රැස් වූ - හා මොස්කව් නඩු විභාග යනු කුමන්ත්‍රනකාරී උගුලකැයි අවසානයේ නිගමනය කල - ඩුවී කොමිසමේ සැසිවාරයක් අතරතුර ඔහු පැවසූ පරිදි, "මගේ දේශපාලනය ගොඩ නැඟී ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික සම්මුතීන් පිලිබඳ අභිමතාර්ථයෙන් නොව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුනින් ය."[2] 

ධනේශ්වර ක්‍රමයේ මරනීය වේදනාවෙන් පැන නැඟෙන අප්‍රමාන ඓතිහාසික ගැටලුවලට පහසු - එනම්, විප්ලවවාදී නොවන - විසඳුම් ඇතැයි ව්‍යාජ මවා පෑම් කරන දේශපාලන වංචාකාරීත්වයේ සෑම ආකාරයකටම ට්‍රොට්ස්කි ගර්හා කලේය. විප්ලවවාදී දේශපාලනය එහි එල්ලයන් ජය ගන්නේ හාස්කම් පිලිබඳ ප්‍රතිඥා දීමෙන් නොවේ. මහා සමාජ ප්‍රගමනයන් අත්පත් කර ගත හැක්කේ, "විශේෂයෙන්ම උද්ඝෝෂන හරහා මහජනයාට උගැන්වීම මඟින්, තමන් ආරක්ෂා කල යුත්තේ කුමක්ද, තමන් පෙරලා දැමිය යුත්තේ කුමක්ද යන්න කම්කරුවන්ට පැහැදිලි කිරීම මඟින්යැ"යි ඔහු අවධාරනය කලේය. සදාචාරය පිලිබඳ ට්‍රොට්ස්කිගේ සංකල්පයේ පදනම වූයේ විප්ලවවාදී දේශපාලනය කෙරේ වූ මෙම ප්‍රගාඪ ලෙස සප්‍රතිපත්තික වන ප්‍රවිෂ්ඨයයි. "යොදා ගැනීමට අවසර ඇත්තේ, විප්ලවයේ උත්සුකයන්ට ප්‍රතිවිරුද්ධ නොවන ආකාරයේ විධික්‍රමයන් පමනෙකැ"යි ඔහු ලිවීය. මෙකී මූලධර්මයට බැඳී සිටීම මඟින් ට්‍රොට්ස්කි - ඉදින් හුදු සදාචාරාත්මක ආස්ථානයකින් පමනක් සලකා බැලුවද - ස්ථානගත කෙරෙන්නේ, තම විධික්‍රම සමාජ විප්ලවයේ හා, ඒ අනුව මානව වර්ධනයේ අවශ්‍යතාවලට සපුරාම විනාශකාරී වූ ස්ටැලින්වාදයේ ඒකාන්ත ප්‍රතිපක්ෂයේ ය. [3] 

සී.එල්.ආර්. ජේම්ස්

                           

1924 ජනවාරියේ, සිය 53 වන වියේ දී, සිදු වූ ලෙනින්ගේ අකල් මරනය දේශපාලන ඛේදවාචකයක් විය. ට්‍රොට්ස්කි 60 වන වියේ දී ඝාතනය වීම අතිමහත් ව්‍යසනයක් විය. ඔහුගේ ඝාතනය බෝල්ෂෙවික්වාදයේ ඉතිරි වී සිටි එකම නියෝජිතයා ද, ලෝක සමාජවාදී විප්ලවයේ විශිෂ්ඨතම මූලෝපායඥයා ද කම්කරු පන්තියට අහිමි කලේය. කෙසේවෙතත්,  දෙවැනි ලෝක යුද්ධය පැතිර යාම ආධිපත්‍යය පැතිරවූ වසරක් වූ සිය ජීවිතයේ අවසාන වර්ෂයේ ට්‍රොට්ස්කි ඉටු කල න්‍යායික හා දේශපාලනික කටයුතු, එලැඹෙන්නට නියමිතව තුබූ ඉක්මවා ලිය නොහැකි තරමේ දුෂ්කරතාවයන් හමුවේ හතරවැනි ජාත්‍යන්තරය රැකී සිටීම තහවුරු කිරීමෙහි ලා තීරනාත්මක විය.          

ට්‍රොට්ස්කි ඝාතනය කෙරුනේ ඔහුගේ බුද්ධි විෂයක බලයන් උපරිම ඉහලකට නැඟී තිබියදී ය. තම සෞඛ්‍යය පිරිහෙමින් පවතිතැයි ඔහුට හැඟී යාම තිබියදී වුව, ඔහුගේ දේශපාලන ශක්තීන් හීන වී යාමේ කිසිදු සංඥාවක් නොවීය. දෛනික පදනමකින් දේශපාලන විශ්ලේෂන හා විවාදාත්මක ලිපි නිර්මානය කරන අතරතුරම ඔහු ස්ටැලින්ගේ ජීවිත කථාව ලිවීමේ කාර්යයෙහි පරිශ්‍රමශීලී ලෙස නියැලී හුන්නේය. එය, එහි අසම්පූර්න තතු තුල පවා, සාහිත්‍යමය අග්‍රකෘතියක් ලෙස යුක්තියුක්තව පැවැසිය හැක්කකි.            

සිය ජීවිතයේ අන්තිම වසරේ ට්‍රොට්ස්කිගේ ලේඛන, ඉහත කාලයන්හි ලේඛන තරමටම දීප්තිමත් වීමෙන් පමනක් නොනවතී; 1939-40 කාලයේ සිදුවීම් පිලිබඳ ඔහුගේ විශ්ලේෂනයේ විෂය පථය, එහි අදාලත්වයේ චිරස්ථායීභාවය සැලැකිල්ලට ගැනීමේ දී, බොහෝ දුර අනාගතය කරා විස්තාරනය වේ. ලෝකය පැවැති තතු හා එය කොයි අතට වර්ධනය වේ ද යන්න පිලිබඳව ඒ හා සැසඳිය හැකි ග්‍රහනයක් ඔහුගේ වෙනත් සමකාලිකයෙකු විසින් ප්‍රදර්ශනය නොකෙරින. 

උදාහරනයක් ලෙස, 1939 ජූලි 23 වන දින, එනම් දෙවැනි ලෝක යුද්ධය ඇවිලී යාමට යන්තම් සති හයකට පෙර, ඇමරිකානු මාධ්‍යවේදීහු කන්ඩායමක් ට්‍රොට්ස්කි සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූහ. ලෝක තත්ත්වය පිලිබඳ ඔහුගේ තක්සේරුව දැන ගැනීමට ඔවුහු උත්සුක වූහ. මාධ්‍යවේදීන්ගේ පහසුව සඳහා ට්‍රොට්ස්කි ඉංග්‍රීසියෙන් කථා කලේය. ඔහු ආරම්භ කලේ, ඉදින් ඇමරිකානු ආන්ඩුව ඔහුට එක්සත් ජනපදයට ඇතුලු වීමට වීසා ලබා දුනහොත් තම ඉංග්‍රීසි භාෂාව වැඩිදියුනු කර ගැනීමට තමන් හමුවීමට ආ ඇමරිකානු මහාචාර්යවරයෙකුට තමා පොරොන්දු වී සිටි බව සිහිපත් කරමිනි. ට්‍රොට්ස්කි විසින් නිරීක්ෂනය කෙරුනු පරිදි, කනගාටුවට මෙන්, "ඔවුන් මගේ ඉංග්‍රීසි ගැන උනන්දුවක් නොදක්වන සේ ය."

ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ස්වකීය ප්‍රවීනතාව සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි සෑහීමකට පත් නොවූ නමුත්, ඔහුගේ ප්‍රකාශයේ අනුපිටපත ලෝක තත්ත්වයේ සංකීර්නභාවය සම්බන්ධයෙන් ඔහුගේ විශාරදත්වය ගැන කිසිදු සැකයකට ඉඩ නොතබයි. "ධනේශ්වර ක්‍රමය පැටලී සිටින්නේ අවුල් ජාලයකයැ"යි ඔහු සඳහන් කලේය. ට්‍රොට්ස්කි වැඩි දුරටත් මෙසේ කියයි:   

මගේ පැත්තෙන් ගත් කල, මෙම අවුල් ජාලයෙන් කිසියම් පියවි, නීත්‍යානුකූල, සාමකාමී ප්‍රතිඵලයක් ලද හැකි බවක් මම නොදකිමි. ප්‍රතිඵලයක් නිර්මානය කර ගත හැකි වන්නේ අති දැවැන්ත ඓතිහාසික පුපුරා යාමකින් පමනෙකි. ඓතිහාසික පුපුරා යාම් දෙවර්ගයක් වේ - එනම්, යුද්ධ හා විප්ලවයන්ය. අපට මේ දෙවර්ගයම ලැබෙතැයි මම විශ්වාස කරමි. වර්තමාන ආන්ඩුවල - ලෝකයේ හොඳ ආන්ඩු ද ඇතැයි ඉදින් අප පිලිගන්නේ නම්, හොඳ හෝ නරක යන දෙවර්ගයේම ආන්ඩුවල - වැඩ පිලිවෙලවල්, වෙනස් වෙනස් පක්ෂවල වැඩ පිලිවෙලවල්, සාමවාදී හා ප්‍රතිසංස්කරනවාදී වැඩ පිලිවෙලවල්, මේ සියල්ල; අඩු තරමින් පැත්තක සිට නිරීක්ෂනය කරන මිනිසෙකුට හෝ දැන් පෙනී යනු ඇත්තේ, ගිනි කන්දක් පුපුරා යාමට පූර්ව අවස්ථාවක එහි බෑවුම් පැත්තේ සිට ලමයෙකු විසින් කෙරෙන ක්‍රීඩාවක් ලෙසය. මේ අද දවසේ ලෝකය පිලිබඳ පොදුවේ ගත් කල මැවෙන චිත්‍රයයි. [4]         

ඊලඟට ට්‍රොට්ස්කි "හෙට දින ලෝකය" යන තේමාවෙන් පැවැත්වෙමින් තුබූ නිව්යෝර්ක් ලෝක සල්පිල පිලිබඳව සඳහන් කරයි.

ඔබ ලෝක සල්පිල නිර්මානය කලෙහිය. මගේ ඉංග්‍රීසි දැනුම ඒ සා දුබලවීමේ එම හේතුව නිසා ම, මට එය විනිශ්චය කල හැක්කේ පිටතින් පෙනෙන තරමින් පමනෙකි. එහෙත්, පුවත්පත් වලින් මෙම සල්පිල පිලිබඳව මා දැන ගත් පරිදි එය "හෙට දින ලෝකයේ" දෘෂ්ඨි කෝනයෙන් නිර්මානය කෙරුනු අතිමහත් මිනිස් නිර්මානයකි. මෙම ගුනාංගීකරනය තරමක ඒක-පාර්ශ්වික එකකැයි මම විශ්වාස කරමි. ඔබේ ලෝක සල්පිල "හෙට දින ලෝකය" ලෙස නම් කල හැක්කේ හුදෙක් තාක්ෂනික දෘෂ්ඨි කෝනයකින් පමනෙකි. මක්නිසාද යත්, ඔබට හෙට දිනයේ සැබෑ ලෝකය ගැන සැලකිලිමත් වීමට අවශ්‍ය නම්, අප ලෝක සල්පිලට ඉහලින් පියාසර කරන, බෝම්බ පටවා ගත්, සිය ගනනක් බෝම්බ පටවා ගත්, යුද ගුවන් යානා සියයක් දැක ගත යුතුය. අන්න එවිට එම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය හෙට දින ලෝකය වනු ඇත. මෙම සුවිසල් මානව නිර්මානාත්මක බලය එක අතකින් ද, අපට වඩාත්ම වැදගත් වන ක්ෂේත්‍රයේ - සමාජ ක්ෂේත්‍රයේ - මෙම බිහිසුනු පසුගාමීත්වය අනෙක් අතින් ද; තාක්ෂනික ප්‍රතිභාව සහ - මේ වචනය පිලිබඳ සමාවන්න - සමාජයීය මුග්ධභාවය; හෙට දින ලෝකය මෙයයි. [5]  

අද්‍යතන "අද දින ලෝකය" පිලිබඳ විස්තාරනයක් ලෙස මෙන් ම, "හෙට දින ලෝකය" පිලිබඳ - එනම්, වර්තමාන දශකයේ අර්බුදයෙන් මතු වනු ඇති ලෝකය පිලිබඳව - පෙර දැකීමක් ලෙසත් මෙම විස්තරය යොදා ගැනීම සඳහා එහි එක් වචනයකුදු වෙනස් කිරීමට සිදු වනු නැත. අසීමිත කෑදරකම හා අසීමිත මුග්ධභාවය ඒකාබද්ධ වූ ලොව පුරා ම ආන්ඩු එක්කෝ ශක්තතාවයෙන් හෝ නැතහොත් මානව දයාවෙන් යුතුව (අර්බුදයට) ප්‍රතිචාර දැක්වීමට අසමත් වූ කල්හි අසනු ලැබෙන ප්‍රශ්නය වන්නේ මෙම අර්බුදය විසඳිය හැක්කේ කෙසේද යන්නයි. අපේ පිලිතුර ට්‍රොට්ස්කි ලබා දුන් පිලිතුර ම ය: විසඳුම ලඟා වනු ඇත්තේ "අතිමහත් ඓතිහාසික පිපිරීමක" රූපාකාරයෙනි. තව ද, ට්‍රොට්ස්කි 1939 දී පැහැදිලි කල පරිදි, එවැනි පිපුරුම් ද්වි-ආකාර වේ: යුද්ධ හා විප්ලව. ඒ දෙකම න්‍යාය පත්‍රයට ඇතුලත්ය.    

1939 ජූලියේ ට්‍රොට්ස්කිගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීහු, ඇමරිකානු ආන්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පවත්වා ගෙන යාමෙහි ලා කිසියම් උපදේශයක් දීමට ඔහුට ඇත්දැයි දැන ගැනීමට උත්සුක වූහ. අංශුමාත්‍ර වශයෙන් හාස්‍යයෙන් ද නොතොර වූ ට්‍රොට්ස්කිගේ පිලිතුර මෙපරිදි විය:

වොෂින්ටනයේ ආන්ඩුවට උපදෙස් දීමට සුදුසුකම් මා හට ඇතැයි මට නොහැඟේ. මට එසේ හැඟී යන්නේ ද, මට වීසා බලපත්‍රයක් ලබා දීමේ අවශ්‍යතාවයක් නැතැයි වොෂින්ටනයේ ආන්ඩුව දකිනා එම දේශපාලන හේතුව මතම ය. අපි වොෂින්ටනයේ ආන්ඩුවට වඩා වෙනස් සමාජ ආස්ථානයක පසු වන්නෙමු. මගේ අරමුනුවලට සමාන අරමුනු සහිත ආන්ඩුවකට මට උපදෙස් දිය හැකි ව තිබින. එහෙත් ඒ ධනපති ආන්ඩුවකට, එක්සත් ජනපදයේ ආන්ඩුවට, නොවේ. නිව් ඩීල් වැඩ පිලිවෙල තිබියදීම, එක්සත් ජනපද ආන්ඩුව, මගේ අදහසේ හැටියට, අධිරාජ්‍යවාදී හා ධනේශ්වර ආන්ඩුවකි. මට කිව හැක්කේ විප්ලවවාදී ආන්ඩුවක් - එක්සත් ජනපදයේ අව්‍යාජ කම්කරු ආන්ඩුවක් - කල යුත්තේ කුමක්දැයි යන්න පමනෙකි.

මා විශ්වාස කරන්නේ කල යුතු මුල්ම කටයුත්ත නම් පවුල් හැට (ෆර්ඩිනන්ඩ් ලුන්ද්බර්ග්ගේ America's Sixty Families නම් කෘතියේ එන ඇමරිකාවේ ධනවත්ම පවුල් හැට පිලිබඳ සඳහනකි) භුක්ති විඳින දේපල අත්පත් කර ගැනීමයි. ජාතික දෘෂ්ඨි කෝනයෙන් පමනක් නොව, ලෝක කටයුතු විසඳීමේ දී ද, එය ඉතා හොඳ පියවරක් වනු ඇත. එය අනෙකුත් ජාතීන්ට අගනා ආදර්ශයක් වනු ඇත. [6]   

මෙය ආසන්නතම අනාගතයේ ඉටු කර ගත නොහැකි වනු ඇති බැව් ට්‍රොට්ස්කි හඳුනා ගත්තේය. යුරෝපයේ කම්කරු පන්තියේ පරාජයන් හා එලැඹෙමින් පැවැති යුද්ධයේ සමීපස්ථභාවය විසින් එක්සත් ජනපදයේ විප්ලවය ප්‍රමාද කෙරෙනු ඇත. එලැඹෙන යුද්ධයට එක්සත් ජනපදය ඇතුලු වීම හුදෙක් කාලය පිලිබඳ ප්‍රශ්නයකි. "ඉදින් ඇමරිකාවේ ධනේශ්වර ක්‍රමය රැකුනොත් - එය යම් කාලයක් රැකී පවතිනු ඇත - අප දකිනු ඇත්තේ ලොව බලගතුම අධිරාජ්‍යවාදය හා යුදවාදයයි." [7]  

ජූලි මාධ්‍ය සාකච්ඡාවේ දී ට්‍රොට්ස්කි තවත් අනාවැකියක් පල කලේය. ඇත්තෙන්ම එය, සෝවියට් විදෙස් පිලිවෙත පිලිබඳව ඉන් ඉහත පස් වසර තුල ඔහු ඉදිරිපත් කරමින් සිටි දේශපාලන විශ්ලේෂනයක පුනර්ප්‍රකාශනයක් විය. පැරනි සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ මැක්සිම් ලිට්විනොව් විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හා ඔහු වෙනුවට ස්ටැලින්ගේ සමීපතම අපරාධ සහායකයා වූ මොලටොව් පත්කිරීම පිලිබඳව සඳහන් කරමින් ට්‍රොට්ස්කි ප්‍රකාශ කලේ, එම වෙනස "අප [ස්ටැලින්] අපේ දේශපාලනය වෙනස් කිරීමට, අපේ අරමුන, වසර කිහිපයකට ඉහත දී ඔබ හා හිට්ලර් වෙත අප විසින් ඉදිරිපත් කෙරුනු අපේ ඉලක්කය, සාක්ෂාත් කිරීමට සූදානම් බවට ක්‍රෙම්ලිනයෙන් හිට්ලර්ට කෙරුනු සංඥාවක් වූ" බවයි. "මක්නිසාදයත්, ජාත්‍යන්තර දේශපාලනයේ දී ස්ටැලින්ගේ අරමුන හිට්ලර් සමඟ සම්මුතියකට එලැඹීමයි." [8]      

සෝවියට් සංගමය නාසි ජර්මනිය සමඟ හවුලකට එලැඹීමේ දිනවලට එතරම් ආසන්නව සිටි එම දින වලදී පවා, එම අදහස, සියලු "විශේෂඥ" මතයන් විසින් විපරීත අදහසක් ලෙස සලකනු ලැබූවක් විය. එහෙත් අතීතයේ ඒ සා නිරතුරුව සිදු වූ පරිද්දෙන්ම, සිදුවීම් විසින් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය තහවුරු කෙරින. ට්‍රොට්ස්කිගේ මෙම සාකච්ඡාවෙන් මසක් ගෙවුනු 1939 අගෝස්තු 23 වන දින මොස්කව්හි දී එකිනෙකා ආක්‍රමනය නොකිරීමේ ස්ටැලින් - හිට්ලර් ගිවිසුමට අත්සන් තැබින. හිට්ලර්ගේ යුද සැලසුම්වලට පැවැති අවසාන බාධකය ස්ටැලින් එසේ ඉවත් කර දැමීය. 1939 සැප්තැම්බර් 1 වන දින නාසීහු පෝලන්තය ආක්‍රමනය කලෝය. දෙදිනක ඇවෑමෙන් බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලෝය. පලමු ලෝක යුද්ධය ඇවිලී වසර විසි පහක් ගත වෙද්දී දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී තිබින.             

හිට්ලර් වෙත ක්‍රෙම්ලිනයේ නැඹුරු වීම නැවත නැවතත් පෙර දැක තිබූ ට්‍රොට්ස්කි ස්ටැලින්ගේ මෙම ද්‍රෝහීත්වයෙන් අල්පමාත්‍ර වශයෙන් හෝ මවිතයට පත් වූයේ නැත. ස්ටැලින්ගේ අදූරදර්ශීභාවය හා නොහැකියාව වෙනුවෙන් සෝවියට් සංගමයට බිහිසුනු ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු හැඟවීය. නාසි ජර්මනිය සමඟ යුද්ධයක උවදුරින් තමා සෝවියට් සංගමය ගලවා ගන්නා ලදැයි ආඥාදායකයා තුල පැවැති විශ්වාසය තවත් විනාශකාරී අවගනනයක් බව ඔප්පු වීමට නියමිතව තිබින. 

* * * * *     

යුද්ධය ඇවිලී යාම හතරවැනි ජාත්‍යන්තරය තුල දේශපාලන අර්බුදයක ප්‍රේරකය විය. ට්‍රොට්ස්කිගේ ජීවිතයේ අවසාන වර්ෂයේ ඔහුගේ කටයුතුවල කේන්ද්‍රීය අවධානය යොමු වූයේ ඒ කෙරෙහිය. එම අවධානය නොතන්හී තැබූවක් නොවීය: ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පීයේ) ජේම්ස් බර්න්හැම්, මැක්ස් ෂැට්මන් හා මාර්ටින් ඇබර්න් විසින් නායකත්වය දෙන ලද සුලුතර කන්ඩායමට ඔහු දැක්වූ ප්‍රතිචාරය මූලික වැදගත්කමකින් යුතු එකක් වන්නේ සෝවියට් නිලධරයේ අපරාධ තිබියදී වුව, ඔක්තෝබර් විප්ලවය විසින් නියෝජනය කෙරුනු මාක්ස්වාදයේ න්‍යායික පදනම් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම මත පමනක් ම නොවේ. ට්‍රොට්ස්කිගේ වාද ප්‍රහාරය විසින්, දෙවැනි ලෝක යුද්ධය තුල හා ඉන් ඉක්බිත්තේ පැන නැඟීමට නියමිත ව තුබූ විප්ලවවාදී මූලෝපායය, ක්‍රියා මාර්ගය හා ඉදිරි දර්ශනය පිලිබඳ වඩාත්ම දුෂ්කර ගැටලු බොහොමයක් පෙර දක්නා ලදී.   

ස්ටැලින් - හිට්ලර් ගිවිසුම අත්සන් තැබීම හා ඉනික්බිතිව 1939 සැප්තැම්බර් මැද භාගයේ දී සෝවියට් හමුදා පෝලන්තය සහ පින්ලන්තය ආක්‍රමනය කිරීම (1939-40 ශිශිර යුද්ධය), එක්සත් ජනපදයේ සුලු ධනපති රැඩිකල් බුද්ධිමතුන් හා කලාකරුවන්ගේ පුලුල් ස්ථරයන්හි බලවත් කෝපය අවුලුවා ලීය. මෙම විශාල හා බලපුලුවන්කාර සමාජ පසුබිමෙහි සාමාජිකයෝ භීම සමයේ දී ස්ටැලින් පැරනි බෝල්ෂෙවිකයන් සමූල ඝාතනය කරන කල්හි හා ස්පාඤ්ඤ විප්ලවයේ ගෙල සිර කරන කල්හි ඒවා පිලිගැනීමට, හා ඒවාට සහයෝගය දීමට පවා, සූදානම් ව සිටියෝය. 1936-39 අපරාධ සිදු කෙරුනේ ස්ටැලින්වාදී තන්ත්‍රය තවමත් සෝවියට් සංගමය හා "බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය" අතර ජාත්‍යන්තර සන්ධානයකට පක්ෂව කථා කරමින් සිටි අතරතුරය. මෙම පෙලගැස්මේ දේශීය භාවිතය වූයේ ස්ටැලින්වාදී පක්ෂ, ධනේශ්වර වැඩ පිලිවෙලක පදනම මත, කම්කරු පන්ති සංවිධාන හා ධනේශ්වර දේශපාලන පක්ෂ අතර සන්ධානයක් ("මහජන පෙරමුන") ප්‍රවර්ධනය කිරීමයි. ස්ටැලින් ජර්මනිය සමඟ ගිවිසුම අත්සන් තැබීම, පන්ති සහයෝගයේ මෙම නිශ්චිත ආකාරයට එල්ල කලේ ආන්තික ලෙස නින්දාශීලී හා අවස්ථාවාදී ප්‍රහාරයකි. ප්‍රජාතන්ත්‍රවාදී සුලු ධනපති පන්තියේ මනෝභාවයන් සෝවියට් සංගමයට එරෙහිව හැරින. ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිජීවීහු කෙතෙක් දුරකට ස්ටැලින්වාදය අවිවේචනාත්මකව හා සාවද්‍ය ලෙස සමාජවාදය සමඟ අනන්‍ය කොට ගෙන සිටියෝ ද, ඒ තාක් දුරට සෝවියට් සංගමයට එරෙහිව ඔවුන්ගේ නැඹුරුව විවෘත කොමියුනිස්ට් විරෝධී ස්වභාවයක් අත්පත් කර ගත්තේය. 

ජේම්ස් බර්න්හැම්

මෙම දේශපාලන විස්ථාපනය, සමාජවාදී කම්කරු පක්ෂය හා හතරවැනි ජාත්‍යන්තරයේ අනෙකුත් ශාඛා ඇතුලත විපක්ෂ ප්‍රවනතාවක් වර්ධනය වීම තුල පිලිබිඹු විය. එස්ඩබ්ලිව්පීය තුල මෙකී ප්‍රවනතාවයේ වඩාත්ම වැදගත් නායකයන් වූයේ ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු ද, එස්ඩබ්ලිව්පීයේ වඩාත්ම බලගතු පුද්ගලයා වූ ජේම්ස් පී. කැනන් ලඟට එස්ඩබ්ලිව්පීයේ බලගතුම පුද්ගලයා වූ ද මැක්ස් ෂැට්මන් හා නිව්යෝර්ක් සරසවියේ දර්ශනවාදය පිලිබඳ මහාචාර්ය ජේම්ස් බර්න්හැම්ය. ඔවුන් අවධාරනය කලේ, ස්ටැලින්-හිට්ලර් ගිවිසුමේ හා සෝවියට් සංගමය විසින් පෝලන්තය ආක්‍රමනය කරනු ලැබීමේ ප්‍රතිවිපාකයක් වශයෙන්, පිරිහුනු කම්කරු රාජ්‍යයක් ලෙස සෝවියට් සංගමය අර්ථ කථනය කිරීම තවදුරටත් පිලිගත නොහැකි බවයි. ඔවුන් කියා සිටියේ, සෝවියට් සංගමය, මාක්ස්වාදී න්‍යාය විසින් පෙරදකිනු නොලැබූ නව මාදිලියක සූරා කෑමේ සමාජ ආකෘතියක් බවට පරිනාමය වී තුබූ බවයි. නිලධරය එහි පාලක පන්තිය ලෙස ක්‍රියා කරයි. මෙම සුලුතර කන්ඩායම සෝවියට් සමාජය විස්තර කිරීම සඳහා යොදා ගත් එක් යෙදුමක් වූයේ "නිලධාරීවාදී සාමූහිකවාදය" යන්නයි. මෙම නව ඇගයුමේ එක් උපසිද්ධාන්තයක් වූයේ, අධිරාජ්‍යවාදී රාජ්‍යයක් සමඟ යුද වදින අවස්ථාවක, ඉදින් සෝවියට් සංගමයේ සතුරා නාසි ජර්මනියම වුව, සෝවියට් සංගමය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. 

ට්‍රොට්ස්කි සම්බන්ධයෙන් ගත් කල, පිරිහී ගිය කම්කරු රාජ්‍යයක් ලෙස සෝවියට් සංගමය පිලිබඳව හතරවැනි ජාත්‍යන්තරය විසින් කෙරුනු අර්ථකථනය අහෝසි කර දැමීම සඳහා වූ ෂැට්මන් හා බර්න්හැම්ගේ ඉල්ලීම වූ කලී, හුදු පාරිභාෂික වචන පිලිබඳ කාරනාවක් නොවීය. සෝවියට් සංගමය තවදුරටත් කම්කරු රාජ්‍යයක් ලෙස අර්ථ දක්වනු නොලැබීම සඳහා වූ ඉල්ලීමේ ප්‍රායෝගික දේශපාලන ප්‍රතිවිපාක මොනවාදැයි ට්‍රොට්ස්කි විමසීය.   

නිලධරය යනු නව "පන්තියක්" බවත්, සෝවියට් දේශයෙහි වත්මන් තන්ත්‍රය පන්ති සූරාකෑමේ සුවිශේෂ පද්ධතියක් බවත් අප පිලිගත් බව සිතමු. එම අර්ථ කථනයන්ගෙන් ගලා එන දේශපාලන නිගමන මොනවාද? වැඩකරන ජනයාගේ විප්ලවවාදී නැඟී සිටීමක් මඟින් නිලධරය පෙරලා දැමීමේ අත්‍යවශ්‍යතාව බොහෝ කලකට පෙර හතරවැනි ජාත්‍යන්තරය විසින් හඳුනා ගනු ලැබ තිබින. නිලධරය යනු සූරා කන පන්තියකැයි නිවේදනය කරන්නන් මීට වඩා යමක් යෝජනා කර නොමැති අතර එසේ යෝජනා කල හැකි යමක් ඇත්තේ ද නැත. [9]

එහෙත් සෝවියට් සංගමය පිලිබඳ අර්ථ කථනයේ එස්ඩබ්ලිව්පී සුලුතර කන්ඩායම විසින් ඉල්ලා සිටින ලද වෙනස්කම්වල, පාරිභාෂික පදවල පැහැදිලි කිරීමක් ඉක්මවා බොහෝ දුරදිග යන ගම්‍යාර්ථ පැවතින. සෝවියට් සංගමය යනු පිරිහී ගිය කම්කරු රාජ්‍යයකැයි යන තහවුරුව පැවැති අර්ථ කථනය සමාජ විප්ලවයක් වෙනුවට දේශපාලන විප්ලවයක් ඉල්ලා සිටීම සමඟ බැඳී පැවතින. මෙම විලක්ෂනයට යටින් පැවතුනේ ස්ටැලින්වාදී නිලධරය පෙරලා දැමීම, ඔක්තෝබර් විප්ලවයේ පදනම මත ගොඩ නැඟුනු දේපල සබඳතාවල කිසියම් වෙනසක් සිදු කිරීම සමඟ සම්බන්ධ නොවන බවට වූ ඒත්තු ගැනීමයි. නිලධර තන්ත්‍රය විනාශ කර දමා සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කරන කම්කරු පන්තිය, රුසියානු ධනේශ්වරය පෙරලා දැමීම හා ධනපති දේපල අත්පත් කර ගැනීම මඟින් දිනා ගන්නා ලද දේපල ජනසතුව මත පදනම්ව ඇති ආර්ථික පර්යාය සුරකිනු ඇත. ඔක්තෝබර් විප්ලවයේ මෙම අතිමූලික විජයග්‍රහනය, ඉනික්බිතිව එලැඹි සමයේ සෝවියට් සංගමයේ ආර්ථික හා සංස්කෘතික වර්ධනයෙහි ලා තීරනාත්මක වූ ආර්ථික පදනම, අත්හැර නොදැමෙනු ඇත.   

සුලුතර කන්ඩායමේ ආස්ථානය පටන් ගන්නේ ඔක්තෝබර් විප්ලවයේ රැක ගැනීමට තරම් වටනා කිසිවක් ඉතිරි වී නැතැයි යන උපකල්පනයෙනි. එබැවින් සෝවියට් සංගමය ආරක්ෂා කිරීම හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිලිවෙල තුල දිගටම තබා ගැනීමට හේතුවක් නොපවතී.  

ට්‍රොට්ස්කි තවත් තීරනාත්මක කරුනක් මතු කලේය. ඉදින් නිලධරය සෝවියට් සංගමය තුල සූරාකෑමේ නව ආකෘතියක් ගත් සමාජයක් ගොඩ නඟා තුබූ නව පන්තියක් නියෝජනය කරයි නම්, එකී නව පන්තිය සමඟ අතුල්‍ය ලෙස අනන්‍ය වන්නා වූ දේපල සබඳතාවල නව ආකෘතීන් මොනවාද? ධනවාදයෙන් හා සමාජවාදයෙන් ඔබ්බෙහි ඇති ආර්ථික වර්ධනයේ කවර නව අවධියක් විසින් මෙම "නිලධරවාදී සාමූහිකවාදය" ඓතිහාසිකව යුක්තියුක්ත හා අත්‍යවශ්‍ය පවා වන බවට ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ ද? හතරවැනි ජාත්‍යන්තරයේ මතය වූයේ දේශපාලන බලය පැහැර ගත් නිලධරය, 1917 කම්කරුවන්ගේ විප්ලවය මඟින් දිනා ගැනුනු ජනසතු දේපල මත පදනම් වූ වරප්‍රසාද අත්පත් කර ගැනීමට එම බලය භාවිතා කර ඇති බවයි. ස්ටැලින්ගේ නායකත්වය යටතේ නිලධරය විසින් පවත්වා ගැනුනු ආඥාදායක බලය, නිශ්චිත දේශපාලන තතු යටතේ සෝවියට් රාජ්‍යය පරිහානියට පත් වීමේ ප්‍රතිඵලයක් විය. මෙම නිශ්චිත තතු වූයේ, ප්‍රධාන කොට ම, බෝල්ෂෙවිකයන්ට උරුම කෙරුනු පූර්ව-1917 රුසියානු ධනේශ්වර ආර්ථිකයේ ඓතිහාසික පසුගාමීත්වය හා බෝල්ෂෙවිකයන් රුසියාවේ බලය අල්ලා ගැනීමෙන් පසුකාලයේ යුරෝපයේ හා ආසියාවේ විප්ලවවාදී ව්‍යාපාර අත්දුටු පරාජයන්හි ප්‍රතිවිපාකයක් ලෙස සෝවියට් සංගමයට මුහුන දීමට සිදු වූ දිග ඇදුනු දේශපාලන හුදෙකලාවයි.   

එකී තතු දිගටම පැවතුනහොත් - එනම්, කම්කරු පන්තියේ පරාජයන්ගේ හා අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛ මධ්‍යස්ථානයන්හි ධනපති ක්‍රමය දීර්ඝ කාලයක් නොනැසී පැවතීමේ ප්‍රතිවිපාක ලෙස සෝවියට් සංගමයේ හුදෙකලාවීම දිගටම පැවතුනහොත් - කම්කරු රාජ්‍යය අහෝසි වී යනු ඇත. එහෙත් මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය ජනසතු දේපල ඈවර කිරීමේ හා ධනේශ්වර දේපල සබඳතා ප්‍රතිස්ථාපනය කිරීම වනු ඇතැයි ට්‍රොට්ස්කි අවධාරනය කලේය. මෙම ප්‍රතිඵලය, නිලධරයේ බලගතු කොටස් සිය දේශපාලන බලය රාජ්‍ය වත්කම් කොල්ල කෑමට භාවිතා කරමින් ප්‍රතිනිර්මිත ධනේශ්වර පන්තියක් බවට පරිවර්තනය වීම සමඟ වෙලී පවතිනු ඇත. මෙම ප්‍රතිඵලය සැබෑ ශක්‍යතාවයකැයි ද, එය වැලැක්විය හැකි වනු ඇත්තේ වැඩි දියුනු ධනේශ්වර රටවල සමාජවාදී විප්ලවය සමඟ සමුච්චිතව කෙරෙන දේශපාලන විප්ලවයකින් පමනෙකැයි ද ට්‍රොට්ස්කි අනතුරු හඟවා තිබින.   

සෝවියට් සංගමය පිලිබඳ පාරිභාෂාමය අර්ථකථනයේ උචිත අනුචිත බව පිලිබඳ විතර්කය සම්බන්ධයෙන් කෙරුනු මෙම සාවධාන පරීක්ෂාව මඟින්, එස්ඩබ්ලිව්පීයේ විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කෙරුනු ක්‍රියාමාර්ගික වෙනස්කම්වල දිග දුර යන ඓතිහාසික හා දේශපාලනික ගම්‍යමානයන් හඳුනා ගැනීමට ට්‍රොට්ස්කිට හැකි විය:       

ඓතිහාසික විකල්පය, එහි අවසානය කරා ගෙන ගිය විට, පහත දැක්වෙන පරිදි වේ: එක්කෝ ස්ටැලින් තන්ත්‍රය යනු ධනේශ්වර සමාජය සමාජවාදී සමාජයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාදාමය තුල ඇති වූ අප්‍රියජනක පරිහානියකි; නැතහොත් ස්ටැලින් තන්ත්‍රය යනු නව සූරාකෑමේ සමාජයක පලමු අදියරයි. මෙම දෙවැනි භාවිඵල ප්‍රකාශනය නිවැරදි වුවහොත්, එවිට සත්තකින්ම නිලධරය නව සූරාකන පන්තියක් බවට පත් වනු ඇත. දෙවැනි ඉදිරි දර්ශනය කෙතෙක් භාරදූර වන්නේ වී වුව, ඉදින් වර්ධනයේ ගමන් මඟ විසින් සිය උර මත තබන ලද කාර්යභාරය සපුරා ලීමට ලෝක නිර්ධන පන්තිය අසමත් වන්නේ නම්, ධනේශ්වර සමාජයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් මත පදනම් වූ සමාජවාදී විප්ලවය මනෝ රාජ්‍යයක් ලෙස අවසාන වී ඇතැයි ඒත්තු ගැනීම හැර අන් කිසි මඟක් නැත. එවිට, ඒකාධිපති නිලධාරීවාදී සමාජයේ වහලුන්ගේ උත්සුකයන් ආරක්ෂා කිරීම සඳහා නව "අවම" ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වනු ඇත.     

එහෙත්, සමාජවාදී විප්ලවයේ අපේක්ෂාව ප්‍රතික්ෂේප කිරීමට ඒ ආකාරයේ නිසැක හෝ, අඩු තරමින් උනන්දුජනක හෝ වෛෂයික දත්ත පවතී ද? සම්පූර්න ප්‍රශ්නය වන්නේ එයයි. [10]    

එබැවින්, පරදුවට තැබී තුබුනේ සමස්ත සමාජවාදී ව්‍යාපෘතියේ ඓතිහාසික යුක්තියුක්තභාවයයි. දෙවැනි ලෝක යුද්ධය ඇවිලී යාම සමඟ සංයුක්ත වූ හිට්ලර් සමඟ ස්ටැලින් සන්ධානගත වීම, කම්කරු පන්තිය මාක්ස්වාදී න්‍යාය විසින් ඊට පවරන ලද ඓතිහාසික කර්තව්‍යය සපුරා ලීමෙහි ලා අසමත් බවට නිසැක සාධනයක් වීද? ඒ අනුව, බර්න්හැම් හා ෂැට්මන් සමඟ; සහ, සත්තකින්ම දිරිය බල සුන්ව හුන් සුලු ධනපති බුද්ධිජීවීන්ගේ සියලු ස්ථරයන් - බර්න්හැම් හා ෂැට්මන් කථා කරමින් සිටියේ ඔවුන් වෙනුවෙනි -  සමඟ; වූ සමස්ත මතභේදය රැඳී තිබුනේ, කම්කරු පන්තිය, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය වර්ධනයෙහි හා විස්තාරනයෙහි ලා මාක්ස් හා එංගල්ස් විසින් තහවුරු කරන ලද පරිදි, විප්ලවවාදී පන්තියක් ද යන ප්‍රශ්නය මත ය. පසු ගිය අසූ වසක් මුලුල්ලේ දේශපාලන හා බුද්ධිමය ජීවිතයේ ආධිපත්‍යය දැරූ මෙම ඓතිහාසික ගැටලුවට ට්‍රොට්ස්කි ලබා දුන් ප්‍රතිචාරය, බොහෝ දුරට එය පමනක් ම වුව, විසි වන සියවසේ වඩාත්ම ප්‍රගාඪ හා දූරදර්ශී දේශපාලන චින්තකයා ලෙස ට්‍රොට්ස්කිගේ පෞරුෂය - ලෙනින්ට පමනක් සම වන ස්ථානයක - තහවුරු කිරීමට ප්‍රමානවත් ය. එබැවින් මෙම ඡේදය මුලුමනින්ම උපුටා දැක්වීම උචිත වේ:    

1914 ජූලියේ - යුද්ධයේ ප්‍රථම දිනයේ - විවෘත ස්වභාවයක් අත්පත් කර ගත් ධනේශ්වර සමාජ අර්බුදය, නිර්ධන පන්ති නායකත්වයේ තියුනු අර්බුදයක් ඇති කලේය. එම දිනවල සිට ඉකුත් වී ඇති 25 වසර තුල දියුනු ධනපති රටවල නිර්ධන පන්තිය විසින් අපේ යුගයේ කර්තව්‍යයන්හි මට්ටමට නැඟී ගත හැකි වූ නායකත්වයක් තවමත් නිර්මානය කරනු ලැබ නැත. කෙසේවෙතත් රුසියාවේ අත්දැකීම් සාක්ෂ්‍ය දරන්නේ එවැනි නායකත්වයක් නිර්මානය කල හැකි බවටය. (එය පරිහානියට ප්‍රතිශක්ත බවක්, සත්තකින්ම, ඉන් අදහස් නොවේ.) ආනුෂංගිකව, ප්‍රශ්නය පවතින්නේ මෙපරිද්දෙනි: අවසානයේ දී, වෛෂයික ඓතිහාසික අවශ්‍යතාව කම්කරු පන්තියේ පෙරටු බල ඇනියේ විඥානය තුලට තමාම මාවතක් පාදා ගනු ඇති ද; එනම්, මෙම යුද්ධයේ ක්‍රියාදාමය තුල හා එමඟින් උපදවනු ඇති එම ප්‍රබල කම්පනයන් තුල, නිර්ධන පන්තිය බලය අල්ලා ගැනීම සඳහා මෙහෙයවනු සමත් අව්‍යාජ විප්ලවවාදී නායකත්වයක් නිර්මානය වනු ඇති ද?          

හතරවැනි ජාත්‍යන්තරය හුදු එහි ක්‍රියා මාර්ගයේ පාඨ තුලින් පමනක් නොව, එය පවතින්නේය යන සත්‍ය කරුන තුලින් ද මෙම ප්‍රශ්නයට 'එසේයැ'යි තිර ලෙස පිලිතුරු දී ඇත. මීට ප්‍රතිවිරුද්ධ ලෙස, අපේක්ෂා භංගත්වයට හා භීතියට පත් ව්‍යාජ-මාක්ස්වාදයේ විවිධ මාදිලිවල නියෝජිතයන් ආරම්භ කරන්නේ, නායකත්වයේ බංකොලොත්කම තම විප්ලවවාදී මෙහෙය ඉටු කිරීමෙහි ලා නිර්ධන පන්තියේ අසමර්ථතාවයම "පිලිබිඹු" කරන්නේය යන ආස්ථානයෙනි. අපේ විරුද්ධවාදීහු සියලු දෙනා; අතිවාමවාදීන්, මාධ්‍යමිකයන්, අරාජකවාදීන්-ස්ටැලින්වාදීන් හා සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් ගැන කියනුව කවරේ ද- මේ සියල්ලෝම මෙම අදහස පැහැදිලිව ප්‍රකාශයට පත් කරන්නෝ නොවෙති. එතෙකුදු ඔවුහු සියල්ලෝම පරාජයන්ගේ වගකීම තමන්ගේ උරයෙන් ඉවත් කොට නිර්ධන පන්තියේ උර මත පටවති. සමාජවාදී පෙරලිය අත්පත් කර ගැනීමට නිර්ධන පන්තිය නිරවද්‍යව කවර තතු යටතේ සමත් වනු ඇත්දැයි ඔවුහු කිසිවෙකු පෙන්වා නොදෙති.          

පරාජයන්ගේ හේතු නිර්ධන පන්තියේම සමාජ ගුනයන් තුල මුල් බැස ඇතැයි යන කියමන සත්‍යයැයි අප අනුමත කරන්නේ නම්, නූතන සමාජයේ තත්ත්වය බලාපොරොත්තු විරහිත එකක් ලෙස පිලිගැනීමට එවිට අපට සිදුවනු ඇත. ධනේශ්වර ක්‍රමය ජරාජීර්න වන තතු තුල නිර්ධන පන්තිය සංඛ්‍යාත්මකව වේවා, සංස්කෘතිකව වේවා වර්ධනය වන්නේ නැත. එබැවින් එය යම් දිනයෙක විප්ලවවාදී කර්තව්‍යයන්ගේ මට්ටමට නැඟෙතැයි අපේක්ෂා කිරීමට කිසිදු හේතුවක් නැත. ලේ වැකි ධනේශ්වර ව්‍යාකූලත්වයෙන් තමන් මුදා ගැනීමට වැඩකරන ජනයාගේ ඇති ඓන්ද්‍රීය, ගැඹුරටම කිඳී ගිය, මැඩ ලිය නොහැකි ආවේගය හා කල් ඉකුත් වූ කම්කරු නායකත්වයේ ආචීර්න කල්පික, දේශමාමක, අත්‍යන්ත ධනපති ස්වභාවය ද අතර පවත්නා ගැඹුරු පරසතුරුභාවය සිය මනස තුල පැහැදිලි කොට ගෙන සිටින තැනැත්තාට මේ තත්ත්වය ඉදිරිපත් කෙරෙන්නේ මුලුමනින්ම වෙනස් ආකාරයකට ය. අපි මෙම සමථයකට ගෙන ආ නොහැකි ප්‍රවනතාවලින් එකක් තෝරා ගත යුත්තෙමු. [11] 

තම ඉදිරි දර්ශනයන්ගේ ප්‍රතිවිපාක පිලිබඳ ගනනයකට ෂැට්මන් වේවා, බර්න්හැම් වේවා ප්‍රයත්නයක යෙදී නොතිබින. ලෝක ඉතිහාසයේ ගමන් මඟ කල් ඇතිව දකිනු තබා, තමන්ගේ ම දක්ෂිනාංශික හා අධිරාජ්‍යවාදයට පක්ෂපාතී දේශපාලන ගමන් පථය පෙරදකීමට පවා ඔවුහු සමත් නොවූහ. ඔවුන්ගේ දේශපාලන චින්තනයට මඟ පෙන්වූයේ, "ජීවමාන සිදුවීම්වල යථාර්ථය" පිලිබඳ දෛනික ධාරනාවල පදනම මත, තමන් ප්‍රතික්‍රියා දක්වන සිදුවීම් ආවශ්‍යක ලෝක ඓතිහාසික සන්දර්භයක බහා ලීමේ කිසිදු ප්‍රයත්නයක් නොදරා දේශපාලන ප්‍රතිචාර ක්ෂන නිර්මානය කිරීමෙන් සමන්විත වූ අතිශයම ග්‍රාම්‍ය උපයෝගිතාවාදයෙනි. ට්‍රොට්ස්කි ඔවුන්ගේ දේශපාලන සාරසංග්‍රහවාදය කෙරේ අවධානය කැඳවා සිටියේය.   

විපක්ෂයේ නායකයෝ සමාජ විද්‍යාව අපෝහක භෞතිකවාදයෙන් විභේදනය කරති. ඔවුහු සමාජ විද්‍යාවෙන් දේශපාලනය විභේදනය කරති. දේශපාලනයේ විෂය පථය තුල දී ඔවුහු පෝලන්තය තුල අපේ කර්තව්‍යයන් ස්පාඤ්ඤයේ අපේ අත්දැකීම් වලින් ද, පින්ලන්තයේ අපේ කර්තව්‍යයන් පෝලන්තයේ අපේ ආස්ථානයන්ගෙන් ද විභේදනය කරති. ඉතිහාසය ව්‍යතිරේක සිදුවීම් මාලාවක් බවට පරිවර්තනය කෙරෙන අතර, දේශපාලනය ක්ෂන නිර්මාන මාලාවක් බවට පරිවර්තනය කෙරෙයි. අපට මෙහිදී දැකිය හැක්කේ, වචනයේ සකලාර්ථයෙන් ම ගත් කල, මාක්ස්වාදය විසමෝධානය කිරීමයි, න්‍යායික චින්තනය විසමෝධානය කිරීමයි, දේශපාලනය එහි සංඝටක මූලාංගයන් බවට විසමෝධානය කිරීමයි. මුදුනේ සිට පතුලටම ආධිපත්‍යය දරන්නේ අනුභූතිවාදය හා එහි ඇපකාර සොහොයුරා වන ධාරනාවාදයයි. [12]    

මෙම වාද ප්‍රහාරය අතරතුර, නිසැකවම බර්න්හැම් හා ෂැට්මන් අනපේක්ෂිත ලෙස මවිතයට පත් කරවන ආකාරයකින්, ට්‍රොට්ස්කි අපෝහක තර්කනය පිලිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට හඳුන්වා දෙයි. බර්න්හැම් අපෝහකවාදය අර්ථ විරහිතයැයි ප්‍රතික්ෂේප කල බව; සහ "මිය ගොස් ශතවර්ෂයක් ගත වී ඇති මානව චින්තනයේ ඝෝර ව්‍යාකූලකයා"[13] වශයෙන් ඔහු විසින් තකතීරු ලෙස හඳුන්වා දෙනු ලැබූ හේගල්ට එම උජාරු මහාචාර්යවරයා ගර්හා කල බව සත්තකින්ම ට්‍රොට්ස්කි දැන සිටියේය. මැක්ස් ෂැට්මන් සම්බන්ධයෙන් ගත් කල, දර්ශනවාදයට අදාල දේ පිලිබඳව ඔහුට විශේෂ උනන්දුවක් නොතිබුනු අතර, විප්ලවවාදී දේශපාලනය කෙරේ අපෝහක භෞතිකවාදය දක්වන සම්බන්ධය පිලිබඳව තමා අඥෙයවාදියෙකැයි තමා ම නිවේදනය කලේය. මේ තතු තුල, ට්‍රොට්ස්කිගේ "දාර්ශනික හැරීමෙහි" උපායශීලී හෝ අස්ථිර කිසිවක් ගැබ් ව නොතිබින. 

ජේම්ස් පී. කැනන්, මාර්ටින් ඇබර්න් හා මැක්ස් ෂැට්මන්

       

කම්කරු පන්තියේ දේශපාලන අනුස්ථාපනය සඳහා අත්‍යවශ්‍ය වූ විද්‍යාත්මක ඉදිරි දර්ශනයක් වර්ධනය කරනු වස්, උපයෝගිතා ධාරනාවාදයෙන් තනුක කරන ලද රූපික තර්කනයේ පදනම මත අත්පත් කර ගත නොහෙන සංකීර්න, පරස්පර විරෝධී හා, එබැවින් ශීඝ්‍ර ව වෙනස් වෙමින් පවතින සමාජ-ආර්ථික හා දේශපාලන තත්ත්වයක් පිලිබඳ විශ්ලේෂන මට්ටමක් අවශ්‍ය කෙරින. දාර්ශනික විශාරදත්වය පිලිබඳ ඔහුගේ සියලු මවාපෑම් තිබියදීම, සෝවියට් සමාජය හා පිලිවෙත් පිලිබඳ බර්න්හැම්ගේ විශ්ලේෂනය ඓතිහාසික අන්තර්ගතයෙන් තොර ව හා බොහෝ දුරටම සමාජයේ මතුපිටෙහි දැකිය හැකි ප්‍රපංචයන්ගේ ධාරනාවාදී විස්තාරනයන් මත පදනම් ව පැවැති ආකාරය තුල, ඔහු විද්‍යාත්මක විධික්‍රමයෙන් වියෝ වී තිබීම ගොරහැඩි ලෙස ප්‍රකාශයට පත් විය. සංකීර්න සමාජ-ආර්ථික හා දේශපාලන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් උපයෝගිතාවාදී ලෙස සාමාන්‍ය ඥානය භාවිතා කිරීමේ බර්න්හැම්ගේ ප්‍රවිෂ්ඨය න්‍යායිකව නොවටනා එකක් විය. ඔහු එවකට පැවතුනු සෝවියට් සංගමය, පරමාදර්ශී කොන්දේසි තුල අව්‍යාජ කම්කරු රාජ්‍යයක් මෙසේ විය යුතුයැයි ඔහු සිතූ දෙය සමඟ විසංසන්දනය කලේය. පරිහානියට යටින් පැවැති ඓතිහාසික ක්‍රියාවලිය හා සමාජ සහ දේශපාලන බලවේගවල ගැටුම ජාතික හා ජාත්‍යන්තර පරිමානයෙන් පැහැදිලි කිරීමට ඔහු යත්න දැරුවේ නැත.                     

ඔහු ට්‍රොට්ස්කි වෙතින් උචිත දඬුවම් ලැබීය:

ග්‍රාම්‍ය චින්තනය ක්‍රියාත්මක වන්නේ, ධනවාදය ධනවාදයට තුල්‍ය වන බවටත්, සදාචාරය සදාචාරයට තුල්‍ය වන බවටත් ආදී වශයෙන් පූර්වානුමාන කරමින්, අචල වියුක්තීන් ලෙස පවතින ධනවාදය, සදාචාරය, නිදහස, කම්කරු රාජ්‍යය ආදී සංකල්ප සමඟය. අපෝහක චින්තනය සියලු දේ හා සියලු ප්‍රපංච ඒවායේ අවිච්ඡින්න පරිවර්තනය තුල විශ්ලේෂනය කරන්නේ, නිශ්චයාත්මක සීමාවකට ඔබ්බෙහි දී A තව දුරටත් A නොවන්නා වූ ද, කම්කරු රාජ්‍යයක් තවදුරටත් කම්කරු රාජ්‍යයක් නොවන්නා වූ ද එකී වෙනස්කම්වල ද්‍රව්‍යමය කොන්දේසි නිර්නය කෙරෙන අතරතුරය.   

ග්‍රාම්‍ය චින්තනයේ මූලික දෝෂය පවතින්නේ එය සදාකාලික චලනයකින් සමන්විත වන යථාර්ථයක අචල ආමුද්‍රන වලින් සෑහීමට පත් වීමට අපේක්ෂා කිරීමේ කරුන තුල ය. අපෝහකවාදී චින්තනය, වඩාත් ප්‍රත්‍යාසන්න සන්නිකර්ෂන, නිදොස්කිරීම්, සංයුක්තකරන මඟින් සංකල්පවලට සාරවත්කමක් හා සුනම්‍යභාවයක් - යම්තාක් දුරකට ඒවා ජීවමාන ප්‍රපංචයට සමීප කෙරෙන රසවත්කමක් පවා (යැයි පවසනු කැමැත්තෙමි) - ලබා දෙයි. පොදුවේ ධනේශ්වර ක්‍රමය නොවේ, වර්ධනයේ දෙන ලද අදියරක පවතින දෙන ලද ධනේශ්වර ක්‍රමයක්. පොදුවේ කම්කරු රාජ්‍යයක් නොව, පසුගාමී රටක, අධිරාජ්‍යවාදී වැටලීම් තත්ත්වයක් තුල පවතින ආදී වශයෙන් වූ දෙන ලද කම්කරු රාජ්‍යයක්. 

චලන චිත්‍රයක් නිශ්චල ඡායාරූපයකට දක්වන සම්බන්ධය කවරාකාර වේ ද, අපෝහක චින්තනය ග්‍රාම්‍ය චින්තනයට දක්වන සම්බන්ධය ද එබඳුම එකකි. චලන චිත්‍රය නිශ්චල ඡායාරූප අවලංගු නොකරයි; එය නිශ්චල ඡායාරූප, චලනයේ නීතිවලට අනුකූලව, සංයෝජනය කරයි. අපෝහකය සංවාක්‍යය ප්‍රතික්ෂේප නොකරන අතර, එය අපේ වැටහීම සදාකාලිකව පරිවර්තනය වන යථාර්ථයට වඩාත් සමීප කෙරෙන පරිද්දෙන් සංවාක්‍ය සංයෝජනය කිරීමට අපට උගන්වයි. හේගල් ඔහුගේ තර්ක ශාස්ත්‍රය තුල නියාම මාලාවක් තහවුරු කලේය: ප්‍රමානය ගුනය බවට පරිවර්තනය වීම, ප්‍රතිවිරෝධයන් හරහා වර්ධනය, අන්තර්ගතය හා ආකෘතිය අතර ගැටුම, අවිච්ඡින්නතාවයේ අතුරු බිඳීම, භව්‍යතාව අනිවාර්යතාව බවට පරිවර්තනය වීම ආදී වශයෙන්ය. වඩාත් ආමුලික කර්තව්‍යයන් සඳහා සරල සංවාක්‍ය වැදගත් වන්නේ යම් සේ ද, න්‍යායික චින්තනය සඳහා මෙම නියාම ද එතරම්ම වැදගත්කමකින් යුතුය. [14]         

ට්‍රොට්ස්කි, වඩාත්ම ප්‍රගාඪ අදහස් සුගම බසකින් පල කිරීමට යත්න දැරුවා වූ හා ඊට සමත් වූ සැබෑ ලෙසම ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ දුර්ලභ ප්‍රවර්ගයට අයත් වූවෙකි. එහෙත් ඔහු තමන් ලියූ දෙයෙහි පැහැදිලි බව අත්පත් කර ගැනීම සඳහා එහි බුද්ධිමය ගැඹුර වැය කලේ නැත. ඒ වෙනුවට, එකී පැහැදිලිභාවය යනු ආවශ්‍යක සෛද්ධාන්තික කරුනු සම්බන්ධයෙන් ඔහුගේ වූ විශාරදත්වයෙහි විද්‍යමාන වීමක් විය.    

එමෙන්ම, මෙම ඡේදය මඟින් අපෝහක තර්කනය පිලිබඳව ට්‍රොට්ස්කිගේ හා ලෙනින්ගේ සංකල්පවල කැපී පෙනෙන සංයාතයක් හෙලිදරව් කෙරෙන බැව් සඳහන් කිරීම වටී. සිය 'හේගල්ගේ තර්කනයේ විද්‍යාව පිලිබඳ සාර නිදර්ශනය' (Conspectus of Hegel’s Science of Logic) තුල (බෝල්ෂෙවික් නායකයාගේ එකතු කල කෘතීන්හි 38 වන වෙලුම තුල පල කෙරුනු දර්ශනය පිලිබඳ ලෙනින්ගේ සටහන් පොත්වල කොටසක් ලෙස මෙම ලේඛනය එයි) ලෙනින්, හේගල් පිලිබඳව අදහස් දක්වමින් මෙසේ ලියයි:  

තර්ක ශාස්ත්‍රය යනු ඥානනයේ විද්‍යාවයි. එය දැනුම පිලිබඳ න්‍යායයි. දැනුම යනු මිනිසා විසින් ස්වභාවධර්මය පිලිබිඹු කරනු ලැබීමයි. එහෙත් මෙය සරල නොවන, සාන්දෘෂ්ඨික නොවන, පරිපූර්න නොවන පිලිබිඹුවකි. එය වියුක්තිකරන, සංකල්ප, නියාම ආදී වශයෙන් නිර්මානය කිරීම් හා වර්ධනය කිරීම් සරනියකින් යුත් ක්‍රියාවලියකි. තව ද, මෙකී සංකල්ප, නියාම, ආදිය (චින්තනය, විද්‍යාව = "තාර්කික අදහස") සදාකාලිකව චලනය වන්නා වූ හා වර්ධනය වන්නා වූ ස්වභාවධර්මයේ සර්වත්‍ර නියාම-පාලිත ගුනය කොන්දේසි සහිතව, ආසන්න වශයෙන්, වැලඳ ගනී. මෙහිදී තත්ත්වාකාරයෙන් හා වෛෂයිකව සාමාජිකයෝ තිදෙනෙක් වෙති: 1) ස්වභාව ධර්මය; 2) මානව ඥානනය = මිනිස් මොලය (එකී ස්වභාව ධර්මයේ ම උසස්ම නිෂ්පාදිතය ලෙස), සහ 3) මානව ඥානනය තුල ස්වභාව ධර්මය පිලිබිඹු වීමේ ආකාරය, තවද, මෙම ආකාරය සමන්විත වන්නේ නිරවද්‍ය ලෙසම, සංකල්ප ලෙස, නියාම ලෙස හා ප්‍රවර්ග ලෙස ආදී වශයෙනි. මිනිසාට ස්වභාව ධර්මය සමස්ත වශයෙන්, මුලුමනින්, එහි "සාන්දෘෂ්ඨික සාකල්‍යයෙන්" ග්‍රහනය කිරීමට = පිලිබිඹු කිරීමට = කැඩපත් දර්ශනයක් ලබා ගැනීමට නොහැකිය, ඔහුට හැක්කේ සදාකාලිකව මෙයට වඩවඩාත් සමීප වීමටය, වියුක්තන, සංකල්ප, නියාම, ලෝකය පිලිබඳ විද්‍යාත්මක චිත්‍රයක් ආදී වශයෙන්, නිර්මානය කිරීමටය. [15] 

1940 අප්‍රේල් මස එස්ඩබ්ලිව්පීයෙන් බිඳී ගිය සුලුතර කන්ඩායම "කම්කරු පක්ෂය (Workers Party)" නමින් තම පක්ෂය පිහිටුවා ගත්තේය. බර්න්හැම් මසකට මඳක් වැඩි කාලයක් එහි නිලතල දැරීය. මැයි 21වන දින ඔහු, ෂැට්මන් සමඟ එක්ව තමන් බිහි කල සංවිධානයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් යැවීය. එම ලිපිය තුල ඔහු සමාජවාදය පිලිබඳ තම පරිපූර්න හා නිරවශේෂ ප්‍රතික්ෂේපනය නිවේදනය කලේය. අපෝහක භෞතිකවාදය පිලිබඳ තම ප්‍රතික්ෂේපනයේ අවසාන නිගමන උකහා ගනිමින් බර්න්හැම් මෙසේ ලිවීය: මාක්ස්වාදී ව්‍යාපාරය සමඟ සම්බන්ධ සියලු සැලකිය යුතු විශ්වාසයන්, ඒවායේ සංශෝධනවාදී වේවා, ලෙනින්වාදී වේවා, ස්ටැලින්වාදී වේවා, නැතහොත් ට්‍රොට්ස්කිවාදී වේවා, මේ සියලු ප්‍රභේදයන් අතරින් මා විසින් එහි සාම්ප්‍රදායික ආකාරයෙන් පිලිගනු ලැබෙන එකකුදු, සත්තකින්ම නැත." [16] විපක්ෂයේ න්‍යායාචාර්යවරයා සිය සංවිධානය අතහැර පලා ගිය බව දැනගත් ට්‍රොට්ස්කි සිය නීතිඥයා (හා එස්ඩබ්ලිව්පීයේ සාමාජිකයෙකු) වූ ඇල්බට් ගෝල්ඩ්මන් වෙත මෙසේ ලියා යැවීය: "බර්න්හැම් අපෝහකය නොපිලිගනී, එහෙත් අපෝහකය ඔහුට එහි දැලෙන් මිදී යාමට ඉඩ නොදෙයි. ඔහු මකුලු දැලක පැටලුනු මැස්සෙකු මෙන් අසු වී ඇත." [17]  

කම්කරු පක්ෂය අතහැර දැමීමෙන් පසු බර්න්හැම් ධනපති දේශපාලනයේ අන්ත දක්ෂිනාංශය කරා ශීඝ්‍රයෙන් සේන්දු වෙමින් සෝවියට් සංගමය සමඟ  නිවාරක න්‍යෂ්ඨික යුද්ධයක අධිවාචකයෙකු බවට පත් වූ අතර, 1987 ඔහුගේ මරනයට සුලු කලකට ඉහත දී ජනාධිපති රොනල්ඩ් රේගන් ඔහු වෙත නිදහසේ පදක්කම පිරිනැමීය. ෂැට්මන්ගේ පරිනාමය සඳහා මීට වඩා කල් ගත විය. ඔහුගේ "තුන්වැනි කඳවුර" අර්ථ දක්වන ලද්දේ "වොෂින්ටනයත් එපා, මොස්කව්ත් එපා!" යන සටන් පාඨයෙනි. අවසානයේ වොෂින්ටනයට සහාය දීම සම්බන්ධයෙන් ඔහුගේ තහනම අතහැර දැමූ ෂැට්මන් එක්සත් ජනපදය මඟින් දියත් කෙරුනු ශීතල යුද්ධයේ අධිවාචකයෙකු වූ අතර, අවසානයේ 1961 බේ ඔෆ් පිග්ස් ආක්‍රමනයට හා, එම දශකයේ අවසාන භාගයේ උතුරු වියට්නාමයට බෝම්බ දැමීමට ද සම්පූර්න සහාය පිදීය.    

මතු සම්බන්ධයි.

[1] “Trotsky’s place in History,” in C. L. R. James and Revolutionary Marxism: Selected Writings of C.L.R. James 1939-49, ed. Scott McLemee and Paul Le Blanc (Chicago, 2018), පි. 93

[2] The Case of Leon Trotsky (New York, 1968), පි. 291

[3] Leon Trotsky “The USSR in War,” In Defence of Marxism (London, 1971), පි. 21

[4] “On the Eve of World War II, Writings of Leon Trotsky 1939-40 (New York, 1973), පි. 17

[5] එම, පිටු 17-18

[6] එම, පි. 25

[7] එම, පි. 26

[8] එම, පිටු 19-20

[9] In Defence of Marxism, පි. 4

[10] එම, පි. 11

[11] එම, පිටු 14-15

[12] එම, පිටු 114-15

[13] එම, පි. 236

[14] එම, පිටු 65-66

[15] Lenin Collected Works, Volume 38 (Moscow: 1961), පි. 182

[16] In Defence of Marxism, පි. 257

[17] එම, පි. 224

[මෙම ලිපිය 2020 අගෝස්තු 20 වන දා ඉංග්‍රීසි බසින් පලවිය.]

Loading