ගුරුවරුන්ගේ වැටුප් අරගලය නතර කිරීමට සැරසෙමින් වෘත්තීය සමිති ආන්ඩුවේ කැබිනට් කමිටුව වැලඳ ගනී

[මෙය 2021 අගෝස්තු 13 වැනි දින Sri Lankan unions embrace government’s cabinet committee in preparation to end teachers’ wage fight යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳුදා පැවති කැබිනට් මන්ඩල රැස්වීමේදී, “ගැටලුව පිලිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම” සඳහා කැබිනට් අනු කමිටුවක් පත්කරමින්, වැඩ වර්ජනයේ යෙදී සිටින ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් නැවත වරක් ප්‍රතික්ෂේප කලේය. ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මන්ඩල රැස්වීමේදී, අමාත්‍යවරුන් සිවුදෙනෙකුගෙන් යුත් අනුකමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරනු ඇත.

ජුලි 23 කොලඹ මහලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති ඒකාබද්ධ ගුරු උද්ඝෝෂනය [ලෝසවෙඅ මාධ්‍ය]

වැටුප් වැඩි කිරීම පිලිබඳ අධ්‍යාපන සේවකයන්ගේ ඉල්ලීම් වලට පසුගිය සඳුදා වන විට “විසඳුමක්” ලබා දෙන ලෙස ගුරු සංගම් මීට පෙර ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් වෘත්තීය සමිති නිලධාරීන්, ආන්ඩුව මුහුන දෙන ආර්ථික අර්බුදය අවබෝධ කරගත් බවට ආන්ඩුවට සහතික වෙමින් ගුරුවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් 'ප්‍රතිපත්තිමය තීන්දුවක්' ගන්නා ලෙස යටහත්ව ඉල්ලා සිටියේය.

ඊනියා “ප්‍රතිපත්තිමය තීන්දුව” යනු 250,000 කට ආසන්න රජයේ පාසල් අධ්‍යාපන සේවකයින් හා විදුහල්පතිවරුන් විසින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත ඉගැන්වීම් වර්ජනය අවසන් කිරීම සඳහා වෘත්තීය සමිති විසින් භාවිතා කරනු ලබන මංමුලා සහගත උපාමාරුවකි.

ගුරුවරුන්ගේ වැටුප් හිමිකම් පියවීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 70 ක් (ඩොලර් මිලියන 350 ක්) වැය වන බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අඟහරුවාදා මාධ්‍යයට පැවසීය. ව්‍යාජ කැබිනට් අනු කමිටුවේ කාර්යභාරය හැටියට ඔහු අවධාරනය කලේ, වැටුප් ඉල්ලීම සම්බන්ධයෙන් ආමන්ත්‍රනය කිරීමට ආන්ඩුවට කවදා පටන් ගත හැකිද, වසර කීයක් ගතවේද යන්න සහ අනෙකුත් කරුනු සොයා බැලීමයි.

ආන්ඩුව අමු අමුවේම ක්‍රියාවට දමන මෙම ප්‍රමාද කිරීමේ උපක්‍රමය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට වෘත්තීය සමිති නායකයින් එම යෝජනාව මහත් කැමැත්තෙන් වැලඳ ගත්හ. ලංකා ගුරු සංගමයේ (ලගුස) ලේකම් ජෝසෆ් ස්ටැලින් මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ පැවසීය: 'මෙම කමිටුව කලින් පැවති කමිටුවලට සමානද කියල අපි දන්නෙ නැහැ.[එහෙත්] අපි පූර්ව නිගමනවලට යන්නෙ නැහැ'

ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ පැවසුවේ වෘත්තීය සමිතිවලට “පාරේ කෑ ගසන්නට” හෝ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යෑමට” අවශ්‍ය නැති බවයි. ආන්ඩුව සමඟ 'එකඟතාවක්' සඳහා ආයාචනා කරමින්, වෘත්තීය සමිති 'සාකච්ඡා කිරීමට කැමති' බව වීරසිංහ පැවසීය.

එසේම, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය වන ලංකා ගුරු සේවා සංගමයේ (ලගුසේස) නායක මහින්ද ජයසිංහ කියා සිටියේ ගුරුවරුන්ගේ අරගලය පිලිබඳව “ඇතැම් ඇමතිවරුන් අවබෝධයෙන් කතා කල” බවයි. “මෙය අපට සහනයක්, ඒ ගැන අපි සතුටු වෙනවා” යැයි ඔහු පැවසීය.

ඊයේ (12), ගුරු සංගම් නායකත්වය, අනෙකුත් වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ එක්සත් ගුරු සේවා සංගමය සමඟ එක්ව කොලඹ නිදහස් චතුරශ්‍රය අසල 'සත්‍යග්‍රහයක්' පැවැත්වූහ. වෘත්තීය සමිති නායකයින් පැවසුවේ තම විරෝධය කැබිනට් අනුකමිටුවට සහ ආන්ඩුවට “යම් පීඩනයක් එල්ල කිරීම” බවයි.

විමල් වීරවංශ, මහින්ද අමරවීර සහ ප්‍රසන්න රනතුංග ඇතුලු අනුකාරක සභාව ඊයේ රැස් වූ අතර අද (13) ගුරු සංගම් නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරනු ඇත. දශක ගනනාවක් තිස්සේ පැවති වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම මෙම සාකච්ඡා මගින් විසඳනු ඇතැයි ගුරුවරුන්ට කිසිදු මිත්‍යාවක් තිබිය යුතු නැත. මෙම ක්‍රියාවලිය නරුම සරදමක් වන අතර එය ගුරුවරුන්ගේ අරගලය පීලි පැන්නීමට සහ කඩාකප්පල් කර දැමීමට කඩතුරාවක් ලෙස භාවිතා කරනු ඇත.

වෘත්තීය සමිති විසින් ආධාර සහ අනුබල දෙන ලද වත්මන් රාජපක්ෂ පාලනය ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු පසුගිය වසර 24 පුරා ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දැන් ලංකාවේ අඩු වැටුප් ලබන රාජ්‍ය අංශයේ සේවකයින් අතරට ගුරුවරු ද ඇතුලත් ය.

සඳුදා පැවති කැබිනට් මන්ඩල රැස්වීමෙන් පසු අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් පැවසුවේ ලබන අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් හිමිකම් ඉල්ලීම් ආමන්ත්‍රනය කිරීමට “අවස්ථාවක්” ඇති බවයි. ඒ අතරම, මාර්ගගත අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සහ විභාග හා ඒවායේ ප්‍රතිඵල ප්‍රමාද කිරීම ගැන ඔහු වර්ජනයේ යෙදෙන ගුරුවරුන්ට චෝදනා කලේය.

ඇත්ත වශයෙන්ම වසංගතය අතරතුර ආන්ඩුවේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය විකාරයකි. අන්තර්ජාල පහසුකම් තබා පරිගනක වත් ලබා දී නොමැති බැවින් බොහෝ සිසුන්ට මෙම අධ්‍යාපනය ලබා ගත නොහැක. තවද, බොහෝ ගුරුවරුන්ට තමන්ගේම මුදල් උපයෝගී කරගනිමින් මාර්ගගත පන්ති ආරම්භ කිරීමට බල කෙරී ඇත, ඒද පැවැත්විය හැකි ප්‍රදේශවල ය.

ජූලි 12 දා ආරම්භ වූ ගුරුවරුන්ගේ මාර්ගගත ඉගැන්වීම් වර්ජනය ඊයේ දෙවන මාසයට එලඹුනි. පසුගිය මාසය තුල වැඩ වර්ජකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව සහ අගෝස්තු 4 වන දින පැවැත්වූ රථ පෙලපාලිය ඇතුලු බොහෝ විරෝධතාවන්හි නිරත වූහ. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම දහස් ගනන් අධ්‍යාපන සේවකයින් සහභාගී වූ පෙලපාලි පැවැත්වුනි.

විරෝධතාවයේ යෙදෙන ගුරුවරු යාපනයේදී යතුරුපැදි රැලියක් පවත්වති (මූලාශ්‍රය: ෆේස්බුක්)

අගෝස්තු 4 දා සිය ගනනක් ගුරුවරු මහනුවර සිට කොලඹ දක්වා කිලෝමීටර් 100 ක පා ගමනක් ආරම්භ කලහ. ගුරුවරුන්, පස්යාල වෙත කිමී .70 ක් පයින් ගමන් කිරීමෙන් පසු, විරෝධතාකරුවන් කෝවිඩ්-19 පතුරවන බවට චෝදනා කරමින් ආන්ඩුව සහ මාධ්‍ය ගෙන ගිය දුෂ්ට ව්‍යාපාරයක් හේතුවෙන් වෘත්තීය සමිති විසින් අගෝස්තු 7 දා පා ගමන අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, දැන් ව්‍යසනකාරී මට්ටම දක්වා වර්ධනය වී ඇති වසංගතයට වගකිව යුත්තේ ගුරුවරුන් නොව, ආන්ඩුව සහ සමස්තයක් වශයෙන් පාලක පන්තිය යි.

යුද්ධයේ බලපෑමට හසුවූ උතුරේ ගුරුවරුන් සිය ගනනක් සඳුදා දිනයේ, වෙන වෙනම පෙලපාලි දෙකක් පැවැත්වූහ—එකක් යාපනයේ සහ අනෙක පේදුරුතුඩුව තුල ය. නිරෝධායන නීති හරස් කරමින් විරෝධතාකරුවන් අවහිර කිරීමට පොලිසිය උත්සාහ කල නමුත් ගුරුවරු එය නොතකා හැරියහ. විරෝධතාකරුවන් යාපනය වීරසිංහම් ශාලාවේදී රැස්වීමක් පැවැත්වූහ.

තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ගුරුවරුන්ගේ වැඩෙන අධිෂ්ඨානයට රජය කෘෘර පොලිස් මර්දනයෙන් ප්‍රතිචාර දක්වා ඇත. අගෝස්තු 4 වෙනිදා පැවති රථ පෙලපාලියකින් පසු ගුරුවරුන් 40 දෙනෙකු සහ රියදුරන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිසිය, පසුදින ඔවුන්ට ඇප ලබා දෙන තුරු කොලඹ වරාය පොලිස් ස්ථානයේ රඳවා තැබූහ.

ජූලි මාසයේ පැවැත්වූ පෙලපාලියක් සහ අගෝස්තු 4 වෙනිදා කොලඹ බලා ගිය පෙලපාලිය සංවිධානය කිරීම නිසා, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් 26 දෙනෙකුගෙන් යුත් කන්ඩායමකට, බදාදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරනය ඉදිරියේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙරිනි. කොරෝනා වෛරස් නීති උල්ලංඝනය කිරීම සහ මහජනයා උසිගැන්වීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇති අතර නොවැම්බර් 26 වනදා අධිකරනය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

අගෝස්තු 9 වෙනිදා මාතර පොලිසිය විසින් එක් ගුරුවරියක් ඇතුලු ගුරුවරුන් තිදෙනෙකු රඳවාගෙන සිටි අතර පසුදින මහේස්ත්‍රාත්වරයා හමුවට ගෙන එන තුරු ඔවුන් සිර අඩස්සියේ තැබින. ඔවුන් ඇප මත මුදා හැර ඇති නමුත් අගෝස්තු 16 දා අධිකරනයේ පෙනී සිටිය යුතුය. යාපනයේ ගුරුවරුන් වෙනත් විරෝධතාවයකට රැගෙන ගිය වෑන් රථ රියදුරෙකු ද අඟහරුවාදා පොලිසියට කැඳවා තිබේ.

ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන්ට විරුද්ධ වන ඕනෑම අයෙකුට එරෙහිව පොලිසිය සිය මර්දනය දැඩි කර තිබේ. අගෝස්තු 3 වෙනිදා පොලිසිය විසින් පෙසප සාමාජිකයින් දෙදෙනෙකු, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු සහ තවත් ප්‍රමුඛ ක්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පෙලපාලියක් සංවිධානය කිරීම හේතුවෙන් ඔවුන් අධිකරනය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම පනත මඟින් මහජන අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම සහ රට තුල මිලිටරිකරනය තවදුරටත් පුලුල් කිරීම සිදු කෙරේ.

අරගලය උත්සන්න කරන බවට බොරු තර්ජන කරමින්, මෙම ගුරු සංගම් තවත් කුප්‍රකට වෘත්තීය සමිති කිහිපයක නායකයින් සමඟ එක්ව, සිය සාමාජිකයින් පාවාදීම සඳහා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබුනි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ නායක සමන් රත්නප්‍රියද ඊට සහභාගී වූ අතර, ජූලි මාසයේ පැවති සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග නතරකර දැමීමේදී ඔහු සෞඛ්‍ය අංශයේ සෙසු වෘත්තීය සමිති නිලධාරින් සමඟ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකල අයෙකි. ලංකා වෙලඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහ අන්තර් සමාගම් සේවක සංගමයේ නායක වසන්ත සමරසිංහ යන අය ද ඊට සහභාගී වූහ. සීමිත හා ප්‍රමානවත් නොවන කොවිඩ්-19 අගුලු දැමීම්වලින් පසු ජනාධිපති රාජපක්ෂ විසින් ආර්ථිකය යලි විවෘත කිරීමේදී ජයකොඩි සහ සමරසිංහ ඊට සහයෝගය දුන් අතර වසංගතයට ප්‍රතිචාර වශයෙන් වැටුප් හා රැකියා කප්පාදු කිරීමට සමාගම්වලට සහාය වූහ.

උත්සන්න කරමින් පවතින ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරයන්ට එරෙහි අරගලයක් සඳහා කම්කරුවන් ඒකාග්‍ර කිරීම සමඟ මෙම සන්ධානයට කවර හෝ සම්බන්ධයක් නොමැත. ඒ වෙනුවට මෙම වෘත්තීය සමිති නිලධාරීන්, ඔවුන් එක්ව සත්‍යග්‍රහ මාලාවක් පැවැත්වීමට සහ විපක්ෂ පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සමඟ ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමට තීරනය කොට ඇත. ගුරුවරුන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම් ලබා දීමට විරුද්ධ වූ පසුගිය ආන්ඩුවල පක්ෂ සහ නායකයින් මීට ඇතුලත් ය.

“මෙය පුලුල් ජනතා අරගලයක් බවට පත් කිරීමට අපි දැන් සූදානම්. එවැන්නක් සිදු වීමට පෙර අපේ ගැටලු විසඳා මෙය අවසන් කරන ලෙස අපි රජයට කියනවා” යැයි ලගුසේස නායක ජයසිංහ මාධ්‍යයට පැවසීය. කෙසේ වෙතත්, ගුරු අරගලයට සහයෝගය දැක්වීම සඳහා සහ ආන්ඩුවට හා ධනපති පන්තියට අභියෝග කිරීම සඳහා කම්කරු පන්තියේ කාර්මික ශක්තියේ කවර හෝ ඒකාබද්ධ බලමුලු ගැන්වීමක් ජයසිංහගේ ඊනියා 'පුලුල් ජනතා අරගලය' ට ඇතුලත් නොවේ.

Loading