ඉදිරිදර්ශන

දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!

[මෙය Children’s lives matter! Stop school reopenings! යන මැයෙන් 2021 අගෝස්තු 08 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සති හය තුල, එක්සත් ජනපදයේ දිනපතා නව කොවිඩ්-19 ආසාදන දස ගුනයකටත් වඩා ඉහල ගොස් ඇති අතර, වයස අවුරුදු 12 ට අඩු —එන්නත ලබා ගැනීමට නුසුදුසු මට්ටමක සිටින—ලමුන් වඩාත් තර්ජනයට ලක්ව ඇත. එක්සත් ජනපදය තුල කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් දල වශයෙන් සියයට 20 ක් පමන ලමුන් ය, රට පුරා ලමා රෝහල් පිරී ඉතිරී ගොසිනි.

ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය අයිලින් මාර්ටි, ඉරිදා සීඑන්එන් වෙත පැවසුවේ “අපේ ලමා රෝහල් මුලුමනින්ම පිරී ඇති” බවයි. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “අපේ ලමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, හෙද නිලධාරින් සහ කාර්ය මන්ඩලය අතිශයින් වෙහෙසට පත් වී ඇති අතර දරුවන් දුක් විඳිනවා. එය මුලුමනින්ම විනාශකාරීයි ... අපේ දරුවන් බොහෝ සෙයින් පීඩාවට පත් වෙලා. මෙවැනි සංඛ්‍යාවන් අපි මීට පෙර දැක නැහැ.”

පසුගිය සතියේ නිව් ඕර්ලියන්ස් හි ලමා රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන, වෛද්‍ය මාර්ක් ක්ලයින් ද එවැනිම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “මම වෙන කවරදාටත් වඩා අද අපේ දරුවන් ගැන කනස්සල්ලට පත්ව සිටින” බවයි.

2021 අගෝස්තු 4 වෙනි බදාදා ජෝර්ජියා හි මැක්ඩොනව් හි ටුසාහාවෝ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් ශාලාවේ ඇවිද යති. (ඒපී ඡායාරූපය / බ්‍රයන් ඇන්ඩර්සන්)

වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරික් ෆීග්ල්-ඩිං මෑතකදී අනතුරු ඇඟවීය, “මෙය හොඳින් තේරුම්ගන්න—#කොවිඩ්19 තහවුරු වූ සියලුම ලමුන්ගෙන් සියයට 1 ක් රෝහල් ගත කිරීමට සිදු වේ. ඇත්තෙන්ම එය සමාජය තුල ඉඩ ලබා දියයුතු යයි අපට පිලිගත හැකි තත්වයේ ලමා රෝගී මට්ටමක් ද?”

ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද ගාඩියන් පුවත්පතේ මතවාද-කතුවැකි පිටුවෙහි ආචාර්ය ජෝර්ජ් ඒ. කබල්ලෙරෝ මෙසේ ලිවීය: “ඩෙල්ටා ප්‍රභේදය සහ ලමුන් තුල දිගු කාලීන කෝවිඩ් ගැන අප දන්නා සෑම දෙයකටම අනුව, එන්නත් නොකල දරුවන්, ගුරුවරුන් සහ කාර්ය මන්ඩලය පන්ති කාමරවලට යැවීම සදාචාර විරෝධී ය. ඩෙල්ටා ප්‍රභේදය සෑම කෙනෙකුටම දිගු කාලීන ආබාධිත වීමේ හෝ මරන අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරයි, නමුත් ඇමරිකාවේ වෙසෙන මිලියන 73 ක ලමුන් සඳහා එය සුවිශේෂ ය. අපි අපේ පාසැලේ නැවත විවෘත කිරීමේ සැලසුම් වහාම වෙනස් කල යුතුය.”

ලමුන්ද ඇතුලුව රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ, පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතු බවට බයිඩන් පරිපාලනය සිය ඉල්ලීම තීව්‍ර කරයි. අධ්‍යාපන ලේකම් මිගෙල් කාර්ඩෝනා ඉරිදා සීබීඑස් හි ෆේස් ද නේෂන් වැඩසටහනට සහභාගී වෙමින් පැවසුවේ “රට පුරා සිටින මිලියන 50 ක සිසුන් මුහුනට-මුහුන ලා කෙරෙන ඉගෙනීම් කටයුතු සඳහා පාසැල් වෙත යාමට සූදානම්” බවයි. මෑත සති කිහිපය තුල බොහෝ පාසල් දිස්ත්‍රික්ක දැනටමත් සම්පූර්නයෙන්ම නැවත විවෘත කර ඇත, දිස්ත්‍රික්ක වලින් අතිමහත් බහුතරයක් සැප්තැම්බර් මැද භාගය වන විට එය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ දුරස්ථ ඉගෙනීම සඳහා ඉතා සීමිත හෝ කොහෙත්ම අවස්ථාවක් නොලැබෙන පරිදි ය.

සිකුරාදා, ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජෙන් සාකි නොසැලකිල්ලෙන් කියා සිටියේ, 'අපි වැඩ භාර ගත් කාලයට වඩා අපේ රට ඉතා ශක්තිමත් තැනක තිබෙන නිසා ආර්ථිකය හෝ අපේ පාසල් වසා දැමීමට යන්නේ නැහැ.' ඇය තවදුරටත් මෙසේ ද පැවසුවාය: “අපි ආපස්සට යන්නේ නැහැ. අපි ඔරලෝසුව ආපසු හරවන්නේ නැහැ.”

පාසල් නැවත විවෘත කිරීමට ඩිමොක්‍රටිකයින් ගත් අනුකම්පා විරහිත උත්සාහය මඟින් වඩාත් මූලික විද්‍යාත්මක පියවරයන් තවදුරටත් ඉවත් කිරීමට රිපබ්ලිකානුවන් පෙලඹී ඇත, රිපබ්ලිකන් නායකත්වය දරන ප්‍රාන්ත අටක් පාසල් තුල මුහුනු ආවරන පැලඳීමේ නියෝග තහනම් කලේය. වඩාත් ෆැසිස්ට්වාදී ප්‍රතිපත්ති ෆ්ලෝරිඩාවේ සහ ටෙක්සාස් හි ක්‍රියාත්මක කර ඇත, කලින් මුහුනු ආවරන නියෝග ක්‍රියාත්මක කල ඕනෑම දිස්ත්‍රික්කයකට මූල්‍ය දඬුවම් නියම කල අතර, ඉන්පසුව වසංගත ඇති වූ පාසල් වල සම්බන්ධතා සොයා යාම හෝ සිසුන් නිරෝධායනය කිරීම මුලුමනින්ම ඉවත් කර තිබේ.

අධ්‍යාපන සේවකයින්, දෙමාපියන් සහ සිසුන් මුහුන දෙන ජීවිතය හා මරනය අතර අරගලයට ප්‍රතිචාර වශයෙන්, සාමාජිකයින්ගේ වියදමින් තර වන ගුරු සංගම් නැවත වරක් මූල්‍ය ප්‍රභූන්ගේ අවශ්‍යතා සඳහා යටහත් පහත් ලෙස සේවය කරමින් සිටිති.

ඉරිදා උදෑසන එන්බීසී හි මීට් ද ප්‍රෙස් වැඩසටහනට අදහස් දක්වමින් ඇමරිකානු ගුරු සම්මේලනයේ (ඒඑෆ්ටී) සභාපති රැන්ඩි වීන්ගාර්ටන් ප්‍රකාශ කලේ, “මම මේ සතියේ රට වටා ගියෙමි. අපි මිසූරි හි ෆ්ලොරිඩා හි සිටියදී, නැවත පාසැල විවෘත කිරීම සඳහා හැකි සෑම ප්‍රයත්නයක් දැරුවෙමු.” මෑත සති කිහිපය තුල ලමුන් සිය ගනනක් රෝහල් ගත කල, ඩෙල්ටා ප්‍රභේදයේ මෑත ඉහල යාමේදී නරකම බලපෑමට ලක් වූ ප්‍රාන්ත අතර ෆ්ලොරිඩා සහ මිසූරි යන ප්‍රාන්ත දෙකම ඇතුලත් ය.

රිපබ්ලිකන් පක්ෂය නායකත්වය දරන ප්‍රාන්ත අටක් පාසල්වල මුහුනු ආවරන තහනම් කිරීම සඳහා ගත් උත්සාහයන් පිලිබඳව ගුරුවරුන්ගේ කනස්සල්ල ගැන විමසූ විට, වීන්ගාර්ටන් එම ප්‍රශ්නයෙන් මඟ හැරියේ, “ඔවුන් බයයි ... නමුත් ඔවුන් ද දැන සිටියා—මට පැහැදිලි කිරීමට ඉඩ දෙන්න. ලමුන් නැවත පාසලට ගෙන්වාගැනීම අංක එකේ ප්‍රමුඛතාවයයි.”

සම්මතයක් හැටියට ගුරු සංගම් සැමවිටම පිලිගත් කොවිඩ්-19 වසංගතයේ මූලිකම කාරනයක් නම්, ලමුන් බොහෝ දුරට කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක් නොවන අතර ඔවුන්ගෙන් අන් අයට ආසාදනය වීමේ ඉඩක් නොමැති බව යි.

පසුගිය දෙසැම්බරයේදී නිව් යෝර්ක් නගරයේ ඩිමොක්‍රටික් නගරාධිපති බිල් ද බ්ලැසියෝ ඒකපාර්ශවිකව පාසල් නැවත විවෘත කලේ “සියල්ලටම කලින් අපි දන්නා පරිදි අධ්‍යනයන් තුලින් පෙන්නුම් කරන්නේ කුඩා දරුවන් සම්බන්ධයෙන් නරක අත්දැකීම් අඩු අතර, ලමා වියේදී ව්‍යාප්තිය ගැන සැලකිල්ලක් දැක්වීමේ අවශ්‍යතාවය අඩු' යයි අසත්‍ය ලෙස ප්‍රකාශ කරමිනි.

බයිඩන් බලයට පත් වූ වහාම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රමුඛ නගර සහ එක්සත් ජනපදය පුරා ප්‍රාන්ත, වෘත්තීය සමිතිවල පූර්න පිටුබලය ඇතිව, පාසල් සම්පූර්නයෙන්ම නැවත විවෘත කිරීම සඳහා වූ එම ඉල්ලීම්ම ඉදිරිපත් කලහ. ජාතික රූපවාහිනී සේවාවෙන් දෙවන පන්තියේ ශිෂ්‍යයෙකුට බොරු කියමින් බයිඩන් මෙම ව්‍යාපාරයට නායකත්වය දුන්නේ, “ඔබට යම් දෙයකට නිරාවරනය වීමට හෝ එය අම්මාට හෝ තාත්තාට ව්‍යාප්ත කිරීමට නොහැකි වනු ඇත.” ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය, “දරුවන්ට බොහෝ විට කොවිඩ් වැලඳෙන්නේ නැත ... එය සිදු වීම අසාමාන්‍යයි. ”

නිව් යෝර්ක් ටයිම්ස්, චිකාගෝ ට්‍රිබියුන්, වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ සෙසු ආයතනික මාධ්‍ය විසින් පිලිකුල් දනවන ලෙස නැවත නැවතත් කියන ලද මෙම බොරු 2020 ගිම්හානයේ මැද භාගය වන විටම අවිද්‍යාත්මක බව ඔප්පු කර ඇති අතර, ඒවා දැන් වඩාත් වේගයෙන් සම්ප්‍රේෂනය වන හා ඉතා දරුනු ඩෙල්ටා ප්‍රභේදය මගින් සම්පූර්නයෙන්ම පුපුරා ගොස් ඇත.

නමුත් පාසල් නැවත විවෘත කිරීමේ උත්සාහය කිසි විටෙකත් විද්‍යාව මත පදනම් වී නැත. ඒ වෙනුවට එය හුදෙක් මූල්‍ය කතිපයාධිකාරයේ ආර්ථික අවශ්‍යතා මත පමනනක් පෙලඹී ඇත. දරුවන් පාසැලේ නොසිටින්නේ නම්, ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන් බලා ගැනීම සඳහා නිවසේ රැඳී සිටීමට සිදු වන අතර ප්‍රධාන සමාගම් සඳහා වැඩ කිරීමට සහ ලාභ උපයා දීමට නොහැකි වේ. වසංගතය පුරාවටම මෙය මහත් කනස්සල්ලට කරුනක් වූ අතර, පවතින “ශ්‍රම හිඟය” පිටුපස පවතින එක් මූලික කරුනක් නම් “පාසල් හා පෙර පාසල් වසා දමා තිබීම නිසා, විශේෂයෙන් පාසල් යන වයසේ සිටින දරුවන්ගේ දෙමාපියන්ට ලමයි රැක බලා ගැනීමට සිදුවීම” බව බයිඩන්ගේ ඉහල ආර්ථික උපදේශක බ්‍රයන් ඩීස් මෑතකදී ප්‍රකාශ කලේය.

ඩෙල්ටා ප්‍රභේදයේ ආන්තික සම්ප්‍රේෂන හැකියාව හේතුවෙන් කාර්ය මන්ඩලය සහ සිසුන් සමස්තය ම මුහුනු ආවරන සහිතව සිටියද පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීම විශාල වසංගත ඇති වීමට තුඩු දෙනු ඇත. ලොව පුරා ධනපති ආන්ඩු විසින් එම ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරනු ලබන්නේ ගෝලීය වශයෙන් වෛරසය ව්‍යසනකාරී ලෙස ඉහල යාමට සහ බෝවන, මාරාන්තික හා එන්නත් වලට ඔරොත්තු දෙන ප්‍රභේද වැඩි දියුනු වීමට කොන්දේසි නිර්මානය කරමිනි.

ඉදිරි මාස කිහිපය තුල ලොව පුරා මිලියන සිය ගනනක් ලමුන් ආසාදනය කරමින් වෛරසය ප්‍රජාවන් තුල ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති අතර එමඟින් කොවිඩ්-19 හේතුවෙන් ඇති වන අප්‍රසන්න දුක් වේදනා හා මරන තවදුරටත් උග්‍ර වනු ඇත. මේ වන විටත් ඇස්තමේන්තු කර ඇති පරිදි ලොව පුරා සිටින දරුවන් මිලියන 1.5 කට කොවිඩ්-19 හේතුවෙන් දෙමාපියෙකු හෝ භාරකරුවෙකු අහිමි වී ඇත. මෙම කොන්දේසි යටතේ පාසල් නැවත විවෘත කිරීම වෙනුවෙන් අඛන්ඩව පෙනී සිටීම අපරාධයට වඩා අඩු දෙයක් නොවේ.

පාසල් නැවත විවෘත කිරීමට එරෙහිව එක්සත් ජනපදය හා ගෝලීය වශයෙන් එක්සත් ව්‍යාපාරයක් තුල සියලුම දෙමාපියන්, අධ්‍යාපන සේවකයින් සහ සිසුන්ගේ විරෝධය එල්ල විය යුතුය. සම්ප්‍රේෂන දාමය කපා හැරීම සඳහා සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන පුලුල් ලෙස වසා දැමීමේ කොටසක් ලෙස වසංගතය සම්පුර්නයෙන්ම පාලනය කිරීමට අවශ්‍ය පියවර—මහා පරිමාන පරීක්ෂන, සම්බන්ධතා සොයා යාම, ආසාදිත රෝගීන් හුදකලා කිරීම, මුහුනු ආවරන පැලඳීම සහ එන්නත්කරනය—ක්‍රියාත්මක කල යුතුය. එවැනි පියවරයන් ලෝක පරිමානයෙන් ක්‍රියාත්මක කලේ නම්, වසංගතය ගෝලීය වශයෙන් මාස කිහිපයකින් මුලුමනින්ම පාලනය කල හැකිය.

නමුත් එවැනි ප්‍රතිපත්ති, කම්කරු පන්තික ප්‍රතිරෝධයට එරෙහිව මුගුරක් ලෙස අන්ත දක්ෂිනාංශය වගා කරමින් අගුලු දැමීම සහ සියලු ලිහිල් කිරීමේ පියවරයන්ට දිගටම විරුද්ධ වන පාලක පන්තියේ මූල්‍ය අවශ්‍යතා සමග ගැටෙයි. කොවිඩ් -19 මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කල හැක්කේ, ධනේශ්වර පක්ෂ වලින් සහ වෘත්තීය සමිති වල ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ස්වාධීනව ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමස්ත මැදිහත්වීමෙන් පමනි.

වයිංගර්ටන් විසින් නිරූපනය කරන ලද ඉහල මධ්‍යම පන්තික වෘත්තීය සමිති නිලධාරින්, අධ්‍යාපන වෘත්තිකයින්ගේ ක්‍රියාකාරී කමිටු සහ සියලුම සේවකයින්ගේ අවශ්‍යතාවන්ට මුලුමනින්ම සතුරු බව ඔප්පු වී ඇත. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ ධජය යටතේ ගෝලීය වශයෙන් සම්බන්ධීකරනය කරන ලද ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩ නැගීම තුලින් ඔවුන්ට විරුද්ධ විය යුතුය.

එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, එක්සත් රාජධානිය සහ පාසල් නැවත විවෘත කරන අනෙකුත් සෑම රටකම, මෙම මාරාන්තික ව්‍යාපාරය නැවැත්වීමට සහ දරුවන්, දෙමාපියන් හා පුලුල් ජනගහනය අනවශ්‍ය ලෙස දුක් විඳීම හා මරනය වැලැක්වීම සඳහා සමස්ත කම්කරු පන්තියම බලමුලු ගැන්විය යුතුය, ඒ සඳහා රට පුරා ගුරු වැඩ වර්ජන සඳහා කැඳවිය යුතුය.

Loading