විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහ සිසුන්ට එරෙහි පොලිස් දඩයම දිගට ම

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිවත් ගුරුවරුන්ගේ වැටුප් අරගලයට සහය පල කරමිනුත් පැවැත් වූ විරෝධතා ඉලක්ක කර ගනිමින් පුලුල් පරිමාන පොලිස් දඩයමක් ක්‍රියාවට දමා ඇත.

අගෝස්තු 14 වැනි දා “ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුලු ක්‍රියාකාරිකයන් දඩයම නවතනු” යන මැයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිකුත් කල නිවේදනයක් දක්වන්නේ එම සංගමයේ සාමාජික හා එහි හිටපු මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුලු තවත් 15 දෙනෙකු අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවීමෙන් අගෝස්තු 3 වැනි දා කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහි ව පාර්ලිමේන්තුව අසල පැවැත් වූ විරෝධතාවයකට සහභාගි වූ ශිෂ්‍ය සහ ආචාර්ය ක්‍රියාකාරිකයෝ මෙම පොලිස් දඩයමට මුහුන දෙමින් සිටිති. පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කල විරෝධතා පා ගමන පොලිස් සහ මිලිටරි භට කන්ඩායම් යොදා අවහිර කරන ලදි. පසු ව විරෝධතාකාරුවෝ පොලිස් බාධක අසල රැලියක් පැවැත්වූහ.

විරෝධතාකරුවෝ නිරෝධායන නීති සහ පොදු දේපලවලට හානි පැමින වූයේ ය යන චෝදනාව උඩ පොලිස් දඩයම දියත් කෙරී ඇත. ඒ අනුව අවිශිබම කැඳවුම්කරු සහ තවත් ශිෂ්‍යයෙකු ද, පෙසප නායකයකු වන චමීර කොස්වත්ත සහ එම පක්ෂයේ සාමාජිකාවක වන කෝෂිලා හංසමාලි ද අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. දෙවන වතාවටද ඔවුන්ට ඇපදීම ප්‍රතික්ෂේප කල කඩුවෙල මහේස්ත්‍රාත් අගෝස්තු 31 දක්වා ඔවුන් යලි බන්ධනාගාර ගත කලේය.

මෙම විරෝධතාව අවසානයේ නිවසට පැමිනි පසු ලැබුනු දුරකතන ඇමතුමකින් එම විරෝධතාවේ දී තමන් සිදු කල කතාවක් සම්බන්ධයෙන් තර්ජනය කෙරුනු බවත් පසු ව දිගට ම තමන් එබඳු තර්ජනවලට ලක් වෙමින් සිටින බවත් ආචාර්ය මහීම් මෙන්ඩිස් පවසයි. හිටපු අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන භික්ෂුවට දුරකතන ඇමතුම් මගින් පැහැර ගන්නා බවට තර්ජන එල්ල කෙරී ඇත.

'ජර්නලිස්ට් ෆෝ ඩිමොක්‍රසි ඉන් ශ්‍රී ලංකා' වෙත අදහස් දක්වමින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ප්‍රකාශ කර ඇත්තේ 48 දෙනෙකුට ආසන්න සිසුන් පිරිසකගේ ලැයිස්තුවක් සුදානම් කරගෙන පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. එම සංවිධානයේ වාර්තාවට අනුව සිසුන් සොයමින් පොලිසිය එම සිසුන්ගේ නිවෙස්වලට ඒමට පටන් ගෙන ඇත. විවෘත විශ්ව විද්‍යාලයේ උදාර සඳරුවන් ශිෂ්‍යයා පොලිස් භාරයට පත් කිරීමට කටයුතු කල යුතු බව ඔහුගේ පියාට දැනුම් දී ඇති අතර එසේ නොකලහොත් ඔහු භාර වන තෙක් පවුලේ වෙනත් අයෙකු අත් අඩංගුවට ගෙන රඳවා ගන්නා බවට තර්ජනය කර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ පෙසප/අවිශිබම සමග සමහන් කල නොහැකි දේශපාලන වෙනස්කම් පැවතිය ද මෙම සංවිධානවල ක්‍රියාකාරිකයන්ට එල්ල කෙරී ඇති පොලිස් දඩයම ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හෙලා දකී.

මේ ආකාරයෙන් ම ගුරු විරෝධතාවල සංවිධායකයන්ටත් සහභාගී වූ ගුරුවරුන්ටත් ප්‍රවාහන පහසුකම් සම්පාදනය කල රියදුරන්ටත් එරෙහි ව දිවයින පුරා පොලිස් මර්දනයක් දියත් කර ඇති ආකාරය මීට පෙර ලෝසවෙඅ වාර්තා කලේ ය.

මෙය වර්ධනය වන පන්ති අරගල තලා දැමීමට ගෙන යන වැඩපිලිවෙලේ කොටසකි. එය ජනාධිපති රාජපක්ෂ මිලිටරිය මත පාදක වූ ආඥාදායක පාලනයක් ස්ථාපිත කරගැනීමට ගෙනයන පියවර සමග බද්ධ ව පවතී. ඉහල යන පන්ති අරගල රැල්ලක් සහ කොවිඩ්-19 වසංගතය ව්‍යසනකාරී මට්ටමකට වර්ධනය වූ පසුබිමක සමාජ ආතතීන් තියනු වන තතු තුල පොලිසිය වඩාත් ඍජු ව ම මර්දනය උත්සන්න කර තිබේ.

පසුගිය මාසයක කාලය තුල මාධ්‍යවේදීන් ගනනාවක් පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක් විනි. අගෝස්තු 13 වැනි දා අලුයම කාලයේ දී තමිලන් ප්‍රධාන කර්තෘ ආර් සෙල්වන් ජීවත්වන මහල් නිවාස සංකීර්නයට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් යයි පවසමින් පිරිසක් තර්ජනකාරී ලෙස ඇතුලු වීමට උත්සහ දරා ඇතත් නිවාස සංකීර්නයේ ආරක්ෂක නිලධාරියා එයට ඉඩ ලබා දී නැත.

ජූලි මාසයේ දී මීඩියා එල්කේ වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ තරිඳු ජයවර්ධනගේ ෆේස්බුක් පෝස්ටුවකට ඔහු “ව්‍යාජ තොරතුරු” සමාජගත කරන බවට සඳහන් කරමින් තර්ජනාත්මක කමෙන්ටුවක් පල කිරීමට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කටයුතු කලේ ය.

මඩකලපුව දෙමල මාධ්‍යවේදී සංසදයේ සභාපති සහ ස්වාධීන මාධ්‍යවේදියෙකු වන සෙල්වකුමාර් නිලාන්දන්, ජූලි 12 වැනි දා කල්ලඩි ත්‍රස්ත මර්දන විමර්ශන ඒකකය විසින් කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කෙරුනි. එහි දී ඔහුට එල්ටීටීඊ සංවිධානය සමග සබඳතා පවතින්නේ ද යන්න ගැන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කොට කට උත්තර ලබා ගෙන ඇත. මෙම ප්‍රශ්න කිරීම්වල දී නිලධාරීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඔහුගේ විද්‍යුත් ලිපිනයේ, ෆේස්බුක් ගිනුමේ සහ වට්ස්ඇප් ගිනුම්වලට ඇතුලත් වීමේ මුරපද ඉල්ලා තිබේ.

මෙම පොලිස් දඩයම් දිග හැරෙන්නේ අගෝස්තු 3 වැනි දා විරෝධතාවන්ට ප්‍රස්තූත වූ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධ ගැටලු සහ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව විසඳීමට රාජපක්ෂ ආන්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ ය යන මවා පෑම් මැද ය. ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුව තුල දෙ වන වර විවාදයට ගැනීම කල් දැමුනු අතර ගුරු අරගලය ආන්ඩුවේ අනුකමිටුවක් හරහා විසඳීමට ගුරු වෘත්තීය සංගම් සමග සාකච්ඡා කෙරෙමින් පවතී.

නමුත් ඇදී යමින් පවතින පොලිස් දඩයම් පෙන්නුම් කරන්නේ ආර්ථික බිඳවැටීම්වල ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුව විරෝධතා ඉදිරියේ තම ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට සූදානම් නැති බවත් කම්කරු පන්තියට එරෙහි රුදුරු ප්‍රහාරයකට කල් බලමින් සිටින බවත් ය. “දේශපාලන පලිගැනීම්” යයි නම් කරමින් මහින්ද රාජපක්ෂ සමයේ මාධ්‍යවේදීන්ට සහ මහජනතාවට එරෙහි ව සිදු කල අපරාධ විභාග කිරීම් යට ගසමින් පැවතීම මේ සම්බන්ධ බලගතු සංඥාවකි.

Loading