සිසුන් තිදෙනෙකු වසංගතයෙන් මියයයි: පාසල් විවෘත කිරීමෙන් ඇතිවිය හැකි ව්‍යසනය ගැන පෙරඇඟවුමක්

කොරෝනාවෛරසයේ මාරාන්තික නව ප්‍රභේදයන් හේතුවෙන් ඉමහත් වේගයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගතය හමුවේ ලමා ආසාදන සහ මරන වල ඛේදජනක වර්ධනයක් ඉස්මතු වෙමින් පවතී. පසුගිය දෙසතිය තුල, පාසල් අධ්‍යාපනය ලබමින් සිටි දරුවන් තිදෙනෙකු එලෙස මියගිය බව මාධ්‍යයන් හි වාර්තා විය. කොලඹ ඉසිපතන විද්‍යාලයේ උසස්පෙල ඉගෙනුම ලබමින් සිටි 18 හැවිරිදි සස්මිත දිල්තුෂාන් ඉන් එක් අයෙකි. කොලඹ බාලිකා විදුහලක 17 හැවිරිදි සිසුවියකගේ සහ නාවල පදිංචි 12 හැවිරිදි පාසල් දැරිවියක වන අභිමානී නවෝද්‍යා ගේ ජීවිත ද වසංගතයෙන් බිලිගෙන ඇත.

5 හැවිරිදි පේටන් කෝප්ලන්ඩ්, ලමුන් තුළ බහු පද්ධතිමය දැවිල්ල ඇතිවන සින්ඩ්‍රෝමය (එම්අයිඑස්-සී) නිසා රෝහල් ගත කර ඇත. ඡායාරූපය: (ට්විටර්/@ක්ලීවන්_එම්ඩී ටාරා කෝප්ලන්ඩ් හරහා)

නිවස තුල ප්‍රතිකාර සඳහා රඳවා සිටි සස්මිත, රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසු කලුබෝවිල රෝහලට ඇතුලු කිරීමෙන් දිනකට පසු අගෝස්තු 15 වෙනි දා ඛේදජනක ලෙස මිය ගියේය. රිජ්වේ ආර්යා ලමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නවෝද්‍යා, රෝගය උත්සන්න වීමෙන් 22 දා මිය ගියා ය. අනෙක් සිසුවියගේ මරනය ගැන විස්තර වාර්තා වී නොමැත.

මෙම ව්‍යසනකාරී තත්වය ගැන මාධ්‍යයට අදහස් දක්වමින් කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ, වයස අවුරුදු 18 ට අඩු ලමුන් 45000 ට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය වූ බවත්, ඉන්14 දෙනෙකු මිය ගිය බවත් ය. වසංගතය පාලනය කිරීමට අවශ්‍ය අනිවාර්ය මහජන සෞඛ්‍යාරක්ෂන පියවර දිගින් දිගටම ප්‍රතික්ෂේප කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉහත දරුවන්ගේ මරනයන් ඇතුලු දහස් සංඛ්‍යාත කෝවිඩ් මරන වලට වගකිව යුතු ය.

ලමා ආසාදන වේගයෙන් ඉහල නැගීම ජාත්‍යන්තර ප්‍රපංචයකි. අගෝස්තු මස දෙවන සතියේ දී ලමුන් 121,000 ට වැඩි සංඛ්‍යාවක් (ලෝකයේ) ආසාදිතයින් බවට පත්ව ඇත. ඇමෙරිකාව තුල එය 1900 කි.

වර්ධනය වෙමින් පවත්නා මෙම ලමා මරන මගින් පෙරඇඟවුම් කරන්නේ, වසංගතය මේසා වේගයෙන් පැතිරෙද්දී පාසල් විවෘත කිරීමෙන් ඇතිවිය හැකි ඉමහත් ව්‍යසනය යි. වසංගතය නොතකා සිදු කෙරෙන පාසල් යලි විවෘත කිරීමකට දෙමාපියන් සහ අවශේෂ මහජනතාව එකහෙලා විරුද්ධ වියයුතු වන්නේ එබැවිනි.

වසංගතය වේගවත්ව පැතිරීමත් සමග රෝහල් පිරී ඉතිරීයාම හේතුවෙන් පසුගිය 11වෙනි දා සිට රිජ්වේ ආර්යා ලමා රෝහලේ සුලු රෝග ලක්ෂන පෙන්වන දරුවන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට තීන්දු කෙරුනි. අනෙකුත් රෝහල්වල තත්ත්වය ද ඒ අයුරින් ම වේ.

නිවෙස් වල තබා ප්‍රතිකාර ලබාදීම මරනය වඩාත් සමීප කිරීමකි. අවම පහසුකමක් හෝ නොමැති කුඩා නිවෙස්වල වෙසෙන ඌන ආදායම්ලාභී පවුල්වල දරුවන් ඇතුලු අනෙකුත් සාමාජිකයන්ට මෙම නිවාස ප්‍රතිකාර ක්‍රමය කිසිසේත් නුසුදුසු වන අතර, එමගින් නව ආසාදිතයින් ඇතිකර, රෝගය තවදුරටත් ව්‍යාප්ත කරමින් ඇත.

රාජපක්ෂ ඇතුලු ලෝක ධනේශ්වර පාලකයෝ, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ සාපරාධී පිලිවෙත අනුයමින් යතා අගුලු දැමීමකට සපුරා එරෙහිව සිටිති. අගෝස්තු 22 දා ආන්ඩුව පැනවූ සීමිත අගුලු දැමීම මුලුමනින්ම ව්‍යාජයකි. අත්‍යවශ්‍ය නොවන ඇඟලුම් වැනි නිෂ්පාදන පවා පවත්වාගෙන යන තතු තුල ලක්ෂ සංඛ්‍යාත මහජනයාට, වසංගතයට ගොදුරු වෙමින්, මහමග මෙන්ම කම්හල් සහ වැඩබිම්වල පොදි කෑමට සිදුව ඇත.

දරුවන් පාසල් යැවීමේ අන්තරාය සම්බන්ධයෙන් ලොවපුරා විද්‍යාඥයෝ කරුනු දක්වන්නේ මෙම පසුබිම තුලයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) අගෝස්තු 08 වෙනි දා පලකල, ඉවාන් බ්ලේක් විසින් රචිත, “දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!” මැයෙන් යුත් ලිපියේ ආචාර්ය ජෝර්ජ් ඒ. කබල්ලෙරෝ ගෙන් මෙසේ උපුටා දැක්වින: “ඩෙල්ටා ප්‍රභේදය සහ ලමුන් තුල දිගු කාලීන කෝවිඩ් ගැන අප දන්නා සෑම දෙයකටම අනුව, එන්නත් නොකල දරුවන්, ගුරුවරුන් සහ කාර්ය මන්ඩලය පන්ති කාමරවලට යැවීම සදාචාර විරෝධී ය. ඩෙල්ටා ප්‍රභේදය සෑම කෙනෙකුටම දිගු කාලීන ආබාධිත වීමේ හෝ මරන අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරයි, නමුත් ඇමරිකාවේ වෙසෙන මිලියන 73 ක ලමුන් සඳහා එය සුවිශේෂ ය. අපි අපේ පාසැලේ නැවත විවෘත කිරීමේ සැලසුම් වහාම වෙනස් කල යුතුය.”

“ද ලැන්සෙට්”වෛද්‍ය ජර්නල් නවතම වාර්තාවෙන් ප්‍රකාශිත ආකාරයට, කෝවිඩ් ආසාදනය ලමුන්ගේ සංජානන ගැටලු ඇති කිරීමට හේතු වනු ඇත. එමගින් බුද්ධි අගය (IQ) 2-7 අතර ප්‍රමානයකින් පහත වැටිය හැකි බව පෙන්වා දී ඇත. මෙහි බිය ජනක තත්ත්වය නම්, බුද්ධි අගය 7ක් දක්වා පහත වැටීම අඝාත තත්ත්වය ට ද වඩා ඛේදනීය ස්වභාවයක් ගැනීම ය. මෙ මගින් පුරෝකථනය කල නොහැකි, ජීවිතයට අනිසි ලෙස බලපෑම් කල හැකි, කෙටි කාලීන සහ දිගු කාලීන දුබලතාවන්ට ලමා පරපුර බඳුන් වීය හැකිය. එම තත්ත්වය නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට සංරෝධකයක් ද වනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි, පසුගිය දිනක කිසිඳු වගකීමකින් තොරව ප්‍රකාශකර තිබුනේ “...ආර්ථිකය හෝ අපේ පාසල් වසා දැමීමට යන්නේ නැහැ..,අපි ආපස්සට යන්නේ නැහැ, අපි ඔර්ලෝසුව හරවන්නේ නැහැ.” මෙලෙස වෛද්‍ය විශේෂඥයින්ගේ මෙන් ම වෙනත් විද්වතුන්ගේ උපදෙස් නොතකා ක්‍රියා කිරීම, එක්සත් ජනපදයේ සිට ලොව සියලුම ධශේවර පාලකයින් අනුයන මඟ වේ. එය මූල්‍ය කතිපයාධිකරයේ ලාභ අවශ්‍යතාව හා බැඳී පවතී.

මාරක ඩෙල්ටා වෛරසය ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙද්දී යම්හෙයකින් පාසල් විවෘත කලොත් තත්වය තවත් දරුනු වනු ඇත. පාසල් යන ලමුන් අනිවාර්යයෙන් වෛරසය සමඟ නිවසට පැමිනෙනු ඇත. ලංකාව වැනි රටවල ග්‍රාමීය ප්‍රදේශවල ,වැඩි වශයෙන් පවතිනුයේ විස්තෘත පවුල් ය. එකම නිවසේ පවුලේ දෙමාපියන්ට අමතරව වයස්ගත වැඩිහිටියන් ද වෙනත් ඥාතීහු ද වාසය කරති. වෛද්‍ය විශේෂඥ මතය අනුව වයස්ගත පුද්ගලයින්ට රෝගය ආසාදනය වීම ට ඇති අවකාශය ද ඉහල ය. මෙවන් තත්ත්වයක් තුල, පාසල් විවෘත කිරීම දැනුවත් සමාජ අපරාධයක් වනු ඇත.

ඉහත ලෝසවෙඅ ලිපියේ සඳහන් කෙරුනු පරිදි 'පාසල් නැවත විවෘත කිරීමට එරෙහිව එක්සත් ජනපදය හා ගෝලීය වශයෙන් එක්සත් ව්‍යාපාරයක් තුල සියලුම දෙමාපියන්, අධ්‍යාපන සේවකයින් සහ සිසුන්ගේ විරෝධය එල්ල විය යුතුය. සම්ප්‍රේෂන දාමය කපා හැරීම සඳහා සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන පුලුල් ලෙස වසා දැමීමේ කොටසක් ලෙස වසංගතය සම්පුර්නයෙන්ම පාලනය කිරීමට අවශ්‍ය පියවර—මහා පරිමාන පරීක්ෂන, සම්බන්ධතා සොයා යාම, ආසාදිත රෝගීන් හුදකලා කිරීම, මුහුනු ආවරන පැලඳීම සහ එන්නත්කරනය—ක්‍රියාත්මක කල යුතුය. එවැනි පියවරයන් ලෝක පරිමානයෙන් ක්‍රියාත්මක කලේ නම්, වසංගතය ගෝලීය වශයෙන් මාස කිහිපයකින් මුලුමනින්ම පාලනය කල හැකිය.'

Loading