“විද්‍යාත්මක” අගුලු දැමීමක් ඉල්ලා වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය යලිත් ජනාධිපතිට ලියයි

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම පිනිස 'විද්‍යාත්මක ක්‍රමවේදයකට' අනුව රට 'කෙටි කාලයකට' වසා දැමීම සම්බන්ධයෙන් අගෝස්තු 20 වෙනිදා තමන් ඉදිරිපත් කල යෝජනා මාලාව ක්‍රියාවට දමන ලෙස ඉල්ලා වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (වෘසසම) විසින් අගෝස්තු 27 වෙනිදා යලිත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යවා ඇත.

මහනුවර රෝහලේ පැවති විරෝධතාවය

රට වැසීමට ගත් තීරනය ගැන 'කෘතඥතාව පලකරන මුත් සෙසු යෝජනා ක්‍රියාවට නොදැමීම හේතුවෙන් පැතිර යන වසංගතයෙන් මහජනතාව සහ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නොහැකිව ඇති බව ඉතා කනගාටුවෙන් පෙන්වා දෙමු' යැයි එහි සඳහන් වේ. වෘසසම යනු, සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව, සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය, ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය සහ ටෙලිකොම් සියලු සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති වල එකතුවකි.

දින 10 ක් විද්‍යාත්මකව රට වැසීම, එම කාලය තුල අවම වශයෙන් පිසීආර්, රැපිඩ් අන්ටිජන් සහ ක්ෂනික ප්‍රතිදේහ ජනන ඇතුලු කොවිඩ් පරීක්ෂන ලක්ෂයක් කිරීම, ආසාදිතයන් වෙන් කර රෝග ලක්ෂන නැති අය සඳහා නිවසේ නිරෝධායන සහ ප්‍රතිකාර සැලසුම් කිරීම, ප්‍රතිකාර අවශ්‍ය අය සඳහා රෝහල් පද්ධතිය තුල ඇඳන් 10,000 ක් වෙන්කර තැබීම, විද්‍යාත්මක ආවේක්ෂන හරහා රෝගය නිවැරැදිව පුරෝකථනය කිරීම සහ රට වසා තබන කාලය තුල ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ඇතුලු අනෙකුත් මුලික අවශ්‍යතා ඉටු කිරීම ඇතුලු යෝජනා 10 ක් ඔවුන්ගේ යෝජනා මාලාවට ඇතුලත් වේ.

වෘසසම ජනාධිපතිට යෝජනා ඉදිරිපත් කරමින් රට වසන ලෙස ඉල්ලා ඇත්තේ වසංගතය පාලනය කිරීමට අසමත් වීම හා එම ව්‍යසනය මධ්‍යයේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ට එල්ල කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තිය තුල බරපතල කෝපයක් සහ පන්ති අරගල පුපුරායාමේ කොන්දේසි වර්ධනය වන තතු තුලය.

එහෙත් සැබවින් ම වසංගතය පාලනය කිරීමේ අරමුන ඇතිව විද්‍යාත්මකව රට වැසීමක දී අත්‍යාවශය නොවන කර්මාන්ත වසා දැමීම මුලික අවශ්‍යතාවයකි. ඒවායෙහි සේවයේ නියුතු කම්කරුවන්ට පුර්න වැටුප් සහිත නිවාඩු ලබා දියයුතුය. වෛද්‍ය පර්යේෂන හා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම සඳහා බිලියන ගනනින් මුදල් සහ සෞඛ්‍ය යටිතල පහසුකම් ඇතුලු සම්පත් දැවැන්ත ලෙස ගොනු කල යුතුය.

එහෙත් වෘසසම යෝජනාවලට මේ කිසිවක් ඇතුලත් නොවේ. එසේ වන්නේ අහම්බයකින් නොවේ. ඔවුන් 'ආර්ථිකය විවෘත කිරීමේ' රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතට විරුද්ධ නැත. පසුගිය වසරේ වසංගතය ආරම්භයේ කම්කරු පන්තියෙන් බරපතල විරෝධයක් මතු වූ තත්වයක් තුල සති කිහිපයකට රට අගුලු දැමීමෙන් පසු මැයි මස යලි ආර්ථිකය විවෘත කිරීමට සහ කම්කරු පන්තියේ සමාජ අයිතීන් කප්පාදු කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගත් පියවර වලට වෘත්තීය සමිති පැකිලීමකින් තොරව සහයෝගය දුන්හ.

ඉක්බිතිව රට වැසුවොත් “ආර්ථිකය බිඳ වැටෙන” බව කියමින් ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව දිගින් දිගටම රට වැසීම ප්‍රතික්ෂේප කලහ. අගෝස්තු 20 සිට දින 10 කට රට වැසීමට රාජපක්ෂ තීන්දු කලේ වසංගතයේ ව්‍යසනයට විරුද්ධව කම්කරු පන්තියේ දැවැන්ත අරගල පුපුරායාමේ අද්දරට තල්ලු වී ඇති කොන්දේසි තුලය.

අගෝස්තු 18 වෙනිදා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කැඳවුම් කල විරෝධතා උද්ඝෝෂනයට හෙද, පරිපුරක වෛද්‍ය, උපස්ථායක, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ ලිපිකරුවන් ඇතුලු සෞඛ්‍ය සේවකයෝ කිහිප දහසක් සහභාගී වුහ. යෝජිත පරිදි රට 'විද්‍යාත්මකව' නොවැසුවොත් අගෝස්තු 23 වෙනිදා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සියලු ආයතනවල වැඩ නතර කරන බවට පාරම් බෑ වෘසසමට සම්බන්ධ සමිති රාජපක්ෂ ගේ ප්‍රෝඩාව රට වැසීමක් ලෙස පිලිගෙන එය නතර කලහ.

රාජපක්ෂ නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරන සීමා පනවා පාර්ශවීය වශයෙන් රට වැසූ නමුත් ඇත්ත වශයෙන් ම රට වැසීමක් සිදු වී නැත. ඇඟලුම් සහ අපනයන, වතු කරය, ඉඳිකිරීම් ඇතුලු අත්‍යාවශ්‍ය නොවන එහෙත් “අත්‍යාවශ්‍ය” ලෙස ආන්ඩුව විසින් නම් කරන ලද අංශ ඇතුලු බහුතරයක් ආයතන විවෘතව පවතී. ලක්ෂ ගනනක් කම්කරුවෝ සේවයේ යොදවා සිටිති.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කම්හල්වල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන බව ආන්ඩුව සහ හාම්පුතුන් කියන නමුත් ඇඟලුම් හා අපනයන කම්හල් ඇතුලු වැඩ පොලවල් තුල කම්කරුවන්ට වැඩ කිරීමට සිදුව ඇත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂක පහසුකම්, සමාජ දුරස්ථභාවය, නිසි ලෙස විෂබීජහරනය කිරීමක් නොකෙරෙන තතු තුලය. මේ නිසාවෙන් ඇඟලුම් හා අපනයන වසංගතය පැතිරීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පත් වී තිබේ.

කම්කරුවෙකුට වෛරසය ආසාදනය වූ පමනින් කම්හල් වැසිය යුතු නැතැයි ජුනි 2 පැවති සාකච්ඡාවක දී ජනාධිපති රාජපක්ෂ ආන්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවධාරනය කලේ ය. “පුද්ගලයෙක් ආසාදනය වූ වහාම කර්මාන්ත ශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් වසා දැමීම වෙනුවට සෞඛ්‍ය රෙකමදාරුවලට අනුව බාධාවකින් තොරව ඒවා පවත්වාගෙන යාමේ හැකියාව සොයා බැලිය යුතු” බව ඔහු එහිදී සඳහන් කලේ ය.

එනම් කම්කරුවන් මලත් නිෂ්පාදනය පවත්වාගෙන යා යුතුය. කම්කරුවන් කෙරෙහි ජනාධිපති රාජපක්ෂ ගේ තැකීම එබඳුය. එක කම්කරුවෙකු නොව සිය ගනනක් කම්කරුවන්ට වෛරසය ආසාදනය වුවත් කම්හල් වසන්නේ නැත. ආසාදනය වූ කම්කරුවන් නිවාඩු යවා සුපුරුදු පරිදි නිෂ්පාදනය අඛන්ඩව පවත්වාගෙන යති.

ආසාදනය වන කම්කරුවන් නිරෝධායනය කිරීමේ පහසුකම් නැත. බොහෝවිට ඔවුන් නිරෝධායනය කෙරෙන්නේ තවත් කම්කරුවන් සමග සාමුහිකව ජීවත් වන ප්‍රමානවත් තරම් සෞඛ්‍ය පහසුකම් නැති ඔවුන්ගේ නවාතැන් පොලවල්වල මය. ඇනවුම් අහිමිවීම වලක්වා ගැනීම සඳහා මෙම කම්හල්වල සමස්ත ශ්‍රම බලකායන් සේවයේ යෙදවීමට හැකි වන පරිදි වයස අවුරුදු 18-30 සියලු කම්කරුවන් එන්නත්කරනය කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය ආන්ඩුවෙන් ඉල්ලා ඇත. සෞඛ්‍ය විශේෂඥයන් අවධාරනය කර ඇත්තේ හුදෙක් එන්නත්කරනය මගින් වෛරසය ආසාදනයවීම සම්පුර්නයෙන් වැලැක්විය නොහැකි බව ය

රාජපක්ෂ ආන්ඩුව මෙන් ම, 'ආර්ථිකය විවෘත කිරීමේ' එහි විනාශකාරී පිලිවෙතට සහයෝගය දුන් මෙම වෘත්තීය සමිති ද වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියට සහ එහි ප්‍රතිපලයක් ලෙස සිදුවන ජීවිත විනාශයට වගකිව යුතුය.

නව ඩෙල්ටා ප්‍රභේදයත් සමග ලෝකයේ හැම රටක් තුලම වසංගතය වේගයෙන් පැතිරෙමින් ඇත. ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 218 ක් ද මරන මිලියන 4.5 ක් ද ඉක්මවා ඇත. ලංකාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 4 වැඩිය දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 4,500 -5,000 අතර උච්චාවචනය වෙමින් ද සමස්ත මරන සංඛ්‍යාව 10,000 ට ආසන්න වී ද ඇත. දෛනික මරන 200 ‌ෙ අධිකය.

රෝහල් ධාරිතාවය මුලුමනින් ම ඉක්මවා ඇත. වසංගත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ පෙරමුනු ශ්‍රම බලකාය වන වෛද්‍යවරු, හෙද සේවකයන්, ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ 6,000 ක් පමන මේ වනවිට ආසාදිතයන් බවට පත් වී සිටිති. ප්‍රමානවත් තරම් සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් නැතිකම, දරා ගත නොහැකි මට්ටමේ අධික වැඩ බර සහ උපකරන හිඟයකට ඔවුහු මුහුන දී සිටිති.

රට මුලුමනින් අගුලු දමා වසංගතය පාලනය කිරීමේ දැඩි පියවර නො ගතහොත් එලඹෙන ජනවාරි මාසය වනවිට කොවිඩ් මරන 30,000 දක්වා ඉහල යාම වලක්වා ගත නොහැකි වනු ඇති බව ට ලෝක සෞඛ්‍ය සංවිධානය ආශ්‍රිත විශේෂඥ කමිටුවක් විසින් පසුගිය සතියේ අනතුරු ඇඟවී ය.

එහෙත් රාජපක්ෂ ආන්ඩුව මෙම අනතුරු ඇඟවීම් ගැන කිසිදු තැකීමක් නැත. ලෝකයේ සෙසු සියලු ධනපති පාලක පන්තීන් මෙන් ම, එය ද උත්සුක වන්නේ වසංගතයෙන් මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කිරීමට නොව, මහ ව්‍යාපාරිකයෙ සහ ආයෝජකයන් ගේ ලාබ උත්පාදක අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම කෙරෙහිය.

ධනපති පාලක පන්තීන් වසංගතය සම්බන්ධයෙන් පාදක කොට ගන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ විද්‍යාත්මක මත නොව, වසංගතය තුල ආර්ථිකයන් විවෘත කිරීමේ සහ කම්කරු පන්තිය බලහත්කාරයෙන් වැඩට දැක්කීමට ගැලපෙන්නා වූ අවිද්‍යාත්මක හා ප්‍රතිගාමී 'රංචු ප්‍රතිශක්තිය' සහ 'නව සාමාන්‍යය' යන සංකල්පයන් ය.

වසංගතයේ ව්‍යසනයට එරෙහිව කම්කරු පන්තිය තුල විරෝධය මතුවන විට වෘත්තීය සමිති ආන්ඩුවේ පිලිවෙත විවේචනය කරන නමුත් ධනපති පාලක පන්තියේ පිලිවෙතට විරුද්ධව අව්‍යාජ අරගලයක් කිරීමේ හැකියාවක් ඒවාට නැත. වෘත්තීය සමිති ධනපති ජාතික රාජ්‍යයේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් සමග පෙල ගැසුන සංවිධානයෝ වෙති.

වසංගතයෙන් අත්මිදිය හැක්කේ එය මුලින් උපුටා දැමීමේ මුලෝපායක් මත පාදකව වෛද්‍ය විශේෂඥයන් ගේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය යටතේ මෙහෙයවන ගෝලීයව ඒකාබද්ධ කෙරුනු මෙහෙයුමකින් පමනි. ඒ සඳහා ධනපතියන් සතු සුවිශාල ධනස්කන්ධය සහ සම්පත් කම්කරු පන්තිය විසින් අත්පත් කරගතයුතු අතර, කඳු ගැසී ඇති ඩොලර් බිලියන සංඛ්‍යාත විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුය.

ධනේශ්වර රාජයේ සහ අන්තර්ජාතික ප්‍රාග්ධනයේ උත්සුකතාවයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වෘත්තීය සමිති එවන් වැඩ පිලිවෙලකට හතුරුය. එහෙයින් වසංගතය මුලිනුපුටා දැමීමේ හා සමාජ අයිතීන් සඳහා සටන කම්කරු පන්තිය තමන් අතට ගත යුතු ය. එය කල හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව පිහිටුවා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක් ගොඩ නැගීම තුලින් පමනි.

Loading