මංගල සමරවීර (1956 - 2021): අධිරාජ්‍යවාදයේ සහ මූල්‍ය ප්‍රාග්ධනයේ කීකරු අතවැසියෙක්

ධනපති ආන්ඩු ගනනාවක ප්‍රධාන පෙල ඇමති ධූර දැරූ මංගල සමරවීර, කොවිඩ්-19 අසාදිත ව කොලඹ පෞද්ගලික රෝහලක දී ප්‍රතිකාර ලබමින් සිටිය දී, අගෝස්තු 24 වැනි දා, අභාවයට පත් විය. ඔහුගේ මරනය වාර්තා වීමත් සමග කොලඹ ධනේශ්වර සංස්ථාපිතයේ ප්‍රධාන නායකයෝ සහ අධිරාජ්‍යවාදී නියෝජිතයෝ ඔහු වෙනුවෙන් ශෝක පනිවිඩ නිකුත් කලහ.

රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන පලිගැනීම් විමර්ශනය කිරීමේ කොමිසමේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් ව සිටිය ද, සමරවීරගේ අභාවයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙබෑයෝ කම්පා වූහ. “ඔහු ශ්‍රී ලාංකික දේශපාලන ගමන් මාවතේ වැදගත් වෙනස්කම් ආරම්භ කරමින් ශ්‍රී ලාංකිකයන්ට අර්ථභාරී දායකත්වයක් සැපයූ ගෞරවනීය දේශපාලකයෙකි” යැයි ජනාධිපති රාජපක්ෂ සටහන් කලේ ය.

තම “මිතුරා සහ සගයා වන මංගල සමරවීරගේ අකල් වියෝව ගැන තදබල ශෝකයට පත්” මහින්ද රාජපක්ෂ “අද දින අපට ශ්‍රේෂ්ඨ නායකයෙකු සහ අප ජාතියට ආදරය කල මිනිසෙකු අහිමි ව ඇත” යනුවෙන් ට්විටර් සටහනක් නිකුත් කලේ ය.

2015 පෙබරවාරි 12, වොෂින්ටනයේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී විදේශ ඇමති මංගල සමරවීර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමු වෙයි. [State Department Photo/Public Domain]

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග සහ මෛත්‍රිපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම තමන්ගේ ශෝක ප්‍රකාශවල දී සමරවීර සංහිඳියාවේ සහ මානව හිමිකම්වල සටන්කරුවෙකු ලෙසත්, පරමාදර්ශී දේශපාලන චරිතයක් ලෙසත් ඔජ වැඩූහ.

“... දෙමල ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් උද්ඝෝෂනය කරමින් ඔහු සුදු නෙලුම් ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ය. ඔහු තම වර්ගවාදයට විරුද්ධ ආස්ථානය මරනය දක්වා ම රැක ගත්තේ ය....... ඔහුගේ අභාවය අප සැමට දැවැන්ත පාඩුවකි.” යැයි දෙමල ජාතික සන්ධානය (දෙජාස) වෙනුවෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කලේ ය.

ජනතා විමුක්ති පෙරමුන තම ශෝක පනිවිඩයේ මෙසේ සටහන් කලේ ය: “දේශපාලනයෙන් නිදහස් මතධාරියෙකු වූ ඔහු තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක තත්ත්වයන්හි තුල දී පවා තම ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් විය. රට තුල මතු වූ ඇතැම් තීරනාත්මක දේශපාලන අවස්ථාවන්හී දී ඔහු අප සමග සමීප ව කටයුතු කල ආකාරය ද මෙහි දී සිහිපත් කල යුතු වේ.”

බැරැක් ඔබාමා පාලන සමයේ ධවල මන්දිර උපදේශිකාවක් ලෙස සේවය කල සහ වර්තමානයේ යූඑස්ඒඩ් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන, එක්සත් ජනපදයේ ඉහල පෙල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන සමන්තා පවර් “මංගල සාධාරනත්වය සහ සංහිඳියාව වෙනුවෙන් සටන් වැදුනේ ය.” යැයි ලියුවා ය. ලංකාවේ සිවිල් යුද සමයේ විශේෂ ජාත්‍යන්තර සාම නියෝජිතයෙකු ලෙස කටයුතු කල හිටපු නෝර්වීජියානු ඇමතියෙකු වන එරික් සෝල්හයිම්, “සැමවිට ම සාමය වෙනුවෙන් වැඩ කල ඔහු තම පරම්පරාවේ ශිෂ්ඨ සම්පන්න ම දේශපාලකයා” යයි සමරවීරව හඳුන්වා දුන්නේ ය.

මෙම තානයන්ට අනුව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍යයන්හි ඔහු වෙනුවෙන් ලිපි සහ වැඩසටහන් මාලාවක් නිර්මානය විය. ලංකාදීප පුවත්පත ඔහු සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක් යලි පල කලේ “අපේ කාලයේ පිරිසිදු දේශපාලනඥයා” යනුවෙන් සිරැසි ගන්වමිනි.

මංගල සමරවීරගේ සමස්ත දේශපාලන ජීවිතය වෛෂයිකව වගවිභාග කරන යමෙකුට, ලංකාවේ ධනපති පංති පාලනය අර්බුදයට පත් සෑම අවස්ථාවකම ඔහු එහි ආරක්ෂාව සඳහා කැපී පෙනෙන භූමිකාවක් ඉටුකර ඇති බවත්, ධනපති පාලක පංතියේ සෑම කොටසක්ම ඒ වෙනුවෙන් ඔහුට මෙලෙස කෘතඥවීම විශ්මයට කාරනයක් නොවන බවත් වටහාගනු ඇත.

සමරවීරගේ දේශපාලන ආගමනය

1983 දී තරුන සමරවීර දේශපාලනයට අවතීර්න වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මාතර සංවිධායක ලෙසිනි. ඔහු 1989 මහමැතිවරනයෙන් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වන්නේ, ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව සහ සමස්තයක් ලෙස ලංකාවේ ධනපති පංති පාලනය දැවැන්ත අර්බුදයකට මුහුන දී සිටියදීය. 1983 දී ආරම්භ කෙරුනු රුදුරු වර්ගවාදී යුද්ධය ප්‍රමුඛකොට ගත් ජයවර්ධනගේ අඛන්ඩ ප්‍රහාර හේතුවෙන්, ඔහුගේ ආන්ඩුවට එරෙහිව සිංහල සහ දෙමල කතා කරන කම්කරු-පීඩිත මහජනතාව අතර බලගතු විරෝධයක් වැඩී පැවතින.

එහි කොටසක් ලෙස, විරැකියාව සහ දරිද්‍රතාවයට එරෙහිව වැඩුනු තරුන රැඩිකලීකරනය හමුවේ, ජයවර්ධන සහ ඔහුගේ අනුප්‍රාප්තික ආර්.ප්‍රේමදාස 1988-89 කාල පරිච්ඡේදයේ දියත් කල රුදුරු මර්දනය තුල, 60,000 ක් ගම්බද තරුනයන් ඝාතනය කෙරුනි. එම සංහාරය හේතුවෙන් පුපුරායන මට්ටම් වලට ඉහල නැංවුනු මහජන විරෝධය, ධනපති රාජ්‍යයට සහ ධනපති ක්‍රමයට එරෙහි ව්‍යාපාරයක් දෙසට වර්ධනයවීම වැලැක්වීමටත්, එම විරෝධය ගසා කමින් ශ්‍රීලනිප යලි පන ගන්වා ගැනීමටත්, ඝාතනය කෙරුනු තරුනයන්ගේ මවුවරුන් කේන්ද්‍රකර ගනිමින් 1990 දී 'මවු පෙරමුන' නම් ව්‍යාපාරය ගොඩනැගීමට සමරවීර සහ එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මූලිකත්වය ගත්තේය.

1990 ගනන් මුල දී චන්ද්‍රිකා කුමාරතුංග යලි දේශපාලන කරලියට ගෙන ඒමේදී සහ 1994 ජනාධිපතිවරනයේදී ඇය ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුපෙරමුනේ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමේදී සමරවීර මූලික ක්‍රියාකලාපයක් ඉටු කලේය. ඇය 'සාමයේ දූතිකාව' ලෙස වෙස් ගැන්වූ සමරවීර ඇතුලු නඩය, ඇගේ නායකත්වයෙන් පිහිටුවන ආන්ඩුව 'මානුෂීය මුහුනුවරකින් යුත් ධනවාදී' පිලිවෙතක් අනුගමනය කරන බවට මහජනතාවට කියා පෑවෝය.

තියුනු දේශපාලන අර්බුදයක් මැද, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ ද සහාය ඇතිව, බලයට පැමිනි ජනාධිපති කුමාරතුංගගේ පොදු පෙරමුනු ආන්ඩුව, තම පාලනය ස්ථාවර කර ගැනීමේ උපමාරුවක් ලෙස 1995 ජනවාරියේ දී එල්ටීටීඊ සංවිධානය සමග “සාම ගිවිසුමට” එලැඹුනි. නමුත්, මාස තුනක් වැනි කෙටි කලක් තුල දී සටන් විරාමය බිඳ දමමින් කුමාරතුංග යුද්ධය යලි ආරම්භ කලේ සමරවීරගේ ද පූර්න සහයෝගය සහිතවය.

වර්ගවාදී යුද්ධයේ පූර්න ආරක්ෂකයෙකු ලෙස

'දෙමල ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන්' සමරවීර සුදු නෙලුම් ව්‍යාපාරයට නායකත්වය දුන් බවට දෙජාස කරන ප්‍රකාශය පරිපූර්න ප්‍රලාපයකි. 1997-98 දී දියත් කෙරුනු “සුදු නෙලුම් ව්‍යාපාරයේ” මූලික අරමුන වූයේ, යුද්ධය ජය ගැනීමේ 'අත්‍යවශ්‍ය' උපායක් ලෙස 'එල්ටීටීඊ සංවිධානය උතුරු නැගෙනහිර මහජනතාවගෙන් හුදෙකලා කිරීම” යි.

2000 වසරේ දී අලිමංකඩ බිඳ වැටීමත් සමග අත් වූ මිලිටරි පරාජයන් මාලාවක් මධ්‍යයේ, යුද්ධය සම්බන්ධ සියලු වාර්තාකරනයන් වාරනය කිරීමට, ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස සමරවීර පියවර ගත්තේය. තම ආන්ඩුවට එරෙහිව වාර්තාකරනයේ යෙදෙන, මාධ්‍යවේදීන්ට කායිකව පහරදීම සම්බන්ධයෙන්ද සමරවීරට එරෙහිව චෝදනා එල්ල විය. 1999 දී එජාප පාගමනක් ආවරනය කල මාධ්‍යවේදීන්ට මැරයන් ලවා පහර දීම ඉන් එක් කුප්‍රකටය.

කුමාරතුංග පාලනයට එරෙහිව වැඩුනු මහජන විරෝධය මධ්‍යයේ, 2001 මැතිවරනයෙන් බලයට පැමිනි අගමැති රනිල් වික්‍රමසිංහගේ එජාප ආන්ඩුවේ ප්‍රධාන අමාත්‍යංශ කීපයක්, ජනාධිපති කුමාරතුංග විසින් තම විධායක බලතල යොදා ගනිමින් 2003 දී පවරාගත් අවස්ථාවේ සමරවීර එම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවට පූර්න පිටුබලය ලබා දුන්නේය. මෙම අමාත්‍යංශ පැහැරගැනීම සිදුවූයේ, එල්ටීටීඊ ය සමග සාම සාකච්ඡා නතර කිරීමට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ මිලිටරිය කරන ලද උසි ගැන්වීම මතයි.

කුමාරතුංග කඳවුරේ සිංහල ස්වෝත්තමවාදී යුධ උද්ඝෝෂනයට නව ගැම්මක් ලබා ගැනීමේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රහාරයන් පෙරට ගෙනයාමේ දී ආවරනයක් ලෙස යොදා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ජවිපෙ එකතු කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) ගොඩ නැගීමටත්, එමගින් කුමාරතුංගගේ නායකත්වයෙන් එජනිස ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් සමරවීර වැඩ කලේ ය.

එජනිස තොරොම්බල් කල ප්‍රධාන ම සටන් පාඨය වූයේ එල්ටීටීඊය සමග එජාපයේ සටන් විරාම ගිවිසුම ඉරා දමා යුද්ධය මිලිටරි අවසානයකට ගෙන ඒමයි. අනතුරු ව 2005 ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂට අපේක්ෂකත්වය ලබා දීමටත් ඔහුගේ ජයග්‍රහනය සඳහාත් සමරවීර මූලිකත්වය ගත්තේ ය.

අධිරාජ්‍යවාදයේ සහ මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත ඉන් ලැබුනු සහාය ද සහිතව එල්ටීටීඊ සංවිධානය මිලිටරිමය වශයෙන් අවසන් කර දැමීමට 2006 දී රාජපක්ෂ යලි යුද්ධය අරඹන ලදි. මෙම යුද්ධයට අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලබාගනුවස්, මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ විදේශ කටයුතු ඇමති ලෙස සමරවීර ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලේය.

2007 පෙබරවාරියේ දී තම සුලුතර ආන්ඩුව ස්ථාවර කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කන්ඩායමක් කැබිනට්ටුවට එකතු කර ගැනීමට මහින්ද රාජපක්ෂ ගෙන ගිය උපාය මත ඇති වූ මතභේදවල දී සමරවීර ශ්‍රීලනිපයෙන් නෙරපා දැමුනි. යුද්ධයට එරෙහි ව සංහිඳියාවට, මානව අයිතීන්ට, මාධ්‍ය නිදහසට සටන් කරන්නෙකු ලෙස වෙස් මාරුවක් ගත් සමරවීර, ශ්‍රිලනිප මහජන පාර්ශ්වය නම් දේශපාලන පක්ෂයක් ගොඩ නගා ගෙන එජාපයේ සහකරුවෙකු වශයෙන් කටයුතු කලේ ය.

දෙමල ජන සංහාරක යුද්ධයේ දී හමුදාවන්ට නායකත්වය දුන් සරත් ෆොන්සේකා, 2010 ජනාධිපතිවරනයේ දී “විපක්ෂයේ පොදු අපේක්ෂකයා” ලෙස ඉදිරිපත් කිරීමේදී ද සමරවීර මූලික භූමිකාවක් ඉටු කලේය. එම ජනාධිපතිවරන පරාජයත් සමග තම පක්ෂය විසුරුවා හරිමින් ඔහු එජාපයේ සාමාජිකත්වය ලබා ගත්තේ ය.

එක්සත් ජනපද හිතකාමී විදේශ පිලිවෙත

ඔහු, සමන්තා පවර් ඇතුලු එජ අධිරාජ්‍යවාදී නියෝජිතයන්ගේ ගෞරවය දිනා ගත්තේ, 2015 දී වොෂින්ටනය මෙහෙය වූ කොලඹ තන්ත්‍ර මාරු කුමන්ත්‍රනයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමෙනි. රාජපක්ෂ තන්ත්‍රය බීජිනයට වඩාත් සමීපවීම, චීනයට එරෙහි තම මූලෝපායික කටයුතු වලට බාධාවක් ලෙස වොෂින්ටනය දැක ගත්තේය.

කුමන්ත්‍රනය සාර්ථක කර ගැනීමට 2014 ආරම්භයේ පටන් ම එජ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග සමීප ව කටයුතු කල සමරවීර, ජනාධිපතිවරනය ප්‍රකාශයට පත් කිරීමත් සමග ම “විපක්ෂයේ පොදු අපේක්ෂකයා” ලෙස ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රිපාල සිරිසේන එම පක්ෂයෙන් ඉවතට ගැනීමට කුමාරතුංග සමග කටයුතු කලේ ය.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ මානව හිමිකම් ඇතුලු 'යහපාලනයක්' ගැන ව්‍යාජ පොරොන්දු දෙමින් බලයට පැමිනි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ඊට ප්‍රතිකූලව, මුල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් මත කමිකරු-පීඩිත මහජනතාවට එරෙහි ප්‍රහාරය ආරම්භ කලේය. එහි දී සමරවීර 2015-2017 විදේශ ඇමති ලෙසත් ඉන් පසු ව මුදල් ඇමති ලෙසත් එම කටයුත්තේ ප්‍රධාන වැඩ කොටසක් ඉටු කලේ ය.

ඔහු විදේශ ඇමති ලෙස ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සඵලදායක ලෙස වොෂින්ටනයට අනුගත කරවමින් ශ්‍රී ලංකා මිලිටරියේ යුද අපරාධ වසන් කරන වැඩපිලිවෙලකට අධිරාජ්‍යවාදීන් සහ දෙමල ප්‍රභූව සමග සහයෝගී ව කටයුතු කලේ ය.

මාක්ස්වාද විරෝධය

සමරවීර තම දිවිහිමියෙන්ම මාක්ස්වාදයේ සහ සමාජවාදයේ පරම සතුරෙකි. ගැඹුරු වන ධනපති ආර්ථික අර්බුදය මධ්‍යයේ තියුනු වන පන්ති අරගලය සමාජවාදී ව්‍යාපාරයක් දෙසට වැඩෙතැයි ඔහු බියපත්ව සිටියේය. 2018 වසරේ දී රූපවාහිනී වැටසටහනකට එක්වෙමින් “ලංකාවට ඇති විනය සමාජවාදය” බවත් එය “කුඩු කොට විනාශ කල යුතු බවටත්” ඔහු සඳහන් කලේ ය.

සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් පසු ජාත්‍යන්තරව ප්‍රචලිත කෙරුනු මාක්ස්වාදයට එරෙහි පශ්චාත් නූතනවාදී න්‍යායන් ලංකාව තුල ප්‍රචලිත කරවීමට තම අනුග්‍රහය සමරවීර නිතර ම ලබා දුන්නේ ය. එම අදහස් ලංකාව තුල ප්‍රචලිත කිරීමේ ලා කුප්‍රකට 'X කන්ඩායමට' මාධ්‍ය අනුග්‍රාහකත්වය සම්පාදනය කලේ සමරවීර විසිනි.

ඔහු මිය යාමට ආසන්නයේදී පවා, කම්කරු පංතිය දේශපාලන රංග පථයට අවතීර්නවීමේ අන්තරාය ගැන තම ධනපති පාලක සගයන්ට අනතුරු අඟවමින් සිටියේය. ජූනි 2 වැනි දා “නය අර්බුදය හා හෙට දවසේ විසඳුම් ” යන මැයෙන් ඔන්ලයින් සංවාදයකට සම්බන්ධ වූ සමරවීර “ඉතිහාසය පෙන්වලා දෙන්නේ විපක්ෂයත් හරියට නැති වෙලාවක ආර්ථිකය කඩා වැටෙනවා නම් ලෝකයේ තනි වෙනවා නම් ඇත්ත වශයෙන් ම අමුතු ම භයානක විප්ලව තමයි ලංකාවට උරුම වෙන්න තියෙන්නෙ. ඒකයි මට තියෙන ලොකු ම බය” යැයි සඳහන් කලේ ය.

මාක්ස්වාදයේ දැනුවත් සතුරෙකු, අධිරාජ්‍යවාදයේ සහ මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන්ට අනුව තම දේශපාලන චර්යාව ම සකසා ගත් දේශපාලන කුමන්ත්‍රනකරුවෙකු වූ සමරවීර, මාධ්‍ය නිදහසේ, සංහිඳියාවේ සහ මානව හිමිකම්වල සටන් කරුවෙකු ලෙසත්, ලිබරල් චින්තකයෙකු ලෙසත්, පිරිසිදු දේශපාලනඥයෙකු ලෙසත් පින්තාරු කෙරෙන්නේ ලංකාවේ ධනපති පන්ති පාලනයත් ගෝලීය අධිරාජ්‍යවාදයත් වෙනුවෙන් ඉටුකල සේවාව ඇගයීමක් වසයෙනි. මෙවන් ලිපියක අවකාශමය සීමාවන් හේතුවෙන්, මෙහි ඉදිරිපත් කෙරුනේ ඔහුගේ එම ප්‍රතිගාමී සේවාවෙන් බිඳක් පමනකි.

Loading