ඉදිරිදර්ශන

එක්සත් රාජධානියේ ආන්ඩුව: වාර්ෂිකව 50,000 ක කොවිඩ්-19 මරන සංඛ්‍යාවක් “පිලිගත හැකි ය”

[මෙය UK government: 50,000 annual COVID-19 deaths areacceptable යන මැයෙන් 2021 අගෝස්තු 21 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

බ්‍රිතාන්‍යයේ අයි පුවත්පත හෙලි කලේ “එක්සත් රාජධානියේ ආර්ථිකය කෙරෙහි මරනවල බලපෑම” යන පදනම මත තවදුරටත් අගුලු දැමීම තුලින් “ජීවිත බේරා ගැනීම” සාධාරනීකරනය කල හැකිද යන්න තීරනය කිරීම සඳහා අගමැති බොරිස් ජොන්සන් “පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂනයක්” සිදු කර ඇති බවයි.

ආන්ඩුවේ උපදේශකයින් දෙදෙනෙක් අයි වෙත පැවසුවේ, සතියකට මරන 1000 ක් පමන වූ “කොවිඩ් -19 මරන සංඛ්‍යාවක් පිලිගත හැකි මට්ටමක්” බව, මහජනතාවට විවෘත නොකෙරුනු සාකච්ඡාවලින් තහවුරු වී ඇති බව ය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, 2021 අප්‍රේල් 5 වන සඳුදා, ලන්ඩනයේ, ඩව්නිං වීදියේ පැවති කොරෝනා වෛරස් සාකච්ඡාවකදී මොහොතකට නිහඬ වෙමින්. (ස්ටෙෆන් රූසෝ / ඒපී හරහා එකතුව)

එක් උපදේශකයෙකුට පවසන පරිදි, ලබන වසර තුල එක්සත් රාජධානියේ අවම වශයෙන් තවත් මරන 30,000 ක් පමන සිදු විය හැකි බව ජොන්සන් පෞද්ගලිකව පිලිගෙන ඇති අතර, තවදුරටත් [කොවිඩ්-19 වලින් ආරක්ෂා වීම සඳහා] සීමා පැනවීමක් ඔහු “සලකා බලන්නේ එම සංඛ්‍යාව 50,000 ට වඩා ඉහල යා හැකි යැයි පෙනේ නම් පමනි.”

[නාසි නායකයෙකු වූ] හෙන්රිච් හිම්ලර්ගේ මට්ටමින් සමාජය පිලිබඳ වගවීමක් ඇති ජොන්සන්, කොවිඩ්-19 රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා පිලිගත හැකි පිරිවැය පවුම් 30,000 කට සීමා කලේය. කෙසේ වෙතත්, රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා වූ මෙම යෝජිත මුදලේ උපරිමය සම්බන්ධ කෙරුනේ, “අහිමි වූ එක් එක් ජීවිත වලින් එක්සත් රාජධානියේ ආර්ථිකයට සිදු වූ පාඩුව කොපමද” යන ගනනය කිරීම සමඟයි

මූලාශ්‍ර දෙකකට අනුව, “විශ්ලේෂනයෙන් පෙන්නුම් කෙරෙන්නේ එක්සත් රාජධානියේ ආර්ථිකයට වාර්ෂික මරන අනුපාතය 50,000 ට වඩා අඩු මට්ටමක තබා ගැනීමේ පිරිවැය, මෙම මට්ටමට වඩා ඉහල යාමට ඉඩහැරීමේ වියදමට වඩා වැඩි වන බවයි.” මෙය, 'දිනකට කොවිඩ් මරන 137 ක් හෝ සතියකට 1,000 ට යන්තම් අඩු මරන' ලෙස පරිවර්තනය කල හැක.

රජයේ වසංගත ආකෘති නිර්මාන කන්ඩායම වන ස්පයි-එම් (Spi-m) හි සභාපති සහ හදිසි අවස්ථා සඳහා විද්‍යාත්මක උපදේශක කන්ඩායමේ (SAGE) සාමාජික මහාචාර්ය ග්‍රැහැම් මෙඩ්ලි එය සාධාරනීකරනය කරමින් අයි ට මෙසේ පැවසීය, “මෙනින්ජයිටිස් රෝගයට එන්නත් ලබා දීම හෝ පාරේ වේග සීමා පැනවීම වැනි පියවර මඟින් මරන සහ රෝග අඩු කරයි, එහෙත් ඒ සඳහා මුදල් වැය වන අතර නිදහස සීමා කිරීම ද සිදු වේ.”

අයි හි ආරංචි මාර්ග අවධාරනය කලේ “එය ක්ෂනික ප්‍රතිචාරයක් නොවනු ඇති” බවත් “සති දෙකක් හෝ තුනක් සඳහා සතියකට 1,000 ක පමන මරන අනුපාතයක්” පැවතීම, “නැවත වාරයක් පනවා ඇති සීමාවන් පිලිබඳ සාකච්ඡාවන්ට” තුඩු දිය හැකි බවත් ය. අගුලු දැමීම පිලිබඳ “සාකච්ඡාවක්” පවා සිදු නොවනු ඇත. එවැනි නැවත සලකා බැලීමක් සඳහා යෝජිත ප්‍රේරකය යන්නෙහි අදහස, ජූලි 19 දා අගුලු දැමීම සහ අවම කිරීමේ සියලු පියවර ඉවත් කිරීම නීතිගත කිරීම යි. එය කිසි විටෙකත් ක්‍රියාත්මක කිරීමට අදහස් කලේ නැත.

ජොන්සන්ගේ උභතෝකෝටිකය ගැන අනුකම්පා කරමින් අයි හි මූලාශ්‍රය මෙසේ සඳහන් කරයි, “අවාසනාවකට මෙන්, අගමැතිවරුන්ට ආර්ථිකයට ඇති වන බලපෑම සමග ජීවිත බේරා ගැනීමේ පිරිවැය කිරා බැලීමට සිදු වේ. කිසිවෙකු එය ක්‍රියාත්මක වන ආකාරය ගැන කතා කිරීමට අවශ්‍ය නැත.”

නමුත් ජොන්සන් මීට පෙර හරියටම “එය ක්‍රියාත්මක වන ආකාරය” පැහැදිලි කර තිබේ. ඔහුගේ කෝපාන්විත හිටපු උපදේශක ඩොමිනික් කමින්ග්ස් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ජොන්සන් විසින් තම උපදේශකයින් වෙත එවූ වට්ස්ඇප් පනිවුඩ හෙලිදරව් කල අතර කොවිඩ් මරන වාර්තා කරමින්, “පිරිමින් සඳහා මධ්‍යම වයස 82-81 ක් වන අතර සහ කාන්තාවන් සඳහා 85 යි ... මේ රටේ අවුරුදු 80 ට වැඩි අය උපරිම වශයෙන් මිලියන 3 ක් ඇත. එයින් පෙන්නුම් කරන්නේ අපි රට පුරා අගුලු දැමීමකට නොයන බවයි.”

මෙම සාපරාධී ගනනය කිරීම් සිදු කල දා සිට සිදුවීම් ඉදිරියට ගොස් ඇත. එක්සත් රාජධානියේ ගතවූ දින හත තුල දත්ත මත පදනම්ව, කොවිඩ්-19 මරන මේ වන විටත් සතියකට 800 ට යන්තම් අඩු හෝ දිනපතා 110 දක්වා ඉහල ගොස් තිබේ. දින තුනකදී මරන සංඛ්‍යාව 137 ඉක්මවා ඇත. ලබන සතියේදී, මරන සංඛ්‍යාව දින හතක් තුලදී 1,000 ට වඩා වැඩි වනු ඇති අතර වාර්ෂික අගය 50,000 ඉක්මවා යනු ඇත.

මෙතැන් සිට මසකට පසු වසරකට මරන 50,000 ක් පිලිබඳ අනාවැකි ඉතා සුබවාදී ලෙස පෙනෙනු ඇත.

ලබන සතියේ එංගලන්තයේ සහ වේල්ස් හි සියලුම ප්‍රාථමික හා ද්විතීයික පාසල් නැවත විවෘත කෙරෙනු ඇති අතර එමඟින් අතිවිශාල පැතිරීමක් සිදු වනු ඇත. අගෝස්තු 16 ස්කොට්ලන්තයේ පාසල් නැවත විවෘත කල දා සිට දෛනික ආසාදන 1,567 සිට 6,835 දක්වා ඉහල ගොස් ඇති අතර එය සියයට 300 කටත් වඩා වැඩිය. පසුගිය සතිය තුල පමනක් ඒවා සියයට 114 කින් ඉහල ගොස් තිබේ.

ඊයේ, එස්ඒජීඊ හි ආකෘති නිර්මාන කන්ඩායම අනතුරු ඇඟවූයේ පාසල් විවෘත කෙරෙන බැවින් “2021 සැප්තැම්බර් අවසානය වන විට” කොවිඩ්-19 රෝගීන්ගේ විශාල වර්ධනයක් සඳහා ඇමතිවරුන් සැලසුම් සූදානම් කල යුතු බවයි.

අයි පුවත්පතට කාන්දු වීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රතිචාරය වූයේ “කොවිඩ් මගින් සිදුවිය යුතු යයි පිලිගත හැකි මරන සංඛ්‍යාවක් නොමැති” බව ප්‍රකාශ කිරීම යි. මෙය, 50,000 සංඛ්‍යාව උපුටා දැක්වීම ප්‍රතික්ෂේප කිරීම සඳහා නොව, වෛරසයට ජනගහනය වනසා දැමීමට ඉඩ දීමේ දී කිසිදු මරන සංඛ්‍යාවක් ආන්ඩුවේ මිනීමරු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොකරන බව පැහැදිලි කිරීම සඳහා ය.

ප්‍රතිලාභ වලට සාපේක්ෂව පිරිවැය හුවා දැක්වීම හුදෙක් ට්‍රම්ප්ගේ 'ප්‍රතිකාරය රෝගයට වඩා නරක නොවිය යුතුයි' යන අවධාරනයේ විකල්ප සංස්කරනයක් පමනි. වසංගතය පිලිබඳ සාකච්ඡාවේදී “පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂනය” යන්නෙන් අදහස් කරන්නේ ධනේශ්වර ලාභය රැක ගැනීම සඳහා වැඩ කරන ජනතාව ජීවිතයෙන් හා සෞඛ්‍යයෙන් වන්දි ගෙවිය යුතු බවයි.

බ්‍රිතාන්‍යයේ සහ ජාත්‍යන්තරව පාලක පන්තියේ ප්‍රතිපත්තිය නම්, පසුගිය වසරේ අග භාගයේ දී කෙටි කරන ලද දෙවන අගුලු දැමීමට එකඟ වීමට බල කිරීමෙන් පසු ජොන්සන් විසින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කල ප්‍රතිපත්තිය යි: 'මල සිරුරු දහස් ගනනින් කඳු ගැසුනාවේ—තවදුරටත් හු** අගුලුදැමීම් නම් නැත.'

මෙම ව්‍යසනකාරී තත්වය අවසන් කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය වේ.

වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 155,000 කට අධික සංඛ්‍යාවක් සහ නිල වශයෙන් ලොව පුරා මිලියන 4.5 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. සත්‍ය අගය මිලියන 10 ඉක්මවයි. මේ කිසිවක් සිදු වීමට අවශ්‍ය වූයේ නැත. නිසි පරිදි පැනවූ අගුලු දැමීමේ ප්‍රතිපත්තියක්, පාසල් වැසීම සහ සමාජීය වශයෙන් අත්‍යවශ්‍ය නිෂ්පාදන පමනක් නඩත්තු කිරීම, අශ්‍රිතයන් සොයා යෑම හා එහි තාක්‍ෂනය ප්‍රයෝජනයට ගැනීම සහ විද්‍යාත්මකව අනුමත කරන ලද පුද්ගලික ආරක්‍ෂක උපකරන සමඟ ඒකාබද්ධව වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමට පෙර සහ විශේෂයෙන් එන්නත් සංවර්ධනය කිරීමත් සමඟ වඩාත් මාරාන්තික ප්‍රභේද මතු වීමට පෙර සාර්ථකව තුරන් කල හැකිව තිබුනි.

ඒ වෙනුවට, ඉඳහිට සහ සීමිත අගුලු දැමීම් සිදුකල ද ධනපති පන්තිය මහජන සෞඛ්‍යයට වඩා පෞද්ගලික ලාභයට ප්‍රමුඛතාවය දුන් හෙයින් වෛරසය නිදහසේ ව්‍යාප්ත විය.

ජොන්සන් සහ ලේබර් පක්ෂයේ නායක සර් කීර් ස්ටාර්මර්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන්, වැඩ කරන ජනතාවගේ සහ ඔවුන්ගේ පවුල්වල මූලික අවශ්‍යතාවන්ට විරුද්ධව බැංකු හා සංගත වල දේශපාලන මිතුරන් සමග නිල දේශපාලන මඩුල්ල පුරා විහිද ඇත.

අගෝස්තු 20 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කොවිඩ් -19 මුලිනුපුටා දැමීම සඳහා ජීවිතයත් මරනයත් අතර උපායමාර්ගික අරගලයක් දියත් කරන ලෙස සෑම රටකම සිටින කම්කරුවන්ගෙන් ඉල්ලීමක් කලේය. ජොන්සන් සහ ඔහුගේ හිතවතුන් විසින් ගෙන එන ලද 'රංචු ප්‍රතිශක්ති' න්‍යාය පත්‍රය පමනක් නොව, එන්නත් කිරීම, මුහුනු ආවරන පැලඳීම, සමාජ දුරස්ථභාවය සහ ඒ හා සමාන ක්‍රියාමාර්ග මඟින් වසංගතයේ බලපෑම සීමා කිරීම සඳහා උත්සාහ කරන “අවම කිරීම” ට සීමා වූ ප්‍රතිපත්ති ද ප්‍රතික්ෂේප කරන ලෙස අපි ඉල්ලා සිටියෙමු.

වේගයෙන් බෝවන ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් නැගී ඒම සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම තුලින් තහවුරු වී ඇත්තේ “රංචු ප්‍රතිශක්තිය” සාක්‍ෂාත් කර ගත නොහැකි බවත් අවම කිරීමෙන් පමනක් වෛරසය පැතිරීම, විකෘති වීම සහ තවත් මිලියන ගනනක් ජීවිත බිලි ගැනීම නැවැත්විය නොහැකි වන බවත් ය. ලෝසවෙඅ නිගමනය කලේ, “වසංගතය පුරාවටම වසංගත රෝග විද්‍යාඥයින්, වෛරස් විද්‍යාඥයින් සහ අනෙකුත් විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මත පදනම් වූ එකම ශක්‍ය උපාය මාර්ගය නම් මුලිනුපුටා දැමීමයි. මුළුමනින්ම තුරන් කිරීමට, ගෝලීය පරිමානයෙන් සම්බන්ධීකරනය කරන ලද කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම සඳහා වන සෑම ආයුධයක්ම විශ්වීය ලෙස යෙදවීම ඇතුලත් වන අතර එමඟින් වෛරසය සදහටම නිමාකර දැමීමට හැකි වේ.”

කොවිඩ්-19 තුරන් කිරීම සඳහා ජාත්‍යන්තරව අධ්‍යාපන සේවකයින්, දෙමාපියන්, මොටර් රථ කම්කරුවන්, ප්‍රවාහන සේවකයින්, සැපයුම් සේවකයින්, සෞඛ්‍ය සේවා කම්කරුවන් සහ සමස්ත කම්කරු පන්තියේම ඒකාබද්ධ අරගලයක් ඉල්ලා සිටී.

මේ අරමුන සඳහා අගෝස්තු 22 දා ලෝසවෙඅ විසින් ඔන්ලයින් සාකච්ඡාවක් සංවිධානය කලේය, “වසංගතය නවත්වා ජීවිත බේරාගැනීමට ගෝලීය මූලෝපායක්!” මෙම සිදුවීමට ප්‍රවීන විද්‍යාඥයින් එක් විය, නවසීලන්තයේ ඔටාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් බේකර්; කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ ආචාර්ය මැල්ගොර්සාටා ගස්පෙරොවිච්; සහ එක්සත් ජනපදයේ නිව් ඉංග්ලන්ඩ් සංකීර්න පද්ධති ආයතනයේ ආචාර්ය යනීර් බාර්-යාම්, පාලක පැලැන්තියේ අපරාධ ප්‍රතිපත්ති වලට එරෙහි සටනේ පෙරමුන ගෙන සිටින එක්සත් ජනපදයේ, බ්‍රසීලයේ සහ ඕස්ට්‍රේලියාවේ ගුරුවරුන් සමඟ එක්ව තුරන් කිරීමේ උපාය මාර්ගයක අවශ්‍යතාවය පැහැදිලි කලහ. තම දරුවන් අනාරක්ෂිත පාසල් පරිසරයකට යැවීමට විරුද්ධ වූ මවක වන ලීසා ඩයස් ද සහභාගී වූ අතර ඇය විසින් එක්සත් රාජධානියේ තත්වය පිලිබඳව කල විස්තර, මහාචාර්ය බේකර්ට ජොන්සන්ගේ ප්‍රතිපත්ති “බ්‍රිතාන්‍ය ජනතාව කෙරෙහි වූ ම්ලේච්ඡ අත්හදා බැලීමක්” ලෙස පැහැදිලි කිරීමට හේතු විය.

මෙම රැස්වීම මඟින් කම්කරුවන්ට සහ තරුනයින්ට වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දුන්නේය. එය, කොවිඩ්-19 මුලිනුපුටා දැමීම සඳහා වැය කරන මුදලට සීමා පනවා නොගත යුතු බව අවධාරනය කරමින්, එවැනි සටනක් පදනම් කර ගත යුතු අවශ්‍ය දේශපාලන ඉදිරිදර්ශනය වැඩි දියුනු කලේ ය. බැංකු, ප්‍රධාන සමාගම් සහ සුපිරි පොහොසතුන් විසින් රැස් කර ඇති විස්මිත ධනයෙන් අවශ්‍ය සම්පත් ලබාගෙන මනුෂ්‍යත්වයේ සේවයට යෙදවිය යුතුය. ලොව පුරා මිලියන ගනනක් විසින් දැන් වැලඳගත යුතු ඉදිරිදර්ශනය මෙයයි.

Loading