ජනාධිපතිවරයා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

[මෙම ලිපිය 2021 සැප්තැම්බර් 7 වැනි දින Sri Lankan president proclaims state of emergency
යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයකි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගොස්තු 30දා, හදිසියේම මර්දනකාරී ජාතික “හදිසි තත්ත්වයක්” නිවේදනය කලේ ය. කොවිඩ්-19 වසංගතය සමය තුල, “මහජන ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීමටත්, ප්‍රජාවේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාමටත්” නව පියවර අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කලේ ය.

මෙම හදිසි තත්ව නිවේදනය සඳහා ඉදිරිපත් කරන ලද නිල හේතුව වූයේ, ආහාර හිඟය සහ කිලෝවක් පිලිවෙලින් රුපියල් 250 හා 220 දක්වා දෙගුනයකින් ඉහල ගොස් ඇති හාල් හා සීනි වැනි ආහාරවල මිලෙහි දැවැන්ත වැඩිවීම් හැසිරවීම යි. ආහාරවල මිල පාලනය කරමින්, නියමිත පරිදි සැපයුම් සහතික කරනු ඇතැයි රාජපක්ෂ අවධාරනය කල, හොරෙන් ගබඩා කර ඇති ආහාර තොග ආන්ඩුව විසින් පවරා ගැනීම හා අනෙකුත් පියවර ආන්ඩුවට ගැති මාධ්‍ය විසින් වහා උත්කර්ෂයට නැංවී ය.

මෙම නව “හදිසි අවස්ථා” පියවර, ආහාර සඟවා ගබඩා කිරීම හා මිල ඉහල යාම් සමග ගනුදෙනු කිරීම පිනිස දැනටමත් පවතින නීති සරල ව මගහැර යයි. “මහජන ජීවිතයට අත්‍යවශ්‍ය” සේවාවන් සම්පාදනය කිරීම සමග කවර හෝ සම්බන්ධයක් නැති රාජපක්ෂගේ ප්‍රකාශය, වඩ වඩා දුරදිග යන විෂඝෝර ජනාධිපති බලතල සඳහා ගත් පියවරකි.

ජාත්‍යන්තර ව, ධනපති පන්ති හා ඔවුන්ගේ පාලන තන්ත්‍ර, කොරෝනා වෛරස් වසංගතය විසින් නිර්මිත ආර්ථික අර්බුදයේ බර පැටවීමට ගන්නා ප්‍රයත්නයන්ට ප්‍රතිරෝධය දක්වමින් සිටින කම්කරු පන්තිය හා පීඩිත මහජනයා මත කඩා පැනීම පිනිස වේගයෙන් ආඥාදායක විධික්‍රම වැලඳ ගනිමින් සිටිති.

ගෝඨාභය රාජපක්ෂ (AP Photo/Eranga Jayawardena)

“හදිසි අවස්ථා (අත්‍යවශ්‍ය ආහාර සම්පාදනය කරන) රෙගුලාසිය” ලෙස නව පියවර හඳුන්වනු ලැබුව ද, පවත්නා හදිසි තත්ත්ව බලතල යටතේ, දේපොල අත්පත්කර ගැනීමටත්, “ඕනෑ ම නීතියක් සංශෝධනය කිරීමටත්, ඕනෑ ම නීතියක් ක්‍රියාත්මක වීම වැලැක්වීමටත්, සංශෝධන සහිත ව හෝ රහිත ව ඕනෑ ම නීතියක් යොදා ගැනීමටත්” ජනාධිපතිට බලය ඇත. එය මාධ්‍ය වාරනයට ද අවසර දෙයි.

රාජ්‍ය අංශයේ සේවකයන් මිලියනයකට පමන බලපාන පරිදි වැඩ වර්ජන හා අනෙකුත් කාර්මික ක්‍රියා තහනම් කරමින් මැයි 27දා පනවන ලද “අත්‍යවශ්‍ය මහජන සේවා පනත” රාජපක්ෂ විසින් පසුගිය සතියේ අලුත් කලේ ය.

මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු, අත්‍යවශ්‍ය සේවා නීති “උල්ලංඝනය කිරීමට” වරදකරු වන ඕනෑ ම අයෙකු, විෂඝෝර සිර දඬුවම්, දඩ, දේපොල අත්පත් කරගැනීම් හා කවර හෝ රැකියාවක නිරතවීමේ තහනමකට මුහුන දෙයි. මෙම රෙගුලාසි “උල්ලංඝනය කිරීමට” රාජ්‍ය අංශ කම්කරුවන් “පොලඹවන” හෝ ඔවුන්ට “බලකරන” ඕනෑ ම අයෙකුට ද මෙම දඬුවම් පනවනු ලැබිය හැකි ය.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවශ්‍ය කෙරෙන පරිදි, රාජපක්ෂගේ නව හදිසි නීති රෙගුලාසි අද දින පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා නමුත්, කීකරු විරුද්ධ පක්ෂයේ යටහත් පහත් විවේචන නො තකා එය තල්ලු කරගැනීමට අවශ්‍ය බහුතරය පාලක පක්ෂය සතුව තිබේ.

පසුගිය සතියේ දී, නම් සඳහන් නොකෙරුනු, සීනි, හාල් හා වී තොග සඟවා තබන්නන් ගැන හිටි අඩියේ “හෙලිදරව් කෙරුනු” ප්‍රචාරක ව්‍යාපාරයක් මාධ්‍ය විසින් දියත් කෙරුනි. ඉන්පසුව, ආන්ඩුවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ (සීඒඒ) නිලධාරීන් සමග එක්ව සිදු කෙරුනු පොලිස් කඩාපැනීම් හරහා ගබඩාවලට සීල් තැබීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක විය.

අල්ලාගත් තොග, ආන්ඩුවේ ආයතන හරහා “නීති විරෝධී ගබඩාකරුවන්ගෙන්” “සාධාරන” අගයකට මිල දී ගෙන පාරිභෝගිකයන්ට බෙදා දෙනු ඇති බව සීඒඒ ප්‍රකාශ කලේ ය. මෙම අත්‍යවශ්‍ය ආහාර වන්දි ගෙවීමකින් තොර ව පවරාගනු වෙනුවට, “නීති විරෝධී ගබඩාකරන්නන්ට” ප්‍රතිලාභ ප්‍රදානය කොට ඇත්තේ ආන්ඩුවේ ක්‍රියාවන් මහ ව්‍යාපාරිකයට එරෙහි ව යොමු නො වන බවට පැහැදිලි සංඥාවක් දෙමිනි.

සත්‍යය වන්නේ, ඉහල ප්‍රසිද්ධියක් ලබා දෙන මෙම කඩා පැනීම් හා අල්ලා ගැනීම් වනාහි, ඉහල යන මිල, හිඟයන් හා වසංගතය විසින් ගැඹුරු කරන ලද සමාජ ව්‍යසනයට එරෙහි ව නැගෙන ආන්ඩු-විරෝධී මනෝගතිය වෙනතක හැරවීමේ මහජන සම්බන්ධතා අභ්‍යාසයක් වූ බව යි. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, කොවිඩ්-19 හේතුවෙන් ලමුන් ද ඇතුලු පුද්ගලයන් 10,000ක් මියගොස් ඇත. ඉන් 8,000ක්

මියගියේ පසුගිය මාස දෙක තුල වන අතර, එම මරන වලට හේතුවූයේ මහජන සෞඛ්‍ය සේවයට දරාගත නොහැකි බලපෑමක් ඇතිකල ඩෙල්ටා ප්‍රභේදය යි.

තවත් ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරියෙකු ආන්ඩුවේ තනතුරකට ඔසවා තබමින්, අත්‍යවශ්‍ය ආහාර සැපයුම් සම්බන්ධීකරනය කිරීම සඳහා, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරයට මේජර් ජනරාල් ඩී.එස්.පී. නිවුන්හැල්ල පත්කිරීමට ජනාධිපති රාජපක්ෂ පියවර ගත්තේ ය.

කෙසේ නමුත්, සඟවාතැබීම් වල නිර්මිතයක් නො වන ආහාර හිඟය, ආන්ඩුවෙන් පනවන ලද ආනයන කප්පාදු හා ඉහල යමින් පවතින උද්ධමනයේ ප්‍රතිඵලය යි. මහජනයාට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සලාක ක්‍රමයකට සිදු කිරීමට කොලඹ ආන්ඩුව සූදානම් වෙමින් සිටී.

කිරිපිටි ඇතුලු ආනයන තහනම් කෙරෙන්නේ, මේ වසරේ ඩොලර් බිලියන 4ක් වන විදේශ නය ආපසු ගෙවීමට ප්‍රතිචාර වසයෙනි. අපනයන, සංචාරක කර්මාන්තය හා විදෙස් ප්‍රේෂනවල තියුනු ඛාදනයන් හේතුවෙන්, පසුගිය මාසයේ දී විදේශ සංචිත ප්‍රමානය හුදු ඩොලර් බිලියන 2.8දක්වා ඇදවැටුනි. තෙල් නයට ලබා ගැනීම සඳහා ලංකාවේ බලශක්ති ඇමතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡාවල නිරත ව සිටී.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තියුනු ලෙස පහත වැටී ඇත. වානිජ බැංකුවල හුවමාරු අනුපාත සියයට 25කට ආසන්නතම අගයකින් පහත වැටෙද්දී, ජනවාරි 01 දා සිට අගෝස්තු 30 දක්වා කාලය තුල රුපියල සියයට 13.5 කින් පමන පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කලේය. මුදල් හිඟයෙන් පෙලෙන භාන්ඩාගාරය අගෝස්තු 30දා රුපියල් බිලියන 4ක බැඳුම්කර පමනක් විකිනීමට හැකි වෙද්දී, බැඳුම්කර වෙලඳපොල ද ඇද වැටී ඇත.

උද්ධමනය තව දුර ඉහල යවමින් හා රුපියලේ අගය පහත දමමින්, ආන්ඩුවේ වියදම් පරතරයන් පියවා ගැනීම පිනිස මහ බැංකුව රුපියල් බිලියන ගනනක් අච්චු ගසා තිබේ. අගෝස්තු මාසයේ වාර්ෂික නිල උද්ධමන අනුපාතයට සියයට 6ක් දක්වා නැගුනි.

“රාජ්‍ය ආදාමය තියුනු ලෙස අඩු වී තිබෙනවා...පුනරාවර්තන වියදම් සඳහා වත් එය ප්‍රමානවත් නැහැ” යි නොවැම්බර් මාසයේ තවත් කප්පාදු අයවැයක් සඳහා සූදානම් වන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය සතියේ කැබිනට් මන්ඩලයට කීවේ ය. ඔහුගේ අමාත්‍යාංශය, වියදම් කප්පාදු කරන ලෙස හා සියලු ව්‍යාපෘති නවත්වන ලෙස අනෙකුත් සියලු අමාත්‍යාංශවලට උපදෙස් දී ඇත. මෙයට “ප්‍රතිකර්මයක්” ලෙස, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සඳහා, ආන්ඩුවේ ඇමතිවරු දැනට මත් උද්ඝෝෂනය කරමින් සිටිති.

කම්කරුවන් හා දුගීන් මත සිය ප්‍රහාර ගැඹුරු කිරීමට සූදානම් වෙද්දී පවා, මහ ව්‍යාපාරිකයට යෝධ ආධාර සම්පාදනය කර ඇති රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත එහි කැපවීම් පවත්වාගෙනයමින්, අනාරක්ෂිත කොන්දේසි යටතේ අපනයන කම්හල් හා අනෙකුත් වැඩපොලවල වැඩෙහි නිරත වන ලෙස සේවකයන්ට නියෝග කර ඇත. බැංකු හා අනෙකුත් ව්‍යාපාර වසංගතය සමයේ යෝධ ලාභ කඳුගසාගෙන තිබේ.

විපාර්ශ්වික සමගි ජන බලවේගය (සජබ), එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය හදිසි නීති බයාදු ලෙස විවේචනය කර ඇත. හදිසි නීතිය පටවනු වෙනුවට “වසංගතය සමග ගනුදෙනු කිරීම සඳහා, පවත්නා නීති යොදා ගැනීමට පියවර ගන්නැ” යි සජබ ආන්ඩුවෙන් ඉල්ලී ය. ආන්ඩුව “හදිසි නීතිය පැනවීම වෙනුවට, මහජන සෞඛ්‍ය හදිසි නීති වෙනම පැනවිය යුතු” යි දෙජාස කීවේ ය.

හදිසි රෙගුලාසි ගැන ජවිපෙ නිශ්ශබ්ද ව සිටී. ජවිපෙ නායකයෙකු වන සුනිල් හඳුන්නෙත්ති, ඵලදායී මිල පාලනයක් ක්‍රියාවට දමන ලෙස අගෝස්තු 29දා ආන්ඩුවෙන් ඉල්ලී ය. හදිසි නීති පැනවූ විට, ඒවායේ ප්‍රතිලාභ ලබන්නේ වෙලෙන්ඳන් පමනක් බව ජවිපෙ මන්ත්‍රී විජිතහේරත් කීවේ ය. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය හදිසි තත්ත්වය ගැන වචනයක් වත් කියා නැත.

රාජපක්ෂ ආන්ඩුව, විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම කන්ඩායම්, කම්කරු පන්තිය අතර වර්ධනය වන සමාජ විරෝධය ගැන භීතියට පත්ව සිටිති. නව අගුලු දැමීමක් අකමැත්තෙන් පනවමින් ජාතිය අමතා කල කතාවේ දී රාජපක්ෂ ප්‍රකාශ කල පරිදි: “මෙය වැඩ වර්ජන සඳහා අවස්ථාවක් නො වේ.”

ගුරුවරුන් 250,000ක් පමන නිරත වන වැඩ වර්ජනය සහ දුම්‍රිය, තැපැල්, වතු හා සෞඛ්‍ය කම්කරුවන් අතර මෑත මාසවල දී පුපුරා ගිය වැඩ වර්ජන හා විරෝධතා, ආන්ඩුවට හා වෘත්තීය සමිතිවලට ගැඹුරු දේශපාලන අර්බුදයක් නිර්මානය කර ඇත.

රාජපක්ෂගේ පන්ති යුද හදිසි තත්වයට හා අත්‍යවශ්‍ය සේවා වැඩ වර්ජන තහනමට, තම ඒකාබද්ධ ශක්තිය බලමුලුගන්වමින් හා දේශපාලනික ව සූදානම් වෙමින්, කම්කරු පන්තිය ප්‍රතිචාර දැක්විය යුතු ය. ආන්ඩුව පැත්තේ සිටින විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති ගැන එයට විශ්වාසය තැබිය නො හැක.

ධනපති පන්තියේ සෑම කොටසකින් ම හා වෘත්තීය සමිතිවලින් බිඳිය යුතු කම්කරුවන්, හදිසි තත්ව හා අත්‍යවශ්‍ය මහජන සේවා නීති වහා ම හකුලා ගන්නා ලෙස බල කරමින්, අනාරක්ෂිත වසංගත කොන්දේසිවලට විරුද්ධව සහ සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමට සෑම වැඩපොලක ම ක්‍රියාකාරී කමිටුගොඩනැගිය යුතු ය.

ලංකාවේ කම්කරුවන්ට මෙම අරගලය සාර්ථක ව ගෙන යා හැක්කේ, ඔවුන්ගේ ගෝලීය පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරෙමින්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් සඳහා සටන් වැදීමෙනි. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස, ලංකාව තුල සමාජවාදී පිලිවෙත් සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන සමග මෙම අරගලය ඒකාබද්ධ කල යුතු ය. මෙම ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරමින් සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Loading