ජනාධිපතිවරයා රාජ්‍ය අංශ සේවකයන්ට වැඩ වර්ජන තහනමක් පනවයි

[මෙහි පල වන්නේ මැයි 29 දින Sri Lankan president imposes strikes ban on state-sector workers යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි. ]

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය සේවාවන් ගනනාවක්ම “අත්‍යවශ්‍ය සේවා” ලෙස ප්‍රකාශයට පත් කරමින් හා සියලු කාර්මික ක්‍රියා තහනම් කරමින්, බ්‍රහස්පතින්දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කලේ ය. කොවිඩ්-19 ආසාදන රටපුරා වේගයෙන් ඉහල යද්දී, ඛාදනය වන ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත තීව්‍ර කරන නිසා මහජනයා අතර වැඩෙන කෝපය හා නොසන්සුන්කම මර්දනය කිරීම, මෙම විෂඝෝර නියෝගයේ පැනවීමේ එල්ලයි.

ගෝඨාභය රාජපක්ෂ [Credit: AP Photo/Eranga Jayawardena]

ජාතික පරිමානව සියලු වරාය, රේගු, ඛනිජ තෙල්, රාජ්‍ය දුම්රිය හා බස් ප්‍රවාහන සේවා, පරිපාලන හා සුභ සාධන කාර්යාල, මහ බැංකුව ඇතුලු රාජ්‍ය බැංකු සහ රක්ෂන සේවා මෙන් ම, පලාත්පාලන ආයතන මගින් කෙරෙන කසල කලමනාකරනය, දැන් අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ පවතී. 

අත්‍යවශ්‍ය සේවා නීතියට අනුව, මෙම ආයතනවල සේවයට වාර්තා නො කරන ඕනෑම සේවකයෙක්, “මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් අනතුරුව වැරදිකරුවෙකු කොට” වසර දෙකේ  සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවමකට” සහ/හෝ රුපියල් 2,000ත් 5,000ත් අතර දඩයකට හෝ එම දඩුවම් දෙකට ම යටත් කල හැකි ය. එලෙස ම වරදිකාරී යයි තීන්දු කරනු ලබන ඕනෑම පුද්ගලයෙකුගේ, “චංචල හා නිශ්චල දේපොල” රාජ්‍යය විසින් අත්පත් කර ගැනීමට සහ  ඔහුගේ හෝ ඇයගේ නම “වෘත්තීන් හෝ රැකියා පිලිබඳ ඕනෑම ලේඛනයකින් ඉවත් කරනු ලැබිමට” හැකි ය.

ඊට අමතර ව, කවර හෝ තැනැත්තෙක් “කායික ක්‍රියාවක්, කතාවක් හෝ ලියවිල්ලක්” මගින්  වැඩට සහභාගි නො වීමට,“වෙනත් කිසිදු පුද්ගලයෙකු පෙලඹවීම, ප්‍රේරනය කිරීම හෝ දිරිමත් කිරීම” වරදකි. මෙහි අර්ථය වන්නේ, මෙම සේවකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සටන් කරන ඕනෑම අයෙකුට දඬුවම් කල හැකි බව යි.

රාජපක්ෂගේ තීරනයට ආසන්නතම නිමිත්ත ලෙස පෙනෙන්නේ, කොවිඩ්-19 එන්නත් ඉල්ලමින් සිටින ග්‍රාම නිලධාරීන් 12,000ක්, බ්‍රහස්පතින්දා පැවැත්වීමට සැලසුම් කල ජාතික පරිමාන වැඩ වර්ජනය තහනම් කිරීම යි. එහෙත්, එවන් ඉල්ලීම් මත කම්කරු පන්තියේ පලල් කොටස් විසින් සිදු කල හැකි, වැඩ වර්ජන හා විරෝධතා පූර්වභංග කිරීම, ආන්ඩුවේ විෂඝෝර පියවරේ අරමුන යි

තම වැඩපොලවල කොවිඩ්-19 අන්තරාය හා ආන්ඩුවේ පුද්ගලීකරන පියවරයන් අරබයා, උත්සුකතා මතු කරමින් කාර්මික ක්‍රියාවන් සඳහා තර්ජනය කල, වරාය අධිකාරියේ කම්කරුවන් 15,000කට රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පැනවී ය. වරාය කම්කරුවන්ට එරෙහි වැඩ වර්ජන තහනම, මාස තුනකට පසු අවලංගු වීමට  ඉඩ හලේ, වෘත්තීය සමිති කම්කරුවන්ගේ විරෝධතා තාවකාලිකව වාෂ්ප කිරීමෙන් පසුව පමනි.

තීව්‍ර  වෙමින් පවතින කොවිඩ්-19 ආසාදන, ආහාර හා අනෙකුත් අත්‍යාවශ්‍ය  ද්‍රව්‍යවල මිල තියුනු ලෙස ඉහල යාම සහ ප්‍රමානවත් සමාජ සහනාධාර හෝ සුදුසු ආරක්ෂාව සම්පාදනය කිරීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම ට විරුද්ධව  මෑත මාස කිහිපයේ දී, තැපැල්, දුම්රිය, වතු, අධ්‍යාපන, සෞඛ්‍ය හා විදුලි බල කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා පුපුරා ගියේය.

2020 මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා ශ්‍රී ලංකාව කොවිඩ්-19 ආසාදන 94,949ක් නිල වශයෙන් වාර්තා කෙරුනි. එතැන් පටන් මෙම සංඛ්‍යාවන් සියයට 80කින් හෙවත් 76,328ක් ඉහල ගියේ ය.  පරීක්ෂන සංඛ්‍යාවන් අඩු කිරීම හේතුවෙන්, මෙම සංඛ්‍යා ලේඛන සැබෑ තත්ත්වයේ  බරපතලව අවතක්සේරුකර ඉදිරිපත් කෙරේ.

කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාවන්ගේ ක්ෂනික ඉහල යාම් වසංගතය පාලනය කොට ඇති බවට රාජපක්ෂගේ ප්‍රකාශ කීතු කරදමා ඇති අතරම ඉන්දියාවේ හා සමස්ත ලෝකයේ කොරෝනා වෛරස් ව්‍යසනය දෙස කනස්සල්ලෙන් බලන ශ්‍රී ලංකාවේ  කම්කරුවන්, තරුනයන් හා ගම්බද මහජනයා අතර උත්සුකතා ඉහල දමා ඇත. 

ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයන්, දිවයින  “ව්‍යසනයක්” වෙතට ලුහුටා යමින් සිටින බවට අනතුරු අඟවමින්, අත්‍යවශ්‍ය නො වන සියලු සේවාවන් වසා දමා, රටෙහි ගරා වැටුනු සෞඛ්‍ය සේවාවන් වහාම පුලුල්ව ගොඩනගන ලෙස  කොලඹ ආන්ඩුවෙන් ඉල්ලා ඇත.

කිසිදු අගුලු දැමීමකට එකහෙලා විරුද්ධ වන ආන්ඩුව, ජුනි 7දා දක්වා සති දෙකක සංචරන සීමා පනවමින් ඊට ප්‍රතිචාර දක්වා තිබේ. ආර්ථිකය හා විශේෂයෙන් ම අපනයන අංශය විවෘත ව පැවතිය යුතු බව ජනාධිපති රාජපක්ෂ අවධාරනය කරයි. “මහජනයා භීතියට පත්කල” හැකි යයි අනතුරු අඟවමින්, තමාගේ අවසරයකින් තොරව, සෞඛ්‍ය හා අනෙකුත් නිලධාරීන් වසංගතය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශන සිදු කිරීම ඔහු විසින් තහනම්  කලේ ය.

කොවිඩ්-19 රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යද්දී, තමන් මත පැනවී තිබෙන සම්පූර්න කල නො හැකි වැඩ කන්දරාව හේතුවෙන්, උපස්ථායකයින්, හෙදියන්  හා වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කම්කරුවෝ වඩ වඩා කෝපයට පත්ව සිටිති. වේගයෙන් බෝවන වෛරසයෙන් සෞඛ්‍ය කම්කරුවන් කිහිප දෙනෙක් ම මිය ගොස් ඇත.

නිදහස් වෙලඳ කලාප තුල හා ඒවායෙන් පිටත පිහිටි ඇඟලුම් කම්හල්වලින් ආසාදන සිය ගනනක් වාර්තා වී ඇත. එම කම්හල්වලින් සමහරක් 5,000 ට  අධික කම්කරුවන් සංඛ්‍යාවක් සේවයේ යොදවයි. ප්‍රමානවත් කොවිඩ්-19 ආරක්ෂක  පියවරයන් ක්‍රියාවට නොදැමීම හේතුවෙන්, කම්කරුවන් හා අසල් වැසියන් කෝපයට පත්වීම  නිසා, ගෙවී ගිය සති කිහිපය තුල, කම්හල් කිහිපයක් වසාදැමීමට බල කෙරුනි 

ලෝකයේ සෑම ධනපති ආන්ඩුවක් මෙන් ම, මහ ව්‍යාපාරිකයේ ලාභ අවශ්‍යතා ස්ථීරසාර ලෙස ආරක්ෂා කරන රාජපක්ෂ පාලනය, සේවකයන් දිගට ම වැඩ කල යුතු බව අවධාරනය කරයි.

වසංගතය විසින් නිර්මිත ගැටලුවලට ඇඟලුම් සමාගම් මුහුන දුන්නහොත්, ඒවායේ හාම්පුතුන්ට කම්කරුවන්ගේ වැටුප් සියයට 50කින් කැපීම හා සේවය අවසන් කිරීම සිදු කල හැකි බව, කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැයි 4දා ප්‍රකාශ කලේ ය.

ලක්ෂ ගනනක් වන රාජ්‍ය අංශ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට හා කිසිදු කාර්මික ක්‍රියාවක නිරත වීමට ඔවුන්ට තිබෙන අයිතිය ආරක්ෂා කරන ඕනෑම අයෙකුට ඍජුව බලපාන රාජපක්ෂ බ්‍රහස්පතින්දා පැනවූ විෂඝෝර නීතියට, කිසිදු විරුද්ධ පක්ෂයක් හෝ වෘත්තීය සමිතියක් විරුද්ධ වී නැත. පසුගිය නොවැම්බරයේ වරාය කම්කරුවන්ට පනවන ලද අත්‍යවශ්‍ය සේවා නියෝගයට ද එම වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ විරුද්ධ නො වූ හ.

මෙය අහම්බයක් නො වේ. රාජපක්ෂ ආන්ඩුවේ මර්දන පියවරයන් සමග මූලික මතභේයක් නැති මෙම සංවිධාන, ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට කැප වී සිටිති. 

වඩා නරක අතට හැරෙන වසංගතය පිලිබඳ සර්ව-පාක්ෂික සම්මේලනයක් කැඳවන ලෙස, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මේ මස මුල දී ආන්ඩුවෙන් ඉල්ලී ය. රාජපක්ෂ පාලනය විපක්ෂය සමග වැඩ කිරීමට එකඟ නැති නම්, “පලල් යාන්ත්‍රනයක්” සකස් කල යුතු බව ජනතා විමුක්ති පෙරමුන ප්‍රකාශ කලේ ය. දෙමල ජාතික සන්ධානය ද ඒ හා සමාන උපදෙස් ඉදිරිපත් කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව මෙන් මෙම පක්ෂ ද කම්කරු පන්තිය හා දුගීන් අතර වැඩෙන මහජන කෝපය පිලිබඳ ව බරපතල ලෙස තැති ගැනී සිටියි. 

රටෙහි දිස්ත්‍රික්ක 25 තුල “නීතිය හා සාමය පවත්වාගෙන යාම” සඳහා සන්නද්ධ හමුදා බලමුලු ගැන්වීම පිනිස, තමන් කලින් ප්‍රකාශයට පත්කල අති විශේෂ ගැසට් නිවේදනයක් ද ජනාධිපති රාජපක්ෂ විසින් යලි ක්‍රියාත්මක කර තිබේ. දැන් වීදිවල මුර සංචාරයේ යෙදෙන මෙම හමුදා හා පොලීසිය, කම්කරු පන්තිය හා දුගීන් අරගලයට පිවිසෙද්දී ඔවුන්ට විරුද්ධ මෙහෙයවෙනු ඇත.

කම්කරු පන්තිය මෙම වර්ධනයන් බැරෑරුම්ව  ගත යුතු ය. විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිතිවල ආධාරය හා අනුලබය ලබන රාජපක්ෂ ආන්ඩුව, පූර්න පරිමාන පන්ති යුද්ධයක් සඳහා සූදානම් වීම් වේගයෙන් ඉහල දමමින් සිටී.

කම්කරු පන්තියට තම  ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, වෘත්තීය සමිතිවලින් බිඳී ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධව එහි කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනි. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයේ කොටසක් ලෙස, සෑම වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මේ සඳහාඅත්‍යවශ්‍ය වේ.

මෙම ඉදිරි දර්ශනය සඳහා සටන් වදින එක ම සංවිධානය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. මෙම ක්‍රියා මාර්ගය සමග එකඟ වන සියලු දෙනාගෙන්, මෙම තීරනාත්මක ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය සම්මත වේලාවෙන් ඉරිදා  සවස 6ට පවත්වනු ලබන “කොරෝනා වෛරස් වසංගතය හා සමාජවාදී මූලෝපායක අවශ්‍යතාව” නමැති ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීමට ලියා පදිංචි වී සහභාගි වන ලෙස සසප ඉල්ලා සිටී. 

Loading