ඩෙල්ටා වෛරස් ප්‍රභේදය රටපුරා ජීවිත බිලි ගනිද්දී ආන්ඩුව පාසල් විවෘත කිරීමට සැරසෙයි

ඉදිරි සති දෙකත් තුනත් අතර කාලයක් තුල පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍යය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය 16 දා සෞඛ්‍යය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. පාසල් විවෘත කිරීමේ පියවර හා දින වකවානු ඉදිරියේ දී සවිස්තරව දැනුම් දෙන බව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුනවර්ධන සඳහන් කර තිබේ.

කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා දරුනු ලෙස පැතිර පවතිද්දී ගනු ලබන මෙම පියවර, දරුවන්ගේ, ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් වන අතරම නිශ්චිතවම වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීමට හේතු කාරකයක් ද වනු ඇත.

පාසල් විවෘත කිරීම පිලිබඳ සාකච්ඡාව වේගවත් වූයේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 දා පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමෙන් පසුවයි. සීමිත සංචරන සීමා ද ඉවත් කර රට මුලුමනින්ම විවෘත කිරීම පිලිබඳව ආන්ඩුව ගෙනයන සාකච්ඡාවල කොටසක් ලෙස ඉහත රැස්වීමේ දී පාසල් විවෘත කිරීම සඳහා පියවර ගැනීමටත් ඒ සඳහා “නිර්දේශ හා මාර්ගෝපදේශ“ ඉදිරිපත් කිරීමටත් තීන්දු කෙරුනි.

තදබදයෙන් පිරුනු කුඩා පංතිකාමරවල සමාජ දුරස්ථකරනය පවත්වා ගත නොහැකි ය. (මහනුවර)[credit: WSWS]

“සෞඛ්‍ය මාර්ගෝපදේශ“ කෙටුම්පත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද එහි දී පිහිටවනු ලැබී ය. මෙම කමිටුව වටා රැලි වී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (රවෛනිස) හා ශ්‍රි ලංකා ලමා රෝග විශේෂඥයින්ගේ විද්‍යායතනයේ වෛද්‍යවරු පැසල් විවෘත කිරීමෙන් ඇති විය හැකි අන්තරාය යට ගැසීමේ ව්‍යායාමයක නිරත වී සිටිති.

පසුගිය සිකුරාදා හිරු රූපවාහිනි නාලිකාවේ “ලමයින් එන්නත්කරනය සහ පාසල් විවෘත කිරීම“ යන මාතෘකාව යටතේ පැවති “බලය“ සජීවී වැඩසහනට එක් වූ රවෛනිස සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, වෛද්‍ය සුනන්ද පෙරේරා, වෛද්‍ය ශාමන් රජින්ද්‍රජිත්, පාසල් වසා තැබීම හේතුවෙන් දරුවන් විවිධ මානසික ආබාධ වලට ගොදුරුවීම, පරිගනක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම, සමාජ සම්බන්ධතා ගිලිහීම, වැරදි ආහාර රටාවන්ට පුරුදු වීම වැනි කරුනු ගෙන හැර දක්වමින් පාසල් විවෘත කිරීම සාධාරනීකරනය කලහ.

පරිපූර්න ලොක්ඩවුන් තත්වයක් සැමදා ක්‍රියාත්මක කල නො හැකි බවත්, ආර්ථික කටයුතු ද පවත්වා ගනිමින් රෝගය පාලනය කිරීමේ “නව සාමාන්‍යයට“ මුහුන දියයුතු බවත් පැවසූ පාදෙනිය, ඒ සම්බන්ධව රවෛනිස හි නිර්දේශයන් රජයට ඉදිරිපත් කල බව සඳහන් කලේය. තහවුරු නො කල ජාත්‍යන්තර පර්යේෂනයන් උපුටා දක්වමින් ඔහු තර්ක කලේ පාසල් විවෘත කිරීමෙන් රෝගය ව්‍යාප්තිය සිදු වී නොමැති බවටයි.

“පාසල් විවෘත කිරීමෙන් දරුවන්ගේ ජීවිත විනාශ කිරීමක් සිද්ධ කරන්න නේද මේ යන්නේ“ යනුවෙන් පාසල් දරුවෙකුගේ පියෙකු වැඩසටහන අතරතුර ප්‍රශ්න කලේය. එයට සහභාගිවී සිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, “අසුභවාදීව හිතන්න එපා, හැමදේම කරන්න හොද අධ්‍යාපනයක් තියෙන්න ඕන නේ. මේ ගන්නේ අවදානමක්. ඒක අපි දන්නවා, නමුත් සුභවාදීව හිතන්න. රෝග කියන එක හැදෙනවා. වසංගතයෙන් අපිව බිත්තියට හේත්තු වෙලා තියෙන්නේ. මුලු ලෝකයම“ යනුවෙන් නරුම ලෙස ප්‍රකාශ කලේ ය.

පාසල් විවෘත කිරීමේ ආන්ඩුවේ ධාවනය ගලා එන්නේ දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය සම්බන්ධ කවර හෝ උත්සුකයකින් නොවේ. රාජපක්ෂ ආන්ඩුව අනුගමනය කරමින් සිටින්නේ ද ඇමරිකාවේ බයිඩන්, බ්‍රිතාන්‍යයේ ජොන්සන්, බ්‍රසීලයේ බොල්සෙනාරෝ හා ඉන්දියාවේ මෝදී ඇතුලු ලොව පුරා ධනපති පාලකයන් ගෙන යමින් තිබෙන මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් අතලොස්සක් ධනපතියන්ගේ ලාභ තැබීමේ සාපරාධි පිලිවෙතයි.

දෙවසරකට ලඟා වෙමින් තිබෙන වසංගතයෙන්, මේ වන විට මනුෂ්‍ය ජීවිත මිලියන 4.8 ක් පමන බිලිගෙන, මිලියන 220 ට වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත් කර තිබේ. මෙම නිල සංඛ්‍යාවන් බොහෝ සේ අවගනනයන්ට ලක් කෙරි ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ලංකාවේ තවමත් දිනකට ආසාදිතයන් 2,000 ට ආසන්නව වාර්තා වන අතරම ඉන් සියයට 95 ක් පමන, වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදන බව සනාථ කර ඇත. 5,000 ක මට්ටමක පැවතී ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ ආකාරයෙන් අඩු වෙමින් පවතින්නේ හිතා මතා සිදු කරන දෛනික පරීක්ෂන පහල දැමීම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, දෙමව්පියන්ට “සුභවාදීව“ සිතන්න යයි පවසන්නේ මෙවැනි අන්තරායකාරී තත්වයක් සම්බන්ධයෙනි.

වසංගතයේ මුල සිටම වෛද්‍ය විද්‍යාඥයින් ඉල්ලා සිටි වසංගතය පිටුදැකීමේ මහජන සෞඛ්‍ය ආරක්ෂන පියවර වූ අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම, රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂන ඉහල දැමීම්, නිසි නිරෝධායනයට යොමු කිරීම හා මහජන සෞඛ්‍ය සේවා ගුනාත්මකව සහ ප්‍රමානාත්මකව ඉහල නැංවීම ඇතුලු පියවර ලොව පුරා පාලක පන්තීහු මුලුමනින්ම ප්‍රතික්ෂේප කලහ.

අත්‍යාවශ්‍ය නිෂ්පාදන වසා දැමීම මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ පොදි තර කිරීමට බාධාකාරී බව දැක ගන්නා ඔවුහු කම්කරුවන් හැකි ඉක්මනින් වැඩට තල්ලු කල අතර, කම්කරුවන් වැඩට දැක්කීම වඩාත් පහසු කිරීම සඳහා දරුවන් නිවසෙන් පිට කිරීම සඳහා පාසල් විවෘත කිරීමට යුහුසුලු වූහ.

ගෝලීය වසංගතය මුලිනුපුටා දැමීම සඳහා ජාත්‍යන්තරව සම්බන්ධීකෘත වැඩපිලිවෙලක් දියත් කිරීමට නො හැකි වීමේ ප්‍රතිඵලය වී ඇත්තේ එන්නත්වලට පවා යටත් නොවන වෛරස ප්‍රභේද බිහි වීමයි.

පලමුවන ශ්‍රේනියේ සිට හයවන ශ්‍රේනිය දක්වා පන්ති පවතින, ශිෂ්‍ය සංඛ්‍යාව 2,00 ට අඩු පාසල් පලමුව ආරම්භ කිරීම ආන්ඩුවේ එල්ලයයි. පන්ති කාමරයේ සිටින සිසුන් සංඛ්‍යාව 20 ට අඩු නම් එම සිසුන් දිනපතා පාසලට ගෙන්වීමටත්, 30 ට හා 40 වැඩි සිසුන් සිටින පන්තිවල ලමුන් ඛාන්ඩ කර ගෙන්වා ගැනීමටත් නිර්දේශ කරන බව කපිල පෙරේරා සාකච්ඡාවේ දී ප්‍රකාශ කලේ ය. නමුත්, යතාර්ථයේදී, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මෙන්ම මුඛ ආවරන නිසි පරිදි අඛන්ඩව පැලඳ සිටීම වැනි බැරෑරුම් හැසිරීම් රටාවක් කුඩා දරුවන්ගෙන් කිසිසේත් බලාපොරොත්තු විය නො හැක.

සිසුන් 2,00ට අඩු පාසල් 5,000 ට ආසන්න ප්‍රමානයක් රට තුල පවතී. පලමු අදියර වශයෙන් මෙම පාසල් විවෘත කලද, සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් හා ගුරුවරුන්ගෙන් සියයට 20 කට වැඩි ප්‍රමානයක් එනම් මිලියනයකට අධික පිරිසක් සමාජගත වීමක් එමගින් සිදු වනු ඇත. පුද්ගලික පාසල් ප්‍රවාහන සේවාවන්හි හා පොදු මගී ප්‍රවාහන සේවාවන්හි තදබදය සැලකූ විට මෙම තත්වය වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීමට බරපතලම හේතු සාධකයක් වනු ඇත.

අනෙක් අතින්, ලොවපුරා සහචර පාලක පන්තීන් අනුගමනය කරන “එන්නත්කරනය වසංගතය මැඩීමේ එකම විසඳුම“ යන අවිද්‍යාත්මක තර්කය රාජපක්ෂ ආන්ඩුව තොරොම්බල් කරමින් සිටී. ඒ අනුව, පාසල් ගුරුවරු, අනධ්‍යන කාර්ය මන්ඩල, පාසල් ආපන ශාලා සේවකයන් සහ පාසල් ලමුන් ප්‍රවාහනය කරන සේවකයන් එන්නත්කරනයට ලක් කර ඇතැයි යන්න පාසල් විවෘත කිරීම සඳහා යොදා ගෙන තිබේ. අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරනය ලබන මාස මුල ආරම්භ කරන ව ද ආන්ඩුව කියා සිටී.

ආන්ඩුව තම එන්නත්කරන පම්පෝරිය ප්‍රවර්ධනය කොට මහජනයා මුලා කිරීම සඳහා “වසංගතය නිමා වී වසන්තය උදාවනවා සත්තයි“ යනුවෙන් මේ සති අන්තයේ විශේෂ වැඩසටහනක් ද දියත් කලේ ය.

“එන්නත්කරනය වසංගතය මැඩීමේ එකම විසඳුම“ යනුවෙන් ආන්ඩුව ඉදිරිපත් කරන කුතර්කයට ප්‍රතිකූලව ලොව පිලිගත් විද්‍යාඥයන් අවධාරනයෙන් කියා සිටින්නේ, එන්නත්කරනයට සමගාමීව අත්‍යවශ්‍ය ‌මහජන සෞඛ්‍යාරක්ෂන පියවර, එනම් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම ඇතුලත් දැඩි සංචරන සීමා වසංගත පාලනයට අනිවාර්යයෙන් අවශ්‍ය බවයි.

එන්නත්කරනයට ලක් වූවන් ද, ඩෙල්ටා වැනි වෛරස ප්‍රභේද මගින් ආසාදනය වීමෙන් බරපතල සංකූලතාවලට හා මරනයට පවා පත් වීම ලංකාවේත්, ජාත්‍යන්තරවත් අත්දැකීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජුනි මාස 04 දා නිදහස් දින උත්සවයේ දී “මෙම මාරාන්තික වෛරසයෙන් නිදහස් වීම ප්‍රකාශ කිරීමට ලං වී තිබෙනවා. අපේ දරුවන්ට පාසල්වලට යෑමටත්, ආර්ථිකය යතා තත්වයට පත්වීමත් සිදු වනු ඇත“ යයි ජෝ බයිඩ්න් ප්‍රකාශ කොට සතියකටත් අඩු කාලයක දී එරට ආසාදියතයන් හා මරන විශාල ලෙස ඉහල යෑම වාර්තා වූයේ ඩෙල්ටා ප්‍රභේදයේ ආක්‍රමනයෙන් පසුවයි.

ඒ තත්වය තුල ඇමරිකාවේ වැඩබිම් මෙන්ම පාසල් විවෘත කර පවතී. ලමා රෝග පිලිබඳ ඇමරිකාවේ සංඛ්‍යා දත්තවලට අනුව සැප්තැම්බර් 09 න් අවසන් වූ සතියේ පමනක් 243,373 ක් දරුවන් ආසාදනයට ලක්ව තිබේ. එම සතිය තුල දරුවන් 9 දෛනෙකු මරනයට පත්ව ඇති අතර ගෙවුනු මාසය තුල දරුවන් 89 ක් මරනයට පත්ව තිබේ. යුරෝපයේ තත්වය මීට වෙනස් නැත.

රෝගයෙන් සුව වුව ද දරුවන් දීර්ඝ කාලීන කොවිඩ් තත්වයට පත්වීමේ හා ඔවුන්ගේ බුද්ධි වර්ධනය අඩකින් පමන බිඳ වැටීමේ අන්තරායකාරී තත්වයක් පවතී. ලෝකයේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් ආසාදිතයන් බවට හා මරනයට පත් කර තිබෙන බ්‍රසීලයේ පිහිටි, ජාත්‍යන්තරව පිලිගත් ඇමසෝනියන් පරික්ෂන සම්බන්ධ ජාතික ආයතනයේ පරේක්ෂක ලූකස් ෆෙරන්ඩ් ලෝක සමාජවාදී වෙබ් අඩිවියට (ලෝසවෙඅ) පසුගිය සතියේ පැවසුවේ “අපේ අනාගත පරම්පරාවක්ම අපි දන්නා සහ නොදන්නා සංකූලතා සහිත තත්වයකට ගොදුරු කරමින් සිටින බවටයි“. එන්නතට මුලුමනින්ම අවනත නොවන සහ දරුවන්ට තවත් දරුනු සංකූලතා මතු කරන නව වෛරස ප්‍රභේද බිහිවීමේ අවදානම ඔහු නැවත නැවතත් එහිදී මතු කලේය.

රවෛනිස සේම ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ද වර්ධනය වන මෙම අන්තරායන් පිලිබඳව ගුරුවරුන් අඳුරේ තබමින් පාසල් විවෘත කිරීමට සහාය දෙමින් සිටිති.

ලංකාවේ පාසල් විවෘත කිරීමේ තවත් යටි අරමුනක් වන්නේ, මේ වන විට දින 70 ටත් වැඩි කාලයක් පුරා ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී වැටුප් “විෂමතා“ ඉවත් කරන්නැයි ඉල්ලා වර්ජනයේ නිරත වී සිටින ගුරු-විදුහල්පතිවරුන්ගේ අරගලය කඩාකප්පල් කිරීමයි.

ආන්ඩුව පසුගිය 30 දා අදියර වශයෙන් ගෙවීමට පොරොන්දු වූ සොච්චම් වැටුප් වැඩිවීම එකවර ලබා දෙන්නැයි ඉල්ලා සිටිමින් අරගලය පාවාදීමට කැසකවමින් සිටින ගුරු-විදුහල්පති වෘත්තීය සමිති යලි වතාවක් පාසල් විවෘත කිරීමට සහයෝගය ද ලබා දෙන බව සංඥා කර තිබේ. “පාසල් විවෘත කිරීමට පෙර' වැටුප් ඉල්ලීම් පිලිබඳව පිලිතුරක් බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කර තිබේ.

ගුරුවරුන්, ශිෂ්‍යයන් හා දෙමාපියන් ඉදිරියේ තීරනාත්මකව මතු කර ඇත්තේ, ධනපති ක්‍රමයට තදින්ම බැඳී ගත් වෘත්තීය සමිතිවලින් බිඳී ගනිමින් තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු සෑම පාසලකම, නිවහන් ප්‍රදේශයන් තුල හා වැඩබිම්වල පිහිටුවා ගනිමින්, වසංගතය මුලිනුපුටා දැමීමේත්, වැටුප් අයිතීන් දිනා ගැනීමේත්, සිසුන්ට සහ ගුරුවරුන්ට අවශ්‍ය පරිගනක සහ අන්තර්ජාල පහසුකම් නොමිලේ සම්පාදනය කෙරෙන ගුනාත්මක ඔන්ලයින් අධ්‍යාපනයක් ලබා ගැනීමේත් සටන තම අතට ගැනීමේ අවශ්‍යතාවයයි.

Loading