ක්ලිෆ් ස්ලෝටර්: දේශපාලන චරිතාපදානයක් (1928-1963) දෙවන කොටස

[මෙහි පලවන්නේ Cliff Slaughter: A Political Biography (1928–1963) - Part 2 යන මැයෙන් 2021 අගෝස්තු 04දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

ක්ලිෆ් ස්ලෝටර්ගේ මෙම දේශපාලන චරිතාපදානය 1928 සහ 1963 අතර කාලය ආවරනය කරයි. 1963 සිට ඔහුගේ මරනය දක්වා වූ චරිතාපදානයේ දෙවන කොටස වසර අවසානයේදී ප්‍රකාශයට පත් කෙරේ.

ක්ලිෆ් ස්ලෝටර්

ලේබර් රිවීව්

සෝවියට් යුද ටැංකි බුඩාපෙස්ට් වෙත ඇතුලු වීමෙන් පසුව, ක්ලබ් සංවිධානයේ වැඩ කටයුතු නව අදියරකට පිවිසියේය. කොමියුනිස්ට් පක්ෂයෙන් පිටතට ගලා එන අය අතර හොඳම කොටස් සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සම්පාදනය කිරීමට එය උත්සාහ කලේය.

1957 ජනවාරියේදී, ක්ලබ් සංවිධානය විසින් සිය න්‍යායික සඟරාව වන ලේබර් රිවීව් නැවත ආරම්භ කරන ලද අතර එය අවසන් වරට ප්‍රකාශයට පත් කර තිබුනේ 1954 දීය. වාම දේශපාලනයේ දේශපාලන රාමුව ඉතා ප්‍රගාඨ ලෙස වෙනස් වී පැවති තතු යටතේ ආරම්භ කරන ලද සඟරාවේ පලමු කතුවැකිය ක්ලබ් සංවිධානය විසින් නම් කෙරුනේ “ලේබර් රිවීව් හඳුන්වා දීම” ලෙස ය. නව ලේබර් රිවීව්හි අරමුනු පැහැදිලි කිරීමේදී කතුවැකියෙහි මෙසේ සඳහන් විය:

'කොමියුනිස්ට් පක්ෂය අපේ ඇස් ඉදිරිපිටම දිරාපත් වෙමින් පවතී. දශක දෙකක් තිස්සේ සාමාජිකයින් දේශපාලන යථාර්තයන්ගෙන් වෙන්කර තිබුනේ, 'නායකයා' ට වරදින්නේ නැත යන ධර්මතාවෙනි. දැන් මෙම මිථ්‍යාව අවසාන වශයෙන් විනාශ වී ඇති හෙයින්, සාමාජිකත්වයට තමන් ව්‍යාකූල ව, අන්ද මන්දව, මංමුලාවී ඇති බව හැඟී යයි. පහල සාමාජිකයින්, වැඩි වැඩියෙන් සාකච්ඡා කිරීමේ නිදහස ඉල්ලා සිටින නමුත් මෙම ඉල්ලීමට අර්ධ වශයෙන් ඉඩ දෙන බවක් පෙන්වන නායකයෝ නමුත් එහි ප්‍රතිවිපාක ගැන තරයේම බිය වෙති. මන්දයත් අතීතය ගැන ඕනෑවට වඩා විනිවිද යන විමර්ශනයකින්, මියගොස් ඇති ස්ටැලින් හා බෙරියා වෙත දැන් පහසුවෙන්ම පටවනු ලබන වැරදි සහ අපරාධ සම්බන්ධයෙන් තමන්ගේ ද සහානුමතිය සහ වගකීම පිලිබඳව හෙලිදරව් වනු ඇති නිසාය.

'බොහෝ දිගු කාලයක් කොමියුනිස්ට් පක්ෂය, මාක්ස් ලෙනින්වාදයේ උරුමයන් තමන්ගේ පෞද්ගලික දේපලක් ලෙස ප්‍රකාශ කල බැවින් බොහෝ කාලයක් යන තෙක්ම ඔවුන්ට මෙම අසත්‍ය ප්‍රකාශයන්ගෙන් ගැලවී යාමට හැකි වී තිබේ. මාක්ස්වාදී න්‍යායට නව දායකත්වයන් සැපයීමේ එකම උල්පත ස්ටැලින් ලෙස සැලකීමේ ප්‍රතිවිපාකය නම්, නිල කොමියුනිස්ට් පක්ෂ මූලාශ්‍ර වලින් කිසිදු වටිනා දෙයක් බිහි නොවීමයි. ඊට පටහැනිව සමාජවාදී චින්තනය සඳහා නව හා වටිනා ප්‍රතිපදානයක් සඳහා අප දැන් බැලිය යුත්තේ, පසුගිය විසි වසර හෝ ඊට වැඩි කාලයක් තුල ස්ටැලින්වාදයට අඛන්ඩව විරුද්ධ වූ අය අතර ය.

'අවාසනාවකට මෙන්, මේ සාහිත්‍යයෙන් වැඩි හරියක් මේතාක් ලබා ගත හැකිව ඇත්තේ ව්‍යාපාරයේ සුලු කොටසකට පමනි. ලේබර් රිවීව්හි එක් අරමුනක් වනුයේ, මෙම “තහනම්” කරන ලද මාක්ස්වාදී චින්තකයින්ගේ ලේඛන පුලුල් පාඨක කන්ඩායමක් වෙත ගෙන ඒම සහ එමඟින් අපේ ව්‍යාපාරයේ න්‍යායික පදනම් තවදුරටත් වර්ධනය කර ගැනීමයි.' [17]

“මාක්ස්වාදීන්ට හාන්සි පුටු දර්ශනවාදීන් විය නොහැකි” බවත්, එදිනෙදා අරගලයන්හි ඔවුන් ක්‍රියාකාරීව නිරත විය යුතු බවත් ප්‍රකාශ කරන අතරම, කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම් පිලිබඳ සවිස්තරාත්මක දැනුමක අවශ්‍යතාවය, එම කතුවැකිය අවධාරනය කලේය:

'කුමක් සිදුවී ද සිද්ධීන් එම මාවත ගත්තේ ඇයි ද යන්න පිලිබඳව අවබෝධයක් තුලින් පමනි, කුමක් සිදුවේ ද සහ කුමක් වනු ඇත්ද යන්න අපට තේරුම් ගැනීමට හැකිවනු ඇත්තේ. කම්කරුවන්ගේ ඒ ඒ පරම්පරාව ඉදිකිරීම සිදු කරන්නේ, පෙර පරම්පරාව විසින් දමන ලද අඩිතාලම මත ය. සෑම පරම්පරාවක්ම අතීතයේ අත්දැකීම් මත පදනම් වන අතර අනාගතයේදී ගත යුතු පියවර ඒ අනුව තීරනය කරයි.

'මාක්ස්වාදී විධික්‍රමයේ සාරය මෙයයි. මෙම විධික්‍රමය භාවිතා කිරීමට අපොහොසත් වීම එක් අතකින් අවස්ථාවාදවාදයට සහ අනෙක් අතින් නිකායවාදයට තුඩුදෙයි. බැලූ බැල්මට පරස්පර විරෝධී වන මෙම සංසිද්ධි දෙක, ඇත්ත වශයෙන්ම එකම කාසියක දෙපැත්තකි. ඒ දෙකම පැන නගින්නේ, න්‍යාය කෙරෙහි පිළිකුල් සහගත වීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස, අපගේ ගැටලු වෙත සාරසංග්‍රහවාදී ප්‍රවේශයකින් ගැනීමෙනි.' [18]

යලි දියත් කරන ලද ලේබර් රිවිව් යන න්‍යායික සඟරාවේ පලමු කලාපය

බ්‍රිතාන්‍ය කම්කරු ව්‍යාපාරය තුල පවතින න්‍යාය විරෝධී අගතීන් බිඳ දැමීම සඳහා 'මාක්ස්වාදයේ දාර්ශනික පදනම වන අපෝහක භෞතිකවාදය පිලිබඳව අපේ මුල් කලාප වැදගත් ලිපි ගනනාවක් සඳහා කැප කරන බවට” ලේබර් රිවිව් කතුවැකිය පොරොන්දු විය. එය මෙසේ සටහන් කලේය:

'සමාජවාදයේ සියලු සතුරන්, සියලු නිලධරයන්, ඔවුන්ගේ සියලු 'වාම' නිකායවාදී සෙවනැලි, දිරි බල සුන්වූ සහ ධනවාදය සමඟ ගැලපීමේ පහසු මං සොයන සියලු දෙනාම ඒ හෝ මේ ආකාරයකින් විද්‍යාත්මක සමාජවාදයේ මූලික මූලධර්ම ප්‍රශ්නයට බඳුන් කරති. එනමුදු, බ්‍රිතාන්‍ය සමාජවාදී ව්‍යාපාරයේ ගැටලුවලට පිලිතුරු සෙවීමේදී, අපට ඵලදායි ලෙස මඟ පෙන්විය හැක්කේ, මෙම මූලධර්ම වලින් පමනක් බව සියලු අත්දැකීම් වලින් පෙන්නුම් කෙරේ.'

ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ වෙනත් කිසිදු දේශපාලන ප්‍රවනතාවයකට සම කල නොහැකි, ඓතිහාසිකව මුල්බැසගත් ගැඹුරු දැක්මක් සහිතව, ස්ටැලින්වාදී මුරගල බිඳීයාමෙන් මතුකෙරුනු අභියෝග සහ කර්තව්‍යයන් ග්‍රහනය කරගත් ලේබර් රිවිව්, අභිලාෂවත් බුද්ධිමය හා දේශපාලන වැඩ සටහනක් ඉදිරියට ගෙන ගියේ ය:

'තවද, එමඟින් පසුගිය වසර තිහක ඓතිහාසික වාර්තාව, එය මෙතරම් කාලයක් ආවරනය කර තිබූ බේගල් සෝදා හැරිය හැකි වනු සඳහා සමාජවාදී ව්‍යාපාරයේ “සාමූහික මතකය” යලි පුරවා ලිය යුතු බව අපගේ විශ්වාසයයි. 1926 මහා වැඩ වර්ජනයේ පරාජයත් සමඟ මුදාහල මහා අයිස් යුගයේ අවසානයට අපි දැන් පැමින සිටින්නෙමු.… “වමේ” සෑම කෙනෙකුම විශ්වාස කල යුතු දේ ගැන බොහෝ කලක් උපදෙස් දුන් අධිපතියාගේ අධිකාරය, කෘෂෙව් විසින් දැන් කුඩුපට්ටම් කර දමනු ලබා ඇත්තේ, ලොව පුරා රැව් දෙන ප්‍රතිවිපාක ඇතිකරමිනි. 1927 දී ස්ටැලින් කන්ඬායම විසින් කොමියුනිස්ට් පක්ෂ වල ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කල දා සිට අපි, මෙම අග්‍ර පූජකයාගේ සමාජවාදයෙන් පීඩා වින්දෙමු. කොමියුනිස්ට් පක්ෂ නායකයින් වෙත සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සමුලුවෙන් ඉතිරි කර දෙන ලද යම් හෝ අධිකාරයක් වී නම් එය දැන් හංගේරියාවේ යොදවා ඇති සෝවියට් යුද ටැංකි වලින් මේ වන විට බිඳහෙලනු ලැබ ඇත.

'මෙතැන් පටන්, මාක්ස්වාදී අදහස් වල සාමාන්‍ය වර්ධනය තවදුරටත් කෘතීමව නිලධාරිවාදී කොටු පවුරු වලින් රඳවා ලිය නොහේ. රුසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය දක්වා සෑම රටකම මිලියන සංඛ්යාත කම්කරුවෝ සහ බුද්ධිමත්තු අරගල කරා පිය නඟමින් සිටිති. සිය ව්‍යාපාරයේ අතීත ඉතිහාසය දැනගැනීමේ අවශයතාව නිසා ඔවුහු එය දැන ගැනීමට අවශ්‍ය යයි ඉල්ලා සිටිති. මෙම තරුනයින්ට තම දේශපාලන ආරම්භකත්වය ගැන සිතීමට, ඉගෙන ගැනීමට හා තම දේශපාලන මූලිකත්වය යොදා ගැනීමට උවමනා ය. නිලධාරිවාදී “තහංචි” සහ “ලබ්ධීන්” විසින් ඔවුන් විකර්ෂනය කර දැමෙයි. අපේ යුතුකම වන්නේ ඔවුන්ට පිලිතුරු සොයාගැනීමට උදව් කිරීමයි. එබැවින් ලේබර් රිවීව්, මාක්ස්වාදයේ විවෘත ෆේබියන් සතුරන් ද එහි කීර්ති නාමය දරුනු ලෙස කෙලසූ ස්ටැලින්වාදී හොරිපොත්තන් ද යන දෙකොට්ඨාශයටම එරෙහිව පොර බද යි.

'කේන්ස්ට හෝ අර්ධ වශයෙන් ජනසතු කිරීමට හෝ “නව” යටත්විජිත ව්‍යවස්ථා වලට හෝ එක්සත් ජනපද අධිරාජ්‍ය වාදයේ සමුර්ධියට ස්තූතිවන්ත වන්නට, ධනවාදයට නව ජීවිතයක් භුක්ති විඳීමට ඉඩ සැලසී ඇතැයි යන ෆේබියන් සිහින ගැන සාකච්ඡා කිරීම ද, වෙනත් කරුනු වලට අමතර ව අවශ්‍ය වනු ඇත.

'ෆේබියානුවාදය පිලිබඳ සාකච්ඡාවට සමගාමීව අපි, ධනවාදය සමඟ 'සාමකාමී සහජීවනය' පිලිබඳ ස්ටැලින්වාදී ප්‍රභේදය සහ එහිම බෙලසුන් වුව පිලිකුල් සහගත ජනිතයක් වන, 'සමාජවාදය සඳහා බ්‍රිතාන්‍ය මාවත' නම්වූ බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ වැඩ පිලිවෙලට එරෙහිව පොරබදන්නෙමු. ස්ටාලින්වාදය සම්භව වූයේ කොහෙන්ද සහ මක්නිසා ද? එහි නැගීම නොවැලැක්විය හැකිව තිබුනේ ද? නිර්ධන පන්තියේ ආඥාදායකත්වය යන්නෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ පිලිකුල් සහ මිනීමැරු ඒකාධිපතීත්වයක්ද? ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය යන්නෙන් අදහස් කරන්නේ පූර්න කාලීන නිලධාරි කල්ලියක අත්තනෝමතික භාවයද? ආදිය ඉදිරි මාසවලදී අපි පිලිතුරු දීමට යත්න දරන සමහරක් ප්‍රශ්න වේ.

ෆේබියන් ප්‍රතිපත්ති වල නිෂ්ඵලභාවය ගැන අප සාකච්ඡා කරන විට, හිට්ලර් ජර්මානු කම්කරු පන්තිය පරාජය කිරීමට හේතු මෙන්ම ප්‍රංශ සහ ස්පාඤ්ඤ මහජන පෙරමුනු ආන්ඩුවල අසාර්ථකත්වයට හේතු ද විමසා බැලිය යුතුය. “තනි රටක සමාජවාදය” යන සටන් පාඨය සහ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරය හා මෙම ව්‍යසනයන් අතර ඇති සම්බන්ධයත්, එය මොස්කව් නඩු විභාග, ස්ටැලින්-හිට්ලර් ගිවිසුම, යුරෝපය කැබලිති කල යෝල්ටා ගිවිසුම දක්වා මං හෙලි කලේ කෙසේ ද යන්න හා අවසානයේදී නැගෙනහිර යුරෝපයේ උපග්‍රහ රටවල කම්කරුවන් සහ ගොවීන් සමූහ වශයෙන් ඝාතනය කිරීමට තුඩු දුන් අයුරුත් පෙන්වීමට අපි උත්සාහ දරන්නෙමු. රුසියානු විප්ලවයේ ස්වභාවය හා අනාගත අපේක්ෂාවන් පිලිබඳව ලෙනින්ගේ ලියවිලි, ස්ටාලින් විසින් වසං කොට ඇතිකල අඳුර පිසදා අප විසින් මුදා ගත යුතු අතර, රුසියානු විප්ලවයේ සන්නද්ධ අංශය භාරව සිටි, ලෙනින්ගේ සම-සහෝදරයා වූ ට්‍රොට්ස්කිගේ අද දවසේ ගැටලු වලට සෘජුවම අදාල වන කෘති සමහරක් ප්‍රකාශයට පත් කරමු.

'ඒ අනුව ලේබර් රිවීව්, සමාජවාදී ව්‍යාපාරයේ සියලුම බැරෑරුම් ශිෂ්‍යයින්ගේ සහයෝගීතාවය ඇරයුම් කර සිටී. අපි ඔවුන්ට අපේ පිටු පලල්ව විවෘත කරන්නෙමු. ආසියාවේ සහ අප්‍රිකාවේ වර්ධනය වෙමින් පවතින සමාජවාදී ව්‍යාපාර සමඟ සමීප සහෝදර සබඳතා ඇති කර ගනීම කෙරෙහි වෙසෙසින්ම සැලකිල්ල යොමු කරමු. කෙසේ වෙතත් ලේබර් රිවීව්, හුදු සාකච්ඡා සංසදයක් නොවනු ඇත. එය, කම්කරු ව්‍යාපාරය තුල ධනේශ්වර අදහස් ප්‍රකාශ වන සෑම අවස්ථාවකම, ඒවාට එරෙහි අරගලයේ ආයුධයක් ලෙස හැඩ ගස්වනු ඇත. එය වෛෂයික වන අතර නමුත්, පක්ෂග්‍රාහී වේ; එය, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් පැහැදිලි කරන ලද අව්‍යාජ කොමියුනිස්ට්වාදයේ ශ්‍රේෂ්ඨ මූලධර්ම, ඒවා නිරතුරුවම සාවද්‍ය ලෙස අර්ථකථනය කල ෆේබියන් සහ ස්ටැලින්වාදීන් යන දෙකොට්ඨාශයෙන්ම, ආරක්ෂා කරනු ඇත.' [19]

නැවත ආරම්භ කරන ලද ලේබර් රිවිව් පලමු කලාපයේ හංගේරියානු ඛේදවාචකය පිලිබඳ පීටර් ෆ්‍රයර්ගේගේ සමාලෝචනයක් ඇතුලත් වූ අතර එය ජෝන් රීඩ්ගේ 'ලොව සෙලවූ දස දවස' සමඟ සංසන්දනය කෙරුනි. ෆ්‍රයර් ද විප්ලවයක් ගැන ලියූ නමුත්, ඔහු එය ලිව්වේ, “ධනවාදයට එරෙහිව නොව දූෂිත හා ජරාජීර්න නිලධාරීවාදයට එරෙහිවයි”. [20] එය ෆ්‍රයර්ගේ කෘතිය ප්‍රශංසාවට ලක් කරන අතරම එහිදී, ස්ටැලින්වාදීන් විප්ලවය තලා දැමීමට හේතුව කතුවරයා පැහැදිලි නොකල බව විවේචනාත්මකව සටහන් කලේය. 'එයට පිලිතුරු ලබා ගැනීම සඳහා යමෙකු ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන වෙත, විශේෂයෙන් ඔහුගේ 'පාවා දුන් විප්ලවය' නම් පොත කරා යා යුතු ය. ඔහු එම කෘතියෙන් සෝවියට් සංගමය තුල නිලධාරීවාදයේ වර්ධනය ද ස්ටැලින්වාදය ලෙස අප අද වටහාගෙන සිටින, මෙම කුලය පෝෂනය කිරීමට හා ආරක්ෂා කිරීමට ගෙතු න්‍යායන් ද විශ්ලේෂනය කර පැහැදිලි කල අතර එය පෙරලා දැමීම ප්‍රචන්ඩ කාර්යයක් වනු ඇතැයි කියා සිටියේය.” [21]

පුරෝකථනය කල හැකි පරිදිම, නව ලේබර් රිවීව් හඳුන්වා දීමෙන් පසුව ඊට එරහිව වමේ කොටස් වලින් මැසිවිලි නැගුනි. එය [ලේබර් රිවීව්], ට්‍රොට්ස්කිවාදී සංකල්ප ඉදිරිපත් කිරීම හා එමගින් “නිකායවාදී” ක්ෂමවිරහිතකම දිරිගැන්වීම කෙරෙහි ඔවුහු විරුද්ධවූහ. යලි අරඹන ලද ලේබර් රිවිව් දෙවන කලාපයේ “මූලධර්ම පිලිබඳ සාකච්ඡාවක් කරා” යන කතුවැකියෙන් මෙම විවේචකයන්ට පිලිතුරු දෙනු ලැබීය:

'ලේබර් රිවිව් වෙත ප්‍රතිපාදන කල කිසිවෙකු විසින් ප්‍රකාශ කරන ලද යම් මතයකට එකඟ නොවන අය, නිකාය වාදය යන 'නොසරුප් වචනයෙන් ' අපගේ සඟරාව බැහැර නොකර, සිය නොඑකඟතා බැරෑරුම්ව ඉදිරිපත් කල යුතුය. තම තර්ක විතර්ක ප්‍රමානවත් ලෙස වර්ධනය කල හැකි පරිදි නොවලහා ද විස්තර සහිතව ද ඉදිරිපත් කිරීම වැදගත්ය. ඒවා ප්‍රසිද්ධ කරන්නට අපි කැමැත්තෙන් ඉදිරිපත් වන්නෙමු.'[22]

ස්ටැලින්වාදය පිලිබඳ ඕනෑම සාකච්ඡාවකදී, ඉතිහාසයේ ට්‍රොට්ස්කිගේ භූමිකාව සහ මාක්ස්වාදී න්‍යාය හා දේශපාලනය සඳහා ඔහුගේ දායකත්වයේ සමකාලීන වැදගත්කම යන දෙකේම තීරනාත්මක වැදගත්කම ගැන ලේබර් රිවීව් අවධාරනය කලේය. එය මෙසේ සඳහන් කලේය: 'සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානිය පැහැදිලි කිරීමට සහ සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංඟමය තුල ජනසතු දේපල වල ප්‍රගතිශීලී ස්වභාවය ද එරට පාලනය කල ප්‍රතිගාමී නිලධාරය ද අතර ගැටුමේ අර්ථභාරය තක්සේරු කිරීමට, මාක්ස්වාදයේ දෘෂ්ටි කෝනයෙන් මෙතෙක් සිදු කර ඇති එකම ප්‍රයත්නය නියෝජනය කරන්නේ ට්‍රොට්ස්කිවාදය යි ' [23]

ලේඛනාගාරයෙන් මතුකර ගත් දෙවන කලාපයෙහි මතකයට නඟාගැනීමේ වැදගත්කමෙන් යුත් තවත් ලිපියක් අඩංගු විය. එය නම්, ‍ක්‍රෙම්ලිනය විසින් හංගේරියානු විප්ලවය මර්දනය කිරීම කෙරෙහි චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිචාරය දැඩි ලෙස ගිනියම්වූ හෙලා දැකීමකට ලක්කරමින් මයිකල් බන්ඩා විසින් ලියන ලද ලිපියයි:

'කෘෂෙප්ගේ කතාව එහි සියලු බිහිසුනු විස්තර සහිතව ප්‍රසිද්ධියට පත් කල විට, ජාත්‍යන්තර ස්ටැලින්වාදී ව්‍යාපාරයේ නායකත්වයන් මත එය පුපුරා ගියේ, මාලු අහිනකට ජෙලිග්නයිට් කූරක් වීසි කලාක් මෙන් තැති ගැන්වූ ක්ෂනයකිනි. ඔවුන් අතර වඩාත් පුදුමයට හා අපහසුතාවයට පත් වූයේ චීන කොමියුනිස්ට් පක්ෂ නායකයින් ය. වසර තිහකට ආසන්න කාලයක් ඔවුන් ස්ටැලින් සැලකුවේ, සිය නොවරදින මඟ පෙන්වන්නා, සිය නිර්දෝෂී ගුරුවරයා, සිය සුධීමත් න්‍යායාචාර්යවරයා සහ සිය විශිෂ්ඨ නායකයා ලෙස ය. ස්ටැලින්ගේ සෑම දෙඩවිල්ලක්ම ඓතිහාසික ප්‍රකාශයක් ලෙසත්, සෑම ක්‍රියාවක්ම ජාත්‍යන්තර වැදගත්කමක් ඇති සංසිද්ධියක් ලෙසත්, සෑම පොතක් සහ පත්‍රිකාවක්ම මාක්ස්-ලෙනින්වාදී සාහිත්‍යයේ විශිෂ්ඨ කෘතියක් ලෙසත්, අපෝහක භෞතිකවාදයට ස්ථිරසාර ප්‍රතිපදානයක් ලෙසත් ඔවුන් විසින් සලකා ගත්තේය.

'ඉතිහාසය, චපල සහ හිතුවක්කාර වන්නට පුලුවන, එහෙත් කිසි විටෙකත්, සුරුවම් සහ ඒවාට වන්දනා කරන්නන් පැත්තේ සිටගත්තේ නැත. එන්. එස්. කෘෂෙව් මාධ්‍යය තුලින් ලොවට හෙලි කලේ, ස්ටැලින්, අසංස්කෘතික නිලධරයෙකු, කපටි හොර වෙදෙකු සහ නිර්දය හා කෘෘර පාලකයෙකු ලෙස ය.

'කෘෂෙව්ගේ පතුරුයන හෙලිදරව්ව පිලිබඳව, චීන නායකයින් නිකුත් කලේ ප්‍රවේශම් සහගත හා දෙපිටකට්ටු වචන වලින් පිරි ප්‍රකාශයකි. චීන ජනතාව ඉදිරියේ ස්ටැලින් පුනරුත්ථාපනය කිරීමට උත්සාහ දැරීම හැර එය අලුත් දෙයක් කීවේ නැත. ඒ 1956 අප්‍රේල් මාසයේදී ය. මාස නවයක් තිස්සේ ගුප්ත හා අභූත යයි පෙනෙන නිහඬ බවක් ඔවුන් අනුගමනය කලේය. ලෝක කම්කරුවන් පූර්න පැහැදිලි කිරීමක් ලබා දෙන තුරු තිගැස්මෙන් යුතුව බලා සිටියේය. නමුත් එම බලාසිටීම නිෂ්ඵල විය.

'චීන නායකයින් සිය නිහඬතාව තුලින් ස්ටාලින්ගේ අපරාධ වහංගු කිරීමට තැත් කරන අතර, ඉතිහාසය තමන්ගේම දුෂ්ටත්වයෙන් ලැජ්ජාවටත් ශෝකයටත් පත්ව කෘෂෙප්ගේ කතාවට ලේ වැකි, ඛේදජනක අපරකථනයක් ලිවීමට සූදානම් වෙමින් සිටියේය. එය වනාහි ශ්‍රේෂ්ට හංගේරියානු විප්ලවයයි.' [24]

ක්‍රෙම්ලිනය හංගේරියාවට මැදිහත්වීම චීන තන්ත්‍රය විසින් ආරක්ෂා කිරීම එහි ප්‍රතිගාමී ස්ටැලින්වාදී වැඩ පිලිවෙලට හා දෘෂ්ටිවාදයට සම්බන්ධ කරමින් ප්‍රවේශමෙන් සකස් කල න්‍යායික ලිපියක හැඳින්වීමක් පමනක් වන මෙම ඡේද කියවීමෙන් පසු, මාඕවාදී පාලන තන්ත්‍රයට බන්ඩාගේ පසුකාලීන දේශපාලන අනුවර්තනය සිහිපත් වීම නොවැලැක්විය හැකි ය. එය වඩාත් පිලිකුල් සහගත වන්නේ, ඔහු 1986 දී ජාත්‍යන්තර කමිටුවෙන් බිඳුනේ ස්ටැලින් උත්කර්ෂයට නංවමින් වීම නිසාය.

නිව්ස් ලෙටර් දියත් කිරීම

ලේබර් රිවීව් නිෂ්පාදනය අධීක්ෂනය කරමින් සිටියදී පීටර් ෆ්‍රයර් සමඟ හීලිගේ සාකච්ඡා අඛන්ඬව සිදු වූ අතර, තවත් තීරනාත්මක දේශපාලන මූලිකත්වයකට එය මඟ පෑදීය. ස්ටැලින්වාදයෙන් මිදෙන අයට මෙන්ම අව්‍යාජ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මාවතක් සොයන සටන්කාමී කම්කරුවන් සඳහා සාකච්ඡා මඩුල්ලක් ලෙස ක්‍රියාත්මක විය හැකි “නිවුස් ලෙටර්” පුවත්පතක් ක්ලබ් හි සහයෝගය ද ඇතිව පලකිරිමට භාරගන්නා ලෙස ඔහු ෆ්‍රයර්ට යෝජනා කලේය.

මෙම යෝජනාව පිලිගත් ෆ්‍රයර්, ලේඛකයෙකු ලෙස සිය සුවිශේෂී කුසලතා සහ දක්ෂකම් මෙම ව්‍යාපෘතියට ගෙන ආවේය. බ්‍රිතාන්‍ය වමේ බලගතු බලයක් බවට පත් වීම කරා නිව්ස්ලෙටර් ඔසවා තැබූ ඉදිරිදර්ශනය, පුහුනු කේඩරය හා සංවිධානාත්මක තල්ලුව, හීලි සහ ක්ලබ් සංවිධනය විසින් සම්පාදනය කරන ලදී. නිව්ස්ලෙටර් පලමු කලාපය 1957 මැයි 10 වන දින පල විය. සති දෙකකට පෙර එනම් අප්‍රේල් 27-28 සති අන්තයේ පැවැත්වූ වෝර්ට්ලි හෝල් සම්මේලනය පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් එහි පලවිය. මයිකල් බන්ඩා සහ ක්ලබ් හි අනෙකුත් නායකයින් ක්‍රියාකාරීව සිටි සමාජවාදී සංසදයේ අනුග්‍රහය ඇතිව පැවැත්වූ සම්මේලනයට, බ්‍රිතාන්‍ය වමේ පුලුල් පරාසයක් නියෝජනය කරමින් සහභාගිවූවන්, ස්ටැලින්වාදයේ අර්බුදයේ අර්ථභාරය සහ ඉදිරි මාවත පිලිබඳව සාකච්ඡා කලේය.

නිව්ස්ලෙටර් පලමු කලාපය

බාබරා සහ ක්ලිෆ් ස්ලෝටර් යන දෙදෙනාම මෙම සමුලුවට සහභාගී වූහ. ක්ලිෆ් ස්ලෝටර් ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කි ගෙන ගිය අරගලය දැඩි ලෙස අධ්‍යයනය කරමින් සිටියේය. 'ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමඟ සම්බන්ධ වූ විට, අතට අසුවූ සෑම දෙයක්ම ඔහු කියෙව්වා' බාබරා සිහිපත් කරයි. වෝර්ට්ලි සම්මන්ත්‍රන ස්ථානය “මිනිසුන්ගෙන් පිරී පැවති අතර, සියල්ලෝම වේගවත් වාදවල යෙදෙමින් සාකච්ඡා කල බව ද' ඇයට මතකය. 'හීලි කථාකරනු අසා සිටි බව මට මතකය, අනෙක් සියල්ලන් මෙන් නොව ඔහු කෙතරම් සන්සුන්ව හා විශ්වාසයෙන් සිටියා ද යන්න මගේ සිතට කා වැදුනි. මට මතකයි ඔහු කියූ දේ, මගේ සිතට තදින්ම කා වැදුනේ ‘මෙය පොත් කියවීමට කාලය යි. රුසියානු විප්ලවයේ සැබෑ ඉතිහාසය සොයා ගැනීමට කාලය මෙය යි.,' යන්න පමනයි. එහි කිසි රංගනයක් නොවීය. ඔහු මෙබඳු තත්වයක් අපේක්ෂාවෙන් දශක ගනනාවක් පොරොත්තුව සිටින්නට ඇත. ඔහු ඉතා ආකර්ශනීය වූ අතර අනෙක් සියල්ලන්ගෙන් කැපී පෙනුනි. ” [25]

හීලිගේ ප්‍රකාශය සැලකිල්ලට ගත් සම්මන්ත්‍රනය පිලිබඳ නිව්ස්ලෙටර් වාර්තාවෙන් බාබරාගේ මතකය සනාථ කෙරුනි: “මේ පොත් කියවීමේ කාලය මිස ඒවාට ගිනිතැබීමේ කාලය නොවේ. ඔහු පැවසීය. “කල්තියා ලේබල් ඇලවීම අපට එපා. අපි වාචාල කථාවලින් අත් මිදෙමු. කිසිවෙකු ඉහලින් නොතබන්න. කියවා අධ්‍යයනය කරන්න. සෑම මතයක්ම පරීක්ෂා කරන්න. ” [26]

සමුලුවේදී තීරනාත්මක මතභේද ඉස්මතු විය. විරුද්ධවාදීන්ගෙන් සහ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සාමාජිකයින්ගෙන් සැලකිය යුතු කොටසක්, ස්ටැලින්ගේ අපරාධ හෙලා දැකීමට සූදානම්ව සිටියද ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයේ සමාජ හා දේශපාලන මූලයන් ගැඹුරින් විමසා බැලීමට විරුද්ධ වූහ. ඔවුන්ගේ බොහෝ විවේචන සදාචාරාත්මක හෙලා දැකීමේ මට්ටමේ පැවතුනි. අන් සියල්ලටත් වඩා ට්‍රොට්ස්කිගේ ලේඛන හා ඔහු නියෝජනය කල ජාත්‍යන්තර මාක්ස්වාදී සම්ප්‍රදාය කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුහු විරුද්ධ වූහ.

'සමුලුවට සහභාගී වූ අය අතර කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසඥ කන්ඬායමේ ප්‍රමුඛ සාමාජිකයෙකු වූ ජෝන් සැවිල් ද විය. ස්ටැලින්වාදයේ අර්බුදයට සරාර්ථයෙන්ම ජාතිකවාදී ප්‍රතිචාරයක් දක්වමින් ඔහු තර්ක කලේය. “විකාර කතා කිරීම නවත්වා බ්‍රිතාන්‍ය කම්කරු පන්තියට වැදගත් යයි අදහස් කරන මාක්ස්වාදී මත සමූහයක් ගොඩනැගීම අවශ්‍ය යැයි සැවිල් තර්ක කල බව' නිව්ස්ලෙටර් වාර්තා කලේය. 'එයින් ගම්‍ය වනුයේ, ඉතා ස්වල්පයක් පමනක් දැන කියාගෙන තිබෙන අපේම කම්කරු පන්ති ව්‍යාපාරය සහ එහි ඉතිහාසය අධ්‍යයනය කිරීමයි. ” [27]

නමුත් 1957 දී සමාජවාදී ව්‍යාපාරයට මුහුන දීමට සිදු වූ සැබෑ ගැටලුව, 1820 ගනන් වල මැන්චෙස්ටර් හෝ ලිවර්පූල් වල සිදු වූ දේ ගැන දැනුම අප්‍රමානවත්වීම නොව, 1920 ගනන් වලදී රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුල සිදු වූයේ කුමක්ද යන්නයි.

සුවිශේෂී ජාතික අත්දැකීම් හා සම්ප්‍රදායන්හි ප්‍රතිඵලයක් ලෙස පන්ති විඥානයේ වර්ධනය පැහැදිලි කල, 'ඉංග්‍රීසි කම්කරු පන්තිය නිමැවීම' නම් ප්‍රකට කෘතියේ කතුවරයා ලෙස පසුව ප්‍රසිද්ධියට පත් වූ ඊ.පී තොම්සන් යන තවත් කැපී පෙනෙන කොමියුනිස්ට් පක්ෂයේ විසංවාදියෙකුවූ ඉතිහාසඥයෙක් සමඟ සැවිල් සමීපව කටයුතු කලේය. නිව් ලෙෆ්ට් රිවිව් හි පූර්වගාමියා ද වූ ද නිව් රීසනර් නම්වූ සඟරාවක් නිෂ්පාදනය කිරීමට සැවිල් සහ තොම්සන් සහයෝගයෙන් කටයුතු කලහ. ට්‍රොට්ස්කිවාදය සහ ස්ටැලින්වාදය අතර න්‍යායික හා දේශපාලන අරගල ගැන යලි අවධාරනය කිරීම් බෙහෙවින්ම අනදාල බවත් නව වාමාංශික කාණ්ඩ ගැසීමකට එය හානිකර බවත් තොම්සන් සැලකීය. වෝර්ට්ලි සම්මේලනයෙන් ටික දිනකට පසු නිව්ස්ලෙටර් වෙත ලියූ ලිපියක, ට්‍රොට්ස්කිවාදයේ දැඩි විරුද්ධවාදියෙකු වූ (සහ දිගටම එලෙස සිටි) තොම්සන් අවධාරනය කලේ, “ට්‍රොට්ස්කිවාදී” යනුවෙන් ලේබල් කර ඇති 'ආස්ථානයන් සහ ආකල්ප, නිකාය භේද පාෂානිභූතවීමට සහ චිරස්ථායි වීමට නැඹුරු වන බවයි. ... '[28]

ක්ලිෆ් ස්ලෝටර් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සම්බන්ධ වෙයි

ක්ලිෆ් ස්ලෝටර් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමඟ සබඳතා ගොඩනඟා ගත්තේ සහ ජෙරී හීලි සමඟ පුලුල් දේශපාලන සාකච්ඡාවකට අවතීර්න වූයේ, දේශපාලන යලි කාන්ඩ ගැසීමේ මෙම ආතති සහගත කාල පරිච්චේදය තුල ය. මෙය දශක තුනක් පුරා පැවති දේශපාලන සහයෝගීතාවයක ආරම්භය සනිටුහන් කලේය. සැවිල් සහ තොම්සන් නියෝජනය කල ප්‍රවනතාවයට ස්ලෝටර් දැඩි ලෙස විරුද්ධ විය. හතරවන ජාත්‍යන්තරය සඟරාව තුල ප්‍රකාශයට පත් කරන ලද, දශකයකට පසු ඔහු ලියූ විවාදාත්මක රචනාවක දී ස්ලෝටර්, 1956-57 දී විරුද්ධවාදීන් හා හිටපු ස්ටැලින්වාදීන් අතර මතුවූ න්‍යායික හා දේශපාලන බෙදීම් වල අර්ථභාරය පැහැදිලි කලේය. ස්ටැලින්ගේ අපරාධ හෙලිදරව් වීමෙන් ඔවුන් මවිතයට පත්වූ නමුදු තමන්ගේම රැවටීම ගැන ද ඔවුහු කම්පනයට පත් වූහ. තමන්ගේම චකිතය සහ අපහසුතාවයන් පිලිබිඹු කල,

'ස්ටැලින්වාදී බුද්ධිමතුන්ගේ අතිමහත් බහුතරය දැන් සිය දේශපාලන ගමන් මග සකසා ගන්නේ වෛෂයිකව නොව ආත්මීය වශයෙනි: ඔවුන් තමන්ගේ 'කොමියුනිස්ට්වාදය' දැවැන්ත රැවටීමක් ලෙස දැකගත්තේය; ඔවුන් ජීවත් වූ හා වැඩ කල ලිබරල් කවයන් තුල තවදුරටත් හිස කෙලින් තබා ගැනීමට ඔවුන්ට නොහැකි ය; ස්ටැලින් සහ ස්ටැලින්වාදය පිලිබඳ ඔවුන්ගේ දෘෂ්ටිමය පිලිගැනීම, මිනීමැරුම්, වධහිංසා පැමිනවීම සහ සියලු නිදහස මැඩපැවැත්වීම සඳහා භාවිතා කර ඇති බව දැන ගැනීමෙන් ඔවුහු කෝපයට පත් වූහ යනාදි වශයෙනි.

'දේශපාලනිකව කියතොත්, ඔවුන්ගෙන් යමෙකු දේශපාලනයේ රැඳී සිටියේ නම්, ඉහත ප්‍රතික්‍රියා පිටුපස පැවති අර්ථය වූයේ, රුසියානු විප්ලවයට සහ කොමියුනිස්ට්වාදයට එරෙහි ප්‍රධාන ධනවාදී දෘෂ්ටිමය ප්‍රහාරය පිලිගැනීමයි: එනම්, ස්ටැලින්වාදය යනු එහි සියලු අපචාර හා පාවාදීම් සහිතව සාරාර්ථ වශයෙන් ගත්කල ලෙනින්වාදයේ අඛන්ඩත්වයයි; ස්ටැලින්වාදයේ සාරය නම් 'ප්‍රායෝගික දේශපාලනය' හෝ තත්කාර්යවාදී බල දේශපාලනය සමඟ එක්වූ 'ඒකාධිපතිවාදය' හෝ 'අත්තනෝමතිකවාදයයි”; 'පරමාදර්ශ' ඇතිව සාමාජිකයින් එකතු වී ගොඩනඟන ව්‍යාපාරය, නායකත්වයේ සිටින බලය සොයන්නන් විසින් හුදෙක් ම නරුම ලෙස භාවිතා කරයි.

'මෙම 'අඛන්ඩතාව' ගැන දැනුවත්ව සිටි හිටපු කොමියුනිස්ට්වාදීහු, දැන් විකල්ප සදාචාරාත්මක හා දේශපාලන මූලධර්ම සඳහා යොමු වූහ. ඇත්ත වශයෙන්ම ඔවුන් සොයාගත්තේ, ධනපති ආචාර ධර්ම වල ඉතිරි පහදු සහ ඒවා පිලිගත් ප්‍රතිසංස්කරනවාදී හා ලිබරල් අවස්ථාවාදයේ විවිධාංග පමනි. ඓතිහාසික වශයෙන් විනාශයට හා ජරපත් වීමට මුහුනපා සිටින සමාජ පර්යායකින් ගලා එන හා සෘජුවම ඒවා මත යැපෙන බැවින් මේ කිසිවකට, ස්ථාවර ක්‍රියාව සඳහා මාර්ගයක් හා න්‍යායක් සම්පාදනය කල නොහැක.

'එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1956 න් පසු විකසිතවූ (මේ සම්බන්ධ වචනය සුදුසු නම්) බොහෝ කන්ඬායම්, අවසානයේ ප්‍රතිසංස්කරනවාදී හා ලිබරල් ව්‍යාපාරවල දියවී ගියේය; සමහරවිට, විවෘත හා සෘජු සහයෝගීතාවයේ ස්වරූපයෙන් ද, සමහර අවස්ථාවන්හි දී මතවාදී ලෙස අනුගතවෙමින් ද ස්ටැලින්වාදය වෙතට වඩ වඩාත් සමීපව පාවී ගියෝය. අවශේෂ කොටස් මතවාදී වශයෙන් ඊට එක්වූහ. එයට හේතුව, ජාත්‍යන්තර පරිමානයෙන් ධනවාදය නොනැසී පවතින්නේ ඒ සතු කිසිදු ආවේනික ශක්තියක් තුලින් නොව, ස්ටැලින්වාදී නිලධරය විසින් ඒ සඳහා සපයන ලද මුක්කු මත පමනක් වූ බැවිනි. නිර්ධන පන්ති විප්ලවය ඇන හිටුවන සමාජ බලවේගය මෙයයි.

'සමාජවාදීන් යැයි කියා ගන්නා අය අතර දේශපාලන හා න්‍යායික කර්තව්‍යයන් තිබෙන තාක් දුරට එය එක්කෝ ස්ටැලින්වාදය වෙතට යා යුතුය, නොඑසේ නම් විප්ලවවාදී මාක්ස්වාදය වෙත එනම් ට්‍රොට්ස්කිවාදය වෙත ආකර්ෂනය විය යුතුය. නිව් ලෙෆ්ට් රිවීව් ප්‍රකාශනයට 1956 සිට නිශ්චිත අඛන්ඬ පැවැත්මක් තිබුනි. එය යුනිවර්සිටීස් හා ලෙෆ්ට් රිවිව් ද නිව් රිසනර් ද එකට ඒකාබද්ධ කිරීමකි. මේ දෙකම පැරනි කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් සහ අනෙකුත් වාමාංශික බුද්ධිමතුන් අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි.

නිව් රිසනර් යනු, 1956 දී උතුරු එංගලන්තයේ සිටි කොමියුනිස්ට් පක්ෂයේ භින්නමතික සාමාජිකයින් සඳහා පිටපත් කරන ලද විපක්ෂයේ බුලටීනය වන අතර එහි මුල් නම, ද රිසනර් ය. එහි කර්තෘවරුන් වූ එඩ්වඩ් තොම්සන් සහ ජෝන් සැවිල් ට්‍රොට්ස්කිවාදයේ දැඩි විරුද්ධවාදීන් ලෙස දිගටම සිටියවුන්ය. තොම්සන් ට්‍රොට්ස්කිවාදය විස්තර කලේ, බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ නිකායවාදී, අති-වාම සහ විප්ලව විරෝධී ධාරාවක් ලෙස ය. ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් මෙන්ම, තොම්සන් සහ සැවිල් ද, බොල්ෂෙවික් සම්ප්‍රදායෙන් බැහැර ප්‍රභවයන්ගෙන්, විශේෂයෙන් බ්‍රිතාන්‍ය කම්කරු පන්ති ව්‍යාපාරයේ විශේෂිත යයි කියන සමහර සමාජවාදී ගතිලක්ෂන ඇතැයි සැලකුනු අයගෙන් සිය අනාගත වර්ධනය ඇතිකර ගැනීමට උත්සාහ කලහ.

'ඔවුන්, ස්ටැලින්වාදයේ ඓතිහාසික අර්ථයට සහ එයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලයට මුහුනදීම ප්‍රතික්ෂේප කිරීම පිලිබිඹු වූයේ, ට්‍රොට්ස්කිවාදීන් විසින් ගෙනයනු ලැබූ ආකාරයෙන් ස්ටැලින්වාදයට එරෙහි මොනම ව්‍යාපාරයක් වත් ගෙනයාම ප්‍රතික්ෂේප කිරීම තුලිනි. ඔවුන් එය ප්‍රතික්ෂේප කලේ එවැන්නක් 'ප්‍රති කොමියුනිස්ට්වදයට' සමාන වේය යන පදනම මත ය. මේ ආකාරයෙන් ඔවුහු, ලෙනින් සහ ස්ටැලින් අතර අඛන්ඩතාවයක් පිලිබඳ මූලික ආස්ථානය පිලිගත්හ. [29]

ක්ලිෆ් ස්ලෝටර් ඇතුලු දස දෙනෙකුගෙන් යුත් කර්තෘ මන්ඬලයක් පිහිටුවන බව, 1958 ජනවාරි 4 වන දින නිව්ස් ලෙටර් නිවේදනය කලේය. නිවේදනයේ සඳහන් වුනේ, ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාඥයෙකු ලෙස සේවය කරන ස්ලෝටර්, සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසු, කොමියුනිස්ට් පක්ෂයෙන් ඉල්ලා අස් වූ බවයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව කෙන්යාවේ කිකුයු ජනතාව ගෙන ගිය අරගලයේ පසුබිම පිලිබඳව නිව්ස්ලෙටර් හි පල කිරීම සඳහා ස්ලෝටර් විසින් ලියන ලද ලිපි මාලාව 1958 පෙබරවාරි මාසයේදී ප්‍රසිද්ධ කෙරුනි.

ක්ලිෆ් ස්ලෝටර්

1956 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට දිනාගනු ලැබූ බොහෝ කොමියුනිස්ට් පක්ෂ බුද්ධිමතුන් අතුරින් ස්ලෝටර්, මාක්ස්වාදය කම්කරු පන්ති විප්ලවවාදී අරගලයේ මෙවලමක් ලෙස සංකල්පනය කිරීමේදී වඩාත් න්‍යායිකව තිරසර හා ප්‍රගාඪ විය.

කම්කරු පන්තිය තුල අරගලය

1958 මැයි මාසයේදී නිව්ස් ලෙටර් සිය පලමු සංවත්සරය සමරන විට, එයට සුබ පැතුම් සහ සහයෝගය පලකරන පනිවිඩ රාශියක් ලැබී තිබුනි. කම්කරු පන්තියේ දේශපාලන වර්ධනය සඳහා එහි දායකත්වය, බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ වාමාංශය තුල සිටි එහි විරුද්ධවාදීන් බොහෝ දෙනෙක් පවා පිලිගත්හ. වාම ට්‍රිබියුන් කන්ඬායමේ නායක මයිකල් ෆුට් මෙසේ ලීවේය.

'21 හැවිරිදි ට්‍රිබියුන් වෙතින් අවුරුද්දක් වයසැති නිවුස් ලෙටර් වෙත සුභ පැතුම්. මේ මොහොතේ කම්කරු ව්‍යාපාරයේ එක් අවශ්‍යතාවයක් නම්, සමාජවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මූලෝපාය පිලිබඳ විවාදයේ විශාල වර්ධනයක් සිදු විය යුතුය යන්න යි. මෙම විවාදය සඳහා නිව්ස් ලෙටර් සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අතර, එය මීටත් වඩා විශාල සංසරනයක් ලබා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. [30]

දඩයමට ලක්ව සිටි ඇමරිකානු නවකතාකරුවා වන හොවාර්ඩ් ෆාස්ට් ද සුබ පැතුම් එවීය. ෆ්‍රීඩම් රෝඩ්, සිටිසන් ටොම් පේන් සහ, [ස්ටැන්ලි කුබ්රික් විසින් අධ්‍යක්ෂනය කරන ලද 1960 චිත්‍රපටයට ආවේශය සැපයූ] ස්පාටකස් ද ඔහුගේ හොඳම කෘතීන් අතර වේ. 1956 දී කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳීමෙන් පසුව ස්ලෝටර්, ලන්ඩනයේදී හීලී හමුවූ අතර හීලි, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව ෆාස්ට් සමඟ සාකච්ඡා කර තිබුනි. හතරවන ජාත්‍යන්තරය විසින් ගෙන ගිය අරගලය කෙරෙහි ලේඛකයාගේ ගෞරවය නිව්ස්ලෙටර් වෙත ඔහුදුන් පනිවිඩය තුල ප්‍රකාශයට පත්විය: “මෙම වසර තුල ප්‍රකාශයට පත්වන (නිව්ස්ලෙටර්) වෙනුවෙන් ඔබට මගේ හෘදයංඟම හා උනුසුම් සුබ පැතුම්. ප්‍රශ්නය නම් සෑම තැනකදීම හා සෑම දෙයක් පිලිබඳව මම ඔබත් සමඟ එකඟ වනවාද යන්න නොවේ; එකඟතාවයේ අවම පදනමක් තිබේ නම් මම බොහෝ දේවලට සහාය දෙමි; ඔබේ වැදගත්කම පවතින්නේ, සාමය සඳහාත්, මානව විනීතභාවයේ අනෙකුත් සියලුම අංශයන් සඳහාත් අරගලය පූර්ව-භංග කිරීමේ අයිතිය කොමියුනිස්ට් පක්ෂයට ලබාදීම ඔබ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම තුල ය.' [31]

ස්ටැලින්වාදයට එරෙහිව බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් ගෙන ගිය අරගලය කම්කරු පන්ති ව්‍යාපාරය තුල ඔවුන්ගේ මැදිහත් වීම ශක්තිමත් කලේය. අත්‍යවශ්‍ය නමුත් හුදකලා අංගයක් නොවූ, ස්ටැලින්වාදයේ සාපරාධී භූමිකාව හෙලිදරව් කිරීම, බ්‍රිතාන්‍යයේ සහ ජාත්‍යන්තරව කම්කරු ව්‍යාපාරය හා ප්‍රතිගාමී කම්කරු නිලධාරි තන්ත්‍රයන් මත එයට පැවති ආධිපත්‍යය පරාජය කිරීම සඳහා වූ පුලුල් අරගලයේ කොටසක් විය. කම්කරු පන්තියේ අවශ්‍යතා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත් කල ඒජන්සිය වූයේ, ලේබර් පක්ෂය සහ වෘත්තීය සමිති සම්මේලනය යන දෙකම පාලනය කල සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නිලධාරි තන්ත්‍රයන් ය. මෙම දේශපාලන සන්දර්භය තුල බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යභාරය වූයේ, එකිනෙකට බැඳුනු නිලධාරි තන්ත්‍රයන්ට එරෙහිව වඩවඩාත් සටන්කාමී වන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක වර්ධනය අවහිර කිරීමයි.

පහල සාමාජිකත්වය අතරින් වැඩෙන ව්‍යාපාරයට සටන්කාමී ප්‍රායෝගික නායකත්වය සහ දේශපාලන මඟ පෙන්වීම ලබා දීම සඳහා නිවුස් ලෙටර් 1958 පුරාම ආක්‍රමනශීලීව මැදිහත් විය. විශේෂයෙන් සැලකිය යුතු මැදිහත් වීමක් වූයේ, “බ්ලූ යූනියන්,” එනම් ජාතික ඒකාබද්ධ ස්ටීව්ඩෝර්ස් සහ ඩෝකර්ස් (එන්ඒඑස්ඩී) ප්‍රතිවාදී සංගමයට වෙත නිව්ස්ලෙටර් විසින් ලබා දුන් සහයෝගයයි. යෝධ ප්‍රවාහන හා පොදු සේවක සංගමයේ (ටීජීඩබ්ලිව්යූ) පාලනයෙන් බැහැරව ක්‍රියා කල එය දැඩි සටන්කමිත්වයක් පිළිබඳව කීර්තියක් ඉසිලූවේය. සිය සාමාජිකයින් එන්ඒඑස්ඩීයට බැඳීම ගැන උරනවූ ටීජීඩබ්ලිව්යූව, නිල වෘත්තීය සමිතියේ සාමාජිකයෙකු නොවූ අයෙකු “වෘත්තීය සමිති ගත නොවූ' කෙනෙකු බව ප්‍රකාශ කරමින් බ්ලූ යුනියන්වාදීන්ට රැකියා ලැබීම වැලැක්වීමට උත්සාහ කලේය. 1958 ජනවාරි අග භාගයේදී ලිවර්පූල් හි “මර්සෙයිසයිඩ්” හි ටීජීඩබ්ලිව්යූයේ සාමාජිකයින් 9000 කට වැඩි සංඛ්‍යාවක්, “බ්ලූ යුනියන්” සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහා වැඩ වර්ජනය කලහ. “බ්ලූ යුනියන්” සමිතියට එල්ල වූ ප්‍රහාරයන්ට විරුද්ධව නිව්ස්ලෙටර් විමසුවේ, සමිති නායකයින්ගේ වැටුප් සඳහා දායක වූ අය පමනක් වෘත්තීය සමිති ගත වූවන් ලෙස සලකන්නේ ද කියාය.

වර්ජනයෙන් ඉක්බිතිව ලේබර් රිවිව් හි ප්‍රකාශයට පත් කරන ලද “බ්ලූ යුනියන්” අරගලය පිලිබඳ තක්සේරුව තුලදී, ලිවර්පූල් හි ක්‍රියාකාරීව සිටි ක්ලබ් සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වූ බිල් හන්ටර් මෙසේ ලිවීය:

'නිසැකවම උතුරු වරායන්හි 'බ්ලූ යුනියන්' ව්‍යාපාරය ප්‍රගතිශීලී වර්ධනයක් විය. සමහර විට අද වෘත්තීය සමිති ව්‍යාපාරය හමුවේ ඇති ලොකුම කර්තව්‍යය නම්, සාමාජිකයින්ගේ පාලනය යලි පිහිටුවීමයි. වෘත්තීය සමිති ව්‍යූහය ප්‍රතිසංවිධානය කිරීමකින් තොරව සහ පුපුරන සුලු වර්ධනයන්ගෙන් තොරව මෙය සිදුවිය හැකි යැයි සිතීම මෝඩකමකි.

'තරයේම නිලධාරිකරනය වූ හා බොහෝ විට දූෂිතවූ බ්‍රිතාන්‍යයේ වෘත්තීය සමිතිවල අද ඇති සාමාජික 'ප්‍රජාතන්ත්‍රවාදය' ධනපති සමාජය තුල පවතින ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම බොහෝ විට මිල අධික විගඩමකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු කිසිසේත්ම ඡන්දය පාවිච්චි කිරීම, යෝජනා ඉදිරිපත් කිරීම සහ නායකයින් බුද්ධිමත් වන තෙක් හා ඔවුන්ගේ හදවත උනුවන තුරු බලා සිටීම පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.

'නිලධාරී තන්ත්‍රය සාමාජිකයින්ගේ සේවකයෙකු වීම නතර වුවහොත් හා එය සාමාජිකයන්ගේ ස්වාමියා ලෙස පෙනී සිටීමට හා, මැතිවරන වලින් තේරී පත්වීමට වඩා “පත්වීම්” ක්‍රමයක් තුලින් තම පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සාහ කරන්නේ නම්, සටන්කාමී සේවකයින් සහ කන්ඬායම් නිරන්තරයෙන් පහතට ඇද දමන්නේ නම්, එවිට එය නෙරපා හැරීම නොවැලැක්විය හැකිය. එසේම, හාම්පුතුන්ට සහ වෘත්තීය සමිති නායකත්වයට එරෙහිව කම්කරුවන්ට සටන් කිරීමට සිදු වීම නොවැලැක්විය හැකිය. එපමනක් නොව, සුදුසු තත්වයන් පැමිනි විට, වෘත්තීය සමිති සාමාජිකයින්ගේ විශාල කන්ඩායම්, තමන්ට 'සිර ගෙදරක්' බවට පත් වී ඇති --එනම්, කම්කරුවන්ගේ සියලු මූලිකත්වය ගැනීම්, සිය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේම අදහස් ප්‍රකාශ කිරීමට දරන ප්‍රයත්නයන් කූඩු කර, බන්ධනගතකර, කොටින්ම ඒවා මැඩලීමට ක්‍රියා කරන සිර ගෙදරක් බව පත්ව ඇති--සමිතිවලින් බිඳී එලියට ඒමට ක්‍රියා කරනු ඇත.' [32]

හන්ටර්ගේ ලිපිය ලියනු ලැබුවේ වසර 63 කට පෙර, වෘත්තීය සමිති, ඒවායේ වත්මන් ප්‍රතිගාමී පරිහානියට සාපේක්ෂව, බොහෝ විට කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පන්ති අරගලයේ බලකොටු ලෙස පෙනෙන්නට තිබුන කාලයේය. එහෙත් තැචර්වාදය, බ්ලෙයාර්වාදය ලේබර් පක්ෂයේ සහ ටියූසී හි නිල ආගම වීමට දශක ගනනාවකට පෙරදීම බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු, පැරනි නිලධාරිවාදී ව්‍යූහයන්ට එරෙහිව සාමාජිකයින්ගේ කැරැල්ලක් වර්ධනය කිරීම සඳහා සිය වැඩ කටයුතු මෙහෙය වූහ.

කම්කරු අරගලයන්ට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ලබා ගත් වර්ධනය මත පදනම්ව නිව්ස්ලෙටර්, ලන්ඩනයේදී ජාතික කාර්මික කම්කරු සාමාජික සම්මේලනයක් සඳහා කැඳවීමක් නිකුත් කලේය. දඩයම් කිරීම සහ තහනම් කිරීමේ තර්ජනයන් නොතකා, 1958 නොවැම්බර් 16 දින පැවති මෙම සමුලුවට කම්කරුවෝ 500 ක් සහභාගී වූහ. නියෝජිතයින් අතිමහත් බහුතරයකින් කම්කරුවන්ගේ ඉල්ලීම්වල ප්‍රඥප්තියක් සම්මත කර ගත් අතර, එයට කම්කරුවන්ගේ පාලනය යටතේ සහ හිටපු අයිතිකරුවන්ට කිසිදු වන්දියක් නොගෙවා, ප්‍රධාන කර්මාන්ත ජනසතු කිරීමේ කැඳවීම ඇතුලත් විය.

සම්මේලනයේ හමුවේ පැවැත්වූ සිය කතාවේදී ස්ලෝටර්, මෑත කාලීන වාර්ගික කෝලාහල වල අර්ථභාරය විශ්ලේෂනය කල අතර, විරැකියාව ඉහල නැඟීම පිලිබඳව සංක්‍රමනික කම්කරුවන්ට දොස් පැවරීමට ගත් උත්සාහයන් හෙලා දුටුවේය:

'මේ රටේ සිටින්නේ සුදු නොවන මිනිසුන් 200,000 ක් පමන වන අතර, ඔවුන්ගෙන් 70,000 සිට 80,000 දක්වා රැකියා කරන කම්කරුවන් ය. නමුත් රැකියා විරහිතයන් 500,000 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින අතර එම සංඛ්‍යාව මසකට 38,000 කින් ඉහල යමින් තිබේ.

'හාම් පුතුන්ගේ පංතියේ අරමුන, සුදු නොවන මිනිසුන් සිටීම අපසරනයක් සඳහා යොදා ගැනීම බව වාර්ගික කැරලිවලින් පැහැදිලිවම ඇඟවුම් කෙරේ.

'වාර්ගික අගතියේ පදනම පවතින්නේ අපේ සමාජ ක්‍රමය තුල ය. මලයාව, කොරියාව සහ සයිප්‍රසය යන පාට සමකින් යුත් මිනිසුන් සිටින රටකට එරෙහිව යුද්ධ කිරීමට, එම මිනිසුන් පහත් යැයි ඔවුන්ට නොකියා තරුන සොල්දාදුවන් එහි යැවීමට ඔබට නොහැකිය.... වාර්ගික අගතියේ මූලික හේතුව අධිරාජ්‍යවාදයයි. …පතල් කම්කරුවන් අතර කියමනක් තිබේ: 'අපි එතනට යනකොට අපි ඔක්කොම එකම පාටයි.' විරැකියාව සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. යැපුම් දීමනාව (ඩෝල්) සම්බන්ධයෙන් සෑම කෙනෙකුම එකම වර්නයෙන් යුක්තයි.

'අවසාන විග්‍රහයේදී අධිරාජ්‍යවාදයේ පරාජය පමනක් මෙම ගැටලුව ද ඒ සමගම කම්කරු පන්තියේ සියලු ගැටලු ද සැබවින්ම විසඳනු ඇත.' [33]

ධනපති පුවත්පත්, ලේබර් පක්ෂය සහ වෘත්තීය සමිති නිලධරය සහ ඇත්ත වශයෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ඉතිරි පහදු, නොවැම්බර් 16 දා නිව්ස්ලෙටර් සම්මන්ත්‍රනයේ සාර්ථකත්වයට ප්‍රතිචාර දැක්වූයේ උමතු ට්‍රොට්ස්කි විරෝධී උද්ඝෝෂනයකිනි. “රෙඩ් ක්ලබ් සංවිධානය හෙලිදරව් වේ,' “ඔබ ඇස ගසාගෙන සිටිය යුතු මිනිසුන්”, “ඔවුන්ගේ ඉලක්කය වැඩිපුර වර්ජන,” “පැය 24රේ වැඩ වර්ජන සඳහා 600ක් කුමන්ත්‍රනය කරති” සහ “රෙඩ් ක්ලබ් සංවිධානයේ අය රහස් සමුලුවක් පවත්වති” වැනි සිරස්තල නිතරම පුවත්පත්වල පල විය. 1959 ආරම්භයේදී බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් ප්‍රතිචාර දැක්වූයේ, කම්කරු ඉල්ලීම් ප්‍රඥප්තිය සඳහා සහයෝගය ගොඩනැගීම සඳහා සියලුම ප්‍රධාන කර්මාන්ත මධ්‍යස්ථානවල රැස්වීම් පැවැත්වීමේ ව්‍යාාපාරයක් දියත් කරන බව නිවේදනය කිරීමෙනි. 'නිව්ස්ලෙටර් විශ්වාස කරන පරිදි, සිටින වෘත්තීය සමිති සාමාජිකයන් සමාජවාදී බැනරයක් යටතේ දේශපාලන කටයුතු වලට සහභාගී කරවීම සඳහා කැපවී සිටින සංවිධානයකට පුලුල් සහයෝගයක් තිබේ නම්, මෙම රැස්වීම්, එවැන්නක් දියත් කිරීමේ පදනම සකස් කරනු ඇත.' [34]

නිව්ස් ලෙටර්හි 1958 දෙසැම්බර් 6 කලාපය. පසුගිය මාසයේ පැවති ජාතික සාමාජික සම්මේලනයෙන් පසුව, එම පත්‍රයට එරෙහිව දියත් කරන ලද දඩයමට ජෙරී හීලි දුන් පිලිතුරක් එහි ඇතුලත් විය.

එම කලාපයේම ප්‍රකාශයට පත් කරන ලද (සහ ක්ලිෆ් ස්ලෝටර් ඇතුලු කර්තෘ මන්ඬල සාමාජිකයින්ගේ අත්සනින් යුතුව) සැලසුම් කරන ලද රැස්වීම් පිලිබඳ තවත් ප්‍රකාශයකදී නිව්ස්ලෙටර් කියා සිටියේ, “අපේ පැත්තෙන් ගත් කල, සටන්කාමීන්ගේ අවශ්‍යතා හා ගැටලු වලට ගැලපෙන්නාවූත් වෘත්තීය සමිති තුල සහ ඉන් පිටත ඔවුන්ගේ සටන ඉදිරියට ගෙන යාමට උදවුකාරී වන්නා වූත් යම් ආකාරයක පහල සාමාජික සංවිධානයක් අත්‍යවශ්‍ය වන කාලය වේගයෙන් එලැඹෙමින් පවතින බව අපට ඒත්තු ගොස් තිබේ. ” [35]

සෝෂලිස්ට් ලේබර් ලීගය ආරම්භ කිරීම

සෝෂලිස්ට් ලේබර් ලීගය (එස්එල්එල් ) පිහිටුවීමේ තීරනය, 1959 පෙබරවාරි 28 දා නිවුස්ලෙටර් කලාපයේ ප්‍රසිද්ධියට පත් කෙරින. කර්තෘ මන්ඬලය නව සංවිධානයේ අරමුනු පැහැදිලි කලේය:

සෝෂලිස්ට් ලේබර් ලීගය උත්සාහ කරන්නේ, වෘත්තීය සමිති සටන්කාමීන් සමාජවාදී ධජය යටතේ දේශපාලන කටයුතු වලට ගෙන ඒමට ය.

'සේවයෙන් පහකිරීමට සහ දඩයමට ලක්වීමට එරෙහි ඔවුන්ගේ අරගල ජයග්‍රහනය කිරීමට සහ ඔවුන්ගේ ගැටලු සහ අදහස් ලේබර් පක්ෂයේ හදවතටම ඇතුල් කිරීමට එය උත්සාහ කරනු ඇත.

'වෘත්තීය සමිති හා කම්කරු පක්ෂය මත ආධිපත්‍යය දරන වර්තමාන දක්ෂිනාංශික නායකයින්, සමාජවාදී ප්‍රතිපත්ති හා සමාජවාදී වැඩපිලිවෙලකට ප්‍රතිඥා දුන් නායකයින්ගෙන් විස්ථාපනය කිරීමට එය උත්සාහ දරනු ඇත.

'තහනමට හා දඬුවම් කිරීම්වලට සහ සටන්කාමීන් දඬුගැසීමට එරෙහිව එය සටන් කරනු ඇත.' [36]

එම ප්‍රකාශය මඟින් “ටෝරීන්ගේ අධිකාරය සදහටම ඉවත් කර දැමීම සඳහා දේශපාලන හා කාර්මික යන දෙඅංශයෙන්ම, සමස්ත කම්කරු ව්‍යාපාරයම අරගලයක් තුල බලමුලු ගැන්වීම” ඉල්ලා සිටියේය. එය තවදුරටත් මෙසේ පැවසීය: “අපේ නිම් වලලු ඊලඟ මහ මැතිවරනයේ ජයග්‍රහනයට පමනක් සීමා නොවේ. අපට අවශ්‍ය ධනවාදය අවසන් කිරීමටයි. ” [37] ජාත්‍යන්තර තලය සම්බන්ධයෙන් එම ප්‍රකාශය මෙසේ සටහන් කලේය:

'යටත් විජිත සහ අර්ධ විජිත වලින් බ්‍රිතාන්‍ය හමුදාව ඉවත් කිරීම, ජලකර (එච්) බෝම්බ නිෂ්පාදනය අවසන් කිරීම හා රොකට් කඳවුරු ඉදිකිරීම නතර කිරීම වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. ලේබර් ආන්ඩුවක් යටතේ සමාජවාදී ඉල්ලීමක් අපි ලෝක කම්කරුවන් වෙත ඉදිරිපත් කරන අතර, ඒ යටතේ සෑම තැනකම ජලකර බෝම්බ නිෂ්පාදනය අවසන් කරන ලෙසත් සමාජවාදය කරා පෙරට යන ලෙසත් ඉල්ලා සිටිමු.' [38]

නිව්ස්ලෙටර්, සෝෂලිස්ට් ලේබර් ලීගය පිහිටුවීම නිවේදනය කරයි

නිව්ස්ලෙටර් පෙර දුටු පරිදිම, එස්එල්එල් පිහිටුවීමට ලේබර් පක්ෂය, ධනේශ්වර මාධ්‍ය සහ ස්ටැලින්වාදීන් ප්‍රතිචාර දැක්වූයේ දරුනු ප්‍රතිප්‍රහාරයකිනි. ලේබර් පක්ෂය හා විධිමත් පරිදි සම්බන්ධ වෙමින්, ඒ තුල සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන ඉදිරියට ගෙන යාමට ඇති අයිතිය සඳහා එස්එල්එල් හි ඉල්ලීම ක්ෂනිකව ප්‍රතික්ෂේප කරන ලදී. ඒ වෙනුවට ලේබර් පක්ෂය, එස්එල්එල් තහනම් කර ට්‍රොට්ස්කිවාදීන් ලෙස හඳුනා ගත් සියලුම දෙනා තම සංවිධානයෙන් නෙරපා හැරීමේ උත්සාහය තීව්‍ර කලේය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාාපාරය හමුවේ තිබූ තේරීම වූයේ, එක්කෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයේ විනයට හිස නමා එස්එල්එල් විසුරුවා හැරීමයි. එමඟින් ධනවාදයට එරෙහි අරගලයේ යෙදී සිටි කම්කරුවන් අතර විප්ලවවාදී කටයුතු මුලුමනින්ම අත්හැර දැමීමයි. නැතිනම් ලේබර් පක්ෂ නිලධරයට එරෙහිව විවෘතව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීම පෙරට ගෙන යාමයි.

හීලිට අනුව, 1947 සිට අත්‍යාසාමාන්‍ය ඉවසීමකින් යුතුව ලේබර් පක්ෂය තුල ගෙනගිය කන්ඩායම් වැඩ කටයුතු, සෑම විටම උපායක් විය. එය වලංඟු වුනේ, අව්‍යාජ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, කම්කරු අරගල තුල එහි ස්වාධීන මැදිහත් වීම මුලුමනින් නතරවීමේ තැනට යටපත් නොකෙරෙන තාක් දුරටය. හරියටම මෙම හේතුව නිසාම, 1950 ගනන් අවසානය වන විට, එය ක්‍රියාත්මක කරනු ලැබූ ඇතුලු වීමේ උපක්‍රමය වියැකී ගොස් තිබුනි. කම්කරු පන්තියේ අරගලයන්හි බරපතල ප්‍රායෝගික මැදිහත්වීමක් අනිවාර්යයෙන්ම ලේබර් පක්ෂය සහ ටීයූසී සමඟ ගැටුමකට තුඩු දුන්නේය. ට්‍රොට්ස්කිවාදීන්ට සිදු වූයේ, හැකි තාක් දුරට පන්ති අරගලයන්හි ඔවුන්ගේ මැදිහත් වීම් වර්ධනය කිරීමට හා පුලුල් කිරීමට උත්සාහ කිරීම හෝ ලේබර් පක්ෂය නිල වශයෙන් අනුමත කරන ලද ව්‍යූහයන් තුල නිෂ්ක්‍රීය, මුලුමනින්ම ප්‍රචාරකවාදී පැවැත්මක් ගෙනයාම අතර තෝරා ගැනීමකටය. ඔවුන් තෝරා ගත්තේ මුලින් කිවූ මාවතය.

කෙසේ වෙතත් මෙයින් ඇඟවුම් කෙරුනේ, ලේබර් පක්ෂය තුල කරගෙන ගිය මැදිහත් වීම් අතහැර දැමීම නොවේ. ඒ වෙනුවට, එස්එල්එල් පිහිටුවීම, ඇත්තෙන්ම ලේබර් පක්ෂය තුල සිටි වඩාත් සටන්කාමී කොටස් අතර එහි බලපෑම පුලුල් කලේය. එස්එල්එල් තහනම් කිරීමෙන් වසර පහකට පසු පක්ෂය, ලේබර් පක්ෂයේ තරුන සමාජවාදීන්ගේ ජාතික කමිටුවේ බහුතර ආසන පාලනය කල අතර, කීප් ලේෆ්ට් නම් එහි පුවත්පත අල්ලා ගත්තේය.

'වෙරෝනාවේ පවුරු වලින් එපිට ලෝකයක් නැත' යි රෝමියෝ ඔහුගේ නෙරපීම ගැන දැනගත් විට විලාප නැඟීය. චිරකාලීන පැබ්ලෝවාදී අවස්ථාවාදීන්ට සහ අනෙකුත් ප්‍රති-ට්‍රොට්ස්කිවාදී ප්‍රවනතාවන්ට, ලේබර් පක්ෂයේ සමාජවාදයට විරුද්ධ බලකොටු වලින් පිටත ලෝකයක් නොතිබුනි. මහජන පීඩනය යටතේ දක්ෂිනාංශික නිලධරයේ විප්ලවීය පරිවර්තනය පිලිබඳ ඔහුගේ ගුරාගේ සංකල්පයට අනුකූලව,පැබ්ලෝවාදී ටෙඩ් ග්‍රාන්ට් ට ලේබර් පක්ෂයෙන් බිඳීමේ කාලය කිසි විටෙකත් පැමිිනන්නේ නැත. උපක්‍රමය මූලෝපාය බවට පත්වූ අතර මූලෝපාය ජීවන රටාවක් බවට පත් විය. ඊලඟ දශක කිහිපය තුල, එනම්, විල්සන්, කැලහන්, වෙව්ලන ෆුට්, කින්නොක්, බ්ලෙයාර් සහ බ්රවුන්ගේ පාලන කාලය තුල, 2008 දී 93 වන වියේදී මිය යන තුරුම ග්‍රාන්ට් වඩාත්ම පක්ෂපාතී හා දැඩි ලේබර්වාදියෙක් බව පෙන්නුම් කලේය.

ටෙඩ් ග්‍රාන්ට්

සෝෂලිස්ට් ලේබර් ලීගය පිහිටුවීම නිවේදනය කල ලේබර් රිවිව් කලාපය, ක්ලිෆ් ස්ලෝටර් (ජෝන් ඩැනියෙල්ස් සමඟ) එහි සමකර්තෘ ලෙස කටයුතු කරමින් නිකුත් කෙරුනු මුල් කලාපය විය. එහි කර්තෘ ප්‍රකාශනයේ සඳහන් වූයේ, එස්එල්එල්හි න්‍යායික මෙවලම ලෙස ලේබර් රිවිව්හි කාර්යභාරය, “බ්‍රිතාන්‍ය විප්ලවය සාක්ෂාත් කර ගැනීමට රාජ්‍ය බලය අල්ලා ගැනීම හා එය පවත්වා ගෙන යාම සඳහා කම්කරු පන්ති සටන්කරුවන්ගේ හා නායකයින්ගේ පරම්පරාවකට අධ්‍යාපනය ලබා දීමට නොඅඩු දෙයක්” බවයි. [39]

පැබ්ලෝවාදීන් සමඟ යලි එකමුතු වීම පිලිබඳව ජාත්‍යන්තර කමිටුව තුල මතුවෙමින් පැවති අරගලය අතරතුර, එනම් 1961-63 කාලයේ, ඔහුගේ ලේඛනවල වර්ධනය කරන ලද හා ආරක්ෂා කරන ලද න්‍යායික කරුනු බොහොමයක් මතු කරමින් මෙම නිකුතුවේ පල කර තිබූ 'විප්ලවය සහ පන්ති විඥානය' යන මූලික රචනාවට ද ස්ලෝටර් දායක වූයේය.

1959 සහ 1964 අතර කාලය තුල ස්ලෝටර්ගේ න්‍යායික කටයුතු කේන්ද්‍රගත කෙරුනු මාක්ස්වාදයේ තීරනාත්මක ජයග්‍රහනය වූයේ, ඉතිහාසය පිලිබඳ අපෝහක භෞතිකවාදී සංකල්පය සහ, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව පිලිබඳ එහි සනාථකරනයයි. එම නිසා මාක්ස්වාදීන්ගේ කේන්ද්‍රීය කර්තව්‍යයව පැවතියේ, කම්කරු පන්තිය නූතන සමාජයේ මූලික විප්ලවවාදී බලවේගය වන්නේය යන්න ප්‍රශ්නයට භාජනය කරමින්, නිශ්චිතවම එය ප්‍රතික්ෂේප කිරීම දක්වාම පවා ගමන් කල, සියලු ආකාරයන්ගේ ප්‍රතිමාක්ස්වාදී සංශෝධනවාදයන්ට එරෙහිව, න්‍යායයේ දී මෙන්ම භාවිතයේ දී ද, මෙම ජයග්‍රහනය ආරක්ෂා කිරීමයි. කම්කරු පන්තියේ ඓතිහාසික කාර්යභාරය ගැන ස්ලෝටර්ගේ අවධාරනය සුවිශේෂිතවම බැඳී තිබුනේ, විප්ලවවාදී පන්ති විඥානය වර්ධනය කිරීමේ දී සක්‍රිය හා අත්‍යාවශ්‍යක බලයක් වූ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ භාවිතය පිලිබඳ ප්‍රශ්නය සමඟ ය.

ස්ලෝටර් සිය රචනය ආරම්භ කලේ, පන්ති විඥානය පිලිබඳ සාකච්ඡාවේදී මතු කල න්‍යායික කරුනු, 1956 සිදුවීම් මඟින් ජනනය වූ වමේ දේශපාලන කැලඹීම්වලට සම්බන්ධ කිරීමෙනි:

'පසුගිය වසර දෙක තුල බොහෝ මාක්ස්වාදීන්ට ඔවුන්ගේ මූලික උපකල්පන නැවත සලකා බැලීමට සිදු ව තිබූ අතර, මාක්ස්වාදී න්‍යාය පිලිබඳ ඔවුන්ගේ අවබෝධය සමහර විට පසු කාලීන “කොමියුනිස්ට්වාදයට” - මේ සඳහා වඩාත් ගැලපෙන පදයක අවශ්‍යතාවය ඇති නිසා, එය 'ස්ටැලින්වාදය' ලෙස මෙහි හැඳින්වෙනු ඇත - පක්ෂපාතී වීම නිසා විකෘති වී ඇති බව ඔවුහු තේරුම් ගෙන ඇත්තාහ. මෙම ලිපියේ අරමුන, මාක්ස්වාදයේ සියලුම සංශෝධනවාදීන්ගේ මූලික ඉලක්කය වන සංකල්පයේ මූලය වෙත - එනම්, කම්කරු පන්ති විප්ලවය සහ කම්කරු පන්තියේ බලය යන සංකල්පය වෙත - යාමය. සමාජවාදී ව්‍යාපාරයේ සියලුම “නව චින්තකයන්” මෙන්ම බාහිර විවේචකයන් ද ඒ හෝ මේ ආකාරයෙන් අභියෝග කරන්නේ, ධනේශ්වර ක්‍රමය තුල එකම විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය පමනක් බවටත්, එය පන්ති රහිත සමාජයක් කරා වන ප්‍රථම පියවර ලෙස නොවැලැක්විය හැකි පරිදි තමාගේම ආඥාදායකත්වය තහවුරු කරනු ඇති බවටත් වූ මාක්ස්ගේ උපකල්පනයටය. කම්කරු පන්තියට තවදුරටත් විප්ලවය නො කල හැකි පරිදි හෝ ඊට තවදුරටත් විප්ලවය අවශ්‍ය නොවන පරිදි ධනවාදය වෙනස් වී ඇතැයි සමහරු කියා සිටිති. 1917 නොවැම්බරයේ රුසියාව තුල විප්ලවය ඇති වූ කල්හි, සමාජවාදයේ පරිපූර්න නිෂේධනය වන මර්දනකාරී හා කෲර ඒකාධිපතිත්වයක් පැන නැගීම වැලැක්වීමට කම්කරු පන්තියට නොහැකි වූ බැව් අත්දැකීම්වලින් සනාථ වී ඇතැයි අන්‍යයෝ පවසා සිටිති.' [40]

ස්ලෝටර් පැහැදිලිවම ප්‍රතිචාර දක්වමින් සිටියේ, බෝල්ෂෙවික් විප්ලවයෙන් පසුව ලැබූ පරාජයන්හි පදනමේ සිට, කම්කරු පන්තිය එහි ඓතිහාසික කාර්යභාරයෙන් හෙම්බත්ව සිටි බවටත්, විප්ලවවාදී ක්‍රියාකාරීත්වය සඳහා වෙනත් ඥාතෘවරයෙකු සොයාගත යුතුව ඇති බවටත් නිගමනය කල, අලාමුලා ව සහ දිරිය බල සිඳී සිටි වාමාංශික බුද්ධිමතුන්ටය. මෙසේ කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හර්බට් මාකියුස්ගේ ලියවිලි උදාහරන සපයන ලද අතර, එහිලා ඔහු හුදෙකලාව සිටියේයැයි කිසිසේත් පැවසිය හැකි නොවේ. ෆ්‍රෑන්ට්ස් ෆැනන්ගේ Wretched of the Earth (මිහිතලයේ අසරනයෝ) කෘතිය, විප්ලවවාදී නැගිටීම්වල අපිකේන්ද්‍රය කම්කරු පන්තියේ බලවත් කොටස්වලට නිවෙස් වූ අධිරාජ්‍යවාදී රටවලින් මුලුමනින්ම බැහැරට මාරු කර හැරියේය. රැඩිකල් සමාජ විද්‍යාඥ සී. රයිට් මිල්ස් සිය “Letter to the New Left (නව වමට ලිපියක්)” තුල, 'වෙනසෙහි ඓතිහාසික නියෝජිතයා පිලිබඳ ගැටලුව' මාක්ස්වාදී-නොවන භාෂිතයෙන් යලි සකස් කල යුතුව තිබිනැයි ලියන විට ඔහු එමඟින් පිඬු කර දැක්වූයේ කම්කරු පන්තිය කෙරෙහි සුලු ධනේශ්වර බුද්ධිමතුන්ගේ ආන්තික සංශයවාදයයි. නව වමේ න්‍යායවාදීන්, 'දියුනු ධනපති රටවල කම්කරු පන්තිය ඓතිහාසික නියෝජිතයා ලෙස හෝ, වැදගත්ම නියෝජිතයා ලෙස වුව සලකා ගනිමින්, දැන් එම අපේක්ෂාවන්ට එරෙහිව තථ්‍ය ලෙස පවතින ඓතිහාසික සාක්ෂ්‍ය හමුවේ පවා,' එකී කම්කරු පන්තියට ඒ සා තදින් ඇලී ගැලී සිටීම අසාධාරනයයි ඔහු සැලකීය. 'කම්කරු පාරභෞතිකයක්' යනු 'දැන් වික්ටෝරියානු මාක්ස්වාදයේ දායාදයක්' වන අතර එය දැන් මුලුමනින්ම යථාරූපී නොවන්නකැයි මිල්ස් ලක්ෂනනය කලේය. [41]

සී. රයිට් මිල්ස් සමඟ ලේඛක සාවුල් ලන්ඩෝ (විකිමීඩියා කොමන්ස්) [Photo by Institute for Policy Studies / CC BY 2.0]

ස්ලෝටර් පිලිතුරු දෙමින් සිටියේ 'නව වම' වෙත ආකර්ෂනය වෙමින් සිටි ව්‍යාකූල වූ බුද්ධිමතුන්ට පමනක් නොවේ. ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් තුල සංසරනය වෙමින් පැවැති පසුගාමී ප්‍රතිමාක්ස්වාදී සංකල්ප පැබ්ලෝවාදී ප්‍රවනතාවයන් තුල ද පිලිරැව් දෙන බව ද, එහිදී ඒවා සුලු ධනපතීන් මත පදනම් වූ දේශපාලන සංවිධාන හා ව්‍යාපාර වලට යටත් වීම සාධාරනීකරනය කිරීම සඳහා යොදා ගැනෙන බව ද ඔහු හොඳින් දැන සිටියේය.

ස්ලෝටර්ගේ රචනය, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය තහවුරු කිරීමට මාක්ස් හා එංගල්ස්ට හැකියාව ලබා දුන් න්‍යායික විශ්ලේෂනයේ හා වෛෂයික සමාජ ක්‍රියාවලියේ අන්තර් ක්‍රියාකාරිත්වය විභාග කරමින්, මාක්ස්වාදී චින්තනයේ ඓතිහාසික වර්ධනය පිලිබඳ ප්‍රවේශම්කාරී විමර්ශනයක් සම්පාදනය කලේය. ඔහු කොමියුනිස්ට් ප්‍රකාශනය කෙරේ සුවිශේෂී අවධානයක් යොමු කලේය:

'ඓතිහාසික වැදගත්කම අතින් අසමසම වන මෙකී ලේඛනයේ දැක්වෙන පන්ති අරගලය, සමාජයේ ආර්ථික ව්‍යූහය, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව, ධනවාදයේ ආවශ්‍යක ස්වයං විනාශය පිලිබඳ අදහස් සහ අපෝහක විධි ක්‍රමයමත්, ඒවායේ සරල බව හා පරිනත භාවය අතින් විශ්මයජනක ය. පලමුවෙන් සමාජවාදය ගැන දැනගත් කල ප්‍රකාශනය කියවන බොහෝ අය, එය තවත් එක් පුස්තිකාවක් පමනකැයි සිතති. එතෙකුදු වුව, ඇතැම් විට එය, මාක්ස් සහ එංගල්ස්ගේ අන් සියලු පසුකාලීන කෘතීන් සියල්ල එහි සන්දර්භය තුල අර්ථ කථනය කල යුතුව ඇති, ඔවුන්ගේ වඩාත්ම පරිපූර්න කෘතිය ලෙස ගිනිය හැකිය.' [42]

කොමියුනිස්ට් ප්‍රකාශනය යල් පැන ඇතැයි කියන්නෝ, නිර්ධන පන්තිය විප්ලවවාදී පන්තියක් ලෙස කෙරෙන මාක්ස්ගේ ලක්ෂනනය තේරුම් ගැනීමට අසමත් වූවෝ වෙති:

'විප්ලවයක් යනු, තමන්ගේම උත්සුකයන් මත, පවත්නා සමාජ ව්‍යූහය පෙරලා දැමීමේ කාර්යය ඉටු කර ගැනීම සඳහා පංතියක් විසින් බලය අල්ලා ගනු ලැබීමයි. ඉහත සිදුවූ සියලු විප්ලවවලදී, ජයග්‍රාහී පන්තිය විසින් පැවැති සමාජ කොන්දේසිවල සමස්තය පෙරලා දැමීමක් සිදු කෙරුනේ නැත. ධනපති පන්තිය වැනි පන්ති සම්බන්ධයෙන් ගත් කල, දේශපාලන විප්ලවයේ අරමුන වූයේ, කලින් පැවති අයත් කර ගැනීමේ අධිකාරී ප්‍රකාරය වෙනුවට ඒ වනවිටත් වර්ධනය වී තුබූ තම අධිකාරී ප්‍රකාරය ආදේශ කිරීමයි. එහෙත් ධනවාදයේ නොවැලැක්විය හැකි ප්‍රවනතාවය වන්නේ, මූලික පන්ති දෙකක් පමනක් එකිනෙකා හා ගැටෙන තතු නිර්මානය කරමින්, ධනේශ්වර වැටුප් ශ්‍රම සූරාකෑම හැර අන් සියලු අත්කරගැනීමේ ප්‍රකාරයන් පසෙකට අතුගා දැමීමයි. ඉතිහාසය තුල කම්කරු පන්තියෙහි අද්විතීය කාර්යභාරයට යතුර වන්නේ මෙයයි. ප්‍රාග්ධනය අහෝසි කිරීම මඟින් එය එහි ආවශ්‍යක ප්‍රතිවිරුද්ධය වන වැටුප් ශ්‍රමය අහෝසි කරන හෙයින්, ධනපති ක්‍රමයේ ප්‍රකාරය වෙනුවට තමන්ගේම අත්කරගැනීමේ ප්‍රකාරයක් ආදේශ කිරීමට කම්කරු පන්තියට නොහැක. නිර්ධන පන්තියේ උත්සුකයන් යොමු කෙරෙන්නේ, නිර්ධන පන්තියක් නැති, සූරාකෑමක් නැති, රාජ්‍යයක් නැති සමාජයක් කරා ය.' [43]

සෝෂලිස්ට් ලේබර් ලීගය ආරම්භ කිරීම, සමාජවාදය සඳහා අරගලයේ සමස්ත ඉතිහාසය ගැබ් කර ගත් ක්‍රියාවලියක් තුල පිහිටුවීමට ස්ලෝටර්ගේ රචනය යත්න දැරීය. පවත්නා නිලධාරීවාදී සංවිධාන මාක්ස්වාදයෙන් වෙන් කරනු ලබන යා කල නොහැකි අගාධය, මෙකී ඉතිහාසයේ පදනම මත පෙන්නුම් කිරීමට ස්ලෝටර් කටයුතු කලේය:

'සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ටැලින්වාදය යන දෙකම මාක්ස්වාදයේ කේන්ද්‍රීය අදහස්වලින් බිඳී වෙන් වී ඇත යන්න කම්කරු පන්තියේ විප්ලවවාදී අත්දැකීම් තුලින් තහවුරු කෙරී ඇත. සියලු බරපතල දේශපාලන කාරනාවල සහ සමාජයේ සියලුම මූලික ආයතන වල ආවශ්‍යක පන්ති පදනම මෙම දෙපාර්ශ්වයම ප්‍රතික්ෂේප කරති. පාර්ලිමේන්තුව ද ඇතුලු ධනේශ්වර රාජ්‍යය බිඳ දැමිය යුතු බවත්, ඒ වෙනුවට කම්කරු බලයේ අවයව පිහිටුවිය යුතු බවත් වශයෙන් වන දෘෂ්ඨිය මෙම දෙගොල්ලෝම ප්‍රතික්ෂේප කරති. දෙපාර්ශ්වයම සැබෑ කම්කරු පන්තික ජාත්‍යන්තරවාදයෙන් වෙන් වී ඇත්තාහ. දෙපාර්ශ්වයම අන් සියල්ලටම වඩා මහජන සමූහයන්ගේ ක්‍රියාකාරීත්වයට හා මුල පිරීම්වලට බිය වන අතර, එම නිසා කම්කරුවන් 'වෙනුවෙන්' ක්‍රියා කරන නිලධාරිවාදී පක්ෂ යන්ත්‍රන හෝ රාජ්‍ය පද්ධති ගොඩනඟති. මාක්ස්වාදයෙන් ඉවතට වන මේ අපගමනයන් සියල්ල, කොමියුනිස්ට් ප්‍රකාශනයේදී සහ 1848 විප්ලවයන් පිලිබඳ ඔහුගේ ලියවිලි වලදී මාක්ස් විසින් හෙලා දකිනු ලැබ ඇත.' [44]

ස්ලෝටර්ගේ නිබන්ධනය ලියන ලද්දේ, දැනට පවතින නිලධර සංවිධාන වමට තල්ලු කිරීමට වඩා යමක් ගැන සැලකිල්ලක් නොමැති පක්ෂයක් පිලිගැනීමට නොවේ.

1959 මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ව තිබූ ආරම්භක සම්මේලනය සඳහා සූදානම් වෙමින් නිව්ස්ලෙටර් හි කර්තෘ මන්ඬලය, විස්තීර්න ක්‍රියාමාර්ගික ප්‍රකාශයක් පල කලේය. එහි ආරම්භක කොටස වූ “සෝෂලිස්ට් ලේබර් ලීග් යනු කුමක්ද?” විසින් පැහැදිලි කෙරුනු පරිදි:

'සෝෂලිස්ට් ලේබර් ලීගය යනු, කම්කරු හා වෘත්තීය සමිති ව්‍යාපාරය තුල වර්තමානයේ පවතින පන්ති පාවා දීමේ ප්‍රතිපත්ති වෙනුවට, ඒ තුල සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කිරීමට කැප වූ මාක්ස්වාදීන්ගේ සංවිධානයකි.

'සමාජවාදීන් යැයි කියාගන්නා අන් අයගෙන් වෙනස් ලෙස මාක්ස්වාදීහු, ධනවාදය පවතින ආකාරයෙන් ප්‍රතිසංස්කරනය කිරීමට හෝ සාමකාමී ක්‍රම මඟින් එය සමාජවාදය බවට හැරවීමට හැකි යයි විශ්වාස නොකරති.

'සියවසකට වැඩි කලක් පුරා කම්කරු පන්ති අරගලවල අත්දැකීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, රාජ්‍ය යන්ත්‍රයේ පාලනය හා නිෂ්පාදන මාර්ගවල අයිතිය සිය'ත රඳවා ගැනීම සඳහා ධනේශ්වර පන්තිය සිය සකලවිධ ශක්තියම යොදවනු ඇති බවයි.

'ධනේශ්වර ක්‍රමය පෙරලා දැමිය හැක්කේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සඳහා වන කම්කරු පන්තියේ අරගලය තුලින් පමනක් බව මාක්ස්වාදීන්ගේ පිලිගැනීමයි. හුදෙක් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමෙන් පමනක් ධනේශ්වර ක්‍රමය විනාශ කල නොහැක. කම්කරු නියෝජිතයින් පාර්ලිමේන්තුවට සහ පලාත් පාලන ආයතන වලට සහභාගී වීම මඟින් සමාජවාදය සඳහා අරගලයට ආධාර කල හැකි නමුත්, ඒ, එම නියෝජිතයින්ගේ සටන සංවිධිත කම්කරු පන්තියේ සෘජු ක්‍රියාකාරිත්වය සමඟ බැඳී ඇත්තේ නම් පමනි.

'වෘත්තීය සමිතිවල හා ලේබර් පක්ෂයේ වත්මන් නායකයන්ට ධනවාදය අවසන් කිරීම, කම්කරු පන්තියට බලය ගැනීම සහ සමාජවාදය ගොඩනැගීම සඳහා වූ අධිෂ්ඨානයක් නැත.

'වෘත්තීය සමිතිගතවූවන්ට සහ ලේබර් පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ට, සමාජවාදී මූලධර්ම සඳහා කැප වූ නව නායකත්වයක් ගොඩ නැගීම සඳහා, ඔවුන්ගේම අත්දැකීම් පදනම් කරගත් හවුල් ක්‍රියාකාරකම් සහ දේශපාලන සාකච්ඡා තුලින් ආධාර කිරීම සෝෂලිස්ට් ලේබර් ලීගයේ ප්‍රධාන කර්තව්‍යයක් වෙයි. [45]

තවමත් ලේබර් පක්ෂය තුල සිටින සිය සාමාජිකයින් නෙරපීමට එරෙහිව සටන් කරමින් සහ අනුබද්ධ වීමේ අයිතිය දිගින් දිගටම ඉල්ලා සිටිමින්, තමන් කෙටිකාලීන සංවිධානාත්මක උත්සුකයන් වෙනුවෙන් මූලධර්ම සඳහා වූ සිය අරගලය කැප නොකරනු ඇති බව එස්එල්එල් සංවිධානය මනාව පෙන්වා දුන්නේය. බොහෝ මාධ්‍යමික ප්‍රවනතා, ලේබර් හා ටියූසී නිලධාරී තන්ත්‍රයන් සමඟ සෘජු ගැටුමක් ඇතිවීම වලක්වා ගනු වස් තුමූම බෙලහීනත්වයට පත් වී ගෙන හුන් අයුරු එය සටහන් කලේය:

'සෝෂලිස්ට් ලේබර් ලීගය ආරම්භ වී ඇත්තේ එවැනි මාධ්‍යමික කන්ඩායම්වල අත්දැකීම් නැවත සිදු කිරීම සඳහා නොව, මෙම නව කාල පරිච්ඡේදය තුල දක්ෂිනාංශික නායකයන්ට සහ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට එරෙහිව නව ආකාරයේ අරගලයක් මෙහෙයවීම සඳහා ය.

'මාක්ස්වාදීන්ගේ සංවිධානයක් අවශ්‍ය වන්නේ හුදෙක් න්‍යායික අධ්‍යාපනයේ අරමුන වෙනුවෙන් සහ ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සඳහා පමනක් නොව, ධනේශ්වර ක්‍රමයට එරෙහිව සිය ආසන්නතම අරගලයේදී කම්කරුවන්ට ආධාර කිරීමේ සහ නායකත්වය ලබා දීමේ අරමුනු ද වෙනුවෙනි.

'ලීගය පිහිටුවා මාසයක් ඇතුලත එය තහනම් කිරීම, ප්‍රවාහන, නැව් තටාක, ගොඩනැගිලි සහ ඉංජිනේරුමය කර්මාන්තවල අරගලයේ යෙදී සිටින කම්කරුවන්ට, මාක්ස්වාදීන් සහ ඔවුන්ගේ පුවත්පත වන නිවුස්ලෙටර් ආධාර කර ඇති ආකාරය වෙනුවෙන් පිදූ උපහාරයකි.

'සෝෂලිස්ට් ලේබර් ලීගය විසින් ඉදිරිපත් කරන ලද විකල්පය, පන්ති සහයෝගිතා ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නන් හා ඒවා භාවිතයට යොදන්නන් සඳහා කවර බැරෑරුම් ප්‍රතිවිපාක ජනනය කරනු ඇත්දැයි දක්ෂිනාංශය දකියි.

'සෝෂලිස්ට් ලේබර් ලීගයට සහ නිව්ස්ලෙටර් පුවත්පතට එරෙහි දඩයමට, අපේ සංවිධානය සහ අපේ පුවත්පත බිඳ දැමීමේ සිය අරමුනු සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇත. සමාජවාදීන් සිදු කර ඇති එකම අපරාධය වන්නේ සැබෑ සමාජවාදී ප්‍රතිපත්තියක් සඳහා වැඩ කිරීමේ යුතුකම හඳුනාගෙන එය ඉටු කිරීමයි. ඔවුන් නෙරපා දැමීමට එරෙහිව අපි අධිෂ්ඨාන සහගත අරගලයක් කරන්නෙමු.' [46]

'මාක්ස්වාදීන් යනු කම්කරු පන්ති ජාත්‍යන්තරවාදීන්ය' යනුවෙන් නිවේදනය කරමින් ආරම්භ කල 'සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාත්‍යන්තර දැක්ම' සම්බන්ධ සාරාත්මක කොටසක් මෙම ප්‍රකාශයට ඇතුලත් විය. [47] එම කොටස මඟින් අධිරාජ්‍යවාදයට එරෙහිව සෝවියට් සංගමය කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම සඳහා එස්එල්එල්හි කැපවීම ප්‍රකාශ කල අතරම, ස්ටැලින්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනය සම්බන්ධයෙන් කෙටි සමාලෝචනයක් ද සම්පාදනය කෙරින. 'අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම සඳහා සියලුම යටත්විජිත හා පරාධීන ජනයාගේ අරගලවලට ' එස්එල්එල්හි සහාය නිවේදනය කල එම ප්‍රකාශය, 'ඒ, කිසියම් දයානුග්‍රහයක් මත නොව, බ්‍රිතාන්‍ය කම්කරුවන් සම්බන්ධයෙන් ගත් කල මෙය, පොදු සතුරාට එරෙහි පොදු සටනක් වන බැවිනැ'යි කියා සිටියේය. [48] එස්එල්එල්ය, අධිරාජ්‍යවාදයට එරෙහි සටන බ්‍රිතාන්‍යය තුල කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයට සම්බන්ධ කලේය:

'බ්‍රිතාන්‍යයේ සිටින සංක්‍රමනික කම්කරුවන් හා සුදු කම්කරුවන්ට පොදු පන්ති උත්සුකයන් අපි ඉස්මතු කරමු.

වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදීම, ධනේශ්වර පන්තියේ උත්සුකයන්ට පමනක් සේවය කරයි. එබැවින් අපි සෑම ආකාරයකම වර්ගවාදී ප්‍රචාරයන්, උසිගැන්වීම් හෝ ප්‍රචන්ඬ ක්‍රියාවන්ට එරෙහිව සුදු සහ කලු කම්කරුවන්ගේ ඒකාබද්ධ විරුද්ධත්වයක් ඉල්ලා සිටිමු.' [49]

කම්කරු පන්තියේ අරගල තුල, සිය කේන්ද්‍රීය දිශාවනතිය සාමාන්‍ය සාමාජිකයන් කෙරේ යොමු කෙරෙමින්, එහි සමස්ත දැවැන්ත සටන් කිරීමේ ධාරිතාවය පාලක පන්තිය සමඟ ගැටුම සඳහා බලමුලු ගැන්වීමේ අරමුනින් යුතුව එස්එල්එල් මැදිහත් වීමේ තීරනාත්මක වැදගත්කම, එම ප්‍රකාශය විසින් අවධාරනය කෙරින:

'එක් සටන්කාමියෙකු දොට්ට දැමීමෙන් (සේවයෙන් පහ කිරීමෙන්) ඔවුන් අභියෝග කරන්නේ, සංවිධානාත්මක කම්කරු පන්තියේ සමස්ත බල පරාක්‍රමයටම බැව් හාම්පුතුන්ට දැනී යා යුතුය.

'එක්කෝ කම්කරුවන් උද්ධච්ච හාම්පුතුන්ට ඔවුන්ට වැටහෙන භාෂාවෙන් පිලිතුරු දිය යුතුය, නැතහොත් කම්කරු පන්තියට සිය සංවිධානයත් මෙතෙක් එය දිනාගෙන ඇති සියල්ලත් කැබැල්ලෙන් කැබැල්ල කැපී යන ආකාරය දැකගන්නට සිදු වනු ඇත.

'වඩාත් අත්දැකීම් සහිත සහ විශ්වාසදායී සටන්කරුවන්ගෙන් සමන්විත සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සෑම කර්මාන්තයක් සඳහාම ගොඩනැඟීමටත්, එකී කමිටු ස්ථානීය පරිමානයෙන්, ප්‍රාදේශීය වශයෙන් සහ අවසානයේ ජාතික මට්ටමින් සම්බන්ධ කිරීම සඳහාත් සෑම දිරිගැන්වීමක්ම ලබා දිය යුතුය.

කම්කරු අවශ්‍යතා හා අපේක්ෂාවන්ට ඍජුව අනුකූලතාවය දක්වන, කම්කරුවන් විසින්ම ගොඩනඟනු ලබන සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු තුලින්, ප්‍රධාන කාර්මික අරගල සඳහා සූදානම් වීමේ සියලු උපාය විධි කම්කරු පන්තිය සතුව ඇත.'[50]

සාමාන්‍ය කම්කරුවන් සම්බන්ධ මූලෝපාය විස්තාරනය කිරීමෙන් අනතුරුව එන කොටස, 'මාක්ස්වාදියෙකු වීමෙන් අදහස් කරන්නේ කුමක්ද' යනුවෙන් නම් කර තීබින:

'මාක්ස්වාදීහු සියලුම කම්කරුවන් අතර වඩාත්ම සවිඥානක අය වෙති. ඔවුන් සමාජවාදය හෝ එය සාක්ෂාත් කර ගැනීම සඳහා වන අරගලය දෙස බලන්නේ විඥානවාදී ආකාරයකින් නොව, විද්‍යාත්මක ආකාරයකිනි.

'ඔවුන් තම ප්‍රතිපත්ති සහ වැඩපිලිවෙල පදනම් කරගන්නේ, සමාජය තුල ක්‍රියාත්මක වන වෛෂයික පන්ති බලවේගයන් පිලිබඳ අධ්‍යයනයක් මත හා, කම්කරු පන්තියේ සැබෑ ආස්ථානය සහ අවශ්‍යතා පිලිබඳ අධ්‍යයනයක් මත ය. මාක්ස්වාදය යනු කම්කරු පන්ති අරගලයේ සහ කම්කරු පන්ති බලයේ විද්‍යාවයි.

'මාක්ස්වාදය විද්‍යාවක් වන බැවින්, එය විද්‍යාවක් ලෙස හැදෑරිය යුතුය. එම නිසා සෝෂලිස්ට් ලේබර් ලීගය, සෑම රටකම කම්කරු පන්ති ව්‍යාපාරයේ අත්දැකීම් තුලින් එම අත්දැකීම්වල නියාම හා පාඩම් පෙන්වා දෙමින් තම සියලුම සාමාජිකයින් වෙත මාක්ස්වාදී න්‍යායය පිලිබඳව ක්‍රමානුකූල හා පරිපූර්න අධ්‍යාපනයක් ලබා දෙයි.

නමුත් මාක්ස්වාදය යනු හුදු න්‍යායයක් නොව, මානව ක්‍රියාකාරීත්වය පිලිබඳ, සහ පලමු ලෙස හා ප්‍රමුඛ ලෙස පන්ති අරගලය පිලිබඳ න්‍යායයක් වේ. එබැවින්, මාක්ස්වාදියෙකු වීම යනු හුදෙක් අධ්‍යයනය කිරීමක් නොව, කම්කරු පන්තිය වෙනුවෙන් සටන් කිරීමට හා වැඩ කිරීමට වඩාත් හොඳින් සන්නද්ධ වීම සඳහා අධ්‍යයනය කිරීමකි. එහෙත් තනි පුද්ගලයෙකු ලෙස සටන් කිරීම ප්‍රමානවත් නොවේ. මාක්ස්වාදීන් සටන් කරන්නේ හා වැඩ කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව මත පදනම් වූ එකඟ වී ගත් පිලිවෙත් සමඟ, ශ්‍රම විභජනයකින් යුතුව, සහ තෝරාගත් හා වගකීමෙන් බැඳී සිටින නායක මන්ඩලවල මඟ පෙන්වීම යටතේ, ශික්ෂිත කන්ඬායමක් ලෙසය.' [51]

මෙම සංස්ථාපන ප්‍රකාශය තුල සෝෂලිස්ට් ලේබර් ලීගය තවමත් තමා ඉදිරිපත් කර සිටියේ, ලේබර් පක්ෂය ඇතුලත විධිමත් ලෙස පිලිගනු ලැබූ ප්‍රවනතාවක් ලෙස වැඩ කිරීමට යත්න දරන ආකාරයකිනි. එහෙත් එහි ක්‍රියාමාර්ගික වැඩපිලිවෙල සහ එයින් ගලා ආ භාවිතය විසින් නිර්නය කෙරුනේ, ලේබර් පක්ෂය ක්ෂනිකවම පාහේ එස්එල්එල් වෙත තහනමක් පැනවීමයි. කම්කරු පන්ති බලයේ පූර්න විභවයේ බර ඒවා මත යෙදවෙන පරිද්දෙන් කම්කරු පන්තියේ අරගලයන්ට මැදිහත් වන ලෙසත්, සෑම ගැටුමක්ම පුලුල් ජාතික හා ගෝලීය පන්ති යුද්ධයක් ලෙස සැලකීම පිලිබඳවත්, පන්තියක් ලෙස සිය ශක්තිය පිලිබඳ දැනුවත්කමක් හා නව සමාජවාදී ලෝක පර්යායක් නිර්මානය කිරීමෙහි ලා සිය ඓතිහාසික කාර්යභාරය පිලිබඳ අවබෝධයක් නිර්ධන පන්තිය තුල වර්ධනය කිරීමටත් සෝෂලිස්ට් ලේබර් ලීගය යෙදූ අවධාරනය, එය සහ ලේබර් පක්ෂය අතර පෑහිය නොහැකි අගාධයක් ඇති කලේය. එහෙත් ලේබර් පක්ෂය තුල ප්‍රවනතාවක් ලෙස වැඩ කිරීම නොකල හැක්කක් බවට පත් කෙරෙමින් පනවා තුබූ තහනම තිබියදීම සෝෂලිස්ට් ලේබර් ලීගය, 1959 මැයි 16 සිට 17 දක්වා නිවාඩු සති අන්තයේ සිය ආරම්භක සමුලුව පැවැත්වීම සඳහා කටයුතු කලේය.

ලේබර් රිවිව්හි ප්‍රකාශයට පත් කරන ලද ලිපියක පීටර් ෆ්‍රයර් මෙම සිදුවීමේ අර්ථභාරය පැහැදිලි කලේය:

'දශක තුනක හුදකලාව සහ හිංසා පීඩා මධ්‍යයේ මාක්ස්වාදීන්ගේ පරම්පරාවක් තිරසාරව රැක ගෙන ආ අදහස්, බ්‍රිතාන්‍ය භූමියේ මුල් බැස ඇති බව, ලන්ඩනයේ විට්සන්ටිඩ් හි පැවති සෝෂලිස්ට් ලේබර් ලීගයේ සමාරම්භක සම්මේලනයෙන් පෙන්නුම් කෙරින. මාක්ස්වාදී ව්‍යාපාරය පැහැදිලි හැඩයක් අත්පත් කොට ගෙන ඇත. එය සිය අභියෝගය ධනවාදයේ, ෆැසිස්ට්වාදයේ, දක්ෂිනාංශික හා ස්ටැලින්වාදී දුර්නායකත්වයන්ගේ, “නව චින්තකයින්ගේ” සහ “නව වමේ” කල්ලි සහ විවිධ නිකායික කන්ඬායම්වල මුහුනට දමා ගසා ඇත. සෑම දඩයම්කාරී ප්‍රහාරයක් ම, සෑම ප්‍රතිෂේධයක් ම, තහනමක් ම, සහ නෙරපා හැරීමක් ම සාක්ෂ්‍ය දරන පරිදි, මේ ඇත්තේ තමන් කියන දේ වෙනුවෙන් බැරෑරුම්ව පෙනී සිටින ව්‍යාපාරයකි; වැඩෙමින් පවතින පන්ති අරගලය තුල නිර්ධන පන්තිය මත පදනම් වූ ව්‍යාපාරයකි; එබැවින්, ප්‍රමානයෙන් ද ආනුභාවයෙන් ද ශීඝ්‍රයෙන් ප්‍රසාරනය වන්නා වූ ව්‍යාපාරයකි. [52]

මතු සම්බන්ධයි

සටහන්:

[17] ලේබර් රිවිව්, 1957 ජනවාරි, වෙලුම 2, අංක 1, පි. 1

[18] එම, පි. 2

[19] එම, පි. 2-3.

[20] එම, පි. 29.

[21] එම, පි. 30.

[22] එම, 1957 මාර්තු-අප්‍රේල්, වෙලුම. 2, අංක 2, පි. 35.

[23] එම.

[24] “චීන සීපී සහ හංගේරියාව” මයිකල් බන්ඩා, ලේබර් රිවිව්, මාර්තු-අප්‍රේල් 1957, වෙලුම. 2, අංක 2, පි. 57.

[25] බාබරා ස්ලෝටර් වෙතින් ඩේවිඩ් නෝර්ත් වෙත, 2021 ජූලි 20 දින විද්‍යුත් තැපෑල.

[26] නිවුස් ලෙටර්, වෙලුම. 1, අංක 1, 1957 මැයි 10, පි. 5

[27] එම, පි. 4

[28] නිවුස් ලෙටර්, වෙලුම. 1, අංක 3, පි. 21

[29] ක්ලිෆ් ස්ලෝටර්, “ට්‍රොට්ස්කිගේ මාක්ස්වාදය ප්‍රහාරයට ලක්වේ,” හතරවන ජාත්‍යන්තරය, 1968 අගෝස්තු, පිටු 45-46.

[30] නිවුස් ලෙටර්, 1958 මැයි 3, පි. 133.

[31] එම.

[32] ලේබර් රිවිව් , “බ්ලු යුනියන්” සංවිධානයට අත නොතබනු! ප්‍රජාතන්ත්‍රවාදය එලඹ ඇත”, වෙලුම 3, අංක 1, ජනවාරි-පෙබරවාරි 1958.

[33] නිවුස් ලෙටර්, 1958 නොවැම්බර් 22, පි. 309.

[34] නිවුස් ලෙටර්, 1959 ජනවාරි 3, පි. 1

[35] එම, පි. 2-3.

[36] නිවුස් ලෙටර්, 1959 පෙබරවාරි 28, පි. 1

[37] එම, පි. 2-3.

[38] එම, පි. 3

[39] සෝෂලිස්ට් ලේබර් ලීගයේ 'අභියෝගය', ලේබර් රිවිව් , අප්‍රේල්-මැයි 1959, වෙලුම. 4, අංක 1, පි. 1

[40] 'විප්ලවය සහ පන්ති විඥානය,'ලේබර් රිවිව් , අප්‍රේල්-මැයි 1959, ඡන්ද. 4, අංක 1, පි. 5

[41] ලිපිය මෙතැනින් ලබා ගත හැකිය.

[42] ලේබර් රිවිව්, 1959 අප්‍රේල්-මැයි, පි. 7

[43] එම, පි. 9

[44] එම, පි. 12

[45] නිවුස් ලෙටර්, “සෝෂලිස්ට් ලේබර් ලීගය අනාගතය දෙස බලයි,” 1959 අප්‍රේල් 11, 108-09 පි.

[46] එම, පි. 110.

[47] එම.

[48] එම, පි. 111.

[49] එම.

[50] එම, පි. 112.

[51] එම.

[52] 'සම්මේලනයේ මාක්ස්වාදීන්,' ලේබර් රිවිව්, 1959 ජූලි-අගෝස්තු, වෙලුම. 4, අංක 2, පි. 40

Loading