ක්ලිෆ් ස්ලෝටර්: දේශපාලන චරිතාපදානයක් (1928-1963) හතරවැනි කොටස

[මෙහි පලවන්නේ Cliff Slaughter: A Political Biography (1928–1963) - Part 4යන මැයෙන් 2021 අගෝස්තු 08දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

ක්ලිෆ් ස්ලෝටර්ගේ මෙම දේශපාලන චරිතාපදානය 1923 හා 1963 අතරතුර කාල පරිච්ඡේදය අලලා ලියැවී ඇත. මෙය එහි හතරවැනි හා අවසන් කොටසයි. 1963 සිට ඔහුගේ මරනය දක්වා කාලයට අදාලව ලියැවෙන චරිතාපදානයේ දෙවැනි කාන්ඩයක් මෙම වසරේ පසුකාලීනව පල කෙරෙනු ඇත.

ක්ලිෆ් ස්ලෝටර්

ස්ලෝටර් ගේ අපෝහකවාදය ගැන ලෙනින්

ලේබර් රිවීව්හි එම කලාපයේ ම “විප්ලවයේ වැඩමුලුව තුල: ලෙනින්ගේ දාර්ශනික සටහන් පොත්” මැයෙන් ස්ලෝටර් විසින් ලියන ලද කොටස් තුනකින් සමන්විත ලේඛනයක මුල් කොටස පල විය. පසුව පොත් පිංචක් ලෙස “අපෝහකය පිලිබඳව ලෙනින්” නමින් ප්‍රකාශයට පත් කෙරුනු මෙම ලේඛනය ස්ලෝටර්ගේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ ද, වඩාත්ම බලගතු වූ ද න්‍යායික කාර්යය බවට පත්විය. මෙම නිබන්ධනය, සමාජ ප්‍රපංචයන් හා දේශපාලන ක්‍රියාවලීන් විශ්ලේෂනය කිරීම කෙරේ අපෝහක භෞතිකවාදය දක්වන සම්බන්ධතාව පිලිබඳව පැහැදිලි කිරීම සඳහා කෙරුනු ප්‍රමුඛ ප්‍රතිපදානයක් විය. පැබ්ලෝවාදය සමඟ යලි එක්සත්වීම සඳහා එස්ඩබ්ලිව්පීයේ ප්‍රයත්නයට එරෙහි අරගලයේ සන්දර්භය තුල මෙම නිබන්ධනයේ වැදගත්කම, 1939-40 දී සමාජවාදී කම්කරු පක්ෂය ඇතුලත කන්ඩායම් අරගලය තුල භෞතිකවාදී අපෝහකය පිලිබඳ ට්‍රොට්ස්කිගේ අර්ථ විවරනය හා සාම්‍ය වේ. 1963 මාර්තුවේ ස්ලෝටර් විසින් ලියන ලදුව එස්එල්එල් ජාතික කමිටුවේ ප්‍රකාශයක් ලෙස නිකුත් කෙරුනු “අවස්ථාවාදය හා අනුභූතිවාදය” යන ලේඛනය ද සමඟ අපෝහකය පිලිබඳව ලෙනින් කෘතිය සමාජවාදී කම්කරු පක්ෂය සමඟ භේදයෙන් ඉක්බිති වර්ෂවලදී ජාත්‍යන්තර කමිටුවේ කේඩරයන්ට අධ්‍යාපනය දීමෙහි ලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය.

තව ද, ජාත්‍යන්තර කමිටුව පුරාම ස්ලෝටර්ට දැක්වුනු ඉහල ගෞරවය බොහෝ දුරටම පදනම් වූයේ එකී කෘතිය සහෝදරවරුන් ආස්වාදයෙන් අධ්‍යයනය කිරීම මතය.

සෝවියට් සංස්කාරකයන් විසින් 1961 දී ලෙනින්ගේ එකතු කල කෘතීන්ගේ නව ඉංග්‍රීසි භාෂා සංස්කරනයක් පල කරනු ලැබීම ප්‍රමුඛ දේශපාලන ශාස්ත්‍රාලික සිදුවීමක් විය. මෙම නව සංස්කරනයට අංක 38 ලෙස නව වෙලුමක් ඇතුලත් විය. මෙම නව වෙලුම සමන්විත වූයේ දර්ශනවාදයේ ප්‍රධාන කෘතීන් සම්බන්ධයෙන් ඔහුගේ අධ්‍යයනය තුල ලෙනින් විසින් තබන ලද සටහන්වල තරමක් විශාල එකතුවකිනි. මෙම සටහන්වල වැදගත්ම කොටස වූයේ “හේගල්ගේ තර්කය පිලිබඳ විද්‍යාව කෘතියෙහි සාරය” සහ “දර්ශනවාදයේ ඉතිහාසය පිලිබඳ හේගල්ගේ දේශන කෘතියෙහි සාරය' යන ඒවාය. තව ද, “අපෝහකයේ ගැටලුව ගැන' නම් අපූර්ව නිබන්ධනයක් ද 38 වන වෙලුමට ඇතුලත් විය. මෙම කෘතීන් ලියා තිබුනේ පලමුවැනි ලෝක යුද්ධය පැතිරී යාමෙන් පසු ලෙනින් ස්විට්සර්ලන්තයට පැමිනීමෙන් ඉක්බිති, 1914-15 කාලයේ ය.

ලෙනින්ගේ එකතු කල කෘති මෙම නව සංස්කරනය ප්‍රකාශයට පත්වීමට ඉහත හේගල් පිලිබඳ ලෙනින්ගේ සටහන් සෝවියට් සංගමයෙන් පිටස්තර ලෝකය මුලුමනින්ම නොදැන සිටියේ නැත. ලෙනින්ගේ දාර්ශනික අත්පොත්වල කායේ ෆිලොසොෆික් නම් ප්‍රංශ භාෂා සංස්කරනයක් 1955 දී පල වී තිබුනු අතර ඒ පිලිබඳව පුලුල් ලෙස අදහස් දැක්වී තිබින.

කෙසේවෙතත්, මෙම අත්පොත් ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත්වීම විසින්, එම සටහන්වල පාඨකත්වය දැවැන්ත ලෙස ප්‍රසාරනය කරනු ලැබ, ලෙනින් පිලිබඳ දේශපාලනික හා විද්වත් සම්භාවනය මත දැවැන්ත බලපෑමක් ඇති කලේය. ලෙනින් අප්‍රමාන ගැඹුරකින් යුත් චින්තකයෙකිය යන්න මෙම සටහන් මනාව තහවුරු කලේය. ඔහු හුදෙක් ඉඩ ප්‍රස්තා පැන නැඟෙන විට ඒවාට සහජ ඥානයෙන් ප්‍රතිචාර දැක්වූ කුසලතා පූර්න ව්‍යවහාරික දේශපාලනඥයෙකු ලෙස නිරූපනය කිරීමේ ප්‍රයත්න සිඳී බිඳී ගියේය. සංකීර්නතම හා වියුක්තතම සංකල්ප ග්‍රහනය කර ගැනීමෙහි සමත් වූ ලෙනින්, ඔහුම ගෝර්කිට ලියූ ලිපියක තමා හඳුන්වා දුන් ලෙස, දර්ශනවාදය “සොයා යන්නෙකු” විය.

ව්ලැඩිමීර් ලෙනින්

38 වන වෙලුම වැදගත් ප්‍රශ්න ගනනාවක් මතු කලේය: 1914-15 කාල පරිච්ඡේදයේ හේගල් සම්බන්ධයෙන් ලෙනින් සිදු කල අධ්‍යයනය, 1917 දී බෝල්ෂෙවිකයන් බලය ගැනීම කෙරේ ඇති සම්බන්ධය කුමක්ද? වියරු ලෝක යුද්ධයක තතු යටතේ බර්න්හි ස්විස් පුස්තකාලයක හේගල්ගේ තර්කනය පිලිබඳ විද්‍යාව ප්‍රවේශමෙන් අධ්‍යයනය කරමින්, දුෂ්කරතම හා වියුක්තතම දාර්ශනික වගන්ති අතර පැය ගනන් ගත කිරීමට ලෙනින් කටයුතු කලේ මන්ද? මෙම අත්පොත් වලින් මතු කෙරුනු තවත් ප්‍රශ්නයක් වූයේ, ලෙනින් ඊට ඉහත දර්ශනය පිලිබඳව ලියා තිබූ කෘතියක් වන භෞතිකවාදය හා අනුභූතික විචාරය සමඟ ඒවායේ සම්බන්ධයයි. මෙම පසු කී කෘතිය “ග්‍රාම්‍ය ” භෞතිකවාදයේ ප්‍රතිසැකසුම් කිරීමක් ලෙස නිරතුරුව විවේචනයට පාත්‍ර වී තිබින. හේගල් සම්බන්ධ ලෙනින්ගේ සටහන් මඟින් ඔහුගේ න්‍යායික දෘෂ්ටිය, නීරස “යාන්ත්‍රික භෞතිකවාදයෙන්” දුරස් වෙමින් භෞතිකවාදයේ හා විඥානවාදයේ “අපෝහක” මිශ්‍රනයක් දිශාවට වූ මූලික යලි දිශානත කිරීමක් සනිටුහන් කෙරිනි ද? හේගල්ගේ ආභාෂය යටතේ ලෙනින් අවසානයේ ආලෝකය දකිමින්, ඉහත දී විඥානවාදයට එරෙහිව පැවැති ඔහුගේ නිර්දය සතුරුකම සැලකියයුතු තරමින් වෙනස් කර ගත්තේ ද?

සෝෂලිස්ට් ලේබර් ලීගයේ නායකත්වය 38 වන වෙලුම ප්‍රකාශයට පත්වීමට පෙර සිටම සටහන් පොත් ගැන දැනුවත්වසිටියේය. ලේබර් රිවිව්හි පීටර් ෆ්‍රයර් විසින් 1958 දී පල කරන ලද “ලෙනින් දාර්ශනිකයෙකු ලෙස”නම් ලිපියක ප්‍රංශ කායේ ෆිලොසොෆික් වෙතින් උපුටා ගත් ඡේද අඩංගු විය. මෙම වැදගත් ලිපිය, ලෙනින් යනු අපෝහක චින්තනයේ සූක්ෂමතාවයන් පිලිබඳ වැටහීමක් නොතිබූ, ලෙනින් යනු යාන්ත්‍රික භෞතිකවාදයට සංසක්තව සිටි අයෙකු ලෙස ද්වේශසහගතව බැහැර කල ඊ.පී. තොම්සන් නිෂ්ප්‍රභ කරනු වස්, සටහන් පොත් වලින් ඡේද උපුටා දැක්වීය. (මෙකී ඡේද ප්‍රංශ භාෂාවෙන් පල වූ සංස්කරනයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ ෆ්‍රයර් විසින්මය.) [73]

දාර්ශනික සටහන් පොත්වල අන්තර්ගතය හා වැදගත්කම එස්එල්එල් නායකත්වය තුල, සහ විශේෂයෙන්ම හීලි, ස්ලෝටර්, ටොම් කෙම්ප් හා සිරිල් ස්මිත් අතර තියුනු සාකච්ඡාවලට විෂය වූ බව නිසැකය. විශේෂයෙන්ම හීලි, එස්ඩබ්ලිව්පීය සමඟ ඒ වනවිට සිදු කෙරෙමින් පැවැති අරගලය තුල ඉස්මතු වූ විධික්‍රමවේදය සම්බන්ධ ප්‍රයුක්තයන් කෙරේ අවධානය කැඳවීමට උත්සුක විය.

1939-40 සමයේ කන්ඩායම් මතභේදය තුල ජේම්ස් බර්න්හැම්ගේ තත්කාර්යවාදයට එරෙහිව ට්‍රොට්ස්කිගේ මැදිහත්වීම සිහිපත් කරමින් එස්එල්එල් ඒ වනවිටත් එස්ඩබ්ලිව්පීයේ පිලිවෙත් නිර්නය කල පහත් මට්ටමේ, තුච්ඡ තත්කාර්යවාදී ගනන් බැලීම් කෙරේ අවධානය යොමු කිරීමට පටන් ගෙන සිටියේය. නව වෙලුම පිලිබඳව නිබන්ධනයක් ලිවීමට හීලි, ස්ලෝටර් පෙලඹවූවා වීමට බොහෝ සේ ඉඩ ඇත. නිබන්ධනය රචනා කිරීමට අභිප්‍රේරනය ලබා දුන් උත්සුකතාවන් පිලිබඳව එහි ප්‍රවේශය තුල පැහැදිලිව දක්වා ඇත:

මේ රට තුල හා සෑම රටකම කම්කරු පන්තියේ විප්ලවවාදී කර්තව්‍යයන් ට පිලිතුරු දීමට මාක්ස්වාදී න්‍යාය වර්ධනය කිරීමෙහි ලා දැන් ආරම්භ වන ක්‍රියාවලිය තුල, මෙම ලේඛනවල පරිපූර්න ලෙසම අමිල මාහැඟිබව සනාථ වනු ඇත. ශත වර්ෂය ආරම්භයේ විප්ලවවාදී නායකත්වය ගොඩ නැඟීමේ කොටසක් ලෙස ලෙනින් න්‍යාය වෙනුවෙන් ඔහුගේ ගාම්භීර ස්වීය ප්‍රතිපදානය සිදු කලේ යම් සේ ද, එමෙන්ම අද දින න්‍යායික වර්ධනය ද සිදු වනු ඇත්තේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ටැලින්වාදී ව්‍යාපාරවල පාවාදීම් හා න්‍යායික පරිහානිය පරාජය කිරීමට කෙරෙන ජීවමාන අරගලයක කොටසක් ලෙස පමනෙකි. මෙම පාවාදීම්වල ප්‍රතිවිපාක පරාජය කිරීම වූ කලී වචන පිලිබඳ ප්‍රශ්නයක් නොව, තම ඓතිහාසික කාර්ය භාරය හා පන්ති අරගලයේ ආවශ්‍යක මූලෝපාය පිලිබඳ සවිඥානකත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය, වර්ධනය කෙරෙමින් පවත්නා න්‍යායයෙන් කම්කරු පන්තිය සන්නද්ධ කල හැකි විකල්ප නායකත්වය ගොඩනැඟීම පිලිබඳ ප්‍රශ්නයකි.

එබැවින්, ලෙනින් කියැවීමෙහි ලා අපේ අරමුන වන්නේ අපේ වර්තමාන ප්‍රශ්න සඳහා වට්ටෝරු සොයා ගැනීම නොව, මෙම විශිෂ්ඨ චින්තකයා හා දේශපාලන නායකයා විසින් භාවිතා කෙරුනු විධික්‍රමය පිලිබඳ තීක්ෂන ඥානයක් ලබා ගැනීමයි. මෙම විධික්‍රමය භාවිත කරමින් ලෙනින් ලෝක ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය ගැන සහ ඔහුගේ කාලයේ - විශේෂයෙන්ම රුසියාව තුල - සමාජ සම්බන්ධතා හා දෘෂ්ඨිවාදයන් පිලිබඳව වැදගත් සොයා ගැනීම් කලේය. විධික්‍රමයට වඩා මෙම සොයාගැනීම් පිලිබඳව වඩවඩාත් අධ්‍යයනයන් සිදු වී ඇත. එතෙකුදු වුව, ලෙනින් විසින් අපෝහක විධික්‍රමය භාවිත කරනු ලැබීම, ආර්ථික හා දේශපාලන වර්ධනයේ නව අදියරයන් විශ්ලේෂනය කිරීමෙහි ලා ඔහුගේ ශක්‍යතාවයේත්, දේශපාලන මූලෝපාය හා උපායයන් පිලිබඳ ඔහුගේ විශාරදත්වයේත් යතුර විය. [අවධාරනය මුල් කෘතියේ] [74]

හේගල්ගේ තර්ක ශාස්ත්‍රය පිලිබඳ ලෙනින්ගේ සටහන් භෞතිකවාදය හා අනුභූතික විචාරයෙන් බිඳී යාමක් ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රයත්න ස්ලෝටර් ප්‍රතික්ෂේප කලේය:

ලෙනින් අපෝහකය ග්‍රහනය කර ගත්තේ 1914-15 කාලයේ ඔහු හේගල් කියැවූ කල්හියැයි කියා සිටීම ඇතැම් කව තුල චාරිත්‍රයක්ව පවතී; ඇත්තෙන්ම මෙය ඔප්පු වී ඇති දෙයක් සේ ගැනීම විලාසිතාකාරීය. ඔහුගේ මුල් ලේඛන තුල ලෙනින් ගොරහැඩි හා යාන්ත්‍රික වීයැයි කියනු ලැබේ; මෙම ගොරහැඩිකම වඩාත්ම ව්‍යක්ත ලෙස ප්‍රකාශ වී ඇතැයි කියනු ලබන්නේ ඔහුගේ 'භෞතිකවාදය හා අනුභූතික විචාරය' (1908) තුලය, එහෙත් එහි ගම්‍යාර්ථය වන්නේ පක්ෂ සංවිධානය හා දේශපාලන ප්‍රශ්න පිලිබඳ ඔහුගේ ආකල්ප දෘඩ හා ආධානග්‍රාහී බවයි. මෙම විභාගය දරා සිටින්නේ ඉතා පටු පදනමක් මත බව දැක ගැනීම වැදගත්ය: භෞතිකවාදය හා අනුභූතික විචාරය ද ඇතුලු ලෙනින්ගේ තථ්‍ය කටයුතු විමර්ශනය කරනු වෙනුවට සාමාන්‍යයෙන් අප වෙත ඉදිරිපත් කෙරෙන්නේ ඉහත කී කෘතියේ අර්ථය විකෘත වන පරිදි කප්පාදු කල උපුටා ගැනීම්ය; නැතහොත් ලෙනින් ඔහුගේ දාර්ශනික අතීතය ප්‍රතික්ෂේප කල බව පෙන්වන්නේයැයි කියනු ලැබෙන අත්පොත්වලින් කල කෙටි උපුටා දක්වීම්ය. ...

“පලමුවැනි ලෝක යුද්ධය ආරම්භයේ දී හේගල්(ගේ කෘතීන්) හැදෑරීම මඟින් ලෙනින්ගේ න්‍යාය සාරවත් වූ බවත්, අධිරාජ්‍යවාදයේ හා කම්කරු පන්ති ව්‍යාපාරයේ ප්‍රතිවිරෝධතා වල සාරය කරා වඩාත් ගැඹුරින් විනිවිද යාම සඳහා එමඟින් ඔහුට හැකියාව ලැබුනු බවත් ගැන කිසිදු සැකයක් නැති අතරම, ඔහුගේ ජීවිතයේ 'පූර්ව-හේගලියානු' හා 'පශ්චාත් - හේගලියානු' අවධීන් අතර ඒ සා නිරතුරුව සිදු කෙරෙන පරිදි, දෘඩ කඩඉම් සලකුනු කිරීම ද බෙහෙවින් දෝෂ සහිත ක්‍රියාවක් වෙයි. ඇත්තෙන්ම ලෙනින් ගේ ම කටයුතුවල පවතින්නේ සැබෑ අපෝහක වර්ධනයකි.” [75]

ස්ලෝටර්ගේ නිබන්ධනයේ දෙවැනි කොටස විසින්, එස්ඩබ්ලිව්පීය සමඟ අරගලයේදී මතු කෙරුනු දේශපාලන විශ්ලේෂනය හා භාවිතය පිලිබඳ ගැටලුවලට සම්බන්ධ කොට හේගල් පිලිබඳ ලෙනින්ගේ කෘතිය විමසා බැලේ. (එෆ්බීඅයි ඔත්තුකරුවෙකු ලෙස ජාත්‍යන්තර කමිටුව විසින් පසුව හෙලිදරව් කරන ලද) එස්ඩබ්ලිව්පී නායක ජෝසෆ් හැන්සන්, ඕනෑම දෙන ලද දේශපාලන තත්ත්වයක “කරුනු” වලට දැක්වෙන ධාරනාවාදී ප්‍රතිචාරයක් මත පදනම් වූ දේශපාලන භාවිතයකට පක්ෂව තර්ක කලේය. මෙය සංයෝග වී ඇත්තේ යම් ආකාරයක නිෂ්ක්‍රීය “වෛෂයීකවාදයක්” සමඟ යැයි ස්ලෝටර් අවධාරනය කලේය. භෞතිකවාදය ලෙස නිරතුරුව ම වරදවා ගැනෙන එය, දේශපාලන සිදුවීම් තක්සේරු කරන්නේ, එම සිදුවීම්වල දිග හැරීම මුලුමනින්ම, පොදුවේ මානව ක්‍රියාකාරීත්වයෙන් හා, විශේෂයෙන්ම “විචාරාත්මක-විප්ලවකාරක” භාවිතයෙන් පිටස්තරව හා ඉන් ස්වාධීනව සිදුවන සේ සලකමිනි.

ලෙනින් සිය සටහන් පොත් ලිවීමට 20 වසරකට ඉහත 1894 තරම් ඈත කාලයකදී පැහැදිලි කොට තිබූ පරිදි, වෛෂයීකවාදීහු ඒ හෝ මේ දේශපාලන ප්‍රතිඵලයේ “නොවැලැක්විය හැකි භාවය” ගැන කථා කරති; එහෙත් මාක්ස්වාදී (අපෝහක) භෞතිකවාදීන් මෙන් නොව ඔවුහු, “එකී ක්‍රියාවලියට එහි අන්තර්ගතය ලබා දෙන්නේ හරියටම කවර සමාජ-ආර්ථික සැකැස්මකින්දැයි; මෙය අත්‍යවශ්‍යතාවයක් බවට නිර්නය කෙරෙන්නේ හරියටම කවර පන්තිය විසින්දැයි” හෙලි කිරීමට අසමත් වෙති. [76] ඒ අනුව, ස්ලෝටර් අවධාරනය කල පරිදි, ධාරනාවාදී “ඉෂ්ට වූ කරුන වන්දනා කිරීමේ” හා වෛෂයීකවාදී නිෂ්ක්‍රියභාවයේ මෙම සංයෝගය, මාක්ස්වාදී පක්ෂය, එය මාක්ස්වාදීයැයි හැඳින්විය හැකි තාක් දුරට, සිදුවීම්වලට මැදිහත් වෙමින්, කම්කරු පන්තියට නායකත්වය සම්පාදනය කරමින් එම සිදුවීම් විප්ලවවාදී දිශාවකට හැරවීම සඳහා වෛෂයිකව විභවයක් ඇති තාක් දුරට එසේ හැරවීම සඳහා පරිශ්‍රම දැරීමේ වගකීම මඟ හරිමින් සිටින, සිදුවීම්වල බෙලහීන නරඹන්නෙකුගේ භූමිකාව දක්වා පහත හෙලයි.

හේගල් පිලිබඳ ලෙනින්ගේ කෘතිය විසින්, දේශපාලනය කෙරේ ඒ ආකාරයේ, ඉඳුරාම මාක්ස්වාදී නොවන හා සංශෝධනවාදී ප්‍රවිෂ්ටයකට ප්‍රතිරෝධය දැක්වීම සඳහා විප්ලවවාදී ව්‍යාපාරය සවිබල ගන්වනු ලැබෙන බවට ස්ලෝටර් තර්ක කලේය:

ලෝකය පුරාම විශාල දේ සිදුවෙමින් පවත්නා විට හේගල් ගැන ලෙනින්ගේ අත්පොත් දුර්බෝධ හා එතරම් හදිසි නොවන නිමග්නතාවක් ලෙස පෙනී යා හැකිය. කෙසේවෙතත්, තියුනුතම හා වඩාත්ම සම්මුතිවිරහිත අරගලය ගෙන යා යුත්තේ හරියටම න්‍යායික පෙරමුනේමය. මෙහිදී ඇති වන දුස්සංකල්පයක් මඟින් සමස්ත විධික්‍රමයක් වැරැදී යාමෙන්, කරුනු අතර සබඳතා සම්පූර්නයෙන් වැරැදි ලෙස වටහා ගැනීමෙන්, ව්‍යසනකාරී සාවද්‍ය නිගමන කරා එලැඹෙනු ඇත. උදාහරනයක් ලෙස, මාක්ස්වාදී විධික්‍රමයේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ අනුභූතිවාදයේ ආරම්භක ලක්ෂ්‍යයම බව; එනම්, එය ද “කරුනු”වලින් පටන් ගන්නා බව; ඇතැම් “මාක්ස්වාදීහු” උපකල්පනය කරති. ඉදින් මෙය සත්‍ය වී නම්, ලෙනින් හා අන්‍යයන් හේගල් හා අපෝහක විධික්‍රමය සම්බන්ධයෙන් ඒ තරම් කාලයක් වැය කර ඇත්තේ මන්දැයි යන්න වටහා ගැනීමට අසීරුය. සත්තකින්ම සෑම විද්‍යාවක්ම පදනම් වන්නේ කරුනු මතය. කොයිහැටි වෙතත්, “කරුනු” නිර්වචනය හා තහවුරු කිරීම ඕනෑම විද්‍යාවකට තීරනාත්මක ය. විද්‍යාවක් නිර්මානය කිරීමෙහි දී නිරවද්‍යවම එහි කොටසක් වන්නේ එම විද්‍යාවේ සීමා නිර්නය හා ස්වකීයමය නියාම සහිත අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස එහි අර්ථකථනයයි: අත්දැකීම් තුල පෙන්වන ලද “කරුනු”, එකී කරුනු පිලිබඳ විද්‍යාව විසින් ව්‍යවහාර කරනු ලැබීම සඳහා අර්ථාන්විත හා ප්‍රයෝජනවත් පසුබිමක් සැපයෙන පරිදි වෛෂයිකව හා නියාමානුකූලව අන්තර්සම්බන්ධ කල යුතුය. අපේ “අනුභූතිවාදී” මාක්ස්වාදීන් සමාජය හා දේශපාලනය විෂයයෙහි ලා මෙකී තත්වයෙන් බොහෝ සේ දුරස්තරය. ඔවුන්ගේ ක්‍රියා පිලිවෙත වන්නේ මෙසේ පැවසීමයි: අපට ක්‍රියා මාර්ගයක් තිබින, ඒ, 1848, හෝ 1921, හෝ 1938 පැවැති කරුනු මත පදනම්ව ය, දැන් කරුනු පැහැදිලිවම වෙනස් වී ඇත, එබැවින් අපට වෙනස් ක්‍රියාමාර්ගයක් අවශ්‍යය. ...

“මෙම සංශෝධනවාදී අදහස්වලට මඟ පෙන්වන්නේ “කරුනු” විමසා බලන්නා වූ සදොස් හා මාක්ස්වාදී නොවන දෘෂ්ඨියයි. අපේ “වෛෂයිකවාදීන්” “ඉතිහාසය ඇත්තේ අපේ පැත්තේ ය” යන ඔවුන්ගේ පනිවුඩය ද සමඟ කියා සිටින්නේ මෙයයි: සිදුවෙමින් පවත්නා විශාල අරගල දෙස බලන්න, ඒවා විශ්ලේෂනය කිරීමට නොගොස් ඒවා එකට එකතු කරන්න, ඒවායේ වැදගත්කම පිලිබඳ ඔබේ ධාරනාවන් මත හිඳ ඒ සියල්ල එකට එකතු කරන්න - දැන් ඔබට “කරුනු” ඇත. යටත්විජිත විප්ලව මෙහි දී සාර්ථක වී ඇත, තවත් තැනක ද, තවත් තැනක ද ඒවා සාර්ථක වී ඇත; එවිට යටත්විජිත විප්ලවවල සාර්ථකත්වය කරුනකි. න්කෘමා වැනි සහ ම්බෝයා වැනි සහ නසර් වැනි ජාතිකවාදී නායකයෝ “අධිරාජ්‍ය -විරෝධී” කථා පවත්වා ඇත්තාහ, ජනසතු කිරීම් පවා සිදු කර ඇත්තාහ; ඉන් යෝජනා කෙරෙන්නේ ඉතිහාසය නිර්ධන පන්ති නොවන දේශපාලනඥයන් සමාජවාදයේ දිශාවට යාමට බල කිරීමට යලි හැරවිය නොහැකි හා අචල ලෙස නැඹුරු වෙමින් පවතින බවයි. එහෙත් මේ වර්ගයේ “වෛෂයීකවාදය” යනු ධාරනාවන්ගේ එකතුවක් විනා, කොටස් එකක් අනෙකට සම්බන්ධ කෙරෙමින් සමස්ත චිත්‍රය පිලිබඳව කෙරෙන සාරවත් අපෝහක විශ්ලේෂනයක් නොවේ. සැබෑ වෛෂයික විශ්ලේෂනයක් පටන් ගන්නේ ලෝක පරිමානයෙන් හා ජාතීන් තුල පන්ති අතර පවත්නා ආර්ථික සම්බන්ධතා වලිනි. එය ඉදිරියට යන්නේ මෙම පන්තිවල අවශ්‍යතා අතර සම්බන්ධතා හා ඒවායේ විඥානය හා සංවිධානය පිලිබඳ විශ්ලේෂනයක් මඟිනි. ජාත්‍යන්තර වශයෙන් හා එක් එක් ජාතික අංශය තුල කම්කරු පන්තිය සඳහා වන එහි ක්‍රියා මාර්ගය එම විශ්ලේෂනය මත පදනම් කෙරෙයි. “ප්‍රගතිශීලී බලවේග”වල ලැයිස්තුවක් යනු වෛෂයික විශ්ලේෂනයක් නොවේ! එය එහි ප්‍රතිවිරුද්ධයයි. එනම්, හුදෙක් එය මතුපිට ධාරනාවන්හි සමුච්චයකි; අද්‍යතන පන්ති අරගලයෙහි සහභාගීකරුවන් - මූලිකවම ජාතික ව්‍යාපාරවල හා නිලධාරීකරනය වූ කම්කරු ව්‍යාපාරවල නායකත්වය දරන සුලු ධනපති දේශපාලනඥයන් - විසින් දරා සිටිනු ලබන ආකාරයෙන්, [පවත්නා අවිද්‍යාත්මක විඥානය පිලිගැනීමකි. [හැන්සන් සහ එස්ඩබ්ලිව්පීය සිදු කල පරිදි] කස්ත්‍රෝ සහ අන්‍යයන් “ස්වභාවික” මාක්ස්වාදීන් ලෙස යෝජනා කිරීම මඟින් මෙම න්‍යායික දෝෂය වසා ගැනීම සේවය කරන්නේ, එම “න්‍යායාචාර්යවරුන්ට” තමන් කෙතෙක් දුර ගොස් ඇත්දැයි යන්න ගැන වැටහීමක් නැතැයි යන්න තහවුරු කිරීමට පමනෙකි.

විප්ලවවාදී ආතතිය උපරිම වන කාල පරිච්ඡේද යනු මහජන අරගලවල සහභාගීකරුවන් පහසුවෙන්ම හා ස්වයංසිද්ධ ලෙස විප්ලවවාදී සංකල්ප කරා එලැඹෙන කාල පරිච්ඡේද වන බව ඔවුන් යෝජනා කරන සේ ය. ඊට පටහැනි ලෙස, විද්‍යාත්මක විඥානය සඳහා, දීර්ඝ කාලයක් පුරා සිදු කල අරගලයක් තුල වර්ධනය කෙරුනු න්‍යායික හා මූලෝපාය සඳහා අධික වටිනාකමක් ලැබෙන්නේ හරියටම එවැනි කාල පරිච්ඡේදයන්හි දී ය.

නිර්ධන පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙහි සාරය වන්නේ එකී විද්‍යාවට අනුකූල වන්නා වූ විද්‍යාත්මක න්‍යායයක් වර්ධනය කිරීමේ දැනුවත් ප්‍රයත්නයයි. මාක්ස්වාදය දිශාවට “ස්වභාවික” වර්ධනයන් පිලිබඳ සියලු කථා මෙම ක්‍රියාදාමය නොනවත්වා සිදු කර ගෙන යාමේ අත්‍යවශ්‍යතාවට එල්ල කරන ප්‍රහාරයක් වෙයි. සමාජ ක්‍රියාවලියක විවිධ කොටස් ඒවා දිනපතා විද්‍යමාන වන ආකාරයෙන් අධ්‍යයනය කිරීමට තමාට හැකියැයි අනුභූතිවාදියා විශ්වාස කරයි. ඊලඟට මේවා එකට එකතු කිරීමෙන් “යථාර්ථ නිරූපිත” හෝ “වෛෂයික” සම්පූර්න චිත්‍රයක් හා ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් ලබා ගත හැක. [77]

ස්ලෝටර් උඩඟු ලෙස “කරුනු” නොතකා සිටීමට පක්ෂව පෙනී සිටිනු නොවේ. එහෙත් මෙම චෝදනාව නිරතුරුව නඟන්නේ, “කරුනක්” වැදගත් හෝ නොවැදගත් ලෙස තීරනය කිරීමට තමන්ට මඟ පෙන්වන විධික්‍රමය, සමාජ උත්සුකයන් සහ මූඪ දේශපාලන, බුද්ධිමය අගතීන් ගැන පවා කිසිත් නොදන්නා තත්කාර්යවාදීන් ය. ඔවුන් චින්තන ක්‍රියාදාමයේ දී යොදා ගනු ලැබෙන සංකල්ප කෙරේ කිසියම් හෝ අවධානයක් යෙදෙන්නේ නම්, ඒ අල්පතර වූ එකකි. හේගල් නිශ්චිතවම සිය තර්කයේ විද්‍යාව කෘතිය තුල තමාටම ආමන්ත්‍රනය කරන්නේ ද, හේගල්ගේ අනුස්මරනීය කෘතිය සම්බන්ධයෙන් භෞතිකවාදීයෙකු ලෙස ලෙනින් සිදු කරන අධ්‍යයනයේ දී කේන්ද්‍රීය අවධානය යොමු කරන්නේ ද මෙම පොදු බුද්ධිමය ඌනතාවය කෙරේ ය. වෛෂයික යථාර්ථයේ විද්‍යාත්මකව නිරවද්‍ය පිලිබිඹු කිරීමක් රඳා පවතින්නේ න්‍යායිකව සවිඥානක (එනම්, අපෝහක භෞතිකවාදී) චින්තනය මතය. එම චින්තනයේ මූලික වැදගත්කම ලෙනින් විසින් මෙසේ පැහැදිලි කෙරෙයි:

තර්කනය යනු ඥානනයේ විද්‍යාවයි. එය ඥාන විභාගයයි. ඥානය යනු මිනිසා විසින් ස්වභාව ධර්මය පිලිබිඹු කරනු ලැබීමයි. එහෙත් මෙය සරල නොවන, සාන්දෘෂ්ඨික නොවන, සම්පූර්න නොවන පිලිබිඹුවකි. එය, වියුක්තිකරන මාලාවක, සංකල්ප, නියාම ආදිය නිර්මානය කිරීම් හා වර්ධනය කිරීම් මාලාවක ක්‍රියාවලියකි. තව ද, මෙම සංකල්ප, නියාම ආදිය (චින්තාව, විද්‍යාව = “තාර්කික අදහස”) සදාතනිකව චලනය වෙමින් හා වර්ධනය වෙමින් පවත්නා ස්වභාව ධර්මයේ සාර්වත්‍රික නියාම-පාලිත ස්වභාවය තත්වානුකූල ලෙස හා සමීප ලෙස වැලඳ ගනී. සැබැවින්ම, වෛෂයික වශයෙන්, මෙහි අංග තුනක් වෙයි: 1) ස්වභාව ධර්මය; 2) මානව සංජානනය = මිනිස් මොලය (එකී ස්වභාව ධර්මයේම ඉහලම නිර්මිතය ලෙස) ; සහ 3) මානව සංජානනය තුල ස්වභාව ධර්මය පිලිබිඹු වීමේ ආකෘතිය, තව ද මෙම ආකෘතිය සමන්විත වන්නේ, නිරවද්‍ය ලෙසම, සංකල්ප, නියාම, ප්‍රවර්ග ආදියෙනි. මිනිසාට ස්වභාව ධර්මය සමස්තයක් ලෙස, එහි පූර්නත්වය, එහි “සාන්දෘෂ්ඨික සාකල්‍යය තුල” වටහා ගැනීමට = පිලිබිඹු කිරීමට = දර්පනයකින් සේ පෙන්වීමට නොහැකිය. ඔහුට හැක්කේ සදාතනිකව මෙයට සමීප වීමට හා වියුක්තනයන්, සංකල්ප, නියාම, ලෝකය පිලිබඳ විද්‍යාත්මක චිත්‍රයක් ආදී වශයෙන්, ආදී වශයෙන්... නිර්මානය කිරීමට පමනෙකි. [78]

ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්රික් හේගල්


අපෝහක තර්කනය පිලිබඳ හේගල්ගේ විස්තාරනයේ අතිමහත් වැදගත්කම පැහැදිලි කරන අතරම ස්ලෝටර් ඔහුගේ කෘතියේ විඥානවාදී පදනම්, හා ඒ අනුව එහි සීමාවන් පිලිබඳව අවධාරනය කිරීමට ද මහත් සැලැකිල්ලක් දැක්වීය. තව ද, ඔහු මෙසේ අනතුරු හැඟවීය: “'අපෝහක විධි ක්‍රමය' [ආර්ථික, සමාජ හා දේශපාලන විශ්ලේෂනය සම්බන්ධ] මෙම සියලු වෙහෙසකර කාර්යයන් අනවශ්‍ය බවට පත් කරන කෙටි මාවතක් ලෙස උප කල්පනය කිරීම අපෝහකය 'යොදා ගැනීම' පිලිබඳ මුඛරි කථා කියන්නන්ගේ දෝෂයයි.” [79]

අපෝහක තර්කනය විස්තාරනය කිරීම විෂයෙහි හේගල්ගේ ප්‍රගමනයන් පලදායකව ලෙස හා විද්‍යාත්මකව ශාස්ත්‍ර සම්මත ආකාරයකින් ආත්මසාත්කරනය කර ගැනීම කල හැක්කක්ව තිබුනේ භෞතිකවාදය කරා හැරීමෙන් පමනෙකි. ඒ සඳහා මාක්ස් දර්ශනවාදය පිලිබඳ විචාරකයෙකු වීම පමනක් ප්‍රමානවත් නොවීය. ස්ලෝටර් පැහැදිලි කල පරිදි:

තරුන මාක්ස් විසින් හේගල් දාර්ශනික ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීම මත පමනක් නොව, භෞතිකවාදය කරා මෙම හැරීම සපුරා ගනු වස් මාක්ස් විසින් සිදු කරන ලද විද්‍යාත්මක ආර්ථික හා සමාජ අධ්‍යයනය මත ද වඩාත් සපුරා පදනම් වීමට ලෙනින්ට හැකි විය. “මිනිසා විසින් නිර්මිත වෛෂයික ලෝකය” යනු, නිශ්චිත නිෂ්පාදන-සම්බන්ධතා මත පදනම් වූ ඓතිහාසිකව සුවිශේෂී සමාජ-ආර්ථික නිර්මිතීන්ගේ නිශ්චිත ශ්‍රේනිදාමයකි. නිෂ්පාදන බලවේග, ශිල්ප ක්‍රම හා මානව අත්දැකීම්වල සමස්තය විසින් ගොඩ නංවන ලද කෞශල්‍යයන් සූරාකෑම සඳහා මිනිසුන් විසින් සංවිධානය කරන ලද ආවශ්‍යක සබඳතා වන මෙම “ආර්ථික ව්‍යූහයන්” සියලු මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයෙහි හා එබැවින් එකී ක්‍රියාකාරිත්වය පිලිබඳ කවර හෝ විද්‍යාත්මක න්‍යායක වෛෂයික පදනම් විය. සමපේක්ෂනාත්මක දර්ශනවාදයේ අවසානය සමඟ, සමාජ විද්‍යාවේ හෝ ඓතිහාසික භෞතිකවාදයේ කර්තව්‍යය වූයේ, සමාජ ජීවිතයේ ආවශ්‍යක සම්බන්ධතා හා ප්‍රතිවිරෝධයන්, “භෞතික ජීවිතයේ නිෂ්පාදනයේ ප්‍රකාරයෙන්” පටන් ගනිමින් වාර්තාගත කිරීමයි. කම්කරු පන්තිය මෙකී ප්‍රතිවිරෝධතා පිලිබඳව දැනුවත් කිරීමට නම්, ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සංවිධානය කිරීම මනාය - ධනේශ්වර සමාජය හා එහි ප්‍රතිවිරෝධයන් පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයකට නොමඳ ලෙස කැප වෙමින් මාක්ස් ජීවිත කාලය පුරා ඉටු කල කර්තව්‍යය වූයේ මෙයයි. ධනේශ්වර සමාජයේ පරිහානිය, නිර්ධන පන්තියේ අරගලය හා, විප්ලවවාදී පක්ෂය තුල වන එහි ඉහලම ලක්ෂ්‍යයේ දී නිර්ධන පන්තියේ විඥානය හෝ න්‍යාය පිලිබඳ වඩාත් සාරවත් වාර්තාවක් නිපදවීමට අද දින මාක්ස්වාදීන්ට වගකීමක් හා අවස්ථාවක් පවතී. 1896 සිට සිය අභාවය දක්වා කාලය තුල ලෙනින් ද, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ස්ටැලින්වාදී පරිහානිය වැලැක්වීම සඳහා සිය අරගලය තුල හා, ඉනික්බිති 1922 හා 1940 අතරතුර අධිරාජ්‍යවාදය ප්‍රචන්ඩ ලෙස කැබලිති වලට වෙන්වූ කාල පරිච්ඡේදයේ හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමට කල අරගලය තුල ට්‍රොට්ස්කි ද මෙම දිශාවට ප්‍රමුඛ ප්‍රතිපදානයන් සිදු කොට ඇත්තාහ. [80]

ස්ලෝටර්ගේ නිබන්ධනය ජාත්‍යන්තර කමිටුවේ කේඩරයන් මත, විශේෂයෙන්ම එස්ඩබ්ලිව්පීය සමඟ භේදයෙන් පසුව හජාජාකයට දිනා ගනු ලැබූ එකී බලවේග මත, ඇති කල බලපෑමේ ප්‍රමානය අධිතක්සේරු කල හැක්කක් නොවේ. මගේම න්‍යායික අධ්‍යාපනය හා දේශපාලන වර්ධනය සම්බන්ධයෙන් මෙම ලේඛනයේ වූ වැදගත්කම පිලිබඳව සඳහන් කිරීමට මෙහිදී මම බැඳී සිටිමි. කම්කරු විප්ලවවාදී පක්ෂය පැබ්ලෝවාදී අවස්ථාවාදය දිශාවට ගසා ගෙන යාම 1970 ගනන් අවසාන භාගයේ හා 1980 ගනන්වල මුල දී වඩවඩාත් වැඩියෙන් ප්‍රකට වන්නට වූ කල්හි, මෙම පරිහානිගාමී වර්ධනය හා ලෙනින්ගේ සටහන් පොත් පිලිබඳ ව්‍යාජ හෙගලියානු වැරැදි අර්ථකථනයන් දීම කරා හීලිගේ ප්‍රතිවර්තනය අතර සම්බන්ධය පිලිබඳ කරුන, මහත් වැදගත්කමක් අත්පත් කර ගත්තේය. හීලිගේ ප්‍රවිෂ්ටයේ වලංගුතාව පිලිබඳ මගේ වැඩෙමින් පැවැති සැක ශංකා - ඇත්ත වශයෙන්ම කියතොත්, 38 වන වෙලුම පිලිබඳ ඔහුගේ දේශන හා ලිපි සාවද්‍ය බව සහ ඒවා විස්තීර්න විවේචනයකට භාජනය විය යුතුව තුබූ බව ගැන මට ඒත්තු ගොස් තිබීම - කෙරේ, 1982 ශිශිර ඍතුවේ මා අපෝහකය ගැන ලෙනින් යලි කියවීම හත් බලපෑමක් ඇති කලේය. ස්ලෝටර්ගේ කෘතියෙන් දීර්ඝ උපුටාගැනීම් පිටපත් කර ගත් මම, ස්වයං පැහැදිලි කර ගැනීමේ අරමුනින් ඊට මගේම පරිකථනයන් එක් කලෙමි.

ලෙනින්ගේ සටහන් පොත් අධ්‍යයනය කිරීමෙහි ලා ස්ලෝටර්ගේ ප්‍රවිෂ්ටය පිලිබඳ ඇගයීමක් සිදු කරමින් මම මෙසේ ලීවෙමි:

හේගල්ගේ තර්ක ශාස්ත්‍රය පිලිබඳ ලෙනින්ගේ අධ්‍යයනයේ මහත් වැදගත්කම නිවැරැදි ලෙස අවධාරනය කරන අතරතුරම ස්ලෝටර් හේගල්ගේ විඥානවාදයට කිසිදු සහනයක් ලබා නොදෙයි. එනම්, ලෙනින් නම් භෞතිකවාදියා හා හේගල් නම් විඥානවාදියා අතර ඇති මූලික විලක්ෂනය දියාරු කිරීමට ඔහු කිසිදු ප්‍රයත්නයක් නොදරයි. භෞතිකවාදයේ පක්ෂවාදියෙකු වන ලෙනින්, භෞතිකවාදී අපෝහකය සාරවත් කිරීම සඳහා හේගල්ගේ තර්ක ශාස්ත්‍රයේ තර්කාන්විත සියල්ල ආත්මසාත්කරනය කලේය. ඒ අනුව ස්ලෝටර්, ලෙනින්ගේ විවේචනාත්මක - එනම්, හේගල්ගේ විඥානවාදයට එරෙහිව එල්ල කෙරුනු - උපවදන් යථා පරිදි සඳහන් කරයි:

ගූඪවාදී-විඥානවාදී-අධ්‍යාත්මවාදී හේගල් (අපේම කාලයේ සියලු නිල, පූජක -විඥානවාදී දර්ශනයන් සේ ම), දර්ශනවාදයේ ඉතිහාසය තුල භෞතිකවාදය නොතකා හරින හා ලඝු කොට තකන අතරතුර, ගූඪවාදය, විඥානවාදය පසසමින් ඒවායේ ඇවැත් සමනය කරයි.”

'ජීඑච්ගේ [ජෙරී හීලිගේ] ප්‍රවිෂ්ටයේ ලක්ෂනවලින් ස්ලෝටර්ගේ ප්‍රවිෂ්ටය විලක්ෂනය වනුයේ, ලෙනින්ගේ කෘතියේ සමස්ත කායයම අපෝහක විධික්‍රමය සමඟ කාවැද්දී ඇති බව ඔහු (ස්ලෝටර්) විසින් නිරූපනය කරනු ලැබීම තුලය. ඒ හේතු කොට ගෙන, තර්කනය පිලිබඳ විෂයය සම්බන්ධයෙන් ලෙනින්ගේ අධ්‍යයනය යොමු වී තුබුනේ, විෂයය සම්බන්ධ තර්කනය චින්තනය තුල අපෝහකව පිලිබිඹු වූයේ කොයි ආකාරයෙන්දැයි යන්න පිලිබඳ ඔහුගේ වැටහීම ගැඹුරු කිරීමේ දිශාවටය. අපෝහකය = = පරිබාහිර ලෝකයේ චලනය, සියලු ප්‍රපංචයන් තුල, සංකල්ප හරහා ප්‍රකාශයට පත් වන්නේ කෙසේද....

විද්‍යාත්මක අධ්‍යයනය යනු අපෝහක භෞතිකවාදී විධික්‍රමයේ ආවශ්‍යක කොන්දේසිය බව ස්ලෝටර් හඳුනා ගනී. මෙය මුලුමනින්ම මාක්ස්ගේ හා එංගල්ස්ගේ ජීවගුනය තුල පවතින්නකි. දාර්ශනික ප්‍රවර්ගවලට මෙම අධ්‍යයනය විස්ථාපනය කල නොහැකිය. මක්නිසාද යත්, ඒවාට තමන්ගේම ස්වයං චලනයෙන් අන්තර්ගතයක් සම්පාදනය කරනු නොහැකි හෙයිනි. අපෝහක විධික්‍රමයේ දැනුවත් වර්ධනය වූ කලී, සියලු ප්‍රපංචයන්ගේ චලනයේ නියාම හා ඒවායේ විශ්වව්‍යාපී අන්තර් සම්බන්ධතාව සොයා ගැනීම පිලිබඳව සැලැකිලිමත් වන විද්‍යාවේ කටයුත්තයි. ස්ලෝටර් වැඩිදුරටත්, - විශේෂයෙන්ම සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහිව ට්‍රොට්ස්කිගේ අරගලය තුල - ලෙනින්ගේ කෘතියේ අඛන්ඩතාව තහවුරු කරමින් මෙය විප්ලවවාදී දේශපාලනය පිලිබඳ විද්‍යාවේ වර්ධනයට සම්බන්ධ කරයි. මෙම අතිශය වැදගත් අංගය පිලිබඳව ජීඑච්ගේ [ජෙරී හීලිගේ] ලේඛනවල කවර හෝ සඳහනක් නොමැති තරම්ය. එය පිලිබඳව සඳහන් කෙරෙන තාක් දුරට එසේ කෙරෙන්නේ, භෞතිකවාදී අපෝහකය පිලිබඳ ට්‍රොට්ස්කිගේ තථ්‍ය වර්ධනය විශ්ලේෂනය කිරීම වෙනුවට, හුදෙක් හෙගලියානු අපෝහකය පිලිබඳ ඔහුගේ ලුහුඬු අනුවාදය හඳුන්වාදීමේ අභිප්‍රායයෙන් පමනෙකි. මෙහි මුල් කරුන සම්බන්ධයෙන්, එනම්, සැබෑ විද්‍යාත්මක අධ්‍යයනයක අවශ්‍යතාවය ගැන, ජීඑච් යෝජනා කරන්නේ මෙසේය: (ඉල්යෙන්කොව් දරන මතයේ පරිදි) චින්තාවන්ගේ ස්වයං-චලනය ප්‍රවර්ග අනුපිටපත් කරන අතර ප්‍රවර්ගයන්ගේ වියුක්ත ප්‍රතිනිෂ්පාදනය අතිරික්තයක් උත්පාදනය කරන බවයි. “නිවැරැදි” චින්තනය චලනය වන්නේ එකී අතිරික්තය තුලිනි. ඒ අනුව වියුක්ත සංකල්පවල අපෝහකයෙන් නොවැලැක්විය හැකි පරිදි ගලා එන “වේගවත්” භාවිතයන් පවතී. නොවැලැක්විය හැකි ලෙස, මෙම විධික්‍රමයේ විපාකය වන්නේ, සංකල්පවල අපෝහක ප්‍රවාහයේ ගලනය ලෙස වරදවා අර්ථකථනය කොට ගත් ධාරනා අවිචාරාත්මකව පිලිගැනීමයි. ඒ අනුව යමෙකු “නිවැරැදි” චින්තාව යථා යෝග්‍ය අනුක්‍රමයෙන් තිබීම ගැන තමන්ට අනවරතයෙන් සුබ පතා ගනු ඇත. මෙම සමස්ත කාර්ය පටිපාටියේ තර්කාංගය වන්නේ ද්‍රව්‍යයේ හා චින්තාවේ සරල අනන්‍යතාවයයි. චින්තාවේ අපෝහකය (සංකීර්න කාර්ය පටිපාටියක් හා ආසන්නනයක් තුලින්) දේවල්වල අපෝහකය ප්‍රතිබිම්බනය කරනු වෙනුවට, චින්තාමය අපෝහකය ද්‍රව්‍යමය අපෝහකය හා සම ලෙස සලකනු ලැබේ. (නැතහොත් වඩාත් නිරවද්‍යව කියතොත්: අපෝහක ද්‍රව්‍යය හා චින්තාව තුල එහි පිලිබිඹුව තනි හා නොබිඳී කාර්ය පටිපාටියක් ලෙස සංකල්පනය කෙරේ.) [81]

අපෝහකය පිලිබඳව ලෙනින් කෘතියේ වැදගත්කම සම්බන්ධයෙන් සමස්ත වශයෙන් තක්සේරුවක් කරමින් මම මෙසේ නිමා කලෙමි:

මුලින්ම 1962 දී ප්‍රකාශයට පත් කෙරුනු ස්ලෝටර්ගේ කෘතිය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල අපෝහක භෞතිකවාදය සඳහා අරගලයට කෙරුනු ප්‍රමුඛ ප්‍රතිපදානයක් වන අතර, එය දිගටම, අද දිනය දක්වාම, අපෝහකවාදී විධික්‍රමයේ ප්‍රධාන විශේෂාංග පිලිබඳව, ඇතැම්විට, හොඳම අර්ථ විවරනය ලෙස පවතී. ව්‍යාජක හා ගූඪ භාෂාවක් යොදා ගැනීම මඟින් අපෝහකයේ කාර්යභාරය නොපැහැදිලි කිරීමේ කවර හෝ ප්‍රයත්නයක් එහි නැත. කේන්ද්‍රීය කරුනු පැහැදිලිය: මිනිසා සිතන්නේ සංකල්පවල ආධාරයෙනි, එහෙත් එම සංකල්ප අචල ඒවා නොවේ, ඒවායින් නිරන්තරයෙන් වෙනස්වන යථාර්ථය පිලිබිඹු කෙරේ. අපේ විප්ලවවාදී සංකල්පවල වර්ධනය යනු ද්‍රව්‍යමය ලෝකයේ සිදුවන වෙනස්කම්වල පිලිබිඹුවකි. එහි සාරය සමාජවාදී විප්ලවය සූදානම් කිරීමට හා ඊට නායකත්වය දීමට කෙරෙන අරගලයේ ගමන් මඟ තුල පක්ෂය විසින් විනිවිද යනු ලැබේ. නිරන්තරව වෙනස් වන ධනේශ්වර ලෝකයක් තුල විප්ලවවාදී ක්‍රියාකාරිත්වයේ අදියර එකක් එකක් පාසා, මාක්ස්වාදී පක්ෂය ලෝක අර්බුදයේ අභ්‍යන්තර නියාම අනාවරනය කිරීමට යත්න දරයි. අපෝහක චලනය ලෝකය කෙරෙන්ම උපුටා ගනු ලැබිය යුතු අතර, දීර්ඝ කාලයක් පුරා ගෙන ගිය විද්‍යාත්මක කාර්යයන්හි ප්‍රතිඵල ලෙස පමනක් ලඟා විය හැකි සංකල්ප තුලින් ප්‍රකාශයට පත් විය යුතුය.

මෙම පොත සහෝදරවරුන්ගේ ප්‍රවේශම්කාරී අධ්‍යයනය සඳහා තවමත් යෝග්‍යය. [82]

වසර 39 ක ගමන් මඟකින් පසුව අද ද, මම මෙම නිර්දේශයෙහි පිහිටා සිටිමි.

එස්ඩබ්ලිව්පීය විසින් ට්‍රොට්ස්කිවාදය පාවා දෙනු ලැබීම එස්එල්එල් හෙලා දකියි

ලෙනින්ගේ දාර්ශනික සටහන් පොත් පිලිබඳ ස්ලෝටර්ගේ අධ්‍යයනය සංශෝධනවාදයට එරෙහි එස්එල්එල්හි අරගලය ශක්තිමත් කලේය. 1962 ජූලි 21 වන දින එහි ජාතික කමිටුව, “ට්‍රොට්ස්කිවාදය පාවා දී ඇත: එස්ඩබ්ලිව්පීය පැබ්ලෝවාදී සංශෝධනවාදයේ දේශපාලන විධික්‍රමය පිලිගනියි” මැයෙන් යුත් ප්‍රකාශයක් නිකුත් කලේය. එහි ප්‍රමුඛ කතුවරයා වූයේ ස්ලෝටර්ය. 1953 භේදයේ හේතූන් හා එහි පසුවිපාක පිලිබඳ පැහැදිලි කිරීමකින් තොරව යලි එක්සත් වීමක් එස්එල්එල් විසින් නොපිලිගනු ලැබෙන බවට කිසිදු සැකයක් එමඟින් ශේෂ නොකෙරින. කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකින් තොරව බලයට පත් කස්ත්‍රෝ තන්ත්‍රය ලබා ඇතැයි කියනු ලබන සාර්ථකත්වය යලි එක්සත්වීම සඳහා පාදක වීය යන කියාපෑම එය ප්‍රතික්ෂේප කලේය. හතරවැනි ජාත්‍යන්තරයේ මූලෝපායය විස්තාරනය කිරීමේ ආරම්භක ලක්ෂ්‍යය කියුබාව විය නොහැකිය. ලේඛනයෙන් අවධාරනය කෙරුනේ, කියුබාව පිලිබඳ එස්ඩබ්ලිව්පීයේ අවධාරනය සාවද්‍ය බවයි. ස්ලෝටර් මෙසේ ලිවීය: “අප පටන් ගත යුත්තේ, සියල්ලට පලමුවෙන් සංශෝධනවාදය පරාජය කිරීම සඳහා සෑම රටකම ලෙනින්වාදී පක්ෂ පිහිටුවීමේ අවශ්‍යතාවයෙනි.” [83]

දේශපාලනිකව යටත්වීමේ පැබ්ලෝවාදී මතය හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛා ගොඩනැඟීම සමඟ සමහන් කල හැකි එකක් නොවීය:

මෙම අවධියේ දී මාධ්‍යමිකයන්ට හෝ “වමට යන ධාරාවන්ට” යටත්වීම 1953 ටත් වඩා විශාල පරිමානයක පාවාදීමක් වෙයි. මාක්ස්වාදී-නොවන නායකත්වයන් වෙනුවෙන් ක්ෂමාලාපනය, සුලු ධනපති නායකත්වයට “වෛෂයික බලවේග”වල ශක්තිය හරහා “ස්වභාවිකව” මාක්ස්වාදීන් විය හැකියැයි ප්‍රකාශ කිරීම් - මේවා මාක්ස්වාදී නායකත්වය මංමුලා කිරීම මඟින් කම්කරු පන්තිය නිරායුධ කිරීමට තර්ජනය කරයි. ඉදින් කම්කරු පන්තිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ස්ටැලින්වාදී හා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් බිඳීම වලක්වමින් මාධ්‍යමිකයන්ට යටත්වීමක් දැන් සිදු වෙතොත්, එවිට සංශෝධනවාදීන්ට දැවැන්ත කම්කරු පන්ති පරාජයන්ගේ වගකීම පැවරෙනු ඇත. [84]

බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු අනතුරු හැඟවීමක් නිකුත් කලෝය: “සෝෂලිස්ට් ලේබර් ලීගය මෙම සංශෝධනවාදයේ මාවතෙහි කිසිදු දුරක් යාමට සූදානම් නැති අතර, අවසානය දක්වා එය සමඟ සටන් වදිනු ඇත.” [85] මෙම අනතුරු හැඟවීම ලේබර් රිවිව්හි කතුවැකියක් මඟින් සවි ගන්වන ලදී:

මේ මොහොතේ, ශාස්ත්‍රීය ට්‍රොට්ස්කිවාදීන්යැයි සාඩම්බර ලෙස පුරසාරම් දොඩන අන්‍යයෝ, පැබ්ලෝ සමඟ එක්සත් වීමට ක්‍රමෝපක්‍රම සොයමින් සිටිති. ඔවුන් ගිරවුන් සේ මෙසේ හඬ නඟනු ඇසේ: “අතීතය අමතක කරනු! 1953 දී පැබ්ලෝවාදය සමඟ භේදයේ දේශපාලන හේතු සාකච්ඡා කිරීමෙන් වැලැකී සිටිමු.” ....

මෙම නව සංශෝධනවාදීන් කන්ඩායම අපට පහත ආකාරයෙන් ඉතිහාසය ලිවීමට සලස්වනු ඇත. 1953 දී අපට පැබ්ලෝ සමඟ ගැඹුරට කිඳී ගිය භේදයක් ඇති විය, දැන් ඒ සියල්ල අමතක වී ඇත, එය ඇත්තෙන්ම බියකරු සිහිනයකි; එය කිසිදා සිදු නොවූවකි. අතීතය අමතක කරනු. “නව යථාර්ථය” දෙස පමනක් බලනු. ට්‍රොට්ස්කිවාදයේ න්‍යාය මෙසේ ලැජ්ජා සහගත ලෙස අත්හැර දැමීම, මාක්ස්වාදී ව්‍යාපාරයට එරෙහි සංශෝධනවාදයේ නව පෙරමුනකින් සමන්විත වේ, ...

“මෙම සාකච්ඡාවෙන් එක් දෙයක් නිශ්චය වී ඇත; මාක්ස්වාදීන් හා සංශෝධනවාදීන් අතර කිසිදු එක්සත්කමක් පැවැතිය නොහැකි බව එයින් පෙන්නුම් කෙරෙනු ඇත. කවර තතු යටතේ වේවා, සෝෂලිස්ට් ලේබර් ලීගය එවැනි දේශපාලන ප්‍රයෝගයකට සහභාගී නොවනු ඇත. තමන් ට්‍රොට්ස්කිවාදීන්යැයි කියා සිටින හා අප සමඟ කථා කිරීමටත් සහයෝගයෙන් ක්‍රියා කිරීමටත් කැමැත්තෙන් සිටින සියල්ලන් සමඟ සාකච්ඡා කිරීමට හා සහයෝගයෙන් ක්‍රියා කිරීමට අපි සූදානම්ව සිටිමු. එහෙත් ප්‍රමානවත් දේශපාලන පැහැදිලිකමකින් තොරව සංවිධානාත්මක පදනමකින් එක්සත්වීමට අපි කිසිදා එකඟ නොවන්නෙමු. [86]

අවස්ථාවාදය හා අනුභූතිවාදය සහ ජාත්‍යන්තර කමිටුවේ භේදය

එස්ඩබ්ලිව්පීයේ ප්‍රධාන දේශපාලන නායකයා වූත්, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමඟ යලි එක්සත්වීම සඳහා වූ එහි ප්‍රයත්නයේ අත්පාදකයා වූත් ජෝසෆ් හැන්සන්, 1962 නොවැම්බරයේ දී සෝෂලිස්ට් ලේබර් ලීගයට හා ක්ලිෆ් ස්ලෝටර්ට විෂකුරු ප්‍රහාරයක් එල්ල කරමින් අපෝහකය පිලිබඳව ලෙනින් කෘතියට ප්‍රතිචාර දැක්වීය. “කියුබාව - තීරනාත්මක පරීක්ෂනය: අති වාමාංශික නිකායවාදීන්ට පිලිතුරක්” ලෙස නම් කෙරුනු හැන්සන්ගේ ලේඛනයෙන් ස්ටැලින්වාදී කටුක භාෂනයේ දුගඳ හැමීය. ඇත්ත වශයෙන්ම එය එවැන්නක් විය: ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුව කල පරීක්ෂනයේ දී එය විසින් 1970 ගනන්වල අනාවරනය කර ගැනුනු තොරතුරු වලින් තහවුරු වූයේ, හැන්සන් මුලින්ම එස්ඩබ්ලිව්පීයට ඇතුලු වූයේ සෝවියට් රහස් පොලිසියේ - ජීපීයූවේ - ඒජන්තයෙකු ලෙස බවයි. විකෘති කිරීම් හා සම්පූර්න අසත්‍යයන් සමඟ සංයෝග වූ අවමන් සහගත සෝපාහාසයකින් සමන්විත වාගාලංකාර විලාසයකින් යුතු හැන්සන්, එස්ඩබ්ලිව්පීයේ වඩවඩාත් වැඩි වෙමින් සිටි ඉසුරුමත් මධ්‍යම පාන්තික ශිෂ්‍ය සාමාජිකත්වයේ න්‍යායික උදාසීනත්වයෙන් හා දේශපාලන ආඥානත්වය ගසාකෑවේය. ඔහු න්‍යාය පිලිබඳව එස්එල්එල්හි අවධානය සරදමට පාත්‍ර කල යුත්තක් සේ හෝ මානසික ආබාධයක විද්‍යමාන වීමක් සේ සැලකීය. ඔහුට අනුව, කියුබාවේ කම්කරු රාජ්‍යයක් ගොඩ නගා තිබිනැයි පිලිගැනීම එස්එල්එල් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම “කරුනු”වලට එරෙහි අශෝභන ප්‍රාග්නිශ්චයක ප්‍රතිඵලයක් විය. හැන්සන් සමච්චල්කාරී තානයකින් මෙසේ ලිවීය:

මුල පටන්ම කියුබාවේ සිදුවීම් සමීප අවධානයකින් යුතුව අනුයමින් සිටි ඇමරිකානු හා කැනේඩියානු ට්‍රොට්ස්කිවාදීන්ට සවන්දීම [එස්එල්එල් එසේ නොකල සේ ය!] එස්එල්එල් නායකයෝ ප්‍රතික්ෂේප කොට ඇත්තාහ. එහි මූලස්ථානයෙහි හා මහාද්වීපයේ සෙසු කොටස තුල විප්ලවයේ වර්ධනය හා එහි ප්‍රතිඵල පිලිබඳව ප්‍රත්‍යක්ෂ ලෙස දැන හැඳින සිටි ලතින් ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන්ට සවන් දීම ද ඔවුහු ප්‍රතික්ෂේප කොට ඇත්තාහ. ඔවුහු ලොව පුරා අනෙකුත් ට්‍රොට්ස්කිවාදීන් සම්ප්‍රාප්ත වී ඇති නිගමනවලට පරිභව කරති. ප්‍රකටව පවතින සිදුවීම් පිලිගැනීම මෙසේ මුරන්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? සියල්ලටම වඩා අමුතුම දෙය වන්නේ, කරුනු පිලිගැනීම තමන් ප්‍රතික්ෂේප කරන බැව් එස්එල්එල් නායකයන් හඳුනා ගෙන තිබීමයි; එය සද්ගුනයක් බවට හරවා ගෙන ඇති ඔවුහු, එය දර්ශනවාදයක් කරා ඔසොවා තැබීමට පවා ක්‍රියා කොට ඇත්තාහ. තර්කය ඉතා සරලය: කරුනු පිලිගැනීම අනුභූතිවාදයේ ගුනාංගයකි; මාක්ස්වාදය අනුභූතිවාදයට විරුද්ධය; එබැවින්, මාක්ස්වාදීන් ලෙස අපි, කරුනු පිලිගැනීම ප්‍රතික්ෂේප කරමු. [87]

ජෝසෆ් හැන්සන්

අනෙකුත් “ට්‍රොට්ස්කිවාදීන්” විසින් කියුබාව “කම්කරු රාජ්‍යයක්” ලෙස සලකන ලද හෝ එසේ නොසලකන ලද හෝ වේවා, ඔවුන්ගේ තර්ක පිලිබඳ ප්‍රවේශම්කාරී පරීක්ෂාවකින් තොරව කියුබානු රාජ්‍යයේ පන්ති ස්වභාවය පිලිබඳ ප්‍රශ්නයට සතුටුදායක විසඳුමක් ලැබීමේ අන් මඟක් නොමැත. ට්‍රොට්ස්කිගේ කාලයේ ස්ටැලින් යනු ලෙනින්ගේ දේශපාලන උරුමකරුවා ලෙස ද, සෝවියට් සංගමය කම්කරුවන්ගේ පාරාදීසයක් ලෙස ද, සහ මොස්කව් හොර නඩුවල විත්තිකරුවන් වරදකරුවන් ලෙස ද සැලකූ දශ ලක්ෂ ගනන් ජනයා සිටියෝය. එය, ස්ටැලින් ප්‍රතිවිප්ලවවාදියෙකු ලෙස හෙලා දැකීමෙන් ද, සෝවියට් සංගමය පිරිහුනු කම්කරු රාජ්‍යයක් ලෙස අර්ථකථනය කිරීමෙන් ද, නිලධර තන්ත්‍රය පෙරලා දැමීම සඳහා දේශපාලන විප්ලවයක් කැඳවීමෙන් ද ට්‍රොට්ස්කිව වැලක්වාලූයේ නැත. තව ද, හැන්සන් විසින් ගොඩනංවන ලද අභූතරූපී සංවාක්‍යය (“කරුනු පිලිගැනීම අනුභූතිවාදයේ ගුනාංගයකි; මාක්ස්වාදය අනුභූතිවාදයට විරුද්ධය; එබැවින්, මාක්ස්වාදීන් ලෙස අපි, කරුනු පිලිගැනීම ප්‍රතික්ෂේප කරමු,” යන්න) එස්එල්එල්හි තර්කයේ නිරවද්‍ය ඉදිරිපත් කිරීමක් ලෙස දැක්වීම දේශපාලන ප්‍රකෝපකරනයකි.

තව දුර යමින් හැන්සන් අපෝහකය පිලිබඳව ලෙනින් කෘතියෙන් අප දැනටමත් දීර්ඝ ලෙස උපුටා දක්වා ඇති (“ලෝකය පුරාම විශාල දේ සිදුවෙමින් පවත්නා විට හේගල් ගැන ලෙනින්ගේ අත්පොත් ගුඪ හා එතරම් හදිසි නොවන නිමග්නතාවක් ලෙස පෙනී යා හැකිය,” වශයෙන් ආරම්භ වන) ඡේදය සමච්චලයට භාජනය කලේය. “මෙම නිබන්ධනයේ පාඨකයන් අතිශය ප්‍රමෝදයට පත් කල හැකි බවට සනාථ වී ඇති සැබෑ ශාස්ත්‍රාලීය භාෂාව” පිලිබඳ සරදම් කරමින් හැන්සන් මෙසේ වැඩිදුරටත් ලියයි:

මෙම ශෝභන ඡේදය අධ්‍යයනය කිරීම සඳහා දරන්නට වන වෙහෙස අපතේ නොයයි. මන්ද යත්, කියුබානු විප්ලවය හා අද දින ලෝකයේ තවත් බොහෝ දේ කරා ප්‍රවිෂ්ටවීමේ දී එස්එල්එල් නායකයන් විසින් භාවිතා කෙරෙන න්‍යායික විධික්‍රමය එමඟින් හෙලිදරව් වන නිසාය. මෙය තහවුරු කරන පහත දැක්වෙන වාක්‍යය පිලිබඳව සඳහන් කරනු කැමැත්තෙමු. “සත්තකින්ම, සෑම විද්‍යාවක්ම කරුනු මත පදනම් වී ඇත.” මෙය පිලිගැනිම පිලිබඳව කර්තෘවරයාට සුබ පැතිය යුතුය; එය ද්‍රව්‍යමය ලෝකයක් පවතින බවට කිසියම් දැනුවත්කමක් ඇති බවට සතුටුදායක හැඟවීමකි. විවිධ විද්‍යාවන් වෙනස් වෙනස් ක්ෂේත්‍ර ආවරනය කරන බවත්, මෙම ක්ෂේත්‍ර තුල කරුනුවලට වැදගත්කමේ විවිධ අනුපිලිවෙලවල් පවතින බවත්, විද්‍යාවේ කාර්යය වන්නේ ඒවා භාවිතයට ගත හැකි වන පරිදි, ඒවායේ වැදගත්කම සහ ඒවා අතර සම්බන්ධතාවල වැදගත්කම අනාවරනය කිරීම බවත් යන ප්‍රාඥ නිරීක්ෂනය වෙනුවෙන් ඔහුට පදක්කමක් පැලඳවීමට පවා අපට හැකිය. ...

ස්ලෝටර්ගේ දෝෂය වන්නේ අනුභූතිවාදය හා මාක්ස්වාදය අතර පොදුවේ පවතින දෑ අත්හැර දමා, ඒවා අතර ඒකාන්ත අගාධයක් ගොඩ නැඟීමයි. කෙටියෙන් කියතොත් ඔහු, මෙම කාරනය සම්බන්ධයෙන් දෘඩ, යාන්ත්‍රික ආකාරයෙන් සිතීම පිලිබඳ වරදකරුවෙකි. කෙසේවෙතත්, ඔහුගේ කෝඩුකම සලකා වරදකරුට ලිහිල් දඬුවමක් පමනක් දී නිදහස් කරන්නැයි අපි ආයාචනා කරමු. කරුනු ගනන් නොගත යුතු බව වැනි හුදු සොච්චම් දෙයක් සනාථ කිරීම සඳහා ශාස්ත්‍රාලීය අධ්‍යාපනයේ බර යන්ත්‍ර ඒ සා සියුම් ලෙස මෙහෙයවීමෙහි සමත් බ්‍රිතාන්‍ය පාරභෞතිකඥයෙකු දැකීමේ ගෞරවය අපට කෙතරම් නිරතුරුව හිමි වන්නක් ද? එපමනක් නොව, යන්ත්‍රයට තොරතුරු ලෙස ලෙනින්ගේ දාර්ශනික අත්පොත් ලබා දෙමින්! වොල්නට් ගෙඩියක් පලා ගැනීමට ජම්බාරයක් යොදා ගැනීමට වඩා එය හොඳය.

මෙම පිලිතුර දිය හැකිව තිබුනේ මාක්ස්වාදයේ දාර්ශනික පදනම්වලට කවර හෝ බුද්ධිමය සම්බන්ධතාවයක් නොතිබූ අයෙකුට පමනි. මාක්ස්වාදය හා අනුභූතිවාදය “කරුනු” පිලිබඳව ඒවායේ අන්‍යොන්‍ය පිලිගැනීමේ පොදු පදනම බෙදා හදාගන්නා බව - සහ අනුභූතිවාදය “ක්‍රමානුකූලව ක්‍රියාවේ යෙදවීම” [88] මාක්ස්වාදයේ විධික්‍රමය වේය යන්න - කියා සිටීම හුදෙක් විඥානවාදය හා භෞතිකවාදය අතර වන මූලික බෙදීම මඟ හැර උඩින් පැන යාමකි. විඥානවාදීහු සත්තකින්ම “කරුනු” පිලිගනිති. එහෙත් ඔවුන් නොපිලිගන්නා දෙය වන්නේ, “කරුනු” යනු මානව විඥානයෙන් ස්වාධීනව පවතින යථාර්තයක වියුක්තයන් බවයි. ලෙනින් සිය භෞතිකවාදය හා අනුභූතික විචාරය කෘතිය තුල මැක්වාදය වෙත සිය ප්‍රහාරය ඒකාග්‍ර කලේ හරියටම මෙම කාරනය මතය.

කියුබාව කම්කරු රාජ්‍යයකැයි පිලිගැනීම පිලිබඳ ප්‍රතික්ෂේපයක්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව එය ආරක්ෂා කිරීමට විරුද්ධ වීමකට තුල්‍ය වෙතැයි කියා සිටීමට හැන්සන් පෙරට ගියේය. ඉදිරියට එලැඹීමට නියමිතව තුබූ අවුරුදුවල දී, මෙම සාහසික මුසාව සෝෂලිස්ට් ලේබර් ලීගය හා ජාත්‍යන්තර කමිටුව පිලිබඳ පැබ්ලෝවාදී හෙලා දැකීම්වල අවි ගබඩාවේ මූලික අවියක් බවට පත්විය.

හැන්සන්ට එස්එල්එල්හි පිලිතුර 1963 මාර්තු 23 වන දින ජාතික කමිටුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් මඟින් පල කෙරින. නිසැකවම එහි මයික් බන්ඩා විසින් ලබා දෙන ලද ප්‍රදානයන් අඩංගු වූ නමුත්, එහි ප්‍රධාන කර්තෘත්වය ක්ලිෆ් ස්ලෝටර් සතු විය. “සංගත භෞතිකවාදය” සම්බන්ධ හැන්සන්ගේ සැඳහුම “අමු ප්‍රලාපයක්” ලෙස ප්‍රතික්ෂේප කරමින් ස්ලෝටර් ආරම්භ කලේය. ස්ලෝටර් මෙසේ ලිවීය:

අනුභූතිවාදය, සහ අත්ලාන්තික් සාගරයෙන් ඔබ්බෙහි එහි බාල සහෝදරයා වන තත්කාර්යවාදය, පහත ප්‍රශ්නයට පිලිතුරු දීමේ ශක්‍යතාව පිලිගැනීම ප්‍රතික්ෂේප කරති: “වෛෂයික ලෙස පවතින ලෝකයේ ස්වභාවය කුමක්ද?” ඒ අනුව ඔවුහු මනස අනුසාරයෙන් පමනක් ලෝකය පැහැදිලි කරන ආත්මීය විඥානවාදයට මාවත විවෘත කර තබති. අනුභූතිවාදය, දර්ශනවාදයේ ඉතිහාසය නොතකා හරිමින්, අපෝහක ඥාන විභාගය “පාරභෞතිකවාදය” ලෙස බැහැර කරයි. ලෝකය පැහැදිලි කල හැක්කේ අපෝහක භෞතිකවාදී දෘෂ්ඨියෙන් පමනෙකි. මක්නිසාද යත්, එම දෘෂ්ඨිය, අපේ සංකල්පවල වර්ධනය ගැන මෙන්ම ඒවා විසින් පිලිබිඹු කෙරෙන ද්‍රව්‍යමය ලෝකය ගැන ද භෞතිකවාදී පැහැදිලි කිරීමක් අඩංගු කර ගන්නා නිසාය. අනුභූතිවාදය “සංගත” කිරීම නොව, කල යුත්තේ එය ප්‍රතික්ෂේප කිරීමයි. හැන්සන්ගේ මෙම ක්‍රමවේදී දෝෂයට බොහෝ පැති ඇත. [අවධාරනය මුල් ලිපියේ] [89]

මාක්ස්වාදයේ දර්ශනය හා විධික්‍රමය පිලිබඳ තීරනාත්මක ප්‍රයුක්තීන් හැසිරවීමෙහි ලා හැන්සන් ගොරහැඩි ආකාරයට ක්‍රියා කිරීම, සමාජවාදී කම්කරු පක්ෂයේ පහත් න්‍යායික මට්ටම පිලිබඳව 1939-40 කන්ඩායම් අරගලය තුල ට්‍රොට්ස්කි විසින් මතු කරන ලද උත්සුකයන් සිහිපත් කරවීය. ට්‍රොට්ස්කි “සිය අවසාන ලේඛන තුල, 'අනුභූතිවාදයේ වඩාත් මෑතකාලීන වර්ධනයක් වූ තත්කාර්යවාදයේ 'ඇමරිකානු' දර්ශනයට එරෙහිව න්‍යායික පෙරමුනේ තීරනාත්මක අරගලයක් දිරි ගැන්වීමට ඔවුන් ක්‍රියා කල යුතුයැයි එස්ඩබ්ලිව්පීයට අනතුරු හැඟවූ” බව ස්ලෝටර් සිහිපත් කලේය. “මෙය සිදු නොකලහොත්, එක්සත් ජනපදය තුල සැබෑ මාක්ස්වාදී වර්ධනයක් ඇති නොවනු ඇත. අද දින හැන්සන් හා කැනන් ට්‍රොට්ස්කිගේ අනතුරු හැඟවීම නිශේධනීය ආකාරයෙන් 'තහවුරු කරමින්' සිටිති.” [90]

මෙම තහවුරු කිරීමේ නිදර්ශනයක් ලෙස, 1962 ඔක්තෝබරයේ එක්සත් ජනපදය හා සෝවියට් සංගමය න්‍යෂ්ඨික යුද්ධයක අද්දරට පමුනුවමින් සමීප කාලයේ ඇති වූ “කියුබානු මිසයිල අර්බුදය”ට කැනන් දැක්වූ ප්‍රතිචාරය ස්ලෝටර් විමර්ශනය කලේය. ඉහල උන්නතාංශවල පියාසර කරන U-2 ඔත්තු බලන ගුවන් යානා මඟින් ලබා ගත් තොරතුරු මත සෝවියට් සංගමය කියුබාවේ බැලස්ටික් මිසයිල සවි කොට තිබුනැයි සොයා ගත් කෙනඩි ආන්ඩුව, ඒවා වහා ගලවා එම රටෙන් ඉවත් කල යුතුයැයි ඉල්ලා සිටියේය. කියුබාවට නාවුක අවරෝධනයක් පැනවීමට අන කල ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි, එම දූපත කරා පිවිසෙන සියලු සෝවියට් භාන්ඩ ප්‍රවාහන නෞකාවන් නවතා, ඇමරිකානු නාවුක හමුදාව ඒවාට ගොඩ වී පරීක්ෂා කරනු ඇතැයි ප්‍රකාශ කලේය. එසේ පරීක්ෂාවට ලක් කිරීම ප්‍රතික්ෂේප කරන හෝ, නාවුක අවරෝධනයට අකීකරු වන සෝවියට් නෞකාවන්ට වෙඩි තබනු ඇත.

සති දෙකක්ම පාහේ ලෝකය, එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර තාප න්‍යෂ්ඨික අවි යොදා කෙරෙන යුද ගැටුමක අද්දරට පිවිස සිටියේය. අන්තිම හෝරාවේදී, සිය රහස් දේශනයෙන් සය වසරකට ඉක්බිති තවමත් බලයේ සිටි නිකිතා කෘෂෙව්, සෝවියට් මිසයිල ඉවත් කර ගනු ඇතැයි නිවේදනය කලේය. තමන් කියුබාව ආක්‍රමනය නොකරන බවට කෙනඩි පාලනය ප්‍රතිඥා දුන්නේය. න්‍යෂ්ඨික යුද්ධයක සමීපස්ථ අන්තරාය පසුබැස ගියේය.

1962 ඔක්තෝබර් 31 වන දින, මිසයිල ඉවත් කර ගන්නා බවට කල සෝවියට් නිවේදනයෙන් හුදු දින කිහිපයකට පසුව, ලොස් ඇන්ජලීස්හි අර්ධ විශ්‍රාමයෙන් පසු වූ 72 හැවිරිදි ජේම්ස් පී. කැනන්, ජාතික ලේකම් ධුරයේ සිය අනුප්‍රාප්තිකයා වූ ෆැරල් ඩොබ්ස් වෙත ලිපියක් යැවීය. අර්බුදය හා එහි ප්‍රතිඵලය පිලිබඳ ඔහුගේ තක්සේරුව සමන්විත වූයේ, නොසැලකිලිමත් අතිධාවනකාරීත්වයේ හා නීච බියසුලුබවේ සංයෝගයක් වූ, සෝවියට් සංගමයේ ක්‍රියාකාරීත්වය පිලිබඳ ක්ෂමාලාපයක් සේ ගිනිය හැකි සුලබ අර්ධ-සාමවාදී නොවැදගත් දේ වලිනි. කෙනඩි පාලනයේ ක්‍රියාකාරීත්වයන් විමර්ශනය කිරීමෙන් පසු කැනන් මෙසේ ලිවීය:

ලෝක සාමයට හා කියුබානු විප්ලවයට එල්ල වූ මෙම ඍජු හා ආසන්නතම තර්ජන හමුවේ පසුබට වූ කෘෂෙව් මිසයිල ඉවත් කිරීමටත්, මිසයිල මධ්‍යස්ථාන එක්සත් ජාතීන්ගේ අධීක්ෂනය යටතේ ගලවා කොටස් කිරීමටත් එකඟ වූයේය. ඒ වෙනුවෙන් ඔහුට පෙරලා ලැබුනේ, අවරෝධනය අත්හිටුවීමක් හා කියුබාව ආක්‍රමනය නොකරන බවට ප්‍රසිද්ධ සහතික කිරීමකි.

දෙන ලද තත්ත්වයන් යටතේ අන් කුමක් කල හැකිව තිබිනි ද? ප්‍රත්‍යක්ෂ ලෙස පෙනෙන්නට තිබූ, අවශ්‍ය වුවහොත් තමන්ට හැකි සියල්ල කිරීමට වොෂින්ටනයේ පැවැති අධිෂ්ඨානය සැලැකිල්ලට ගත් කල, තාප න්‍යෂ්ඨික යුද්ධයක් ආරම්භ වීමේ හා එක්සත් ජනපදය පැමින කියුබානු කඳවුරු අතු ගා දැමීමේ අවදානම ගැනීම තකතීරු නිර්භීතකමක් වනු ඇත.

අපේ අදහසට අනුව, කෘෂෙව් නුවනට හුරු ලෙස එවැනි බලය පෙන්වීමකට නොගොස් පසුබැස ඇත. එමඟින් ඔහු කාලයකට ලෝකය යුද්ධයෙන් ද, කියුබානු විප්ලවය අතිප්‍රබල බලවේගවල ප්‍රහාරයෙන් ද ආරක්ෂා කොට ඇත. එහෙත් කාලය තීරනාත්මක වැදගත්කමකින් යුතුය!

පසුබැසීම නොවැලැක්විය හැකිව තිබූ අතර, ලබා දුන් අනුග්‍රහයන්, අප දන්නා පරිදිම, ආවශ්‍යක කිසිවක් අතහැර දැමීමක් නොවීය. මෙය එසේ නොවේයැයි විනිශ්චය කරන්නන්, තීරනය ගැනීමට තිබූ එම අතිශය වේදනාකාරී මොහොතේ හමුදාමය හා රාජ්‍ය තාන්ත්‍රික පෙරමුනුවල කෘෂෙව් ගත යුතුව තිබූ විකල්ප මාර්ගය කුමක්දැයි අපට කිව යුතුය. කෘෂෙව් නාවුක අවරෝධනයට අකීකරු විය යුතුව හෝ, මිසයිල මූලස්ථාන ඉවත් කර ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කල යුතුව තිබුනේද? ...

කඨෝර සත්‍ය කරුන වූයේ සෝවියට් සංගමය හා කියුබාව යන දෙරටේම හිස්වලට, තුවක්කු පමනක් නොව ඊට ද වඩා බියකරු ආයුධ එල්ල කොට, ඒවා පාවිච්චි කිරීමට සූදානමින් පැවැති බවයි, මේ හේතුව නිසා, යුදමය කටයුතුවල හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල මට්ටමේ දී කෘෂෙව් අනුගමනය කල මඟ වැරැදියැයි අපි විශ්වාස නොකරමු. ...

කෙනඩිගේ ශක්තිමත් ආස්ථානය “සෝවියට් ආක්‍රමනයට” සැර පරුෂ පාඩමක් උගන්වමින් කර්කශ පරාජයක් අත්පත් කර දුන් බවට ඇමරිකානු මාධ්යවල ප්‍රමුදිත කියාපෑම් තිබියදීම, අධිරාජ්‍යවාදී ප්‍රචාරයන්ගේ බලපෑමට හසු නොවූ ජනයා, මා විශ්වාස කරන්නේ, මෙම නිරාකරනය ගැන සැනසුම් සුසුමක් හෙලා, කෘෂෙව්ගේ සිහිබුද්ධිය පිලිබඳව ඔහුට ස්තුති කරන්නට ඇති බවයි. බර්ට්‍රන්ඩ් රසල් හා නේරු එම දිශාව ඔස්සේ අදහස් දැක්වූහ. [91]

ස්ලෝටර් කැනන්ගේ ලිපිය රුදුරු විශ්ලේෂනයකට භාජනය කලේ, එය “තත්කාර්යවාදී විධික්‍රමයේ ආදර්ශයක් ලෙස” දැක්විය හැකියැයි ලියමිනි. ඔහු වැඩිදුරටත් මෙසේ ලිවීය: “විප්ලවවාදී මාක්ස්වාදය සඳහා, විශේෂයෙන්ම ස්ටැලින්වාදයට එරෙහිව, ජීවිත කාලයක අරගලයකින් පසුව ඔහු එම සමස්ත චර්යාව කොල දෙකක් තුල ප්‍රතික්ෂේප කරන්නේ, 'න්‍යාය' පිලිබඳ හැන්සන්ගේ අනුකම්පා උපදවන රචනය මඟින් සාධාරනීකරනය කිරීමට අදහස් කරන වර්ගයේ දේශපාලනය වෙනුවෙනි: 'දෙන ලද තත්ත්වයන් යටතේ ඔහුට [කෘෂෙව්ට] වෙනත් කල හැකිව තිබුනේ කුමක්ද?' කැනන් අසයි.” [92]

ඉහත උපුටා දැක්වූ පරිදි කැනන් ලබා දුන් “තත්ත්වයන්” පිලිබඳව විමර්ශනය කිරීමෙන් පසු ස්ලෝටර් මෙසේ පිලිතුරු දුන්නේය:

කැනන් සමාජ බලවේගවල හා දේශපාලන ප්‍රවනතාවල පන්ති විශ්ලේෂනය, තත්කාර්ය වට්ටෝරු මඟින් විස්ථාපනය කරයි. (හැන්සන්ගේ “කරුනු”වලට තුල්‍ය වන) ඊනියා “දෙන ලද තත්ත්වයන්” යනු කෘෂෙව් හා ස්ටැලින්වාදී නිලධරය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් අනුගමනය කල පන්ති-සහයෝගිතා පිලිවෙතක නිෂ්පාදිතයයි . අප කෘෂෙව් හා ස්ටැලින්වාදීනිලධරය තක්සේරු කල යුත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සම්බන්ධවය. අප කෘෂෙව්ගේ කල්ක්‍රියාව තක්සේරු කල යුත්තේ එකී තත්ත්වයන් නිර්මානය කල ක්‍රියාවලියේ කොටසක් ලෙසය . මාක්ස්වාදීන්ට අනෙකුත් පන්ති ප්‍රවනතා සම්බන්ධයෙන් සිය දේශපාලන ක්‍රියා මාර්ගය තේරුම් බේරුම් කොට ගත හැක්කේ එපරිද්දෙන් පමනෙකි. [අවධානය මුල් ලිපියේ] [93]

හැන්සන්ගේ හා එස්ඩබ්ලිව්පීයේ තත්කාර්යවාදී විධික්‍රමය, එය වඩවඩාත් වේගයෙන් අවස්ථාවාදය කරා ගසා ගෙන යාම කෙරේ දක්වන සම්බන්ධතාවය පිලිබඳ සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් ස්ලෝටර් සම්පාදනය කලේය:

සත්තකින්ම කියුබාව පිලිබඳ කැනන්ගේ ලිපිය, දර්ශනවාදයේ දී 'දෙන ලද කරුන' ආදිය පිලිගන්නා එකී ප්‍රවනතා වන, අනුභූතිවාදයේ හා තත්කාර්යවාදයේ පන්ති කාර්යභාරය විදහා දක්වයි. මෙම පිලිගැනීම නොවැලැක්විය හැකි ලෙස, “ඉෂ්ට වූ කරුන වන්දනාමාන කිරීමක්” වශයෙන් ට්‍රොට්ස්කි වරක් නම් කල දෙය බවට පත් වෙයි. ඇත්ත වශයෙන්ම මෙයින් අදහස් වන්නේ, සෝවියට් දේශයේ හා කම්කරු ව්‍යාපාරයේ නිලධරය වැනි, පවත්නා ව්‍යූහයන්ට අනුවර්තනය වූවන්ට යථායෝග්‍ය වන විඥානයේ රූපාකාරයන් පිලිගැනීමයි. ඔවුහු ධනේශ්වර ක්‍රමය හා කම්කරු පන්තිය අතර තමන්ම දරන ස්ථානය සහේතුක කිරීමේ හා සාධාරනීකරනය කිරීමේ ක්‍රමෝපාය ලෙස තම අදහස් වර්ධනය කරති. ස්ටැලින්වාදී නිලධරය සාධාරනීකරනය කරමින් මරේ වේස් මෑතකදී ලියූ ලිපි ද, කම්කරු රාජ්‍යවල දේශපාලන විප්ලවය හා විප්ලවවාදී පක්ෂ ගොඩනැඟීම සම්බන්ධ ප්‍රශ්න එස්ඩබ්ලිව්පීයේ ප්‍රකාශකයන් හා පැබ්ලෝවාදීන් දිගින්දිගටම මඟහැරීම ද සේ ම, කෘෂෙව් පිලිබඳ කැනන්ගේ සාධාරනීකරනය ද සප්‍රතිපත්තික විප්ලවවාදී දේශපාලනය අත්හැර දැමීමකි. එය ගලා එන්නේ අනුභූතිවාදය වෙනුවෙන් අපෝහක භෞතිකවාදය අත්හැර දැමීමෙනි. අපෝහක විශ්ලේෂනය බල කර සිටින්නේ, කරුනු, ඒවා පිලිබඳ “ප්‍රායෝගික” තීන්දු ගත යුතු, නිමි, ස්වාධීන භූතාර්ථ ලෙස දැකීමට නොව, අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන්ගේ සමස්ත ශ්‍රේනිදාමයක සන්දර්භය තුල දැකීමටය. දේශපාලනයේ විෂය පථය තුල මෙයින් අදහස් වන්නේ, සෑම තත්ත්වයක්ම ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනයේ අනුසාරයෙන් දැකීමට, එම තත්ත්වය කෙරේ විවිධ දේශපාලන බලවේගවල පිලිවෙත්, ඒවා මෙම පන්ති බලවේගවලට හා ඒවායේ සමස්ත පූර්ව ගමන් මඟට දක්වන සම්බන්ධතාවයේ අනුසාරයෙන් තක්සේරු කිරීමට ය. කියුබානු ප්‍රශ්නය, එය කැනන් ඉදිරිපත් කරන ආකාරයෙන් ඉදිරිපත් කිරීම මනස්ගාතයක් වන්නේ එනිසාය - “දෙන ලද තත්ත්වයන් යටතේ ඔහුට කල හැකිව තිබුනේ අන් කුමක්ද?” එහි තාර්කික නිගමනය කරා ගෙන ගිය කල, මේ වර්ගයේ තර්කයක් ඕනෑම දෙයක් සාධාරනීකරනය කිරීම සඳහා පාවිච්චි කල හැකිය. මාක්ස්වාදයෙන් එපිටට සිදු වී ඇති මෙම න්‍යායික අපගමනයේ ප්‍රමානය ග්‍රහනය කල කල්හි, කැනන් “අධිරාජ්‍යවාදී ප්‍රචාරයන්ගේ බලපෑමට හසු නොවූ ජනයා, මා විශ්වාස කරන්නේ, මෙම නිරාකරනය ගැන සැනසුම් සුසුමක් හෙලා, කෘෂෙව්ගේ සිහිබුද්ධිය පිලිබඳව ඔහුට ස්තුති කරන්නට ඇති බවයි. බර්ට්‍රන්ඩ් රසල් හා නේරු එම දිශාව ඔස්සේ අදහස් දැක්වූහ.” යන්න වැනි අභූතයක් පැවැසීය යන්න පුදුමයක් පවා නොවේ. ඒ අවස්ථාවේ ම නේරු, අධිරාජ්‍යවාදයේ සහයෝගය ද ලබමින් [මහජන] චීන සමූහාන්ඩුව සමඟ සන්නද්ධ ගැටුමක නියැලී සිටින ආන්ඩුවක ප්‍රධානියා වී සිටියේයැයි කවුරු සිතනු ඇත්ද? මෙම අවි ගැටුමේ ගමන් මඟ තුල ඉන්දියානු කොමියුනිස්ට්වාදීන් සමූහ ලෙස අත්අඩංගුවට ගැනීම ක්‍රියාවේ යෙදැවින. ඒ අවස්ථාවේ ම, කෘෂෙව් ඉන්දීය ආන්ඩුවට සෝවියට් යුද ගුවන්යානා සම්පාදනය කරමින් සිටියේය! මෙම ප්‍රායෝගික “ප්‍රඥා සම්පත්තිය” වෙනුවෙන් කෘෂෙව් (එමෙන්ම කෙනඩි හා [එක්සත් රාජධානියේ අගමැති හැරල්ඩ්] මැක්මිලාන් ද) නේරුගේ අභිනන්දනයට පත් වූ බවට සැකයක් නැත. ඇතැම්විට, “දෙන ලද තත්ත්වයන් යටතේ ඔහු වෙන කුමක් කරන්නදැ?”යි කැනන් පවසනු ඇත. කැනන්ගේ විධික්‍රමය මෙම අන්තය කරා මඟ පාදන්නේ තාර්කික වර්ධනයේ කූටෝපායකින් නොව, ඔහු කවර යම් බලවේගවල ක්ෂමාලාපියෙකු බවට පත් වී ඇත්ද, එකී බලවේග යථාර්ථයේ දී අධිරාජ්‍යවාදයට හා එහි වර්තමාන අවශ්‍යතාවලට ගැට ගැසී ඇති නිසාය. මාක්ස්වාදයේ හා කම්කරු ව්‍යාපාරයේ වර්ධනයෙහි වෙනත් ඕනෑම අවධියකට වඩා වැඩියෙන් ට්‍රොට්ස්කිවාදය ඉතිහාසය පිලිබඳ නීතිවලට ව්‍යතිරේකී වන්නේ නැත. වරක් න්‍යායික වර්ධනය නැවතුනු කල්හි, අනුවර්තනයේ ක්‍රියාවලිය කෙතෙක් ක්‍රමානුකූල හා සියුම් වුව, “කේඩරය” කෙතරම් ගරු කටයුතු වුව, ව්‍යාපාරය එම යුගයේ ආධිපත්‍යය දරන දෘෂ්ඨිවාදයන්ට යට වෙයි. [අවධාරනය මුල් ලිපියේ] [94]

මේ වූ කලී, තත්කාර්යවාදී විධික්‍රමය සහ අවස්ථාවාදී දේශපාලනය අතර සම්බන්ධය ඵලදායී ලෙස හෙලිදරව් කල සර්වනාශක විවේචනයක් විය. කෙසේ වෙතත්, දශකයකට පසු කම්කරු විප්ලවවාදී පක්ෂය විසින් අපෝහකය විකෘති කරනු ලැබීම පිලිබඳ දැනුමේ ආලෝකය තුල ප්‍රත්‍යාවලෝකන සැලැකිල්ලක් මතු කෙරෙන වාක්‍ය ඛන්ඩයක් මෙම දීර්ඝ උපුටා දැක්වීමේ අඩංගු වේ. ස්ලෝටර් “අනුභූතිවාදය වෙනුවෙන් අපෝහක භෞතිකවාදය අතහැරීමෙන් ගලා එන සප්‍රතිපත්තික විප්ලවවාදී දේශපාලනය අතහැර දැමීම” ගැන කථා කරයි. [අවධාරනය එක් කෙරින]. ලේඛනයේ පසු කොටසක ඔහු නැවතත්, “අධිරාජ්‍ය වාදයේ සේවකයන්ට සහයෝගය දීම අපෝහක විධික්‍රමය අතහැර දැමීමෙන් ගලා එන ' [95] බව ලියයි.[අවධාරනය එක් කෙරින].

එස්ඩබ්ලිව්පීය 1957 දී යලි කාන්ඩ ගැසීමටත්, ඒ සමඟම පාහේ පැබ්ලෝවාදීන් සමඟ නැවත එක්සත් වීමටත් හැරීම, හුදෙක් සදොස් විධික්‍රමයකින් “ගලා ආවක්” නොවීය. එස්ඩබ්ලිව්පීය ට්‍රොට්ස්කිවාදය හැර දැමීම සම්බන්ධයෙන් වඩාත් සාරවත් පිලිතුර සොයා ගත යුත්තේ, වෛෂයික සමාජ හා දේශපාලන තතු සහ පක්ෂය අනුගත වෙමින් සිටි පන්ති පීඩනයන් තුලය. උපයෝගිතාවාදය වෙත යොමුවීම හුදු එහි විද්‍යමාන වීමක් විය. කෙසේ වෙතත්, ඩබ්ලිව්ආර්පීය විසින් මාක්ස්වාදය සංශෝධනය කරනු ලැබීම අනාගතයේ වසර ගනනාවකින් පසුව සිදුවීමට නියමිත විය. 1963 දී, සදොස් විධික්‍රමය හා එස්ඩබ්ලිව්පීයේ දේශපාලනය තුල එහි ප්‍රතිවිපාක පිලිබඳව අවධාරනය කිරීම මුලුමනින්ම යුක්තියුක්ත විය. දේශපාලන ප්‍රයුක්තීන් පිලිබඳ ප්‍රවේශම්කාරී පරීක්ෂා කිරීමක් වලක්වනු වස් ඊට පසු කාල පරිච්ඡේදයක දී සිදු කෙරුනු පරිදි, එස්එල්එල්හි අවධානය විධික්‍රමය මත සංකේන්ද්‍රනය වීමක් එම අවස්ථාවේ සිදු නොකෙරින.

වැඩි දුරටත්, සදොස් විධික්‍රමය හා අවස්ථාවාදී ප්‍රවනතාවල වර්ධනය ස්ලෝටර් නිශ්චිතවම අතිශය යථා පන්ති පීඩනයන්ට සම්බන්ධ කොට දැක්වීය:

අපේ අදහසට අනුව 1953 භේදයට තුඩු දෙන පරිදි සහ දැන් වැඩි දියුනු රටවල්, කම්කරු රාජ්‍ය හා යටත්විජිත රටවල් සඳහා වන අවස්ථාවාදී පිලිවෙත් තුලින් විද්‍යමාන වන පැබ්ලෝ විසින් ට්‍රොට්ස්කිවාදය සංශෝධනය කරනු ලැබීම වූ කලී, කම්කරු පන්තිය හා අධිරාජ්‍යවාදය පෙරලා දැමීම අතර සිටින බලවේගවලට දේශපාලනිකව යටත්වීමකි. සෝවියට් නිලධරයේ බලය, සහ 1930 ගනන්වල හා 1940 ගනන්වල යුරෝපයේ හා එක්සත් ජනපදයේ කම්කරු ව්‍යාපාර නායකත්වයේ අර්බුදය විසඳීමට මන්දගාමී වීම, පැබ්ලෝ හා ඔහුගේ කන්ඩායමේ අදහස් වෙත බලපා තිබින. එය විද්‍යාත්මකව, පන්තිමය ආකාරයෙන් නොව, ධාරනාවාදී ආකාරයෙන් අර්ථකථනය කර ගන්නා ලදී. සමාජය සහ දේශපාලනය විශ්ලේෂනය කිරීමේ පන්ති නිර්නායකය වන අපෝහක ක්‍රමය අතහැර දැමීමේ ප්‍රතිඵලය වූයේ, විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂ පිටුපස සංවිධානය වූ නිර්ධන පන්තිය හැර වෙනත් බලවේග ධනපති ක්‍රමයට එරෙහි අරගලයේ ඊලඟ ඓතිහාසික අරගලයේ නායකත්වය දරන බවට එලැඹ ගත් නිගමනයයි. [96]

එස්එල්එල් තර්කවලට කවර හෝ සප්‍රතිපත්තික ආකාරයකින් පිලිතුරු දීමෙහි ලා එස්ඩබ්ලිව්පීය අසමත් විය. එක්සත් ලේකම් මන්ඩලය ලෙස නැවත නම් කෙරුනු පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමඟ එහි යලි එක්සත්වීම 1963 ජූනියේ දී සම්පූර්න විය.

1963 ජූලි මාසයේ ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ශාඛා භේදයේ දේශපාලන හේතූන් හා එහි අනාගත ගම්‍යමානයන් තක්සේරු කිරීමට හමුවූහ. මෙම ඇගයුම ප්‍රකාශනයක් ලෙස, ලේබර් රිවිව්හි 1963 ගිම්හාන කලාපයේ “25 වසරකින් පසු” යන මැයෙන් පල කෙරින. එමඟින්, පැබ්ලෝවාදයට එරෙහි අරගලය හා 1938 දී හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීම එකිනෙක සම්බන්ධ කල ඓතිහාසික පුරුක තහවුරු කරන ලදී. ලෝක තත්වය පිලිබඳ දල විශ්ලේෂනයකින් ප්‍රකාශනය ආරම්භ විය:

ශත වර්ෂ කාලක් ගෙවී ගොස් ඇත. එය පෙර නොවූ විරූ වෙනසක් සිදු වූ කාල පරිච්ඡේදයකි. පැරනි අධිරාජ්‍යයන් බිඳ වැටී ඇත. නව රාජ්‍ය බිහි වී ඇත.

යුද්ධයෙන් දුර්වල වූ අධිරාජ්‍යවාදයට පැරනි භූමි ප්‍රදේශ නේරු, න්කෘමා සහ බෙන් බෙලා වැනි නව අනුචරයන්ට භාරදෙමින් උපායමාර්ගික පසුබැසීමක් සිදු කිරීමට සිදු වී ඇත. ජාතික විමුක්ති ව්‍යාපාරය අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව තුලට ද ප්‍රසාරනය වී තිබේ.

සංක්‍රමනීය ක්‍රියා මාර්ගය සංශෝධනය කිරීමට යත්න දැරූ බියසුල්ලෝ ද, සංශයවාදීහු ද, ධාරනාවාදීහු ද 1938 සිට අධිරාජ්‍යවාදය හා ස්ටැලින්වාදය තුල මූලික වෙනස්කම් සිදු වී ඇතැයි අවධාරනය කරති.

යුද්ධය අවසාන වූ කල්හි ඇතැම්හු, යුරෝපයේ යුද විනාශය, නිෂ්පාදන බිඳවැටීම, සාගතය සහ අවුල්සහගත තතුවලින් කම්කරු පන්තිය අපන්තික වී තිබූ බවත්, අරගලය සියවස් ගනනාවකට ආපස්සට දමා තුබුනු බවත්, සමාජවාදී විප්ලවය කල් දමා තුබුනු බවත් නිවේදනය කරමින්, හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ කර්තව්‍යයෙන් ඉවතට හැරුනෝය.

ඊලඟට, ස්ටැලින්වාදයේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ද්‍රෝහිත්වය තුලින් යුරෝපය තුල සිය පදනම් යලි ගොඩ නඟා ගැනීමට අධිරාජ්‍යවාදය සමත් වූ කල්හි, සංශෝධනවාදය නව ආකාරයකින් වෙස් වලා ගත්තේය.

පැබ්ලෝ විසින් මෙහෙයවනු ලැබූ ප්‍රවනතාවක් හතරවන ජාත්‍යන්තරය තුල වර්ධනය වූ අතර, එය ව්‍යාපාරය සහ එහි සංක්‍රමන ක්‍රියාමාර්ගය පිලිබඳව ප්‍රශ්නාර්ථ ලකුනක් නැඟීය. විප්ලවවාදී කොන්දේසි, නායකත්වයන්ගේ මූලාරම්භයන් හා පූර්ව වර්ධනයන් නොතකා ඒවා විප්ලවවාදී නායකත්වයන් බවට පත් කරතැයි එය නිගමනය කලේය.

යුද්ධයට පෙර පාවාදුන් ආකාරයෙන් ස්ටැලින්වාදී නිලධරයට, තව දුරටත් පාවා දිය නොහැකි බව එය කියා සිටියේය.

සංශෝධනවාදීන්ට එරෙහිව, ප්‍රථම හා තුන්වන ජාත්‍යන්තරයන්හි හොඳම සම්ප්‍රදායයන් තුල හා සංක්‍රමන ක්‍රියාමාර්ගය මත පිහිටා සිටිමින් හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමට, 1953 දී ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ගන්නා ලදී.

ජරපත් වෙමින් පවත්නා අධිරාජ්‍යවාදය පෙරලා දැමීමට පීඩිතයන්ට නායකත්වය දිය හැක්කේ, මාක්ස්වාදීන්ගේ ලෝක පක්ෂයකට - ට්‍රොට්ස්කි එය ගොඩ නැඟූ පරිද්දෙන් ඇති හතරවැනි ජාත්‍යන්තරයට - පමනක් බව අපි නිසැකව ප්‍රකාශ කරමු. එහි ක්‍රියා මාර්ගය පදනම් වී ඇත්තේ, විමුක්තිය සඳහා සිය අරගලය තුල පීඩිතයන්ගේ ජාත්‍යන්තර හා ඓතිහාසික අත්දැකීම් මතය.

මානවයාට ගැලවීමේ මාවතක් පිරිනැමිය හැකි අන් කිසිදු නායකත්වයක් නැත. [97]

විප්ලවවාදී ක්‍රියා මාර්ගය සංශෝධනය කිරීමට එරෙහි අරගලයේ කේන්ද්‍රීයභාවය ප්‍රකාශනය විසින් අවධාරනය කෙරින:

මාක්ස්වාදී ව්‍යාපාරයට සිය ප්‍රාරම්භයේ සිට සංශෝධනවාදී ප්‍රවනතාවලට එරෙහිව ජීවිතයත්, මරනයත් අතර අරගලයක් ගෙනයාමට සිදු වී තිබී ඇත. ඉහත වකවානුවක දී සංශෝධනවාදය විසින් නියෝජනය කෙරුනේ, ඍජුව කම්කරු ව්‍යාපාරය මත යෙදැවෙන නාගරික හා ගම්බද සුලු ධනේශ්වරයේ පීඩනයයි.

කෙසේවෙතත් අද දින මේ පීඩනය ඒකාග්‍ර වී ඇත්තේ, ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය හා ලෝක අධිරාජ්‍යවාදයේ උපරිව්‍යූහය සමඟ විවිධ මට්ටම්වලින් සමෝධානය වී සිටින කම්කරු නිලධරය තුලය.

අද දින සංශෝධනවාදීන් වන්නේ, මාක්ස්වාදී ව්‍යාපාරයේ න්‍යාය හා භාවිතය පවත්නා නිලධර නායකත්වයන්ට අනුහුරු කරමින් ධනේශ්වර ක්‍රමයේ පීඩනයට යටත් වන එකී සියල්ලන්ය.

අද දින සෑම වර්ගයකම සංශෝධනවාදය ගුනාංගීකරනය කෙරෙන්නේ, මානව වර්ගයා විමුක්ත කරනු සමත් එකම ස්වාධීන හා විප්ලවවාදී සමාජ බලවේගය වශයෙන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ කාර්යභාරය පිලිබඳ ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හෝ අවතක්සේරු කිරීම විසිනි. මෙම මිනිසුන් සම්බන්ධයෙන්, කම්කරු පන්තිය ඉතිහාසයේ කතෲ වීම අවසන් වී ඇති අතර, එය එහි අවමන්සහගත හා නිෂ්ක්‍රීය ඥෙය බවට පත්ව ඇත.

ඒ අනුව, අද දින මාක්ස්වාදී ව්‍යාපාරයට, සංශෝධනවාදී අදහස් හා ප්‍රවනතා එක් නිමේෂයකට හෝ නොතකා සිටිය නොහැක. කම්කරු පන්තියේ විමුක්තිය මතු නොව, ස්වාධීන බලවේගයක් ලෙස එහි හුදු පැවැත්මම පවා සහතික කල හැක්කේ සංශෝධනවාදයට එරෙහිව ක්ෂමා විරහිත යුද්ධයක් පවත්වා ගෙන යාමෙන් පමනෙකි.

පැබ්ලෝවාදී සංශෝධනවාදීන් විසින් ඉතාලියේ කැඳවනු ලැබ ඇති මෑතකාලීන 'සමගි' සම්මේලනයට සහභාගී වීම ජාත්‍යන්තර කමිටුව ප්‍රතික්ෂේප කලේ එබැවිනි.

දැනට දස වසරක් පුරා පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව අවිච්ඡින්න අරගලයක් අපි පවත්වා ගෙන ගොස් ඇත්තෙමු. අපට මුල දී සහාය දුන් යුරෝපයේ හා ඇමරිකාවේ වෙසෙන ඇතැම් අය පසුගිය දශකයේ ගමන් මඟ තුල පැබ්ලෝ සහ පැබ්ලෝවාදය පිලිබඳ සිය අදහස් වෙනස් කොට ඇත්තාහ.

අපි එසේ නොකෙලෙමු. අප දකින අන්දමින්, පැබ්ලෝවාදය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ශාඛාවක ඉහල ආකාරයක මාධ්‍යමික පරිහානියක් නියෝජනය කරයි. [98]

ප්‍රකාශනය, අපූර්ව දූරදර්ශීභාවයකින් යුතුව, පැබ්ලෝවාදය විසින් ප්‍රවර්ධනය කරන ලද මාදිලියේ අවස්ථාවාදයෙහි ද්‍රෝහී සංක්ෂේපය ලෙස ලංකා සමසමාජ පක්ෂයට චෝදනා ඉදිරිපත් කලේය:

පැබ්ලෝ විසින්, ඉදින් පොලඹවනු නොලැබී නම් අනුග්‍රහය දෙන ලද, අවස්ථාවාදී පරිහානිය සම්බන්ධයෙන් වන වඩාත්ම උපදේශාත්මක උදාහරනය වන්නේ, ලංකා සමසමාජ පක්ෂය යි. 1954 වර්ෂයේ හතරවන ජාත්‍යන්තරය භේද වන අවස්ථාවේදී මෙම පක්ෂයේ නායකයෝ අවිනිශ්චිත ආස්ථානයක් දැරූහ.

(එතෙකුදු, ඊට යන්තම් මාස කිහිපයකට පෙර, පැබ්ලෝවාදී පිලිවෙත්වලට පක්ෂපාත වූ සුලුතර කන්ඩායමක් සමසමාජ පක්ෂයෙන් භේද වී ගියේය. කෙසේ වෙතත් නායකයෝ, මෙම බෙදීමෙන් කවර හෝ දේශපාලන නිගමන උපුටා ගැනීම ප්‍රතික්ෂේප කලෝය.)

පැබ්ලෝ පෙරලා ලසසප නායකයන්ගේ අවස්ථාවාදය සක්‍රීයව දිරිමත් කලේය, අද දින ලසසප නායකයෝ, ඔවුන්ගේ විප්ලවවාදී මවාපෑම්, ධනේශ්වර පක්ෂ හා තන්ත්‍රයන් ඉදිරියේ වඩාත්ම හීන දීන බඩගෑම මඟින් විස්ථාපනය කොට ඇත්තාහ. 1960 දී, සමසමාජ පක්ෂය, මෙය සටහන් කර ගන්න, බන්ඩාරනායක මහත්මිය සහ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සූදානම් ව සිටියේය.

මෙම නායකයෝ මාක්ස්වාදීන් ලෙස වෙස්වලා ගෙන සිටින සුලු ධනේශ්වර ප්‍රතිරූපකයෝ වෙති. යමෙක් එය සැක කරති නම් ඔවුහු ජාත්‍යන්තරයේ කර්තව්‍යයන් පිලිබඳ සංක්‍රමනීය ක්‍රියා මාර්ගය කියවා බලා, සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ එය සසඳා බලත්වා. [99]

හරියටම වසරකට පසුව, ලංකා සමසමාජ පක්ෂය බන්ඩාරනායකගේ ධනේශ්වර හවුල් ආන්ඩුවට ඇතුලුවීම මඟින්, ජාත්‍යන්තර කමිටුවේ අනතුරු ඇඟවීම් සනාථ කලේය. එය, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සියලු කොටස්වලට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එන ලද, ඓතිහාසික පරිමාන පාවාදීමක් විය.

අවසානයේදී, ප්‍රකාශනය, ජාත්‍යන්තර කමිටුව මුහුන දෙන අභියෝග සහ කර්තව්‍යයන් සමාලෝචනය කලේය:

ජාත්‍යන්තර කමිටුව සෑම විටම හතරවන ජාත්‍යන්තරයේ සමගිය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති අතර, ව්‍යාපාරය භේද කිරීමට හා කාර්යධරයන් විනාශ කිරීමට දැරෙන සෑම ප්‍රයත්නයකටම එරෙහිව සටන් වැදී ඇත. ඉතාලියේ මෑතකදී පැවැත්වූ සමුලුව දැකිය යුතුව ඇත්තේ, 'සමගිය' ලෙස නොව, 1953 දී ආරම්භ වූ භේදයක දේශපාලනික, අඛන්ඩ ඉදිරියට යාම ලෙසය.

හතරවන ජාත්‍යන්තරයේ සැබෑ සමගිය ඇති විය හැක්කේ නිවැරදි විධික්‍රමයක්, දැඩි මූලධර්ම සහ අත්හදා බලන ලද්දා වූත්, පරීක්ෂාවට ලක් කරන ලද්දා වූත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පමනි. ව්‍යාකූලත්වය මත ගොඩනැගෙන - සෙසු සියලු ප්‍රවනතාවන් සමඟ තරඟ කර ලෝක මාක්ස්වාදී නායකත්වයක් ගොඩනැගීමේ නිශ්චය මත පදනම් නොවන - එක්සත්භාවය වූ කලී වැල්ලෙන් ඇඹරූ කඹයක් වැන්න.

මෙය ට්‍රොට්ස්කිවාදී යුගයකැයි සංශෝධනවාදියෝ කියති. එහෙත් මේ වර්ගයේ ප්‍රීතිමත් මුග්ධත්වය තුල ගැබ් වූ විශ්වාසයක් හෝ සර්වශුභවාදයක් හෝ නැත. ඉන් ප්‍රකාශයට පත් වන්නේ සිය පිලිවෙත් සුලු ධනපති ජාතිකවාදීන්ගේ හා වාම ප්‍රතිසංස්කරනවාදීන්ගේ අවශ්‍යතාවලට සාර්ථකව හැඩගස්වා ගෙන ඇති අයගේ ආකල්පයයි.

පැබ්ලෝගේ ජාත්‍යන්තරයට අනාගතයක් නැත. මන්ද යත්, එය පදනම් වී ඇත්තේ ඓතිහාසිකව අනාගතයක් නැති සමාජ කන්ඩායමක් වන සුලු ධනේශ්වරය මත ය. අප ජාත්‍යන්තරය පිලිබඳව ශුභවාදී වන්නේ, කම්කරු පන්තිය සහ ලොව පුරා සිදුවෙමින් පවතින පන්ති අරගලය මත අප අපවම පදනම් කරගන්නා බැවිනි.

මෙය ට්‍රොට්ස්කිවාදී යුගයක් යැයි අපි කියමු. ඒ, කිසියම් ආපසු හැරවිය නොහැකි ක්‍රියාවලියක් මඟින් එය සිදු වන නිසා නොව, කම්කරු පන්තියේ අරගලයන්ට කෙරෙන ස්ථිරසාර, සප්‍රතිපත්තික සහ ස්වාධීන මැදිහත් වීම මඟින් අප ලෝක පක්ෂයක් ගොඩනඟන බැවිනි.

හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ අරගලය, සංශෝධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකි ය. “හතරවන ජාත්‍යන්තරය හොර වෙදුන්, ප්‍රතිරූපකයන් සහ අනාරාධනයෙන් ඉදිරිපත් වන සදාචාරය පිලිබඳ ගුරුන් අතුගා දමයි.”

කම්කරු පන්තියේ සැබෑ කොමියුනිස්ට් නායකත්වයක් ගොඩ නැගීමට අවශ්‍ය සියලු දෙනා අපි කැඳවා සිටිමු: සංක්‍රමන ක්‍රියාමාර්ගය සඳහා සටන් කරන සියලු දෙනා අපි කැඳවා සිටිමු: ආරම්භක සම්මේලනයේ මූලික ප්‍රස්තුතය පිලිගන්නා සියලුම දෙනාට (අප කියා සිටින්නේ මෙයයි:) නායකත්වයේ අර්බුදය විසඳිය හැක්කේ හතරවන ජාත්‍යන්තරයේ සවිඥානක ක්‍රියාකාරිත්වය තුලින් පමනෙකි. [100]

ජාත්‍යන්තර ලේකම් කාර්යාලය සමඟ එස්ඩබ්ලිව්පීයේ ප්‍රතිපත්ති විරහිත යලි එක්වීම, දස වසරකට පෙර හතරවැනි ජාත්‍යන්තරය තුල පුපුරා ගිය සිවිල් යුද්ධයේ උත්සන්න වීමක් සනිටුහන් කලේය. එස්එල්එල් නායකත්වය සිදු කල අරගලය ලෝක ඓතිහාසික වැදගත් කමකින් යුත් එකක් වන්නේ, වසර 25 කට පෙර ට්‍රොට්ස්කි විසින් ආරම්භ කොට තිබූ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය විනාශ වීම එමඟින් වැලැක්වුනු නිසාය. එපමනක් නොව, 1961 සහ 1963 අතරතුර කාලය තුල ලියන ලද සුවිශේෂී ලේඛනවල වාර්තාගතව තිබූ එම අරගලයේ දේශපාලන පාඩම්, එස්එල්එල් නායකත්වය විසින් ආරක්ෂා කරන ලද මූලධර්මවල පදනම මත ගොඩ නැඟුනු ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛාවල පසුකාලීන වර්ධනයේ දී තීරනාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට නියමිතව තිබින. ජෙරී හීලි, මයිකල් බන්ඩා සහ ක්ලිෆ් ස්ලෝටර් විසින් ලබා දෙන ලද අතිමහත් දායකත්වය, ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය පිලිබඳව කෙරෙන කවර හෝ අවංක තක්සේරුවක දී නොතකා සිටිය නොහැකි, ඔවුන්ගේ උරුමයේ චිරස්ථායී අංගයක් වෙයි.

ජාත්‍යන්තර කමිටුව තුල 1963 භේදයෙන් ඉක්බිති දශකයේ ක්ලිෆ් ස්ලෝටර්ගේ කාර්යභාරය මෙම දේශපාලන චරිතාපදානයේ දෙවන කොටසට විෂය වන අතර එය ඉදිරි සරත් සෘතුවේ දී පල වනු ඇත.

සටහන්:

[73] Labour Review, සැප්තැම්බර්-ඔක්තෝබර් 1957, වෙලුම 2, අංක 5, 136–147 පිටු

[74] Labour Review, වෙලුම 7, අංක 1, 1962 වසන්තය, පි. 33.

[75] එම, 35-36 පිටු

[76] “The Economic Content of Narodism and the Criticism of It in Mr. Struve’s Book,” ලෙනින්, Collected Works, වෙලුම 1 (මොස්කව්: Progress Publishers, 1960), 399–400 පිටු

[77] “‘The Theoretical Front’, Lenin’s Philosophical Notebooks, Second Article” Labour Review, 1962 ගිම්හානය, වෙලුම 7, අංක 2, 77–78 පිටු

[78] ලෙනින්, Collected Works, වෙලුම 38 (මොස්කව්: Foreign Languages Publishing House, 1961), පි.182.

[79] “‘The Theoretical Front’, Lenin’s Philosophical Notebooks, Second Article” Labour Review, 1962 ගිම්හානය, වෙලුම 7, අංක 2, පි. 78.

[80] එම, 76–77 පිටු.

[81] ඩේවිඩ් නොර්ත්, Notes on Lenin on Dialectics, ඔක්තෝබර් 1, 1982 [ප්‍රකාශයට පත් නොකල, යතුරු ලේඛනය කල අත්පිටපත].

[82] එම.

[83] “Trotskyism Betrayed: The SWP accepts the political method of Pabloite revisionism,” Trotskyism Versus Revisionism, තුන්වැනි වෙලුම (ලන්ඩන්: New Park, 1974), පි. 238.

[84] එම, 238–39 පිටු.

[85] එම, පි. 239.

[86] “Against Revisionism,” Labour Review, වෙලුම 7, අංක 2, 1962 ගිම්හානය, පි. 41.

[87] “Cuba, the Acid Test,” Trotskyism Versus Revisionism, හතරවැනි වෙලුම (ලන්ඩන්: New Park, 1974), පි. 23.

[88] එම, පි. 25.

[89] එම, පි. 76.

[90] එම.

[91] “Letter from James P. Cannon to Farrell Dobbs, ඔක්තෝබර් 31, 1962,” Trotskyism Versus Revisionism, හතරවැනි වෙලුම, 72–73 පිටු

[92] “Opportunism and Empiricism,” Trotskyism Versus Revisionism, හතරවැනි වෙලුම, පි. 77.

[93] එම, 77–78 පිටු.

[94] එම, 78–79 පිටු.

[95] එම, පි. 87.

[96] එම, පි. 97.

[97] “Manifesto of the International Committee of the Fourth International,” Labour Review, 1963 ගිම්හානය, වෙලුම 7, අංක 5, 165–66 පිටු.

[98] එම, පි. 168.

[99] එම, පි. 169.

[100] එම, 170–71 පිටු.